සැබෑ සන්තෝෂය සොයාගත හැක්කේ කොතැනින්ද?
ද්‍රව්‍යමය දේපොළ අත් කරගැනීමෙන් සන්තෝෂය සොයාගන්න පුළුවන් කියා මිනිසුන් බොහොමයකට හැඟෙනවා. ඔබට හිතෙන්නේ මොකක්ද? අපගේ සන්තෝෂයට ද්‍රව්‍යමය දේවල් සහතිකවශයෙන්ම දායක විය හැකි වුවත්, ඒවා එය සහතික කරන්නේ නැහැ; ඒ වගේම ශාරීරික සැපපහසුකම් ඇදහිල්ල ගොඩනඟන්නේවත් ආත්මික අවශ්‍යතා සපුරාලන්නේවත් නැහැ.
තම කන්ද උඩ දේශනාවේදී, යේසුස් ක්‍රිස්තුස් මෙසේ කිව්වා: “තම ආත්මික අවශ්‍යතාව ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්හුය; මන්දයත් ස්වර්ග රාජ්‍යය ඔවුන්ට අයත් වන බැවිනි.” (මතෙව් 5:3, NW) යේසුස් මෙසේත් කිව්වා: “සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.”—ලූක් 12:15.
තහනම් ලිංගික ක්‍රියාවල හා වෙනත් “මාංසයේ ක්‍රියා[වල]” නිරතවීමෙන් බොහෝදෙනෙකු සන්තෝෂය සොයාගන්න බලනවා. (ගලාති 5:19-21) කෙසේවෙතත්, කාමුක ආස්වාදයන්ට යටවීමෙන් සැබෑ හා කල්පවතින සන්තෝෂයක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම්, එවැනි දේවල නිරත වෙන අය දේවරාජ්‍යය උරුම කරගන්න යන්නෙත් නැහැ.—1 කොරින්ති 6:9, 10.
ආත්ම ගරුත්වය ගොඩනඟන්න උත්සාහ කරමින් සන්තෝෂය සඳහා කරන සෙවිල්ලේදී, වෙනත් අය තමන්ගේම සරණ පතනවා. පුස්තකාල හා පොත් සාප්පු ආත්මෝපකාරය පිළිබඳ පොත් පත්වලින් වැහිවැහැලා තිබුණත්, එවැනි ප්‍රකාශන මිනිසුන්ට කල්පවතින සන්තෝෂය ගෙන දී නැහැ. එසේනම්, සැබෑ සන්තෝෂය සොයාගත හැක්කේ කොතැනින්ද?
ඇත්තවශයෙන්ම සන්තෝෂව සිටින්න නම්, අපගේ සහජ ආත්මික අවශ්‍යතාව හඳුනාගන්න අවශ්‍යයි. “තම ආත්මික අවශ්‍යතාව ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්හුය” යයි යේසුස් පැවසුවා. මෙම අවශ්‍යතාව තේරුම්ගෙන ඒ පිළිබඳව යමක් කරන්න අසමත් වුණොත් අපිට යහපතක් වෙන්නේ නැති බව අමුතුවෙන්ම කියන්න අවශ්‍ය නැහැ. මෙහෙම නිදර්ශනය කරමු: ධාවන තරඟයක් හමාර වීමෙන් පසු තම සිරුර ජලය සඳහා කරන ආයාචනයට ප්‍රතිචාරය දක්වන්න අසමත් වන මැරතන් ධාවකයෙකුට මොකක්ද වෙන්න යන්නේ? විජලනය හා වෙනත් බරපතළ ඵලවිපාකයන්ට ඔහු ඉක්මනින් මුහුණ දෙන්නේ නැද්ද? එයාකාරයෙන්ම, අප අපගේ ආත්මික පෝෂණය සඳහා ඇති අවශ්‍යතාවයට ප්‍රතිචාරය දක්වන්න අසමත් වූවොත්, අන්තිමේදී අපද ආත්මිකව මැලවෙන්න යනවා. මෙය සතුට හා සන්තෝෂය නැතිවීමට මඟ පාදන්න යනවා.
දේවවචනය නිතිපතා පාඩම් කිරීම හා මෙනෙහි කිරීම තුළින් යේසුස් තම ආත්මික අවශ්‍යතා සම්පූර්ණයෙන්ම හඳුනාගත්තා. ශුද්ධ ලියවිලි පාඨ තිබෙන තැන් සොයාගෙන ඒවා කියවන්න ඔහුට කිසිම අපහසුතාවක් තිබුණේ නැතුවා පමණක් නොව, අන්‍යයන්ටද එසේම කරන්න ඔහු ඉගැන්වූවා. (ලූක් 4:16-21; සසඳන්න එපීස 4:20, 21.) යේසුස් තම ස්වර්ගික පියාගේ කැමැත්ත කිරීම ආහාරවලටද සමාන කළා. දෙවිගේ කැමැත්ත කිරීම ඔහුට බොහෝ සන්තෝෂය ගෙන දුන්නා.—යොහන් 4:34.
ඔව්, ද්‍රව්‍යමය දේවල් අත් කරගැනීමෙන් සැබෑ සන්තෝෂය ලබන්න බැරි අතරම, වැටුණු මාංසයට ආවතේව කිරීමෙන් සන්තෝෂය ප්‍රතිඵලය වන්නේද නැත. සැබෑ සන්තෝෂය හෘදයේ ස්වභාවයක්; එය අව්‍යාජ ඇදහිල්ල හා යෙහෝවා දෙවි සමඟ ඇති හොඳ සම්බන්ධතාවක් මතයි පදනම් වී ඇත්තෙ. ඒ හේතුවෙන්, ගීතිකාකාර දාවිත් උචිත ලෙස මෙසේ ගී ගැයුවා: “[යෙහෝවා] තමුන්ගේ [දෙවි] කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය.”—ගීතාවලිය 144:15ආ.
[23වන පිටුවේ පින්තූරය]
ඇදහිල්ල හා දෙවි සමඟ ඇති හොඳ සම්බන්ධතාවක් ඔබට සැබෑ සන්තෝෂය ගෙනෙනු ඇත