විචාර බුද්ධිය ඔබව රැකගනීවා
“කල්පනා කිරීමේ හැකියාවම ඔබ කෙරෙහි රැකවල් කරන්නේය; විචාර බුද්ධියම ඔබව රැකගන්නේය.”—හිතෝපශ 2:11, NW.
1. විචාර බුද්ධියට අපව මොකකින් රැකගත හැකිද?
ඔබ විචාර බුද්ධිය පාවිච්චි කරනවා දකින්නයි යෙහෝවාට ඕනෙ. ඇයි? විවිධාකාර අනතුරුවලින් එය ඔබව රැකගන්න බව ඔහු දන්න නිසයි. හිතෝපදේශ 2:10-19 [NW] ආරම්භ වෙන්නේ මේ වදන්වලින්: “ප්‍රඥාව ඔබේ හෘදයට ඇතුල් වන විටත්, දැනුම ඔබේම ප්‍රාණයට ප්‍රියමනාප දෙයක් වන විටත්, කල්පනා කිරීමේ හැකියාවම ඔබ කෙරෙහි රැකවල් කරන්නේය; විචාර බුද්ධියම ඔබව රැකගන්නේය.” මොනවයින්ද රැකගන්නේ? “නරක මාර්ගය” වැනි දේවලිනුත්, නිර්දෝෂ මාවත් අත්හරින අය සහ තම සාමාන්‍ය ගමන් මාර්ගයෙහි කපටි විදිහට කටයුතු කරන ජනයාගෙනුත්.
2. විචාර බුද්ධිය කියන්නේ මොකක්ද? ක්‍රිස්තියානීන් විශේෂයෙන්ම ආශා කරන්නේ කුමන ආකාරයේ එකකටද?
2 විචාර බුද්ධිය මනසේ ඉන්ද්‍රීය ශක්තියක් බව ඔබට සිහි වෙනවා ඇති; එමගින් මනසට එක දෙයක් තවෙකකින් වෙන්කොට හඳුනාගන්න පුළුවන්. විචාර බුද්ධිය තියෙන පුද්ගලයා අදහස්වල හෝ දේවල වෙනස්කම් අවබෝධ කරගන්න අතර, ඔහුට හොඳ විනිශ්චයක් තියෙනවා. ක්‍රිස්තියානීන් වශයෙන්, දේවවචනය පිළිබඳ ඒකාන්ත දැනුමක් මත පදනම් ආත්මික විචාර බුද්ධියට අපි විශේෂයෙන්ම ආශා කරනවා. අපි ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරන කොට, ඒක හරියට අපි ආත්මික විචාර බුද්ධියේ අමුද්‍රව්‍ය තනනවා වගෙයි. අපි ඉගෙනගන්නා දෙය යෙහෝවාව ප්‍රසන්න කරවන තීරණ ගැනීමට අපට උපකාරයක් වෙන්න පුළුවන්.
3. ආත්මික විචාර බුද්ධිය අත් කරගන්න අපට හැක්කේ කොහොමද?
3 තමාට මොන ආශීර්වාදයද ඕනෙ කියා දෙවි ඉශ්රායෙල්හි සාලමොන් රජුගෙන් විමසූ විට, ඒ තරුණ පාලකයා මෙහෙම කිව්වා: “ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් [කීකරු හෘදයක්, NW] ඔබගේ මෙහෙකරුවාට” දෙන්න. සාලමොන් ඉල්ලුවේ විචාර බුද්ධියයි; එමෙන්ම යෙහෝවා එය ඔහුට පුදුමාකාර ප්‍රමාණයකින් දානය කළා. (1 රාජාවලිය 3:9; 4:30) විචාර බුද්ධිය අත් කරගන්න නම්, අපි යාච්ඤා කරන්න ඕනේ; ඒ වගේම “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සපයා තියෙන ඥානාලෝකය ගෙන දෙන ප්රකාශනවල උපකාරය ඇතුව දේවවචනය අධ්‍යයනය කරන්නත් සිද්ධ වෙනවා. (මතෙව් 24:45-47) “අවබෝධ ශක්තිය සම්බන්ධයෙන් පරිණත” වී “යහපත සහ අයහපත විමසාබලන්ට [හෝ වටහාගන්න]” පුළුවන් තත්වයකට එළඹෙන තරමට, විචාර බුද්ධිය වර්ධනය කරගන්න මෙය අපට උපකාරයක් වේවි.—1 කොරින්ති 14:20, NW; හෙබ්‍රෙව් 5:14.
විචාර බුද්ධිය සඳහා විශේෂ අවශ්‍යතාවක්
4. “සරල” ඇසක් තියාගැනීමෙන් අදහස් කරන්නේ මොකක්ද? එමෙන්ම එය අපට ප්‍රයෝජනයක් විය හැක්කේ කොහොමද?
4 නිසි විචාර බුද්ධියක් ඇතුව, අපට යේසුස් ක්‍රිස්තුස්ගේ මෙම වදන්වලට එකඟව ක්‍රියා කරන්න පුළුවන්: “එසේනම්, පළමුකොට රාජ්‍යයද [දෙවිගේ] ධර්මිෂ්ඨකමද සොයමින් සිටින්න; එවිට මේ අන් සියලු [ද්‍රව්‍යමය] දේවල් ඔබට එකතු කරනු ලැබේ.” (මතෙව් 6:33, NW) යේසු මෙහෙමත් කිව්වා: “ශරීරයේ පහන නම් ඔබේ ඇසය. ඔබේ ඇස සරල නම්, ඔබේ මුළු ශරීරයද දීප්තිමත්ය.” (ලූක් 11:34, NW) ඇස සංකේත පහනක්. “සරල” ඇසක් අවංකයි; නිසි ලෙස නාභිගත කරලා තියෙනවා. එවැනි ඇසක් ඇතුව, අපිට පුළුවන් විචාර බුද්ධිය පෙන්නන්නත්, ආත්මිකව වැටෙන්නේ නැතුව ඇවිදින්නත්.
5. ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ගත්තහම, ක්‍රිස්තියානි සභාවේ අරමුණ ගැන අප සිතේ තබාගත යුත්තේ මොකක්ද?
5 තම ඇස සරලව තබාගන්නේ නැතුව, සිත් ඇදගන්නා ව්‍යාපාරික කටයුතුවල නිරත වීමෙන් සමහරු තම ජීවිතයත් අනුන්ගේ ජීවිතත් සංකීර්ණ කරලා තියෙනවා. ඒත් ක්‍රිස්තියානි සභාව “සැබෑවේ කනුව සහ අත්තිවාරම” බව අපි මතක තබාගත යුතුයි. (1 තිමෝති 3:15) ගොඩනැඟිල්ලක කණු වාගේ, සභාව යමෙකුගේ ව්‍යාපාරය නොව, දෙවිගේ සත්‍යතාව උසුලනවා. වාණිජ්‍ය කටයුතු, භාණ්ඩ හෝ සේවා ප්‍රවර්ධනය කරන ස්ථාන වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා පිහිටුවලා නැහැ. රාජ්‍ය ශාලාවේ පෞද්ගලික ව්‍යාපාරික කටයුතු කරගෙන යෑමෙන් අපි වැළකී සිටිය යුතුයි. රාජ්‍ය ශාලා, සභා පොත් පාඩම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් සහ සමුළු ක්‍රිස්තියානි ආශ්‍රය සහ ආත්මික සාකච්ඡා සඳහා ස්ථාන බව දැකගන්න විචාර බුද්ධිය අපට උපකාර කරයි. යම් වාණිජ්‍ය කටයුත්තක් ප්‍රවර්ධනය කරන්න අපි ආත්මික සම්බන්ධතා පාවිච්චි කළොත්, ආත්මික සාරධර්මයන් සඳහා අගයේ යම් ඌනතාවක් මෙයින් පෙන්නුම් කරන්නේ නැද්ද? මූල්‍යමය වාසි ලබාගන්න, සභාව සමඟ තියෙන සම්බන්ධකම්වලින් කිසිදාක අනිසි ප්‍රයෝජන නොගත යුතුයි.
6. සභා රැස්වීම්වල වෙළඳ භාණ්ඩ සහ සේවා, විකිණීම හෝ ප්‍රචාරය කිරීම නොකළ යුත්තේ ඇයි?
6 සෞඛ්‍යයට හිතකර ඖෂධ හෝ රූප ලාවණ්‍ය ද්‍රව්‍ය, විටමින්, විදුලි සන්දේශ සේවා, ගොඩනැඟිලි ද්‍රව්‍ය, සංචාරක ගමන්, පරිගණක වැඩසටහන් හා උපකරණ ආදිය විකුණගන්න සමහරු දිව්‍යාණ්ඩුමය සම්බන්ධතා යොදාගෙන තියෙනවා. කොහොම වුණත්, වෙළඳ භාණ්ඩ හෝ සේවා, විකුණන්න හෝ ප්‍රචාරය කරන්න සභා රැස්වීම් සුදුසු තැන නෙවෙයි. යේසු “බැටළුවන්ද ගවයන්ද මාළිගාවෙන් පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මිල විසුරුවා මේස පෙරළාදැමූ [බවත්,] . . . පරෙවියන් විකුණන්නන්ට කථාකොට: මේ දේවල් මෙතැනින් අරන් යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළදාම් ගෙයක් නොකරන්නැයි” කියූ බවත් අපි සිහියේ තබාගන්නවා නම්, මූලික ප්‍රතිපත්තිය අපිට තේරුම්ගන්න පුළුවන්.—යොහන් 2:15, 16.
ආයෝජන ගැන මොකක්ද කියන්න පුළුවන්?
7. ආයෝජන සම්බන්ධයෙන් ගත්තහම විචාර බුද්ධිය සහ සුපරීක්ෂාකාරිබව අවශ්‍ය වන්නේ ඇයි?
7 ව්‍යාපාර කටයුත්තකට මුදල් ආයෝජනය කරන එක ගැන කල්පනා කර බලන විට, විචාර බුද්ධිය හා සුපරීක්ෂාකාරිබව අවශ්‍යයි. කෙනෙක්ට මුදල් ණයට ගන්න ඕනෙ කියාත්, මේ වගේ පොරොන්දු දෙනවා කියාත් සිතන්න: “ෂුවර් එකටම ඔයාට ලාභයක් ලැබෙනවා.” “ඔයාට කිසිම අලාභයක් වෙන්නේ නැහැ. මේ ගැන මට සීයට සීයක් ෂුවර්.” යම්කිසි කෙනෙක් ඒ වගේ පොරොන්දු ඉදිරිපත් කළොත් පරෙස්සම් වන්න. එක්කෝ ඔහු යථාර්ථවාදී නැහැ; එහෙම නැත්නං, ඔහු වංකයි. ඇයි කිව්වොත්, මුදල් ආයෝජනය කරන එක, සහතික වෙන්නම බැරි දෙයක් නිසයි. ඇත්තෙන්ම, චාටු බස් කතා කරන කිසිම ප්‍රතිපත්තියක් නැති සමහර පුද්ගලයන් සභාවේ සාමාජිකයන්ට වංචා කර තියෙනවා. පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවට ඇතුල් වූ ‘අභක්තිකයන්’ මතක් කරගැනීමට මෙය හේතුවක් වෙනවා. ඔවුන් ‘දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව, නින්දිත හැසිරීම සඳහා නිදහසට හේතුවක් කරගත්තා.’ මොවුන් පිහිනුම්කරුවන්ව තුවාල කර මරාදැමිය හැකි, වතුරට වැසී තියෙන උල් සහිත පර්වතවලට සමාන වුණා. (යූද් 4, 12) වංචාකාරයන්ගේ චේතනා වෙනස් බව සැබෑවක් වුණත්, ඔවුන්ද සභාවේ සාමාජිකයන්ව ගොදුරු කරගන්න බලනවා.
8. ලාභදායී කියලා පෙනෙන යම් ව්‍යාපාරයන් සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන්නේ මොකක්ද?
8 හොඳ චේතනාවෙන් පෙලඹුණු සහෝදරයන් පවා, ලාභයක් ලබාගන්න පුළුවන් බවට පෙනුණු ව්‍යාපාර ගැන අන්‍යයන් සමඟ සාකච්ඡා කළත්, අන්තිමේදී ඔවුන්ගේ මෙන්ම ඔවුන් අනුව ගිය අයගේ ආයෝජනය කළ මුදල් අහිමි වෙලා යනවා. ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකුට සභාවේ වරප්‍රසාද අහිමි වී තියෙනවා. ඉක්මනින් පොහොසත් වෙන්න කරන ව්‍යාපාර, වංචාසහගත ව්‍යාපාර කියලා පැහැදිලි වෙන කොට, ලාභ ලබන එකම තැනැත්තා වංචාකාරයයි; එවගේම ඔහු සාමාන්‍යයෙන් වහාම අතුරුදහන් වෙනවා. එවැනි තත්වයන් මඟහරින්න විචාර බුද්ධිය යමෙකුට උපකාර කළ හැක්කේ කොහොමද?
9. ආයෝජන සම්බන්ධයෙන් කියලා තියෙන දේවල් ඇගයීමට විචාර බුද්ධිය ඕනෙ කරන්නේ ඇයි?
9 අපැහැදිලි දෙයක් තේරුම්ගන්න හැකිවීම යන අදහස විචාර බුද්ධියේ ගැබ් වී තියෙනවා. මුදල් ආයෝජනය ගැන කියන දේවල් තක්සේරු කර බැලීම සඳහා මෙම හැකියාව අවශ්‍යයි. ක්‍රිස්තියානීන් එකිනෙකාව විශ්වාස කරනවා; එමෙන්ම සෙසු ඇදහිලිවන්තයන්ගේ සම්පත් අනතුරට පත් කළ හැකි අවදානම් සහිත ව්‍යාපාරයන්වලට ආත්මික සහෝදර සහෝදරියන් පැටලෙන්නේ නැහැ කියා සමහරුන් තර්ක කරන්න පුළුවන්. නමුත් ව්‍යාපාරිකයෙක් ක්‍රිස්තියානියෙක් වූ පළියට ව්‍යාපාර කටයුතුවලදී ඔහු දක්ෂ වන බවවත් ඔහුගේ ව්‍යාපාරය සාර්ථක වන බවවත් සහතික කරන්න බැහැ.
10. ඇතැම් ක්‍රිස්තියානීන් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ව්‍යාපාරික ණය ඉල්ලන්නේ ඇයි? එමෙන්ම එවැනි ආයෝජනවලට සිදු විය හැක්කේ මොකක්ද?
10 ප්‍රසිද්ධ ණය දීමේ ආයතන ඔවුන්ගේ අවදානම් සහිත ව්‍යාපාරවලට කොහොමටවත් මුදල් නොදෙන නිසා, සමහර ක්‍රිස්තියානීන් සහෝදර සහෝදරියන්ගෙන් ව්‍යාපාර ණය ඉල්ලනවා. එතරම් වැඩක් කරන්නේ නැතුව, සමහරවිට කිසිම වැඩක් කරන්නේ නැතුව, නිකම්ම තම මුදල් යෙදීමෙන් ඉක්මනින්ම විශාල ධන සම්භාරයක් උපයාගත හැකි බව විශ්වාස කරන්න තරම් සමහරුන් මුළා වෙලා තියෙනවා. සමහරුන් යම් මුදලක් යෙදවීමට ආකර්ෂණය වන්නේ ඒ හා සම්බන්ධ වී තියෙන මහත් අපේක්ෂාවන් නිසයි. කොහොම වුණත් මෙසේ කිරීමෙන් ජීවිත කාලය පුරා කළ ඉතිරි කිරීම් නැති වෙලා තියෙනවා! සති දෙකක් තරම් කෙටි කාලයක් තුළ සීයට 25ක ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන්, එක් සහෝදරයෙක් විශාල මුදලක් ආයෝජනය කළා. බංකොලොත්භාවය ප්‍රකාශ කරනු ලැබූ විට, ඔහුට එම සම්පූර්ණ මුදලම නැති වී ගියා. තවත් ව්‍යාපාරයකදී, නිශ්චල දේපොළ ව්‍යාපාරිකයෙක් සභාවේ වෙනත් අයගෙන් විශාල මුදල් සම්භාරයක් ණයට ගත්තා. අසාමාන්‍ය විදිහට අධික ලාභයක් ලබා දෙන බවට පොරොන්දු වුණත් ඔහු බංකොලොත් වී, ණයට ගත් අරමුදල්ද නැති කරගත්තා.
ව්‍යාපාර අසාර්ථක වන විට
11. ගිජුකම සහ මුදලට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් පාවුල් දුන්නේ මොන උපදේශයක්ද?
11 අවදානම් සහිත ව්‍යාපාරවලට හවුල් වූ ඇතැම් ක්‍රිස්තියානීන් අසාර්ථක වීම් අද්දැකපු නිසා, ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී තියෙනවා; සමහරදෙනෙකුගේ ආත්මිකත්වය පවා හීන වී ගොස් තියෙනවා. රැකවරණයක් හැටියට විචාර බුද්ධිය මත රඳා සිටීමට අපොහොසත් වූ නිසා, හෘද වේදනාත් අමනාපත් ඇති වෙලා තියෙනවා. බොහෝදෙනෙක් ගිජුකමේ මලපතට හසු වෙලා තියෙනවා. පාවුල් මෙහෙම ලිව්වා: “තණ්හාවද [ගිජුකම, NW] නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.” (එපීස 5:3) ඔහු මෙහෙමත් අවවාද කළා: “කෙසේවෙතත්, ධනවත් වීමට අදිටන් කරන අය, පරීක්ෂාවකට සහ මලපතකට මෙන්ම තේරුමක් නැති, වේදනාකාරි ආශාවන් රැසකට හසු වෙති; මින් මනුෂ්‍යයන්ව විනාශයට සහ නාස්තියට ඇද වට්ටවයි.” “මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, NW, 10.
12. ක්‍රිස්තියානීන් එකිනෙකා සමඟ ව්‍යාපාර ගනුදෙනු සිදු කරනවා නම්, ඔවුන් විශේෂයෙන්ම මතක තබාගත යුත්තේ මොකක්ද?
12 ක්‍රිස්තියානියෙක් මුදල් සඳහා ප්‍රේමයක් වර්ධනය කරගත්තොත්, ඔහු තමාට මහත් ආත්මික හානියක් සිදු කරගනීවි. ඵරිසිවරුන් මුදලට ආශා කළ අය වූ අතර, මෙය මෙම අන්තිම දවස්වල බොහෝදෙනෙකුගේ ගතිලක්ෂණයක් වෙනවා. (ලූක් 16:14; 2 තිමෝති 3:1, 2) ඊට වෙනස්ව, ක්රිස්තියානියෙක්ගේ ජීවන රටාව “මුදලට ප්‍රේම කිරීමෙන් නිදහස්” විය යුතුයි. (හෙබ්‍රෙව් 13:5, NW) ක්‍රිස්තියානීන්ට එකිනෙකා සමඟ ගනුදෙනු කරන්න හෝ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කොහොම වුණත්, ඔවුන් ඒ වගේ දේවල් කරන විට, ඒ සම්බන්ධයෙන් කරන සාකච්ඡා හා ගනුදෙනු සභාවේ කටයුතුවලින් බැහැරව කළ යුතුයි. මේකත් මතක තියාගන්න: ආත්මික සහෝදරයන් අතර පවා, ව්‍යාපාර ගිවිසුම් හැමවිටම ලිඛිතව කරන්න. එක්දහස් නවසිය අසූතුනේ පෙබරවාරි 8 එවේක්!හි 13 සිට 15වන පිටුව දක්වා ඇති “පුට් ඉට් ඉන් රයිටිං!” (ලිඛිතව කරගන්න!) යන ලිපිය මේ සම්බන්ධයෙන් ප්‍රයෝජනවත්.
13. හිතෝපදේශ 22:7 ව්‍යාපාර කටයුතුවලට ඔබ අදාළ කරන්නේ කොහොමද?
13 හිතෝපදේශ 22:7 අපිට මෙහෙම කියනවා: “ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.” අපි, අපව නැතහොත් අපේ සහෝදරයාව මෙහෙකරුවෙක්ගේ තත්වයට දමන එක බොහෝදුරට නුවණට හුරු දෙයක් නෙවෙයි. යම් ව්‍යාපාර කටයුත්තක් සඳහා කෙනෙක් අපෙන් මුදල් ණයට ඉල්ලුවොත්, එම මුදල ආපසු ගෙවන්න ඔහුට තියෙන හැකියාව සැලකිල්ලට ගැනීම යෝග්‍යයි. ඔහු විශ්වාසය තබන්න පුළුවන් කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා තියෙනවාද? හැබැයි, ව්‍යාපාර බොහොමයක් අසාර්ථක වන නිසා, එවැනි ණයක් දීමෙන් ඇතැම්විට මුදල් නැති විය හැකි බව අපි තේරුම්ගන්න ඕනේ. ගිවිසුමක් කළ පළියට, ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් යම් ව්‍යාපාරයකට මුදල් දාද්දී, හදිස්සියේම පාඩුවක් වෙන්න පුළුවන් හින්දා, පසුවට ඕනෙ වෙන මුදලක් යට කරන එක නුවණට හුරු දෙයක් වෙන්නේ නැති බව සහතිකයි.
14. ව්‍යාපාරය අසාර්ථක වන සෙසු ක්‍රිස්තියානියෙකුට මුදල් ණයට දීලා තිබෙන විට, අපට විචාර බුද්ධිය පෙන්නන්න අවශ්‍යතාවක් තියෙන්නේ ඇයි?
14 ව්‍යාපාරික කටයුත්තක් සඳහා අපි ක්‍රිස්තියානියෙක්ට මුදල් ණයට දී, යම් වංක ක්‍රියාවකින් නොවුවත් එම මුදල් නැති වුණා නම්, අපි විචාර බුද්ධිය පෙන්නුම් කරන්න අවශ්‍යයි. ව්‍යාපාරය අසාර්ථක වුණේ අපෙන් මුදල් ණයට ඉල්ලූ සෙසු ඇදහිලිවන්තයාගේ වරදකින් නෙවෙයි නම්, අපට යම් ආකාරයකින් අසාධාරණයක් කරලා තියෙනවා කියලා අපට කියන්න පුළුවන්ද? නෑ, එහෙම කියන්න බැහැ; හේතුව අපි එම ණය දුන්නේ අපේම කැමැත්තෙන්; සමහරවිට අපි ඒකෙන් යම් පොලියකුත් ලබාගෙන තිබුණා වෙන්න පුළුවන්; ඒ වගේම කිසිම වංක දෙයක් සිදු වෙලා නැහැ. වංකකමක් ඒකට සම්බන්ධ වී තිබුණේ නැති නිසා, එම ණය අපෙන් ගත්ත තැනැත්තාට විරුද්ධව නඩු පැවරීමට අපට කිසිම පදනමක් නැහැ. ඇත්තෙන්ම, හොඳ චේතනාවකින් ආරම්භ කළ ව්‍යාපාරයක් අසාර්ථක වූ නිසා, නීතියේ පිහිට පතා, බංකොලොත්භාවය ලබාගන්න සිදු වූ අවංක සෙසු ක්‍රිස්තියානි භක්තිකයෙක්ට විරුද්ධව නඩු දමන එකෙන් සිදු වන යහපත මොකක්ද?—1 කොරින්ති 6:1.
15. බංකොලොත්භාවය ප්‍රකාශ කරනවා නම්, සැලකිල්ලට ගත යුත්තේ මොන සාධකද?
15 ව්‍යාපාරයක් අසාර්ථක වන එක අද්දකින අය සමහරවිට සහනයක් සොයන්නේ, නීතියේ පිහිට පතා බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන්. ණය වී සිටීම ක්‍රිස්තියානීන් සුළු කොට සලකන්නේ නැති නිසා, සමහර ණය සම්බන්ධයෙන් නීතියෙන් නිදහසක් ලැබුණාට පසුව පවා, හිටපු ණයහිමියන් ගෙවීම පිළිගන්නවා නම්, අවලංගු කළ ණය ගෙවා දැමීමට තමුන් බැඳිලා ඉන්නවා කියලා සමහරුන්ට දැනිලා තියෙනවා. ඒත් නිකං හරි තැනැත්තෙක් තමාගේ සහෝදරයාගෙන් මුදල් ණයට ඉල්ලාගෙන, ඒක නැති වුණාටත් පස්සේ, සුඛෝපභෝගී විදිහට ජීවත් වෙනවා නං? එසේ නැතහොත්, ණය ලබාගත් තැනැත්තා ණයට ගත් මුදල ආපසු ගෙවීමට තරම් අවශ්‍ය අරමුදල් උපයාගත්තත්, මුදල් ආපසු ලබා දීමට තම සහෝදරයා කෙරෙහි තියෙන්න පුළුවන් සදාචාරමය වගකීම නොසලකා හැරියා නම්? එවැනි තත්වයක් යටතේ, ණයට ඉල්ලන්නාට සභාවේ වගකීම් දරන්න සුදුසුකම් තියේද යන්න ගැන සැක මතු වෙනවා.—1 තිමෝති 3:3, 8; මුරටැඹ 1994 සැප්තැම්බර් 15, 30-1 පිටු බලන්න.
වංචාවක් සිදු වෙලා තියෙනවා නම්?
16. අපි ව්‍යාපාරික වංචාවකට ගොදුරු වී තියෙනවා කියලා පේනවා නම්, ගත හැක්කේ මොන පියවරද?
16 හැම මුදල් ආයෝජනයකින්ම ලාභ නොලැබෙන බව තේරුම්ගැනීමට විචාර බුද්ධිය අපට උපකාරයක් වෙනවා. ඒත්, වංචාවක් කරලා තියෙනවා නම්? වංචාව කියන්නේ, “යමෙකුට අයිති වටිනා දෙයක් හෝ නීත්‍යනුකූලව ඔහුට අයිති දෙයක් අත්හැරීමට පොලඹවාගැනීමේ අරමුණෙන් රැවටිලි, ප්‍රයෝග හෝ සැබෑව විකෘති කොට දැක්වීම ආදිය හිතා මතා උපයෝගි කරගැනීමයි.” සෙසු ක්‍රිස්තියානියෙක් තමාට වංචාවක් කර තියෙනවා කියා පුද්ගලයෙක්ට හැඟෙන විට, ගත යුතු ක්‍රියාමාර්ගය යේසුස් ක්‍රිස්තුස් පැහැදිලිව විස්තර කළා. මතෙව් 18:15-17ට අනුව, යේසු මෙසේ පැවසුවා: “නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය. නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න. ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.” ඊළඟට යේසුස් දුන් උපමාවෙන් පැහැදිලි වන්නේ, වංචාව ඇතුළුව මූල්‍යමය කාරණා හා සම්බන්ධ පාප ඔහුගේ මනසෙහි තිබුණු බවයි.—මතෙව් 18:23-35.
17, 18. තමා ක්‍රිස්තියානි කියලා කියන කෙනෙක් අපට වංචාවක් කරනවා නම්, විචාර බුද්ධිය අපට රැකවරණයක් විය හැක්කේ කොහොමද?
17 ව්‍යාපාර කටයුතුවලදී, වංචාවක් සිදු වූ බවට සාක්ෂිවත්, ඉඟියක්වත් නැත්නම්, මතෙව් 18:15-17 දක්වා තියෙන පියවර ගැනීමට ශුද්ධ ලියවිලිමය පදනමක් නැහැ. ඒත්, තමා ක්‍රිස්තියානියෙක් කියා කියන කෙනෙක් ඇත්තෙන්ම අපට වංචාවක් කළා නම්? සභාවේ හොඳ නම අනතුරෙහි හෙළිය හැකි යම් ක්‍රියාමාර්ගයක් නොගැනීමට විචාර බුද්ධිය අපට රැකවරණයක් වෙන්න පුළුවන්. සහෝදරයෙක්ව උසාවියට ගෙනියන්නේ නැතුව, අයුක්තියක නැතහොත් වංචාවක පාඩුව විඳීමට ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට අවවාද කළා.—1 කොරින්ති 6:7.
18 බාර්-යේසුස් නම් මායාකාරයා වගේ අපේ සැබෑ සහෝදර සහෝදරියන් “සියලු වංචාවෙන් හා සියලු දුෂ්ටකමින් පූර්ණ” අය නෙවෙයි. (ක්‍රියා 13:6-12) එබැවින් සෙසු ඇදහිලිවන්තයන් සම්බන්ධ වන ව්‍යාපාර කටයුතුවලදී මුදල් නැති වන විට, අපි විචාර බුද්ධිය පාවිච්චි කරමු. අපි නීතික පියවර ගන්න එක ගැන කල්පනා කරනවා නම්, එය පෞද්ගලිකව අපටත්, අනිත් තැනැත්තාට හෝ තැනැත්තන්ටත්, සභාවට හා පිටස්තර අයටත් බලපෑ හැකි ආකාරය ගැන අපි සලකා බැලිය යුතුයි. වන්දි ලබාගන්න වෙර දැරීම අපේ කාලයෙන්, ශ්‍රමයෙන් හා සම්පත්වලින් විශාල ප්‍රමාණයක් කා දැමිය හැකියි. ඇත්තෙන්ම එහි එකම ප්‍රතිඵලය නීතිඥයන් හා වෙනත් වෘත්තිකයන් තමන්ගේ මඩි තර කරගන්න එක වෙන්න පුළුවන්. කනගාටුවට කරුණක් තමයි, එතරම් වැදගත් නැති මේ දේවල ඇලී ගැලී සිටීම නිසා සමහර ක්‍රිස්තියානීන්ට තම දිව්‍යාණ්ඩු වරප්‍රසාද පරිත්‍යාග කරන්න සිදු වී තියෙන එක. මෙයාකාරයෙන් අපේ අවධානය වෙනතකට යොමුවීම නිසා, සාතන් ඉමහත් සේ ප්‍රීති වෙනවා ඇති. ඒත් අපිට ඕනෙ යෙහෝවාගේ හෘදය සතුටු කරන්න. (හිතෝපදේශ 27:11) අනික් අතට, අපි පාඩුවක් දරාගන්නවා නම්, අපිට ඉමහත් හෘද වේදනාවන් මඟහැරිය හැකි අතර, අපෙත් වැඩිමහල්ලන්ගෙත් කාලය අපතේ යවන එකත් වළක්වාගන්න පුළුවන්. එය සභාවේ සමාදානය රැකගැනීම සඳහා දායක වන අතර, දිගටම රාජ්‍යය පළමුකොට සොයන්න අපට ඉවහල් වේවි.
විචාර බුද්ධිය සහ තීරණ ගැනීම
19. අපි පීඩාකාරි තීරණ ගන්න කොට, ආත්මික විචාර බුද්ධිය සහ යාච්ඤාවට අපි වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද?
19 මූල්‍යමය හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සෑහෙන පීඩාකාරි අද්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් අදාළ සාධක කිරා මැන බලා ඥානවන්ත තීරණ ගැනීමට ආත්මික විචාර බුද්ධිය අපිට උපකාරයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, යෙහෝවා කෙරෙහි යාච්ඤාපූර්වකව රඳා සිටීම අපට ‘දෙවිගේ සමාදානය’ ලබා දිය හැකියි. (පිලිප්පි 4:6, 7) එය යෙහෝවා සමඟ කිට්ටු පෞද්ගලික සම්බන්ධතාවක් හේතුවෙන් භුක්ති විඳින සන්සුන්කමක් හා ශාන්තභාවයක්. අමාරු තීරණ ගන්න අපිට සිදු වෙන කොට, අපේ සමබරතාව පවත්වාගන්න එවැනි සමාදානයකට අපට උපකාර කරන්න පුළුවන් බව සහතිකයි.
20. ව්‍යාපාරික කටයුතු සහ සභාවේ කාරණා ගත්තහම, අපි අදිටන් කරගත යුත්තේ කුමක් කරන්නද?
20 ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ එකඟ නොවීම්, අපේ සමාදානයටවත් සභාවේ සමාදානයටවත් බාධාවක් කර නොගැනීම අපි අපේ අධිෂ්ඨානය කරගනිමු. ක්‍රිස්තියානි සභාව ක්‍රියාත්මක වෙන්නේ වාණිජ්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් හැටියට නොව, නමුත් අපට ආත්මික උපකාර පිරිනැමීම සඳහා බව අප මතක තබාගත යුතුයි. සෑම අවස්ථාවකම ව්‍යාපාර කටයුතු සභාවේ කටයුතුවලින් වෙන් කර තබාගත යුතුයි. ව්‍යාපාර කටයුත්තකට අතගසන විට විචාර බුද්ධියෙන් හා පරෙස්සමින් කටයුතු කිරීම අවශ්‍යයි. එමෙන්ම අපි සෑමවිටම ව්‍යාපාර කටයුතු ගැන සමබර දෘෂ්ටියක් පවත්වමින්, රාජ්‍ය කටයුතුවලට පළමු තැන දෙමු. සෙසු නමස්කාරකයන් සම්බන්ධ ව්‍යාපාරයක් අසාර්ථක වේ නම්, සියලුදෙනාටම සෙත සැලසෙන ආකාරයකින් අපි කටයුතු කරමු.
21. විචාර බුද්ධිය පාවිච්චි කරලා පිලිප්පි 1:9-11ට එකඟව ක්‍රියා කරන්න අපට පුළුවන් වෙන්නේ කොහොමද?
21 මූල්‍යමය කාරණා සහ වැදගත්කමින් අඩු වෙනත් දේවල් ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වෙන්නේ නැතුව, අපි සියලුදෙනාම අපේ හෘද විචාර බුද්ධියට නැඹුරු කරමු; දෙවිගේ මඟ පෙන්වීම සඳහා යාච්ඤා කරමු; රාජ්‍ය කටයුතුවලට මුල් තැන දෙමු. පාවුල්ගේ යාච්ඤාවට එකඟව, ‘අපට වඩාත් වැදගත් දේවල් ඒත්තුගත හැකි වන පිණිස, අපේ ප්‍රේමය ඒකාන්ත දැනුමෙන් හා සියලු ආකාර විචාර බුද්ධියෙන් තව වඩ වඩා බොහෝ’ වේවා! එමෙන්ම ‘අනුන්වත්’ අපවත් ‘බාධාවට හේතු නොවන අන්දමින්’ අපි කටයුතු කරමු. දැන් ක්‍රිස්තු රජ තම ස්වර්ගික සිංහාසනයෙහි සිටින නිසා, ජීවිතයේ සෑම අංගයකදීම අපි ආත්මික විචාර බුද්ධිය පෙන්වමු. එමෙන්ම ‘යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන’ පරමාධිපති ස්වාමීන් වන යෙහෝවා ‘දෙවිට ගෞරවය හා ප්‍රශංසාව’ ගෙන දීම සඳහා, ‘අපි ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව’ සිටිමු.—පිලිප්පි 1:9-11.
ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?
◻ විචාර බුද්ධිය කියන්නේ මොකක්ද?
◻ ක්‍රිස්තියානීන් අතර කෙරෙන ව්‍යාපාර කටයුතුවලදී විචාර බුද්ධිය පෙන්නන්න විශේෂ අවශ්‍යතාවක් තියෙන්නේ ඇයි?
◻ සෙසු ඇදහිලිවන්තයෙක් අපිට වංචාවක් කරලා තියෙනවා කියලා අපිට හැඟෙනවා නම්, විචාර බුද්ධිය අපට උපකාරයක් විය හැක්කේ කොහොමද?
◻ තීරණ ගැනීමේදී විචාර බුද්ධියට හිමි විය යුත්තේ මොන වැඩකොටසද?
[18වන පිටුවේ පින්තූරය]
පළමුකොට රාජ්‍යය සොයමින් සිටින්න කියලා යේසු දුන් උපදේශය අදාළ කරගන්න, විචාර බුද්ධිය අපිට උපකාරයක් වේවි
[20වන පිටුවේ පින්තූර]
ව්‍යාපාරික ගිවිසුම් හැමවිටම ලිඛිතව කරගන්න