ඔහු ශ්‍රේෂ්ඨතම නාමය භාවිත කිරීමට හේතුව
“මගේ ගුණ දොස් විවේචකයෙකු පවසන පරිදි, ශතවර්ෂ ගණනක් ව්‍යවහාරයේ පැවත ඇති ස්වාමීන්වහන්සේ යන්න වෙනුවට ඊට සමානව, ‘යෙහෝවා’ යන වචනය හඳුන්වා දීමෙන් මම පව් කර ඇත්තෙමි.”
මෙය, 1864දී මුලින්ම ප්‍රකාශයට පත් වූ, ගීතාවලිය පොතේ තම පරිවර්තනයේ දෙවන සංස්කරණයට ප්‍රස්තාවනාව වශයෙන් ජේ. ජේ. ස්ටුවර්ට් පරෝන්ගේ අදහස් ප්‍රකාශ කිරීමකි. එම විවේචකයා වර්ෂ 1864 ජූලි 2වන දින සැටර්ඩේ රිවිව් යන පත්‍රයට ලියමින්, එය තවදුරටත් යුදෙව් හෝ ක්‍රිස්තියානි පල්ලිවල භාවිතයේ නොතිබූ බැවින් පරිවර්තනයේ දෙවියන්වහන්සේගේ නම භාවිත කිරීම ගැන විරෝධතාව දැක්වීය. යෙහෝවා යන නාමය වඩාත් සමීප ලෙස යුදෙව්වන් සමඟ සම්බන්ධව පවතින බැවින්, “ඒ පිළිබඳව ප්‍රාදේශිය හෝ ජාතික වශයෙන් සම්බන්ධකම් නොමැති,” “ස්වාමීන්වහන්සේ” හෝ “දෙවියන්වහන්සේ” වැනි වෙනත් යෙදුමක් භාවිත කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
මිනිසා දෙවියන්වහන්සේගේ එළිදරව් වීම පිළිබඳව “එක් චරිතයක්වත් මකා දමන්න නොකැමති” වූ බැවින් මෙම තර්ක සමඟ පරෝන් එකඟ නොවීය. හෙබ්‍රෙව් දිව්‍ය නාමය “ස්වාමීන්වහන්සේ” ලෙස ඉදිරිපත් කරන පරිවර්තකයන් හෙබ්‍රෙව් වචන දෙක අතර වෙනස වෙන් කර හඳුනාගැනීමට අසමත් වූ බවට ඔහු නිවැරදිව තර්ක කළේය.
තවදුරටත්, දිව්‍ය නාමය නැවත පිහිටුවීමට අනුග්‍රහය දැක්වූ ඉතා යහපත් අධිකාරීන් සිටි බව පරෝන් පවසා සිටියේය. ඔහු ප්‍රසිද්ධ ඉංග්‍රීසි කවියෙකු වූ සැමුවෙල් ටේලර් කෝල්ඩ්රිජ් සම්බන්ධව උපුටා දැක්විය:
“සෙප්ටුඅජින්ට් මාධ්‍ය ආධාරයෙන්, එනම් අතරමැදියෙක් මාර්ගයෙන් හෙබ්‍රෙව් භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම නොනවත්වා ගෙන යන්නේ මන්ද? යෙහෝවා යන හෙබ්‍රෙව් වචනය අප වැලඳ ගත්තා නොවේද? හෙබ්‍රෙව් භාෂාවේ යෙහෝවා යන්නට අසංඛ්‍යාත අවස්ථා ගණනාවකම, සෙප් ටුඅජින්ට්හි Κύριος, හෙවත් ස්වාමීන්වහන්සේ යනුවෙන් යෙදීම ග්‍රීක ආදේශකයක් නොවේද? එසේනම්, මුල් වචනය යළි භාවිත නොකරන්නේ; එමෙන්ම යෙහෝවඃවහන්සේව පරණ ගිවිසුම තුළ යෙහෝවා යන නමින්ම පරිවර්තනය නොකරන්නේ; සහ පරණ ගිවිසුමට යොමු දක්වා ඇති නව ගිවිසුමෙහි සෑම පාඨයකටම, යොමු දක්වන ලද හෙබ්‍රෙව් වචනය නොයොදන්නේ මන්ද?”
හෙබ්‍රෙව් ටෙට්‍රාග්‍රැමටනය හෙවත් හෙබ්‍රෙව් අක්ෂර සතරේ නිරවද්‍ය උච්චාරණය කිරීමේ ක්‍රමය දැන් නැති වී තිබෙන බවට පරෝන් පිළිගත්තේය, නමුත් ඔහු මෙසේ ප්‍රකාශ කළේය: “යුදෙව් පල්ලියෙන් නම භාවිතය ඉවත් වූයේ නිකම්ම මිථ්‍යා සැකයන්ට ඇලී සිටීම නිසා නම්, ග්‍රීක හා ලතින් අනුවාදවලට ඉතා යටහත් ලෙස ඇලී සිටීමෙන් අපගේම [ඉංග්‍රීසි] අනුවාදයේ වචනය අහිමි කර, මුල් භාවිතයට එරෙහිව නැවත කටයුතු කිරීමට මේවා ප්‍රබල හේතු නොවේ.” පරෝන් “යෙහෝවා” යනුවෙන් ව්‍යවහාර කිරීමට කැමති විය, මන්දයත් එය ප්‍රසිද්ධ වී තිබූ බැවිනි. එවක් පටන් නවීන දින පරිවර්තන බොහෝමයකද දිව්‍ය නාමය පාවිච්චි කර තිබේ. නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් යන බයිබලයේ හෙබ්‍රෙව් සහ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි දෙකොටසේදීම යෙහෝවා යන නාමය 7,200 වාරයකට වඩා භාවිත කර තිබේ.
ගීතාවලිය පරිවර්තනයේදී, “එහි වාග් රීතිය සහ වගන්ති සැකැස්ම යන දෙකේදීම හෙබ්‍රෙව් ව්‍යවහාරයට සමීපව,” ඇලී සිටීමට පරෝන් උත්සාහ කළේය. ගීතාවලිය 69හි, 5 සහ 6වන පදවල (නව අනුවාදය), “දෙවියන්වහන්සේ” (ʼඑලෝ·හිම්ʹ), “ස්වාමීන්වහන්සේ” (ʼඇඩො·නයිʹ) සහ “යෙහෝවඃවහන්සේ” වෙන් කර හඳුනාගැනීමේ ඇති අවශ්‍යතාව ඔහු දුටුවේය: “අනේ දෙවිඳුනි! [ʼඑලෝ·හිම්ʹ] ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය. සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, [ʼඇඩො·නයිʹ], ඔබ ව සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා!”