පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම
“සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [පක්ෂපාතකමින්ද, NW] දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්න.”—එපීස 4:24.
1. යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාත වීමට අප බැඳී සිටින්නේ මන්ද?
පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීමට පැති බොහොමයක් තිබේ. වඩාත්ම වැදගත් දේ නම්, යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාත වීමේ අභියෝගයට මුහුණ දීමයි. සැබවින්ම, යෙහෝවඃවහන්සේ කවුද, උන්වහන්සේ අප වෙනුවෙන් කර තිබෙන්නේ කුමක්ද යන්න සලකා බැලීමේදීත්, එමෙන්ම අප උන්වහන්සේට කැප වී ඇති නිසාත්, උන්වහන්සේට පක්ෂපාත වීමට අපි බැඳී සිටිමු. අප යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාතකම විදහාපෙන්වන්නේ කෙසේද? යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට පක්ෂපාත වීම මූලික ක්රමයකි.
2, 3. පක්ෂපාතකම හා ධර්මිෂ්ඨකම අතර තිබෙන සම්බන්ධය කුමක්ද?
2 එම අභියෝගයට මුහුණ දීම සඳහා 1 පේතෘස් 1:15, 16හි සඳහන් මෙම වදන්වලට අප අවනත විය යුතුය: “නුඹලා කැඳවූ තැනැන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.” යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාත වීම වූ කලි, අපේ සිතුවිලි, අදහස් හා ක්‍රියා ස්වකීය ශුද්ධ කැමැත්තට එකඟ කරවමින්, සෑම අවස්ථාවකදීම අපව උන්වහන්සේට කීකරු වීමට සැලැස්වීමයි. පළමුවන තිමෝති 1:3-5හි අපට ආඥා කර ඇති පරිදි යහපත් හෘදය සාක්ෂියක් පැවැත්වීම ඉන් අදහස් කෙරේ: “ආඥාවේ අභිප්‍රාය නම් [අමුතු ධර්ම ඉගැන්වීමටවත්, ප්රබන්ධවලට අවධානය යොමු කිරීමටවත් නොව, නමුත්] පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.” අප කිසිවෙකු පරිපූර්ණ නොවන බව සැබෑ වුවත්, අප අපේ උපරිමය කරමින් සිටිය යුතුය, එසේ නොවේද?
3 යෙහෝවඃවහන්සේට පක්ෂපාතකම දැක්වීම, ආත්මාර්ථකාමී ලෙස ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති පාවා දීමෙන් වැළකී සිටීමට අපට ඉවහල් වේ. ඇත්තෙන්ම ඇතුළාන්තයෙන් එක් ආකාරයකින්ද පිටින් තවත් ආකාරයකින්ද පෙනී සිටීමෙන් පක්ෂපාතකම අපව වළක්වන්නේය. ගීතිකාකරු මෙසේ ගැයූ විට ඔහුගේ මනසෙහි තිබුණේ පක්ෂපාතකමය: “ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.” (ගීතාවලිය 86:11) ‘පැනවිය නොහැකි නීති හෝ ප්‍රතිපත්තිවලට කීකරු වීම’ ලෙස මැනවින් විස්තර කොට තිබෙන දෙය පක්ෂපාතකමින් අවශ්‍ය කෙරේ.
4, 5. පක්ෂපාතකම අපට රුකුලක් වන්නේ කුමක් කිරීමෙන් වැළකී සිටීමටද?
4 යෙහෝවඃ දෙවියන්වහන්සේට වූ පක්ෂපාතකම, ස්වකීය නමට හා රාජ්‍යයට නින්දාවක් ගෙන දිය හැකි ඕනෑම දෙයකින් වැළකී සිටීමට අපට රුකුලකි. උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානීන් දෙදෙනකු අතර ඇති වූ ගැටලුවක් කෙතරම් උග්‍ර වූවාද කිවහොත්, ඔවුහු නුසුදුසු ලෙස ලෞකික උසාවියක පිහිට පැතුවෝය. විනිසුරුවා මෙසේ ඇසීය, ‘ඔබ දෙදෙනාම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝද?’ ඔවුන් දෙදෙනා උසාවියට පැමිණ තිබුණේ මන්ද කියා ඔහුට තේරුම්ගැනීමට අසීරු වූ බව පැහැදිලි විය. එය මොනතරම් නින්දාවක්ද! යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාතකම තිබුණා නම්, එම සහෝදරයන් ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදෙස්වලට අවනත වනු ඇත: “ඉතින් එකිනෙකා සමඟ නුඹලාට නඩු ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද?” (1 කොරින්ති 6:7) ඇත්තවශයෙන්ම, යෙහෝවඃවහන්සේ හා ස්වකීය සංවිධානය පිට නින්දාව පමුණුවනවා වෙනුවට, පෞද්ගලිකව බලපාන පාඩුවක් විඳීම යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාත වීමේ ක්‍රියාමාර්ගය වේ.
5 මනුෂ්‍යයාට භයවීමට යටත් නොවීමද යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාත වීමට ඇතුළත් වේ. “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.” (හිතෝපදේශ 29:25) මෙසේ, අප පීඩාවලට මුහුණ දෙන විට ස්ථාවරය අත් නොහැර, කලින් සෝවියට් දේශයේ, මලාවි රටේ, ඉතියෝපියාවේ හා වෙනත් බොහෝ දේශවල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආදර්ශය අපි අනුගමනය කරමු.
6. පක්ෂපාතකම හේතුවෙන් අපි කවරෙකු සමඟ ආශ්‍රය කිරීමෙන් වැළකී සිටින්නෙමුද?
6 අපි යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාත වන්නෙමු නම්, ස්වකීය සතුරන් කිසිවෙකු මිතුරන් කරගැනීමෙන් අපි වැළකී සිටින්නෙමු. ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේ එබැවිනි: “කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.” (යාකොබ් 4:4) දාවිත් රජු මෙසේ පැවසූ විට ඔහු පිළිබිඹු කළ පක්ෂපාතකම ඇතුව සිටීමට අපි කැමැත්තෙමු: “ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව නැගිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද? [පිළිකුලක් නොහැඟෙන්නෙම්ද, NW] සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි. ඔවුන් මාගේ [සැබෑ, NW] සතුරන් කොට ගණන් ගනිමි.” (ගීතාවලිය 139:21, 22) හිතා මතා පව් කරන අය සමඟ සුහද ඇසුරක් පැවැත්වීමට අපි අකමැති වන්නෙමු, මන්දයත් ඔවුන් සමඟ පෑහී සිටීමට අපට කිසිදු හේතුවක් නොමැති බැවිනි. පෞද්ගලිකව හෝ රූපවාහිනී මාධ්‍යය තුළින් හෝ, යෙහෝවඃවහන්සේගේ එවන් සතුරන් කිසිවෙකු සමඟ සුහද ඇසුරක් පැවැත්වීමෙන් වැළකී සිටීමට දෙවියන්වහන්සේට වූ පක්ෂපාතකම අපහට සලස්වන්නේ නැද්ද?
යෙහෝවඃවහන්සේට පක්ෂව කතා කිරීම
7. පක්ෂපාතකම අපට උපකාර කරන්නේ, යෙහෝවඃවහන්සේ සම්බන්ධයෙන් කුමක් කිරීමටද, තවද එලීහු මෙය කළේ කෙසේද?
7 යෙහෝවඃවහන්සේට පක්ෂව කතා කිරීමට අපව පොලඹවන්නේ, පක්ෂපාතකමයි. මේ සම්බන්ධයෙන් එලීහු අපට මොනතරම් කදිම ආදර්ශයක්ද! යෝබ් 32:2, 3හි අපට මෙසේ පැවසේ: “එලීහුගේ උදහස ඇවුළුණේය. යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය. ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් [දෙවියන්වහන්සේ, NW] කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.” යෝබ් 32 සිට 37වන පරිච්ඡේද දක්වා එලීහු යෙහෝවඃවහන්සේට පක්ෂව කතා කරයි. නිදසුනක් වශයෙන්, හේ මෙසේ පැවසීය: “මා නුඹට පෙන්වාදෙන පිණිස මා ගැන ටිකක් ඉවසාපන්න; මක්නිසාද දෙවියන්වහන්සේ උදෙසා තවත් දේ කියන්ට තිබේ. . . . මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ධර්මිෂ්ඨ බව පෙන්වන්නෙමි. . . . උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර[නසේක].”—යෝබ් 36:2-7.
8. අප යෙහෝවඃවහන්සේට පක්ෂව කතා කිරීමට ඉදිරිපත් විය යුත්තේ මන්ද?
8 යෙහෝවඃවහන්සේට පක්ෂව කතා කිරීම සඳහා අවශ්‍යතාවක් ඇත්තේ මන්ද? අදදින, අපේ දෙවි වන යෙහෝවඃවහන්සේ විවිධ ආකාරවලින් අපහාසයට ලක්ව සිටිනසේක. උන්වහන්සේ නොපවතින බවත්, ත්‍රිත්වයක කොටසක් බවත්, උන්වහන්සේ දැවෙන නිරයක ජනයාට සදහටම වධ දෙන බවත්, ලෝකයාව තමන් වෙත හැරවීමට උන්වහන්සේ දුර්වල ප්රයත්නයක් දරන බවත්, මිනිස්වර්ගයා ගැන සැලකිල්ලක් උන්වහන්සේට නැති බවත් යනාදිය පිළිබඳව අදහස් පළ වී තිබේ. යෙහෝවඃවහන්සේ සැබවින්ම පවතින බවත්; උන්වහන්සේ ප්‍රඥාවන්ත, යුක්තිසහගත, සර්වබලධාරි හා ප්‍රේමනීය දෙවිකෙනකු මෙන්ම සෑම දෙයක්ම කිරීමට උන්වහන්සේට කාලයක් තිබෙන බවත්; ස්වකීය නිසි කාලය පැමිණෙන විට, උන්වහන්සේ සෑම නපුරු දෙයක්ම අවසානයකට පත් කොට, මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන බවත් ඔප්පු කොට උන්වහන්සේට පක්ෂව කතා කිරීමෙන්, දෙවියන්වහන්සේ කෙරෙහි අපේ පක්ෂපාතකම අපි විදහාපෙන්වන්නෙමු. (දේශනාකාරයා 3:1) යෙහෝවඃවහන්සේගේ නමට හා රාජ්‍යයට සාක්ෂිදැරිය හැකි සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගැනීම මීට ඇතුළත් වේ.
යෙහෝවඃවහන්සේගේ සංවිධානයට පක්ෂපාත වීම
9. සමහරුන්ට පක්ෂපාතකමේ ඌනතාවක් තිබූ බව හෙළි වූයේ කුමන කාරණා හා සම්බන්ධවද?
9 යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයට පක්ෂපාත වීමේ කාරණයට අපි දැන් අවධානය යොමු කරමු. ක්‍රිස්තියානි සභාවට ආත්මික පෝෂණය සැපයීමේ මාධ්‍යය වන “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ඇතුළු සභාවට පක්ෂපාතකම දැක්වීමට අප බැඳී සිටින බවට සැකයක් නැත. (මතෙව් 24:45-47) අප දැනට තේරුම් නොගන්නා, නැතහොත් එකඟ නොවන යමක් වොච් ටවර් ප්රකාශනවල පළ වේයයි සිතන්න. අපි කුමක් කරන්නෙමුද? අමනාප වී සංවිධානයෙන් ඉවත්ව යන්නෙමුද? වර්ෂ කිහිපයකට පෙර, අලුත් ගිවිසුම දහස් අවුරුදු පාලන සමයට අදාළ වන බව මුරටැඹහි සඳහන් වූ විට, සමහරු එසේ ඉවත්ව ගියෝය. මුරටැඹ වරක් මධ්‍යස්ථභාවය පිළිබඳ විෂය ගැන පැවසූ දේ ගැන වෙනත් අය අමනාප වූහ. මේ කාරණා සම්බන්ධයෙන් පැකිළුණු අය සංවිධානයටත් තම සහෝදරයන්ටත් පක්ෂපාතව සිටියා නම්, මේ කාරණා පැහැදිලි කරගැනීමට ඔවුන් යෙහෝවඃවහන්සේ කෙරෙහි බලා සිටිනු ඇත, ඇරත් උන්වහන්සේට උචිත වූ කාලයේදී උන්වහන්සේ එසේ කළසේක. මෙසේ, විශ්වාස වූ නුවණ ඇති දාසයා විසින් තවදුරටත් අවබෝධය පළ කරනු ලබන තෙක්, ඉවසිලිවන්තව බලාසිටීම පක්ෂපාතකමට ඇතුළත් වේ.
10. පක්ෂපාතකම අපට ඉවහල් වන්නේ කුමක් ගැන කුතුහලයක් ඇති කරගැනීමෙන් වැළකී සිටීමටද?
10 එමෙන්ම යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයට පක්ෂපාත වීමට නම්, ඇදහිල්ල අත්හරින්නන් සමඟ කිසිදු සම්බන්ධකමක් නොපැවැත්විය යුතුය. එවන් පුද්ගලයන්ගේ අදහස් මොනවාදැයි දැනගැනීමට පක්ෂපාත ක්‍රිස්තියානීහු කුතුහලයෙන් නොසිටිති. යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් මිහිපිට ස්වකීය කර්තව්‍යය අධීක්ෂණය කිරීමට යොදාගනු ලබන අය පරිපූර්ණ නොවන බව සැබෑවකි. එහෙත් දේවවචනය අපට කියන්නේ කුමක් කිරීමටද? දෙවියන්වහන්සේගේ සංවිධානයෙන් ඉවත්වීමටද? නැත. සහෝදර ස්නේහය නිසා අප ඊට පක්ෂපාතව සිටින අතර, “සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේම” කිරීමෙහි දිගටම නිරත විය යුතුය.—1 පේතෘස් 1:22.
පක්ෂපාත වැඩිමහල්ලන්ට පක්ෂපාත වීම
11. පක්ෂපාතකම අපට උපකාර කරන්නේ, කුමන නිෂේධාත්මක සිතුවිලිවලට එරෙහිව පරෙස්සම් වීමටද?
11 සභාව තුළ අපට තේරුම්ගැනීමට අසීරු වන යමක් පවසනු ලැබේ නම්, එසේ නැතහොත් කරනු ලැබේ නම්, අනුන්ගේ චේතනා විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමට පක්ෂපාතකම අපට රුකුලක් වන අතර, එය ඇතැම්විට පෞද්ගලික තේරීමක් හා සම්බන්ධ කාරණයක් බව නිගමනය කිරීමට උපකාරවත් වේ. පත් කරන ලද වැඩිමහල්ලන්ගේ හා සෙසු ඇදහිලිවන්තයන්ගේ දුර්වලකම්වලට අවධානය යොමු කරනවාට වඩා ඔවුන්ගේ හොඳ ගුණාංගයන් වෙත අවධානය යොමු කිරීම නිශ්චිත වශයෙන්ම වඩාත් හොඳ දෙයක් නොවේද? එසේය, එවන් සියලු ආකාර නිෂේධාත්මක කල්පනාවලට එරෙහි වීම සඳහා අප තුළ උනන්දුවක් තිබිය යුතුය, මන්දයත් එය අපක්ෂපාත වීමට සම්බන්ධ වන බැවිනි! “කිසිවෙකු ගැන අගුණ නොකියන්ට” වූ පාවුල්ගේ නිර්දේශයට කීකරු වීම සඳහාද පක්ෂපාතකම අපට උපකාරවත් වන්නේය.—තීතස් 3:1, 2.
12, 13. වැඩිමහල්ලන්ට මුහුණ දීමට සිදු වන්නේ කවර නිශ්චිත අභියෝගවලටද?
12 පක්ෂපාතකම වැඩිමහල්ලන්හට විශේෂ අභියෝගයකි. රහස්‍යභාවය හා සම්බන්ධ කාරණය ඉන් එක අභියෝගයකි. සභාවේ සාමාජිකයෙකු වැඩිමහල්ලෙකුට රහසිගත කාරණා නොවළහා පැවසිය හැක. රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්තිය උල්ලංගනය කිරීමෙන් වැළකී සිටීමට වැඩිමහල්ලාට උපකාරවත් කරන්නේ, එම තැනැත්තාට පක්ෂපාතකම දැක්වීමය. ඔහු හිතෝපදේශ 25:9හි උපදෙස්වලට අවනත වන්නේය: “අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.” තම භාර්යාවට පවා ප්‍රකාශ නොකිරීම ඉන් අදහස් කෙරේ!
13 මුහුණ දීමට පක්ෂපාතකම පිළිබඳ වෙනත් පරීක්ෂණද වැඩිමහල්ලන්ට තිබේ. ඔවුන් මිනිසුන් සතුටුකරන්නන් වනු ඇද්ද, එසේ නැතහොත්, නිවැරදි කිරීමක් අවශ්‍ය අය තමුන්ගේම ලේ ඥාතීන් හෝ කිට්ටු මිතුරන් වුවත් ඔවුන්ට නිර්භීතව හා මෘදු ලෙස උපකාර පිරිනැමීමට ඔවුහු ඉදිරිපත් වන්නහුද? ආත්මික උපකාරය අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට වෑයම් කිරීම සඳහා අප අතර වැඩිමහල්ලන් ලෙස ක්‍රියා කරන අයව පොලඹවන්නේ, යෙහෝවඃවහන්සේගේ සංවිධානයට තිබෙන පක්ෂපාතකමය. (ගලාති 6:1, 2) අප කාරුණික වුවත්, ප්‍රේරිත පාවුල් ප්‍රේරිත පේතෘස් සමඟ නොවළහා කාරණා ගැන කතා කළාක් මෙන්ම, සෙසු වැඩිමහල්ලෙකු සමඟ නොවළහා කාරණා කතා කිරීමට පක්ෂපාතකම අපට රුකුලකි. (ගලාති 2:11-14) අනික් අතට, අඥාන ලෙස ක්‍රියා කිරීමෙන්, නැතහොත් පක්ෂවාදීකම පෙන්වීමෙන්, එසේත් නැතහොත් වෙනයම් අන්දමකින් තම අධිකාරිය අනිසි ලෙස යොදාගැනීමෙන්, තම භාරයේ සිටින අයට දෙවියන්වහන්සේගේ සංවිධානයට පක්ෂපාත වීම අසීරු කාර්යයක් කරවීමට හේතු නොවන පරිදි, අවේක්ෂකයන් පරෙස්සමින් කටයුතු කළ යුතුය.—පිලිප්පි 4:5.
14, 15. සභාවේ සාමාජිකයන්ගේ පක්ෂපාතකම කවර දේවල් මගින් පරීක්ෂාවට ලක් විය හැකිද?
14 සභාවට හා වැඩිමහල්ලන්ට පක්ෂපාතකම දැක්වීමේ අභියෝගයට මුහුණ දීම පිළිබඳ කාරණයෙහි තවත් පැති තිබේ. සභාව තුළ යම් දුරකට කලබල සහිත වාතාවරණයක් තිබේ නම්, යෙහෝවඃවහන්සේටත් උන්වහන්සේව නියෝජනය කරන අයටත් පක්ෂපාතකම දැක්වීමට ඉන් අපට ප්‍රස්තාව සැලසේ. (ද වොච්ටවර්, 1987 ජූනි 15, 15-17 පිටු බලන්න.) යමෙකුව සභා ඇසුරෙන් ඉවත් කර තිබෙන විට, ගත් ක්‍රියාමාර්ගය සඳහා ප්‍රමාණවත් හේතු තිබුණාද කියා අමතරව අනුමාන කිරීමට වෑයම් නොකර, වැඩිමහල්ලන්ට අනුබල දීම පක්ෂපාතකමින් අපේක්ෂා කෙරේ.
15 සභාවට පක්ෂපාතකම දැක්වීමට නම්, අපේ පෞද්ගලික තත්වයන් හා හැකියාවන් ඊට ඉඩ දෙන තරමට, සතිපතා රැස්වීම් පහටම අනුබල දීම අපෙන් අවශ්‍ය කෙරේ. ඒවාට පැමිණීම පමණක් නොව, ඒ සඳහා සූදානම් වීමත්, තිබෙන ප්‍රස්තා අනුව ගොඩනංවනසුලු අදහස් ප්‍රකාශ කිරීමටත් පක්ෂපාතකමින් අපේක්ෂා කෙරේ.—හෙබ්‍රෙව් 10:24, 25.
විවාහයේදී පක්ෂපාතකම
16, 17. විවාහක ක්‍රිස්තියානීන්ට පක්ෂපාතකම සම්බන්ධයෙන් කිනම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේද?
16 අප පක්ෂපාත විය යුත්තේ තවත් කාටද? අපි විවාහ වී සිටිමු නම්, අපේ විවාහ ගිවිසුම් හේතුකොටගෙන, විවාහ කලත්‍රයාට පක්ෂපාතව සිටීමේ අභියෝගයට අප මුහුණ දිය යුතුය. අපේ භාර්යාවට හා ස්වාමිපුරුෂයාට වඩා වෙනත් ස්ත්රීන්ට හා පුරුෂයන්ට වැඩි ඇල්මක් දැක්වීමේ වරදට හසුවීමෙන් වැළකීම අපේ කලත්‍රයාට පක්ෂපාත වීමට ඉවහල් වේ. කලත්‍රයාගේ දුර්වලකම් හෝ අඩුපාඩු අනුන්ට හෙළි නොකිරීමද අපේ කලත්‍රයාට පක්ෂපාත වීමට අවශ්‍ය කොටසකි. රන් අණට එකඟව අප කළ යුතු දෙයක් වන, අපේ කලත්‍රයා සමඟ විවෘත අදහස් හුවමාරුවක් තබාගැනීමට මහන්සි වනවාට වඩා, අනුන්ට පැමිණිලි කිරීම වඩාත් පහසුය. (මතෙව් 7:12) ඇත්තෙන්ම, විවාහ වී සිටීම නමැති තත්වය, අපේ ක්‍රිස්තියානි පක්ෂපාතකමට සැබෑ අභියෝගයක් ඉදිරිපත් කරයි.
17 පක්ෂපාතකමේ මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම්, අශික්ෂිත අනාචාර හැසිරීමෙන් අප වැළකී සිටිය යුතුවා පමණක් නොව, නමුත් ඇත්තෙන්ම අපේ සිතුවිලි හා කල්පනා පවා ආරක්ෂා කළ යුතුය. (ගීතාවලිය 19:14) නිදසුනක් වශයෙන්, අපේ රැවටිලිකාර හදවත් ආස්වාදයට හා ඉඳුරන් පිනවීමට කෑදර වේ නම්, යමෙකු ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමේ සිට, ආත්මාර්ථකාමී ලෙස ඒ තැනැත්තාට ආශා වීම දක්වා යෑම ඉතා පහසුය. විවාහයේ විශ්වාසකම රැකීමට උදක්ම ඉල්ලා සිටිමින්, ‘තමුන්ගේම පොකුණෙන් වතුර බීමට’ සාලමොන් රජ ස්වාමිපුරුෂයන්ට උපමේය අන්දමින් උපදෙස් දෙයි. (හිතෝපදේශ 5:15) තවද යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.” (මතෙව් 5:28) කාමෝද්දීපන කෘතිවලින් වින්දනයක් ලබන ස්වාමිපුරුෂයෝ, කාමමිථ්‍යාචාරයේ යෙදීමේ අන්තරායකට නිරාවරණය වෙති, මෙසේ සිය භාර්යාවන්ට ද්‍රෝහි වන ඔවුහු, ඔවුන්ට අපක්ෂපාත වෙති. ඒ හා සමානව, කාමමිථ්‍යාචාරය දක්වන සිද්ධීන් තිරගත කරමින්, කොටස් වශයෙන් පළවන වෘත්තාන්ත නැරඹීමෙහි නිරතව සිටින භාර්යාවක, ඇගේ ස්වාමිපුරුෂයාට අපක්ෂපාත වීමේ පරීක්ෂාවට හසු විය හැක. කෙසේවෙතත්, අපේ කලත්‍රයාට සැබවින්ම පක්ෂපාත වීමෙන්, විවාහ බන්ධනය ශක්තිමත් කරන අතරම, යෙහෝවඃ දෙවියන්වහන්සේ සතුටු කිරීමට අප දරන වෑයම්වලදී අපි එකිනෙකාට උපකාර කරන්නෙමු.
පක්ෂපාත වී සිටීමට උපකාර
18. පක්ෂපාත වීමට උපකාරයක් වශයෙන් අප කුමක් ගැන අගය ඇතුව සිටිය යුතුද?
18 යෙහෝවඃවහන්සේට, ස්වකීය සංවිධානයට, සභාවට හා අපේ විවාහ කලත්‍රයාට පක්ෂපාතකම දැක්වීම යන මෙම ක්ෂේත්‍ර හතරේදී, පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම සඳහා අපට කුමක් උපකාර කරාවිද? පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම වනාහි, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම හා බැඳී පවතින බව අගය කිරීම එක් උපකාරයකි. එසේය, පක්ෂපාතකම රැකීමෙන්, යෙහෝවඃවහන්සේ විශ්වනීය පරමාධිපති හැටියට සලකන බව අපි පෙන්වන්නෙමු. මෙසේ ආත්ම-ගරුත්වයද, යෙහෝවඃවහන්සේගේ නව ලොවෙහි සදාකාල ජීවනයේ බලාපොරොත්තුවද අප සතු විය හැක. යෙහෝවඃවහන්සේගේ සිට බයිබලයෙහි මෙන්ම යියර් බුක්හි වාර්තා ඇතුළුව, අපේ වොච් ටවර් ප්රකාශනවල සඳහන් වී තිබෙන පක්ෂපාතකමේ කදිම ආදර්ශ සැලකිල්ලට භාජන කිරීම පක්ෂපාතකම රැකීමට අපහට උපකාරවත් වේ.
19. පක්ෂපාත වීමේදී ඇදහිල්ලට හිමි භූමිකාව කුමක්ද?
19 යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක්ද, උන්වහන්සේව අසතුටු කිරීමට භයක්ද, පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට අපහට මහෝපකාරි වේ. යෙහෝවඃවහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල හා භය අප ශක්තිමත් කරන්නේ, දේවවචනය උද්යෝගයෙන් අධ්‍යයනය කිරීමෙන් හා ක්‍රිස්තියානි දේවසේවයෙහි නිරතවීමෙනි. එපීස 4:23, 24හි වාර්තා වී ඇති පාවුල්ගේ උපදෙස්වලට අනුකූලව ක්‍රියා කිරීමට මෙය අපට උපකාරවත් වන්නේය: “නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ, සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳග[ත යුතුය].”
20. සියල්ලට වඩා, යෙහෝවඃවහන්සේටත්, අප පක්ෂපාතව සිටිය යුතු අන් සැම කෙනෙකුටත් පක්ෂපාත වීමට අපට උපකාරවත් වන්නේ කුමන ගුණාංගයද?
20 යෙහෝවඃවහන්සේගේ ගුණාංග අගය කිරීම පක්ෂපාතව සිටීමට අපට උපකාරයකි. ඒ සියල්ලටම වඩා, අපේ ස්වර්ගික පියාණන් කෙරෙහි පරාර්ථකාමී ප්‍රේමයද, උන්වහන්සේ අප උදෙසා කර තිබෙන සියල්ලට කෘතඥතාවද, අපේ මුළු හෘදයෙන්, ආත්මයෙන්, මනසින් හා ශක්තියෙන් උන්වහන්සේට ප්‍රේම කිරීමද, උන්වහන්සේට පක්ෂපාතකම රැකීම අප සඳහා උපකාරවත් වන්නේය. එපමණක්ද නොව, යේසුස්වහන්සේ පැවසූ පරිදි, සිය අනුගාමිකයන් හඳුනාගැනීමට ලකුණක් වන ප්‍රේමය ඇතුව සිටීම, සභාවේ හා අපේ පවුලේ සියලු ක්‍රිස්තියානීන්හට පක්ෂපාත වීමට අපට උපකාරවත් වේවි. වෙනත් ආකාරයකින් කියනවා නම්, ආත්මාර්ථකාමී වීම හෝ පරාර්ථකාමී වීම මේ හා සම්බන්ධව පවතී. අපක්ෂපාත වීමෙන් අදහස් කරන්නේ, ආත්මාර්ථකාමී වීමය. පක්ෂපාතකම යනු පරාර්ථකාමී වීමය.—මාර්ක් 12:30, 31; යොහන් 13:34, 35.
21. පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම පිළිබඳ කාරණය කෙසේ සාරාංශ කොට දැක්විය හැකිද?
21 සාරාංශයක් වශයෙන්: පක්ෂපාතකම යනු, යෙහෝවඃ දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා යෙහෝවඃවහන්සේගේ සැබෑ සේවකයන් සියලුදෙනා විසින් විදහාපෙන්වනු ලබන විශිෂ්ට ගුණාංගයකි. යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත්වීමෙන්, ස්වකීය සතුරන් සමඟ කිසිදු අන්දමකින්වත් සම්බන්ධ නොවීමෙන් හා විධිමත්ව හා අවිධිමත්ව සාක්ෂිදැරීම තුළින් යෙහෝවඃවහන්සේට පක්ෂව කතා කිරීමට ඉදිරිපත් වීම මගින්, අපට උන්වහන්සේ සමඟ හොඳ සබඳතාවක් පැවැත්විය හැකිය. යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයට පක්ෂපාත වීමේ අභියෝගයටද අප මුහුණ දිය යුතුය. අප අපේ සභාවටත්, විවාහ කලත්‍රයන්ටත් පක්ෂපාත විය යුතුය. පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමෙන්, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමෙහි හවුල් වන අපි, මහත් වාද විෂය සම්බන්ධයෙන් උන්වහන්සේගේ පැත්ත ගන්නෙමු. එනයින් උන්වහන්සේගේ අනුග්‍රහය දිනාගන්නා වූ අපි, සදාකාල ජීවනයේ තිළිණය ලබන්නෙමු. ප්‍රේරිත පාවුල් දේවභක්තිය ගැන පැවසූ දේ, අප පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම සම්බන්ධයෙන්ද පැවසිය හැක. එය දැන් තිබෙන ජීවිතයටත් මතු තිබෙන ජීවිතයටත් ප්‍රයෝජනවත්ව තිබේ.—ගීතාවලිය 18:25, NW; 1 තිමෝති 4:8.
ඔබ කෙසේ පිළිතුරු දෙන්නෙහිද?
◻ දෙවියන්වහන්සේට පක්ෂපාත වීමේ අභියෝගයට අපට මුහුණ දිය හැක්කේ කවර ආකාරවලින්ද?
◻ යෙහෝවඃවහන්සේගේ සංවිධානයට පක්ෂපාත වීමට නම්, අපෙන් අවශ්‍ය වන්නේ කුමක්ද?
◻ පක්ෂපාතකමේ අභියෝගයට වැඩිමහල්ලන්ට මුහුණ දිය හැක්කේ කෙසේද?
◻ විවාහක ක්‍රිස්තියානීන් මුහුණ දිය යුත්තේ පක්ෂපාතකමට සම්බන්ධ කවර අභියෝගයටද?
◻ පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට අපට උපකාරවත් වන්නේ කවර ගුණාංගද?
[17වන පිටුවේ පින්තූරය]
සභාවේ සාමාජිකයන්ට පක්ෂපාත වීම හේතුවෙන්, වැඩිමහල්ලෝ රහසිගත කාරණා හෙළි කිරීමෙන් වැළකී සිටින්නෝය
[18වන පිටුවේ පින්තූර]
තම කලත්‍රයාට පක්ෂපාත වීම විවාහ බැම්ම ශක්තිමත් කරවයි