දැනුම් තේරුම් ඇතුව එකඟ වීමේ අයිතිය යළි සහතික කෙරේ
ඉතාලියේ මෙසීනාහි ප්‍රාථමික විමර්ශනයන් පිළිබඳ අධිකරණයේ විනිසුරු විසින් මෑතකදී ප්‍රකාශ කරන ලද තීන්දුව මගින්, වැඩිහිටි රෝගියෙකු වෛද්‍යමය වශයෙන් බලාපොරොත්තු වන දේවල් ඉටු කිරීමට වෛද්‍යවරුන් බැඳී සිටින බවට යළි සහතික කර ඇත. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු සම්බන්ධ වූ නඩුවකදී මෙම නියමය ප්‍රකාශ කරන ලදි.
වර්ෂ 1994 ජනවාරි මාසයේදී, හෙමොෆීලියාව නමැති රෝගයෙන් පෙළුණු අවුරුදු 64ක් වයසැති සාක්ෂිකාරයෙකු වන ආන්ටෝනිනො ස්ටෙලාරියෝ ලෙන්ටීනිව, මෙසීනාහි ටුමිනෙ නම් ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඉක්මනින්ම ඇතුල් කරන ලදි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හැටියට ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා රුධිර ප්‍රවේශනය සහිත ප්‍රතිකාරයකට එකඟ නොවන බව ආන්ටෝනිනොගේ බිරිඳ වූ කාටේනා රෝහල් සේවක මණ්ඩලයට පෙන්වා දුන්නාය. (ක්‍රියා 15:20, 28, 29) ඔවුන්ගේ ඉල්ලීම්වලට ගරු කරන ලදි.
කෙසේවෙතත්, වෙනත් සෞඛ්‍ය සුරැකුම් මධ්‍යස්ථානයකට ආන්ටෝනිනොව ගෙන යමින් සිටියදී, ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම හේතුවෙන් ඔහුගේ තත්වය අසාධ්‍යය විය. ඉන්පසු විගසින් ඔහු මියගියේය. කාටේනාට එය බලවත් පහරක් වූ නමුත්, නැවත නැඟිටීම පිළිබඳ බයිබලයේ සඳහන් පොරොන්දුවෙන් ඈ මහත් සැනසිල්ලක් ලැබුවාය. (ක්‍රියා 24:15) ඉන්පසු, ඇයව මවිතයට පත් කරවමින් වෛද්‍යවරුන් විසින් අත්‍යවශ්‍යයයි සලකනු ලැබූ ප්‍රතිකාරය තම ස්වාමිපුරුෂයාට ලබා දීම ඇය ප්‍රතික්ෂේප කළ නිසා, ඇගේ ස්වාමිපුරුෂයාගේ මරණයට ඇය වගකිව යුතුයයි මහේස්ත්‍රාත්වරු චෝදනා කළහ; ඇතැම්විට ජන මාධ්‍ය මගින් පතුරුවා හරින ලද වැරදි තොරතුරුවලින් මහේස්ත්‍රාත්වරුන් නොමඟ ගියා විය හැක.
වසරකට වඩා වැඩි කාලයක් ගත වූ පසු, එනම් 1995 ජූලි 11වනදා, කාටේනා කිසිම අපරාධයක් කර නොතිබූ නිසා ඇයව චෝදනාවෙන් නිදහස් කරනු ලැබීය. ඇත්තවශයෙන්ම, රෝගියාගේ තත්වය සලකා බැලීමේදී, වෛද්‍යමය මැදිහත් වීමක් තිබුණද ඔවුන්ගේ වෑයම නිෂ්ඵල වන්ට තිබුණු බව විශේෂඥයන්ගේ සාක්ෂි යොමු දැක්වීය.
එහෙත් විනිසුරුගේ ප්‍රකාශයෙහි ප්‍රධාන ගැටලුව සඳහන් කර තිබුණේය. රෝගියා හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින තැනැත්තෙකු විසින් යම් ප්‍රතිකාරයක් ප්‍රතික්ෂේප කරනු ලබන විට, වෛද්‍ය කාර්ය මණ්ඩලය මැදිහත් විය යුතුය යන අදහස පිළිගැනීමට අසීරු බව ඔහු පෙන්වා දුන්නේය. ඉතාලියෙහි වෛද්‍ය යුක්ත්යාත්මක සංග්රහයෙහි මෙසේ සඳහන් වන බව ඔහු තවදුරටත් පැවසුවේය: “ඕනෑම මැදිහත් වීමකට කලින් අදාළ පුද්ගලයාගේ දැනුම් තේරුම් ඇති එකඟ වීම ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.” මෙසේ කාටේනා “තම ස්වාමිපුරුෂයාව එවන් ශල්‍යකර්මයකට භාජන කිරීමෙන් නීත්‍යනුකූලව වළක්වාගෙන තිබෙන” බව ඔහු සඳහන් කළේය.
ඔහුගේ හෝ ඇයගේ ඉල්ලීම්වලට පටහැනි වෛද්‍ය ප්‍රතිකාරයක් ප්‍රතික්ෂේප කිරීමට වැඩිහිටියෙකු සතු අයිතිය මෙම නඩු තීන්දුව මගින් යළි සහතික කරයි.