මෙම අද්විතීය ප්‍රස්තාව අල්ලාගන්න!
බයිබලයේ සඳහන් ගැළවීමේ පණිවිඩයට තම උනන්දුව ඇදී ගිය කාලයේදී, පීටර් වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ තම අධ්‍යයන කටයුතුවල කැපීපෙනෙන වර්ධනයක් අත් කරගනිමින් සිටියේය. ඔහු උපාධිය ලබා වෛද්‍යවරයෙකු වශයෙන් ආරෝග්‍ය ශාලාවක කටයුතු කිරීමට පටන්ගත් විට, ඔහුට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු හැටියට විශේෂඥ දැනුමක් ලබාගැනීමට ඔහුගේ උසස් නිලධාරීන් විසින් ඔහුව නිතරම දිරිගන්වනු ලැබීය. මෙය, නවක වෛද්‍යවරුන් බොහෝදෙනෙකු දෙගිඩියාවෙන් තොරව අත් කරගන්නා ප්‍රස්තාවක් විය.
එහෙත්, මෙම ප්‍රස්තාව අත්හැරදැමීමට පීටර්a තීරණය කළේය. ඒ මන්ද? ඔහුට උසස් නිලතල ලබාගැනීමේ අභිලාෂය මෙන්ම ඒ සඳහා අවශ්‍ය වූ පෙලඹවීම නොතිබූ නිසාද? නැත, මන්දයත් පීටර් තමා ඉදිරියෙහි තිබූ මෙම ප්‍රස්තාව ගැන පරෙස්සමින් සිතා බැලූ හෙයිනි. යෙහෝවඃවහන්සේගේ කැප වූ බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙකු වීමෙන් පසු, ක්‍රිස්තියානි දේවසේවයේ විවිධ අංගවල තමාට හැකි පමණ කාලය යෙදවීමට ඔහු තුළ මහත් ආශාවක් තිබිණ. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු හැටියට සුදුසුකම් ලබාගත් පසු, තම වෘත්තියට තමාගේ කාලය හා ශ්‍රමය වැඩියෙන් යෙදවීමට සිදු වන බව ඔහු දැනගත්තේය. මෙම උසස් රැකියා අපේක්ෂාව අත්හැරදැමීම ඔහු කළ අනුවණ ක්‍රියාවක්ද නැතහොත් නැණවත් ක්‍රියාවක්ද?
පීටර් ගත් තීරණය අනුවණ එකක් මෙන් ඇතමුන්ට පෙනී යා හැක. කෙසේවෙතත්, ඔහු එපීස 5:15, 16 වැනි බයිබල් පාඨ සැලකිල්ලට ගත්තේය. එහිදී ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය: “නුඹලා ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න [ප්‍රස්තා ඇති කාලය මිල දී ගන්න, NW].”
“ප්‍රස්තා ඇති කාලය” නමැති ප්‍රකාශය සැලකිල්ලට ගන්න. එය බොහෝවිට යම් නිශ්චිත ලක්ෂණයන් මගින් සනිටුහන් කරනු ලබන හෝ සුවිශේෂ ක්‍රියාකාරකමක් සඳහා යෝග්‍ය කාලයකට නැතහොත් කාලපරිච්ඡේදයකට යොමු දැක්වීම සඳහා බයිබලයෙහි භාවිත කර තිබෙන ග්‍රීක් වචනයකින් පරිවර්තනය කර ඇත. ක්‍රිස්තියානීන් වැදගත් කාරණා සඳහා කාලය වෙන් කරගත යුතු බව පාවුල් මෙහිදී අවධාරණය කළේය. ඇත්තෙන්ම “වඩාත් වැදගත් දේවල් ඒත්තුගන්ට” ඔවුන්ට අවශ්‍ය විය. (පිලිප්පි 1:10, NW) එය ප්‍රමුඛතාවන් තබාගැනීම පිළිබඳ ප්රශ්නයකි.
එසේනම්, අපගේ කාලය සඳහා දිව්‍ය අරමුණ කුමක්ද? දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන් සඳහා උන්වහන්සේගේ කැමැත්ත කුමක්ද? බයිබල් අනාවැකි අපගේ දවස් පැහැදිලිව හඳුන්වන්නේ “අන්තිම කාලය” නැතහොත් “අන්තිම දවස්” හැටියටය. (දානියෙල් 12:4; 2 තිමෝති 3:1) අපගේ දවසේදී සියල්ලටම වඩා වැදගත් දෙය වන්නේ කුමක්ද යන්න පිළිබඳව සැකයට හේතු වන කිසිවක් පැවතීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉඩ නොතැබූසේක. මේ දුෂ්ට දේවල පිළිවෙළේ අවසානයට පෙර, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබ[න]” බව උන්වහන්සේ විශේෂයෙන්ම පැවසූසේක. අවසානය පැමිණෙන්නේ ඉන්පසුව පමණි.—මතෙව් 24:3, 14.
එමනිසා, රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමට සහ ගෝලයන් සෑදීමට, අප සෑම ප්‍රස්තාවක්ම අල්ලාගත යුතුය. (මතෙව් 28:19, 20) මෙම ක්‍රියාකාරකම් නැවත කිසිදා සිදු කරනු නොලබන හෙයින්, මෙම ජීවිත ගළවන වැඩයෙහි අප සතු සියල්ල යෙදවීමේ අවසන් ප්‍රස්තාව මෙය වේ. “දැන් පිළිගත යුතුවූ කාලයය.” ඇත්තෙන්ම, “දැන් ගැළවීමේ දවසය.”—2 කොරින්ති 6:2.
නැණවත් තීරණයක් ගැනීම
පීටර්—ආරම්භයේදී සඳහන් කළ යෞවනයා—තමාගේ තීරණය ගැන පරෙස්සමින් සිතා බලා, තමා ඉදිරියෙහි තිබූ තෝරාගැනීම්වල වැදගත්කම නිශ්චය කළේය. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙන තම අධ්‍යයන කටයුතු කරගෙන යෑම වැරදි දෙයක් නොවන බව ඔහු වටහාගත්තේය. එහෙත් වඩාත් වැදගත් දෙය ලෙස ඔහු සැලකුවේ කුමක්ද? ක්‍රිස්තියානි දේවසේවයේ හදිසිතාව සලකා බැලීමේදී, මෙම වැඩයේ තම ක්‍රියාකාරකම් හෙතෙම වැදගත් කොට සැලකුවේය. ඒ අතරතුර, ඉටු කළ යුතු වගකීම් ඔහුට තිබිණ. විවාහකයෙකු වූ ඔහුට, දේශනා කිරීමේ වැඩයෙහි පූර්ණ කාලීනව හවුල් වෙමින් සිටි තම බිරිඳට සැපයීමට සිදු විය. (1 තිමෝති 5:8) තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාගත් ණය ගෙවීමටද පීටර්ට සිදු විය. එසේනම්, ඔහු තීරණය කළේ කුමක් කිරීමටද?
විකිරණවේදය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබාගෙන, අතිධ්වනි පරිලෝකනයන් සිදු කිරීමට පීටර් තීරණය කළේය. මෙය සාමාන්‍ය වැඩ කරන දවසකට සීමා වූ කාර්යයක් විය. වැඩ කරන නියමිත කාලය අතරතුර, ඔහු තමාගේ පුහුණුවද ලබාගනු ඇත. මෙය එතරම් ගෞරවයක් ගෙන දෙන තනතුරක් නොවන බව ඇතමුන් සිතිය හැකි මුත්, ආත්මික කාරණා ලුහුබැඳීම සඳහා වැඩි කාලයක් යෙදවීමට මෙමගින් ඔහුට ඉඩ සැලසෙනු ඇත.
සැලකිල්ලට යොමු කළ තවත් කරුණක් පීටර්ගේ තීරණයට අනුබල දුන්නේය. වෙනස් ආකාරයකින් තීරණ ගෙන ඇති වෙනත් අයව විනිශ්චය කරමින් නොසිටි අතර, ලෞකික කාරණාවල ඕනෑවට වඩා ඇලී ගැලී සිටීම, ක්‍රිස්තියානියෙකුව මහත් අනතුරකට නිරාවරණය කරන බව හේ දැනසිටියේය. ආත්මික වගකීම් නොසලකා හැරීමට එය ඔහුට හේතු විය හැක. මෙය රැකියාව හා සම්බන්ධ වෙනත් ආදර්ශයකින් පැහැදිලි කර තිබේ.
එක්තරා පූර්ණ-කාලීන රාජ්‍ය දේශනාකරුවෙක් පුහුණුව ලත් චිත්‍ර ශිල්පියෙක්ව සිටියේය. තමා නිර්මාණය කළ චිත්‍ර අලෙවි කිරීමෙන් තම මූල්‍යමය අවශ්‍යතා සපුරාගැනීමට ඔහුට හැකි වූයේය. තම කාලයෙන් වැඩි ප්‍රමාණයක් අතිවැදගත් ක්‍රිස්තියානි දේවසේවයෙහි යොදවමින් තෘප්තිමත් ජීවිතයක් භුක්තිවිඳීමට ඔහුට හැකි විය. කෙසේවෙතත්, තමාගේ කලා වෘත්තිය තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ ආශාවක් ඔහු තුළ පහළ විය. ඔහු චිත්‍ර ඇඳීමේ හා කලා ක්ෂේත්රයේ කටයුතුවල වැඩි වැඩියෙන් නිරත වූ අතර, පූර්ණ-කාලීන දේවසේවය අත්හැරියේය; අවසානයේදී ඔහු රාජ්‍ය දේශනා කිරීමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අක්‍රියාශීලී විය. කල්යෑමේදී, ඔහු ශුද්ධ ලියවිලිවලට පටහැනි හැසිරීමකට සම්බන්ධ වූ අතර, එහි ප්‍රතිඵලය වූයේ ඔහු තවදුරටත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙකු නොවීමයි.—1 කොරින්ති 5:11-13.
අප ජීවත් වන කාලය සුවිශේෂ කාලයකි
යෙහෝවඃවහන්සේට දැන් සේවය කරමින් සිටින්නාවූ අය මෙන්, උන්වහන්සේට දිගටම විශ්වාසවන්තව සිටීමට අපට නිසැකවම වුවමනාය. අප ජීවත් වෙමින් සිටින්නේ මිනිස් ඉතිහාසයේ වඩාත් සුවිශේෂ කාලයක බව අපි දනිමු. දෙවියන්වහන්සේට දිගටම සේවය කිරීම හා එදිනෙදා ජීවිතයේ අද්දකින තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා නොයෙකුත් වෙනස්කම් කිරීම අපට අවශ්‍ය විය හැක. ගොවියෙකු ඉදිරියෙහි තිබෙන අස්වැන්න නෙළන කාලය හා සමඟ මෙය සැසඳීමට අපට පුළුවන. එය වනාහි සාමාන්‍යයට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වෙමින් වැඩි කාලයක් වැඩ කිරීමට ගොවිපොළේ සේවකයන්ගෙන් අපේක්ෂා කරනු ලබන විශේෂ වැඩකටයුතු ඇතුළත් කාලපරිච්ඡේදයකි. ඒ මන්ද? අස්වැන්න සීමිත කාලපරිච්ඡේදයක් තුළ එකතු කළ යුතු බැවිනි.
වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළ සඳහා ඉතිරි වී තිබෙන්නේ ඉතා සීමිත කාලපරිච්ඡේදයක් පමණි. පෙර කවරදාටත් වඩා, දැන් යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට හා උන්වහන්සේගේ අඩි පාරේ ගමන් කිරීමට සැබෑ ක්‍රිස්තියානියෙකු වෙර දැරීම අවශ්‍ය වේ. තම ජීවිතයෙහි වඩාත්ම වැදගත් දෙය වූයේ කුමක්ද කියා උන්වහන්සේ තම භූමික ජීවිතයෙන් පැහැදිලිව පෙන්වූසේක. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.” (යොහන් 9:4) රාත්‍රිය පැමිණෙන බව පැවසීමෙන් යේසුස්වහන්සේ යොමු දක්වමින් සිටියේ, උන්වහන්සේ අද්දැකීමට යන පරීක්ෂා, වධ කණුවක එල්ලනු ලැබීම සහ මරණය ගැනය; උන්වහන්සේගේ භූමික දේවසේවය අවසන් වූ විට, සිය ස්වර්ගික පියාණන්ගේ වැඩවල නිරත වීමට උන්වහන්සේට නොහැකි වනු ඇත.
අවුරුදු තුනහමාරක සිය දේවසේවයේදී, යේසුස්වහන්සේ තම කාලයෙන් යම් ප්‍රමාණයක් ප්රාතිහාර්යයන් සිදු කිරීමට හා ලෙඩුන් සුව කිරීමට යෙදවූ බව සැබෑවකි. ඒ කෙසේවෙතත්, උන්වහන්සේ වැඩි කාලයක් යෙදෙව්වේ, රාජ්‍ය පණිවිඩය දේශනා කිරීමටත්, බොරු ආගමේ ‘වහලුන්ට මිදීම ප්‍රකාශ කරන්ටත්ය.’ (ලූක් 4:18; මතෙව් 4:17) යේසුස්වහන්සේ සිය දේවසේවය සඳහා දැඩි ප්රයත්නයක් දැරූ අතර, උන්වහන්සේ දැමූ අඩිතාලම මත ගොඩනැංවීමටත් දේශනා කිරීමේ වැඩය බලපෑමෙන් යුක්තව කරගෙන යෑමටත් හැකිවීම සඳහා, සිය ගෝලයන්ව පුහුණු කිරීමටද කාලය ගත්සේක. රාජ්‍ය කටයුතු වැඩිවර්ධනය කිරීම සඳහා උන්වහන්සේ සෑම ප්‍රස්තාවක්ම අල්ලාගත් අතර, තම ගෝලයන්ද එම දෙයම කරනවා දැකීම උන්වහන්සේගේ ආශාව විය.—මතෙව් 5:14-16; යොහන් 8:12.
යේසුස්වහන්සේ හා සමානව, උන්වහන්සේගේ නවීන දින අනුගාමිකයන් වන අප, යෙහෝවඃ දෙවියන්වහන්සේ මිනිස්වර්ගයාගේ තත්වය දෙස බලන්නාක් මෙන් බැලිය යුතුය. මේ දේවල පිළිවෙළ සඳහා ඉතිරි වී තිබෙන කාලය ඉකුත් වෙමින් පවතින අතර, සියලුදෙනාම ගැළවීම ලබාගැනීමේ ප්‍රස්තාව අත් කරගන්නවා දැකීමට දෙවියන්වහන්සේ කැමති වනසේක. (2 පේතෘස් 3:9) එමනිසා, යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීම සඳහා වෙනත් සියලු වැඩකටයුතු දෙවන තැනට දැමීම ඥානවන්ත දෙයක් නොවේද? (මතෙව් 6:25-33) විශේෂයෙන්ම මෙවන් සුවිශේෂ කාලයක සාමාන්‍යයෙන් වැදගත් ලෙස සලකනු ලබන යම් දෙයක්, ක්‍රිස්තියානීන් වශයෙන් අපගේ ජීවිතයේ වැදගත්කමින් අඩු දෙයක් බවට පත් විය හැක.
දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම අපගේ ජීවිතයේ පළමු තැනට දැමීමෙන් අපගෙන් කිසිවෙකු කෙදිනක හෝ කනගාටු වනු ඇද්ද? ඇත්තෙන්ම නැත, ආත්ම පරිත්‍යාගී ක්‍රිස්තියානි ක්‍රියාමාර්ගයක් මවිතකර අන්දමින් විපාක ගෙන දෙයි. නිදසුනක් හැටියට, යේසුස්වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ පැවසූසේක: “සැබවක් නුඹලාට කියමි—මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.”—මාර්ක් 10:29, 30.
යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමටත්, රාජ්‍ය පණිවිඩය ප්‍රචාරය කිරීමටත් තම කාලය යොදවන්නාවූ අය භුක්තිවිඳින විපාකයන් මුදලින් මැනීමට කිසිවෙකුට නුපුළුවන. ඔවුහු බොහෝ ආශීර්වාද භුක්තිවිඳිති! සැබෑ මිතුරන් ඇසුරු කිරීම, දිව්‍ය කැමැත්ත කිරීමෙන් ලැබෙන තෘප්තිය, දෙවියන්වහන්සේගේ අනුමැතියේ මදහස හා කෙළවරක් නැති ජීවිතය පිළිබඳ අපේක්ෂාව මීට අයත් වේ. (එළිදරව් 21:3, 4) ජනයාට ආත්මිකව උපකාර කිරීමත්, උන්වහන්සේගේ සාක්ෂිකරුවන් හැටියට යෙහෝවඃවහන්සේගේ ශුද්ධ නාමයට ගෞරවය ගෙනඒමත් කොතරම් ආශීර්වාදයක්ද! ‘ප්‍රස්තා ඇති කාලය මිල දී ගැනීම’ සැබවින්ම ඥානවන්ත මෙන්ම විපාකදායි ක්‍රියාමාර්ගයක් බවට කිසිදු සැකයක් නැත. වෙන කවරදාටත් වඩා දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීමට තිබෙන කාලය වන්නේ දැන්ය. ඔබ මෙම අද්විතීය ප්‍රස්තාව අල්ලාගෙන ඉන් ප්‍රයෝජන අත් පත් කරගනු ඇද්ද?
[පාදසටහන]
a සැබෑ නම නොවේ.