ඔහු යෙහෝවඃවහන්සේට යටහත් පහත්ව සේවය කළේය
“සැබවින්ම වැදගත් වන්නේ ඔබ සේවය කරන ස්ථානය නොව, නමුත් ඔබ සේවය කරන්නේ කාටද යන වගයි.” එසේ පැවසීමට ජෝන් බූත් මහත් ආශාවක් දැක්වූ අතර, එයට අනුකූලව ජීවත් වූයේය. වර්ෂ 1996 ජනවාරි මස 8වන සඳුදා අවසන් වූ ඔහුගේ භූමික ජීවිත ගමන, ඔහු සේවය කරන්ට තෝරාගත්තේ කාවද යන්න ගැන කිසිදු සැකයක් මතු නොකළේය.
වර්ෂ 1921දී, යෞවනයෙකු ලෙස, ජෝන් බූත් ජීවිතයේ අරමුණ ගැන සොයමින් සිටියේය. ඕලන්ද ප්‍රතිසංස්කෘත සභාවේ ඉරිදා පාසැලේ ඉගැන්වුවද, පූජකයන් ආත්මාර්ථකාමී ජීවිත ගත කළ බව ඔහුට හැඟුණු බැවින්, දේවගැතියෙකු වීම සඳහා පුහුණුව ලැබීමේ අදහසට ඔහු විරුද්ධ වූයේය. “දැන් ජීවත් වන මිලියන සංඛ්‍යාත අය කිසිදාක මිය නොයනු ඇත” (ඉංග්‍රීසි) යන මාතෘකාවෙන් යුත් කතාවක ප්රචාරක පත්‍රිකාවක් ඔහු දුටු විට, එය ප්‍රචාරය කළ පොත් පත් ඉල්ලුම් කිරීමට ඔහු විගස කටයුතු කළේය. තමා කියවන ලද දෙය කෙරෙහි සිත ඇදී ගියෙන්, බයිබල් ශිෂ්‍යයන් යනුවෙන් එවකට හඳුන්වනු ලැබූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීම සඳහා ඔහු කිලෝමීටර 24ක් බයිසිකලයෙන් ගියේය. ඔහු 1923දී බව්තීස්ම වූ අතර, තම පවුලේ කිරිපට්ටි ගොවිපොළ පිහිටි නිව් යෝර්ක්, වෝල්කිල් ප්‍රදේශයේ දොරින් දොරට දේශනා කිරීම ආරම්භ කළේය.
සහෝදර බූත් 1928 අප්‍රියෙල් මස පූර්ණ කාලීන දේවසේවයට ඇතුල් වූයේය. ඔහු ආහාර හා ඉඳුම් හිටුම් වෙනුවෙන් බයිබල් පොත් පත් හුවමාරු කරමින්, තම ගමේ බල ප්‍රදේශයේ සහ ගම්බද දකුණු ප්‍රදේශයේ දේශනා කළේය. තුවක්කුව පෙන්වා බියගැන්වීමට වෙරදරන, නීති විරෝධී මත්පැන් ස්කාගාරවල අයිතිකරුවන් වැනි උවදුරුවලට නිර්භීතව මුහුණ දීමට ඔහුට සිදු වූ අතර, ඔවුන්ගෙන් කෙනෙක් බූත්ගේ සහකාර පුරෝගාමියාට වෙඩි තබා තුවාල කළේය. වර්ෂ 1935දී, සහෝදර බූත් සංචාරක අවේක්ෂකයෙකු ලෙස පැවරුම් ලැබූ අතර, රට පුරා සභාවන් සහ කුඩා කණ්ඩායම් බැහැදැකීම ආරම්භ කළේය. ඔහු එක්රැස්වීම් සංවිධානය කර, සහෝදර සහෝදරියන්ට විරුද්ධවාදිකම් තිබියදී විඳදරාගැනීමටද උපකාර කළේය. කෝපාවිෂ්ට කලහකාරි කණ්ඩායම් සමඟ මුහුණට මුහුණලා කතා කිරීම, අධිකරණයේදී ස්ථාවරයක් ගැනීම සහ සිරභාරයේ පීඩා විඳීම යනාදි සියල්ලක්ම සහෝදර බූත්ට සාමාන්‍ය සිදුවීම් බවට පත් විය. “එම උනන්දුව දනවන කාලවල් පිළිබඳ තොරතුරුවලින් පොතක්ම ලිවිය හැක,” යනුවෙන් ඔහු වරක් ලීවේය.
වර්ෂ 1941දී, එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි ජෝසෆ් එෆ්. රදර්ෆඩ්, සහෝදර බූත්ට නිව් යෝර්ක්හි, ඉතාකා අසල කිංඩම් ෆාම්හි සේවය කිරීමට පැවරුවේය. ඔහු එහි වසර 28ක් විශ්වාසවන්තව සේවය කළේය. දේවසේවය සඳහා තිබූ ඔහුගේ ප්‍රේමය හීන වූයේ නැත, 1961 වන තෙක් කිංඩම් ෆාම්හි පිහිටුවා තිබූ, මිෂනාරිවරුන් පුහුණු කරන වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි දහස් ගණන් ශිෂ්‍යයන් සමඟ එම වසර ගණනාව පුරා ආශ්‍රය කිරීමට ලැබීමෙන් ඔහු ඉමහත් ප්‍රීතියක් ලැබුවේය. වර්ෂ 1970දී, නිව් යෝර්ක් වෝල්කිල්හි පිහිටි වොච්ටවර් ෆාම්හි සේවය කිරීමට සහෝදර බූත්ට ආරාධනා කරනු ලැබූ අතර, එනිසා, වසර 45කට පෙර ඔහු පුරෝගාමී සේවය ආරම්භ කළ එම ප්‍රදේශයටම ඔහු නැවත පැමිණ සිටියේය.
වර්ෂ 1974දී, නිව් යෝර්ක්හි බෘක්ලින්වල පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සහෝදර බූත්ව පත් කරන ලදි. වයස අවුරුදු 93දී ඔහුගේ මරණය වන තෙක් ඔහු එම තත්වයෙහි සිට විශ්වාසවන්තව සේවය කළේය. ජෝන් බූත් ඔහුගේ අතිශය යටහත් පහත් මෙන්ම කාරුණික ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය නිසා ආදරණීය ලෙස ප්‍රේමය ලැබුවේය. ඔහුගේ සෞඛ්‍යය හා ශක්තිය පිරිහෙන තෙක්, ඔහු විශ්වාසවන්තව දොරින් දොරට සහ නගරයේ වීදිවල දේශනා කරමින් සිටියේය.
ඔහු සමඟ සේවය කළ අය ඔහුගේ මරණය ගැන දුක් වුවත්, එවන් ආලේප ලත් ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන පොරොන්දුවෙන් ඔවුහු සැනසිල්ල ලබති, එනම් ඔවුන් ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටවනු ලබන අතර, “ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව ය[න]” බවය. (එළිදරව් 14:13; 1 කොරින්ති 15:51-54) මෙය නිසැකවම අලුත් පරිසරයකි, එහෙත් එය ජෝන් බූත්ට සදාකාලයටම යෙහෝවඃවහන්සේට සේවය කළ හැකි එකකි!
[32වන පිටුවේ පින්තූරය]
ජෝන් බූත් 1903-1996
[32වන පිටුවේ පින්තූරය]
HERALD-AMERICAN, ANDOVER 1234
76 Jehovites Jailed in Joliet
[හිමිකම් විස්තර]
Chicago Herald-American