‘මෙවැනි පුරුෂයන් අගය කොට සලකන්න’
කොරින්ති සභාවේ තත්වය සතුටුදායක නොවීය. පිළිකුල්සහගත දුරාචාරකමක්ද සහෝදරයන් අතර පක්ෂ භජනයද තිබිණ. ඇතැම් අය බරපතළ පෞද්ගලික ගැටලුවලට මුහුණ දුන්හ, නැතහොත් උත්තර අවශ්‍ය කරවන ප්‍රශ්න ඔවුන්ට තිබිණ. සමහර සහෝදරයෝ එකිනෙකාව අධිකරණයට ගෙන යමින් සිටියෝය; වෙනත් අය නැවත නැඟිටීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටියහ.
බරපතළ ප්‍රශ්නද පැනනැඟිණ. ආගමිකව බෙදුණු නිවසක ජීවත් වන අය තම නොඇදහිලිවන්ත කලත්‍රයන් සමඟ ජීවත් විය යුතුද, එසේ නැතහොත් ඔවුන් වෙන් විය යුතුද? සභාව තුළ සහෝදරියන්ගේ කාර්යභාරය කුමක්ද? රූපවලට පූජා කළ මාංස අනුභව කිරීම සුදුසුද? ස්වාමින්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය ඇතුළුව රැස්වීම් පැවැත්විය යුත්තේ කෙසේද?—1 කොරින්ති 1:12; 5:1; 6:1; 7:1-3, 12, 13; 8:1; 11:18, 23-26; 14:26-35.
මෙවන් ගැටලු සහිත ආත්මික වාතාවරණයක විසූ තම සහෝදරයන්ගේ සුභසාධනය ගැන සැලකිල්ල දැක්වූ ආකායිකස්, පොර්තුනාතුස් සහ ස්තේපනස් එපීසයේ සිටි ප්‍රේරිත පාවුල්ව හමුවීමට පිටත් වූහ. එවන් සිත් කළඹන ආරංචිවලට අමතරව, වාදයට භාජන වූ එම ප්‍රශ්න ඇතුළත්, සභාව විසින් සකස් කරන ලද ලිපියක් ඔවුන් පාවුල් වෙත රැගෙන ගියා විය හැක. (1 කොරින්ති 7:1; 16:17) පෙනෙන ප්‍රකාරයට මෙම තත්වය ගැන සැලකිලිමත් වූයේ මේ සහෝදරයන් තිදෙනා පමණක් නොවේ. ඇත්තවශයෙන්ම, සභාවේ සාමාජිකයන් අතර මතභේද තිබූ බව “ක්ලොයිගේ පවුලේ අය[ගෙන්]” පාවුල්ට ඒ වන විටත් දැනගන්ට ලැබී තිබිණ. (1 කොරින්ති 1:11) නිසැකවම මෙම පණිවිඩකරුවන්ගේ වාර්තාව ප්‍රේරිත පාවුල්ට තත්වය වඩාත් හොඳින් තේරුම්ගැනීමටත්, පිරිනැමිය යුත්තේ කුමන උපදෙස්ද යන්න තීරණය කිරීමටත්, පැනනැඟී ඇති ප්‍රශ්නවලට උත්තර සපයන අන්දම නිශ්චය කරගැනීමටත් උපකාරවත් විය. පළමුවන කොරින්ති ලෙසින් අප දන්නා ලිපිය, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම ලැබූ පාවුල්ගේ පිළිතුර වූ බව පෙනේ. ආකායිකස්, පොර්තුනාතුස් සහ ස්තේපනස් ලිපිය සභාවට ගෙන ගිය අය විය හැක.
ආකායිකස්, පොර්තුනාතුස් සහ ස්තේපනස් යනු කවරහුද? ශුද්ධ ලියවිල්ල ඔවුන් ගැන පවසන දෙය අධ්‍යයනය කිරීමෙන් අපට උගත හැක්කේ කුමක්ද?
ස්තේපනස්ගේ ගෙවැසියෝ
ස්තේපනස්ගේ ගෙවැසියන්, පො.යු. 50දී පමණ දකුණු ග්‍රීසියේ රෝමයට අයත් පළාතේ පිහිටි අකායෙහි පාවුල්ගේ දේවසේවයේ “ප්‍රථම ඵල” වූ අතර, ප්‍රේරිත පාවුල් විසින්ම ඔවුන්ව බව්තීස්ම කරන ලදි. පෙනෙනාකාරයට, කොරින්තිවරුන් සඳහා ආදර්ශවත්, මේරූ ස්ථාවර කරවන බලපෑමක් වශයෙන්, පාවුල් ඔවුන්ව සැලකුවේය. සභාව වෙනුවෙන් ඔවුන් කළ දේවල් නිසා ඔහු ඔවුන්ට උණුසුම් ලෙස මෙසේ ප්‍රශංසා කළේය: “සහෝදරයෙනි, ස්තේපනස්ගේ ගෙයි වැසියන් අකායෙහි ප්‍රථම ඵල බවද ඔවුන් ශුද්ධවන්තයන්ගේ සේවයට භාරවුණ බවද නුඹලා දනීහුය. නුඹලාත් එවැනි අයටද වැඩට හවුල්වෙමින් වීර්යකරන්නාවූ සියල්ලන්ටද යටත්ව සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.” (1 කොරින්ති 1:16; 16:15, 16) ස්තේපනස්ගේ ‘ගෙයිවැසියන්ට’ අයත් වන්නේ කවුද කියා නිශ්චිතවම සඳහන් කර නැත. එම ප්‍රකාශයෙන් සරලව පවුලේ සාමාජිකයන් අදහස් විය හැකි නමුත්, දාසයන් සහ සේවකයන්ද ඊට අයත් විය හැක. ආකායිකස්, දාසයෙකු සඳහා භාවිත කරන පොදු ලතින් නමක් වූ නිසාත්, පොර්තුනාතුස් නිදහස් කරන ලද මිනිසෙකුට පොදු නමක් වූ නිසාත්, මේ දෙදෙනා ඇතැම්විට එකම නිවසේ සාමාජිකයන් විය හැකි බවට සමහර විචාරකයෝ අනුමාන කරති.
කාරණය කුමක් වුවත්, ස්තේපනස්ගේ ගෙවැසියන් ආදර්ශවත් පවුලක් ලෙස පාවුල් සැලකුවේය. ඔවුහු “ශුද්ධවන්තයන්ගේ සේවයට භාර” වී සිටියහ. සභාවේ යහපත සඳහා යම් දේවල් කිරීමට තිබූ බව ස්තේපනස්ගේ පවුලේ සාමාජිකයෝ තේරුම්ගත්හ, තවද ඔවුහු මෙම සේවය පෞද්ගලික වගකීමක් වශයෙන් ස්වේච්ඡාවෙන්ම පිළිගත්හ. ශුද්ධවන්තයන්ට එවන් සේවයක් පිරිනැමීමට වූ ඔවුන්ගේ ආශාව, නිසැකවම සහයෝගය සහ අගය කිරීම ලැබීමට වටින යමක් විය.
“ඔව්හු මාගෙත් නුඹලාගෙත් ආත්ම ප්‍රාණවත්කළෝය”
කොරින්තියේ පවතින තත්වය ගැන පාවුල් කනස්සල්ලෙන් සිටියද, මෙම පණිවිඩකරුවන් තිදෙනාගේ පැමිණීම ඔහුට හිතකර අන්දමකින් බලපෑවේය. පාවුල් මෙසේ පවසයි: “ස්තේපනස්ගේද පොර්තුනාතුස්ගේද ආකායිකස්ගේද ඊම ගැන ප්‍රීතිවෙමි. නුඹලා නැති පාඩුව ඔව්හු පිරිමැසුවෝය. මක්නිසාද ඔව්හු මාගෙත් නුඹලාගෙත් ආත්ම ප්‍රාණවත්කළෝය.” (1 කොරින්ති 16:17, 18) නියම තත්වය සැලකිල්ලට ගතහොත්, කායිකව කොරින්තිවරුන්ගෙන් වෙන්ව සිටීම ඇතැම්විට පාවුල්ගේ කනස්සල්ලට හේතු වූ නමුත්, මුළු සභාවම නොපැමිණියත් ඒ වෙනුවට දැන් ඔවුන්ගේ නියෝජිතයන් සිටීම එම අඩුව පිරිමැසුවේය. ඔවුන්ගේ වාර්තාව, තත්වය පිළිබඳව පාවුල්ට පූර්ණ විස්තරයක් සැපයූ අතර, ඔහු තුළ තිබූ බිය යම් දුරකට දුරු කිරීමට දායක විය. ඇතැම්විට සියල්ල සලකා බැලු විට, ඔහු සිතූ තරම්ම දේවල් නරක නොවීය.
පාවුල් පවසන පරිදි, මේ තිදෙනාගේ ගමන ඔහුගේ ආත්මය ප්‍රාණවත් කළා පමණක් නොව, කොරින්ති සභාවේම ස්ප්‍රීතුව වර්ධනය කිරීමටද දායක විය. සිය නියෝජිතයන් තත්වය පිළිබඳ සෑම විස්තරයක්ම පැහැදිලිව පාවුල්ට විස්තර කළ බවත්, ඔහුගේ උපදෙස් සමඟින් ආපසු පැමිණෙනු ඇති බවත් දැනගැනීමෙන් ඔවුහු නිසැකවම සහනයක් ලැබුහ.
එබැවින් ස්තේපනස් සහ ඔහුගේ මිතුරන් දෙදෙනා කොරින්ති සභාව වෙනුවෙන් වෙහෙසව ක්‍රියා කළ නිසා ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදි. මේ පුරුෂයන් සඳහා පාවුල්ගේ අගය කිරීම කෙතරම්ද කිවහොත් ඔවුන් නැවත පැමිණි පසු බෙදුණු කොරින්ති සභාවෙහි ඔවුන් පෙරමුණ ගෙන කටයුතු කළ යුතු විය. ප්‍රේරිත පාවුල් සහෝදරයන්ගෙන් උදක්ම මෙසේ ඉල්ලා සිටී: “ඔවුන්ගේ ද ඔවුන් සමඟ සේවයට හවුල් වෙමින් දිරි දරන සියල්ලන්ගේ ද මුලිකත්වයෙන් කෙරෙන සේවයට ඔබ ද බැඳෙන්න . . . මෙවැනි අය [පුරුෂයන්, NW] අගය කොට සලකන්න”. (1 කොරින්ති 16:16, 18 නව අනුවාදය) එවන් ප්‍රබල නිර්දේශයන්ගෙන් අඟවන්නේ, සභාව තුළ නොසන්සුන්තාවක් තිබුණත් මෙම මිනිසුන් සම්පූර්ණයෙන්ම පක්ෂපාතව සිටි බවයි. එවන් මිනිසුන්ට ගෞරවයෙන් සැලකිය යුතුය.—පිලිප්පි 2:29.
විශ්වාසවන්ත සහයෝගය යහපත් ඵල නිපදවයි
යෙහෝවඃවහන්සේගේ සංවිධානය සහ එහි නියෝජිතයන් සමඟ සමීප සහයෝගීතාව යහපත් ඵල නිපදවන බවට කිසිදු සැකයක් නැත. පාවුල් සිය පළමු ලිපියෙන් ටික කලකට පසු, දැන් දෙවන කොරින්ති යනුවෙන් හඳුන්වන ලිපිය ලිවූ විට, සභාවේ කටයුතු වඩාත් යහපත් අතට හැරෙමින් තිබිණ. ආකායිකස්, පොර්තුනාතුස් සහ ස්තේපනස් වැනි සහෝදරයන් අඛණ්ඩව ඉවසීමෙන් ක්‍රියා කිරීමත්, තීතස්ගේ බැහැදැකීමත්, යහපත් බලපෑමක් ඇති කළේය.—2 කොරින්ති 7:8-15; සසඳන්න ක්‍රියා 16:4, 5.
මෙම විශ්වාසවන්ත පුරුෂයන් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් කෙටි වාර්තාව මත මෙනෙහි කිරීමෙන්, යෙහෝවඃවහන්සේගේ ජනයාගෙන් සමන්විත නවීන දින සභාවල සාමාජිකයන්ටද ප්‍රයෝජන ගත හැක. නිදසුනක් වශයෙන්, ප්‍රාදේශීය සභාවක් තුළ පවතින තත්වයක්, යම් හේතූන් නිසා ඉක්මනින්ම විසඳාගත නොහැකි බවත් එය සහෝදරයන්ගේ සැලකිල්ලට භාජන වී ඇති බවත් සිතන්න. කළ යුත්තේ කුමක්ද? තත්වය පිළිබඳ පාවුල්ට දැනුම් දීමට වූ තම වගකීම පැහැර නොහැරියාවූ ස්තේපනස්, පොර්තුනාතුස් සහ ආකායිකස්ගේ ආදර්ශය අනුකරණය කරමින්, නිසැකකමින් යුතුව කාරණා යෙහෝවඃවහන්සේට භාර දෙන්න. ධර්මිෂ්ඨකම සඳහා වූ ජ්වලිතය, ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ ‘යෙහෝවඃවහන්සේට විරුද්ධව කිපීමට’ ඔවුන්ට අවකාශ සලසා දුන්නේ නැත.—හිතෝපදේශ 19:3.
සභාවන් අයිති වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේටය, තවද කොරින්තියේදී මෙන් උන්වහන්සේගේ නියමිත කාලයේදී ඔවුන්ගේ ආත්මික සුභසාධනයට සහ සමාදානයට තර්ජනයක් විය හැකි ඕනෑම දුෂ්කරතාවකට විසඳුම් ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කරනසේක. (එපීස 1:22; එළිදරව් 1:12, 13, 20; 2:1-4) මේ අතරතුර, අපි ස්තේපනස්, පොර්තුනාතුස් සහ ආකායිකස්ගේ යහපත් ආදර්ශය අනුගමනය කරමින් දිගටම වෙහෙස මහන්සි වී අපගේ සහෝදරයන්ට සේවය කරන්නෙමු නම්, අපි අපගේ සහෝදරයන්ව ගොඩනංවමින් ඔවුන් ‘ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවමින්’ සභා විධිවිධානයට පක්ෂපාතව සහයෝගය දෙන්නෙමු—හෙබ්‍රෙව් 10:24, 25.