දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
“දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.”—1 යොහන් 5:3.
1, 2. පිළිගත හැකි අන්දමකින් තමන්ට නමස්කාර කිරීමට කැමති අය සඳහා දෙවිට ඕනෑ කරන දේවල් තිබීම ගැන පුදුම නොවිය යුත්තේ ඇයි?
“මගේ ආගම මට හොඳයි!” බොහෝවිට ජනයා එහෙම කියන්නේ නැද්ද? ඒත්, හරි නම්, ප්‍රශ්නය මෙය විය යුතුයි: “මගේ ආගම දෙවිට සතුට ගෙන දෙයිද?” ඔව්, පිළිගත හැකි අන්දමකින් තමන්ට නමස්කාර කිරීමට කැමති අය සඳහා දෙවිට ඕනෑ කරන දේවල් තිබෙනවා. මෙය අපව පුදුමයට පත් කළ යුතුද? ඇත්තෙන්ම නැහැ. මහත් වියදමක් දරා මෑතකදී අලුත්වැඩියා කළ අලංකාර ගෙයක් ඔබට අයිතියයි සිතන්න. ඕනෑම කෙනෙකුට එහි පදිංචි වීමට ඔබ ඉඩ දෙනවාද? කිසිසේත් නැහැ! එය කුලියට ගන්න කැමති ඕනෑම කෙනෙක් ඔබේ කොන්දේසිවලට යටත් විය යුතුයි.
2 ඒ හා සමානව, යෙහෝවා දෙවි මෙම භූමික නිවස මිනිස් පවුල සඳහා සපයා දී තිබෙනවා. නුදුරු අනාගතයේදී, ඔහුගේ රාජ්‍යයේ පාලනය යටතේ පොළොව “අලුත්වැඩියා” කර, අලංකාර පාරාදීසයක් බවට පරිවර්තනය කරනු ලබනවා. මෙය ඉටු කරන්න යන්නේ යෙහෝවායි. ඔහු මහත් පාඩුවක් විඳ තම ඒකජාතක පුත්‍රයාව දුන්නේ ඒ දේ සැබෑ කිරීමටයි. එහි ජීවත්වීමට බලාපොරොත්තු වන අයගෙන් දෙවිට යමක් ඕනෑ කරන බවට කිසිම සැකයක් නැහැ!—ගීතාවලිය 115:16; මතෙව් 6:9, 10; යොහන් 3:16.
3. දෙවි අපෙන් අපේක්ෂා කරන දේ සාලමොන් කැටි කොට දැක්වූයේ කොහොමද?
3 දෙවිට ඕනෑ කරන දේවල් මොනවාද කියා අපට දැනගන්න පුළුවන් වන්නේ කොහොමද? අපෙන් අපේක්ෂා කරන දේ කැටි කොට දැක්වීමට, යෙහෝවා ප්‍රඥාවන්ත සාලමොන් රජුට ආනුභාවය දුන්නා. ධනය, ඉදි කිරීමේ ව්‍යාපෘති, සංගීතයේ රස විඳීම හා ආලය ඇතුළුව, තමා හඹා ගිය සෑම දෙයක් ගැනම සන්සුන්ව කල්පනා කර බැලීමෙන් පසු, සාලමොන් මෙම නිගමනයට එළඹුණා: “මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය [මිනිසාගේ මුළු යුතුකම එයයි, NW].”—දේශනාකාරයා 12:13, නව අනුවාදය; ඇල අකුරු අපේය.
‘ඔහුගේ ආඥා බර නැත’
4-6. (අ) “බර” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙහි පදගතාර්ථ තේරුම මොකක්ද? (ආ) දෙවිගේ ආඥා බර නැති බව අපට පැවසිය හැක්කේ ඇයි?
4 “එතුමන්ගේ ආඥා පිළිපදින්න.” දෙවි මූලිකව අපෙන් අපේක්ෂා කරන්නේ එයයි. ඔහු එවන් දෙයක් අපෙන් ඉල්ලා සිටීම ඕනෑවට වඩා වැඩි දෙයක්ද? කිසිසේත් නැහැ. දෙවිගේ ආඥා නොහොත් අවශ්‍යතා ගැන ප්‍රේරිත යොහන් අපට මහත් දිරියක් ගෙන දෙන යමක් කියයි. ඔහු මෙසේ ලිව්වා: “දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.”—1 යොහන් 5:3.
5 “බර” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙහි පදගතාර්ථ තේරුම “උසුලන්ට අමාරු” යන්නයි. අත් කරගැනීමට දුෂ්කර හෝ ඉටු කිරීමට අමාරු දෙයක් එයින් දක්වන්න පුළුවන්. ලියන්නන් සහ ඵරිසිවරුන් ජනයා පිට පැටවූ “උසුලන්ට අමාරු මහත් බර,” ඒ කියන්නේ මිනිසුන් සම්පාදනය කළ නීති හා සම්ප්‍රදායන් විස්තර කිරීමට, ඒ වචනයම මතෙව් 23:4හි භාවිත කර තිබෙනවා (ඇල අකුරු අපේය). මහලු ප්‍රේරිත යොහන් එළඹුණු නිගමනයෙහි තේරුම ඔබට පැහැදිලිද? දෙවිගේ ආඥා දරාගත නොහැකි බරක් නොවේ. ඒවා අපට පිළිපදින්න බැරි තරම් අමාරු ඒවා කියාත් කියන්න බැහැ. (ද්විතීය කථාව 30:11, සසඳන්න.) ඇත්තෙන්ම, අප දෙවිට ප්‍රේම කරන විට, ඔහුට ඕනෑ කරන දෙයට අනුකූල වීම, අපේ සන්තෝෂයට හේතු වෙනවා. යෙහෝවාට අපේ ප්‍රේමය පෙන්වීම සඳහා එය අපහට අනගි ප්‍රස්තාවක් ලබා දෙනවා.
6 දෙවිට අපේ ප්‍රේමය පෙන්වීමට නම්, ඔහු අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න අප නිශ්චිත ලෙස දැන සිටිය යුතුයි. දෙවිට ඕනෑ කරන දේවල් පහක් අපි දැන් සලකා බලමු. අප එසේ කරද්දී, යොහන් පැවසූ දෙය සිහියේ තබාගන්න: ‘දෙවිගේ ආඥා බර නැත.’
දෙවි ගැන දැනුම ලබාගැනීම
7. අපේ ගැළවීම රඳා පවතින්නේ කුමක් මතද?
7 ඕනෑ කරන පළමුවන දෙය දෙවි ගැන දැනුම ලබාගැනීමයි. යොහන් 17වන පරිච්ඡේදයෙහි වාර්තා කර තිබෙන යේසුගේ වචන සලකා බලන්න. අවස්ථාව: මිනිසෙකු වශයෙන් යේසු ගත කළ අන්තිම රාත්‍රිය. යේසු තම පිටත් වී යෑමට ප්‍රේරිතයන්ව සූදානම් කිරීම සඳහා, සැන්දෑවෙන් වැඩිහරියක් ගත කර තිබුණා. ඔහු ඔවුන්ගේ අනාගතය—ඔවුන්ගේ සදාකාලික අනාගතය ගැන ඉමහත් සැලකිල්ලෙන් සිටියා. ස්වර්ගය දෙසට ඇස් ඔසවා, ඔහු ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළා. තුන්වන පදයෙහි [NW] අපට මෙසේ කියවීමට තිබෙනවා: “මින් සදාකාල ජීවනය අදහස් කෙරේ; එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” ඔව්, ඔවුන්ගේ ගැළවීම රඳා පැවතුණේ, දෙවි හා ක්‍රිස්තුස් යන දෙදෙනා පිළිබඳව “දැනුම ලබාගැනීම” මතයි. එය අපටත් අදාළ වෙනවා. ගැළවීම ලබාගැනීමට නම්, අප එවන් දැනුමක් ලබාගත යුතුමයි.
8. දෙවි ගැන “දැනුම ලබාගැනීම” යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද?
8 දෙවි ගැන “දැනුම ලබාගැනීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙහිදී “දැනුම ලබාගැනීම” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙහි, “ඇඳිනගැනීම, පිළිගැනීම,” නැතහොත් “සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීම” යන අර්ථය ගැබ් වී තිබෙනවා. “දැනුම ලබාගැනීම” යන යෙදුමෙන් මෙය නිරන්තර ක්‍රියාපිළිවෙළක් කියා අඟවන බවත් සැලකිල්ලට ගන්න. එසේනම්, දෙවි ගැන දැනුම ලබාගැනීමෙන් අදහස් කරන්නේ මතුපිටින් නොව, නමුත් ඔහුව සමීපව දැනහඳුනා ගැනීමයි—ඒ කියන්නේ ඔහු සමඟ අවබෝධයකින් යුත් මිත්‍රත්වයක් වර්ධනය කරගැනීමයි. දෙවි සමඟ දිගටම පවත්වන සම්බන්ධයක්, ඔහු ගැන දිගින්දිගටම වර්ධනය වන දැනුමක් ලබාගැනීමට දායක වෙයි. යෙහෝවා ගැන දැනගන්න තිබෙන සෑම දෙයක්ම අපට කිසිදාක ඉගෙනගන්න බැරි නිසා, මෙම ක්‍රියාපිළිවෙළ සදහටම පැවතිය හැකියි.—රෝම 11:33.
9. මැවීමේ පොතෙන් අපට යෙහෝවා ගැන ඉගෙනගත හැක්කේ මොනවාද?
9 අප දෙවි පිළිබඳ දැනුම ලබාගන්නේ කොහොමද? අපට උපකාර කළ හැකි පොත් දෙකක් තිබෙනවා. පළමු එක නම්, මැවීමේ පොතයි. යෙහෝවා දෙව් මවා තිබෙන සප්‍රාණික මෙන්ම අප්‍රාණික දේවල්, ඔහු කෙබඳු කෙනෙක්ද කියා අපට යම් දුරකට හොඳ අවබෝධයක් ලබා දෙනවා. (රෝම 1:20) සමහරක් උදාහරණ සලකා බලන්න. දැවැන්ත දියඇල්ලක් මහත් ඝෝෂාවකින් ඇදහැළෙන එක, කුණාටුවකදී මුහුදු රැළි වෙරළට පහර දෙන එක, පැහැදිලි රාත්‍රියක තරුවලින් පිරුණු අහස් කුස—යෙහෝවා “ශක්තියෙන් බලවත්” දෙවිකෙනෙකු බව මේ දේවල් අපට උගන්වන්නේ නැද්ද? (යෙසායා 40:26) තම වලිගය අල්ලගන්න වෑයම් කරන බලු පැටියෙකු නැත්නම් නූල් බෝලයක් සමඟ සෙල්ලම් කරන පූස් පැටියෙකු දැක සිනාසෙන ළමයෙක්—මේවායින් “සන්තෝෂවත් දෙවි” වන යෙහෝවාට හාස්‍ය රසයක් තිබෙන බව අඟවන්නේ නැද්ද? (1 තිමෝති 1:11, NW) ප්‍රණීත ආහාර වේලක රසය, තණ පිටියක මල්වල මිහිරි සුවඳ, සියුමැලි සමනලයෙකුගේ විවිධ වර්ණ, වසන්ත සමයෙහි කුරුල්ලන්ගේ ගී නාදය, ප්‍රේම කරන කෙනෙකුගේ උණුසුම් වැලඳගැනීම—අපේ මැවුම්කරු, අප ජීවිතය භුක්තිවිඳිනවා දකින්ට කැමති, ප්‍රේමයේ දෙවිකෙනෙකු බව මෙවන් දේවලින් අපට පැහැදිලි වෙන්නේ නැද්ද?—1 යොහන් 4:8.
10, 11. (අ) මැවීමේ පොතෙන් අපට යෙහෝවා හා ඔහුගේ අරමුණු ගැන කුමක් ඉගෙනගන්න බැරිද? (ආ) බයිබලයෙන් පමණක් උත්තර සොයාගන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?
10 කෙසේවෙතත්, මැවීම නමැති පොත නිරීක්ෂණය කිරීමෙන් අපට යෙහෝවා ගැන ඉගෙනගත හැකි දෙයට සීමාවක් තිබෙනවා. නිදසුනක් වශයෙන්, දෙවිගේ නම මොකක්ද? ඔහු පොළොව මවා, මනුෂ්‍යවර්ගයා එමත තැබුවේ ඇයි? දෙවි දුෂ්ටකමට ඉඩ දෙන්නේ ඇයි? අපට අනාගතය ගැන තිබෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද? එවැනි ප්‍රශ්නවලට උත්තර ලබාගැනීමට නම්, අප දෙවි පිළිබඳ දැනුම ලබා දෙන අනික් පොත—එනම් බයිබලය—වෙත හැරිය යුතුයි. එහි පිටු තුළින්, යෙහෝවා තම නම, පෞද්ගලිකත්වය හා අරමුණු ඇතුළුව තමා ගැන දේවල් හෙළි කරනවා. මෙම තොරතුරු අපට වෙනත් කිසිම මූලාශ්‍රයකින් ලබාගන්න බැහැ.—නික්මයාම 34:6, 7; ගීතාවලිය 83:17; ආමොස් 3:7.
11 යෙහෝවා, ශුද්ධ ලියවිලිවලින්, අප දැනගත යුතු වෙනත් පුද්ගලයන් ගැනද අතිවැදගත් දැනුමක් සපයයි. නිදසුනක් වශයෙන්, යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද, එමෙන්ම යෙහෝවාගේ අරමුණු ක්‍රියාත්මක වීමේදී ඔහුට තිබෙන වැඩකොටස කුමක්ද? (ක්‍රියා 4:12) සාතන් නමැති යක්ෂයා කියන්නේ කවුද? ඔහු ජනයාව මුළා කරන්නේ මොන ආකාරවලින්ද? ඔහුගේ මුළා කිරීම්වලට හසු නොවී සිටීමට අපට හැකි වෙන්නේ කොහොමද? (1 පේතෘස් 5:8) මෙම ප්‍රශ්නවලට ජීවිත ගළවන උත්තර සොයාගන්න පුළුවන් වන්නේ බයිබලයෙන් පමණි.
12. දෙවි හා ඔහුගේ අරමුණු ගැන දැනුම ලබාගැනීම බරක් නොවන බව ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?
12 දෙවි හා ඔහුගේ අරමුණු ගැන එවැනි දැනුමක් ලබාගැනීම බරක්ද? කිසිසේත් නැහැ! දෙවිගේ නම යෙහෝවා බවත්, ඔහුගේ රාජ්‍යය පොළොව මත නැවත පාරාදීසයක් පිහිටුවන බවත්, ඔහු තම ප්‍රේමවන්ත පුත්‍රයාව අපේ පව් වෙනුවෙන් මිදීමේ මිලයක් හැටියට දුන් බවත්, වෙනත් අනර්ඝ සත්‍යතාත් ඔබ පළමු වරට ඉගෙනගත් විට, ඔබට හැඟුණු ආකාරය මතකද? එය හරියට නොදැනුවත්කමේ තිරයක් ඉවත් කිරීමෙන්, දේවල් පළමු වතාවට පැහැදිලිව දැකගැනීමට ලැබෙනවා හා සමාන අද්දැකීමක් නොවූවාද? දෙවි ගැන දැනුම ලබාගැනීම, බරක් නොව, ඉමහත් ප්‍රීතිය ගෙන දෙන්නක්!—ගීතාවලිය 1:1-3; 119:97.
දෙවිගේ ප්‍රමිතිවලට අනුකූල වීම
13, 14. (අ) දෙවි ගැන දැනුම ලබාගන්නා අතරම, අපේ ජීවිතයේ කුමන වෙනස්කම් කිරීමට අපට සිදු වේවිද? (ආ) දෙවිට ඕනෑ කරන්නේ අප කුමන අපවිත්‍ර පුරුදුවලින් වැළකී සිටීමද?
13 අප දෙවි ගැන දැනුම ලබාගන්නා අතරම, අපේ ජීවිතයේ වෙනස්කම් කරන්න ඕනෑ කියලා අපට අවබෝධ වෙනවා. මෙය දෙවන අවශ්‍යතාව වෙත අපේ අවධානය යොමු කරවනවා. හරි හැසිරීම සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිතිවලට අප අනුකූල විය යුතු අතර, ඔහුගේ සත්‍යය පිළිගත යුතුයි. සත්‍යය කියන්නේ මොකක්ද? අප විශ්වාස කරන දේත්, කරන දේත් දෙවි ඇත්තටම ගණන් ගන්නවාද? අදදින බොහෝදෙනෙක් එලෙස කල්පනා කරන්නේ නැති බව පැහැදිලියි. එක්දහස් නවසිය අනූපහේ එංගලන්ත සභාව පළ කළ වාර්තාවක් යෝජනා කළේ විවාහ නොවී එකට ජීවත්වීම පාපයක් හැටියට සලකන්න බැහැ කියලයි. පල්ලි බිෂොප්වරයෙක් කිව්වේ, “‘විවාහ නොවී එකට ජීවත්වීම’ පව්කාර දෙයක් හැටියට සැලකීම හංවඩු ගැසීමක් වන අතර, එහෙම කියන එක හානිකර වෙන්න පුළුවන්” කියලයි.
14 එසේනම්, “විවාහ නොවී එකට ජීවත්වීම” තවදුරටත් පාපයක් නෙවේද? එලෙස හැසිරීම ගැන යෙහෝවාට හැඟෙන අන්දම, ඔහු අපට ඉතා පැහැදිලිව දන්වයි. ඔහුගේ වචනය වන බයිබලය මෙසේ ප්‍රකාශ කරනවා: “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.” (හෙබ්‍රෙව් 13:4) ලිහිල් ප්‍රතිපත්ති දරන පූජකයන් හා පල්ලියන්නන්ගේ අදහස්වලට අනුව විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම පාපයක් නොවිය හැකි වුවත්, දෙවිගේ ඇස් ඉදිරියෙහි එය බරපතළ පාපයක්! එමෙන්ම කාමමිථ්‍යාචාරය, තහනම් නෑයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම හා සමලිංගික සේවනය ගැනත් කියන්න තිබෙන්නේ එපමණයි. (ලෙවී කථාව 18:6; 1 කොරින්ති 6:9, 10) එබැවින් දෙවි අපවිත්‍රයයි සලකන එවන් පුරුදුවලින් අප වැළකී සිටීම, ඔහුට ඕනෑ කරයි.
15. අප අනුන්ට සලකන ආකාරයත්, විශ්වාස කරන දේත්, දෙවිට ඕනෑ කරන දේට සම්බන්ධ වන්නේ කොහොමද?
15 කෙසේවෙතත්, දෙවි පව්කාරයයි සලකන පුරුදුවලින් වැළකී සිටීම පමණක්ම මදි. අප අනුන්ට සලකන ආකාරයද දෙවිට ඕනෑ කරන දෙයට ඇතුළත් වෙයි. පවුල තුළ පුරුෂයා හා භාර්යාව එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය දැක්වීම ඔහු අපේක්ෂා කරයි. දෙමාපියන් තම දරුවන්ගේ ද්‍රව්‍යමය, ආත්මික හා චිත්තවේගීය අවශ්‍යතා සපුරාලීම දෙවිට ඕනෑ කරයි. තම දෙමාපියන්ට කීකරු වෙන්න කියා ඔහු දරුවන්ට කියයි. (හිතෝපදේශ 22:6; කොලොස්සි 3:18-21) එමෙන්ම අපේ විශ්වාසයන් ගැන කුමක් කියන්න පුළුවන්ද? බොරු ආගමෙන් පැමිණෙන එසේ නැතහොත් බයිබලයේ පැහැදිලි සත්‍යයට විරුද්ධ විශ්වාසයන් හා සිරිත් විරිත්වලින් අප වැළකී සිටීම යෙහෝවා දෙවිට ඕනෑ කරයි.—ද්විතීය කථාව 18:9-13; 2 කොරින්ති 6:14-17.
16. හරි හැසිරීම සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිතිවලට අනුකූල වී සත්‍යය පිළිගැනීම අපට බරක් නොවන්නේ ඇයි කියා පැහැදිලි කරන්න.
16 හරි හැසිරීම සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිතිවලට අනුකූල වී සත්‍යය පිළිගැනීම අපට බරක්ද? ද්‍රෝහිකමින් කැඩී බිඳී ගිය විවාහයන් වෙනුවට, එකිනෙකාට ප්‍රේමය හා විශ්වාසය දක්වන අඹුසැමියන් සිටින විවාහ; ප්‍රේමය, සැලකිල්ල දක්වන්නේ නැති බවත්, තම දෙමාපියන්ට තමන්ව වුවමනා නැති බවත් හැඟෙන දරුවන් සිටින පවුල් වෙනුවට, ප්‍රේමය දක්වන බවත් තම දෙමාපියන්ට තමන්ව වුවමනා බවත් දරුවන්ට දැනෙන නිවහන්; වරදසහිතභාවයේ හැඟීම් හා ඒඩ්ස් නැතහොත් ලිංගිකව බෝවන වෙනත් රෝගයකින් බෙලහීන වූ ශරීරයක් වෙනුවට, පිරිසිදු හෘදය සාක්ෂියක් හා හොඳ ශරීර සෞඛ්‍යයක්. මෙවැනි ප්‍රයෝජන සලකා බලන විට, එය බරක් කියා සිතන එකක් නැහැ. යෙහෝවාට ඕනෑ කරන දෙයින්, ජීවිතය භුක්තිවිඳීම සඳහා අපට වුවමනා කිසිම දෙයක් අපෙන් නොවළක්වන බව සහතිකයි!—ද්විතීය කථාව 10:12, 13.
ජීවිතය හා රුධිරයට ගෞරවය දක්වන්න
17. යෙහෝවා ජීවිතය හා රුධිරය සලකන්නේ කෙසේද?
17 ඔබේ ජීවිතය දෙවිගේ ප්‍රමිතිවලට එකඟ කිරීමට වෑයම් කරද්දී, ජීවිතය කෙතරම් අනර්ඝද කියා අගය කිරීමට ඔබ පටන්ගන්නවා. දැන් අපි දෙවිට ඕනෑ කරන තුන්වන දෙය සාකච්ඡා කර බලමු. අප ජීවිතයට හා රුධිරයට ගෞරවය පෙන්විය යුතුයි. ජීවිතය යෙහෝවාට පරිශුද්ධ දෙයක්. එසේ විය යුතුයි; ඇයි කිව්වොත් ඔහු ජීවනයේ උල්පත වන නිසයි. (ගීතාවලිය 36:9) ඒ විතරක් නෙවෙයි, මවකගේ කුසේ සිටින නූපන් දරුවෙකුගේ ජීවිතය පවා යෙහෝවාට අනර්ඝ දෙයක්! (නික්මයාම 21:22, 23) රුධිරය ජීවිතය නියෝජනය කරනවා. එමනිසා, රුධිරයත් දෙවිගේ ඇස් ඉදිරියෙහි පරිශුද්ධ දෙයක්. (ලෙවී කථාව 17:14) එසේනම්, දෙවි ජීවිතය හා රුධිරය සලකන ආකාරයටම අපත් සලකයි කියා අපේක්ෂා කිරීම පුදුමයක් වෙන්න අවශ්‍ය නැහැ.
18. ජීවිතය හා රුධිරය පිළිබඳව යෙහෝවාගේ දෘෂ්ටියට අනුව අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
18 ජීවිතය හා රුධිරය සඳහා ගෞරව දැක්වීමට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? ක්‍රිස්තියානීන් වශයෙන්, නිකම්ම ආස්වාදයක් ලැබීමට අප අපේ ජීවිතය අනිසි අවදානම්වලට ලක් කරන්නේ නැහැ. අප ආරක්ෂාව ගැන සාවධානව සිටින නිසා, අපේ මෝටර් රථ සහ නිවෙස් ආරක්ෂා සහිතව තබාගැනීමට අපි වගබලා ගන්නවා. (ද්විතීය කථාව 22:8) අප දුම්කොළ භාවිත කරන්නේවත්, බුලත්විට හපන්නේවත්, වින්දනය සඳහා ඇබ්බැහි කරවන හා මනස විකෘති කරවන මත්ද්‍රව්‍ය භාවිත කරන්නේවත් නැහැ. (2 කොරින්ති 7:1) ‘ලෙයින් වැළකී සිටින්නයයි’ දෙවි කියන විට අප ඔහුට සවන් දෙන නිසා, වෙනත් පුද්ගලයන්ගේ රුධිරය අප කිසිම ආකාරයකින් ශරීරගත කරන්නේ නැහැ. (ක්‍රියා 15:28, 29) අප ජීවිතයට ඇලුම් වුවත්, දෙවිගේ නීතිය කඩා, ඒ හේතුවෙන් සදාකාල ජීවනය සඳහා අපේ අපේක්ෂාව අනතුරෙහි හෙළමින්, අපේ වර්තමාන ජීවිතය බේරාගැනීමට අප කිසිසේත් වෑයම් කරන්න යන්නේ නැහැ!—මතෙව් 16:25.
19. ජීවිතයට හා රුධිරයට ගෞරව දැක්වීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න.
19 ජීවිතය හා රුධිරය පරිශුද්ධ දෙයක් ලෙස සැලකීම අපට බරක්ද? කිසිසේත් නැත! ටිකක් කල්පනා කර බලන්න. දුම්පානය කිරීමෙන් ඇති වන පෙණහලු පිළිකාවෙන් නිදහස්ව සිටීම බරක්ද? හානිකර මත්ද්‍රව්‍යවලට මානසිකව හා ශාරීරිකව ඇබ්බැහි වීමෙන් බේරීම බරක්ද? රුධිර ප්‍රවේශනයකින් බෝවිය හැකි ඒඩ්ස්, හෙපටයිටිස්, නැතහොත් වෙනත් රෝගයකින් වැළකී සිටීම බරක්ද? එවැනි හානිකර පුරුදු හා ව්‍යවහාරයන්ගෙන් වැළකී සිටීම අපේ ශුභසිද්ධියට දායක වන බව පැහැදිලියි.—යෙසායා 48:17.
20. ජීවිතය පිළිබඳව දෙවිගේ දෘෂ්ටිය අනුගමනය කිරීමෙන් එක් පවුලක් ප්‍රයෝජන ලැබුවේ කෙසේද?
20 මෙම අද්දැකීම සලකා බලන්න. අවුරුදු කිහිපයකට පෙර, එක් සැන්දෑවක, මාස තුනහමාරක් පමණ ගැබ්ගෙන සිටි සාක්ෂිකාර ස්ත්‍රියකට ලේ යන්න පටන්ගත් නිසා, ඇයව වහාම රෝහලට ගෙනයනු ලැබුවා. වෛද්‍යවරයෙක් ඇයව පරීක්ෂා කළායින් පසු, ඔවුන්ට ගබ්සාවක් කිරීමට සිදු වන බව ඔහු හෙදියකට පවසනවා ඇයට ඇසුණා. යෙහෝවා නූපන් දරුවෙකුගේ ජීවිතයක් සලකන ආකාරය දැන සිටි ඇය, ගබ්සාවක් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරමින්, වෛද්‍යවරයාට මෙසේ පැවසුවා: “දරුවාට පණ තියෙනවා නම්, කිසිම දෙයක් කරන්න එපා!” ඇයට ඇතැම් අවස්ථාවලදී ලේ යෑමෙන් දිගටම පීඩා විඳීමට සිදු වුවත්, මාස කිහිපයකට පසු, ඇය සෞඛ්‍යසම්පන්න පිරිමි දරුවෙකු අඩු මාසෙන් ප්‍රසූත කළා; ඒ ළමයාට දැන් අවුරුදු 17යි. ඈ මෙසේ පැහැදිලි කළා: “සිද්ධ වුණ හැම දෙයක්ම අපි පුතාට කිව්වා; ඔහුව කුණු ගොඩකට විසි කළේ නැති එක ගැන ඔහු සතුටු වෙනවා කියා ඔහු කියනවා. ඔහු ජීවතුන් අතර සිටීමට එකම හේතුව අප යෙහෝවාට සේවය කරන නිසා බව ඔහු දන්නවා.” ජීවිතය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය දැරීම මෙම පවුලට බරක් නොවූ බවට කිසි අනුමානයක් නැහැ!
යෙහෝවාගේ සංවිධානය වූ ජනයා සමඟ සේවය කිරීම
21, 22. (අ) යෙහෝවා අපේක්ෂා කරන්නේ අප කවුරුන් සමඟ ඔහුට සේවය කරනවා දකින්නද? (ආ) දෙවිගේ සංවිධානය වූ සෙනඟ හඳුනාගත හැකි වන්නේ කොහොමද?
21 අපේ ජීවිත දෙවිගේ ප්‍රමිතිවලට අනුකූලව හැඩගැසීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීම සම්බන්ධයෙන්, අප සිටින්නේ තනිව නෙවෙයි. පොළොව මත යෙහෝවාට සෙනඟක් සිටින අතර, අප ඔවුන් සමඟ ඔහුට සේවය කිරීම ඔහු අපේක්ෂා කරයි. සතරවන අවශ්‍යතාව මින් අපේ අවධානයට යොමු වෙයි. අප යෙහෝවාගේ ආත්මයේ මඟ පෙන්වීමෙන් කටයුතු කරන සංවිධානය සමඟ ඔහුට සේවය කළ යුතුයි.
22 කෙසේනමුත්, දෙවිගේ සංවිධානය වූ සෙනඟ හඳුනාගත හැක්කේ කෙසේද? ශුද්ධ ලියවිලිවල දක්වා ඇති ප්‍රමිති අනුව බලන කල, ඔවුන් අතර සැබෑ ප්‍රේමයක් තිබෙනවා; ඔවුන්ට බයිබලය සඳහා ගැඹුරු ගෞරවයක් තිබෙනවා; ඔවුන් දෙවිගේ නමට ගරු කරනවා; ඔහුගේ රාජ්‍යය ගැන දේශනා කරනවා; එමෙන්ම ඔවුන් මේ දුෂ්ට ලෝකයේ කොටසක් නෙවෙයි. (මතෙව් 6:9; 24:14; යොහන් 13:34, 35; 17:16, 17) සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ මෙම අංගලක්ෂණ සියල්ල ඇත්තේ මේ පොළොවේ සිටින එකම ආගමික සංවිධානයකට විතරයි: ඒ තමයි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ!
23, 24. යෙහෝවාගේ සංවිධානය වූ සෙනඟ සමඟ ඔහුට සේවය කිරීම බරක් නොවන බව අපට පැහැදිලි කළ හැක්කේ කෙසේද?
23 යෙහෝවාගේ සංවිධානය වූ සෙනඟ සමඟ ඔහුට සේවය කිරීම බරක්ද? කොහෙත්ම නැහැ! ඇත්තෙන්ම, ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙන් යුත් ලෝක ව්‍යාප්ත පවුලක ප්‍රේමය හා උපකාරය ලැබීම අනගි වරප්‍රසාදයක්! (1 පේතෘස් 2:17) මුහුදුබත් වූ නැවකින් බේරී, දියෙහි සිටින ඔබ, නොගිලී සිටීමට මහත් උත්සාහයක් දරනවායයි සිතන්න. ඔබට තවත් දරාගත නොහැකි බව දැනෙන විට, ජීවිතාරක්ෂක බෝට්ටුවකින් ඔබ වෙත අතක් දිගු කරනු ලබයි. ඔව්, බේරී ජීවත් වූ තවත් අය ඉන්නවා! ජීවිතාරක්ෂක බෝට්ටුවේ සිටින ඔබ සියලුදෙනා වෙරළ දෙසට බෝට්ටුව පැදවීමට හවුල් වෙමින්, අතරමඟ බේරී ජීවත් වන තවත් අයව ගොඩගන්නවා.
24 අප ඒ හා සමාන තත්වයක සිටිනවා නොවේද? මේ දුෂ්ට ලෝකයේ අනතුරුදායක “දියෙන්” ගොඩගෙන ඇති අපව, යෙහෝවාගේ භූමික සංවිධානය නමැති “ජීවිතාරක්ෂක බෝට්ටුවට” දමා තිබෙනවා. අප ධර්මිෂ්ඨ නව ලොවක “වෙරළ” බලා ගමන් කරන අතර, අපි එතුළ උරෙන් උර ගැටී සේවය කරමින් සිටිනවා. ජීවිතයේ පීඩන නිසා අපට අතරමඟ වෙහෙසක් දැනේ නම්, සැබෑ ක්‍රිස්තියානි ආශ්‍රිතයන්ගෙන් ලැබෙන උපකාරයට හා සැනසීමට අපි මොනතරම් ස්තුතිවන්ත වනවාද!—හිතෝපදේශ 17:17.
25. (අ) මෙම දුෂ්ට ලෝක “දියෙහි” තවමත් සිටින අය කෙරෙහි අපට තිබෙන්නේ මොන වාගේ වගකීමක්ද? (ආ) ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලබන්නේ දෙවිට ඕනෑ කරන කුමන දේද?
25 එහෙත්, තවමත් “දියෙහි” සිටින වෙනත් අවංක හදවත් ඇති අය ගැන කුමක් කියන්න පුළුවන්ද? යෙහෝවාගේ සංවිධානයට ඇතුල් වීම සඳහා ඔවුන්ට උපකාර කිරීම අපේ වගකීමයි; එසේ නොවේද? (1 තිමෝති 2:3, 4) දෙවිට ඕනෑ කරන දේ කුමක්ද කියා ඉගෙනගැනීමට ඔවුන්ට උපකාරය අවශ්‍යයි. මෙය දෙවිට ඕනෑ කරන පස්වන දෙයට අපේ අවධානය යොමු කරවයි. අප දේවරාජ්‍යයෙහි පක්ෂපාත ප්‍රකාශකරන්නන් විය යුතුයි. මෙයට අදාළ වන්නේ කුමක්ද යන්න, ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලැබේ.
ඔබට මතකද?
◻ දෙවිගේ ආඥා බර නැත්තේ ඇයි?
◻ අප දෙවි ගැන දැනුම ලබාගන්නේ කොහොමද?
◻ හරි හැසිරීම සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිතිවලට අනුකූල වී සත්‍යය පිළිගැනීම අපට බරක් නොවන්නේ ඇයි?
◻ ජීවිතය හා රුධිරය පිළිබඳව දෙවිගේ දෘෂ්ටියට අනුව අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
◻ දෙවි අපේක්ෂා කරන්නේ අප කවුරුන් සමඟ ඔහුට සේවය කරනවා දකින්නද? එමෙන්ම ඔවුන්ව හඳුනාගත හැකි වන්නේ කොහොමද?
[18වන පිටුවේ පින්තූර]
අපට යෙහෝවා ගැන මැවීමේ පොතෙන් හා බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන්
[හිමිකම් විස්තර]
කිඹුලා: Australian International Public Relations අනුග්‍රහයෙනි; වලසා: Safari-Zoo of Ramat-Gan, Tel Aviv