ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 4/15 11-15 පි.
  • ලෞකික ආගම අවසන් වීමට හේතුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෞකික ආගම අවසන් වීමට හේතුව
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මහා බබිලෝනිය වැටී තිබෙන්නේ කෙසේද?
  • ඔබ තේරීමක් කළ යුතුය
  • බොරු ආගම දැඩි චෝදනා ලැබ
  • බොරු ආගම සතු කායින්ගේ ස්වභාවය
  • “කැපීපෙනෙනසුලු විරුද්ධාභාසය”
  • ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
    ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
  • ආගම් නිසා මිනිස්සු සැබෑ දෙවියන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ඕනෑ ම ආගමක් හොඳට ම ප්‍රමාණවත් ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බොරු ආගමේ ග්‍රහණයෙන් නිදහස්වීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 4/15 11-15 පි.

ලෞකික ආගම අවසන් වීමට හේතුව

“මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව වරෙල්ලා.”—එළිදරව් 18:4.

1. (අ) මහා බබිලෝනිය වැටී තිබෙන්නේ කිනම් අයුරකින්ද? (ආ) මෙම සිද්ධිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට බලපා තිබෙන්නේ කෙසේද?

“මහා බබිලෝනිය වැටුණාය!” එසේය, යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වැටී ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ සහෝදරයන්ගේ ඉතිරි කොටස 1919දී, ගුප්ත බබිලෝනියේ ප්‍රබල කොටසක් වන ක්‍රිස්තියානි ලෝකයේ බලපෑම යටතෙන් මිදුණ දා සිට මෙය සැබෑ වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොරු ආගම ප්‍රසිද්ධියේ හෙළාදැකීමටත්, මෙසියානු රාජ්‍යය මගින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ පාලකත්වය නිවේදනය කිරීමටත් ඔවුහු නිදහස්ව සිටිති. “මුළු ලෝකයා” මුළා කිරීම සඳහා සියවස් ගණනාවක් පුරා සාතන් යොදාගෙන තිබෙන රූකඩ බඳු ආගම් රාශියේ වෙස්මූණු, යෙහෝවඃවහන්සේගේ පක්ෂපාත සාක්ෂිකරුවන් විසින් ගළවා දමා තිබේ.—එළිදරව් 12:9; 14:8; 18:2.

මහා බබිලෝනිය වැටී තිබෙන්නේ කෙසේද?

2. ලෝක ආගම්වල වත්මන් තත්වය කුමක්ද?

2 කෙසේවුවත්, යමෙකු මෙසේ ඇසිය හැක, ‘බොහෝ රටවල ආගම සමෘද්ධිමත් වන බව පෙනෙන්ට තිබියදී, මහා බබිලෝනිය වැටුණායයි පැවසීමට ඔබට හැක්කේ කෙසේද?’ අදහන්නන් බිලියනයකට වඩා වැඩි ගණනක් බැගින් තමන්ට සිටින බව කතෝලික හා ඉස්ලාම් ධර්මය කියා සිටියි. උතුරු අමෙරිකාවේ හා දකුණු අමෙරිකාවේ රෙපරමාදු ධර්මය තවමත් සඵල වෙමින් තිබෙන අතර, එහි අලුත් පල්ලි හා දෙව් මැදුරු හතු පිපෙන්නාක් මෙන් නිරතුරුවම ඉදි වනු දක්නට ලැබේ. මිලියන සිය ගණනක්, බෞද්ධ හා හින්දු ධර්මයන්හි වත් පිළිවෙත් අනුගමනය කරති. එහෙත්, මේ ආගමික ප්‍රයත්න සියල්ල මෙම බිලියන සංඛ්‍යාතයන්ගේ හැසිරීම මත ඒකාන්ත බලපෑමක් ඇති කරන්නේ කෙතරම් දුරකටද? එය, උතුරු අයර්ලන්තයේ කතෝලික භක්තිකයන් හා රෙපරමාදු භක්තිකයන් එකිනෙකාව ඝාතනය කිරීමෙන් වළක්වා තිබේද? එමගින් මැද පෙරදිග යුදෙව්වන් හා මුස්ලිම්වරුන් අතර සැබෑ සාමය ගෙනැවිත් තිබේද? එය ඉන්දියාවේ හින්දු භක්තිකයන් හා මුස්ලිම්වරුන් අතර එකඟතාවට මඟ පාදා තිබේද? තවද, ඉතා මෑතකදී, සර්බියානු ඔර්තඩොක්ස් භක්තිකයන්, ක්‍රොඒෂියානු කතෝලිකයන් හා බොස්නියානු මුස්ලිම් භක්තිකයන් විසින් “ජනවාර්ගික ශෝධිකරණය,” කොල්ලකෑම, දූෂණය කිරීම හා එකිනෙකාව ඝාතනය කිරීම සඳහා හඹා යෑමෙන් වළක්වා තිබේද? ඉතා සුළු පීඩනයකදී වුවත් බිඳී යන දුර්වල බිත්තර කටුවක් මෙන්, බොහෝවිට ආගම වනාහි, බොරු පෙනුමක් තිබෙන ලේබලයක් පමණි.—ගලාති 5:19-21; සසඳන්න යාකොබ් 2:10, 11.

3. ආගම දෙවියන්වහන්සේ ඉදිරියේ විනිශ්චය පිණිස තබා තිබෙන්නේ මන්ද?

3 ජන සමූහයාගෙන් ආගමට රුකුලක් ලැබෙන නිසාම දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, සියලු ආගම් දෙවියන්වහන්සේ ඉදිරියේ විනිශ්චය පිණිස තබා තිබේය යන මඟහැරිය නොහැකි සාධකය වෙනස් කරනු ලබන්නේ නැත. මහා බබිලෝනියේ ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වී තිබෙන පරිදි, ඇය අහිතකර ලෙස විනිශ්චය ලැබීමට සුදුසුව සිටියි, මන්දයත් “ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහික[ර]” තිබෙන බැවිනි. (එළිදරව් 18:5) හොෂෙයා අනාවැකිමය විලාසයකින් මෙසේ ලීවේය: “ඔව්හු හුළඟ වපුරා, සුළිහුළඟ කපාගන්නෝය.” දෙවියන්වහන්සේට, ස්වකීය ප්‍රේමයට, ස්වකීය නාමයට හා ස්වකීය පුත්‍රයාණන්ට ද්‍රෝහිවීම හේතුවෙන් ලොව පුරා තිබෙන සාතන්ගේ සියලුම බොරු ආගම් උපරිම විනාශයක් අද්දකිනු ඇත.—හොෂෙයා 8:7; ගලාති 6:7; 1 යොහන් 2:22, 23.

ඔබ තේරීමක් කළ යුතුය

4, 5. (අ) අප අදදින ජීවත් වන්නේ කුමන තත්වයන් තුළද? (ආ) අප උත්තර දිය යුත්තේ කුමන ප්‍රශ්නවලටද?

4 අප ජීවත් වන්නේ “අන්තිම දවස්වල” අවසාන කොටසෙහි වන අතර, සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් අපි මෙම “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලව[ලින්]” බේරී ජීවත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින්නෙමු. (2 තිමෝති 3:1-5, NW) මිනීමරුවෙකු, බොරුකාරයෙකු හා අපහාස කරන්නෙකු වශයෙන් ඔහුගේ දූෂිත පෞද්ගලිකත්වය සැබවින්ම පිළිබිඹු කරන සාතන්ගේ ලෝකය තුළ සැබෑ ක්‍රිස්තියානීහු තාවකාලික පදිංචිකරුවෝ වෙති. (යොහන් 8:44; 1 පේතෘස් 2:11, 12; එළිදරව් 12:10) අප වටා ප්‍රචණ්ඩත්වය, මුළාව, වංචාව, දූෂණය හා අන්ත දුරාචාරය පැතිර පවතී. ප්‍රතිපත්ති නොසලකා හැර තිබේ. සුඛපරමවාදය හා තමන් රිසි දෙය අත් කරගැනීමට ඕනෑම දෙයක් කිරීම යන්නෙන්ම තත්වය මොනවට පැහැදිලි වේ. තවද බයිබලයේ පැහැදිලිවම හෙළාදැක තිබෙන සමලිංගිකතාව, වේශ්‍යාකම හා කාමමිථ්‍යාචාරය එතරම් වරදක් නොවන බව දක්වමින් පූජක පක්ෂය බොහෝ අවස්ථාවලදී සදාචාරාත්මක බිඳවැටීම නොසලකා හරිති. එබැවින් මෙම ප්‍රශ්නය නැඟේ, බොරු නමස්කාරයට සහය වෙමින් ඔබ බොරු නමස්කාරයේ වරද සැහැල්ලු කරනවාද නැතහොත් සැබෑ නමස්කාරයෙහි ක්‍රියාශීලීව සහභාගි වෙනවාද?—ලෙවී කථාව 18:22; 20:13; රෝම 1:26, 27; 1 කොරින්ති 6:9-11.

5 දැන් වෙන් කිරීමේ කාලයකි. මෙබැවින්, බොරු හා සැබෑ නමස්කාරය අතර වෙනස හඳුනාගැනීමට හොඳ හේතු තිබේ. තමන්ව මෙතරම් හෙළාදකිනු ලැබීම සඳහා ක්‍රිස්තියානි ලෝකයේ ආගම් වෙන කර තිබෙන්නේ කුමක්ද?—මලාකි 3:18; යොහන් 4:23, 24.

බොරු ආගම දැඩි චෝදනා ලැබ

6. ක්‍රිස්තියානි ලෝකය දේවරාජ්‍යය එපා කර තිබෙන්නේ කෙසේද?

6 ක්‍රිස්තියානි ලෝකයේ මිලියන සංඛ්‍යාතයක් දේවරාජ්‍යය පැමිණීම සඳහා නිතිපතා ස්වාමීන්ගේ යාච්ඤාව කිව්වත්, එම දිව්‍යාණ්ඩු පාලනය එපා කරමින් ඔවුන් සියලු ආකාර දේශපාලනික අභිලාෂයන්ට උද්‍යෝගීමත්ව සහය දී ඇත. සියවස් ගණනකට පෙර කතෝලික පල්ලියේ “කුමාරවරු” වශයෙන් සිටි රිචලියු, මැසරින් සහ වොල්සි වැනි කාර්දිනල්වරු, ලෞකික දේශපාලනඥයෝ, එනම් ආණ්ඩුවේ මන්ත්‍රීවරු වශයෙන්ද කටයුතු කළහ.

7. වසර 50කට පෙර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ව හෙළි කළේ කෙසේද?

7 ක්‍රිස්තියානි ලෝකය දේශපාලනය සමඟ හවුල්ව සිටින බව, වසර 50කට වැඩි කලකට පෙර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් රිලිජන් රීප්ස් ද වර්ල්වින්ඩ් යන මැයෙන් යුතු පොත් පිංචයේ හෙළි කරනු ලැබීය.a එවකට පැවසූ දෙය ඒ හා සමාන ප්‍රබලත්වයකින් අදටත් අදාළ වේ: “සියලු නිකායන්හි සිටින ආගමික නායකයන්ගේ හැසිරීම ගැන අවංක පරීක්ෂණයක් කිරීමෙන්, සමස්තයක් වශයෙන් ‘ක්‍රිස්තියානි ලෝකයේ’ නායකයන් ‘මෙම වත්මන් දුෂ්ට ලෝකයේ’ දේශපාලනය තුළ දැඩි උනන්දුවකින් හවුල් වෙමින්, එහි ලෞකික කටයුතුවල සුළු වශයෙන් හෝ නිරතව සිටින බව හෙළි වනු ඇත.” එකල නාට්සි හිට්ලර් (1933) සහ ෆැසිස්ට් ෆ්‍රැන්කො (1941) සමඟ XIIවන පයස් පාප්වරයා සමඟි සන්ධාන ඇති කරගැනීමත්, එමෙන්ම 1942 මාර්තුවලදී, ආක්‍රමණශීලී ජාතිය වන ජපානය පර්ල් හාර්බ වෙත නින්දිත ලෙස ප්‍රහාර එල්ල කර මාස කීපයකට පමණ පසු, පාප්වරයා ඔවුන් සමඟ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් හුවමාරු කරගැනීමත් නිසා සාක්ෂිකරුවෝ ඔහුව දැඩි ලෙස හෙළා දුටුවෝය. පාප්වරයා යාකොබ්ගේ අනතුරු ඇඟවීමට අවනත වීමට අසමත් වූයේය: “කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.”—යාකොබ් 4:4.

8. රෝමානු කතෝලික පල්ලිය අදදින දේශපාලනයේ හවුල්ව සිටින්නේ කෙසේද?

8 අදදින තත්වය කුමක්ද? පූජක පක්ෂය හා ගිහි නියෝජිතයන් මාර්ගයෙන් තවමත් පාප් පදවිය දේශපාලනයෙහි හවුල්ව තිබේ. මෑත කාලීන පාප්වරුන් එක්සත් ජාතීන් කෙරෙහි තම අනුමැතිය පළ කොට ඇත, එසේ කර තිබෙන්නේ ලෝක සාමය වෙනුවෙන් ක්‍රියා කරන මිනිසා විසින් නිර්මිත එම ව්‍යාජ ආයතනයෙහි රැස්වීම්වල දේශන ඉදිරිපත් කිරීමෙනි. නව රාජ්‍යදූතයන් සත්දෙනෙකු, “පාප්ගේ රාජ්‍යය වෙත තානාපතීන් වශයෙන්” තම සාක්ෂි පත්‍ර “පාප්තුමාට” ඉදිරිපත් කළ බවට, වතිකානු නිල පුවත්පතක් වන ලොසේර්වාටෝරේ රොමානෝහි මෑත කලාපයක නිවේදනය කරනු ලැබීය. යේසුස්වහන්සේ හා පේතෘස් එවැනි රාජ්‍යතාන්ත්‍රික හුවමාරු කරගැනීම්වල හවුල්වීමක් ගැන අපට මනසේ චිත්‍රයක් මවාගත හැකිද? යුදෙව්වන් යේසුස්වහන්සේව රජ ලෙස පත් කිරීමට සැරසුණු අවස්ථාවේ, එය ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ, තම රාජ්‍යය මේ ලෝකයෙන් නොවූ බව පැවසූසේක.—යොහන් 6:15; 18:36.

9. රෙපරමාදු ආගම් සිය කතෝලික ප්‍රතිරූපකයන්ට වඩා හොඳ නැතැයි පැවසීමට අපට හැක්කේ මන්ද?

9 රෙපරමාදු නායකයන් යම් අයුරකින් සිය කතෝලික ප්‍රතිරූපකයන්ට වඩා වැඩියෙන් හොඳද? එක්සත් ජනපදයේ, සංස්ථිතික රෙපරමාදු ආගම් බොහෝමයක් මෙන්ම මොර්මන් භක්තිකයන්ද, එක්තරා දේශපාලනික ස්වරූපයක් ගන්නා ආගම් ලෙස හැඳින්වේ. ක්‍රිස්ටියන් කොඑලිෂන් වනාහි එ.ජ. දේශපාලනයෙහි ගැඹුරින් හවුල් වූ සංවිධානයකි. තමන් වෙනස් ආකාරයක දේශපාලන ස්ථාවරයක රැඳී සිටින බව වෙනත් රෙපරමාදු පක්ෂවල පූජකයෝ පෙන්නුම් කරති. උතුරු අයර්ලන්තයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඉයන් පේස්ලි ලෙසම, එක්සත් ජනපදයේ දේශපාලනික නියෝජිතයන් වන පැට් රොබට්සන් හා ජෙසි ජැක්සන් වැනි අයද පූජක පක්ෂයට අයිතිව සිටින හෝ සිටි “පියතුමන්” බව ඇතැම්විට අමතක වී ගොසිනි. ඔවුන් ඔවුන්ගේ තත්වයන් යුක්තිසහගත කරන්නේ කෙසේද?—ක්‍රියා 10:34, 35; ගලාති 2:6.

10. වර්ෂ 1944දී කුමන පැහැදිලි ප්‍රකාශයක් කරනු ලැබුවේද?

10 රිලිජන් රීප්ස් ද වර්ල්වින්ඩ් පොත් පිංචය 1944දී ඇසුවාක් මෙන්, අපිද දැන් මෙසේ අසන්නෙමු: “ලෞකික බලවේගයන් සමඟ ගිවිසුම්වලට ඇතුළත් වන, එමෙන්ම මේ ලෝකයෙන් වාසි ප්‍රයෝජන හා ආරක්ෂාව සොයමින්, මෙම ලෝකයේ දේශපාලනික කටයුතුවල පටලැවෙමින් සිටින කිසිම සංවිධානයකට . . . දෙවියන්වහන්සේගේ සභාව වීමට හෝ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පොළොව මත නියෝජනය කිරීමට හෝ හැකිද? . . . මේ ලෝකයේ රාජ්‍යයන්ට ඇති ඉලක්ක ලුහුබඳිමින් සිටින සියලු ආගමිකයන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මගින් වූ දේවරාජ්‍යය නියෝජනය කළ නොහැකි බව පැහැදිලිය.”

බොරු ආගම සතු කායින්ගේ ස්වභාවය

11. බොරු ආගම කායින්ගේ ආදර්ශය අනුගමනය කළේ කෙසේද?

11 ඉතිහාසය පුරා, බොරු ආගම මගින් දක්වා තිබෙන්නේ සිය සහෝදරයාව ඝාතනය කළ භ්‍රාතෘඝාතක කායින්ගේ ස්වභාවයයි. “මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති, ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි. මක්නිසාද පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අප විසින් එකිනෙකාට ප්‍රේමකළ යුතුය යන මේය. තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.” සිය සහෝදරයාගේ නිර්මල මෙන්ම දෙවියන්වහන්සේට පිළිගත හැකි නමස්කාරය නොරිස්සූ කායින්—තර්කානුකූල පිළිතුරක් සොයාගත නොහැකි අයගේ අවසාන උපාය වන සාහසිකකමේ උපක්‍රමය යොදාගත්තේය.—1 යොහන් 3:10-12.

12. යුද්ධ හා සටන්වලදී ආගමේ පාපසහායතාව පිළිබඳව කුමන සාක්ෂි තිබේද?

12 බොරු ආගම පිළිබඳ මෙම දැඩි චෝදනාවට සාධක අනුබල දෙයිද? ප්‍රීචර්ස් ප්‍රිසෙන්ට් ආම්ස් යන පොතෙහි, කර්තෘ මෙසේ පැවසීය: “ශිෂ්ටාචාරවල ඉතිහාසය දෙස බලද්දී, . . . ද්වි පාර්ශික ගිවිසුමකින් බලවේග දෙකක් සැමවිටම එක්වී සිට ඇත. ඒවා නම් යුද්ධය හා ආගම වේ. තවද, සියලුම ශ්‍රේෂ්ඨ ලෝක ආගම් අතුරින්, . . . [ක්‍රිස්තියානි ලෝකය] තරම් වෙනත් කිසිදු ආගමක් [යුද්ධයට] ඇප කැප වී නැත.” වසර කිහිපයකට පෙර, කැනඩාවේ වැන්කුවර්හි පුවත්පතක් වන ද සන් මෙසේ සඳහන් කළේය: “පල්ලිය, ජාතික කොඩිය අනුගමනය කිරීම . . . සමහරවිට සංවිධානය වූ සියලු ආගම්වල දුර්වලතාවක් විය හැක. දෙවියන්වහන්සේ තම පැත්තේ සිටි බව නොපවසා සටන් කළේ කුමන යුද්ධයද?” යම් ප්‍රාදේශීය පල්ලියක් සම්බන්ධයෙන් ඔබ මෙයට අදාළ සාක්ෂි දැක තිබෙනවා විය හැක. නිතරම පාහේ, ජාතික කොඩි අල්තාරය සරසයි. යේසුස්වහන්සේ ගමන් කරනු ඇතැයි ඔබ සිතන්නේ කුමන කොඩිය යටතේද? සියවස් ගණන් පුරා උන්වහන්සේගේ වචන රැව්පිළි රැව් දී ඇත: “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ”!—යොහන් 18:36.

13. (අ) අප්‍රිකාවෙහි බොරු ආගම අසමත් වී තිබෙන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි ආගම පිළිබඳව යේසුස්වහන්සේ දුන්නේ කුමන හඳුනාගැනීමේ ලකුණද?

13 ක්‍රිස්තියානි ලෝකයේ ආගම්, තම රැළවල්වලට අව්‍යාජ සහෝදර ප්‍රේමය සම්බන්ධව සැබෑව උගන්වා නැත. ඒ වෙනුවට, ජාතික, ගෝත්‍රික හා වාර්ගික වෙනස්කම්වලට ඔවුන්ගේ සාමාජිකයන් අතර භේද ඇති කිරීමට ඉඩහැර තිබේ. රුවන්ඩාහි ගෝත්‍රික ඝාතනයට තුඩු දෙමින් ඇති වූ භේදවලදී, කතෝලික හා එංගලන්ත සභාවේ පූජක පක්ෂය යම් කාර්යභාරයක් දැරූ බව වාර්තා අඟවයි. ද නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ වාර්තා කළේය: “රුවන්ඩාවල රෝමානු කතෝලිකයන් බොහෝදෙනෙකුට, එහි සිදු වූ සංහාරයන් මගින්, සභාවේ පූජක පක්ෂය විසින් තමන්ව පාවා දී ඇතැයි හැඟීමට සලස්වා ඇත. හුටු සහ ටුට්සි ජනයා අතර පවතින ජනවාර්ගික හේතූන් මත පල්ලිය බොහෝවිට බෙදී පැවතිණ.” එම පුවත්පතම, අමෙරිකාවේ විදේශීය කතෝලික මිෂනාරි සමිතියේ සාමාජිකයෙකු වන පූජකයෙකු පැවසූ දෙය මෙසේ උපුටා දැක්වීය: “වර්ෂ 1994දී, රුවන්ඩාවල, පල්ලිය ඉතා අධික ලෙස අසමත් විය. රුවන්ඩා වැසියන්ගෙන් බොහෝදෙනෙකු යම් ආකාරයකින් පල්ලියෙන් ඈත් වී ඇත. තවදුරටත් ඒ කෙරෙහි කිසිම විශ්වාසයක් තැබිය හැකි තත්වයක් නොපවතී.” යේසුස්වහන්සේගේ මෙම වචනවලට වඩා මොනතරම් පටහැනිද: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:35.

14. ක්‍රිස්තියානි-නොවන ප්‍රධාන ආගම් ඉදිරිපත් කරන්නේ හැසිරීම පිළිබඳ කුමන වාර්තාවක්ද?

14 මහා බබිලෝනියේ අනිකුත් ප්‍රධාන ආගම් ඊට වඩා හොඳ ආදර්ශයක් තබා නැත. වර්ෂ 1947දී ඉන්දියාව බෙදනු ලැබූ අවස්ථාවේ සිදු වූ දරුණු සංහාරයන්ගෙන් පෙනෙන්ට තිබෙන්නේ, එහි ප්‍රධාන ආගම් ඉවසීම වර්ධනය කර නොතිබූ බවය. ඉන්දියාවේ නොකඩවා පවතින ප්‍රජා ප්‍රචණ්ඩත්වය වැඩිදෙනෙකු වෙනස් වී නැති බව ස්ථිර කරයි. ඉන්ඩියා ටුඩේ සඟරාව මෙසේ නිගමනය කිරීම පුදුමයක් නොවේ: “ඉතා පිළිකුල්සහගත අපරාධ සිදු කර තිබෙන්නේ ආගමේ නාමය යටතේය. . . . අතිවිශාල අපරාධවලට ඉඩහැර ඇති ආගම දැඩි විනාශකාරි බලවේගයක්ද වේ.”

“කැපීපෙනෙනසුලු විරුද්ධාභාසය”

15. බටහිර ලෝකයේ ආගමෙහි තත්වය කුමක්ද?

15 තර්කයෙන් ඒත්තුගැන්වීමට, සැබෑ සාරධර්ම පැලපදියම් කිරීමට හා ලෞකිකත්වයේ අතුරු මාර්ගවල ග්‍රහණයට විරුද්ධ වීමට ආගම අසමත් වී ඇති බව ලෞකික ටීකාකරුවන් පවා සඳහන් කර ඇත. එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක සූබීග්නෙෆ් බ්‍රේෂින්ස්කි, ඖට් ඔෆ් කන්ට්‍රෝල් (පාලනයෙන් තොර) නමැති ඔහුගේ පොතෙහි මෙසේ ලීවේය: “ ‘දෙවියන්වහන්සේ මැරිලා’ යන යෝජනාව සඳහා ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය ලැබී තිබෙන්නේ මාක්ස්වාදය රජයන රාජ්‍යවල් තුළ නොව, නමුත් සංස්කෘතිකව සදාචාර උදාසීනත්වය පෝෂණය කර තිබෙන බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලය යන්න කැපීපෙනෙනසුලු විරුද්ධාභාසයකි. පසුව සඳහන් කරන ලද සමාජ තුළ ආගම ප්‍රධාන සමාජ බලවේගයක් වීමෙන් නතර වී තිබීම සත්‍යයක් වී ඇත.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “යුරෝපීය සංස්කෘතිය තුළ ආගම පිළිපැදීම අතිශයින් හීන වී ඇති අතර, අදදින යුරෝපය—අමෙරිකාවටත් වඩා වැඩියෙන් පවා—ඉඳුරාම ලෞකික සමාජයකි.”

16, 17. (අ) යේසුස්වහන්සේගේ කාලයේ පූජකයන් සම්බන්ධයෙන් උන්වහන්සේ දුන්නේ කුමන අවවාදයද? (ආ) ඵල ගැන යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ කුමන කදිම ප්‍රතිපත්තියද?

16 යේසුස්වහන්සේගේ දවස්වල සිටි යුදෙව් පූජකයන් ගැන උන්වහන්සේ පැවසුවේ කුමක්ද? “ලියන්නෝද ඵරිසිවරුද [ටෝරා හෙවත් ව්‍යවස්ථාව ඉගැන්වීමට] මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති. එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වාපල්ලා. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරල්ලා; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.” එසේය, ආගමික කුහකකම අලුත් දෙයක් නොවේ.—මතෙව් 23:2, 3.

17 බොරු ආගමේ ඵල එහි සදොස් බව දක්වයි. යේසුස්වහන්සේ විසින් දෙන ලද නියමය මැනවින් අදාළ වේ: “සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය. හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ. එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය.”—මතෙව් 7:17-20.

18. ක්‍රිස්තියානි ලෝකයේ ආගම් තමන්වම පවිත්‍රව තබාගත යුතු වූයේ කෙසේද?

18 ක්‍රිස්තියානි ලෝකයේ ආගම්, තම සාමාජිකයන් බව පවසා සිටින්නන් සිදු කළ නොපනත් ක්‍රියා සියල්ල නිසා, සභා ඇසුරෙන් කපාහැරීමේ නොහොත් නෙරපා දැමීමේ ක්‍රිස්තියානි හික්මවීම අදාළ කිරීමට සාවධානව සිටියා නම්, කුමක් සිදු වනු ඇද්ද? පසුතැවිලි නොවන සියලු බොරුකාරයන්, වේශ්‍යාකම් කරන්නන්, කාමමිථ්‍යාචාරිකයන්, සමලිංගිකතාවේ යෙදෙන්නන්, වංචාකාරයන්, අපරාධකාරයන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් හා ඇබ්බැහිවූවන් මෙන්ම අපරාධ කල්ලිවල සාමාජිකයන්ට කුමක් සිදු වනු ඇද්ද? ක්‍රිස්තියානි ලෝකයේ නරක් වූ ඵල, එය දෙවියන්වහන්සේගෙන් විනාශය ලැබීමට පමණක් සුදුසු කරවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.—1 කොරින්ති 5:9-13; 2 යොහන් 10, 11.

19. ආගමික නායකත්වය සම්බන්ධයෙන් කුමන ඒත්තුගැන්වීම් සිදු කර ඇද්ද?

19 එක්සත් ජනපදයේ ප්‍රෙස්බිටේරියන් පල්ලිය සඳහා පොදු රැස්වීම මගින් මෙසේ ප්‍රකාශ කරනු ලැබීය: “අපි අර්බුදයකට මුහුණ දෙමින් සිටින්නෙමු, එහි සමානුපාතයන් හා ඇඟවීම් අතිමහත්ය. . . . රට පුරා සියයට 10ත් 23ත් අතර පූජක සංඛ්‍යාවක් දේවගැති ප්‍රදේශයට අයත් වැසියන්, සේවාලාභීන්, සේවකයන් යනාදීන් සමඟ කාමුක හැසිරීම්වල යෙදී හෝ ලිංගික සබඳතා පවත්වා හෝ ඇත.” එක්සත් ජනපද ව්‍යාපාරිකයෙක් මෙලෙස කාරණය මැනවින් සංක්ෂිප්ත කොට දැක්වීය: “ආගමික ආයතන තම ඓතිහාසික සාරධර්ම පතුරුවා හැරීමට අසමත් වී ඇති අතර, බොහෝ අවස්ථාවලදී ගැටලුවේ කොටසක් බවට පත්ව ඇත.”

20, 21. (අ) යේසුස්වහන්සේ සහ පාවුල් කුහකකම හෙළාදැක්කේ කෙසේද? (ආ) උත්තර සැපයීමට තිබෙන ප්‍රශ්න මොනවාද?

20 යේසුස්වහන්සේ ප්‍රසිද්ධියේ ආගමික කුහකකම හෙළාදැකීම උන්වහන්සේගේ කාලයට සමානව අදටත් අදාළ වේ: “වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට: මේ සෙනග තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේය.” (මතෙව් 15:7-9) පාවුල් තීතස්ට ලියූ වචනද අප අද්දකින නවීන තත්වය විස්තර කරයි: “ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.”—තීතස් 1:16.

21 අන්ධයෙක් තවත් අන්ධයෙකුට මඟ පෙන්වනවා නම් දෙදෙනාම වළට වැටෙන බව යේසුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 15:14) මහා බබිලෝනියත් සමඟ විනාශ වීමට ඔබට වුවමනාද? නැතහොත් ඔබේ නෙත් විවර කරගෙන ඍජු මාවත්වල ගමන් ගනිමින් යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද භුක්තිවිඳීමට ඔබට ඕනෑද? දැන් අප ඉදිරියේ මෙම ප්‍රශ්න පවතී: දේවඵල නිපදවන ආගමක් තිබේ නම්, ඒ කුමක්ද? දෙවියන්වහන්සේට පිළිගත හැකි සැබෑ නමස්කාරය හඳුනාගැනීමට අපට හැක්කේ කෙසේද?—ගීතාවලිය 119:105.

[පාදසටහන]

a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් 1944දී ප්‍රකාශිතය; දැන් මුද්‍රණය නොකෙරේ.

ඔබට මතකද?

◻ දෙවියන්වහන්සේ ඉදිරියේ මහා බබිලෝනියේ වත්මන් තත්වය කුමක්ද?

◻ බොරු ආගම දැඩි චෝදනා ලැබ සිටින්නේ කුමන පදනම මතද?

◻ බොරු ආගම කායින්ගේ ස්වභාවය පෙන්වා ඇත්තේ කෙසේද?

◻ ඕනෑම ආගමක් විනිශ්චය කිරීම සඳහා යේසුස්වහන්සේ ඉදිරිපත් කළේ කුමන ප්‍රතිපත්තියද?

[13වන පිටුවේ පින්තූරය]

ඉතිහාසය පුරා ආගමික නායකයන් දේශපාලනයට ඇඟිලි ගසා තිබේ

[15වන පිටුවේ පින්තූර]

මෙම පූජකයෝ බලවත් දේශපාලනඥයෝද වූහ

කාර්දිනල් මැසරින්

කාර්දිනල් රිචලියු

කාර්දිනල් වොල්සි

[පින්තූරයේ හිමිකම් විස්තර]

කාර්දිනල් මැසරින් හා කාර්දිනල් රිචලියු: Ridpath’s History of the World යන පොතෙනි (පිළිවෙළින් VI සහ V යන වෙළුම් ඇසුරෙනි). කාර්දිනල් වොල්සි: The History of Protestantism යන පොතෙනි (වෙළු. 1).

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න