දෙවිට ඕනෑ කරන දේ ඉගෙනීමට ජනයාට උපකාර වන අලුත් මෙවලමක්
“එය සරල, ඍජු හා කාරුණික ආකාරයකින් විෂයට එළඹෙන නිසා, හිතනවාටත් වැඩිය හොඳ ප්‍රතිඵල ලැබේවි. විෂයන් කොච්චර සරල හා ප්‍රියමනාප විදිහකින් ඉදිරිපත් කර තියෙනවාද කිව්වොත්, ඕනෑම අවංක, විමසිලිමත් පුද්ගලයෙක් ‘සැබවින් දෙවියන්වහන්සේ නුඹලා අතරෙහියයි’ කීමට පෙලඹේවි.” (1 කොරින්ති 14:25) දෙවියන්වහන්සේට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන අලුත් විවරණිකාව ගැන මෙසේ විස්තර කළේ, තායිලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. එම විවරණිකාව, වොච් ටවර් සමිතිය මගින් 1996/97 තුළදී, “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළුවලදී මුදාහැර තිබෙනවා.
සම්පූර්ණ වර්ණ යොදා ඇති මෙම පිටු 32කින් යුත් විවරණිකාව සැලසුම් කර තිබෙන්නේ, බයිබල් පාඩම් මාලාවක් හැටියටයි. එය බයිබලයේ මූලික ඉගැන්වීම් පියවයි. පාවිච්චි කර තිබෙන භාෂාව සරලයි; සංක්ෂිප්තයි; දෙවිට අපෙන් ඕනෑ කරන දේ එහි හොඳින් පැහැදිලි කර තිබෙනවා. එය තේරුම්ගැනීම කියවන්නන්ට එතරම් ගැටලුවක් නොවේවි. මෙම අලුත් විවරණිකාව යොදාගෙන බයිබල් පාඩමක් පැවැත්වීමට ඔබට හැක්කේ කොහොමද?
ප්‍රශ්න පාවිච්චි කරන්න. හැම පාඩමකම ආරම්භයේදී ප්‍රශ්න තිබෙනවා. හැම ප්‍රශ්නයකටම පස්සේ වරහන් තුළ, උත්තර සොයාගත හැකි ඡේදවල අංක ඔබට සොයාගන්න පුළුවන්. මෙම ප්‍රශ්න මුලින්ම පාඩමේ තිබෙන දේ හඳුන්වා දීමටත්, ඉගැන්වීමේ අදහසින් පාඩමේ තිබෙන දේ නැවත සලකා බැලීමටත් යොදාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට, නිවාස බයිබල් පාඩමක ආරම්භයේදී, ශිෂ්‍යයාගේ අදහස් ලබාගැනීමට ඔහුගෙන් ප්‍රශ්න විමසිය හැක. වහාම වැරදි උත්තර හරිගස්වන්නේ නැතුව, ඔබට පුළුවන් පාඩමට බහින්න. පාඩම අවසානයේදී, ඔබට නැවතත් ප්‍රශ්න සලකා බැලිය හැකි අතර, ඉන්පසු බයිබලයට එකඟව උත්තර දීමට ශිෂ්‍යයාට හැකිද කියා බලන්න පුළුවන්.
ශුද්ධ ලියවිලි පාඨ බලන්න. හැම පාඩමකම, බයිබල් සත්‍යතා සඳහන් කෙටි ප්‍රකාශවලින් පස්සේ, ඒවා සනාථ කරන ශුද්ධ ලියවිලි පාඨ දක්වා තිබෙනවා. සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨවලින් වැඩිහරියක් උපුටා දක්වා නැති නිසා, තමාගේම බයිබලයෙන් මෙම පද බලන්න කියා ශිෂ්‍යයාට දිරිගැන්වීම වැදගත්. දේවවචනය ජීවිතයට අදාළ කරගැනීමට කලින්, එය කියවා එමත මෙනෙහි කිරීම ඔහු කළ යුතු දෙයක්.—යෝෂුවා 1:8.
පින්තූරුවලට අවධානය යොමු කරන්න. මෙම විවරණිකාව පුරාම ඡායාරූප හා චිත්‍ර දක්වා තිබෙනවා. සම්පූර්ණයෙන්ම චිත්‍ර 50කටත් වැඩිය තිබෙනවා. මේවා සපයා තිබෙන්නේ සිත් ඇදගැනීමට පමණක් නොව, නමුත් තවදුරටත් ඉගැන්වීමේ ආධාරක වශයෙනි. උදාහරණයක් වශයෙන්, අවසාන පාඩම් දෙකේ (එක පිටුවක් බැගින්, එකිනෙකට මුහුණලා තිබෙන පිටුවල) තියෙන මාතෘකා, “දේවකැමැත්ත කිරීමට අනුන්ට උදව් කිරීම” හා “දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔබ ගන්නා තීරණය” වේ. පිටු දෙක පුරාම දැකගත හැකි ඡායාරූපවල එකම පුද්ගලයාගේ ආත්මික දියුණුව පෙන්වයි. ඔහු අවිධිමත්ව සාක්ෂිදරන විදිහ, ගෙයින් ගෙට සේවයෙහි සහභාගි වන විදිහ, තම කැපවීම කරන විදිහ හා අන්තිමේදී බව්තීස්ම වන විදිහ එහි දක්වා තිබෙනවා. මෙම පින්තූරුවලට ශිෂ්‍යයාගේ අවධානය යොමු කිරීමෙන්, දෙවිට සේවය කිරීම සඳහා ගන්න අවශ්‍ය පියවර මොනවාද කියා දැකබලා ගැනීමට ඔබ ඔහුට උපකාර කරනවා.
උනන්දුව ඇති පුද්ගලයෙකුට හොඳින් කියවන්න බැරි නම්, එසේ නැතහොත් කියවන්නම බැරි නම්, කරන්න පුළුවන් වන්නේ මොකක්ද? මෙම අලුත් විවරණිකාව භාෂා කිහිපයකින්ම කැසට්පටිවලින් නිෂ්පාදනය කරන්න සමිතිය කටයුතු කරනවා. විවරණිකාවේ කොටස් සියල්ල මෙන්ම සඳහන් වී තිබෙන ශුද්ධ ලියවිලි පාඨ වැඩිහරියක් කැසට් පටියට ඇතුළත් කර තිබෙනවා. එය මතු දැක්වෙන පිළිවෙළට පටිගත කර තිබෙනවා: මුලින්ම පළමුවන ප්රශ්නය කියවනවා; ඉන්පසුව ප්‍රශ්නයට උත්තරය දෙන ඡේදය (හෝ ඡේද) කියවනවා; ඒත් සමඟම සඳහන් ශුද්ධ ලියවිලි පාඨ සමහරක් කියවනවා. ඉන්පසුව ඊළඟ ප්රශ්නය කියවා, ඒ සඳහා උත්තරය තිබෙන කොටස හා ශුද්ධ ලියවිලි පද ආදිය කියවනවා. ශිෂ්‍යයා පාඩමට සූදානම් වන විට, එම පටිගත කිරීමට සවන් දීමට ඔහුට පුළුවන්. පාඩම පවත්වන විටත් කැසට් පටිය පාවිච්චි කරන්න පුළුවන්.
සමුළුවට පැමිණි අය, මෙම අලුත් විවරණිකාව තම ක්ෂේත්‍ර සේවයෙහි පාවිච්චි කිරීමට උනන්දුවෙන් සිටියා. උදාහරණයක් හැටියට, විවරණිකාව ලැබුණු ගමන්ම වාගේ, එක්සත් ජනපදයේ පුරෝගාමීන් (පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන්) දෙන්නෙක්, යම් කාලයකට බැහැදකිමින් සිටි තරුණ යුවළක් වෙත එය තබා ආවා. එම යුවළ පටුන දෙස බැලූ විට, “දෙවියන්වහන්සේ පිළිකුල් කරන ක්‍රියා” යන පාඩම ඔවුන්ගේ අවධානයට ලක් වුණා. එම තරුණ ස්ත්‍රිය මෙසේ පැවසුවා: “මට නං හැම තිස්සේම උගන්නලා තිබුණේ දෙවිට පිළිකුල කියන එක පෙන්නුම් කරන්න බැහැයි කියලයි; ඒ කියන්නේ ඔහු ඇත්තටම ප්‍රේමය කියන එකයි. මං ඉස්සෙල්ලාම කියවන්නේ මේකයි.” පුරෝගාමීන් දෙන්නා ඊළඟ සතියේ ආපසු පැමිණි විට, එම තරුණ ස්ත්‍රිය මෙහෙම කිව්වා: “මම අලුත් විවරණිකාව කියවකියවා හිටියා. අපි කරන්න ඕනෑ හැම දෙයක්ම කරන එක නං හරි අමාරුයි. යෙහෝවා දෙවි අපි ගැන සතුටු වෙන්නේ නැහැ; අපි විවාහ වෙලා නැහැනේ. දැන් අපි තීරණය කරලා ඉවරයි. එන සිකුරාදා විවාහ වෙන්න අපි සැලසුම් කරලයි තියෙන්නේ.” පුරෝගාමී යුවළව බදාගනිමින් ඔවුන් මෙහෙමත් කිව්වා: “නිතිපතා පාඩමක් කරන්න බැරි වුණ එක ගැන නං සමාව ඉල්ලන්නම ඕනෙ; ඒත් විවාහ වෙන එක නං අපිට ලොකු සහනයක්.”
කරුණාකර හැමවිටකම අලුත් ඕනෑ විවරණිකාව යොදාගන්න. දෙවිට ඕනෑ කරන දේ අනුන්ට ඉගැන්වීම සඳහා එය කදිම මෙවලමක්.
[17වන පිටුවේ පින්තූර]
අලුත් විවරණිකාව ඔබ පාවිච්චි කරන්න යන්නේ කොහොමද?