මකබිවරුන් කවුරුන් වූවාද?
බොහෝදෙනෙකුට මකබිවරුන්ගේ කාලපරිච්ඡේදය, හෙබ්‍රෙව් ලියවිලිවල අවසාන පොත් කාණ්ඩය හා යේසුස් ක්‍රිස්තුස් අතර කාලය අඟවන හෝඩුවාවකි. අනතුරකින් පසු ගුවන් යානයක කළු පෙට්ටිය අධ්‍යයනය කළායින් පසු, යම් යම් කාරණා හෙළි වන්නාක් මෙන්, යුදෙව් ජාතියේ වෙනස්කම් හා විපර්යාසයන් සිදු වූ කාලයක් වන මකබීය කාලය දෙස සමීප බැල්මක් හෙළීමෙන් යම් අවබෝධයක් ලබාගත හැකිය.
මකබිවරුන් කවුද? කලින් පුරෝකථනය කළ මෙසියස් පැමිණීමට පෙර යුදෙව් ධර්මයට ඔවුන් බලපෑම් කළේ කොහොමද?—දානියෙල් 9:25, 26.
හෙලනිස්තිකවාදයේ මහා රැල්ල
මහා ඇලෙක්සැන්ඩර් රජ ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා වූ සෑම ප්‍රදේශයක්ම ආක්‍රමණය කළා (පො.යු.පෙ. 336-323). ග්‍රීසියේ භාෂාව හා සංස්කෘතියව පැවති හෙලනිස්තිකවාදය පැතිර වීමට දායක වූ එක් සාධකයකි, ඔහුගේ මේසා විශාල වූ රාජ්‍යය. ග්‍රීක හා විදේශීය සංස්කෘතීන්වල සම්මිශ්‍රණයකට තුඩු දුන් කරුණක් වූයේ ඇලෙක්සැන්ඩර්ගේ නිලධාරීන් හා හමුදාව ප්‍රාදේශීය ස්ත්‍රීන්ව විවාහ කරගැනීමයි. ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ඔහුගේ ජෙනරාල්වරුන් අතරේ රාජ්‍යය බෙදනු ලැබුවා. පොදු යුගයට පෙර දෙවන සියවසේ ආරම්භයේදී, ග්‍රීක සෙලියුසිඩ් රාජවංශයෙන් එන සිරියේ තෙවන ඇන්ටියෝකස්, ඊජිප්තුවේ ග්‍රීක ටොලමිවරුන් යටතේ තිබූ ඊශ්‍රායෙල් අධිරාජ්‍යය තමා යටතට ගත්තා. හෙලනිස්තික පාලනයෙන් ඊශ්‍රායෙලයේ සිටි යුදෙව්වන් බලපෑම් ලැබුවේ කොහොමද?
එක් ඉතිහාසඥයෙක් මෙසේ ලීවා: “තම හෙලනීකරණය වූ අසල්වැසියන්ව මඟහැරීමට යුදෙව්වන්ට නොහැකි වූ නිසාත්, විදේශයක සිටින තම සෙසු ජාතිකයන් මඟහැරීම ඊටත් වැඩියෙන් අපහසු නිසාත්, ග්‍රීක සංස්කෘතිය හා ග්‍රීක ආකල්ප උරාගැනීම වළකාගත නොහැක්කක් විය. . . . හෙලනිස්තික කාලපරිච්ඡේදයේ ජීවත් වීමම පවා සංස්කෘතිය උරාගැනීමක් වුණා.” යුදෙව්වන් ග්‍රීක නම් ඈඳාගත්තා. මට්ටම්වල විවිධත්වයක් තිබුණද, ඔවුන් ග්‍රීක ඇඳුම් පැළඳුම් හා චාරිත්‍ර ක්‍රම පිළිගත්තා. හැඩගැසීමේ සියුම් බලය කෙමෙන් කෙමෙන් හිස ඔසවන්න පටන්ගත්තා.
පූජකයන්ගේ දූෂණය
යුදෙව්වන් අතුරින් හෙලනිස්තික බලපෑමට වැඩියෙන්ම නතු වූ අය වූයේ පූජකයන්ය. ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට හෙලනිස්තිකවාදය පිළිගැනීමෙන් අදහස් කළේ, කාලයත් සමඟම යුදෙව් ධර්මයේ උන්නතියට ඉඩ දීමයි. උත්තම පූජක වූ තෙවන ඔනියාස්ගේ බාල සහෝදරයා වන ජේසන් (හෙබ්‍රෙව් බසින් යොෂුවා) එවැනි යුදෙව්වෙක් වුණා. ඔනියාස් අන්තියෝකියේ සිටි කාලයේදී, ජේසන් ග්‍රීක අධිකාරීන්ට අල්ලසක් දුන්නා. ඇයි? ඔනියාස් වෙනුවට ජේසන්ව උත්තම පූජකයා බවට පත් කිරීමට පොලඹවාගැනීම සඳහායි. ග්‍රීක සෙලියුසිඩ් පාලකයා වන ඇන්ටියෝකස් එපිෆේනිස් (පො.යු.පෙ. 175-164) එය කැමැත්තෙන්ම පිළිගත්තා. ග්‍රීක පාලකයන් මීට කලින් යුදෙව්වන්ගේ පූජක තන්ත්‍රයට ඇඟිලි ගසා නැති නමුත්, ඇන්ටියෝකස්ට හමුදාමය කාර්යයක් නිසා මුදල් අවශ්‍යව තිබුණා. තවද වඩා ක්‍රියාශීලීව හෙලනිස්තිකවාදයට අනුබල දෙන යුදෙව් නායකයෙකුද සිටීම ගැන ඔහු තවත් සතුටු වුණා. ජේසන්ගේ පෙරැත්ත පිට, ඇන්ටියෝකස් යෙරුසලම ග්‍රීක නගරයක (පොලිස්) තත්වයට පත් කළා. එයට ප්‍රතික්‍රියාවක් වශයෙන්, යෞවන යුදෙව්වන් හා යෞවන පූජකයන් පවා තරඟවදින සරඹ ශාලාවක් ජේසන් ඉදි කළා.
තවද ද්‍රෝහිකමෙන් ද්‍රෝහිකම ඉපදුණා. අවුරුදු තුනකට පසු, පූජක පෙළපතින් නොපැමිණියා විය හැකි මෙනිලාවුස් ඊට වඩා වැඩි අල්ලසක් ඉදිරිපත් කළ අතර, ජේසන් පලා ගියා. ඇන්ටියෝකස්ට ගෙවීම සඳහා මෙනිලාවුස් මාළිගාවේ භාණ්ඩාගාරයෙන් විශාල මුදල් සම්භාරයක් සොරාගත්තා. තෙවන ඔනියාස් (අන්තියෝකියේ පිටුවහල් කර සිටි) මෙය විවේචනයට ලක් කළ නිසා, මෙනිලාවුස් ඔහුව මැරීමට කටයුතු සූදානම් කළා.
ඇන්ටියෝකස් මැරී ඇතැයි යන රාවය සෑම කෙනෙකුගේම කනට වැටුණු විට, මෙනිලාවුස්ගෙන් උත්තම පූජකකම ලබාගැනීමේ අටියෙන්, ජේසන් තවත් මිනිසුන් දහසකුත් කැටුව යෙරුසලමට පැමිණියා. නමුත් ඇන්ටියෝකස් මැරී සිටියේ නැහැ. ජේසන්ගේ ක්‍රියාවන් හා ඔහුගේ හෙලනිස්තික ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ යුදෙව්වන් අතර පැවති කලබලය ගැන ආරංචි වී, ඇන්ටියෝකස් පළිගැනීමේ හැඟීමකින් යුතුව ප්‍රතිචාරය දැක්වූවා.
ඇන්ටියෝකස් ක්‍රියාමාර්ග ගනියි
මෝෂ ප’ල්මන් මකබිවරුන් (ඉංග්‍රීසියෙන්) නම් පොතේ මෙසේ ලියයි: “වාර්තා සියල්ලක්ම පැහැදිලි නැති වුණත්, යුදෙව්වන්ට ආගමික වශයෙන් බුරුලක් දීම දේශපාලනමය අතින් සිදු වූ වරදක්ය යන නිගමනයට ඇන්ටියෝකස් එළඹුණු බව පෙනෙන්ට තිබේ. ඔහුගේ මතයට අනුව යෙරුසලමේ අන්තිම කැරැල්ල මතු වූයේ හුදු ආගමික හේතූන් නිසා පමණක් නොව, නමුත් ඊජිප්තුවට පක්ෂව යුදයේ තිබුණු හැඟීමකිනි; තවද මෙම දේශපාලනික මතයන් භයානක ආකාරයට ප්‍රකාශ වී තිබුණේ, ඔහුගේ ජනයා අතරින් යුදෙව්වන් පමණක් ආගමික වශයෙන් වෙන්ව සිටීම ලුහුබඳිමින්, විශාල පරිමාණයෙන් එය අත් කරගත් නිසයි. . . . මෙය නැති කිරීමට ඔහු අදිටන් කළා.”
දේශපාලනඥයෙකු හා විශාරදයෙකු වන ඇබා එබන් අනතුරුව සිදු වූ දේ මෙසේ කැටි කොට දක්වයි: “වර්ෂ [පො.යු.පෙ.] 168-167 යන කාලවල, එක දිගටම යුදෙව්වන්ව ඝාතනය කර, දේවමාළිගාව මංකොල්ල කා, යුදෙව් ධර්මය හැදෑරීම තහනම් කළා. සබත පැවැත්වීම මෙන්ම, චර්මච්ඡේදනය මරණය හිමි විය යුතු වරදක් වුණා. අන්ත අවමානය සිදු වූයේ 167 දෙසැම්බරයේදීයි; ඇන්ටියෝකස්ගේ විධානය යටතේ, දේවමාළිගාව තුළම සියුස්ට පූජාසනයක් ඉදි කළ අතර, යුදෙව් නීතිය හමුවේ අපිරිසිදු වූ සූඛර මාංශය යුදෙව්වන් විසින් ග්‍රීක දෙවිවරුන්ට පිදිය යුතු වුණා.” මේ අතර කාලයේදී, මෙනිලාවුස් හා හෙලනීය වූ වෙනත් යුදෙව්වන් එදා අශුද්ධව තිබූ මාළිගාවක සේවය කරමින් තම පදවිවල නියුතුව සිටියා.
යුදෙව්වන්ගෙන් බොහෝදෙනෙක් හෙලනිස්තිකවාදය පිළිගත්තත්, හැසිඩිම්වරු නැතහොත් ශුද්ධවන්තයෝ යනුවෙන් තමන්වම හඳුන්වාගත් අය, මෝසෙස්ගේ ව්‍යවස්ථාවට තදින් ඇලී සිටින හැටියට දිරිගැන්වූවා. හෙලනීය වූ පූජකයන් ගැන පිළිකුලට පත් පොදු ජනයා හැසිඩිම්වරුන්ට වැඩි මනාපයක් පෙන්වූවා. රට පුරා විසිර සිටි යුදෙව්වන්ට එක්කෝ මිථ්‍යා චාරිත්‍රයනට අනුකූල වී පුදපූජා පැවැත්වීම හෝ මරණය තෝරාගැනීමට සිදුවීමත් සමඟම, ප්‍රාණ පරිත්‍යාගී කාලපරිච්ඡේදයක් එළඹුණා. ප්‍රතිපත්ති පාවා දීමට වඩා මරණය තෝරාගත් ස්ත්‍රී, පුරුෂ දරුදැරියන් පිළිබඳ වාර්තා ගණනාවක් අපට ද්විතීය සම්මත ග්‍රන්ථවලට අයත් මකබිවරුන්ගේ පොත්වලින් සපයයි.
මකබිවරුන් ප්‍රතික්‍රියා කරයි
ඇන්ටියෝකස් ගත් අන්ත ක්‍රියාමාර්ගයන්, තම ආගම වෙනුවෙන් සටන් කිරීමට බොහෝ යුදෙව්වන්ව පෙලඹෙව්වා. යෙරුසලමට වයඹ දිගින් පිහිටි, නූතන නගරයක් වන ලිදියාවට යාබදව ඇති මෝඩින්හි නගර මධ්‍යයට මැට්ටතියා නම් වූ පූජකයෙකුව කැඳෙව්වා. මතායස් පොදු ජනයාගේ ගෞරවයට පාත්‍ර වූ නිසා, මිථ්‍යා පූජාවකට සහභාගි වීමට රජුගේ නියෝජිතයා ඔහුව පොලඹවාගැනීමට උත්සාහ කළා. තවද එසේ කළේ, ඔහුගේම ජීවිතය ගළවාගන්නා පිණිසත්, පොදු ජනයාට අනුකරණය කිරීමට ආදර්ශයක් සපයන පිණිසත්ය. මැට්ටතියා ප්‍රතික්ෂේප කළ විට, තවත් යුදෙව්වෙක් ප්‍රතිපත්ති පාවා දීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. කෝපයෙන් ඇවිළී, මැට්ටතියා ආයුධයක් අතට ගෙන ඔහුව මරා දැමුවා. වයසින් මුහුකුරා ගිය මෙම මිනිසාගේ ක්‍රියාවෙන් විමතියට පත් ග්‍රීක භටයෝ, ඉක්මනින් ප්‍රතික්‍රියා කළේ නැහැ. ක්ෂණයකින් මැට්ටතියා ග්‍රීක නිලධාරියාවද මරා දැමුවා. මැට්ටතියාගේ පුතුන් පස්දෙනා හා නගරයේ පුරවැසියන්, ග්‍රීක භට පිරිස් තම ආරක්ෂාවවත් සලසා ගැනීමටත් පෙර ඔවුන්ව යටත් කරගත්තා.
මැට්ටතියා මෙසේ මොරගැසුවා: ‘ව්‍යවස්ථාවට ජ්වලිත සියල්ලෝම මා අනුව වරෙල්ලා.’ ප්‍රතිප්‍රහාරයන්ගෙන් ගැළවීම සඳහා, ඔහුද ඔහුගේ පුතුන්ද කඳුකරයට පලා ගියා. තවද ඔවුන් ගත් ක්‍රියාමාර්ග ගැන විස්තර පතළ වූ විට, යුදෙව්වන් (ඇතුළු හැසිඩිම්වරු බොහෝදෙනෙක්ද) ඔවුන්ට එකතු වුණා.
මැට්ටතියා තම පුත් ජූදාස්ව හමුදාමය කටයුතුවල ප්‍රධානියා කළා. බොහෝදුරට ජූදාස්ගේ හමුදාමය කාර්යශූරබව හේතුවෙන් ඔහුට “මිටිය” යන අරුත් ඇති මකබි යන නම යොදන්න ඇති. මැට්ටතියා හා ඔහුගේ පුතුන්ව හස්මෝනයින්වරුන් හැටියට නම් කළ අතර, හෙෂ්මොන් නගරයෙන් හෝ එම නම දැරූ මුතුන් මිත්තෙක්ගෙන් එය පැමිණෙයි. (යෝෂුවා 15:27) ජූදාස් මකබි, කැරැල්ල තුළදී කැපීපෙනෙන කෙනෙක් වූ නිසා, මුළු පවුලම මකබිවරුන් ලෙස ප්‍රචලිත වුණා.
දේවමාළිගාව නැවත අත් පත් කරගැනීම
ඔවුන්ගේ කැරැල්ලේ පළමු අවුරුද්ද තුළදී, මැට්ටතියාට හා ඔහුගේ පුතුන්ට කුඩා හමුදාවක් සංවිධානය කරගැනීමට හැකි වුණා. ග්‍රීක භටයන් බොහෝ වතාවන්වල සබත් දවසේදී හැසිඩිම් සටන් කණ්ඩායම් කිහිපයකට පහර දුන්නා. තමන්වම ආරක්ෂා කරගැනීමට හැකියාව තිබියදීත්, සබත් නීතිය ඔවුන් උල්ලංගනය කළේ නැහැ. ඒ හේතුවෙන් සමූල ඝාතනයන් සිදු වුණා. මේ වන විට ආගමික අධිකාරියක් සේ සැලකූ මැට්ටතියා, සබත් දවසේදී තමන්වම ආරක්ෂා කරගැනීමට යුදෙව්වන්ට ඉඩ දෙන පනතක් පිහිටෙව්වා. මෙම පනත කැරැල්ලට නව ජීවයක් දුන්නා පමණක් නොව, තත්වයන්ට අනුව යුදෙව් නීතිය ආගමික නායකයන්ට වෙනස් කිරීමට ඉඩ දුන් නව රටාවක්ද බිහි කළා. තල්මුඩයේ පසුව සඳහන් වන ප්‍රකාශයෙන් මෙම රටාව පිළිබිඹු කරයි: “බොහෝ සබත් දිනයන් විශුද්ධවත් කරන පිණිස එක් සබතක් කඩ කිරීමට ඔවුන්හට ඉඩ දෙන්න.”—යෝමා 85ආ.
තම වයසක පියාගේ මරණින් පසු, ජූදාස් මකබි අවිවාදයෙන්ම කැරැල්ලේ නායකයා විය. එළිපිට කරන සටන්වලින් තම සතුරාව පරාජය කිරීමට තමාට නොහැකි බව ඔහුට වැටහුණු විට, වත්මන් දින ගරිල්ලා සටන් වැනි වූ නව ක්‍රම ඔහු ඇති කළා. ආරක්ෂාව සඳහා සාමාන්‍යයෙන් ගන්නා පියවර නොගත හැකි ආකාරයේ පැතිවලින් ඔහු ඇන්ටියෝකස්ගේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කළා. එහෙයින් එක් සටනක් පාසා තව එකකදී ඔහු, තමාගේ හමුදාවන්ට වඩා අතිශයින් විශාල වූ හමුදාවන් පරාජය කිරීමට සමත් වුණා.
අභ්‍යන්තරික ගැටුම්වලට හා බලසම්පන්න වෙමින් පැවති රෝම අධිරාජ්‍යයට මුහුණ දීමට සිදුව තිබුණු නිසා සෙලියුසිඩම් අධිරාජ්‍යයේ පාලකයෝ යුදෙව් විරෝධී පනත් පැනවීම සම්බන්ධයෙන් එතරම් සැලකිලිමත් වූයේ නැහැ. මෙය, යෙරුසලමේ ගේට්ටු අභියසටම තම ප්‍රහාරය එල්ල කිරීමට ජූදාස්ට හැකි කෙරෙව්වා. පොදු යුගයට පෙර 165 (හෝ සමහරවිට පො.යු.පෙ. 164) දෙසැම්බර්හිදී ඔහුද ඔහුගේ හමුදාවද දේවමාළිගාව අත් පත් කරගෙන, එහි අඩංගු දේවල් පිරිසිදු කර, එය දූෂණයට ලක් වූ දින සිට හරියටම අවුරුදු තුනකට පසු නැවත කැප කළා. හනූකා එනම්, කැප කිරීමේ මංගල්‍යයේදී, යුදෙව්වන් මෙම උත්සවය වාර්ෂිකව සමරයි.
ශ්‍රද්ධාව වෙනුවට දේශපාලනය
කැරැල්ලේ ඉලක්ක ඉටු කරගෙන තිබුණා. යුදෙව් ධර්මය ඇදහීමට විරුද්ධව තිබූ තහංචි ඉවත් වී තිබුණා. දේවමාළිගාවේ නමස්කාර කටයුතු හා පූජාවන් නැවත පිහිටුවා තිබුණා. දැන් හැසිඩිම්වරු තෘප්තියට පත්ව, ජූදාස් මකබිගේ හමුදාව අතහැර, නැවත ඔවුන්ගේ නිවෙස්වලට ගියා. නමුත් ජූදාස්ගේ මනසේ තවත් සැලැස්මක් තිබුණා. ඔහුට හොඳින් පුහුණු කළ හමුදාවක් සිටි නිසාවෙන්, නිදහස් යුදෙව් ආණ්ඩුවක් පිහිටුවීමට එය යොදා නොගන්නේ ඇයි? දේශපාලනික පෙලඹීම් කැරැල්ල දියත් කළ ආගමික හේතූන්වල තැන ගත්තා. එහෙයින් අරගලය දිගටම පැවතියා.
සෙලියුසිඩ් ආක්‍රමණයට විරුද්ධව සටන් කිරීමට සහය පැතීමේ අපේක්ෂාවෙන්, ජූදාස් මකබි රෝමය සමඟ ගිවිසුමකට අත්සන් තැබුවා. ඔහුව සටනකදී පො.යු.පෙ. 160දී මරණයට පත් කළත්, ඔහුගේ සහෝදරයන් සටන දිගටම ගෙනගියා. ඒ වන විට සෙලියුසිඩ් ආධිපත්‍යය යටතේ සිටියත්, ජූදාස්ගේ සහෝදරයා වූ ජොනතන්, තමාව උත්තම පූජකයා හැටියටත්, යුදයේ පාලකයා හැටියටත් පත් කරන පිණිස කාරණා හැසිරෙව්වා. සිරියානු කුමන්ත්‍රණයක් හේතුකොටගෙන යොනාතාන්ව රවටා, අල්ලාගෙන මරුමුවට පත් කළ අතර, මකබි සහෝදරයන්ගේ අන්තිමයා වන සයිමන් ඔහුගේ තැන ගත්තා. සයිමන්ගේ පාලන සමයේදී (පො.යු.පෙ. 141දී), සෙලියුසිඩ් පාලනය සනිටුහන් කරන සේයාවක්වත් ඉතුරු කරනු ලැබුවේ නැහැ. රෝමය සමඟ තිබූ මිත්‍ර පාක්ෂික බව සයිමන් යළි තහවුරු කළ අතර, යුදෙව් නායකත්වය ඔහුව පාලකයා හා උත්තම පූජකයා හැටියට පිළිගත්තා. මෙයාකාරයෙන් මකබිවරුන්ගේ බලය මගින් ස්වාධීන හස්මෝනයින් රාජ පෙළපතක් ස්ථාපිත කළා.
මෙසියස් පැමිණීමට පෙර මකබිවරුන් මාළිගාවේ නමස්කාරය යළි පිහිටෙව්වා. (යොහන් 1:41, 42; 2:13-17 සසඳන්න.) හෙලනීය වූ පූජකයන්ගේ ක්‍රියාමාර්ග නිසා පූජකත්වය පිළිබඳ තිබූ විශ්වාසය බිඳදැමුවාක් මෙන්, හස්මෝනයින්වරු යටතේදී එය තවත් අඩපණ වුණා. ඇදහිලිවන්ත දාවිත් රජුගේ පෙළපතින් එන කෙනෙකු වෙනුවට දේශපාලනයෙන් ඇදුණු පූජකයන් විසින් කළ පාලනයෙන්, ඇත්තෙන්ම යුදෙව් ජාතියට නියම ආශීර්වාද පැමිණුණේ නැහැ.—2 සාමුවෙල් 7:16; ගීතාවලිය 89:3, 4, 35, 36.
[21වන පිටුවේ පින්තූරය]
ජූදාස් මකබිගේ පියා වන මැට්ටතියා මෙසේ මොරගැසුවා: ‘ව්‍යවස්ථාවට ජ්වලිත සියල්ලෝම මා අනුව වරෙල්ලා’
[හිමිකම් විස්තර]
මැට්ටතියා යුදෙව් සරණාගතයන්ට ආයාචනා කරමින්/The Doré Bible Illustrations/Dover Publications