අඳුරු යුගයක් නිම කරන ආලෝකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙන්ම සිය ප්‍රේරිතයන්ගේ ලෝකය හෙබ්‍රෙව් ලියවිලි ලියනු ලැබූ කාලවලට වඩා ඉතා වෙනස් විය. ප්‍රොපේත මලාකී සිට සුවිශේෂ ලේඛක මතෙව් දක්වා සමාජීය හා ආගමික වශයෙන් අඛණ්ඩ පැවැත්මක් තිබූ බව, අවබෝධයක් නොමැති බයිබල් පාඨකයන්ට සිතීමට අවකාශයක් ඇති අතර, ඔවුන් දෙදෙනා අතර ගත වූ අවුරුදු 400ක කාලය අතරතුර සිදු වූ දේ ඔවුන්ට නොහැඟෙන තරම්ය.
නවීන-දින බයිබල් බොහොමයක අන්තිම පොත වන මලාකී අවසන් වන්නේ, බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වූ පසු යළිත් තම මව්බිමේ පදිංචි වූ ඉශ්‍රායෙල් ඉතිරි කොටස ගැන සඳහන් කරමිනි. (යෙරෙමියා 23:3) දුෂ්ට ලෝකය ඉවත් කර මෙසියානු යුගය ගෙන ඒම සඳහා, දෙවියන්වහන්සේගේ විනිශ්චය දවස පැමිණෙන තෙක් බලා සිටීමට කැපවූ යුදෙව්වන්ට දිරිගන්වා තිබිණ. (මලාකී 4:1, 2) මේ අතරතුරේ පර්සියානු පාලනය බලපැවැත්විය. යුදයේ පදිංචි වූ පර්සියානු හමුදා, සාමය පවත්වමින් හා හමුදා බලය පාමින් රාජකීය නියෝග ක්‍රියාත්මක කළෝය.—එස්රා 4:23, සසඳන්න.
කෙසේවුවද, ඊළඟ සියවස් හතර පුරා බයිබල් දේශ ස්ථාවර තත්වයක පැවතියේ නැත. ආත්මික අන්ධකාරය හා වියවුල ආක්‍රමණය කිරීමට පටන්ගැනිණ. ගිනිකොනදිග ආසියාව හා ඊසානදිග අප්‍රිකාවට අයත් ප්‍රදේශ ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, තාඩන පීඩන, විප්ලවවාදී ආගමික චින්තන, අනුමාන දර්ශන සහ සංස්කෘතික වෙනස්කම් මගින් සසල වී තිබිණ.
ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල පළමු පොත වන මතෙව් ලියනු ලැබුවේ වෙනත් යුගයකය. රෝම හමුදා පැක්ස් රොමානා නැතහොත් රෝම සාමය රැකගත්තේය. දුක් විඳීම, කෲර පාලනය සහ දිළිඳුකම තුරන් කිරීමටත්, ජීවිතය, සෞභාග්‍යය හා ශාන්තභාවය උදා කරවීමටත් මෙසියස් පැමිණෙන තුරු භක්තිමත් ජනයා ඉතා උනන්දුවෙන් බලාසිටියහ. (සසඳන්න ලූක් 1:67-79; 24:21; 2 තිමෝති 1:10.) යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපතට පෙර සියවස්වලදී යුදෙව් සමාජ රටාව වෙනස් කළ ක්‍රියාශීලී බලයන් දෙස අපි සමීප බැල්මක් හෙළමු.
පර්සියානු කාලවල යුදෙව් ජීවිතය
පොදු යුගයට පෙර 537දී, බබිලෝනියේ වහල්භාවයෙන් යුදෙව්වරුන්ව නිදහස් කළ කෝරෙෂ්ගේ ප්‍රකාශයෙන් පසු, යුදෙව් හා යුදෙව් නොවන ආශ්‍රිතයෝ කණ්ඩායමක් බබිලෝනියෙන් නික්ම ගියහ. ආත්මිකව ප්‍රතිචාරය දැක්වූ මෙම ඉතිරි අය විනාශ වී, පාළුවට ගිය දේශයක් වෙත යළි ගියෝය. ඒදොම්වරුන්, ෆිනීෂිය ජාතිකයන්, සමාරිවරුන්, අරාබි ගෝත්‍රිකයන් සහ වෙනත් අය කලක ඉශ්‍රායෙල්ට හිමිව තිබූ විශාල ප්‍රදේශයේ විශාලත්වය කුඩා කර තිබිණ. යුදය සහ බෙන්ජමින්වලින් ඉතිරි වූ ප්‍රදේශය ආබාර් නාහාරා (ගඟට ඔබ්බෙන් පිහිටි) ලෙසින් හැඳින්වූ පර්සියානු පාලන ප්‍රදේශයෙහි යුදා පළාත බවට පත් විය.—එස්රා 1:1-4; 2:64, 65.
පර්සියානු පාලනය යටතේ, යුදය “ව්‍යාප්ත වීමේ හා ජනගහනය වැඩිවීමේ කාලපරිච්ඡේදයක්” අද්දකින්ට පටන්ගත්තේයයි ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ජුඩෙයිසම් පවසයි. එය යෙරුසලම සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ පවසයි: “ගම්වැසියෝ හා වන්දනාකරුවෝ තෑගි ගෙනාවෝය, දේවමාළිගාව සහ නගරය ධනවත් විය, තවද ඔවුන්ගේ වස්තු සම්භාරයට විදේශ වෙළෙන්දෝ හා ශිල්පියෝ ඇදී ගියහ.” ප්‍රාදේශීය ආණ්ඩුව හා ආගම ගැන පර්සියානුවන් ඉතා ඉවසිලිවන්තව සිටියත්, අධික බදු ගෙවීමට සිදු වූ අතර, එය ගෙවන්ට හැකි වූයේ වටිනා ලෝහ වර්ගවලින් පමණි.—නෙහෙමියා 5:1-5, 15; 9:36, 37; 13:15, 16, 20.
පර්සියානු අධිරාජ්‍යයේ අවසාන වර්ෂ දුක්ගැහැට පිරි කාලවල් වූ අතර, එය පාලකයන්ගේ විප්ලවවලින් සලකුණු විය. බොහෝ යුදෙව්වරුන් මධ්‍යධරණී මුහුදු තීරය ඔස්සේ පැවති කැරලිගැසීමකට හවුල් වූ අතර ඔවුන්ව කැස්පියන් මුහුදේ හයිකානියා වෙතට, එනම් ඈත උතුරට පිටුවහල් කරනු ලැබීය. කෙසේවුවද, යුදයෙන් වැඩි කොටසක් පර්සියාවේ දඬුවම් දීමේ ප්‍රතිචාරය මගින් බලපෑම් ලැබූ බවක් පෙනෙන්ට නොතිබේ.
ග්‍රීසියානු කාලපරිච්ඡේදය
මහ ඇලෙක්සැන්ඩර් පො.යු.පෙ. 332දී මධ්‍යම නැඟෙනහිරෙහි දිවියෙකු මෙන් පැන නැඟුණ නමුත්, ග්‍රීක් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඒ වන විටත් නැඹුරුවාවක් තිබිණ. (දානියෙල් 7:6) ග්‍රීක් සංස්කෘතියෙන් දේශපාලනික වාසි ලබාගත හැකි බව වටහාගත් ඔහු, සිය ව්‍යාප්ත වෙමින් තිබූ අධිරාජ්‍යය ග්‍රීක් සංස්කෘතිය අනුව හැඩගැස්වීමට හිතා මතා පියවර ගත්තේය. ග්‍රීක් ජාත්‍යන්තර භාෂාවක් බවට පත් විය. ඇලෙක්සැන්ඩර්ගේ කෙටි පාලන සමය තුළ විතණ්ඩවාදයන් සඳහා ඇල්මක්, ක්‍රීඩා කෙරෙහි උද්‍යෝගයක් හා සෞන්දර්ය විද්‍යාවන් සඳහා අගය කිරීමක් ප්‍රවර්ධනය කෙරිණ. ක්‍රමක්‍රමයෙන්, යුදෙව් උරුමය පවා හෙලනිස්තික සභ්‍යත්වයට යටත් විය.
පොදු යුගයට පෙර 323දී ඇලෙක්සැන්ඩර්ගේ අභාවයෙන් පසු, ප්‍රොපේත දානියෙල් විසින් “උතුරේ රජ” සහ “දකුණේ රජ” ලෙසින් නම් කරනු ලැබූ තනතුරුවලට ප්‍රථමයෙන්ම පත් වූයේ සිරියාවේ හා මිසරයේ ඔහුගේ අනුප්‍රාප්තිකයන්ය. (දානියෙල් 11:1-19) මිසර ජාතික “දකුණේ රජ” වන, IIවන ටොලමි ෆිලඩෙල්ෆස්ගේ (පො.යු.පෙ. 285-246) පාලන සමයේදී, හෙබ්‍රෙව් ලියවිලි පොදු ග්‍රීක් කොයිනේ භාෂාවට පරිවර්තනය කිරීමට පටන්ගැනිණ. මෙම අනුවාදය සෙප්ටුඅජින්ට් යනුවෙන් නම් කරනු ලැබීය. මෙම අනුවාදයෙන් බොහෝ පද ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල උපුටා දක්වන ලදි. ආත්මිකව වියවුල් වූ මෙන්ම, අඳුරුව පැවති ලෝකයට අර්ථාන්විත ඥානාලෝක ධාරා ලබා දීම සඳහා ග්‍රීක් භාෂාව විශිෂ්ට එකක් බවට ඔප්පු විය.
හතරවන ඇන්ටියෝකස් එපිෆේනිස් සිරියාවේ රජ හා පලස්තීනයේ පාලකයා (පො.යු.පෙ. 175-164) බවට පත් වූ පසු, ආණ්ඩුවෙන් දියත් කළ පීඩා මගින් යුදෙව් ධර්මය මුළුමනින්ම පාහේ අතුගා දමන ලදි. යෙහෝවඃ දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කර, ග්‍රීක් දෙවිවරුන්ට පමණක් පූජා ඔප්පු කිරීමට යුදෙව්වන්ට මරණීය තර්ජන යටතේ බල කරනු ලැබීය. පොදු යුගයට පෙර 168 දෙසැම්බර්වලදී, යෙරුසලම් දේවමාළිගාවේ යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ පූජාසනයට ඉහළින් මිථ්‍යා පූජාසනයක් ගොඩනඟනු ලැබූ අතර, එය මත ඔලිම්පියානු සිඋස්ට පූජා ඔප්පු කෙරිණ. කම්පනයට පත් නමුත් නිර්භීත ගම්වැසියන් ජුදාස් මක්කබියස්ගේ පාලකත්වය යටතේ එකට එකතු වූ අතර, යෙරුසලමේ පාලනය ලබාගන්නා තෙක්ම ඔවුහු දරුණු යුද්ධයක නිරත වූහ. යළිත් දේවමාළිගාව දෙවියන්වහන්සේට කැප කළ අතර, එය කෙලසීමෙන් හරියටම වර්ෂ තුනකට පසු දෛනික පූජා නැවත ඔප්පු කරනු ලැබීය.
ග්‍රීක් පාලනය පැවති ඉතිරි කාලය පුරා, යුදෙව් ප්‍රජාවේ සිටි අය එහි පැරණි සීමා දක්වා තම ප්‍රදේශ පුළුල් කිරීමට කලහකාරිව මං සෙවූහ. තම මිථ්‍යාදෘෂ්ටික අසල්වාසීන්ව කඩුවේ බලයෙන් ආගමට හැරවීමට, ඔවුහු අභක්තික අන්දමකින් තම නව හමුදාමය දක්ෂතාව භාවිත කළහ. කෙසේවෙතත්, ග්‍රීක දේශපාලනික වාදය දිගටම ප්‍රධාන මෙන්ම අප්‍රධාන නගරවල බලපවත්වන්ට විය.
මේ කාලය අතරතුර, උත්තම පූජකත්වය සඳහා තරඟ කරන්නෝ බොහෝවිට දූෂිතව සිටියහ. කූට උපක්‍රම, ඝාතන හා දේශපාලනික කුමන්ත්‍රණ ඔවුන්ගේ තනතුරට කැළලක් විය. යුදෙව්වන් අතර අභක්තික ස්වභාවය වැඩිවෙත්ම, ග්‍රීක් ක්‍රීඩා තව තවත් ජනප්‍රිය වීමට පටන්ගත්තේය. ක්‍රීඩාවලට සහභාගි වීම සඳහා තම වගකීම් අතපසු කරන තරුණ පූජකයන් දැකීම මොනතරම් පුදුමයක් වීද! යුදෙව් මලල ක්‍රීඩකයෝ තමන් අන්‍යජාතීන් සමඟ නග්නව තරඟ කිරීමේදී ඇති වන ලජ්ජාවෙන් වැළකෙනු වස්, “අචර්මච්ඡේදිතභාවයට” පත්වීම සඳහා වේදනාකාරි ශල්‍යකර්මයකට පවා යටත් වූහ.—1 කොරින්ති 7:18, සසඳන්න.
ආගමික වෙනස්කම්
වහල්භාවයට යෑමෙන් පසු මුල් වර්ෂවලදී, ඇදහිලිවන්ත යුදෙව්වෝ මිථ්‍යාදෘෂ්ටික සංකල්ප සහ දර්ශන හෙබ්‍රෙව් ලියවිලිවල හෙළි කර ඇති සැබෑ ආගම සමඟ මිශ්‍ර කිරීමට විරුද්ධව සිටියහ. පර්සියාව සමඟ වර්ෂ 60කට වඩා සමීප ඇසුරකින් පසු ලියනු ලැබූ එස්තර් පොත තුළ ශරකුස්ත්‍රවාදය පිළිබඳ අංශුමාත්‍රයක්වත් අඩංගු වී නැත. තවදුරටත්, පර්සියානු සමයේ (පො.යු.පෙ. 537-443) මුල්භාගයේදී ලියනු ලැබූ එස්රා, නෙහෙමියා නැතහොත් මලාකී යන බයිබල් පොත්වල මෙම පර්සියානු ආගමේ බලපෑම දක්නට නැත.
කෙසේවුවද, පර්සියානු සමයේ අවසානභාගයේදී, ප්‍රධාන පර්සියානු දෙවියා වන අහුරා මස්ඩාට නමස්කාරකරන්නන්ගේ ආකල්පවලින් සමහරක් අනුව හැඩගැසීමට බොහෝ යුදෙව්වෝ පටන්ගත් බව විශාරදයෝ විශ්වාස කරති. මෙය ජනප්‍රිය මිථ්‍යා විශ්වාස හා එස්සෙනීයවරුන්ගේ විශ්වාසයන් තුළ ඉස්මතු වේ. සිවලුන්, කාන්තාරයේ වෙසෙන වෙනත් සතුන් හා නිශාචර පක්ෂීන් සඳහා භාවිත කරනු ලැබූ පොදු හෙබ්‍රෙව් වචන, යුදෙව්වන්ගේ මනස් තුළ බබිලෝනිය හා පර්සියානු ජනප්‍රවාදවල දකින්ට ලැබූ දුෂ්ට ආත්ම හා නිශාචර රකුසන් සමඟ සම්බන්ධ වීමට පටන්ගෙන තිබිණ.
යුදෙව්වරුන් මිථ්‍යා අදහස් දෙස වෙනත් කෝණයකින් බලන්ට පටන්ගත්තේය. ස්වර්ගය, නිරය, ආත්මය, වචනය (ලෝගොස්) සහ ප්‍රඥාව යන සියල්ලට නව අරුත් දෙනු ලැබීය. තවද එකල උගන්වා තිබූ පරිදි, දෙවියන්වහන්සේ කෙතරම් ඈත් වීද කිවහොත් උන්වහන්සේ තවදුරටත් මිනිසුන් සමඟ අදහස් හුවමාරු නොකළ බැවින්, උන්වහන්සේට මැදහත්කරුවන් අවශ්‍ය විය. ග්‍රීක් ජාතිකයන් විසින් මෙම මැදහත්කාර මෙන්ම රැකවල් දූතයන් හඳුන්වනු ලැබුවේ භූතයන් කියාය. භූතයන් හොඳ හෝ නරක විය හැකියි යන අදහස පිළිගෙන තිබූ යුදෙව්වන්, පහසුවෙන්ම භූතමය පාලනයට නතු විය.
ප්‍රාදේශීය නමස්කාරයෙහි වැදගත් වෙනසක් සිදු විය. අසල්වැසි යුදෙව් සභා, ආගමික අධ්‍යාපනය හා සේවා සඳහා හමු වූ ස්ථාන වශයෙන් සිනගෝග ඉදි විය. යුදෙව් සිනගෝග ඇති වූයේ හරියටම කවදාද, කොතැනද එමෙන්ම කෙලෙසද යන්න නොදන්නා කරුණකි. ඈත එපිට දේශවල වෙසෙන යුදෙව්වන්ට නමස්කාරය සඳහා දේවමාළිගාවට යෑමට නොහැකි විට ඒවා ඔවුන්ගේ අවශ්‍යතා සපිරූ බැවින්, සාමාන්‍යයෙන් සිනගෝග පිහිටුවනු ලැබුවේ වහල්භාවයට ගිය කාලයේ හෝ වහල්භාවයට යෑමෙන් පසු කාලවල බවට විශ්වාස කෙරේ. සැලකිය යුතු ලෙස, ‘අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට ජනයාව කැඳවන දෙවියන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දැක්වීම’ සඳහා යේසුස්වහන්සේට සහ සිය ගෝලයන්ට ඒවා කදිම ස්ථාන බවට පත් විය.—1 පේතෘස් 2:9.
යුදෙව්වාදය විවිධ චින්තන ප්‍රවාහ වැලඳගත්තේය
පොදු යුගයට පෙර දෙවන සියවසේදී, විවිධ චින්තන ප්‍රවාහ මතුවන්ට පටන්ගති. ඒවා වෙනම ආගමික සංවිධාන නොවීය. ඒ වෙනුවට, ඒවා යුදෙව් ආගමේ සෙවන යටතේ, ජනයාට බලපෑම් කිරීමට හා ජාතිය පාලනය කිරීමට වෙර දැරූ යුදෙව් පූජකයන්ගේ, දාර්ශනිකයන්ගේ හා දේශපාලනඥයන්ගේ කුඩා සංගම් විය.
පොදු යුගයට පෙර දෙවන සියවසේ මැදභාගයේදී සිදු වූ හැස්මෝනියන් කැරැල්ල පටන්, දේශපාලනය හා සම්බන්ධ වූ සද්දුසිවරු ප්‍රධාන වශයෙන් ධනවත් රදළ පංතියට අයත්, කාරණා දක්ෂ ලෙස හැසිරවිය හැකි අයව සිටියහ. සමහරෙකු ව්‍යාපාරිකයන් හා ඉඩම්හිමියන්ව සිටියත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පූජකයෝ වූහ. යේසුස්වහන්සේ උපත ලැබූ කාලයේ, පලස්තීනය රෝම පාලනයට යටත් කිරීම වඩාත් ස්ථාවර මෙන්ම යථා තත්වය පවත්වා ගැනීමට වැඩි හැකියාවක් ලබා දෙන යමක් බව සිතූ සද්දුසිවරු, එයට අනුග්‍රහ දැක්වූහ. (යොහන් 11:47, 48, සසඳන්න.) හෙරොද්ගේ පවුලේ අය විසින් පාලනය කරනු ලැබීම ජාතියේ හැඟීමට වඩාත් සුදුසු බව සුළු සංඛ්‍යාවක් (හෙරොදිවරු) විශ්වාස කළහ. කෙසේනමුත්, ජාතිය යුදෙව් උන්මත්තකයන්ගේ යටතට පත්වෙනවාටවත්, දේවමාළිගාවේ පාලනය පූජකයන් හැර වෙන කෙනෙකු යටතේ තිබෙනවාටවත් සද්දුසිවරු අකමැති වූහ. සද්දුසිවරුන්ගේ විශ්වාසයන් මධ්‍යස්ථව තිබූ අතර, ඔවුන්ගේ අර්ථකථනය ප්‍රධාන වශයෙන්ම පදනම්ව තිබුණේ මෝසෙස්ගේ ලියවිලි මතය, තවද බලවත් ඵරිසිවරුන්ගේ නිකායට ඔවුන්ගේ විරුද්ධත්වය ඉන් පිළිබිඹු විය. (ක්‍රියා 23:6-8) සද්දුසිවරු හෙබ්‍රෙව් ලියවිලිවල අනාවැකි, අනුමාන අදහස් ඇතුළත් යමක් වශයෙන් ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු බයිබලයේ ඓතිහාසික, කාව්‍යමය හා හිතෝපදේශමය පොත් ආනුභාවය නොලත්, අත්‍යවශ්‍ය නොවන ඒවා බව ඉගැන්වූහ.
යුදෙව් විරෝධී හෙලනිස්තික සභ්‍යත්වයට බලවත් ප්‍රතික්‍රියාවක් වශයෙන් ග්‍රීසියානු සමය තුළ ඵරිසිවරුන් බිහි විය. කෙසේවුවද, යේසුස්වහන්සේගේ කාලය වන විට ඔවුහු දැඩි, සම්ප්‍රදායන්වලට බැඳුණු, ව්‍යවස්ථානුකූල, ආඩම්බර, අනුන් ආගමට හැරෙව්වාවූ ආත්ම-ධර්මිෂ්ඨ අය වූ අතර, සිනගෝගයේ උපදෙස් තුළින් ජාතිය පාලනය කිරීමට වෙර දැරූ ගුරුවරුද වූහ. වැඩි වශයෙන් මධ්‍යම පංතියේ අය වූ ඔවුහු පොදු ජනයාව පිළිකුල් කළහ. යේසුස්වහන්සේ බොහෝ ඵරිසිවරුන්ව සැලකුවේ කුහකකමින් පිරුණු, ආත්මාර්ථකාමී, හිතක් පපුවක් නැති, මුදලට ප්‍රේමකරන්නන් වශයෙනි. (මතෙව්, 23වන පරිච්ඡේදය) ඔවුහු හෙබ්‍රෙව් ලියවිලි සියල්ලම තම පෞද්ගලික පහදා දීම්වලට අනුව පිළිගත් නමුත්, සිය වාචික සම්ප්‍රදායන් ඒ හා සමාන නැතහොත් ඊටත් වඩා වැදගත් යමක් සේ සැලකූහ. ඔවුන්ගේ සම්ප්‍රදායන් “ව්‍යවස්ථාව වටා වැටක්” බව ඔවුහු පැවසූහ. කිසිදු අන්දමකින් හෝ වැටක් වනවා වෙනුවට, ඔවුන්ගේ සම්ප්‍රදායන් දේවවචනය අවලංගු කළ අතර ජනයාව ව්‍යාකූල කළේය.—මතෙව් 23:2-4; මාර්ක් 7:1, 9-13.
එස්සෙනීයවරුන් හුදකලා වූ ප්‍රජාවන් කීපයක වාසය කළ ගුප්ත කණ්ඩායමක් බව පෙනෙන්ට තිබිණ. ඉශ්‍රායෙලයේ සැබෑ ඉතිරි අය වශයෙන් තමන්වම සැලකූ ඔවුහු, පොරොන්දු වූ මෙසියස් පිළිගැනීමට පවිත්‍රත්වයෙන් සිටියහ. එස්සෙනීයවරුන් ධ්‍යානයට සම වැදුණු ශාන්ත තපස් ජීවිතයක් ගත කළ අතර, ඔවුන්ගේ විශ්වාසවලින් වැඩි කොටසක පර්සියානු හා ග්‍රීක් සංකල්ප ගැබ්ව තිබිණ.
ආගමික ලෙස පෙලඹුණාවූ, උන්මත්තක දේශ ප්‍රේමී සෙල්ට්වරුන්ගේ වර්ග කීපයක් විසින්, ස්වාධීන යුදෙව් රජයක් පැවැත්වීමට විරුද්ධ වූ ඕනෑම කෙනෙකුව මිනීමරු වෛරයකින් සලකනු ලැබුවේ සතුරෙකු ලෙසිනි. ඔවුන්ව හැස්මෝනිවරුන්ට සමාන කර ඇති අතර, මූලික වශයෙන් පරමාදර්ශීය, නිර්භීත තරුණ පුරුෂයෝ ඔවුන් වෙත ඇදී ගියහ. දාමරික මිනිස් ඝාතකයන් නැතහොත් විරෝධය පාන සටන්කරුවන් ලෙස සලකනු ලැබූ ඔවුහු, ගරිල්ලා උපක්‍රම භාවිත කොට කාලයේ පීඩාව වැඩි කරමින් ගම්බද මාර්ග හා ප්‍රසිද්ධ ස්ථාන අනතුරුදායක ස්ථාන බවට පත් කළහ.
මිසරයෙහි ඇලෙක්සැන්ඩ්‍රියානු යුදෙව්වන් අතර ග්‍රීක් දර්ශනය පතළ විය. එතැනින් එය පලස්තීනයටද, පලස්තීනයෙන් පිටත ජනපදවල වාසය කළ පුළුල්ව විසිර ගිය යුදෙව්වන් වෙතටද පැතිර ගියේය. අසම්මත ග්‍රන්ථ හා නිර්නාමික ග්‍රන්ථ ලියූ යුදෙව් මතධාරීන් මෝසෙස්ගේ ලියවිලි සැලකුවේ අනුමාන, නිරස උපමා කතා වශයෙනි.
රෝම යුගය පැමිණි විට, හෙලනිස්තික සභ්‍යත්වය මගින් පලස්තීනය සමාජීය, දේශපාලනික හා දාර්ශනික ලෙස ස්ථිර වශයෙන්ම වෙනස් කර තිබිණ. යුදෙව්වන්ගේ බයිබලය මත පදනම් ආගම වෙනුවට යුදෙව්වාදය පිහිටුවා තිබිණ, එය ශුද්ධ ලියවිලිමය සත්‍යයේ යම් ප්‍රමාණයක් හා සම්බන්ධ වූ බබිලෝනීය, පර්සියානු හා ග්‍රීක් සංකල්පවල මිශ්‍රණයකි. කෙසේවුවද, ජාතිය තුළ සද්දුසිවරුන්, ඵරිසිවරුන් හා එස්සෙනීයවරුන් යන සියල්ලන්ම සිටියේ සියයට 7කට වඩා අඩුවෙනි. මෙම ගැටෙන බලවේග සුළිවල අසු වී සිටියේ “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” යුදෙව් ජන සමූහයකි.—මතෙව් 9:36.
එම අඳුරු ලොවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අවතීර්ණ වූසේක. උන්වහන්සේගේ විශ්වාසය තහවුරු කරන ආරාධනය සැනසිලිදායක විය: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි.” (මතෙව් 11:28) “මම ලෝකයේ ආලෝකයය” යනුවෙන් උන්වහන්සේ පවසනවා ඇසීම කෙතරම් ප්‍රීතිජනකවීද! (යොහන් 8:12) තවද හෘදයේ ප්‍රීතිය ඇති කරවන උන්වහන්සේගේ පොරොන්දුව ඇත්තෙන්ම ආනන්දජනක විය: “මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය.”—යොහන් 8:12.
[26වන පිටුවේ පින්තූරය]
යුදෙව් ආගමික නායකයන් ආත්මික අඳුරේ සිටි බව යේසුස්වහන්සේ පෙන්වූසේක
[28වන පිටුවේ පින්තූරය]
හතරවන ඇන්ටියෝකස්ගේ (එපිෆේනිස්ගේ) රූපය දරන කාසිය
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.