ප්‍රංශයේ බොරු චෝදනා ව්‍යර්ථ කිරීම
මෑතකදී ප්‍රංශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොරු චෝදනා කන්දරාවකට ඉලක්ක වුණා. යුරෝපයේ හා ජපානයේ ආගමික ලබ්ධීන් හා සම්බන්ධව සිදු වූ කනගාටුදායක සිදුවීම්වලින් උපරිම ප්‍රයෝජන ගෙන, ජනසන්නිවේදන මාධ්‍ය සාක්ෂිකරුවන් පිළිබඳ විකෘති කරවන තොරතුරු පැතුරුවා. ලබ්ධීන් අතුරෙන් වඩාත් විශාලතම හා භයානකම ලබ්ධිය හැටියට වැරදිසහගත ලෙස ඔවුන්ව රාමු කළා.
සියලුම කාරණා හරිගස්සවන්න දැරූ වෑයමක් හැටියට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙවැනි ප්‍රශ්නවලට උත්තර සපයන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළා: යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද? ඔවුන් ක්‍රිස්තියානීන්ද? ඔවුන් වෛද්‍යමය සාත්තුව පිළිගන්නවාද? ඔවුන් ගෙයින් ගෙට යන්නේ ඇයි? ඔවුන්ගේ වැඩවලට මූල්‍යමය සහය ලැබෙන්නේ කොහොමද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සමාජයට ඇති යහපත මොකක්ද?
ප්‍රංශ භාෂාවෙන් වූ මෙම තොරතුරුමය පත්‍රිකාවේ තේමාව වූයේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔබ දැනගත යුතු දෑ යන්නයි. එම පත්‍රිකාව හැකි සෑම කෙනෙකුගේම අතට පත් කිරීමේ අරමුණෙන්, ඒවා බෙදාහැරීමට ප්රයත්නයක් දියත් කරනු ලැබුවා. එක්දහස් නවසිය අනූහයේ මැයි 13 සිට ජූනි 9වන දින දක්වා, පිටපත් මිලියන නවයකට අධික සංඛ්‍යාවක් බෙදා දෙනු ලැබුවා.
පොදු නිලධාරීන්ගේ ඇතුළු බොහෝදෙනෙකුගේ සිත් මෙම පත්‍රිකාව වෙතට ඇදී ගියා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එල්ල කළ විවේචනයන් දුටු විට මට ඇති වෙන්නෙ පුදුමාකාර කේන්තියක්” යයි ප්‍රාදේශීය සභිකයෙක් පත්‍රිකාව කියවීමෙන් පසු ලිව්වා. “මම ඕගොල්ලන් කරන ත්‍යාගශීලී හා පරාර්ථකාමී වැඩ ගොඩක් වෙලාවට අගය කරලා තියෙනවා.” මෙම පත්‍රිකාවට ප්‍රතිචාරයක් හැටියට, යුරෝපීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් මෙසේ ලිව්වා: “ඕගොල්ලන් බැඳිලා ඉන්න ක්‍රිස්තියානි කණ්ඩායම හා වෙනත් ලබ්ධීන් අතර තියෙන වෙනස මිනිසුන් වැඩි හරියකට හඳුනාගන්න එපමණ අමාරු නැහැ.”
බ්රිටනිහිදී එක් සාක්ෂිකරුවෙක් පූජකයෙකුට ඒ පත්‍රිකාව ඉදිරිපත් කළ අතර, ඔහු එය ඉතා සතුටෙන් භාරගත්තා. “ඕගොල්ලන් කරන දේට මම ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනෙ” යයි පූජකයා කිව්වා. ඔහු තවදුරටත් මෙසේ එකතු කළා: “මම මගේ මීසමේ අයට කිව්වා ඕගොල්ලන්ව ගෙදරට අඬගහගෙන තේ කෝප්පයක් එහෙම වක්කරලා දෙන්න කියලා. ඕගොල්ලන්ට සේවයේදී හම්බ වෙන අයට වුණත් කියන්න ඕගොල්ලන් මගේ ගෙදරටත් ආවා කියලා. ඒ වගේම මම තවත් දෙයක් කියන්න කැමතියි; මම ඕගොල්ලන්ගේ ප්‍රකාශන කියවන එකෙන් ලොකු ආස්වාදයක් ලබනවා.”
මෙම පත්‍රිකාව කියවීමෙන් පසු, අල්සස්හි එක් රෙපරමාදු භක්තිකයෙක් බයිබල් පාඩමකට ඉල්ලුම් කරමින් වොච් ටව’ සමිතියට ලිව්වා. “පල්ලිය ගැන තියෙන මගේ විශ්වාසය නැති වෙලා තියෙන එකේ, දැන් ආත්මිකව අලුතෙන් පටන්ගන්න මම කල්පනා කරනවා.” ඔවුන්ට විරුද්ධව එල්ල කරන බොරු චෝදනා මධ්‍යයේ, ප්‍රංශයේ—ඇත්තටම ලෝකයේ සෑම කොටසකම—සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයේ ඉදිරිපත් කර තියෙන ආකාරයට, දෙවිගේ අරමුණු පිළිබඳ ඒකාන්ත දැනුමක් ඇති තත්වයකට පැමිණෙන්න මිනිසුන්ට උපකාර කරමින් ඉන්නවා.—2 තිමෝති 3:16.