පාඨකයන්ගෙන් ප්‍රශ්න
භූමික බලාපොරොත්තුව තිබෙන දෙවියන්වහන්සේගේ නවීන දින සේවකයන්හට, ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට තිබෙන ප්‍රමාණයටම දෙවියන්වහන්සේගේ ආත්මය තිබෙන බව අපට පැවසිය හැකිද?
මෙය අලුත් පැනයක් නොවේ. වර්ෂ 1952 අප්‍රියෙල් 15, වොච්ටවර් කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති කොටසේ මෙම විෂයම සාකච්ඡා කරනු ලැබීය. එවක් පටන් බොහෝදෙනෙකු සාක්ෂිකරුවන් බවට පත් වී සිටින බැවින්, එම පැනය අපට සලකා බැලිය හැකි අතර, එසේ කිරීමේදී කලින් තොරතුරුවල සඳහන් වූ දේ පුනරීක්ෂණය කළ හැක.
මූලිකවම, පිළිතුර නම්, එසේය, වෙනත් බැටළුවන්ගේ පන්තියට අයත් විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ටත් දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය ලැබීමෙහිලා, අභිෂේක ලත් අය හා සමානව හවුල් විය හැකිය, යන්නයි.—යොහන් 10:16.
ඇත්තෙන්ම, සෑම පුද්ගලයෙකු මතම ආත්මය එකම ආකාරයට ක්‍රියාත්මක වන බව මින් අදහස් කරන්නේ නැත. පූර්ව ක්‍රිස්තියානි කාලවලදී, දෙවියන්වහන්සේගේ ආත්මය නිසැකවම ලැබූ විශ්වාසවන්ත සේවකයන් සිහියට නඟන්න. ආත්මයෙන් ලැබූ ශක්තියෙන් ඔවුන්ගෙන් සමහරෙක් දරුණු මෘගයන් මරා දැමූහ, ලෙඩුන් සුව කළහ, මළවුන් පවා නැඟිටෙව්වෝය. එමෙන්ම, ඔවුන්ට බයිබලයේ දේවානුභාවය ලත් පොත් ලිවීමටත් ආත්මය අවශ්‍ය විය. (විනිශ්චයකාරයන් 13:24, 25; 14:5, 6; 1 රාජාවලිය 17:17-24; 2 රාජාවලිය 4:17-37; 5:1-14) වොච්ටවර් කලාපයේ මෙසේ සඳහන් විය: “අභිෂේක ලත් පන්තියට අයත් නොවූවත්, ඔවුහු ශුද්ධාත්මයෙන් පූර්ණ කරනු ලැබූහ.”
තවත් කෝණයකින් ගත් කල, පළමු ශතවර්ෂයේදී ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබ ස්වර්ගික බලාපොරොත්තුවක් ඇතුව දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් බවට පත් වූ ස්ත්‍රීන් හා පුරුෂයන් ගැන සලකා බලන්න. සියලුදෙනාම ආලේප ලත් අය වූහ, එහෙත් ඉන්පසු ආත්මය ඔවුන් සියලුදෙනා මතම එකම ආකාරයකට ක්‍රියා කළ බව මින් අදහස් නොවේ. එය 1 කොරින්ති 12වන පරිච්ඡේදයෙන් පැහැදිලි වේ. එහි ප්‍රේරිත පාවුල් ආත්මයේ දීමනා ගැන සාකච්ඡා කරයි. ඡේද 1කොරි 12:8, 9 සහ 11හි අපට මෙසේ කියවීමට තිබේ: “ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ තුළ වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මයාණන්වහන්සේ තුළ තවත් කෙනෙකුට සුවකිරීමේ දීමනාවද [දෙනලද්දේය] . . . . නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමතිලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක.”
ඒ කාලයේ සිටි අභිෂේක ලත් සියලුදෙනාටම ආත්මයේ දීමනා නොතිබූ බව පැහැදිලිය. 1 කොරින්ති 14වන පරිච්ඡේදයේ, එක් පුද්ගලයෙකුට අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව තිබුණ මුත්, පරිවර්තනය කිරීමේ දීමනාව පැමිණ සිටි කිසිවෙකුට නොතිබූ සභා රැස්වීමක් සම්බන්ධයෙන් පාවුල් සඳහන් කරයි. කෙසේවෙතත්, මීට කලින් යම් අවස්ථාවකදී, ඔවුන්ගෙන් සෑම කෙනෙකුම ආත්මයෙන් ආලේප කරනු ලැබීම අද්දැක තිබිණ. පැමිණ සිටි අනිකුත් අයට වඩා අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව ඇති එම සහෝදරයාට ආත්මය වැඩියෙන් තිබූ බව පැවසීම සාධාරණද? නැත. එම සහෝදරයා තරම්ම බයිබලය තේරුම්ගැනීමට හෝ පරීක්ෂාවලට මුහුණ දීමට නොහැකි වන තරමටම, එම අනිකුත් ආලේප ලත් අය අවාසිදායක තත්වයක සිටියේ නැත. අන්‍ය භාෂාවලින් කතා කිරීමට හැකි එම සහෝදරයා මත ආත්මය විශේෂ ආකාරයකින් ක්‍රියා කළේය. කෙසේවෙතත්, ඔහුටත් එමෙන්ම ඔවුන්ටත් යෙහෝවඃවහන්සේට සමීපව සිටීමත්, පාවුල් ලීවාක් මෙන් “ආත්මයාණන්ගෙන් පූර්ණවී” සිටීමත් අවශ්‍ය කරවීය.—එපීස 5:19අ.
අදදින ඉතිරි කොටසේ අය සම්බන්ධයෙන් නම්, ඔවුහු නිසැකවම දෙවියන්වහන්සේගේ ආත්මය ලබාගෙන ඇත්තාහ. එක් අවස්ථාවකදී එය ඔවුන් මත විශේෂාකාරයකින් ක්‍රියා කරන්ට විය—එනම් ඔවුන් ආලේප කරනු ලැබ ආත්මික පුත්‍රකමට පිළිගනු ලැබූ අවස්ථාවේදීය. ඉන්පසු ඔවුහු “ආත්මයාණන්ගෙන් පූර්ණවී,” බයිබලය වඩාත් පැහැදිලිව තේරුම්ගැනීමට වෑයම් කරන විට, දේශනා වැඩයේ පෙරමුණ ගන්නා විට හෝ පෞද්ගලිකව නැතහොත් සංවිධානයක් වශයෙන් පරීක්ෂාවන්ට මුහුණ දෙන විට එහි උපකාරය ලබති.
‘වෙනත් බැටළුවන්ගේ’ සාමාජිකයන්ට ආලේප කරනු ලැබීමේ අද්දැකීම නොතිබුණද, ඔවුහු වෙනත් ආකාරවලින් ශුද්ධාත්මය ලැබ සිටිත්. වර්ෂ 1952 අප්‍රියෙල් 15 ද වොච්ටවර් මෙසේ සඳහන් කරයි:
“අදදින වෙසෙන ‘වෙනත් බැටළුවෝද’ ඉතිරි කොටසේ අය කරන දේශනා වැඩයම එක සමාන පීඩාකාරි තත්වයන් යටතේ ඉටු කරන අතර, සමාන ඇදහිලිවන්තකමක් හා අඛණ්ඩතාවක් විදහාපෙන්වති. ඔවුහු එකම ආත්මික මේසයකින් පෝෂණය ලබා, එකම ආහාර අනුභව කර එමෙන්ම එකම සත්‍යයන් උරාගනිමින් සිටිති. භූමික පන්තියට අයිති නිසාත්, භූමික බලාපොරොත්තු සහ භූමික දේවල් ගැන තියුණු උනන්දුවක් ඇති නිසාත්, නව ලෝකයේ භූමික තත්වයන් හා සම්බන්ධ ශුද්ධ ලියවිලි පද ගැන ඔවුන් වැඩි උනන්දුවක් දැක්විය හැක; එහෙත් ස්වර්ගික බලාපොරොත්තු ඇති එමෙන්ම ආත්මයේ දේවල් කෙරෙහි බලවත් පෞද්ගලික උනන්දුවක් දක්වන අභිෂේක ලත් ඉතිරි කොටස ගත් කල, ඒ දේවල් සම්බන්ධයෙන් දේවවචනයේ සඳහන් දෑ ඔවුන් දැඩි උනන්දුවකින් යුතුව අධ්‍යයනය කරන්ට ඉඩ ඇත. . . . එහෙත් එකම සත්‍යයන් සහ එකම වටහාගැනීම පන්ති දෙකටම ලබාගත හැකි බව සැබෑවක් වන අතර, ස්වර්ගික සහ භූමික දේවල් සම්බන්ධයෙන් ඔවුන් ලබාගන්නා අවබෝධය තීරණය වන්නේ එක් එක් පුද්ගලයා අධ්‍යයනය සඳහා තමන්ව යොදාගන්නා ආකාරය අනුවය. ස්වාමින්වහන්සේගේ ආත්මය පන්ති දෙකටම සමානාකාරයෙන් ලබාගත හැකි අතර, දැනුම හා අවබෝධය උරාගැනීමට සමාන අවස්ථා දෙකොටසටම සම සේ ඉදිරිපත් කරනු ලැබේ.”