සැනසිල්ල සඳහා යෙහෝවඃවහන්සේ දෙස බලන්න
“ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය [මානසික ආකල්පය, NW] ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.”—රෝම 15:6.
1. උදා වන සෑම දවසක්ම, සැනසිල්ල සඳහා වැඩි අවශ්‍යතාවක් මතු කරන්නේ ඇයි?
ගෙවී යන සෑම දවසක් පාසාම සැනසිල්ල සඳහා වැඩි වැඩියෙන් අවශ්‍යතාවක් මතු වෙයි. අවුරුදු 1,900කට ඉහතදී බයිබල් ලේඛකයෙකු නිරීක්ෂණය කළ පරිදි, “මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳි[යි].” (රෝම 8:22) මින් පෙර කෙදිනකටත් වඩා, අපේ කාලයේදී ‘කෙඳිරිගෑම’ හා ‘ගාවිනා විඳීම’ උත්සන්න වී තිබේ. පළමුවන ලෝක යුද්ධයේ පටන්, යුද්ධ, අපරාධ හා බොහෝදුරට මනුෂ්‍යයා අනිසි ලෙස පොළොව පරිපාලනය කිරීම හා සම්බන්ධව පවතින ස්වාභාවික ආපදා වැනි අඛණ්ඩ අර්බුදවලට මනුෂ්‍යවර්ගයා ගොදුරු වී තිබේ.—එළිදරව් 11:18.
2. (අ) මනුෂ්‍යවර්ගයා වර්තමානයේ අද්දකින විපත්වලට වැඩියෙන්ම වගකිව යුත්තේ කවුද? (ආ) අපට සැනසිල්ල සඳහා පදනමක් සපයන්නේ කුමන කාරණයද?
2 අපේ කාලයේ මෙතරම් දුක්විඳීමක් තිබී ඇත්තේ මන්ද? වර්ෂ 1914දී රාජ්‍යයේ උපතෙන් පසුව, සාතන්ව ස්වර්ගයෙන් ඉවත් කිරීම පිළිබඳව විස්තර කරද්දී, බයිබලය මෙසේ පිළිතුරු දෙයි: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” (එළිදරව් 12:12) එම අනාවැකිය ඉටු වී ඇති බවට තිබෙන පැහැදිලි සාක්ෂිවලින් අදහස් කරවන්නේ, අප සාතන්ගේ දුෂ්ට පාලනයේ අවසාන අදියර කරා ළඟා වී ඇති බවයි. පොළොවේ ජීවන තත්වය, සාතන් අපේ මුල් දෙමාපියන්ව කැරලිගැසීම සඳහා පෙලඹවීමට කලින් පැවති සාමදායී තත්වයට නැවත හැරෙන බව දැනසිටීම මොනතරම් සැනසිල්ලක්ද!
3. මනුෂ්‍යයන්ට සැනසිල්ලක් අවශ්‍යව නොතිබුණේ කවදාද?
3 පටන්ගැන්මේදී, මනුෂ්‍යයාගේ මැවුම්කරුවාණෝ පළමු මනුෂ්‍ය යුවළ සඳහා අලංකාර උද්‍යානයක් නිවසක් වශයෙන් සැපයූහ. එය ඒදන් නමැති ප්‍රදේශයේ පිහිටා තිබූ අතර, එම වචනයෙහි අර්ථය “සතුට” හෝ “සැප” වේ. (උත්පත්ති 2:8, NW පාදසටහන) එපමණක්ද නොව, කිසිදාක මිය නොයෑමේ අපේක්ෂාව ඇතුව, ආදම් සහ ඒව පරිපූර්ණ සෞඛ්‍ය තත්වයක් භුක්තිවින්දෝය. වතු වගාව, කලාව, ඉදි කිරීම, සංගීතය වැනි තම කුසලතා වර්ධනය කරගැනීමට ඔවුන්ට විවෘතව තිබූ විවිධ ක්ෂේත්රයන් ගැන මොහොතකට සිතා බලන්න. එමෙන්ම, පොළොව යටත් කරගැනීමට හා එය පාරාදීසයක් බවට පත් කිරීමට වූ ඔවුන්ගේ පැවරුම ඉටු කරද්දී, අධ්‍යයනය සඳහා ඔවුන් ඉදිරියෙහි තිබූ මැවිල්ලේ සියලු හස්ත කර්මාන්ත ගැන සිතා බලන්න. (උත්පත්ති 1:28) ඇත්තෙන්ම, ආදම් සහ ඒවගේ ජීවිතය කෙඳිරිගෑමෙන් හා ගාවිනාවෙන් නොව, නමුත් සැපෙන් හා සතුටින් පූර්ණ වීමට ප්‍රස්තාව විවෘතව තිබිණ. එසේනම්, ඔවුන්ට සැනසිල්ලක් අවශ්‍ය නොවන බව ඉතා පැහැදිලිය.
4, 5. (අ) ආදම් සහ ඒව කීකරු වීමේ පරීක්ෂණයෙන් අසමත් වූයේ මන්ද? (ආ) මනුෂ්‍යවර්ගයාට සැනසිල්ල සඳහා අවශ්‍යතාව මතු වූයේ කෙසේද?
4 කෙසේවෙතත්, ආදම් සහ ඒව කළ යුතුව තිබුණේ, තම කාරුණික ස්වර්ගික පියාණන් සඳහා ගැඹුරු ප්‍රේමයක් හා අගයක් වර්ධනය කරගැනීමය. සෑම තත්වයක් යටතේම දෙවියන්වහන්සේට කීකරු වීම සඳහා එවැනි ප්‍රේමයක් ඔවුන්ට පෙලඹවීමක් වන්ට තිබිණ. (යොහන් 14:31, සසඳන්න.) අපේ මුල් දෙමාපියන් දෙදෙනාම, තම නිසි පරමාධිපතියාණන් වන යෙහෝවඃවහන්සේට කීකරු වීමට අපොහොසත් වීම කනගාටුවට හේතුවකි. ඒ වෙනුවට, වැටීගිය දේවදූතයෙකු වන සාතන් නමැති යක්ෂයාගේ දුෂ්ට පාලනය යටතට පත්වීමට ඔවුහු තමුන්ටම ඉඩ දුන්හ. පව් කිරීමටත්, තහනම් කර තිබුණු ඵලය කෑමටත් ඒවව පරීක්ෂාවට ලක් කළේ සාතන්ය. ඊළඟට “එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි” කියමින් දෙවියන්වහන්සේ පැහැදිලිව අනතුරු අඟවා තිබූ ගසෙන් ගෙඩි කෑ විට, ආදම්ද පව් කළේය.—උත්පත්ති 2:17.
5 මෙයාකාරයෙන්, එම පව්කාර යුවළ මියයෑමට පටන්ගත්තේය. මරණ දණ්ඩනය නියම කරන විට, දෙවියන්වහන්සේ ආදම්ට මෙලෙසද ප්‍රකාශ කළසේක: “නුඹ නිසා භූමිය ශාපලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; නුඹ වනයේ පලා කන්නෙහිය.” (උත්පත්ති 3:17, 18) මෙසේ වගා නොකර තිබූ පොළොව පාරාදීසයක් බවට පත් කිරීමේ අපේක්ෂාව ආදම් සහ ඒවගෙන් ගිලිහී ගියේය. ඒදන් උයනින් පිටමං කරනු ලැබූ ඔවුන්ට, ආහාර ලබාගැනීම සඳහා ශාප කරන ලද භූමියක වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු විය. මෙම පව්කාර, මැරෙනසුලු තත්වය ඔවුන්ගේ පැවතෙන්නන්ට උරුම වී තිබෙන නිසා, සැනසිල්ල සඳහා ඉමහත් අවශ්‍යතාවක් ඔවුන්ට තිබේ.—රෝම 5:12.
සැනසිලිදායක පොරොන්දුවක් ඉටු වේ
6. (අ) මනුෂ්‍යවර්ගයා පාපයට වැටුණායින් පසුව, දෙවියන්වහන්සේ දුන්නේ කවර සැනසිල්ල ගෙන දෙන පොරොන්දුවද? (ආ) සැනසිල්ල පිළිබඳව ලාමෙක් ඉදිරිපත් කළේ කවර අනාවැකියක්ද?
6 කැරලිගැසීමට මනුෂ්‍යයාව පෙලඹවූ තැනැත්තා පිට දඬුවම ප්‍රකාශ කරද්දී, යෙහෝවඃවහන්සේ ‘සැනසිල්ල සපයන දෙවිකෙනෙකු’ බවට ඔප්පු වූසේක. (රෝම 15:6) ආදම්ගේ කැරැල්ලේ විනාශකාරි ප්රතිවිපාකවලින් ආදම්ගේ ජනිතයන්ව අවසානයේදී ගළවනු ඇති ‘වංශයක්’ එවීමට පොරොන්දු වීමෙන් උන්වහන්සේ එසේ කළසේක. (උත්පත්ති 3:15) කල්යත්ම, දෙවියන්වහන්සේ මෙම ගැළවීම ගැන පූර්වාදර්ශනද සැපයූසේක. උදාහරණයක් වශයෙන්, ආදම්ගේ පුත්‍ර සෙත් තුළින් ආදම්ගෙන් පැවත ආ දුර ඥාතියෙකු වූ ලාමෙක්ට, ලාමෙක්ගේ පුත්‍රයා කරන්ට යන දේ ගැන අනාවැකි කීමට උන්වහන්සේ ආනුභාවය දුන්සේක: “ස්වාමීන්වහන්සේ ශාපකළ භූමිය කරණකොටගෙනවූ අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේ තෙමේ අප සනසන්නේය.” (උත්පත්ති 5:29) මේ පොරොන්දුවට එකඟව, මෙම පිරිමි ළමයාට නෝවා යන නම තබනු ලැබූ අතර, එහි අර්ථය, “විශ්‍රාමය” නැතහොත් “අස්වැසිල්ල” වේ.
7, 8. (අ) මිනිසාව මැවීම ගැන තැවීමට යෙහෝවඃවහන්සේව මඟ පෑදුවේ කුමන තත්වයද, ඊට ප්‍රතිචාරයක් වශයෙන් උන්වහන්සේ අරමුණු කළේ කුමක් කිරීමටද? (ආ) නෝවා තම නමෙහි තේරුමට එකඟව ජීවත් වූයේ කෙසේද?
7 ඒ අතරතුර, සාතන් ස්වර්ගික දේවදූතයන් සමහරදෙනෙකුව තම අනුගාමිකයන් බවට හරවමින් සිටියේය. මොවුහු මනුෂ්‍යයන්ගේ වෙස් ගෙන, ආදම්ගෙන් පැවත ආ රූමත් කාන්තාවන් භාර්යාවන් ලෙස සරණපාවාගත්හ. අස්වාභාවික වූ මෙවැනි සම්බන්ධකම් මනුෂ්‍ය සමාජය තවත් දූෂ්‍ය කළ අතර, ඉන් අභක්තික නෙඵිලීම් ජාතියක්, එනම් ‘ප්‍රහාරකයන්’ බිහි විය; ඔවුහු ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලින් පොළොව පිරවූහ. (උත්පත්ති 6:1, 2, 4, 11; යූද් 6) “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බව . . . ස්වාමීන්වහන්සේ දුටුසේක. තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.”—උත්පත්ති 6:5, 6.
8 ලෝක ව්‍යාප්ත ජලගැලීමකින් එම දුෂ්ට ලෝකය විනාශ කිරීමට යෙහෝවඃවහන්සේ අරමුණු කළ මුත්, ඊට කලින්, ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා නැවක් තැනීමට උන්වහන්සේ නෝවාට නියමයක් දුන්සේක. මෙසේ, මනුෂ්‍ය ජාතිය හා සත්ව විශේෂ ගළවනු ලැබීය. ජලගැලීමෙන් පසු නෝවාද ඔහුගේ පවුලද නැවෙන් පිට වී පිරිසිදු කරන ලද පොළොවකට පා තැබූ විට, ඔවුන්ට මොනතරම් සහනයක් දැනෙන්ට ඇද්ද! කෘෂිකාර්මික වැඩකටයුතු වඩාත් පහසු කරවමින්, භූමිය මත තිබූ ශාපය ඉවත් කර තිබූ බව දැනගන්ට ලැබීම මොනතරම් සැනසිල්ලක් වන්ට ඇද්ද! ඇත්තෙන්ම, ලාමෙක්ගේ අනාවැකිය සැබෑවක් බවට ඔප්පු වූ අතර, නෝවා තම නමෙහි තේරුමට එකඟව ජීවත් වූයේය. (උත්පත්ති 8:21) දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙක් වශයෙන්, මනුෂ්‍යවර්ගයා සඳහා යම් ‘සැනසීමක්’ ගෙන දීමට නෝවා දායක වූයේය. කෙසේවෙතත්, සාතන් හා ඔහුගේ භූතමය දූතයන්ගේ දුෂ්ට බලපෑම ජලගැලීමත් සමඟම අවසන් නොවූ අතර, පාපය, අසනීප හා මරණය යන බරෙන් යට වී මනුෂ්‍යවර්ගයා නොකඩවා කෙඳිරිගාමින් සිටිත්.
නෝවාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්
9. පසුතැවිලි වන මනුෂ්‍යයන් සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපකාරකරන්නෙකු හා සනසන්නෙකු බව ඔප්පු වී තිබෙන්නේ කෙසේද?
9 අන්තිමේදී, මනුෂ්‍ය ඉතිහාසයෙන් අවුරුදු 4,000ක් පමණ ගෙවී ගියායින් පසුව, පොරොන්දු වූ වංශය පැමිණියේය. මනුෂ්‍යවර්ගයා සඳහා මහත් ප්‍රේමයකින් පෙලඹුණු යෙහෝවඃ දෙවියන්වහන්සේ, පව්කාර මිනිස් සංහතිය වෙනුවෙන් මිදීමේ මිලයක් වශයෙන් මියයෑමට තම ඒක-ජාතක පුත්‍රයාණන්ව එවූසේක. (යොහන් 3:16) තම පූජනීය මරණය කෙරෙහි ඇදහිල්ල දක්වන පසුතැවිලි වන පව්කාරයන් සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉමහත් සහනයක් ගෙන දෙනසේක. තම ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කොට, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ බව්තීස්ම ලත් ගෝලයන් බවට පත් වන සියලුදෙනාම, කල්පවතින සහනය හා සැනසිල්ල අද්දකිති. (මතෙව් 11:28-30; 16:24) අසම්පූර්ණව සිටියත්, දෙවියන්වහන්සේට පිරිසිදු හෘදය සාක්ෂියකින් සේවය කිරීමෙහිලා ඔවුහු ගැඹුරු ප්‍රීතියක් ලබති. යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල දිගටම පවත්වනවා නම්, ඔවුන්ට සදාකාල ජීවනයේ තිළිණය ලැබෙන බව දැනසිටීම, ඔවුන්හට මොනතරම් සැනසිල්ලක්ද! (යොහන් 3:36; හෙබ්‍රෙව් 5:9) දුර්වලකම නිසා ඔවුහු බරපතළ පාපයකට අසු වන්නහු නම්, නැවත නැඟිටුවන ලද ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් වෙනුවෙන් උපකාරකරන්නෙක් හෙවත් සැනසිලිකාරයෙක් සේ පෙනී සිටිනසේක. (1 යොහන් 2:1, 2) එවැනි පව් පාපෝච්චාරණය කිරීමෙන් හා පාපය පුරුද්දක් වශයෙන් කිරීමෙන් වැළකීමට ශුද්ධ ලියවිල්ලට අනුකූල වන පියවර ගැනීමෙන් ඔවුන් සහනයක් ලබන්නේ, ‘ඔවුන්ගේ පව් කමා කරන්ට දෙවියන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින’ බව දැන සිටින නිසාය.—1 යොහන් 1:9; 3:6, NW; හිතෝපදේශ 28:13.
10. යේසුස්වහන්සේ මිහිපිට සිටියදී සිදු කළ ප්‍රාතිහාර්යයන්වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?
10 යේසුස්වහන්සේ මිහිපිට සිටියදී, යක්ෂාවේශ වූ අයව නිදහස් කිරීමෙන්, සියලු ආකාරයේ රෝග සුව කිරීමෙන් හා ප්‍රේම කරන මියගියවුන් නැවත ජීවත් කරවීමෙන්, සහනයක් ගෙන දුන්සේක. මෙම ප්රාතිහාර්යයන් මගින් ආශීර්වාද අද්දුටු අය පසු කලකදී මහලු වී මියගිය බැවින්, ඒවායින් ලැබූ ප්‍රයෝජනය තාවකාලික එකක් පමණක් වූ බව සැබෑවකි. කෙසේවෙතත්, යේසුස්වහන්සේ මෙමගින් මුළු මනුෂ්‍යවර්ගයාට වගුරුවනු ඇති කල්පවතින අනාගත ආශීර්වාදවලට යොමු දක්වමින් සිටිසේක. දැන් බලවත් ස්වර්ගික රජෙකු හැටියට කටයුතු කරන උන්වහන්සේ, ළඟදීම භූතයන්ව දුරු කිරීමට වඩා බෙහෙවින් බලවත් වූ ක්‍රියා කරනසේක. උන්වහන්සේ ඔවුන්ගේ නායකයා වන සාතන් සමඟ ඔවුන්වත් පාතාලගත කරනසේක; මෙය අක්‍රියාශීලී තත්වයකි. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ තේජාන්විත දහස් අවුරුදු පාලනය ඇරඹෙනු ඇත.—ලූක් 8:30, 31; එළිදරව් 20:1, 2, 6.
11. තමා “සබත් දවසේ ස්වාමියා” බව යේසුස්වහන්සේ පැවසුවේ මන්ද?
11 තමා “සබත් දවසේ ස්වාමියා” බව යේසුස්වහන්සේ පැවසූ අතර, උන්වහන්සේ කළ සුව කිරීම් ගණනාවක්ම සිදු කළේ සබත් දවසේදීය. (මතෙව් 12:8-13; ලූක් 13:14-17; යොහන් 5:15, 16; 9:14) එසේ කළේ ඇයි? ඇත්තෙන්ම, සබත දෙවියන්වහන්සේ ඉශ්රායෙල්ට දුන් ව්‍යවස්ථාවේ කොටසක් වූ අතර, එය “මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක්” ලෙස කටයුතු කළේය. (හෙබ්‍රෙව් 10:1) වැඩ සඳහා නියම වී තිබෙන සතියේ දවස් හය, අවුරුදු 6,000ක් පුරා සාතන්ගේ පීඩාකාරි පාලනයට මනුෂ්‍යයා වහල් වී තිබෙන කාලපරිච්ඡේදය අපට සිහිගන්වයි. වඩාත් ශ්‍රේෂ්ඨ වූ නෝවා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලනය තුළදී මනුෂ්‍යවර්ගයා අද්දකින්නාවූ සැනසිල්ල ගෙන දෙන විශ්‍රාමය සිහිගැන්වීමට සලස්වන්නේ, සති අන්තයේ තිබෙන සබත් දවසයි.—2 පේතෘස් 3:8, සසඳන්න.
12. ඉදිරියේදී, අපට කුමන සැනසිල්ල ගෙන දෙන අද්දැකීම් බලාපොරොත්තු විය හැකිද?
12 ක්‍රිස්තුස්වහන්සේගේ පාලනය යටතේ සිටින භූමික යටත්වැසියන්, තමුන් සාතන්ගේ දුෂ්ට බලපෑමෙන් සම්පූර්ණයෙන් නිදහස් බව අන්තිමේදී දැනගන්නා විට, ඔවුන්ට මොනතරම් සහනයක් ලැබේවිද! තම කායික, චිත්තවේගීය හා මානසික අබල දුබලකම් සම්බන්ධයෙන් සුවයක් අද්දකින විට, ඔවුන්ට තවත් සැනසිල්ලක් ලැබෙනවා ඇත. (යෙසායා 65:17) ඊළඟට, ප්‍රේම කරන මියගියවුන් නැවත නැඟිටින විට, ඔවුන්ව සාදරයෙන් පිළිගනිද්දී ඇති වන ප්‍රීති ප්‍රමෝදය ගැන ටිකක් සිතා බලන්න! මේ ආකාරවලින්, දෙවියන්වහන්සේ “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක.” (එළිදරව් 21:4) යේසුස්වහන්සේගේ මිදීමේ පූජාවේ ප්‍රයෝජන ප්‍රගතිශීලීව අදාළ කරනු ලබද්දී, දේවරාජ්‍යයේ කීකරු යටත්වැසියෝ පරිපූර්ණත්වය කරා එළඹී, ආදම්ගේ පාපයේ නරක ප්‍රතිඵලවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වන්නෝය. (එළිදරව් 22:1-5) ඊළඟට, සාතන්ව “ස්වල්ප කලකට” මුදනු ලබන්නේය. (එළිදරව් 20:3, 7) යෙහෝවඃවහන්සේගේ නිසි පරමාධිපත්‍යයට පක්ෂව සිටින සියලුම මනුෂ්‍යයෝ, සදාකාල ජීවනය නමැති තිළිණය ලබන්නෝය. “ජරාවේ වහල්කමින් [සම්පූර්ණයෙන්ම] නිදහස්වී” සිටීමෙන් ලැබෙන කියා නිම කළ නොහැකි ප්‍රීතිය හා සහනය සිතෙහි මවාගන්න! මෙලෙස කීකරු මිනිස්වර්ගයා “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම” භුක්තිවිඳිනු ඇත.—රෝම 8:20, 21.
13. දෙවියන්වහන්සේ සපයන සැනසිල්ල, සැබෑ ක්‍රිස්තියානීන් සියල්ලන්ටම අවශ්‍ය වන්නේ මන්ද?
13 එතෙක්, සාතන්ගේ දුෂ්ට පිළිවෙළෙහි සියලුදෙනාටම පොදු වූ කෙඳිරිගෑම හා ගාවිනා විඳීමට අපි අඛණ්ඩව යටත් වී සිටින්නෙමු. ශාරීරික අසනීප හා චිත්තවේගීය අක්රමිකතාවල වැඩිවීම, විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් ඇතුළුව සියලු ආකාරයේ ජනයාට බලපායි. (පිලිප්පි 2:25-27; 1 තෙසලෝනික 5:14) ඊට අමතරව, ‘පාලකයාණන් වශයෙන් මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට කීකරු වීම’ හේතුවෙන්, සාතන් අප වෙත එල්ල කරන අයුක්තිසහගත සමච්චලය හා පීඩා විඳීමට ක්‍රිස්තියානීන් වශයෙන් අපට සිදු වේ. (ක්‍රියා 5:29, NW) මෙසේ, සාතන්ගේ ලෝකයේ අවසානය දක්වාම, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහිලා අප විඳදරාගැනීමට යනවා නම්, අපට උන්වහන්සේ සපයන සැනසිල්ල, උපකාරය හා ශක්තිය අවශ්‍යය.
සැනසිල්ල සොයාගත හැකි තැන
14. (අ) තම මරණයට පෙර රාත්රියේදී යේසුස්වහන්සේ දුන්නේ කුමන පොරොන්දුවද? (ආ) දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් ලැබෙන සැනසිල්ලෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට නම්, කුමක් අත්‍යවශ්‍ය වේද?
14 යේසුස්වහන්සේ තම මරණයට කලින් රාත්රියේදී, වැඩි කල් නොගොස් ඔවුන්ගෙන් වෙන් වී, තම පියාණන් වෙතට නැවත යන බව, තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට පැහැදිලි කළසේක. මේ හේතුවෙන් ඔවුහු කනස්සලු වී ශෝකයට පත් වූහ. (යොහන් 13:33, 36; 14:27-31) අඛණ්ඩ සැනසිල්ල සඳහා ඔවුන්ට තිබූ අවශ්‍යතාව වටහාගනිමින්, යේසුස්වහන්සේ මෙසේ පොරොන්දු වූසේක: “මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක.” (යොහන් 14:16) මෙහිදී යේසුස්වහන්සේ සඳහන් කරමින් සිටියේ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය ගැනයි; තම නැවත නැඟිටීමෙන් දවස් 50කට පසුව මෙය උන්වහන්සේගේ ගෝලයන් මත වගුරුවන ලදි.a ඒත් සමඟම, දෙවියන්වහන්සේගේ ආත්මය, පරීක්ෂා අතරතුරේදී ඔවුන්ට සැනසිල්ලක් ගෙන දෙමින්, දේවකැමැත්ත නොකඩවා කිරීමට ඔවුන්ව ශක්තිමත් කළේය. (ක්‍රියා 4:31) කෙසේවෙතත්, එවැනි උපකාරයක් ඉබේම ලැබෙන දෙයක් හැටියට නොසැලකිය යුතුය. එයින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමට නම්, සෑම ක්‍රිස්තියානියෙකුම, දෙවියන්වහන්සේ තම ශුද්ධාත්මය තුළින් සපයන සැනසිලිදායක උපකාරය සඳහා නිරතුරුවම යාච්ඤා කළ යුතුය.—ලූක් 11:13.
15. යෙහෝවඃවහන්සේ අපට සැනසිල්ල සපයා දෙන සමහර ක්‍රම මොනවාද?
15 දෙවියන්වහන්සේ සැනසිල්ල සපයන තවත් මාර්ගයක් වන්නේ, තම වචනය වන බයිබලයයි. පාවුල් මෙසේ ලීවේය: “ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) බයිබලයෙහි හා බයිබලය මත පදනම් ප්රකාශනවල ලියා තිබෙන දේවල් නිතිපතා අධ්‍යයනය කිරීමෙත්, එමත මෙනෙහි කිරීමෙත් ඇති අවශ්‍යතාව මින් පැහැදිලි වේ. දේවවචනයෙන් ලැබෙන සැනසිල්ල ගෙන දෙන අදහස් ඉදිරිපත් කරනු ලබන ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා පැමිණීමද අවශ්‍යය. එවන් රැස්වීම්වල මූලික අරමුණක් වන්නේ එකිනෙකාව දිරිගැන්වීමයි.—හෙබ්‍රෙව් 10:25.
16. සැනසිල්ල ගෙන දෙන දෙවියන්වහන්සේගේ සැපයුම් අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?
16 දෙවියන්වහන්සේගේ සැනසිල්ල ගෙන දෙන සැපයුම්වලින් ප්‍රයෝජන ගැනීමෙන් අප ලබන යහපත් ප්‍රතිඵල පිළිබඳව රෝමවාසීන්ට ලියූ පාවුල්ගේ ලිපියෙහි තවදුරටත් දැක්වේ. පාවුල් මෙසේ ලීවේය: “නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය [මානසික ආකල්පය, NW] ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.” (රෝම 15:5, 6) ඔව්, දෙවියන්වහන්සේගේ සැනසිල්ල ගෙන දෙන සැපයුම්වලින් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමෙන්, අපි අපේ එඩිතර නායක වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බෙහෙවින් සමාන වන්නෙමු. අපේ සාක්ෂිදැරීමේ වැඩයේදී, අපේ රැස්වීම්වලදී, සෙසු ඇදහිලිවන්තයන් සමඟ කරන පෞද්ගලික සංවාදයන්හිදී හා අපේ යාච්ඤාවලදී දෙවියන්වහන්සේට ගෞරවය ගෙන දීම සඳහා අඛණ්ඩව අපේ කටවල් පාවිච්චි කිරීමට මෙය අපට පෙලඹීමක් වනු ඇත.
දැඩි පරීක්ෂා තිබෙන අවස්ථාවල
17. යෙහෝවඃවහන්සේ තම පුත්‍රයාණන්ට සැනසිල්ල ගෙන දුන්නේ කෙසේද, එහි ප්‍රතිඵලය කුමක් වීද?
17 තම වේදනාසහගත මරණයට කලින් රාත්රියේදී, යේසුස්වහන්සේ ‘අතිශයින් කැලඹී,’ “ඉතා ශෝක සහිත” තත්වයක සිටිසේක. (මතෙව් 26:37, 38) එබැවින් උන්වහන්සේ සිය ගෝලයන්ගෙන් මදක් ඉවත් වී, උපකාරය ඉල්ලා තම පියාණන්ට යාච්ඤා කළසේක. උන්වහන්සේ “තමන්ගේ දේවභය නිසා උත්තර” ලැබූසේක. (හෙබ්‍රෙව් 5:7) “ස්වර්ගයෙන් දේවදූතයෙක් [යේසුස්]වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත්” කළ බව බයිබලය වාර්තා කරයි. (ලූක් 22:43) ඉන්පසුව යේසුස්වහන්සේ තම විරුද්ධකාරයන් හමුවේ කටයුතු කළ එඩිතර මෙන්ම පුරුෂාකාර විලාසයෙන් පැහැදිලි වන්නේ, දෙවියන්වහන්සේ තම පුත්‍රයාණන් සැනසූ අන්දම ඉතා සාර්ථක වූ බවයි.—යොහන් 18:3-8, 33-38.
18. (අ) ප්‍රේරිත පාවුල්ගේ ජීවිතයේ විශේෂයෙන්ම පීඩාකාරි වූයේ කුමන කාලපරිච්ඡේදයද? (ආ) වෙහෙස මහන්සි වී වැඩ කරන, දයානුකම්පිත වැඩිමහල්ලන්ට සැනසීමක් ගෙන දීමට අපට හැක්කේ කෙසේද?
18 ප්‍රේරිත පාවුල්ද ඉතා දැඩි පීඩා සහිත කාලපරිච්ඡේද අද්දුටුවේය. උදාහරණයක් වශයෙන්, එපීසයේ ඔහු කළ සේවය “කඳුළුවලින්ද යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම්වලින්ද යුක්ත” විය. (ක්‍රියා 20:17-20) අන්තිමේදී, පාවුල් කළ දේශනා වැඩය හේතුවෙන්, අර්තෙමිස් දේවතාවියගේ බැතිමතුන් නගරයේ කෝලහලයක් ඇති කළායින් පසුව, ඔහු එපීසය හැර ගියේය. (ක්‍රියා 19:23-29; 20:1) පාවුල් උතුරු දෙස බලා ත්‍රෝවස නගරය වෙත ගමන් කරද්දී, තවත් දෙයක් ඔහුගේ කනස්සල්ලට හේතු විය. එපීසයෙහි සිදු වූ කෝලහලයට කලින්, කැලඹිලි සහිත වාර්තාවක් ඔහුගේ අතට පත් වී තිබිණ. කොරින්තියේ පිහිටි නවක සභාව භේදභින්න තත්වයක පැවති අතර, එය වේශ්‍යාකමට ඉඩ දෙමින් සිටියේය. එබැවින්, තත්වය නිවැරදි කිරීමේ බලාපොරොත්තුවෙන් පාවුල් එපීසයේ සිට දැඩි හික්මවීමක් ඇතුළත් ලිපියක් ලියා තිබිණ. මෙසේ කිරීම ඔහුට පහසු දෙයක් නොවීය. “බොහෝ දුක්වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව නුඹලාට ලිවීමි” කියමින් තම දෙවන ලිපියේදී නියම තත්වය හෙළි කළේය. (2 කොරින්ති 2:4) පාවුල්ට මෙන්ම, නිවැරදි කිරීමේ උපදෙස් හා හික්මවීම දීම දයානුකම්පිත වැඩිමහල්ලන්ටද පහසු කාර්යයක් නොවේ; මන්දයත් ඔවුන් තමුන්ගේම දුර්වලකම් ගැන සාවධානව සිටින හෙයිනි. (ගලාති 6:1) එසේනම්, බයිබලය මත පදනම් ප්‍රේමනීය උපදෙස්වලට නොපමාව ප්‍රතිචාරය දැක්වීමෙන්, අප අතර පෙරමුණ ගන්නන්ට අපිද සැනසිල්ලක් වෙමු.—හෙබ්‍රෙව් 13:17.
19. පාවුල් ත්‍රෝවසයේ සිට මකිදෝනිය බලා ගියේ මන්ද, අවසානයේදී ඔහුට සහනයක් ලැබුණේ කෙසේද?
19 එපීසයෙහි සිටිද්දී, පාවුල් කොරින්තියේ සහෝදරයන්ට ලීවා පමණක් නොව, නමුත් ඔවුන්ට උපකාර කිරීම සඳහා තීතස්වද යැවීය; යැවූ ලිපියට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය ගැන වාර්තා කිරීමටත් ඔහු තීතස්ට පැවරීය. තීතස්ව ත්‍රෝවසයේදී මුණගැසීමට පාවුල් බලාපොරොත්තු විය. ගෝලයන් සෑදීමට කදිම ප්‍රස්තා විවෘත වූ නිසා, එහිදී පාවුල් ආශීර්වාද ලැබීය. එහෙත් තීතස් ඒ වන විටත් පැමිණ නොතිබූ නිසා, ඔහුගේ කනස්සල්ලට සහනයක් ලබාගත නොහැකි විය. (2 කොරින්ති 2:12, 13) එබැවින් මකිදෝනිය බලා ගමන් කළ ඔහු, තීතස්ව එහිදී මුණගැසීමට බලාපොරොත්තු විය. කනස්සල්ලෙන් පිරුණු පාවුල්ගේ තත්වය, තම සේවයට එරෙහිව පැමිණි ප්‍රබල විරුද්ධවාදිකම්වලින් තවත් උත්සන්න විය. ඔහු මෙසේ පැහැදිලි කරයි: “අපි මකිදෝනියට ආ කල පවා අපේ මාංසයට කිසි පහසුවක් නැතුව හැම අතින්ම දුක්වින්දෙමුව; පිටතින් විරුද්ධකම්ද ඇතුළතින් භයද විය. නුමුත් යටහතුන් [පීඩිත වූවන්, NW] සනසන්නාවූ තැනන්වහන්සේ එනම් දෙවියන්වහන්සේ තීතස්ගේ ඊමෙන් අප සැනසූසේක.” (2 කොරින්ති 7:5, 6) පාවුල්ගේ ලිපියට කොරින්තිවරුන් දැක්වූ ඒකාන්ත ප්‍රතිචාරය ගැන කීමට තීතස් පැමිණි විට, මොනතරම් සහනයක් දැනෙන්ට ඇද්ද!
20. (අ) පාවුල්ගේ අද්දැකීමෙන් පැහැදිලි වන්නාක් මෙන්, යෙහෝවඃවහන්සේ සැනසිල්ල සපයන තවත් වැදගත් මාර්ගයක් නම් කරන්න. (ආ) ඊළඟ ලිපියෙහි සලකා බලනු ලබන්නේ කුමක්ද?
20 පාවුල්ගේ අද්දැකීම වර්තමානයේ දේවසේවකයන්ට සැනසීමක් ගෙන දෙයි; මින් බොහෝදෙනෙකුට මුහුණ දීමට සිදු වන පරීක්ෂා නිසා, “පීඩිත” මෙන්ම “කලකිරුණු” ස්වභාවයක් ඔවුන්ට දැනේ. (ෆිලිප්ස්) ඔව්, ‘සැනසිල්ල සපයා දෙන දෙවියන්වහන්සේ’ අපේ පෞද්ගලික අවශ්‍යතා දන්නා අතර, කොරින්තිවරුන්ගේ පසුතැවිල්ලෙන් යුත් ආකල්පය පිළිබඳව තීතස් සැපයූ වාර්තාවෙන් පාවුල් සැනසිල්ලක් ලැබුවාක් මෙන්ම, එකිනෙකාව සනසන්ට අපව පාවිච්චි කිරීමට උන්වහන්සේට හැක. (2 කොරින්ති 7:11-13) අපේ මීළඟ ලිපියෙහි, පාවුල් කොරින්තිවරුන්ට උණුසුම් ලෙස ප්‍රතිචාරය දැක්වූ අන්දමත්, අදදින දෙවියන්වහන්සේගේ සැනසිල්ලට බලපෑමෙන් යුක්තව පංගුකාරයන් වීම සඳහා අපට උපකාර කිරීමට එයට හැකි අන්දමත් අපි සලකා බලන්නෙමු.
[පාදසටහන]
a දෙවියන්වහන්සේගේ ආත්මය පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් මත ක්‍රියා කළ ප්‍රධාන අංගවලින් එකක් වූයේ, දෙවියන්වහන්සේ සතු කරගත් උන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් වශයෙන් හා යේසුස්වහන්සේගේ සහෝදරයන් වශයෙන් ඔවුන්ව ආලේප කිරීමය. (2 කොරින්ති 1:21, 22) මෙය ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් 1,44,000දෙනෙකුට පමණක් සීමා වී තිබේ. (එළිදරව් 14:1, 3) අදදින ක්‍රිස්තියානීන් බහුතරයකට, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීමේ බලාපොරොත්තුව කාරුණික ලෙස සපයා තිබේ. ඔවුන්ව ආලේප කර නොතිබුණත්, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ උපකාරය හා සැනසිල්ල ඔවුන්ටත් ලැබේ.
ඔබට පිළිතුරු දිය හැකිද?
◻ මනුෂ්‍යවර්ගයාට සැනසිල්ල ලැබීමේ අවශ්‍යතාව පැනනැග්ගේ කෙසේද?
◻ යේසුස්වහන්සේ නෝවාට වඩා ශ්‍රේෂ්ඨ බව ඔප්පු වී ඇත්තේ කෙසේද?
◻ තමා “සබත් දවසේ ස්වාමියා” බව යේසුස්වහන්සේ පැවසුවේ මන්ද?
◻ දෙවියන්වහන්සේ අදදින සැනසිල්ල සපයන්නේ කෙසේද?
[10වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
කොරින්තිවරුන් ගැන තීතස් සැපයූ වාර්තාවෙන් පාවුල් මහත් සැනසිල්ලක් අද්දුටුවේය
මකිදෝනිය
පිලිප්පිය
ග්‍රීසිය
කොරින්තිය
ආසියාව
ත්‍රෝවස
එපීසය