ආත්ම-ධර්මිෂ්ඨකම ගැන පරෙස්සම් වන්න!
පළමුවන සියවසේදී, ඵරිසිවරු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ නමස්කාරකරන්නන් බවට හොඳ කීර්තියක් භුක්තිවින්දෝය. ඔවුහු ශුද්ධ ලියවිලි පිළිබඳව උනන්දුමත් ශිෂ්‍යයෝ වූ අතර, නිතරම යාච්ඤා කළෝය. සමහරක් ජනයා ඔවුන්ව මුදු මොළොක් හා සාධාරණ අය වශයෙන් සැලකූහ. යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් මෙසේ ලීවේය: “ඵරිසිවරු එකිනෙකා සමඟ ස්නේහයෙන් යුක්තව කටයුතු කරන අතර, ප්‍රජාව සමඟ සමඟියෙන්ද කටයුතු කරති.” සමහරවිට එවකට යුදෙව් සමාජයේ වැඩිම ගෞරවය හා අගය ලැබූ පුද්ගලයන් ඔවුන් වීම ගැන පුදුම විය යුතු නැත!
කෙසේවෙතත්, අදදින “ඵරිසිවරයෙකු වැනි” යන වචනය හා ඊට අදාළ වෙනත් යෙදුම් නින්දාශීලීය, තවද බොරු සිල් දක්වන, ආත්ම-ධර්මිෂ්ඨ, අනුන්ට වඩා ශුද්ධය කියා පෙන්වන, වුවමනාවට වඩා භක්තිමත්භාවය හා නමට පමණක් සේවය පිරිනැමීම යන යෙදුම්වලට නෑකම් කියයි. ඵරිසිවරුන්ට සිය කීර්තිනාමය අහිමි වූයේ මන්ද?
මන්දයත්, බොහෝ යුදෙව්වන් මෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඵරිසිවරුන්ගේ බාහිර පෙනුම මගින් මුළා නොවූ බැවිනි. උන්වහන්සේ ඔවුන්ව “පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී” “සුදුකළ සොහොන් ගෙවලට” සමාන කළසේක.—මතෙව් 23:27.
මහජනයා ගැවසෙන ස්ථානවල සිටිද්දී, ඔවුන් දීර්ඝ යාච්ඤා ඉදිරිපත් කළ බව සැබෑය, නමුත් යේසුස්වහන්සේ පැවසූ පරිදි, ඔවුන් එසේ කළේ අනුන් විසින් දකිනු ලැබීමට පමණි. ඔවුන්ගේ නමස්කාරය නිකම්ම ව්‍යාජ රඟපෑමක් වූවා පමණි. සන්ධ්‍යා භෝජනවලදී ප්රමුඛ ස්ථානවලටත්, සිනගෝගවලදී ඉදිරි ආසනවලටත්, ඔවුහු වැඩි කැමැත්තක් දැක්වූහ. සෑම යුදෙව්වෙකුම තම වස්ත්‍රවල දාවලු දැමීමට බැඳී සිටියත්, ඵරිසිවරුන් ජනයාගේ සිත් ඇදගැනීමට වෑයම් කළේ, අනවශ්‍ය දිගින් යුත් දාවලු දැමීමෙනි. යන්තර වශයෙන් පළඳිනු ලැබූ, තම පළල් කරන ලද පිලාක්තරි සියල්ලන්ට පෙනෙන සේ ඔවුහු ආඩම්බරයෙන් විදහාපෙන්වූහ. (මතෙව් 6:5; 23:5-8) අන්තිමේදී, ඔවුන්ගේ කුහකකමද, ගිජුකමද, උඩඟුකමද ඔවුන්ව අවමානයට ලක් කළේය.
දෙවියන්වහන්සේ ඵරිසිවරුන්ව ප්‍රතික්ෂේප කළ බව යේසුස්වහන්සේ පැහැදිලිව පෙන්නුම් කළසේක: “වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට: මේ සෙනග තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේය.” (මතෙව් 15:7-9) ඇත්තෙන්ම ඔවුන්ගේ ධර්මිෂ්ඨකම ආත්ම-ධර්මිෂ්ඨකම වූයේය. යේසුස්වහන්සේ: “ඵරිසිවරුන්ගේ වංචා නැමති මුහුන්වලින් ප්‍රවේසම්වෙයල්ලා,” කියා තම ගෝලයන්ට අවවාද කිරීම තේරුම්ගත හැක්කකි. (ලූක් 12:1) අදදිනත්, ආත්ම-ධර්මිෂ්ඨකමට එරෙහිව අප ‘පරෙස්සම් විය’ යුතුය, එසේ නැතහොත් ආගමික කුහකයන් වීමට එරෙහිව ආරක්ෂක පියවර ගත යුතුය.
එසේ කිරීමේදී, පුද්ගලයෙකු ක්ෂණයකින් ආත්ම-ධර්මිෂ්ඨ කෙනෙකු නොවන බව අප තේරුම්ගත යුතුය. එසේ නොව, මෙම ප්‍රවණතාව යම් කාලපරිච්ඡේදයක් පුරා ප්‍රගතිශීලීව කූට ලෙස ඇතුල්වෙයි. පුද්ගලයෙකු එසේ කිරීමට අදහස් නොකළත්, ඔහුට ඵරිසිවරුන්ගේ පිළිකුල්සහගත ගතිලක්ෂණ වර්ධනය කරගත හැක.
උඩඟු ආකල්පයක්
අප ‘පරෙස්සම් විය’ යුතු ගතිලක්ෂණ සමහරක් මොනවාද? ආත්ම-ධර්මිෂ්ඨ පුද්ගලයෝ සාමාන්‍යයෙන්, “කතාවෙන් හා ඉරියව්වෙන් එමෙන්ම බැල්මෙන් තමුන් කෙදිනකවත් වරදක් නොකළ බව අඟවත්,” කියා එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් ඇන්ඩ් එතික්ස් පැහැදිලි කරයි. එමෙන්ම ආත්ම-ධර්මිෂ්ඨයෝ පුරසාරම් දොඩමින්, තමාව කැපීපෙනෙන්ට සලස්වමින් කටයුතු කරති, මෙය ඵරිසිවරුන් සම්බන්ධයෙන් ප්‍රධාන ගැටලුවක් විය.
යේසුස්වහන්සේ ඵරිසිවරුන්ගේ මෙම ආකල්පය උපහැරණයකින් මෙසේ විස්තර කළසේක: “මනුෂ්‍යයෝ දෙදෙනෙක් යාච්ඤාකරන පිණිස දේවමාළිගාවට නැගී ගියෝය; එක්කෙනෙක් ඵරිසියෙක්ය, අනික් තැනැත්තා සුංගම් අයකරන්නෙක්ය. ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි. සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය.” ඊට වෙනස්ව නිහතමානීව තම වැරදි පිළිගත් සුංගම් අයකරන්නා, එම පුරසාරම් දෙඩූ ඵරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ බව ඔප්පු කළේය. “තුමූම ධර්මිෂ්ඨයෝයයි විශ්වාසකොට, අනික් සියල්ලන් සුළු කළාවූ සමහරෙකුට” යේසුස්වහන්සේ මෙම උපමාව යොමු කළසේක.—ලූක් 18:9-14.
අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන්, අපේ සහජ හැකියාවන් හෝ වාසි හේතුකොටගෙන අප අනුන්ට වඩා හොඳය යන හැඟීම අප තුළ ඇතැම් අවස්ථාවන්හිදී ඇතිවිය හැක. එහෙත් ක්‍රිස්තියානීන් එවන් සිතුවිලි පහ කිරීමට උත්සුක විය යුතුය. ක්‍රිස්තියානි ජීවිතය සම්බන්ධයෙන් ඔබට අවුරුදු බොහොමයක අද්දැකීම් තිබෙනවා විය හැක. ඔබ දක්ෂ බයිබල් ගුරුවරයෙකු විය හැක. එසේ නැතහොත් ක්‍රිස්තුස්වහන්සේ සමඟ රජ කිරීම සඳහා ඔබ අභිෂේක ලත් කෙනෙකු කියා පවසනවා විය හැක. පූර්ණ-කාලීන දේවසේවකයන්, වැඩිමහල්ලන් හෝ උපස්ථායක සේවකයන් හැටියට සභාවේ ඇතැම්හු විශේෂ වරප්‍රසාද භුක්තිවිඳිති. ‘යෙහෝවඃවහන්සේ මට දී තිබෙන දේ අනුන්ට වඩා උසස් බව හැඟීමට පදනමක් වශයෙන් මා උපයෝගි කළා නම්, උන්වහන්සේට කෙසේ හැඟේවිද?’ කියා ඔබෙන්ම විමසන්න. මෙය උන්වහන්සේව අසතුටු කරන බවට සහතිකය.—පිලිප්පි 2:3, 4.
ක්‍රිස්තියානි භක්තිකයෙකු, දෙවියන්වහන්සේගෙන් ලද තම හැකියා, වරප්‍රසාද හෝ අධිකාරය හේතුකොටගෙන උඩඟුකමේ ස්වභාවයක් විදහාපෙන්වන විට, ඔහු ඇත්තෙන්ම දෙවියන්වහන්සේට පමණක් හිමිවිය යුතු තේජස හා ගෞරවය උන්වහන්සේගෙන් සොරාගනිමින් සිටී. “සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා” සිටීමට බයිබලය ක්‍රිස්තියානීන්ට පැහැදිලිව අවවාද කරයි. එය අපෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටී: “එකිනෙකා සමඟ එක්සිත්වෙයල්ලා. උසස් දේවල්හි සිත නොතබා, පහත් [යටහත් පහත්, NW] දේවලට සිත අවනතකරපල්ලා. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතල්ලා.”—රෝම 12:3, 16.
“විනිශ්චය නොකරල්ලා”
එක් බයිබල් විශ්වකෝෂයකට අනුව, ආත්ම-ධර්මිෂ්ඨ පුද්ගලයෙක් “නීතික අවශ්‍යතාවල සැබෑ හරය නොතකා, ඒවා අකුරට පිළිපැදීම හේතුකොටගෙන, තමා සදාචාරමය ලෙස නිර්දෝෂී බව හෝ දෙවියන්වහන්සේ සමඟ නිවැරදි ස්ථාවරයක සිටින බව සලකයි.” ආත්ම-ධර්මිෂ්ඨ අය “අනුන් තුළ තිබෙන දුෂ්ටකම සෙවීමට තම මුළු කාලය යොදවන, ඕනෑවට වඩා ශ්රද්ධාවත් පුද්ගලයන්” ලෙස තවත් කෘතියක විස්තර කෙරේ.
ඵරිසිවරු මේ සම්බන්ධයෙන් වරදකරුවෝ වූහ. කල් යත්ම, දෙවියන්වහන්සේගේ නීති හා ප්‍රතිපත්තිවලට වඩා මනුෂ්‍යයන් විසින් නිර්මාණය කරනු ලැබූ ඔවුන්ගේ නීති වඩාත් වැදගත්කමක් දැරූ බව පෙනී ගියේය. (මතෙව් 23:23; ලූක් 11:41-44) විනිශ්චයකරුවන් හැටියට තමුන්වම පත් කරගත් ඔවුහු, තමුන්ගේ ආත්ම-ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූල නොවූ සෑමකෙනෙකුම හෙළා දැකීමට නැඹුරු වූහ. ඔවුන්ගේ උඩඟු ආකල්පයද වුවමනාවට වඩා ඉදිමී තිබූ ආත්ම-අභිමානයද වෙනත් අයව පාලනය කිරීමට වූ අවශ්‍යතාව ඇති කළේය. යේසුස්වහන්සේව පාලනය කිරීමට නොහැකි වීමෙන් කූපිත වූ ඔවුහු, උන්වහන්සේව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළෝය.—යොහන් 11:47-53.
විනිශ්චයකරුවෙකු හැටියට තමාව පත් කරගනිමින්, හැමවිටම වැරදි සොයමින්, තමා වටා සිටින සියලුදෙනා ගැන සියුම් ලෙස පරීක්ෂා කරමින් පාලනය කරමින් සිටින කෙනෙකු සමඟ සමාගම් පැවැත්වීම මොනතරම් අප්‍රසන්න යමක් වේද! සැබවින්ම, සභාව තුළ සිටින කිසිවෙකුට තම මත හෝ තමා විසින් හදාගත් නීති අනුන් කෙරෙහි පැනවීමට අධිකාරයක් නැත. (රෝම 14:10-13) දෛනික ජීවිතයේ පැති බොහොමයක් සම්බන්ධයෙන් පෞද්ගලික තීරණගත යුතු බව සමබර ක්‍රිස්තියානීහු තේරුම්ගනිති. විශේෂයෙන්ම සියල්ල පරිපූර්ණව කරන්ටත්, කිරීමට බැරි දේවල් කිරීම අපේක්ෂා කරන්ටත් ප්‍රවණතාවක් තිබෙන අය, අනුන් විනිශ්චය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
යෙහෝවඃවහන්සේගේ භූමික සංවිධානයේ පහසු ක්‍රියාකාරිත්වයට දායක වන මාර්ගදර්ශක ඇතුව සිටීමට ක්‍රිස්තියානි සභාවට අධිකාරයක් තිබෙන බව සැබෑය. (හෙබ්‍රෙව් 13:17) එහෙත් සමහරු මෙම මාර්ගදර්ශක විකෘති කර නැතහොත් තමුන්ගේම නීති එකතු කර ඇත්තාහ. එක් ප්‍රදේශයක දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සෑම ශිෂ්‍යයෙකුම කතාවක් ඉදිරිපත් කරද්දී, බටහිර ඇඳුම් කට්ටල ඇඳීමටත්, තම ජැකෙට්ටුවේ බොත්තම් සියල්ල දැමීමටත් සිදුවිය. එසේ කිරීමට අපොහොසත් වූ ශිෂ්‍යයෙකුට කතා දීමට ඉදිරියේදී අවසර නොලැබෙනවා ඇත. එවන් දැඩි නීති පනවනවා වෙනුවට, අවශ්‍ය වන අවස්ථාවන්හිදී, කාරුණික, පෞද්ගලික මඟ පෙන්වීම දීම, වඩාත් සාධාරණ වන්නෙත්, දෙවියන්වහන්සේගේ වචනයේ නියම ස්වභාවයට වඩාත් එකඟව දිව යන්නෙත් නැද්ද?—යාකොබ් 3:17.
ක්‍රිස්තියානි භක්තිකයෙකුට පෞද්ගලික දුෂ්කරතා රාශියකට මුහුණ දීමට සිදුවේ නම්, ඔහු ආත්මික වශයෙන් යම් ඌනතාවකින් පෙළෙන බවට වූ දෘෂ්ටිය විකාශනය වීමටද ආත්ම-ධර්මිෂ්ඨකම ඉවහල් විය හැක. ආත්ම-ධර්මිෂ්ඨ වූ එලීපස්ද, බිල්දද්ද, ශෝපර්ද විශ්වාසවන්ත යෝබ් ගැන දැරූ මතය හරියටම එයයි. තත්වය ගැන පැහැදිලි පින්තූරයක් ඔවුන්ට නොතිබුණේය, එනිසා යෝබ් වරදකරුවෙකු කියා චෝදනා කිරීම ඔවුන් අතින් සිදුවූ හිතුවක්කාර ක්‍රියාවක් විය. යෝබ්ගේ පීඩා පිළිබඳව ඔවුන් කළ විකෘති තක්සේරුවට යෙහෝවඃවහන්සේ ඔවුන්ට තරවටු කළසේක.—යෝබ් 4, 5, 8, 11, 18, 20 පරිච්ඡේද බලන්න.
නොමඟ ගිය ජ්වලිතය
බොහෝදුරට ආත්ම-ධර්මිෂ්ඨකම හා ජ්වලිතය අතර අන්‍යොන්‍ය සබඳතාවක් තිබේ. ශ්රද්ධාවට නැඹුරු වූ යුදෙව්වන් ගැන කතා කරමින්, ප්‍රේරිත පාවුල් ඔවුන්ට “දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බව” පැවසීය. “නුමුත් එය දැනගැනීම ඇතුව නොවේ. මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.” (රෝම 10:2, 3) ඵරිසිවරයෙකු වශයෙන්, පාවුල්ගේ ජ්වලිතය යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකම මත පදනම් නොවූ නොමඟ යැවූ එකක් වුවද, ඔහු ඉතා ජ්වලිතව කටයුතු කර තිබිණ.—ගලාති 1:13, 14; පිලිප්පි 3:6.
යෝග්‍ය ලෙස බයිබලය මෙසේ අවවාද කරයි: “පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශකරගන්නෙහිද?” (දේශනාකාරයා 7:16) සභාව තුළ ක්‍රිස්තියානි භක්තිකයෙකු, යුතුකම් නොපිරිහෙළා ඉටු කරන කෙනෙකු වශයෙන් පටන්ගත්තද, ඔහුගේ උත්සාහවන්තකම හා ජ්වලිතය ආත්ම-ධර්මිෂ්ඨකම දක්වා පිරිහී යා හැක. යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකමින් මඟ පෙන්වීම ලබනවා වෙනුවට, මනුෂ්‍ය ප්‍රඥාවෙන් මඟ පෙන්වනු ලබන විට, ආගමික ජ්වලිතය අනුන්ට වේදනා ගෙනදිය හැක. ඒ කෙසේද?
උදාහරණයක් වශයෙන්, අනුන්ගේ ආත්මික අවශ්‍යතා කෙරෙහි වුවමනාවට වඩා සැලකිල්ල දැක්වීමෙහි නිරත විය හැකි දෙමාපියන්, එහි ප්‍රතිඵලයක් වශයෙන් තම පවුලේ අවශ්‍යතා නොසලකා හැරිය හැක. එසේ නැතහොත්, වුවමනාවට වඩා ජ්වලිතව කටයුතු කරන දෙමාපියන්, තම දරුවන්ගෙන් කරන්ට පුළුවන් දේ ඉක්මවා කිරීමට බල කර සිටිනවා විය හැක. (එපීස 6:4; කොලොස්සි 3:21) එවන් අසාධාරණ බල කිරීම් සමඟ කටයුතු කිරීමට අපොහොසත් වන ඇතැම් දරුවෝ, දෙබිඩි ජීවිතයක් ගත කිරීමෙන් ඊට ප්‍රතිචාර දක්වති. සාධාරණ දෙමාපියෙකු තම පවුලේ සීමා සැලකිල්ලට ගනිමින් යෝග්‍ය සකස්වීම් කරන්නේය.—උත්පත්ති 33:12-14 සසඳන්න.
අන්තයටම ගිය ජ්වලිතය හේතුවෙන්, අනුන් සමඟ අප කටයුතු කරන විට අත්‍යවශ්‍ය වන උපාඥානය, සංවේදනය හා මුදු මොළොක්භාවය, අපෙන් ගිලිහී යනවා ඇත. රාජ්‍ය කටයුතු වැඩිදියුණු කිරීමට කෙනෙකු වෙහෙස මහන්සි වී වැඩ කරනවා විය හැක. කෙසේවෙතත්, අන්තයට ගිය ඔහුගේ ජ්වලිතය, අතරමඟදී පුද්ගලයන්ට වේදනාව ගෙනදිය හැක. පාවුල් මෙසේ පැවසීය: “මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි. මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.”—1 කොරින්ති 13:2, 3.
දෙවියන්වහන්සේ නිහතමානී අයට අනුග්‍රහ දක්වනසේක
ආත්ම-ධර්මිෂ්ඨකම නමැති තර්ජන පහර දීමට පෙර ක්‍රිස්තියානීන් වශයෙන් අප එය හඳුනාගත යුතුය. අප උඩඟු ආකල්පයක්ද, අනුන් විනිශ්චය කිරීමේ පුරුද්දද, මනුෂ්‍ය ප්‍රඥාව මත පදනම් අන්ධ ජ්වලිතයද අප මඟ හැරිය යුතුය.
ඵරිසිවරයෙකුගේ වැනි ආකල්ප ගැන අප ‘පරෙස්සම්’ වන අතරම, අනුන් ආත්ම-ධර්මිෂ්ඨයි කියා විනිශ්චය කරනවා වෙනුවට, අපේම ප්රවණතා හා නැඹුරුවාවන් මත අවධානය යොමු කිරීම වඩාත් යහපති. සදාකාල විනාශය ලැබීමට වටිනා ‘පොළොංවංශය’ වශයෙන් හෙළා දකිමින්, යේසුස්වහන්සේ ඵරිසිවරුන්ව විනිශ්චය කළ බව ඇත්තය. එහෙත් ජනයාගේ හෘදවල තිබූ දේ දැනගැනීමට යේසුස්වහන්සේට හැකිවිය. අපට එසේ කළ නොහැක.—මතෙව් 23:33.
අපි අපේම නොව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයමු. (මතෙව් 6:33) අපට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ඇතුව සිටිය හැක්කේ එවිට පමණි, මන්දයත් බයිබලය අප සියලුදෙනාටම මෙසේ අවවාද කරන බැවිනි: “නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගනිල්ලා. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.”—1 පේතෘස් 5:5.