“දෙවියන්වහන්සේගේ කන්ද” ඇති ප්‍රදේශයේ “සාක්ෂි ගොඩක්”
මහාද්වීප සිතියමක, ඔබ බටහිර අප්‍රිකාවේ වෙරළ තීරය ඔස්සේ, ගිනියාවේ මුහුදු බොක්ක දිගේ නැඟෙනහිර දෙසට පරීක්ෂා කළහොත්, වෙරළ දකුණට හැරෙන ස්ථානයේදී ඔබට කැමරූන් සොයාගත හැකිය. ඔබ, වෙරළ දිගේ දකුණට තව තවත් ගමන් කරන්නේ නම්, විශාල ප්‍රදේශයකට පැතිර පවතින කළු වැල්ල සහිත මුහුදු වෙරළකට පැමිණෙනු ඇත. කළු වැල්ල වනාහි, කැමරූන් කන්දේ යමහල් ක්‍රියාකාරකම්වල ප්රතිඵලයකි.
මෙම කේතු හැඩැති, මීටර් 4,070ක් උස කඳු මුදුන එම ප්‍රදේශය මුළුමනින්ම පාලනය කරයි. කැමරූන් කන්දේ බෑවුම්, බැස යන හිරු එළියෙන් නැහැවෙන විට, එය රත්නිල්, තැඹිලි, රන්වන් හා තදරතු යන විවිධ වර්ණයන්ගෙන් යුත් අපූරු දර්ශනයක් ඇති කරවයි. මුහුද සහ අසල පිහිටි මඩ වගුරු කැඩපතක් මෙන් මෙම වර්ණයන් සියල්ලම ප්‍රතිබිම්බනය කරන්නේ, අහස පොළොවෙන් වෙන් කොට හඳුනාගත නොහැකි ආකාරයකිනි. එම ප්‍රදේශයේ ප්රාණවාදී ගෝත්‍රිකයන්, එම කන්ද මොංගෝ මා ලෝබා යනුවෙන් නම් කිරීමට හේතුව වටහාගැනීම පහසුය. එය පරිවර්තනය කර තිබෙන්නේ “දෙවිවරුන්ගේ රථය” ලෙස හෝ වඩාත් පොදුවේ “දෙවියන්වහන්සේගේ කන්ද” ලෙසිනි.
තවදුරටත් දකුණට යන විට, පොල් ගස් පේළිවලින් ගහන සුදු වැල්ල සහිත වෙරළ සැතපුම් ගණන් එහාට විහිදී යයි. ශාන්ත වෙරළට අමතරව, රටේ වැඩි ප්‍රදේශයක් ඝන සමක වනාන්තරයකින් ආවරණය වී ඇත, එය කොංගෝ සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ මායිම දක්වාද, උතුරෙන් නයිජීරියාව සහ දකුණු සහරාවේ චැඩ් දක්වාද විහිදෙයි. සංචාරකයාට යුරෝපයේ ඇතැම් ප්‍රදේශ සිහි කරවමින්, රටේ බටහිර ප්‍රදේශය කඳු සහිතය. කෙසේවෙතත්, උෂ්ණ දේශගුණය ඔබ සමකයට ඉතා නුදුරින් සිටින බව, ඔබට අමතක කිරීමට සලස්වන්නේ නැත. එහි ගම්බද වෙනස, බොහෝ සංචාරක මාර්ග උපදේශකවරුන්ට, කැමරූන් ඉතා සුළු පරිමාණයකින් අප්‍රිකාවෙහි පිටපතක් ලෙස විස්තර කිරීමට හේතු වී තිබේ. මෙම පෙලඹීම විවිධ ජනවාර්ගික කණ්ඩායම් හා ලියාපදිංචි කර ඇති භාෂා හා උපභාෂා 220කට වැඩි සංඛ්‍යාව මගින් නැවතත් ශක්තිමත් කර ඇත.
ඔබ කැමරූන්වලට යන්නේ නම්, ඔබට ඩුආල වරායේ හෝ යාඋන්ඩේ අගනුවරෙහි ඇති විශාල හෝටලයක නවාතැන් ලබාගත හැකිය. එහෙත් ඔබට ජනයාගේ ජීවිත සම්බන්ධයෙන්, විශේෂයෙන්ම “දෙවියන්වහන්සේගේ කන්ද” ඇති මෙම ප්‍රදේශය පුරා “සාක්ෂි ගොඩ[ක්]” එක්රැස් කිරීමෙහිලා කාර්යබහුලව සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් 24,000දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාව පිළිබඳව යමක් දැනගැනීමේ ප්‍රස්තාව අහිමි වී යා හැක.a ඔවුන්ගෙන් සමහරෙකු මුණගැසීම සඳහා රට හරහා සංචාරයක නොයෙදෙන්නේ මන්ද? මෙම බටහිර අප්‍රිකානු දේශයෙහි ඔබගේ ගවේෂණය සැබවින්ම මහත් විපාක ගෙන දෙනු ඇත.
ඔරුවකින්, කැලෑ කුලී රථයකින් නැතහොත් බයිසිකලයකින්ද?
කැමරූන්හි දිගම ගංගාව වන සානගා, සාගරයට වැටෙන ස්ථානයෙහි, එය විශාල ඩෙල්ටාවක් සාදයි. මෙම විශාල ප්‍රදේශයෙහි සියලුම වැසියන් කරා ළඟාවීම සඳහා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට බොහෝවිට ඔරුවලින් ගමන් කිරීමට සිදු වේ. එම්බීආකෝහි කුඩා කණ්ඩායමේ සිටින රාජ්‍ය ප්‍රචාරකයන් නවදෙනා කරන්නේ මේ දෙයයි. ඔවුන්ගෙන් දෙදෙනෙක් කිලෝමීටර් 25කට එහායින් පිහිටි යෝයෝ නම් ගම්මානයේ ජීවත් වෙති. ඔවුන්ට එම්බීආකෝ කරා ළඟාවීම සඳහා මහත් වෑයමක් දරමින් හබල් ගෑමට සිදු වුවත්, ඔවුහු සෑමවිටම ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණ සිටිති. මෙම කණ්ඩායම බැහැදකින අවස්ථාවකදී, ජෙහෝවා’ස් විට්නසස්—දි ඕර්ගනයිසේෂන් බිහයින්ඩ් ද නේම් නමැති වීඩියෝ පටිය පෙන්වීමට එක් සංචාරක අවේක්ෂකයෙක් යෝජනා කළේය. එහෙත් එය පවසන තරම් පහසු දෙයක් නොවේ. එවන් ඈතක පිහිටි ගම්මානයක, ඔහු වීඩියෝ කැසට් යන්ත්‍රයක්, රූපවාහිනි යන්ත්‍රයක් හා එය ක්‍රියා කරවීමට විදුලි බලය සොයාගැනීමට යන්නේ කොතැනකින්ද?
බැහැදැකීමේ සතියේදී, ප්‍රාදේශීය පල්ලියක දේවගැතිවරයෙකුව මුණගැසීමට සමහර ප්‍රචාරකයෝ ගියහ. ඔවුන්ව පුදුමයට පත් කරවමින්, එම දේවගැතිවරයා ඔවුන්ව උණුසුම් ලෙස පිළිගත් අතර, ඔවුහු ඔහු සමඟ ප්‍රාණවත් බයිබල් සාකච්ඡාවක් පැවැත්වූහ. එම දේවගැතිවරයාට වීසීආර් යන්ත්‍රයක් පමණක් නොව, නමුත් විදුලි ජනකයක්ද තිබෙන බව දැනගත් එම සහෝදරයන්, ඔහුගේ උපකරණ පාවිච්චියට ඉල්ලාගැනීමට තරම් එඩිතර විය. ඊට පෙර කළ බයිබල් සාකච්ඡාවෙන් ආස්වාදයක් ලබා තිබූ දේවගැතිවරයා, ඔවුන්ට උපකාර කිරීමට එකඟ වූයේය. දේවගැතිවරයා හා ඔහුගේ පල්ලියේ සාමාජිකයන්ගෙන් බොහෝදෙනෙකු ඇතුළුව, පුද්ගලයන් 102ක් එය නැරඹීමට සෙනසුරාදා සන්ධ්‍යාවේ පැමිණ සිටියෝය. යෝයෝවලින් පැමිණි සාක්ෂිකරුවන් දෙදෙනා, උනන්දුව දැක්වූ පුද්ගලයන් ගණනාවක් ඔරු දෙකකින් රැගෙන ආවෝය. වැඩි වන වඩදිය බාදියෙහි සැඩ පහරට විරුද්ධව හබල් ගැසීමේ දුෂ්කරතාව සම්බන්ධයෙන් ඔවුන් එතරම් සිතුවේ නැත. වීඩියෝ පටය නැරඹීමෙන් පසු, ඔවුන්ව ගැඹුරු ලෙස පොලඹවනු හා දිරිගන්වනු ලැබූ අතර, යෙහෝවඃවහන්සේව ගෞරවයට පත් කිරීමට ඉලක්ක කරගෙන ඇති ශ්‍රේෂ්ඨ සංවිධානයකට අයත් වීම සම්බන්ධයෙන් ඔවුහු ආඩම්බර වූහ.
ඔරුවලට යා නොහැකි තැන් කරා ළඟාවීම සඳහා කෙනෙකුට කැලෑ කුලී රථයක් භාවිත කළ හැකිය. මඟීන් සඳහා මෙම කැලෑ කුලී රථ නවතා තබන ස්ථාන සෑමවිටම කාර්යබහුලව තිබේ. ශීතල ජලය විකුණන්නන්, කෙසෙල් වෙළෙන්දන් හා බර ගෙන යන කුලීකාරයන් අතර සිටින විට, ඉතා පහසුවෙන් මුළුමනින්ම ව්‍යාකූලත්වයට පත් වේ. බර ගෙන යන කුලීකාරයන්ගේ වැඩය වන්නේ, නවතා ඇති කැලෑ කුලී රථවලට මඟීන් නැඟ්ඟවීමයි, ඔවුන් පවසන පරිදි ඒවා සියල්ලම “දැන්මම යෑමට සූදානම්ය.” කෙසේවෙතත්, “සූදානම්” යන වචනය ඒ අර්ථයෙන්ම නොගත යුතුය. ගමන්කරන්නන්ට පැය ගණනාවක්, සමහරවිට දින ගණනාවක් පවා බලා සිටීමට සිදු වේ. මඟීන් සියලුදෙනාවම තද කොට ඇතුල් කරනු ලැබුවායින් පසුව හා රියැදුරා විසින් බඩු බාහිරාදිය, ඵලභෝග පිරි මලු සහ ඇතැම්විට කුකුළන් හා එළුවන්ව වහලයේ රාක්කය උඩ පැටවීමෙන් පසු, එම කුලී රථය වළවල් හා දූවිලි සහිත පටු පාර ඔස්සේ ගමන් කරයි.
මේ ආකාරයේ ප්රවාහණය සම්බන්ධයෙන් අධෛර්යයට පත් වූ එක් සංචාරක දේවසේවකයෙක් නිදහස තෝරාගත්තේය. ඔහු තමාගේ සියලුම ගමන් සඳහා දැන් බයිසිකලය භාවිත කරයි. ඔහු මෙසේ පවසයි: “එක සභාවක සිට තවත් සභාවකට ගමන් කිරීම සඳහා බයිසිකලයක් පාවිච්චි කිරීමට මා තීරණය කළ දවසෙ ඉඳලා, මම සෑමවිටම බැහැදැකීම සඳහා නියම වේලාවට පැමිණියා. එම ගමනට පැය ගණනාවක් ගත වන බව සැබෑ වුවත්, මට කුලී රථ යන තෙක් අඩු තරමින් දවසක් හෝ දෙකක් ගත කරන්ට සිද්ධ වෙන්නේ නැහැ. වැහි කාලයේදී ගංවතුර නිසා සමහර පාරවල් සම්පූර්ණයෙන්ම යට වෙනවා. මඩ සහ වතුර සහිත මෙම විශාල ප්‍රදේශ හරහා යෑමට ඔබට ඔබගේ සපත්තු ගළවා දමන්ට සිද්ධ වෙනවා. දවසක් මගේ සපත්තුවක් ඇලකට වැටුණු අතර, එය මට නැවත ලැබුණේ සති ගණනාවකට පසුවයි, ඒ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකුගේ දියණියක් මාළු අල්ලන අවස්ථාවකදී, බලාපොරොත්තු නොවන විදිහට අහම්බෙන් වාගේ එය අල්ලාගත් විටයි. එක සපත්තුවක් මාළුවන් එක්ක වතුරේ ටික කාලයක් තිබුණායින් පසු, මට නැවතත් මේ සපත්තු කුට්ටම දාන්න ලැබුණු එක ගැන මට සන්තෝෂයි. සමහර අවස්ථාවලදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් කිසිදිනක දේශනා නොකළ ප්‍රදේශ මැදින් මම යනවා. මගේ ළඟ මොනවාද තියෙන්නේ කියලා ගැමියන් සෑමවිටම අහනවා. එනිසා මම සඟරා සහ විවරණිකා සූදානමින් තබාගන්නවා. නවත්වන හැම අවස්ථාවකම, මම මේ බයිබලය මත පදනම් ප්‍රකාශන ඉදිරිපත් කර කෙටි සාක්ෂියක් දෙනවා. මේ සත්‍යයේ බීජ යෙහෝවඃවහන්සේ වර්ධනය වීමට සලස්වාවි කියලා මම විශ්වාස කරනවා.”
අභ්‍යන්තර ප්‍රදේශයේ
කැමරූන්හි ඉතා අභ්‍යන්තර ප්‍රදේශවල, එනම් වන ලැහැබෙන් සැඟවුණු ගම්මානවල පවා සිටින වෙනත් අයට රාජ්‍ය ශුභාරංචිය ඉදිරිපත් කිරීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ උත්සාහ කරති. මේ සඳහා මහත් වෑයමක් අවශ්‍ය වුවත්, ලැබෙන ප්‍රතිඵල හද උණුසුම් කරවන ඒවාය.
පූර්ණ-කාලීන දේවසේවිකාවක් වන මරී, ආර්ලෙට් නම් යෞවනියක සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තාය. පළමුවන පාඩම අවසානයේදී, අප්‍රිකාවේ මෙම ප්‍රදේශයෙහි සිරිත ලෙස, තමා සමඟ දොර ළඟට පැමිණෙනවාද කියා මරී, ආර්ලෙට්ගෙන් ඇසුවාය. කෙසේවුවත්, ඇයගේ පාදවල වේදනාවක් තිබුණු නිසා ඇයට ඇවිදීමට දුෂ්කර බව එම යෞවනිය පැහැදිලි කළාය. ආර්ලෙට්ගේ පාද එක්තරා වර්ගයේ මැක්කෙකුගෙන් ආසාදනය වී තිබුණු අතර, මෙම මැක්කාගේ ගැහැණු සතා මස් සිදුරු කරමින් සැරවගෙඩි ඇති කරයි. මරී නිර්භීතව එම මැක්කන් එකිනෙකාව ඉවත් කළාය. රාත්රියේදී මෙම යෞවනියව භූතයන් විසින් වධ කරනු ලබන බව ඈ පසුව දැනගත්තාය. යෙහෝවඃවහන්සේ කෙරෙහි තමාගේ විශ්වාසය තබාගත යුතු ආකාරය, එනම් විශේෂයෙන්ම ශබ්ද නඟා උන්වහන්සේගේ නම කියා යාච්ඤා කිරීම සම්බන්ධයෙන් මරී ඉවසිලිවන්තව පැහැදිලි කළාය.—හිතෝපදේශ 18:10.
ආර්ලෙට් ශීඝ්‍ර ප්‍රගතියක් ලැබුවාය. ඇය කායිකව මෙන්ම බුද්ධිමය වශයෙන්ද පුදුමාකාර ප්‍රගතියක් ලබමින් සිටි නිසා, ඇගේ පාඩම සම්බන්ධයෙන් යම් වරදක් ඇගේ පවුලේ අය විසින් මුලින්ම නොදකින ලදි. එහෙත් ඇයට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වීමට අවශ්‍ය වූ බව ඔවුන්ට වැටහුණු විට, ඇය පාඩම දිගටම කරගෙන යෑම ඔවුහු තහනම් කළෝය. ඊට සති තුනකට පසු, ඇයගේ දියණිය කෙතරම් සිත්තැවුලෙන් පසු වූවාදැයි දැනගත් ආර්ලෙට්ගේ මව, මරීව හමු වී, ඇය සමඟ නැවතත් පාඩම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියාය.
චාරිකා එක්රැස්වීමකට සහභාගි වීම සඳහා කාලය පැමිණි විට, දින දෙකේදීම ආර්ලෙට්ව රැගෙන යෑම සඳහා මරී රියැදුරෙකුට මුදල් ගෙව්වාය. කෙසේවෙතත්, පාරට යෑම සඳහා තිබෙන පටු පාරෙහි යා නොහැකි බව තීරණය කළ එම රියැදුරා ආර්ලෙට්ගේ නිවස අසලට යෑම ප්‍රතික්ෂේප කළේය. එනිසා මෙම යෞවනියව කෙසේ හෝ පාරට ගෙන ඒමට මරීට සිදු විය. යෙහෝවඃවහන්සේ සැබවින්ම මෙම වෑයම්වලට ආශීර්වාද කළසේක. අද ආර්ලෙට් සෑම සභා රැස්වීමකටම යන්නීය. මෙය කිරීමට ඇයට උපකාර කිරීම සඳහා, මරී වෙහෙස නොබලා ඇයව කැඳවාගෙන යෑමට එයි. ඔවුන් දෙදෙනාටම එක්ව එක පැත්තකට ගමන් කිරීමට පමණක් මිනිත්තු 75ක් ගත වේ. ඉරිදා රැස්වීම පෙ.ව. 8.30ට ආරම්භ කරන නිසා, මරීට ගෙදරින් පෙ.ව. 6.30ට පිටවීමට සිදු වේ; එහෙත් වේලාවට එහි පැමිණීමට ඔවුන්ට හැකි වේ. ආර්ලෙට් ළඟදීම, තම කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින්නීය. මරී මෙසේ ප්‍රකාශ කරන්නීය: “ඇය පාඩම් කිරීමට පටන්ගැනීමට කලින් ඇයව නොදැක්ක කෙනෙකුට ඇය කෙතරම් වෙනස් වී තිබෙනවාද කියා සිතාගන්න බැහැ. ඇයට ආශීර්වාද කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් මම යෙහෝවඃවහන්සේට ස්තුති කරනවා.” ආත්ම-පරිත්‍යාගී ප්‍රේමය සම්බන්ධයෙන් මරී සැබවින්ම කදිම ආදර්ශයකි.
උතුරට ඉතා ඈතින්
උතුරු කැමරූන් වෙනස්කම්වලින් හා පුදුමයන්ගෙන් පිරී තිබේ. වැසි කාලවලදී, එය විශාල හරිත වර්ණ උද්‍යානයකට පරිවර්තනය වේ. එහෙත් දැඩි හිරු රශ්මිය ඇති කාලවලදී, තණකොළ වියළෙයි. දවල් කාලයේදී, ඉර මුදුන් වූ විට හා සෙවණ ඇති ස්ථානයක් සොයාගැනීමට දුෂ්කර වූ විට, බැටළුවන් ගෙවල්වල රතු මැටි සහිත බිත්ති අසලටම වී සිටී. වැලි සහ වියළි තණකොළ අතරෙහි, වෘක්ෂලතාදියෙන් ඉතිරිව ඇත්තේ බෙයොබැබ් ගස්වල කොළ කිහිපයක් පමණි. මේවා සමක වනාන්තරයේ එම වර්ගයේම ගස් මෙන් විශාල නොවුවත්, ඒවාට එලෙසම පැවතීමට හැකියාව තිබේ. කටුක පරිසරයක විඳදරාගැනීමට ඒවාට ඇති හැකියාව, සත්‍යයේ ආලෝකය බැබළවීම සඳහා මෙම ප්‍රදේශයේ ජීවත්වීමට ගොස් සිටින සාක්ෂිකරුවන් කිහිපදෙනාගේ ජ්වලිතය හා එඩිතරකම මනාව නිදර්ශනය කරයි.
මෙම ප්‍රදේශයේ ඇතැම් සභාවන් කිලෝමීටර් 500ත් 800ත් අතර දුරකින් වෙන් වී ඇති අතර, මෙහි තනි වී සිටින බවට වූ හැඟීම බෙහෙවින් යථාර්ථයකි. එහෙත් මෙහි මහත් උනන්දුවක් තිබේ. උපකාර කිරීම සඳහා වෙනත් ප්‍රදේශවලින් සාක්ෂිකරුවෝ එහි පදිංචි වීමට පැමිණෙති. දේවසේවයෙහි ඵලදායක වීම සඳහා, ඔවුන්ට ෆූෆූල්ඩේ නම් ප්‍රාදේශීය උපභාෂාවක් ඉගෙනගැනීමට සිදු වේ.
ගරූවා නගරයේ සාක්ෂිකරුවෙක්, කිලෝමීටර් 160ක් පමණ දුරකින් පිහිටි තම උපන් ගමෙහි දේශනා කිරීම සඳහා දින කිහිපයක් ගත කිරීමට තීරණය කළේය. එම ප්‍රදේශයේ යම් උනන්දුවක් දක්වන අය සිටින බව ඔහුට පෙනී ගියත්, අධික ප්‍රවාහණ ගාස්තු හේතුවෙන් නිතර නිතර එහි යෑමට නොහැකි විය. ඊට සති කිහිපයකට පසුව, නැවතත් පැමිණෙන මෙන් ඉල්ලා සිටි උනන්දුව දැක්වූ පුද්ගලයෙකුගෙන් එම සාක්ෂිකාරයාට ලිපියක් ලැබිණ. එහෙත් මේ වන විටත් එම ගමනට මුදල් නොමැතිව සිටි නිසා, ඔහුට එහි යෑමට නොහැකි විය. ඔහු පැමිණෙන තෙක් එම ගම්මානයේ දහදෙනෙකු බලා සිටින බව දැනුම් දීම සඳහා, ගරූවාහි පිහිටි තම නිවසට එම පුද්ගලයා පැමිණි විට, එම සාක්ෂිකරුවා කෙතරම් පුදුමයට පත් වන්ට ඇද්දැයි සිතා බලන්න!
චැඩ්හි මායිම අසල වෙනත් ගම්මානයක, උනන්දුව දක්වන පුද්ගලයන් 50දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් තමන්ගේම බයිබල් පාඩම සංවිධානය කර ඇත්තාහ. චැඩ්හි කිට්ටුම සභාවේ රැස්වීම්වලට ඔවුන්ගෙන් තුන්දෙනෙකුට යෑම සඳහා ඔවුන් සැලසුම් කර තිබේ. නැවත පැමිණීමෙන් පසු, ඔවුන් මුළු කණ්ඩායම සමඟම බයිබල් පාඩමක් පවත්වනු ලබයි. සැබවින්ම, යේසුස්වහන්සේගේ වදන් මෙහිදී හොඳින් අදාළ කරගත හැකියි: “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරපල්ලා”—මතෙව් 9:37, 38.
නගරවල සාක්ෂිදැරීම
වසර ගණනාවක හිඟයකින් පසු, දැනට වසර දෙකකට පමණ පෙර සිට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කැමරූන්හි බාධාවකින් තොරව ලබාගැනීමට හැකි වී තිබේ. බොහෝ මනුෂ්‍යයන් මෙම සඟරා පළමු වරට කියවන බැවින්, එය කෙරෙහි මහත් උද්යෝගයක් මෙන්ම උනන්දුවක්ද ඇත. එක් නගරයකට පැවරුම් ලැබූ යෞවන විශේෂ පුරෝගාමී යුවළක්, තම නව බලප්‍රදේශයෙහි දේශනා කළ පළමු උදෑසනදී සඟරා 86ක් තැබුවෝය. ඇතැම් ප්‍රචාරකයෝ එක් මාසයකදී සඟරා 250කට ආසන්න සංඛ්‍යාවක් තබන්නෝය. ඔවුන්ගේ සාර්ථකත්වයට රහස කුමක්ද? සෑම කෙනෙකුටම සඟරා ඉදිරිපත් කිරීමයි.
මහජනයාට විවෘතව පවතින කාර්යාලයක සේවය කරන සාක්ෂිකරුවෙක් සෑමවිටම සඟරා පෙනෙන ආකාරයකින් තැබුවේය. එක් ස්ත්‍රියක සඟරා දෙස බැලූ නමුත්, එකක්වත් ලබාගත්තේ නැත. සාක්ෂිකරුවා ඇයගේ උනන්දුව වටහාගෙන ඇයට පිටපතක් ඉදිරිපත් කළ අතර, ඈ එය පිළිගත්තාය. ඇය නැවතත් ඊළඟ දින පැමිණෙනවා දැකීමෙන් ඔහු පුදුමයට පත් වූයේය. ඇය ලබාගත් සඟරාව සඳහා ඇයට දායක වීමට අවශ්‍ය වූවා පමණක් නොව, නමුත් තවත් සඟරාද ඉල්ලා සිටියාය. ඒ මන්ද? ස්ත්‍රී දූෂණයකට ගොදුරු වූ තැනැත්තියක් හැටියට ඇය ඒ විෂය මත සඟරාවක් තෝරාගෙන තිබුණාය. දී තිබුණු උපදෙස් කියවීමට හා නැවත කියවීමට ඇය මුළු රාත්‍රියම ගත කර තිබිණ. මහත් සහනයක් හැඟීමෙන් පසු, ඇයට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් වැඩි දුරටත් දැනගැනීමට අවශ්‍ය විය.
කුඩා දරුවන්ට පවා බයිබලයේ බලාපොරොත්තුව පිළිබඳ පණිවිඩය බෙදාහැරීම සඳහා හවුල් විය හැකිය. හය හැවිරිදි සාක්ෂිකාර දැරියකට කතෝලික ගීතිකාවක් ගයන මෙන් ඇයගේ ගුරුතුමා ඉල්ලා සිටි විට, තමා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු බව පවසමින් එය ගායනා කිරීම ඈ ප්‍රතික්ෂේප කළාය. එවිට ඒ සඳහා ඇයට ලකුණු දැමීමට හැකි වන පිණිස, ඇයගේ ආගමේ ගීතිකාවක් ගයන මෙන් ගුරුතුමා ඉල්ලා සිටියේය. ඇය “පාරාදීසය ගැන දේව පොරොන්දුව” යන තේමාවෙන් යුත් ගීතිකාව තෝරාගත් අතර, එය මතකයෙන් ගායනා කළාය. ගුරුතුමා ඇගෙන් මෙසේ ප්‍රශ්න කළේය: “ඔයාගේ ගීතිකාවේ ඔයා පාරාදීසයක් ගැන සඳහන් කරනවා. ඒ පාරාදීසය තියෙන්නේ කොහේද?” ඉතා ළඟදී පොළොව මත පාරාදීසයක් පිහිටුවීමට වූ දෙවියන්වහන්සේගේ අරමුණ එම දැරිය පැහැදිලි කළාය. ඇයගේ උත්තරයෙන් පුදුමයට පත්ව, ඔහු ඇය පාඩම් කරමින් සිටි පොත ඇයගේ දෙමාපියන්ගෙන් ඉල්ලුවේය. ආගම පාඩම්වලදී ඇයට උගන්වනු ලැබූ දේවල් අනුව ඇයට ලකුණු දමනවා වෙනුවට, මෙම පොතෙන් ඇය ඉගෙනගත් දේවල්වලට ඇයට ලකුණු දැමීමට ඔහු කැමැත්තෙන් සිටියේය. ඇයට නිවැරදි ලෙස ලකුණු දැමීමට ගුරුතුමාට අවශ්‍ය කරන්නේ නම්, පළමුවෙන් ඔහු එය පාඩම් කළ යුතු බවට දෙමාපියෝ යෝජනා කළහ. ඔහු සමඟ බයිබල් පාඩමක් ආරම්භ කරනු ලැබීය.
බැහැදකින්ට එන්න කැමතිද?
අදදින ලෝකයේ බොහෝ ප්‍රදේශවල, මනුෂ්‍යයෝ රාජ්‍ය ශුභාරංචියට උදාසීනකමක් දක්වති. දෙවියන්වහන්සේ හෝ බයිබලය සම්බන්ධයෙන් ඔවුන්ට උනන්දුවක් නැත. වෙනත් අය බිය නිසා කිසිවක් කර කියාගත නොහැකිව, නිවසට පැමිණෙන ඕනෑම අමුත්තෙකුට ප්‍රතිචාරය දැක්වීම ප්‍රතික්ෂේප කරති. මේ සෑම දෙයක්ම තම දේවසේවයෙහි නියැලෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට සැබෑ අභියෝගයකි. එහෙත් කැමරූන්හි මොනතරම් වෙනසක්ද!
මෙම ප්‍රදේශයේ ගෙයින් ගෙට දේශනා කිරීම ප්‍රීතියකි. තට්ටු කරනවා වෙනුවට, “කොං, කොං, කොං” ලෙස හඬ ගැසීම මෙහි සිරිතකි. එවිට ඇතුළෙන් කටහඬක් මෙසේ පිළිතුරු දෙයි, “කවුද?” ඊටපසු, අපි අපව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් හඳුන්වා දෙන්නෙමු. සාමාන්‍යයෙන්, බංකු ගෙනැවිත් එය ගසක, සමහරවිට අඹ ගසක සෙවණේ තබන මෙන් දෙමාපියෝ තම දරුවන්ගෙන් ඉල්ලා සිටිති. දේවරාජ්‍යය කුමක්ද කියාත්, මනුෂ්‍යවර්ගයාගේ දුක්මුසු තත්වයට සහනයක් ගෙන ඒම සඳහා එය කරනු ඇත්තේ කුමක්ද කියාත් පැහැදිලි කරමින් ප්‍රිය උපදවන කාලයක් ගත කරනු ලැබේ.
එවැනිම සාකච්ඡාවකින් පසු, ස්ත්‍රියක් තම හැඟීම් මෙසේ ප්‍රකාශ කළාය: “මම ඉපදුණ, ඒ වගේම වයසට යන තුරුම හිටිය ආගමේ, මම සොයමින් සිටි සත්‍යය නොතිබෙන බව වැටහීමෙන් සිත්තැවුලට පත් වී සිටිනවා. මට සත්‍යය පෙන්වා දීම සම්බන්ධයෙන් මම දෙවියන්වහන්සේට ස්තුති කරනවා. මම මගේ පල්ලියේ දේවසේවිකාවක්ව සිටියා. එක් එක්කෙනාට තම ඉල්ලීම් ඇයට දන්වන්ට පුළුවන් වීම සඳහා, කන්‍ය මරියාගේ පිළිමය සෑම දේවසේවකයෙකුගේ නිවසකම සතියක් තබනවා. මම නම් මරියාගෙන් සෑමවිටම ඉල්ලුවේ, මට සත්‍යය දැනගැනීමට උපකාර කරන්න කියලයි. සත්‍යය ඇය ළඟ නැති බව දැන් දෙවියන්වහන්සේ මට පෙන්වා තියෙනවා. ඒ ගැන මම යෙහෝවඃවහන්සේට ස්තුති කරනවා.”
එනිසා, දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් ලැබෙන මහත් ප්‍රීතිය අද්දැකීමට යම් දිනක ඔබටත් අවශ්‍ය බව හැඟුණොත්, බටහිර අප්‍රිකාවේ මෙම ප්‍රදේශය බැහැදැකීමට නොපැමිණෙන්නේ මන්ද? ඔරුවෙන්, කැලෑ කුලී රථයෙන් හෝ බයිසිකලයෙන් “සුළු පරිමාණයකින් අප්‍රිකාව” දැකගැනීමට අමතරව, ඔබ “දෙවියන්වහන්සේගේ කන්ද” ඇති ප්‍රදේශයේ එක්රැස් කරනු ලබන “සාක්ෂි ගොඩට” දායක වනු ඇත.
[පාදසටහන]
a “ගිලියඩ්” වශයෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙහි අර්ථය “සාක්ෂි ගොඩ” විය හැකිය. කැමරූන් ඇතුළු ලොව වටා දේශනා කිරීමේ වැඩය ආරම්භ කිරීම සඳහා වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් 1943 සිට මිෂනාරිවරුන්ව දිගින් දිගටම යවමින් තිබේ.
[22වන පිටුවේ හිමිකම් විස්තර]
සිතියම: Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.