පක්ෂපාතී අය දෙස බලන්න!
“ස්වාමිනි, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය [පක්ෂපාතය, NW].—එළිදරව් 15:4.
1. තමාට පෙර සිටි, සී. ටී. රසල්ගේ පක්ෂපාතකම සම්බන්ධයෙන් ජේ. එෆ්. රදර්ෆඩ් දුන් සාක්ෂිය කුමක්ද?
වර්ෂ 1917දී වොච් ටවර් සමිතියේ සභාපති හැටියට සී. ටී. රසල් වෙනුවට පත් වූ ජෝසෆ් එෆ්. රදර්ෆඩ්, රසල්ගේ අවමංගල්‍ය මෙහෙයේදී සිය අදහස් පළ කිරීමට පටන්ගත්තේ මෙසේය: “චාර්ල්ස් ටේස් රසල්, දෙවියන්වහන්සේටත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේටත්, මෙසියස්වහන්සේගේ රාජ්‍යයේ අභිප්‍රායටත් පක්ෂපාතව සිටියා. ඔහු සහමුලින්ම පක්ෂපාත වූ කෙනෙක්—එසේය, මරණය දක්වා පවා පක්ෂපාත වූ කෙනෙක්.” සැබවින්ම, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙකුහට පිරිනැමිය හැකි කදිම උපහාරයකි එය. යමෙකු පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දුන් බව, එනම් ඔහු පක්ෂපාත වූ බව—සහමුලින්ම පක්ෂපාත වූ බව පැවසීමට වඩා වැඩි දෙයක් උපහාර වශයෙන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අපට පැවසිය නොහැක.
2, 3. (අ) පක්ෂපාතකම අභියෝගයක් ඉදිරිපත් කරන්නේ මන්ද? (ආ) පක්ෂපාත වීමට සැබෑ ක්‍රිස්තියානීන් දරන වෑයමට එරෙහිව සැරසී සිටින්නේ තවත් කවරහුද?
2 පක්ෂපාතකම අභියෝගයකි. ඒ මන්ද? මන්දයත් පක්ෂපාතකම ස්වාර්ථයට පටහැනි වන හෙයිනි. දෙවියන්වහන්සේට අපක්ෂපාත වන අය අතර ප්‍රධානියෝ, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය වෙති. එමෙන්ම, අදදින විවාහ සම්බන්ධය තුළ දකින පරිදි, මෙතරම් පුළුල් අපක්ෂපාතකමක් කිසිදාක පැවත නැත. කාමමිථ්‍යාචාරය පොදු දෙයකි. ව්‍යාපාර ලෝකයේද අපක්ෂපාතකම පුළුල්ව පැතිර ඇත. මේ සම්බන්ධයෙන් අපට මෙසේ පවසා තිබේ: “අදදින තම සමාගම්වලට පක්ෂපාත වන්නේ මෝඩයන් හා අඥානයන් පමණක් බව . . . කළමනාකරුවන් හා වෘත්තිමය පුහුණුව ලද්දන් බොහෝදෙනෙක් විශ්වාස කරති.” “ඕනෑවට වඩා පක්ෂපාත” ජනයාව හෙළා දකිනු ලැබේ. කළමනාකරණ විමසුම් හා විධායක පරීක්ෂක සමාගමක සභාපති, තත්වය පැහැදිලි කළේ මේ අන්දමිනි: “ඔබ පක්ෂපාත විය යුතු එකම එක තැනැත්තා ඔබමය.” තමාටම පක්ෂපාත වීම ගැන කතා කිරීම වූ කලි, එම වචනයේ අර්ථය දූෂිත කිරීමකි. මීකා 7:2හි සඳහන් දෙය ඉන් අපට සිහිගැන්වේ: “භක්තිවන්තයා [පක්ෂපාත තැනැත්තා, NW] දේශයෙන් නැතිවී ගියේය.”
3 ඊටත් වඩා බලපවත්වන පරිමාණයකින්, සාතන්ද ඔහුගේ භූතයන්ද අපට විරුද්ධව සැරසී සිටින්නේ, අපව දෙවියන්වහන්සේට අපක්ෂපාත කිරීමේ අධිෂ්ඨානය ඇතුවය. “අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය,” කියා ක්‍රිස්තියානීන්ට එපීස 6:12හි පවසා තිබෙන්නේ එනිසාය. එසේය, මෙම අවවාදයට අවනත වීමට අපට අවශ්‍යය: “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.”—1 පේතෘස් 5:8.
4. පක්ෂපාත වීම එතරම් අසීරු කරවන්නේ කවර ප්‍රවණතාද?
4 එමෙන්ම උත්පත්ති 8:21හි සඳහන් පරිදි, අපේ දෙමාපියන්ගෙන් උරුම වූ ආත්මාර්ථකාමී ප්‍රවණතාද පක්ෂපාතකම දැක්වීම අසීරු කාර්යයක් කරවයි: “බාල වයසේ පටන් [මනුෂ්‍යයාගේ] සිතේ කල්පනා නපුරුව”—මෙන්ම ආත්මාර්ථකාමීව—“තිබේ.” ප්‍රේරිත පාවුල් තමාට තිබූ බවට නොසඟවා පැවසූ ගැටලුව අප සියලුදෙනාටත් තිබේ: “මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.”—රෝම 7:19.
පක්ෂපාතකම සුවිශේෂ යමකි
5, 6. පක්ෂපාතකම යන්නෙහි අර්ථය සම්බන්ධයෙන් කුමක් පැවසිය හැකිද, තවද එය නිර්වචනය කර තිබෙන්නේ කෙසේද?
5 “පක්ෂපාතකම” වූ කලි සුවිශේෂ වචනයකි. එහෙයින් ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් මෙසේ පවසයි: “ ‘පක්ෂපාතකම’ හැර, හෙබ්‍රෙව් හා ග්‍රීක් වදන්වල සම්පූර්ණ අර්ථය නිශ්චිතාකාරයෙන් පළ කරන වෙනත් කිසිදු වචනයක් නැති බව පෙනේ, තවද දෙවියන්වහන්සේ හා ස්වකීය සේවය සම්බන්ධයෙන් එය භාවිත කරනු ලබද්දී, භක්තියේ හා විශ්වාසවන්තකමේ අදහස එහි ගැබ්ව තිබෙන බැවින්, ආසන්න වශයෙන් අර්ථය දීමට එය යෝග්‍යය.”a “පක්ෂපාතකම” සම්බන්ධයෙන් මුරටැඹ සඟරාවේ වරක් මෙසේ ප්‍රකාශ විය: “ඇදහිලිවන්තකම, යුතුකම, ප්‍රේමය, බැඳීම, අවනතභාවය. මෙම වචනවලට පොදුව තිබෙන්නේ කුමක්ද? මේවා පක්ෂපාතකමේ විවිධ පැති වෙයි.” එසේය, ගුණධර්ම රාශියක් පක්ෂපාතකමේ විවිධ පැති පමණි. ශුද්ධ ලියවිලි තුළ පක්ෂපාතකම හා ධර්මිෂ්ඨකම සම්බන්ධ කර තිබෙන්නේ කෙතරම් වාර ගණනක්ද කියා සැලකිල්ලට ගැනීම වටී.
6 මතු දැක්වෙන නිර්වචනද මහෝපකාරිය: ‘පක්ෂපාතකමින්, අවිනිශ්චිතභාවය හා පරීක්ෂා හමුවේ සුරක්ෂිතව පවතින, අඛණ්ඩ, රඳා පැවතිය හැකි විශ්වාසවන්තකමක් හා පක්ෂපාතිත්වයක්, ඇඟවිය හැක.’ ‘යමෙකු පොරොන්දු වූ යමකට විශ්වාසවන්තව සිටීම හෝ තමා සදාචාරමය ලෙස බැඳී සිටින බවට හැඟෙන ආයතනයට හෝ ප්‍රතිපත්තිවලට අඛණ්ඩව අවනත වීම පක්ෂපාතකම යන්නෙන් අඟවනු ලැබේ; ඇලී සිටීම පමණක් නොව, එසේ ඇලී සිටීමෙන් ඉවත් කරගැනීමට හෝ ඉන් නොමඟ යෑමට වූ පෙලඹීම්වලට විරුද්ධව සිටීම එම යෙදුමෙන් යෝජනා කෙරේ.’ මෙසේ, පරීක්ෂා, විරුද්ධවාදිකම් හා පීඩා හමුවේ පවා, දිගටම විශ්වාසවන්තව සිටින ජනයාහට “පක්ෂපාත” යන යෙදුම භාවිත කිරීම යෝග්‍යය.
7. පක්ෂපාතකම හා විශ්වාසවන්තකම අතර කවර වෙනසක් දැක්විය හැකිද?
7 කෙසේවෙතත්, මේ සම්බන්ධව, පක්ෂපාතකම හා විශ්වාසවන්තකම අතර දැක්විය හැකි වෙනසක් නිදර්ශනය කිරීම යෝග්‍ය විය හැක. බටහිර එක්සත් ජනපදයේ, නොකඩවා පැයකට වරක් පමණ ජලය ඉහළට විහිදුවන ගීසරයක් නොහොත් උණුදිය උල්පතක් තිබේ. එය කෙතරම් විධිමත් අන්දමකින් සිදු වේද කිවහොත් ඊට ඕල්ඩ් ෆේත්ෆුල් [පුරාණ විශ්වාසවන්තයා] යන නම දී තිබේ. චන්ද්‍රයා වැනි අප්‍රාණික දේවල් ගැන බලාපොරොත්තු තැබිය හැකි නිසා, ඒවා විශ්වාසවන්ත බව බයිබලය කියා සිටී. චන්ද්‍රයා “ආකාශයෙහි විශ්වාස සාක්ෂිය” හැටියට ගීතාවලිය 89:37 සඳහන් කරයි. දෙවියන්වහන්සේගේ වචන විශ්වාසවන්ත බව පවසා තිබේ. එළිදරව් 21:5 මෙසේ පවසයි: “සිංහාසනය පිට වැඩහුන් තැනැන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියාපන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක.” මේ නිදර්ශන සියල්ල විශ්වාසවන්තය, ඒවා කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිය, නමුත් පක්ෂපාතකමට සමානව, ඒවායෙන් යම් බැඳීමක් හෝ සදාචාර ගුණාංග බලාපොරොත්තු විය නොහැක.
යෙහෝවඃවහන්සේ, පරමාදර්ශී පක්ෂපාත තැනැන්වහන්සේ
8. පක්ෂපාතකමේ විශිෂ්ටතම ආදර්ශය හඳුන්වා දීමට කවර ශුද්ධ ලියවිලිමය සාක්ෂිය ඉවහල් වේද?
8 යෙහෝවඃ දෙවියන්වහන්සේ පක්ෂපාතකමේ විශිෂ්ටතම ආදර්ශය බව අබ මල් රේණුවක තරම්වත් සැකයකින් තොරව කිව හැක. මිනිස්වර්ගයා කෙරෙහි පක්ෂපාතකම දක්වා තිබෙන යෙහෝවඃවහන්සේ, මිනිසාට සදාකාල ජීවනය ලබාගත හැකි වන පිණිස ස්වකීය පුත්‍රයා පවා සපයා තිබෙනසේක. (යොහන් 3:16) යෙරෙමියා 3:12හි අපට මෙසේ කියවීමට තිබේ: “අහක්ව ගියාවූ ඉශ්‍රායෙල්, හැරී වරෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; මම නුඹලා දෙස කෝපයෙන් නොබලන්නෙමි; මක්නිසාද මම කරුණාවන්තයෙමි [පක්ෂපාත වෙමි, NW].” යෙහෝවඃවහන්සේගේ පක්ෂපාතකමට තවත් සාක්ෂියක් එළිදරව් 16:5හි වාර්තාගත වචනවල අන්තර්ගතය: “සිටින්නාවූ, සිටියාවූ, ශුද්ධවූ [පක්ෂපාත වූ, NW] තැනැන්වහන්ස, . . . ඔබ ධර්මිෂ්ඨය.” තවද නැවතත් අපට ගීතාවලිය 145:17හි මෙසේ පවසා තිබේ: “ස්වාමීන්වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය. [පක්ෂපාතය, NW].” ඇත්තෙන්ම යෙහෝවඃවහන්සේගේ පක්ෂපාතකම කෙතරම් කැපීපෙනෙනවාද කිවහොත්, එළිදරව් 15:4 මෙසේ ප්‍රකාශ කරයි: “ස්වාමිනි, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය [පක්ෂපාතය, NW].” යෙහෝවඃ දෙවියන්වහන්සේ පරමාදර්ශී අන්දමකින් පක්ෂපාත වනසේක.
9, 10. ඉශ්‍රායෙල් ජාතිය සමඟ කටයුතු කරද්දී, යෙහෝවඃවහන්සේ පක්ෂපාතකම සම්බන්ධයෙන් තැබුවේ කුමන වාර්තාවක්ද?
9 යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟට පක්ෂපාතකම දක්වන බවට සාක්ෂි රැසක් විශේෂයෙන් ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය තුළ දක්නට ලැබේ. විනිශ්චයකාරයන්ගේ යුගයේදී, ඉශ්‍රායෙල්වරුන් විටින් විට, සැබෑ නමස්කාරයෙන් වැටී ගියත්, යෙහෝවඃවහන්සේ නැවත නැවත අනුකම්පා වී ඔවුන්ව ගැළවූසේක. (විනිශ්චයකාරයන් 2:15-22) ඉශ්‍රායෙල්ට රජවරුන් සිටි සියවස් පහ පුරා, යෙහෝවඃවහන්සේ එම දේශයට ස්වකීය පක්ෂපාතකම දැක්වූසේක.
10 දෙවන ලේකම් 36:15, 16හි සඳහන් පරිදි, යෙහෝවඃවහන්සේගේ පක්ෂපාතකම නිසා උන්වහන්සේ ස්වකීය සෙනඟ සමඟ ඉවසිලිවන්ත වූසේක: “ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනගටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ . . . [නැවත නැවත, NW] පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක. එහෙත් සුවයක් නැතිතරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.”
11. යෙහෝවඃවහන්සේගේ පක්ෂපාතකම අපට දෙන සහතිකය නැතහොත් සැනසිල්ල කුමක්ද?
11 යෙහෝවඃවහන්සේ පරමාදර්ශී ලෙස පක්ෂපාත වන බැවින්, රෝම 8:38, 39හි වාර්තා වී ඇති පරිදි, ප්‍රේරිත පාවුල්ට මෙසේ ලිවීමට හැකි විය: “මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.” එසේය, යෙහෝවඃවහන්සේ අපට මෙසේ සහතික කරනසේක: “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5) සැබවින්ම, යෙහෝවඃ දෙවියන්වහන්සේ සැමවිටම පක්ෂපාත වන බව දැනගැනීම සහනයකි!
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, පක්ෂපාත පුත්‍රයාණෝ
12, 13. දෙවියන්වහන්සේ පුත්‍රයාගේ පක්ෂපාතකම සම්බන්ධයෙන් අපට ඇත්තේ කවර සාක්ෂියක්ද?
12 යෙහෝවඃවහන්සේව පූර්ණ ලෙස අනුකරණය කරමින්, පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නෙත්, දෙන්නෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. ගීතාවලිය 16:10 උපුටා දක්වමින් ක්‍රියා 2:27හි එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අදාළ කිරීමට ප්‍රේරිත පේතෘස්ට හොඳ හේතු තිබිණ: “ඔබවහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ [පක්ෂපාත, NW] තැනැන්වහන්සේ කුණු වෙන්ටවත් ඉඩ නොදෙනසේක.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ‘පක්ෂපාත තැනැන්වහන්සේ’ ලෙස නම් කිරීම සුදුසුය. උන්වහන්සේ ස්වකීය පියාණන්ට හා දෙවියන්වහන්සේගේ පොරොන්දු වූ දේවරාජ්‍යයට සහමුලින්ම පක්ෂපාත වනසේක. පරීක්ෂාවලින් හා ස්වාර්ථය ගැන සිතීමට පෙලඹවීමෙන් සාතන් මුලින් යේසුස්වහන්සේගේ අඛණ්ඩතාව බිඳදැමීමට වෑයම් කළේය. එහිදී අසමත් වූ යක්ෂයා, පීඩා පමුණුවමින්, අවසානයේදී වධ කණුවක් මත යේසුස්වහන්සේගේ මරණය සිදු කළේය. ස්වකීය ස්වර්ගික පිය වූ යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි වූ තම පක්ෂපාතකම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ සැමවිටම නොසැලී සිටිසේක.—මතෙව් 4:1-11.
13 මතෙව් 28:20හි වාර්තා වී තිබෙන පොරොන්දුවට එකඟව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය අනුගාමිකයන් සමඟ පක්ෂපාත වී තිබෙනසේක: බලව! “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි.” එම පොරොන්දුවේ ඉටුවීමක් වශයෙන්, පො.යු. 33 පෙන්තකොස්ත දිනයේ සිට මේ දක්වා උන්වහන්සේ සිය සභාව කෙරෙහි පක්ෂපාතව නායකත්වය දරා තිබෙනසේක.
පක්ෂපාත වූ අසම්පූර්ණ මිනිස්සු
14. යෝබ්, පක්ෂපාතකම සම්බන්ධයෙන් තැබුවේ කවර ආදර්ශයක්ද?
14 හොඳයි, අසම්පූර්ණ මිනිසුන් ගැන කුමක් කිව හැකිද? දෙවියන්වහන්සේට පක්ෂපාත වීමට ඔවුන්ට හැකිද? මේ සම්බන්ධව යෝබ්ගේ අද්දැකීම විශිෂ්ටය. යෝබ් සම්බන්ධයෙන් වාදයට භාජන වූ විෂය හොඳින් පැහැදිලි කිරීමට සාතන් සැලසුවේය. යෝබ් යෙහෝවඃ දෙවියන්වහන්සේට පක්ෂපාතව සිටියේද, එසේ නැතහොත්, ඔහු ස්වාර්ථය පිණිස පමණක් උන්වහන්සේට සේවය කරමින් සිටියේද? යෝබ්ට කරදර එල්ල කිරීම තුළින්, යෝබ්ව යෙහෝවඃවහන්සේගෙන් ඉවත් කිරීමට තමාට සැලැස්විය හැකි බවට සාතන් පුරසාරම් දෙඩුවේය. මුළු වස්තුව, දරුවන් සියලුදෙනා මෙන්ම තම සෞඛ්‍යය පවා යෝබ්ට අහිමි වූ විට, ඔහුගේ භාර්යාව ඔහුගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියාය: “දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙව”! එහෙත් යෝබ් පක්ෂපාතව සිටියේය, එබැවින් හේ ඇයට මෙසේ පැවසුවේය: “නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.” (යෝබ් 2:9, 10) ඇත්තෙන් සිය නාමික සැනසිලිදායකයන්ට යෝබ් මෙසේ කීවේය: “එතුමාණන් [දෙවිඳාණන්] මා මැරුවත්, මම එතුමා කෙරෙහි බලාපොරොත්තු තබන්නෙමි.” (යෝබ් 13:15, නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) යෝබ්හට යෙහෝවඃවහන්සේගේ අනුමැතිය ලැබීම පුදුමයක්ද! එබැවින් යෙහෝවඃවහන්සේ තේමානිය එලීපස්ට මෙසේ පැවසූසේක: “මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ.”—යෝබ් 42:7, 10-16; යාකොබ් 5:11.
15. යෙහෝවඃ දෙවියන්වහන්සේගේ සේවකයන් බොහෝදෙනෙකුගේ පක්ෂපාතකම සම්බන්ධයෙන් අපට ඇත්තේ කුමන ශුද්ධ ලියවිලිමය සාක්ෂියද?
15 හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ දක්වා තිබෙන ඇදහිල්ලේ පුරුෂ ස්ත්‍රී සියලුදෙනාවම පක්ෂපාත අය වශයෙන් හැඳින්විය හැක. ඔවුහු විශ්වාසවන්තව සිටියා පමණක් නොව, පීඩා හමුවෙහි පක්ෂපාතවද සිටියහ. මෙසේ, ‘ඇදහිල්ලෙන් සිංහයන්ගේ මුඛ පියවූවන්, ගින්නේ උෂ්ණය නිවූවන්, කඩුමුවහතින් ගැළවූවන්,’ ගැන අපි කියවන්නෙමු. ඇත්තෙන්ම, “තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්ෂාකරනු ලැබුවෝය. ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂාකරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකමද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.”—හෙබ්‍රෙව් 11:33-37.
16. ප්‍රේරිත පාවුල් පිරිනැමුවේ පක්ෂපාතකම පිළිබඳ කවර ආදර්ශයක්ද?
16 ප්‍රේරිත පාවුල්ගේ කැපීපෙනෙන ආදර්ශයද ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලෙහි සපයා තිබේ. සිය දේවසේවය සම්බන්ධයෙන් තෙසලෝනික ක්‍රිස්තියානීන්ට හොඳ හේතු ඇතුව මෙසේ පැවසීමට ඔහුට හැකි විය: “අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව [පක්ෂපාතව, NW] ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.” (1 තෙසලෝනික 2:10) දෙවන කොරින්ති 6:4, 5, 10හි වාර්තා වී ඇති පාවුල්ගේ වදන් තුළ ඔහුගේ පක්ෂපාතකම පිළිබඳව අපට තවත් සාක්ෂි තිබේ, එහි අපට මෙසේ කියවන්ට තිබේ: “බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද, පහරකෑම්වලින්ද හිරඅඩස්සිවීම්වලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද . . . යන මේ සියල්ලෙන් අපි දෙවියන්වහන්සේගේ සේවකයන් මෙන් අපම පිළිගන්වමු.” ප්‍රේරිත පාවුල් පක්ෂපාතව සිටි බැවින්, ඔහුට ආත්ම-ගරුත්වයක් තිබූ බවට මේ සියල්ල සාක්ෂියකි.
නවීන කාලවල පක්ෂපාත අය
17. පක්ෂපාත වීමට තමාට අධිෂ්ඨානයක් තිබූ බව ජේ. එෆ්. රදර්ෆඩ්ගේ කුමන වචනවලින් පැහැදිලි වේද?
17 නවීන කාලවල් ගැන සලකා බලද්දී, අපේ හැඳින්වීමේදී සැලකිල්ලට භාජන කළ කදිම ආදර්ශය අපට තිබේ. වර්ල්ඩ්වයිඩ් සික්‍යෝරිටි අන්ඩර් ද “ප්‍රින්ස් ඔෆ් පීස්” යන පොතෙහි, 146වන පිටුවේ, “සිරගත වී සිටින කාලවල පක්ෂපාතකම” යන උපමාතෘකාව යටතේ තිබෙන දෙය සලකා බලන්න. එහි මෙසේ පැවසේ: “තමා සිරගත වී සිටි කාලයේදී, යෙහෝවඃවහන්සේගේ සංවිධානයට පක්ෂපාතකම විදහාපෙන්වමින්, ජෝසෆ් එෆ්. රදර්ෆඩ්, 1918 දෙසැම්බර් 25වන දින මතු දැක්වෙන දෑ ලීවේය: ‘මා බබිලෝනිය වෙනුවෙන් මගේ ස්ථාවරය අත්හැරීමට අකමැති වූ නිසාත්, මගේ ස්වාමීන්වහන්සේට විශ්වාසවන්තව සේවය කිරීමට වෑයම් කළ නිසාත්, මම සිරභාරයේ සිටිමි, ඒ ගැන මම ස්තුතිපූර්වක වෙමි. . . . මගේ ස්ථාවරය මෘගයා වෙනුවෙන් අත්හැර නැතහොත් එයට යටත් වී, නිදහස ලබා මුළු ලෝකයාගේ ප්‍රශංසාව ලබනවාට වඩා, සිරභාරයේ සිට උන්වහන්සේගේ අනුමැතිය සහ අනුග්‍රහය ලැබීමට මම වැඩියෙන් කැමැත්තෙමි.’ ”b
18, 19. නවීන කාලවල පක්ෂපාතකම සම්බන්ධයෙන් අපට ඇත්තේ කිනම් විශිෂ්ට ආදර්ශද?
18 පීඩා විඳදරා තිබෙන වෙනත් බොහෝ ක්‍රිස්තියානීන් තුළ පක්ෂපාතකම පිළිබඳ විශිෂ්ට ආදර්ශ අපට තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් පුළුල් ලෙස බෙදාහරින ලද පර්පල් ට්‍රයියැංගල්ස් වීඩියෝ දර්ශනයේ දක්වා තිබෙන පරිදි, එවන් පක්ෂපාත පුද්ගලයන් අතර නාට්සි සමය තුළ විසූ යෙහෝවඃවහන්සේගේ ජර්මානු සාක්ෂිකරුවෝ සිටිත්. එමෙන්ම මලාවිහි වෙසෙන අය වැනි, යෙහෝවඃවහන්සේගේ පක්ෂපාත අප්‍රිකානු සාක්ෂිකරුවන් බොහෝදෙනෙක්ද මේ සම්බන්ධයෙන් කැපීපෙනී සිටිති. එහිදී, එක් බන්ධනාගාර ආරක්ෂක භටයෙක් සාක්ෂිකරුවන්ගේ පක්ෂපාතකමට සාක්ෂි දෙමින් මෙසේ පැවසීය: “ඒ අය කවදාවත් ස්ථාවරය අත්හරින්නේ නැහැ. ඒත් ඔවුන් වැඩි වෙනවා විතරයි.”
19 මෑතකදී පළ වූ, යියර් බුක්ස් ඔෆ් ජෙහෝවාස් විට්නසස් නමැති පොත් කියවන විට, ග්‍රීසියේ, මොසැම්බික් හා පෝලන්තයේ සැබෑ ක්‍රිස්තියානීන් විසින් විදහාපෑ පක්ෂපාතකම ගැන යමෙකුට ආඩම්බර විය හැක. බොහෝදෙනෙක් ඇදහිය නොහැකි වධ හිංසා වින්දෝය; තවත් අය ඝාතනය කරනු ලැබූහ. ඝාතනය කරනු ලැබූ මොහොත දක්වා පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ඉතියෝපියාවේ ක්‍රිස්තියානි පුරුෂයන් නවදෙනෙකුගේ චිත්‍ර, 1992 යියර් බුක්හි 177වන පිටුවේ දක්වා තිබේ. පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා දිරිගැන්වීමක් වශයෙන් මෙතරම් කදිම ආදර්ශ රැසක් තිබීම ගැන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වන අපි සතුටු නොවන්නෙමුද?
20. අපි පක්ෂපාතව සිටිමු නම්, කුමක් වනු ඇද්ද?
20 පක්ෂපාත ලෙස පරීක්ෂා හා පීඩනවලට විරුද්ධව සිටීම තුළින්, අපි අපේ ආත්ම-ගරුත්වය ගොඩනංවන්නෙමු. එසේනම්, පක්ෂපාතකම පිළිබඳ වාද විෂයේදී, අප කැමති වනු ඇත්තේ කාගේ පැත්තේ සිටීමටද? පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම තුළින්, වාද විෂයේදී යෙහෝවඃ දෙවියන්වහන්සේගේ පැත්ත ගන්නා අපි, සාතන් නමැති යක්ෂයා සැබවින්ම නීච, අශික්ෂිත බොරුකාරයෙකු බවට ඔප්පු කරන්නෙමු! මෙසේ අපේ සෑදුම්කරු වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ අනුමැතිය ලබාගන්නා අපි, සන්තෝෂයෙන් පිරි සදාකාල ජීවනයේ තිළිණය අත් කරගන්නෙමු. (ගීතාවලිය 37:29; 144:15ආ) පක්ෂපාතකමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය දේ ඊළඟට සලකා බලනු ලැබේ.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත වෙළුම් දෙකක බයිබල් විශ්වකෝෂයකි.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිතය.
ඔබ කෙසේ පිළිතුරු දෙන්නෙහිද?
◻ පක්ෂපාත වීම අභියෝගයක් ඉදිරිපත් කරන්නේ මන්ද?
◻ “පක්ෂපාතකම” යනු සුවිශේෂ වචනයක් බව පැවසිය හැක්කේ මන්ද?
◻ පක්ෂපාත වූ අසම්පූර්ණ මිනිසුන් පිළිබඳව අපට ඇත්තේ කවර ශුද්ධ ලියවිලිමය ආදර්ශද?
◻ පක්ෂපාතකම පිළිබඳව අපට ඇත්තේ කිනම් කදිම නවීන-දින ආදර්ශද?
[11වන පිටුවේ පින්තූරය]
චාර්ල්ස් ටේස් රසල්
[12වන පිටුවේ පින්තූරය]
යේසුස් සැබවින් යෙහෝවඃවහන්සේගේ ‘පක්ෂපාත තැනැත්තා’ විය
[13වන පිටුවේ පින්තූරය]
අසම්පූර්ණ වුවත්, යෝබ් දෙවියන් වහන්සේට පක්ෂපාතබව ඔප්පු කළේය
[14වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේට පක්ෂපාත වීමෙන් පාවුල් කදිම ආදර්ශයක් තැබීය