ග්‍රීසියේ සාර්ථක සාක්ෂිදැරීමේ වැඩ පිළිවෙළක්
ග්‍රීසියේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බොහෝ කලක් තිස්සේ විරුද්ධවාදිකම්වලට මුහුණ දී ඇත්තාහ. බොහෝවිට, ග්‍රීක ඔර්තඩොක්ස් පූජක පක්ෂයෙන් ඇති වූ ප්‍රබල බලපෑම නිසා, ඇතැම් පොලිස්, අධිකරණ සහ ආණ්ඩුවේ නිලධාරීන් විසින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පීඩා කොට තිබේ. ඇතැම් අවස්ථාවලදී ඊට ඉදිරිපත් කරනු ලැබූ හේතුව වූයේ, අන්‍ය ආගමකට හරවාගැනීමට විරුද්ධව ග්‍රීසියේ පනවා තිබෙන නීතියයි, වෙනත් අවස්ථාවලදී, සාක්ෂිකරුවන් බයිබලය මත පදනම්ව, යුද්ධයට යෑමට හෝ රුධිර ප්‍රවේශන පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමයි.—යෙසායා 2:2-5; ක්‍රියා 15:28, 29.
ග්‍රීසියේ අවංක හෘද ඇති අධිකාරීන් අතර වැඩි අවබෝධයක් වර්ධනය කිරීමේ අටියෙන්, එම ආණ්ඩුව මගින් ආගමික දේවසේවකයන් වශයෙන් පිළිගනු ලබන සාක්ෂිකරුවන් 200දෙනෙකු පමණ හා නීතික වෘත්තියේ සාමාජිකයන් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක්, මෑතකදී දේශ ව්‍යාප්ත වැඩ පිළිවෙළක සහභාගි වූහ. ජෙහෝවා’ස් විට්නසස් ඉන් ග්‍රීස් නමැති විශේෂයෙන් නිර්මාණය කරන ලද විවරණිකාවක්ද, ජෙහෝවා’ස් විට්නසස්—ප්රොක්ලේමර්ස් ඔෆ් ගෝඩ්’ස් කිංඩම් නමැති පොතද ඔවුහු ඉදිරිපත් කළහ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පීඩා කිරීම සඳහා වලංගු නීතිමය පදනමක් නොමැති බව නිරූපණය කරන ලියකියවිලි ඇහුරුමක්ද ඔවුහු සැපයූහ. පොලිස් ස්ථානාධිපතීන්, නගරාධිපතීන්, පොදුජන පැමිණිලිකරුවන් සහ වෙනත් නිලධාරීන් හමුවීමට සාක්ෂිකරුවෝ ගියහ.
ප්‍රතිචාරය කෙබඳු එකක් වීද? හොඳ අද්දැකීම් සිය ගණනකි. නිදසුන් සමහරක් සලකා බලන්න.
බටහිර මැසිඩෝනියාවෙහි පොලිස් ස්ථානයක අණ දෙන නිලධාරියෙක් සහෝදරයන් සාදරයෙන් පිළිගෙන මෙසේ පැවසුවේය: “මම දීර්ඝ කාලයක් තිස්සේ ඔබලාව දැන සිටිනවා, . . . ඔබලා පිළිවෙළකට කටයුතු කරන ආකාරය මම අගය කරනවා. . . . අන්‍ය ආගමකට හරවාගැනීමට විරුද්ධ නීතියට මම එකඟ නැහැ, මට හැකියාව තිබුණා නම්, ඒ නීතිය මම අවලංගු කර දමනවා.”
නගර ගණනාවක විවිධ පොලිස් ස්ථානවල අණ දෙන නිලධාරීහු මෙබඳු ප්‍රකාශයන් ඉදිරිපත් කළහ: “ඔබලා ඉටු කරන සමාජ සේවය ගැන මම ඔබලාට ප්‍රශංසා කරනවා.” “ඔබලාගේ ප්‍රජාව කවදාවත් පොලීසියට වැඩ දෙන්නේ නැහැ; ඔබලා සමාජ සේවයක් ඉටු කරනවා.” “ඔබලා සමඟ අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔබලාට ගරු කරනවා වගේම අගය කරනවා.”
පයිරියස්හි ආරක්ෂක පොලිස් අංශයේ උසස් නිලධාරියෙක්, තමා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාර්ගයෙන් යෙහෝවඃ දෙවියන්වහන්සේගේ නම කියා යාච්ඤා කිරීමට දන්නා බව, කඳුළු පිරි දෙනෙතින් යුතුව සහෝදරයන්ට පැවසුවේය. සාක්ෂිකරුවන් අර්මගෙදොනයට පෙර පීඩාවන්ට මුහුණ දීමට බලාපොරොත්තු වන බව තමා දන්න බවත්, ඒ කාලයේදී ඔවුන්ට උපකාර කිරීම සඳහා දෙවියන්වහන්සේ තමාව උපයෝගි කරගනී කියා තමා බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත් ඔවුන්ට පැවසීමෙන් ඔවුන්ව පුදුමයට පත් කළේය! වැඩි දුර සාකච්ඡා කිරීම සඳහා සහෝදරයන් කළ ආරාධනාව ඔහු පිළිගත්තේය.
ආණ්ඩුවේ නිලධාරීහු ප්‍රතිචාර දක්වති
ප්රොක්ලේමර්ස් පොත සම්බන්ධයෙන් තෙසලේහි එක් නගරාධිපතිවරයෙක් මෙසේ පැවසුවේය: “මහනගර සභා ප්‍රදේශ පුස්තකාලයේ තැනක් ලබන්ට—එනම් පළමුවන ස්ථානය ලබන්ට තරම් මෙම පොත වටිනවා!” අනතුරුව ඔහු රාක්කයකින් පොත් ඉවත් කර, ප්රොක්ලේමර්ස් පොත එහි කවරය පෙනෙන ආකාරයට එතැන තැබුවේය.
උතුරු ග්‍රීසියේ, එක් නගරාධිපතිවරයෙක් හමුවීමට සහෝදරයන් ගිය විට, ඔහු ඔවුන්ව උණුසුම් ලෙස පිළිගෙන මෙසේ පැවසුවේය: “මගේ මහනගර සභා ප්‍රදේශයේ තබාගැනීමට මම කැමතිම අය ඔබලායි.” උතුරු යූබියාහි කරුණාවන්ත නගරාධිපතිවරයෙක් සහෝදරයන්ට මෙසේ පැවසුවේය: “මම හිටපු හමුදා නිලධාරියෙක්. එහෙත් මම ඔබලාව හුඟාක් අගය කරනවා.” සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ කරුණු ඔහු උද්යෝගයෙන් පිළිගත්තේය. වොච් ටවර් සමිතිය මගින් ප්‍රකාශිත තෝරාගත් පොත් කිහිපයක් ඔවුන් ඔහුට පෙන්වූ විට, ඔහු මෙසේ පැවසුවේය: “මේ හැම පොතක්ම කියවීමට මම පොරොන්දු වුණොත්, ඔබලා ඒවා මට දෙනවාද?” “ඇත්තවශයෙන්ම—ඒවා ඔබටයි!” යනුවෙන් ඔවුහු පිළිතුරු දුන්හ. ඔහු ඉමහත් ප්‍රීතියට පත් වූ අතර, සහෝදරයන් පිට වී යනවාටවත් කැමති නොවීය.
ඇටිකාහි උපනගරයක, එක් නගරාධිපතිවරයෙක් සහෝදරයන් ඉදිරිපත් කළ පොත් පත් සතුටින් පිළිගත් අතර, සමිතියේ ප්‍රකාශන දිගටම ගෙනෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් යන්ට සූදානම් වනවාත් සමඟම, ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය: “සෙනඟ දේශපාලනඥයන් ගැන හුඟාක් කලකිරිලයි ඉන්නේ, ඔවුන් නියම සත්‍යය වෙන තැනකින් ලබාගන්ට වෑයම් කරනවා. ඔබලා ළඟ සත්‍යය තිබෙන නිසා, මීට පස්සේ ඔබලා ඉතා කාර්ය බහුලව සිටින්ට යන බව මට නිසැකයි.”
පොදුජන පැමිණිලිකරුවෝ ප්‍රතිචාරය දක්වති
උතුරු ග්‍රීසියේ පොදුජන නියෝජ්‍ය පැමිණිලිකරුවෙකු හමුවීමට ගිය සහෝදරයෝ එය මෙසේ සිහියට නඟති: “අපගේ ප්‍රකාශන සහ අප කතා කළ විෂය මෙන්ම, රුධිර ප්‍රවේශනය පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයට මුහුණ දීමේදී අපගේ සාමාජිකයන් අසරණ වී නොසිටින බව සහතික කිරීමට අප දරන ප්රයත්නය වෙතට ඔහුගේ සිත ඇදී ගියා. අවසානයේදී ඔහු අපට ස්තුති කළ අතර, ඔහුව මුණගැසී තොරතුරු විස්තර කිරීමට අප දැරූ උත්සාහයට අපට උණුසුම් ලෙස ප්‍රශංසා කළා. වසර හතරකට ඉහතදී, ක්ෂේත්‍ර සේවයේ යෙදෙමින් සිටි සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්ට ඔහු විසින් පොලීසියට නියම කර තිබූ බව අපට පසු කලකදී දැනගන්ට ලැබුණා.”
ඇතන්ස් නුවර පිහිටි පොදුජන පැමිණිලිකරුගේ කාර්යාලයට ගිය සාක්ෂිකාර නිතීඥවරු දෙදෙනෙක්, සුප්‍රසිද්ධ මෙන්ම බොහෝ සෙයින් ගරු කරනු ලබන, වයසින් වැඩි පොදුජන පැමිණිලිකරුවෙකු ඔවුන් වෙතට පැමිණෙනු දැකීමෙන් පුදුමයට පත් වූහ. ඔහු ඔවුන්ව පැත්තකට කැඳවාගෙන ගොස්, අන්‍ය ආගමකට හරවාගැනීමට විරුද්ධව පනවා තිබෙන නීතියට කිසි පදනමක් නැති බවත්, එමගින් ග්‍රීක් උසාවි පද්ධතියේ වියවුල ඇති කරන බවත් ඔවුන්ට පැවසුවේය. ඔහු ඔවුන්ට උණුසුම් ලෙස අතට අත දී ස්තුති කළේය.
උතුරු ග්‍රීසියේ, පොදුජන පැමිණිලිකරුවෙක් ඉතා මිත්‍රශීලී වූ අතර පොත් පත්ද පිළිගත්තේය. යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොතේ පිටු පෙරළද්දී, පටුනේ සඳහන් පරිච්ඡේදවල විවිධත්වය දැකීමෙන් ඔහු පුදුමයට පත් වූයේය. “මෙම පොතේ තිබෙන දේවල් කවදාවත් ඔර්තඩොක්ස් පල්ලියෙන් මට අහන්න ලැබිලා නැහැ” යයි ඔහු ප්‍රකාශ කළේය.
මීට කලින් තමා සාක්ෂිකරුවන්ගේ කැමැත්තට එරෙහිව රුධිර ප්‍රවේශන දීමට නියම කර ඇති බව, බියෝෂියාහි සිටි පොදුජන පැමිණිලිකරුවෙක් පිළිගත්තේය. එහෙත් එම කාරණය සම්බන්ධයෙන් සහෝදරයන් ඔහුට කාරණා පැහැදිලි කර දීමෙන් පසුව, ඔහු මෙසේ ප්‍රකාශ කළේය: “මීට පස්සේ මම කවදාවත් එවන් නියෝගයක් නිකුත් කරන්නේ නැහැ!” රුධිරය වෙනුවට තිබෙන විකල්ප සියල්ල ගැන විමසීම සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය රෝහල් සබඳතා කමිටුවෙන් තොරතුරු විභාග කිරීමට ඔහු අධිෂ්ඨාන කරගත්තේය. ඔහු සතුටින් යෞවන අය අසති පොතක් පිළිගත්තේය.
පුස්තකාලයාධිපතිවරු ප්‍රතිචාරය දක්වති
බොහෝ පුස්තකාලයාධිපතිවරුන්ටද එම තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. ඇතන්ස්හි එක් පුස්තකාලයක, ආචාරශීලී පුස්තකාලයාධිපතිවරයෙක් පොත් පත් පිළිගත් අතර, මෙලෙස අදහස් ප්‍රකාශ කළේය: “ඔබගේ පොත් පත් අපට ගෙන දීම ඇත්තෙන්ම කදිම දෙයක්, මන්ද අපගේ පුස්තකාලයේ තිබෙන පොත්වලින් වැඩි ප්‍රමාණයක් ඔබලාට විරුද්ධව ප්‍රකාශිත ඒවායි. . . . ඔබලාගේ පොත් පුස්තකාලයේ දැකීමෙන් පූජකයෙක් බොහෝ කලබල වුණා. . . . ඒත් කමක් නැහැ. හැමදෙනාගේම මත ප්‍රසිද්ධ විය යුතුයි.”
හමුදා කඳවුරකදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන දැනගැනීමට ලැබූ, ක්‍රීටයේ නගර සභාවට අයත් පුස්තකාලයක සිටි නිලධාරියෙක්, සාක්ෂිකරුවන් යුද්ධයේ හවුල්වීමට ප්‍රතික්ෂේප කිරීම ගැන තමා පුදුමයට පත් වූ බව සහෝදරයන්ට පැවසුවේය. ඔහු තමාගෙන්ම නැවත නැවත මෙසේ අසා තිබුණේය, ‘මොවුන් දුක් විඳිය යුත්තේ ඇයි?’ ඔහු සහෝදරයන්ගෙන් පොත් පත් පිළිගත් අතර, ඔවුන්ගේ වත්මන් ප්රයත්නය ගැන මෙසේ පැවසුවේය: “ඔබලා උතුම් කාර්යයක් ඉටු කර තිබෙනවා, ඇරත් වසර ගණනාවකට කලින් මෙය කරන්ට තිබුණා. . . . ග්‍රීසියේ අගතිසහගත හැඟීම් බහුලයි.” තමාව නොපමාව නැවත හමුවීමට පැමිණෙන මෙන් ඔහු සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම විශේෂ වැඩ පිළිවෙළේදී, ප්රොක්ලේමර්ස් පොත් 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක්ද, ජෙහෝවා’ස් විට්නසස් ඉන් ග්‍රීස් නමැති විවරණිකා 1,600කට වඩා වැඩි සංඛ්‍යාවක්ද, එමෙන්ම පොත් හා සඟරා සිය ගණනක්ද සහෝදරයෝ බෙදා දුන්හ. ඊටත් වඩා උචිත ලෙසින්, ග්‍රීක නිලධාරීන් සිය ගණනක් සමඟ ඔවුහු මුහුණට මුහුණලා කතා කළහ. ග්‍රීසියේ වෙසෙන අවංක හෘද ඇති අධිකාරීන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට වඩාත් සාධාරණ ලෙස සලකනු ඇතැයි යන්න, දැන් ග්‍රීසියේ මෙන්ම ලොව වටා සිටින යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත සේවකයන්ගේ අපේක්ෂාව වේ.