දෙවියන්වහන්සේ නිරාහාරව සිටීම නියම කරනසේක්ද?
මෝසෙස්ගේ මාර්ගයෙන් දුන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි නිරාහාරව සිටීමට ඉල්ලා සිටියේ එක් අවස්ථාවකදී පමණි—එනම් වාර්ෂික සමඟි කිරීමේ දවසේදීය. ව්‍යවස්ථාවෙහි අණ කර තිබූ පරිදි, ඉශ්‍රායෙලිතයන්ට එම දවසේදී ‘තමන්ගේ ප්‍රාණයට පීඩා කරගැනීමට,’ එනම් ඉන් අදහස් වූයේ ඔවුන්ට නිරාහාරව සිටීමට සිදු වූ බවය. (ලෙවී කථාව 16:29-31; 23:27; ගීතාවලිය 35:13) කෙසේවෙතත්, මෙම නිරාහාරව සිටීම හුදෙක් නිකම්ම චාරිත්‍රයක් ලෙස කරනු ලැබූ යමක් නොවීය. සමඟි කිරීමේ දවස පැවැත්වීමෙන්, තමන්ගේ පව්කාරකම හා එයින් ගැළවීම සඳහා ඇති අවශ්‍යතාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමට ඉශ්රායෙල් ජනයාව පොලඹවනු ලැබීය. ඔවුන් එම දවසෙහි නිරාහාරව සිටියේ, තම පව්වලට ශෝකවීම මෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි පසුතැවිලි වීම සඳහාය.
මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතෙහි අනිවාර්යයෙන්ම පැවැත්වීමට සිදු වූ එකම නිරාහාරව සිටීම මෙය වුවත්, ඉශ්‍රායෙලිතයෝ වෙනත් අවස්ථාවලදීත් නිරාහාරව සිටියෝය. (නික්මයාම 34:28; 1 සාමුවෙල් 7:6; 2 ලේකම් 20:3; එස්රා 8:21; එස්තර් 4:3, 16) මේවා අතර, පසුතැවිල්ල පෙන්වීම සඳහා ස්වේච්ඡාවෙන් නිරාහාරව සිටීම්ද ඇතුළත් වූයේය. යූදාහි වැරදි කළ මනුෂ්‍යයන්ගෙන් යෙහෝවඃවහන්සේ උදක්ම මෙසේ ඉල්ලා සිටිසේක: “නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්න.” මෙය වනාහි පිටතින් පෙන්වන්ට තිබූ යමක් නොවේ; මන්ද දෙවියන්වහන්සේ තවදුරටත් මෙසේ ප්‍රකාශ කරන බැවිනි: “නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාග[න්න].”—යෝවෙල් 2: 12-15.
පසුකාලයකදී, පිටතින් පෙන්වන බාහිර භක්තියක් වශයෙන් බොහෝදෙනෙක් නිරාහාරව සිටියෝය. එබැවින් යෙහෝවඃවහන්සේ එවැනි වංක නිරාහාරව සිටීම් පිළිකුල් කළ අතර, කුහක ඉශ්රායෙලිතයන්ගෙන් මෙසේ ඇසූසේක: “මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රාණය යටත්කරගන්න දවසක් වන මා විසින් තෝරාගත් උපවාසය එයාකාරද? එය තමාගේ හිස පන් ගසක් මෙන් නමාගෙන, ගෝණිරෙදි සහ අළු අතුරාගන හිඳීමද? මීට උපවාසයක් සහ ස්වාමීන්වහන්සේට ප්‍රසන්නවූ දවසක්යයි නුඹ කියනවාද?” (යෙසායා 58:5) තමන් නිරාහාරව සිටින බව හුදෙක් ප්‍රදර්ශනය කරනවා වෙනුවට, මෙම හිතුවක්කාර මනුෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ පසුතැවිලි වීමට සුදුසු ඵල නිපදවීමටය.
යුදෙව්වන් විසින් පිහිටුවනු ලැබූ ඇතැම් නිරාහාරව සිටීම්, මුල සිටම දෙවියන්වහන්සේගේ අප්‍රසාදයට ලක් විය. නිදසුනක් වශයෙන්, පො.යු.පෙ. හත්වන සියවසෙහි යෙරුසලමෙහි වැටලීම හා විනාශයට සම්බන්ධ ඛේදජනක සිද්ධීන් සිහිපත් කිරීම සඳහා, යූදාහි ජනයා එක් කලක වාර්ෂික නිරාහාරව සිටීම් හතරක් පැවැත්වූහ. (2 රාජාවලිය 25:1-4, 8, 9, 22-26; සෙකරියා 8:19) යුදෙව්වන්ව බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් කරනු ලැබීමෙන් පසු, අනාගතවක්තෘ සෙකරියා තුළින් යෙහෝවඃවහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් . . . නිරාහාරව සි[ටිද්දී] . . . නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?” දෙවියන්වහන්සේ යුදෙව්වන්ගේ මෙම නිරාහාරව සිටීම්වලට ස්වකීය අනුමැතිය නුදුන්නේ, ඔවුන් නිරාහාරව හා ශෝකයෙන් සිටියේ යෙහෝවඃවහන්සේ විසින්ම ගෙනෙනු ලැබූ විනිශ්චයන් කෙරෙහි වන බැවිනි. ඔවුන් නිරාහාරව සිටියේ තමන් පිටට පැමිණ තිබූ විපත්තිය නිසා මිස, එයට මඟ පෑදූ තමන්ගේ වැරදි මාර්ගය නිසා නොවීය. ඔවුන්ව තම මව්බිම වෙත යළි ගෙන ඒමෙන් පසු, අතීතය සම්බන්ධයෙන් වැලපෙනවා වෙනුවට, එය ඔවුන්ට ප්‍රීතිවීමට කාලය වූයේය.—සෙකරියා 7:5.
නිරාහාරව සිටීම ක්‍රිස්තියානීන් සඳහාද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ශ්‍රාවකයන්ට නිරාහාරව සිටීමට කිසි දිනක අණ නොකළත්, ඔවුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතෙහි සිටි නිසා, උන්වහන්සේ හා උන්වහන්සේගේ අනුගාමිකයෝ සමඟි කිරීමේ දවසේදී නිරාහාරව සිටියෝය. ඊට අමතරව, මෙම පිළිපැදීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට යේසුස්වහන්සේ ඔවුන්ට මඟ පෙන්වූයේ නැති නිසා, උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමහරෙක් වෙනත් අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් නිරාහාරව සිටියෝය. (ක්‍රියා 13:2, 3; 14:23) එහෙත් ඔවුන් කිසි දිනක, ‘තමන් නිරාහාරයෙන් සිටින බව මනුෂ්‍යයන්ට පෙන්වීමට තමුන්ගේ මුහුණු විරූප’ කරගැනීම නොකළ යුතු විය. (මතෙව් 6:16) භක්තිවන්ත බව එයාකාරයෙන් පිටතින් ප්‍රදර්ශනය කිරීමෙන් වෙනත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා කිරීම් හා අනුමැතිය ලබන ප්‍රකාශයන් ඇතැම්විට ලැබෙනු ඇත. කෙසේවෙතත්, දෙවියන්වහන්සේ එයාකාර ප්‍රදර්ශනවලට ප්‍රසන්න නොවනසේක.—මතෙව් 6:17, 18.
තම මරණයේදීත්, තම අනුගාමිකයන් නිරාහාරව සිටිනු ඇති බව යේසුස්වහන්සේ පෙන්නුම් කළසේක. මෙයින් උන්වහන්සේ චාරිත්‍රානුකූලව නිරාහාරව සිටීමක් පිහිටුවමින් සිටියේ නැත. ඒ වෙනුවට, ඔවුන් අද්දකිනු ඇති දැඩි ශෝකයේ ප්‍රතික්‍රියාව උන්වහන්සේ අඟවමින් සිටිසේක. උන්වහන්සේව නැවත නැඟිටවනු ලැබුවායින් පසුව, උන්වහන්සේ යළි ඔවුන් සමඟ සිටිනු ඇති අතර, නැවතත් ඔවුන්ට නිරාහාරව සිටීමට කිසිදු හේතුවක් නොතිබෙනු ඇත.—ලූක් 5:34, 35.
‘බොහෝදෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් ක්‍රිස්තුස්වහන්සේව පූජා කරනු’ ලැබූ විට මෝසෙස්ගේ ව්‍යවස්ථාව අවසාන විය. (හෙබ්‍රෙව් 9:24-28) තවද ව්‍යවස්ථාවෙහි සමාප්තියත් සමඟම, සමඟි කිරීමේ දවසේදී නිරාහාරව සිටීමේ ආඥාවද අවසාන විය. එබැවින් බයිබලයෙහි සඳහන් කර තිබුණු එකම අනිවාර්ය නිරාහාරව සිටීම ඉවත් කරනු ලැබීය.
චතාරික කාලය පිළිබඳව කුමක් කිව හැකිද?
එසේනම්, චතාරික කාලය තුළදී, ක්‍රිස්තියානි ලෝකයේ නිරාහාරව සිටීමේ පිළිවෙත සඳහා තිබෙන පදනම කුමක්ද? එය පවත්වනු ලබන ආකාරය පල්ලියෙන් පල්ලියට වෙනස් වුවත්, කතෝලික හා රෙපරමාදු පල්ලි, චතාරික කාලය පිළිගනිති. පාස්කුවට පෙර දින 40හේ කාලය තුළදී, සමහරු හුදෙක් දිනකට එක ආහාර වේලක් පමණක් අනුභව කරති. වෙනත් අය අළු බදාදා සහ මහ සිකුරාදා දිනවල පමණක් සම්පූර්ණ වශයෙන්ම නිරාහාරව සිටිති. තවත් සමහරුන්ට, චතාරික කාලයෙන් අදහස් වන්නේ, මස්, මාළු, බිත්තර සහ කිරි නිෂ්පාදනවලින් වැළකී සිටීමය.
චතාරික කාලය පදනම් වී තිබෙන්නේ, යේසුස්වහන්සේගේ බව්තීස්මයෙන් පසු දින 40හේ නිරාහාරව සිටීම මත බව කියනු ලැබේ. වාර්ෂිකව පැවැත්වීමට නියමිත චාරිත්‍රයක් උන්වහන්සේ එවිට පිහිටුවමින් සිටිසේක්ද? කිසිසේත් නැත. එවන් පිළිවෙතක් මුල් ක්‍රිස්තියානීන් පැවැත්වූ බවට බයිබලයෙහි වාර්තා නොකිරීමෙන් මෙය පැහැදිලි වේ. චතාරික කාලය මුලින්ම පවත්වනු ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේගෙන් පසුව හතරවන සියවසේදීය. ක්‍රිස්තියානි ලෝකයේ වෙනත් ඉගැන්වීම් බොහොමයක් මෙන්, මෙය මිථ්‍යාදෘෂ්ටික මූලාශ්‍රවලින් ඈඳාගන්නා ලදි.
චතාරික කාලය, යේසුස්වහන්සේගේ බව්තීස්මයෙන් පසු උන්වහන්සේ පාළුකරයේ කරන ලද නිරාහාරව සිටීමට සමාන වන්නේ නම්, එය පාස්කුවට පෙර සතිවල, එනම් උන්වහන්සේ නැවත නැඟිටවනු ලැබූ කාලය බව කියනු ලබන කාලය තුළ පවත්වනු ලබන්නේ මන්ද? යේසුස්වහන්සේ තම මරණයට පෙර දිනවල නිරාහාරව සිටියේ නැත. උන්වහන්සේ මියයෑමට දින කිහිපයකට පෙර, උන්වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රාවකයන් බෙතානියෙහි නිවෙස්වලට ගොස් ආහාර අනුභව කළ බව සුවිශේෂ වාර්තා දක්වයි. තවද සිය මරණයට පෙර දින රාත්‍රියෙහි, උන්වහන්සේ පාස්කු භෝජනය අනුභව කළසේක.—මතෙව් 26:6, 7; ලූක් 22:15; යොහන් 12:2.
යේසුස්වහන්සේ සිය බව්තීස්මයට පසුව කළ නිරාහාරව සිටීමෙන් ඉගෙනීමට යමක් තිබේ. උන්වහන්සේ වැදගත් දේවසේවයකට පා තබමින් සිටිසේක. යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම මෙන්ම මුළු මනුෂ්‍ය සංහතියේම අනාගතය සම්බන්ධ වී තිබිණ. මෙය වනාහි ගැඹුරු ලෙස මෙනෙහි කිරීමේ මෙන්ම උපකාරය හා මඟ පෙන්වීම ලබාගැනීම සඳහා යෙහෝවඃවහන්සේ වෙත යාච්ඤාවෙන් පිවිසීමේ කාලය වූයේය. මෙම කාලය තුළදී, යේසුස්වහන්සේ සුදුසු ලෙස නිරාහාරව සිටිසේක. හරි ආකල්පයකින් හා උචිත අවස්ථාවකදී පවත්වනු ලැබූ විට, නිරාහාරව සිටීම ප්‍රයෝජනදායක විය හැකි බව මෙයින් ඇඟවේ.—කොලොස්සි 2:20-23, සසඳන්න.
නිරාහාරව සිටීම ප්‍රයෝජනදායක විය හැකි අවස්ථා
අදදින දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙකු නිරාහාරව සිටිය හැකි අවස්ථා සමහරක් අපි සලකා බලමු. පාපයක් කර තිබෙන පුද්ගලයෙකුට යම් කාලපරිච්ඡේදයකට ආහාර අනුභව නොකර සිටීමට සිතිය හැක. මෙය කරනු ලබන්නේ, වෙනත් අයගේ සිත් ඇදගැනීම සඳහා හෝ ලැබුණු හික්මවීමට කෝපය ප්‍රකාශ කිරීමට නොවේ. තවද, නිරාහාරව සිටීමෙන් පමණක්ම දෙවියන්වහන්සේ සමඟ කාරණා හරිගැස්සෙන්නේ නැති බව නොකිවමනාය. කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේව මෙන්ම ඇතැම්විට මිත්රයන්ව හා පවුලේ අයව රිදවා තිබීම සම්බන්ධයෙන් සැබවින්ම පසුතැවිලි වන පුද්ගලයෙකුට ගැඹුරු ශෝකයක් හැඟේ. අධික ශෝකය හා සමාව අයැදීමට උද්යෝගයෙන් කරන යාච්ඤාවන්, ආහාරවලට තිබෙන ආශාව යටපත් කළ හැකිය.
ඉශ්රායෙලයේ දාවිත් රජුට ඒ හා සමාන අද්දැකීමක් තිබිණ. බැත්ෂෙබාට ඉපදුණ තම පුත්‍රයාව අහිමි වීමට ඇති ඉඩ කඩට මුහුණ දීමට සිදු වූ විට, දරුවා සම්බන්ධයෙන් දයාව ලබාගැනීම සඳහා යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීම කෙරෙහි ඔහු සම්පූර්ණ අවධානය යොමු කළේය. ඔහු සම්පූර්ණ වශයෙන් යාච්ඤා කිරීම කෙරෙහි සිත යොමු කර සිටින අතරතුර, ඔහු නිරාහාරව සිටියේය. එයාකාරව, අදදිනත් ඇතැම් පීඩාකාරි තත්වයන් යටතේදී ආහාර ගැනීම සුදුසු යමක් නොවන බව පෙනෙන්ට පුළුවන.—2 සාමුවෙල් 12:15-17.
දේවභක්තික පුද්ගලයෙකුට යම් ගැඹුරු ආත්මික කාරණයක් මත අවධානය යොමු කිරීමට වුවමනා විය හැකි අවස්ථාද තිබිය හැක. බයිබලයෙන් හා ක්‍රිස්තියානි ප්‍රකාශනවලින් පර්යේෂණ කිරීම අත්‍යවශ්‍ය විය හැකිය. මෙනෙහි කිරීම සඳහා යම් කාලපරිච්ඡේදයක් අවශ්‍ය වනු ඇත. ගැඹුරු ලෙස අධ්‍යයනය කරන එවන් අවස්ථාවකදී, කෙනෙකු ආහාර අනුභව කිරීම මගින් තමාව වෙනතකට යොමුවීමට ඉඩ නොහරිනවා වන්ට පුළුවන.—යෙරෙමියා 36:8-10, සසඳන්න.
බරපතළ තීරණ ගැනීමට සිදු වූ විට, නිරාහාරව සිටි දෙවියන්වහන්සේගේ සේවකයන් පිළිබඳ ශුද්ධ ලියවිලිමය ආදර්ශ තිබේ. නෙහෙමියාගේ දවස්වල යෙහෝවඃවහන්සේට දිවුරුමක් කරනු ලැබූ අතර, යුදෙව්වන් එය කඩ කළහොත් ඔවුන් ශාපයකට සුදුස්සන් වන්ට තිබිණ. තමන්ගේ විදේශික භාර්යාවන් අත්හැර, අවට ජාතීන්ගෙන් වෙන්ව සිටින බවට පොරොන්දු වීමට ඔවුන්ට තිබිණ. මෙම දිවුරුම කිරීමට පෙර හා තමන්ගේ වරද පාපොච්චාරණය කිරීමේදී, මුළු සභාවම නිරාහාරව සිටියෝය. (නෙහෙමියා 9:1, 38; 10:29, 30) එබැවින්, බැරෑරුම් තීරණ ගැනීමට සිදු වූ විට, ක්‍රිස්තියානියෙකු යම් කෙටි කාලපරිච්ඡේදයකට ආහාර අනුභව නොකර සිටිය හැක.
මුල් ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල් මණ්ඩලය තීරණ ගන්නා විට ඇතැම් අවස්ථාවලදී නිරාහාරව සිටීමෙන් ගනු ලැබීය. අදදින දුෂ්කර තීරණවලට මුහුණ දෙන, ඇතැම්විට විනිශ්චයක කාරණයක් සම්බන්ධයෙන් සලකා බලද්දී සභා වැඩිමහල්ලන් ආහාර ගැනීමෙන් වැළකී සිටිය හැක.
ඇතැම් අවස්ථාවලදී නිරාහාරව සිටීමට තෝරාගැනීම පෞද්ගලික තීරණයකි. මේ කාරණයේදී එක පුද්ගලයෙකු තව කෙනෙකුව විනිශ්චය නොකළ යුතුය. අප “මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්[ට]” නොසැලැස්විය යුතු අතර, අපගේ බරපතළ යුතුකම්වලට සැලකිල්ල යොමු කිරීමට බාධා කරවන අන්දමින් අප ආහාර ගැනීම වැදගත් යමක් ලෙසද නොසැලකිය යුතුය. (මතෙව් 23:28; ලූක් 12:22, 23) තවද, දෙවියන්වහන්සේ නිරාහාරව සිටීමට අපට නියම කරන්නේවත්, එසේ කිරීම තහනම් කරන්නේවත් නැති බව බයිබලය පෙන්නුම් කරයි.
[7වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ සිය බව්තීස්මයෙන් පසු, දින 40ක් නිරාහාරව සිටියේ මන්ද කියා ඔබ දන්නෙහිද?