ඔබ එදා සිටියා නම්, මෙසියස්ව හඳුනාගනු ඇද්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉශ්රායෙල්වරුන් අතරේ දේවවචනය දේශනා කරමින් අවුරුදු තුනහමාරක් වැය කළසේක. එහෙත් තම භූමික සේවය අවසානයකට එළඹෙන විට, උන්වහන්සේ මෙසියස් හෝ දෙවියන්වහන්සේගේ පොරොන්දු වූ “අභිෂේක ලත් තැනැත්තා” බව උන්වහන්සේගේ සමකාලීනයන් බොහෝදෙනෙකු ප්‍රතික්ෂේප කර තිබිණ. ඒ මන්ද?
පළමුවන සියවසේ යුදෙව්වන් විසින්, යේසුස්වහන්සේ මෙසියස් බව පිළි නොගැනීමට හේතු කිහිපයක් හඳුනාගන්ට බයිබලය අපට උපකාර කරයි. පාලක මෙසියානු රජු වශයෙන් යේසුස්වහන්සේගේ නවීන දින තත්වය පිළිගැනීමෙන් වැළැක්වීමට මින් හේතු තුනක් ඉවහල් වී ඇත.
“ලකුණක් දකින්ට කැමැත්තෙමු”
පළමුවන සියවසේ යුදෙව්වන් මෙසියස්වහන්සේව හඳුනා නොගන්ට හේතු වූ එක් කරුණක් වූයේ, උන්වහන්සේගේ මෙසියස්භාවයට යොමු දක්වන ශුද්ධ ලියවිලිමය ලකුණු පිළිගැනීම, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කිරීමය. කලින් කලට, යේසුස්වහන්සේට ඇහුම්කන් දෙමින් සිටි සෙනඟ, තමන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි බව ඔප්පු කිරීමට ලකුණක් දක්වන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. උදාහරණයක් හැටියට, මතෙව් 12:38හි වාර්තා කර ඇති පරිදි ලියන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද සමහරෙක් මෙසේ පැවසූහ: “ආචාරිනි, ඔබගෙන් ලකුණක් දකින්ට කැමැත්තෙමු.” යේසුස්වහන්සේ ඒ වන විටත් ඔවුන්ට ලකුණු දක්වා තිබුණේ නැද්ද? ඇත්තවශයෙන්ම උන්වහන්සේ එසේ කර තිබුණුසේක.
ඒ කාලය වන විට යේසුස්වහන්සේ ප්රාතිහාර්යයන් ගණනාවක් සිදු කර තිබිණ. උන්වහන්සේ වතුර වයින් කර තිබිණ; මරණාසන්නව සිටි පිරිමි දරුවෙකුව සුව කරනු ලැබිණ; පේතෘස්ගේ රෝගාතුර නැන්දම්මාව සුව කර, ලාදුරු රෝගියෙකුව පවිත්‍ර කර තිබුණු අතර, අංශභාග රෝගියෙකුවද ඇවිදීමට සලස්වා තිබූසේක. අවුරුදු 38ක් පුරා රෝගාතුරව සිටි මිනිසෙකුට, වියළි අතක් ඇති මිනිසෙකුට සහ බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ දුඃඛිත රෝගවලින් සුවය ලබා දී තිබිණ. හමුදා නිලධාරියෙකුගේ සේවකයාවද සුව කර, වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයාව මළවුන්ගෙන් නැඟිටුවා තිබුණු අතර, අන්ධ මෙන්ම ගොළු මිනිසෙකුව පවා සුව කර තිබුණුසේක. මෙම ප්රාතිහාර්යයන් කානා, කපර්ණවුම, යෙරුසලම සහ නායින් වැනි ස්ථානවල සිදු විණ. ඊටත් වැඩියෙන්, එවැනි ප්රාතිහාර්යයන් පිළිබඳ ආරංචි යුදය පුරා සහ අවට රටවල පැතිරිණ.—යොහන් 2:1-12; 4:46-54; මතෙව් 8:14-17; 8:1-4; 9:1-8; යොහන් 5:1-9; මතෙව් 12:9-14; මාර්ක් 3:7-12; ලූක් 7:1-10; 7:11-17; මතෙව් 12:22.
පැහැදිලිවම, යේසුස්වහන්සේ මෙසියස් බව ඔප්පු කරන සාක්ෂිවල කිසිදු හිඟයක් නොතිබිණ. උන්වහන්සේ සෙනඟ ඉදිරියේ බොහෝ ලකුණු දැක්වූවත්, ඔවුන් උන්වහන්සේ මත ඇදහිල්ල තැබුවේ නැත. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ වෙතින් පැමිණි බවට සාක්ෂි දැක දැකත් උන්වහන්සේ මෙසියස් බව පිළි නොගත් අය ආත්මිකව අන්ධව සිටියහ. ඔවුන්ගේ හෘද දැඩි වූ අතර, සත්‍යය ඒ තුළට කාවැද්දවීම අපහසු විය.—යොහන් 12:37-41.
අපේ දවස ගැන කුමක් කියමුද? “මං විශ්වාස කරන්නේ, මගේ ඇස්වලට පේන දේ විතරයි” කියා සමහරු ප්‍රකාශ කරත්. එහෙත්, එවන් ක්‍රියාමාර්ගයක් ගැනීම සැබවින්ම ඥානවන්තද? යේසුස්වහන්සේ දැනටමත් මෙසියානු රාජ්‍යයේ ස්වර්ගික රජු ලෙස සිංහාසනාරූඪ වී ඇති බව බයිබල් අනාවැකි සඳහන් කරයි. උන්වහන්සේ අදෘශ්‍යමාන නිසා, මේ දුෂ්ට දේවල පිළිවෙළේ ආරම්භය සලකුණු කළ උන්වහන්සේගේ පාලකත්වය වටහාගැනීමට අපට ලකුණක් අවශ්‍යය. ඔබ එම ලකුණ හඳුනන්නෙහිද?—මතෙව් 24:3.
බයිබලයට අනුව, මෙසියානු රජු ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ පාලනතන්ත්‍රය ආරම්භ වීම සලකුණු කරනු ඇත්තේ, පෙර නුදුටුවිරූ පරිමාණයකින් යුද්ධ, භූමිකම්පා, සාගත සහ වසංගත යන දේවල් මගිනි. “අන්තිම දවස්වලදී,” ආත්මාර්ථකාමීකම, ගිජුකම, අසංවරකම වැනි ලක්ෂණ මිනිස් සම්බන්ධකම්වලදී විදහාපෙන්වනවා ඇත. (2 තිමෝති 3:1-5; මතෙව් 24:6, 7; ලූක් 21:10, 11) කාලනිර්ණ සාක්ෂිවලට අමතරව, මෙසියස්වහන්සේගේ පාලනය 1914දී ආරම්භ වූ බව, අන්තිම දවස්වලට අදාළ විවිධ සිද්ධීන් 20කට වඩා වැඩි ප්‍රමාණයක් යොමු දක්වයි.—1993 මාර්තු 1 මුරටැඹ කලාපයේ 5වන පිටුව බලන්න.
“මුදලට ආශා ඇත්තෝ”
යුදෙව්වන් විසින් යේසුස්වහන්සේ මෙසියස්යයි ප්‍රතික්ෂේප කිරීමට තවත් හේතුවකි, ද්‍රව්‍යවාදය. ධනයට ඕනෑවට වැඩිය බැඳී සිටීම යේසුස්වහන්සේව අනුගමනය කිරීමෙන් බොහෝදෙනෙකුව වැළැක්වීය. උදාහරණයකට, ඵරිසිවරු “මුදලට ආශා” කළ අය බවට ප්‍රසිද්ධව සිටියහ. (ලූක් 16:14) එක්තරා තරුණ ධනවත් පාලකයෙකු යේසුස්වහන්සේ ළඟට පැමිණ සදාකාල ජීවනය ලැබීමට කුමක් කළ යුතුදැයි ඇසූ සිද්ධිය සලකා බලන්න. “ආඥාවන් [දිගටම, NW] පවත්වන්න” යනු යේසුස්වහන්සේගේ පිළිතුර විය. ඇතැම් ආඥා රක්ෂා කිරීමට වඩා වැඩි යමක් අවශ්‍ය කරන බව වටහාගැනීමෙන්, එම යෞවනයා මෙසේ ඇසීය: “මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්ද”? යේසුස්වහන්සේ ඔහුට මෙසේ පැවසූසේක: “නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්න.” මෙසියස්ගේ ගෝලයෙකු වීම—මොනතරම් ප්‍රස්තාවක්ද! එහෙත්, පාලකයා ශෝකයෙන් යන්ට ගියේය. ඒ ඇයි? පොළොවේ වස්තු, ඔහුට ස්වර්ගයේ වස්තුවට වඩා වැදගත් වූ නිසාය.—මතෙව් 19:16-22.
තත්වය වෙනස් වී නැත. මෙසියානු රජුගේ අව්‍යාජ අනුගාමිකයෙකු වීමෙන් අදහස් කරන්නේ, පොළොවේ දේවල් ඇතුළුව සියලුම දේට ඉහළින් ආත්මික දේවල් තැබීමයි. ද්‍රව්‍යවාදී ආකල්ප ඇති ඕනෑම කෙනෙකුට මෙය අභියෝගයකි. නිදසුනක් ලෙස, ප්‍රාචීන දේශයක සිටින මිෂනාරි යුවළක්, බයිබලය ගැන එක්තරා ස්ත්‍රියකට කතා කළහ. ඇය යෙහෝවඃ දෙවියන්වහන්සේ ගැනත්, උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් තව ඉගෙනගැනීමට කැමති බව විශ්වාස කරමින්, මෙම යුවළ ඇයට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළහ. ඇය ප්‍රතික්‍රියා කළේ කෙසේද? “තව සල්ලි හම්බ කරන්න මේ සඟරා මට උදව් වෙයිද” කියා ඈ ඇසුවාය. මෙම ස්ත්‍රිය ආත්මික කාරණාවලට වඩා උනන්දු වූයේ ලෞකික දේවලටය.
මේ යුවළම තරුණයෙකු සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර, ඔහු රාජ්‍ය ශාලාවේ පැවැත්වූ රැස්වීම්වලට පැමිණීමට පටන්ගත්තේය. “ඔයා කාලෙ කනවා” යයි ඔහුගේ දෙමව්පියන් කියන්ට විය. “ඔයා හැන්දෑවෙ තවත් රස්සාවක් කරලා, තව සල්ලි හම්බ කරගන්න ඕනෙ,” ඔවුහු තවදුරටත් කීහ. මෙසියානු රජු ගැන ඉගෙනගැනීමට ඉහළින් ද්‍රව්‍යමය දේවල් තැබීමට, දෙමව්පියන් විසින් තම දරුවන්ට උනන්දු කිරීම මොනතරම් කනගාටුවට කරුණක්ද! “පාලකයෙකුට මොනතරම් ධනස්කන්ධයක් තිබුණත්, ඔහුට අවුරුදු දහදාහක ජීවිත කාලයක් මිල දී ගත නොහැක” යයි පවසන්නේ චීන හිතෝපදේශයකි.
මෙසියානු රජු ගැන ඉගෙනගෙන, ඔහුව අනුගමනය කිරීම, මුදලට ප්‍රේම කිරීමට අවකාශ සලසන්නේ නැති බව බොහෝදෙනෙක් වටහාගෙන සිටිත්. ඉහළ ආදායමක් ලැබූ තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක් මෙසේ පැවසුවාය: “ගොඩාක් සල්ලි තියෙන එක ප්‍රියජනක දෙයක් වුණත් එය අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. කෙනෙකුව සතුටු කරන්නේ සල්ලි නෙවෙයි.” ඇය දැන් වොච් ටවර් සමිතියේ යුරෝපීය ශාඛාවක බෙතෙල් පවුලේ සාමාජිකාවකි.
‘යුදෙව්වන්ට තිබූ භය’
යේසුස්වහන්සේ මෙසියස් ලෙස නොපිළිගැනීමට තවත් හේතුවක් වූයේ, මනුෂ්‍යයන්ට තිබූ භයයි. උන්වහන්සේගේ මෙසියස්භාවය ප්‍රසිද්ධියේ පිළිගැනීම, කෙනෙකුගේ කීර්ති නාමයට අවදානමක් විය. සමහරෙකුට එම කීර්ති නාමය ඉතා වටිනා යමක් විය. සැන්හීඩ්‍රින් යනුවෙන් හැඳින්වෙන යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වූ නිකොදේමුස්ව සලකා බලන්න. යේසුස්වහන්සේගේ ලකුණු සහ ඉගැන්වීමෙන් පුදුමයට පත් ඔහු, මෙසේ පිළිගත්තේය: “රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවන.” එහෙත්, නිකොදේමුස් යේසුස්වහන්සේව මුණගැසීමට පැමිණියේ රාත්‍රියේය. සමහරවිට අනික් යුදෙව්වන් විසින් හඳුනාගැනීමෙන් වැළකීමටය.—යොහන් 3:1, 2.
යේසුස්වහන්සේ කතා කරනවා අසා සිටි බොහෝදෙනෙකුට, දෙවියන්වහන්සේට වඩා මනුෂ්‍යයන්ගේ අනුමැතිය ලබාගැනීම වඩා වැදගත් විය. (යොහන් 5:44) යේසුස්වහන්සේ පො.යු. 32හි කූඩාරම් මංගල්‍ය සඳහා යෙරුසලමේ සිටියදී, “සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය.” එසේ වුවත් “යුදෙව්වරුන්ට භය නිසා” කිසිවෙක් යේසුස්වහන්සේ ගැන ප්‍රසිද්ධියේ කතා නොකළෝය. (යොහන් 7:10-13) අන්ධව සිට යේසුස්වහන්සේ විසින් පෙනීම ලබා දුන් මනුෂ්‍යයෙකුගේ දෙමව්පියන් පවා එම ප්රාතිහාර්යය දෙවියන්වහන්සේගේ නියෝජිතයෙකුගෙන් පැමිණෙන එකක් බව පිළිගැනීමට අකමැති විය. ඔවුහු පවා “යුදෙව්වරුන්ට භය[ව]” සිටියහ.—යොහන් 9:13-23.
යේසුස්වහන්සේ මෙසියානු රජු වශයෙන් දැන් ස්වර්ගයේ පාලනය කරන බව සමහරෙක් අදදින තේරුම්ගත්තත්, එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට ඔවුහු භයෙන් සිටිති. ඔවුන්ට අන් අය අතර තමන්ට ඇති තත්වය බිඳ වැටීම, බරපතළ පාඩුවකි. නිදසුනක් හැටියට ජර්මනියේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු සමඟ බයිබලය සාකච්ඡා කළ මනුෂ්‍යයෙක් මෙසේ පිළිගත්තේය: “ඔයලා සාක්ෂිකරුවන් හැටියට බයිබලය ගැන උගන්වන දේ ඇත්තයි. ඒත් අද මම සාක්ෂිකාරයෙක් වුණොත්, හෙට වෙනකොට ඔක්කොමලා ඒක දැනගනීවි. එතකොට මං වැඩ කරන තැනේ ඉන්න අය, මගේ අසල්වැසියන් වගේම, පවුලේ අපි ඔක්කොමලා අයිති ක්ලබ් එකේ අය මං ගැන මොනවා හිතයිද? මට ඒක දරාගන්න බැහැ.”
මනුෂ්‍යයන්ට භයවීමට හේතු වන්නේ මොනවාද? උඩඟුකම, පවුලේ අය සහ මිතුරන් අතර ඇති ජනප්‍රියත්වයට තිබෙන ආශාව, සමච්චලයට පාත්රවීමට හා නින්දාවට ලක්වීමට ඇති මහත් භය සහ බහුතරයක් අතුරින් කොන්වීමෙන් ඇති වන ලජ්ජාව සහ කනස්සල්ලයි. එවැනි හැඟීම්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ අලුතින් බයිබලය අධ්‍යයනය කිරීමට ආරම්භ කරන අයට විශේෂයෙන්ම මුහුණ දීමට සිදු වන පරීක්ෂා බව ඔප්පු වී ඇත. උදාහරණයක් වශයෙන්, මෙසියානු රාජ්‍යය තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පාලනය යටතේ ගෙනෙනු ලබන පාරාදීසය ගැන ඉගෙනගැනීමට ලැබීමෙන්, එක්තරා යෞවන ස්ත්‍රියක් ප්‍රීති වූවාය. එහෙත් ඇය ඩිස්කෝ නැටුම් ලෝලියක් වූ අතර, මනුෂ්‍යයන්ට ඇති භය, ඇගේ බලාපොරොත්තුව අන්‍යයන්ට කතා කිරීමෙන් ඇයව වළක්වනු ලැබීය. අවසානයේදී, බයිබලය ගැන අන්‍යයන්ට නිදහසේ කතා කිරීමට ඈ කෙසේ හෝ ධෛර්යය උපදවාගත්තාය. තම ඩිස්කෝ මිතුරන් ඇයව ප්‍රතික්ෂේප කළත්, ඇගේ ස්වාමිපුරුෂයා සහ දෙමව්පියෝ උනන්දුවක් දැක්වූහ. කල් යත්ම මෙම ස්ත්‍රිය සහ ඇගේ මව බව්තීස්ම වූ අතර, ඇගේ ස්වාමිපුරුෂයා සහ ඇගේ පියා බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්හ. මනුෂ්‍යයන්ට ඇති භය ජයගැනීම වෙනුවෙන් මොනතරම් විපාකයක්ද!
ඔබ ඇත්තටම මෙසියස්ව හඳුනන්නෙහිද?
යේසුස්වහන්සේ වද කණුවේ මියයමින් සිටි මොහොතේ, උන්වහන්සේගේ ගෝලයන් සමහරෙක් එතැන සිටියහ. ඔවුහු උන්වහන්සේව පුරෝකථනය කරනු ලැබූ මෙසියස් වශයෙන් හඳුනාගෙන සිටියහ. එතැන යුදෙව් පාලකයන්ද සිටි අතර, ඔවුන් සිටියේ තවමත් ලකුණක් ඉල්ලමින් සිටින්නාක් මෙනි. “මොහු දෙවියන්වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තුස් [හෝ මෙසියස්] නම් තමාම ගළවා ගනී[වා].” (ලූක් 23:35) ඔවුන් කිසිදා ලකුණක් ඉල්ලීම නතර කරනු ඇද්ද? යේසුස්වහන්සේ ප්රාතිහාර්යයන් බොහොමයක් සිදු කර තිබිණ. ඊට අමතරව, උන්වහන්සේගේ උපත, දේවසේවය, පරීක්ෂණ, මරණය සහ නැවත නැඟිටීම හෙබ්‍රෙව් ලියවිලිවල ඇති අනාවැකි බොහොමයක් සම්පූර්ණ කළේය.—වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත, “ඕල් ස්ක්‍රිප්චර් ඉස් ඉන්ස්පයර්ඩ් ඔෆ් ගෝඩ් ඇන්ඩ් බෙනිෆිෂල්” යන පොතේ පිටු 343-4 බලන්න.
මඟ යන්නෝ යේසුස්වහන්සේට නින්දා කරමින්, උන්වහන්සේගේ මෙසියස්භාවයට ඇති සාක්ෂි ප්‍රතික්ෂේප කළෝය. (මතෙව් 27:39, 40) හේවායෝ ද්‍රව්‍යවාදී ලෙස යේසුස්වහන්සේගේ වස්ත්‍ර බෙදා වෙන් කරගත් අතර, උන්වහන්සේගේ සළුව සඳහා දාදු දැම්මෝය. (යොහන් 19:23, 24) සමහර අවස්ථාවල මනුෂ්‍යයන්ට බියවීම යම් කාර්යභාරයක් ඉටු කළේය. නිදසුනක් වශයෙන්, යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වන අරිමාතියේ යෝසෙප් ගැන සලකා බලන්න. ඔහු “යුදෙව්වරුන්ට භය නිසා රහසින් යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටියාවූ” කෙනෙකි. මෙසියස්ගේ මරණයෙන් පසු, යෝසෙප් සහ නිකොදේමුස් යේසුස්වහන්සේගේ දේහයට සම්බන්ධ අවසන් කටයුතුවල නිරත වූහ. මෙලෙස, යෝසෙප් මිනිසුන්ට ඇති භයෙන් ගොඩ ආවේය.—යොහන් 19:38-40.
ඔබ පළමු සියවසේ සිටියා නම්, ඔබ යේසුස්වහන්සේ මෙසියස් බව හඳුනාගෙන සිටිනු ඇද්ද? එසේ වූවා නම් ඒ සඳහා, ශුද්ධ ලියවිලි සාක්ෂි පිළිගැනීම, ද්‍රව්‍යවාදී සිතිවිලි ප්‍රතික්ෂේප කිරීම සහ මනුෂ්‍යයන්ට භයවීමට යටත් වීමෙන් ගොඩ ඒමද අවශ්‍ය විය. මෙම අන්තිම දවස්වලදී, එකිනෙකා තමන්ගෙන්ම ඇසිය යුතු වන්නේ, ‘මම ස්වර්ගීය මෙසියානු රජු ලෙස, යේසුස්වහන්සේව හඳුනනවාද?’ යන්නයි. ඉතා ඉක්මනින් උන්වහන්සේ පොළොවේ කටයුතු සිය අතට ගන්නාසේක. එය සිදු වන විට, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොරොන්දු වූ මෙසියස් බව ඇත්තෙන්ම පිළිගන්නා අය අතර සිටිනු ඇද්ද?
[28වන පිටුවේ පින්තූර]
යේසුස්වහන්සේ මෙසියානු රජු බවට ඇති සාක්ෂිවලට කිසිදාක පිටු නොපාන්න
[31වන පිටුවේ පින්තූරය]
මෙසියස් ගැන ඉගෙනගැනීම කීමෙන් බොහෝවිට අදහස් කරන්නේ, අනික් අය මොනව කියයිද යන භයෙන් ගොඩ ඒමයි