නිරාහාරව සිටීම යල්පැන ගිය යමක්ද?
“මගේ තරුණ කාලයේ ඉඳලම මං හැම සඳුදාම නිරාහාරව ඉඳලා තියෙනවා,” යනුවෙන් අවුරුදු 78ක් වයසැති මෲදූලබෙන් නමැති ධනවත් ඉන්දියානු ස්ත්‍රියක් පවසන්නීය. මෙය ඇයගේ නමස්කාරයේ කොටසක් වී තිබිණ; තවද මෙය ඇයට යහපත් විවාහයක් හා සෞඛ්‍යසම්පන්න දරුවන් සිටින බවටත්, එමෙන්ම ඇගේ ස්වාමිපුරුෂයාටද ආරක්ෂාව ලැබෙන බවටත් සහතික කිරීමේ මාර්ගයක් විය. දැන් වැන්දඹුවක්ව සිටින ඈ, යහපත් සෞඛ්‍ය තත්වයක් හා තම දරුවන්ගේ සෞභාග්‍යය සඳහා සෑම සඳුදා දිනකම නොකඩවා නිරාහාරව සිටින්නීය. ඇය මෙන්, හින්දු ස්ත්‍රීන්ගෙන් බොහෝදෙනෙක්, විධිමත් නිරාහාරව සිටීම, නිරන්තරයෙන්ම තම ජීවිතයෙහි කොටසක් බවට පත් කරගනිති.
ඉන්දියාවේ මුම්බායිහි (බොම්බාය) උපනගරයක ජීවත් වන මැදිවියේ ව්‍යාපාරිකයෙකු වන ප්රකාෂ් පවසන්නේ, ඔහු සෑම අවුරුද්දකම සවන් (ෂ්රවාන්) සඳුදා දිනවල නිරාහාරව සිටින බවයි. මෙය වනාහි හින්දු දින දර්ශනයෙහි විශේෂ ආගමික වැදගත්කමකින් යුත් මාසයකි. ප්රකාෂ් මෙසේ පැහැදිලි කරයි: “මං එය පටන්ගත්තේ ආගමික හේතු හින්දා වුණත්, සෞඛ්‍ය හේතු හින්දා එය දිගටම කරගෙන යන්න දැන් මට තව අමතර පෙලඹීමක් තියෙනවා. සවන්, මෝසම් වැසි වහින කාලයේ අවසානයේදී එන හින්දා, වැහි කාලයේදී ඇති වන විශේෂ ලෙඩ රෝගවලින් මගේ ශරීරය පිරිසිදු කරගැනීම සඳහා නිරාහාරව සිටීම මට අවස්ථාවක් ලබා දෙනවා.”
නිරාහාරව සිටීම පුද්ගලයෙකුට ශාරීරිකව, මානසිකව හා ආත්මිකව උපකාර කරන බව සමහරුන්ට හැඟේ. නිදසුනක් වශයෙන්, ග්රෝල්යේ ඉන්ටර්නැෂනල් එන්සයික්ලොපීඩියා මෙසේ සඳහන් කරයි: “නිරාහාරව සිටියහොත් සෞඛ්‍යසම්පන්න විය හැකි බවත්, පරෙස්සමින් එහි යෙදී සිටියහොත් එයට මානසිකව දැනුවත්ව සිටීමට හා දැනීමේ ශක්තියද වර්ධනය කිරීමට හැකි බවත් මෑතක කරන ලද විද්‍යාත්මක පර්යේෂණ යෝජනා කරයි.” ග්‍රීක දර්ශනවාදියෙකු වූ ප්ලේටෝ දින දහයක් හෝ ඊට වැඩියෙන් නිරාහාරව සිටි බවත්, ගණිත විද්‍යාඥයෙකු වූ පයිතගරස් තම ශිෂ්‍යයන්ට උගන්වන්ට පෙර ඔවුන්ට නිරාහාරව සිටීමට සැලැස්සූ බවත් පවසා තිබේ.
සමහරදෙනෙකුට නිරාහාරව සිටීමෙන් අදහස් කරන්නේ, යම් නිශ්චිත කාලපරිච්ඡේදයකට සම්පූර්ණ වශයෙන්ම ආහාර අනුභව කිරීමෙන් හා ජලය පානය කිරීමෙන් වැළකී සිටීම වන අතර, වෙනත් අය නිරාහාරව සිටින කාලය අතරතුර දියර වර්ග පානය කරති. ඇතැම් ආහාර වේල් අතපසු කිරීමෙන් හෝ යම් විශේෂ ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් වැළකී සිටීම, නිරාහාරව සිටීමක් ලෙස බොහෝදෙනෙකු විසින් සලකනු ලැබේ. එහෙත් දීර්ඝ කාලයකට අධීක්ෂණයක් නොමැතිව නිරාහාරව සිටීම අනතුරුදායක විය හැකිය. ශරීරය එහි තැන්පත් වී තිබෙන කාබොහයිඩ්රේට් ප්‍රමාණය උරාගත්තායින් පසු, එය පේශි ප්‍රෝටීන ග්ලූකෝස් බවට හරවන අතර, පසුව එය ශරීරයේ මේදය වෙත හැරෙන බව පත්රකලාවේදියෙකු වන පාරූල් ෂෙත් පවසයි. මේදය, ග්ලූකෝස් බවට හැරවීමේදී, කීටෝන් දේහ නමින් හැඳින්වෙන විෂ ද්‍රව්‍යයක් නිකුත් කරයි. මේවා එකතු වෙද්දී, ඒවා මොළයට ගමන් කර, ප්‍රධාන ස්නායු පද්ධතියට හානි පමුණුවයි. “නිරාහාරව සිටීම අනතුරුදායක විය හැක්කේ මේ අවස්ථාවෙදි තමයි,” කියා ෂෙත් පවසයි. “ව්‍යාකූල වීම, අන්දමන්ද වීම හා ඊට වඩා දරුණු දේවල් ඔබට සිදු විය හැක. . . . [එයට] මුර්ඡාව හා අවසානයේදී මරණය [සිදු කළ හැකිය.]”
මෙවලමක් සහ චාරිත්‍රයක්
නිරාහාරව සිටීම, දේශපාලනික හෝ සමාජීය ඉලක්ක ඉටු කරගැනීම සඳහා ප්‍රබල මෙවලමක් ලෙස භාවිත කර තිබේ. මෙම මෙවලම සාර්ථක ලෙස භාවිත කළ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වූයේ, ඉන්දියාවේ මොහාන්දාස් කේ. ගාන්ධිය. මිලියන සිය ගණනක ජනතාවක විසින් ඉතා උසස් කොට සලකනු ලැබූ ඔහු, ඉන්දියාවේ හින්දු ජන සමූහය මත ප්‍රබල අන්දමකින් බලපෑමක් ඇති කිරීමට නිරාහාරව සිටීම භාවිත කළේය. මෝල්වල සේවය කරන කම්කරුවන් හා මෝල් අයිතිකරුවන් අතර කර්මාන්තවල පවතින ආරවුලක් ඉක්මනින්ම නිරාකරණය කිරීමට ඔහුගේ නිරාහාරව සිටීමේ ප්‍රතිඵලය විස්තර කරමින්, ගාන්ධි මෙසේ පැවසුවේය: “අන්තිම ප්‍රතිඵලය වුණේ, සම්බන්ධ වෙලා හිටපු හැමෝම එකමුතු වීමයි. මෝල් අයිතිකරුවන්ගේ හිත් උණු වුණා. . . . මං නිරාහාරව සිටියේ දවස් තුනකට විතරයි; ඊට පස්සේ වර්ජනය නතර කරනු ලැබුවා.” දකුණු අප්‍රිකාවේ ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා, දේශපාලනික සිරකරුවෙක් වශයෙන් ගත කළ වසර ගණනාව තුළදී, දින පහක උපවාසයක හවුල් වූයේය.
කෙසේවෙතත්, නිරාහාරව සිටීම පුරුද්දක් වශයෙන් කරගෙන යන බොහෝදෙනෙකු එසේ කර තිබෙන්නේ, ආගමික හේතු නිසාය. නිරාහාරව සිටීම හින්දු ධර්මයෙහි ප්‍රසිද්ධ චාරිත්රයකි. ඇතැම් දිනවල, “සම්පූර්ණ වශයෙන් නිරාහාරව සිටී . . . වතුර බිඳක්වත් පානය කරනු නොලැබේ. සන්තෝෂය, සෞභාග්‍යය හා වැරදි මෙන්ම පාපවලට සමාව අයැදීම තහවුරු කරගැනීම සඳහා . . . පුරුෂයන් හා ස්ත්‍රීන් දෙපක්ෂයම සම්පූර්ණයෙන්ම නිරාහාරව සිටින බව,” ෆාස්ට් ඇන්ඩ් ෆෙස්ටිවල්ස් ඔෆ් ඉන්ඩියා යන පොත සඳහන් කරයි.
ජෛන ආගමෙහි නිරාහාරව සිටීම පුළුල්ව පිළිපදිනු ලැබේ. ද සන්ඩෙ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා රිව්යූ මෙසේ වාර්තා කරයි: “බොම්බායෙහි [මුම්බායි] ජෛන ආගමේ ම්යූනී [එනම් උගතෙක්] දින 201ක් පුරා, දිනකට උණු වතුර වීදුරු දෙක බැගින් පානය කළේය. ඔහුගේ බර කිලෝග්‍රෑම් 33කින් [රාත්තල් 73කින්] අඩු විය.” මෙයින් ගැළවීම ලැබෙනු ඇතැයි ඒත්තුගෙන, සමහරු මරණය විඳින තරමටම නිරාහාරව සිටිති.
ඉස්ලාම් ආගම පිළිපදින වැඩිහිටියන්ට, සාමාන්‍යයෙන් රාමසාන් මාසය තුළ නිරාහාරව සිටීම අනිවාර්යය දෙයකි. මුළු මාසයේම, ඉරු උදා වන වේලාවේ සිට ඉරු බසින වේලාව දක්වා කිසිම ආහාරයක් අනුභව කිරීමටවත්, ජලය පානය කිරීමටවත් නොහැක. අසනීප වී සිටින හෝ ඒ කාලය අතරතුර සංචාරයක යෙදී සිටින කෙනෙකු, වෙනත් වේලාවක ඒ හා සමාන කාලයක් නිරාහාරව සිටිය යුතුය. පාස්කුවට පෙර දින හතළිහේ කාලපරිච්ඡේදය වන, චතාරික කාලය ක්‍රිස්තියානි ලෝකයෙහි සිටින සමහරදෙනෙකු සඳහා නිරාහාරව සිටීමේ කාලයක් වන අතර, බොහෝ ආගමික නිකායවල සිටින අය වෙනත් විශේෂිත දිනවලද නිරාහාරව සිටිති.
ඇත්තෙන්ම නිරාහාරව සිටීම නැති වී ගොස් නැත. තවද එය බොහෝ ආගම්වල කොටසක් වන බැවින්, අපට මෙසේ ඇසීමට හැකිය: දෙවියන්වහන්සේ නිරාහාරව සිටීම නියම කරනසේක්ද? නිරාහාරව සිටීමට ක්‍රිස්තියානියෙකුට තීරණය කළ හැකි අවස්ථාවන් තිබිය හැකිද? මෙය ප්‍රයෝජනදායක විය හැකිද? මෙම ප්‍රශ්න ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලැබේ.
[3වන පිටුවේ පින්තූරය]
නිරාහාරව සිටීම, ප්‍රාණයට ගැළවීම ලබා දෙන මාර්ගයක් ලෙස ජෛන ආගමෙහි සලකනු ලැබේ
[4වන පිටුවේ පින්තූරය]
දේශපාලනික හෝ සමාජීය ඉලක්ක ඉටු කරගැනීම සඳහා මොහාන්දාස් කේ. ගාන්ධි නිරාහාරව සිටීම ප්‍රබල මෙවලමක් ලෙස භාවිත කළේය
[4වන පිටුවේ පින්තූරය]
ඉස්ලාම් ධර්මයෙහි, රාමසාන් මාසය තුළ නිරාහාරව සිටීම අනිවාර්යය දෙයකි
[හිමිකම් විස්තර]
Garo Nalbandian