බොරු දෙවිවරුන්ට එරෙහි වූ සාක්ෂිකරුවෝ
“නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.”—යෙසායා 43:10.
1. සැබෑ දෙවියන්වහන්සේ කවුද, තවද අදදින නමස්කාර කරනු ලබන අසංඛ්‍යාත දෙවිවරුන්ට වඩා උන්වහන්සේ අතිශ්‍රේෂ්ඨ වන්නේ කුමක් සම්බන්ධවද?
සැබෑ දෙවියන්වහන්සේ කවුද? අදදින, මෙම වඩාත්ම වැදගත් ප්‍රශ්නයට සියලු මිනිස්වර්ගයා මුහුණදෙයි. මිනිසුන් දෙවිවරුන් රාශියකට නමස්කාර කළද, අපට ජීවිතය දීමටද, සන්තෝෂවත් අනාගතයක් ඉදිරිපත් කිරීමටද හැක්කේ එකම දෙවිකෙනෙකුට පමණි. “අපි උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව” කියා පැවසිය හැක්කේ එක දෙවිකෙනෙකු ගැන පමණි. (ක්‍රියා 17:28) ඇත්තවශයෙන්ම, නමස්කාරය ලැබීමේ අයිතිය ඇත්තේ එකම දෙවියන්වහන්සේට පමණි. එළිදරව් පොතේ ස්වර්ගික ගායනා කණ්ඩායම පවසන්නාක් මෙන්: “අපගේ ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.”—එළිදරව් 4:11.
2, 3. (අ) නමස්කාර කරනු ලැබීමට යෙහෝවඃවහන්සේට ඇති අයිතිය සාතන් බොරුවෙන් අභියෝග කළේ කෙසේද? (ආ) ඒව සහ ඇගේ දරුවන් සඳහා ඒවගේ පාපයේ ප්‍රතිඵලය වූයේ කුමක්ද, තවද සාතන් සඳහා ප්‍රතිඵලය වූයේ කුමක්ද?
2 ඒදන් උයනේදී, නමස්කාරය ලැබීමට යෙහෝවඃවහන්සේට ඇති අයිතියට සාතන් බොරුවෙන් අභියෝග කළේය. සර්පයෙකුව යොදාගනිමින් ඔහු ඒවට කියා සිටියේ, ඇය යෙහෝවඃවහන්සේගේ නීතියට එරෙහිව කැරලිගසා, යෙහෝවඃවහන්සේ තහනම් කර තිබූ ගසෙන් කෑවේ නම්, ඇයම දෙවියන්වහන්සේ හා සමාන වනු ඇති බවය. ඔහුගේ වචන වූයේ: “නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේක” යනුයි. (උත්පත්ති 3:5) සර්පයාව විශ්වාස කළ ඒව, තහනම් ඵලය කෑවාය.
3 ඇත්තවශයෙන්ම, සාතන් කීවේ බොරුවකි. (යොහන් 8:44) ඒව පව් කළ විට, ඇය “දෙවියන්වහන්සේට සමාන” බවට පත්වූ එකම මාර්ගය වූයේ, ඇය විසින් යෙහෝවඃවහන්සේට භාර කරනු ලැබිය යුතුව තිබූ දෙයක් වූ, හරි දේ කුමක්ද, වැරදි දේ කුමක්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඇය විසින් ඇයටම පවරාගැනීමයි. තවද සාතන්ගේ බොරුව පරයා යමින්, අවසානයේදී ඈ මියගියාය. මේ අනුව, ඒවගේ පාපයෙන් ප්‍රයෝජන ගත් එකම තැනැත්තා වූයේ සාතන්ය. ඇත්තෙන්ම, පව් කිරීම සඳහා ඒවව ඒත්තුගැන්වීමෙහිලා සාතන්ගේ අප්රකාශිත ඉලක්කය වූයේ, තමාම දෙවිකෙනෙකු බවට පත්වීමයි. ඒව පව් කළ විට, ඈ ඔහුගේ පළමු මිනිස් අනුගාමිකාව බවට පත්වූ අතර, ටික වේලාවකින් ආදම්ද ඇයට හවුල්වූයේය. ඔවුන්ගේ දරුවන්ගෙන් වැඩිදෙනෙකු, “පාප සහිතව” ඉපදුණා පමණක් නොව, සාතන්ගේ බලපෑම යටතට වැටුණු අතර, කෙටි කලකදී, සැබෑ දෙවියන්වහන්සේගෙන් වෙන්වූ ලෝකයක් ඇතිවන්ට පටන්ගත්තේය.—උත්පත්ති 6:5; ගීතාවලිය 51:5.
4. (අ) මේ ලෝකයේ දෙවියා කවුද? (ආ) කුමක් සඳහා හදිසි අවශ්‍යතාවක් තිබේද?
4 එම ලෝකය ජලගැල්මෙන් විනාශ විය. (2 පේතෘස් 3:6) ජලගැල්මට පසුව, යෙහෝවඃවහන්සේගෙන් වෙන්වූ දෙවන ලෝකයක් වර්ධනය වූ අතර, එය තවමත් පවතී. එය ගැන බයිබලය මෙසේ කියයි: “මුළු ලෝකයා නපුරා තුළ[ය].” (1 යොහන් 5:19) යෙහෝවඃවහන්සේගේ නීතියේ මූලික අභිප්රායටත්, සැබෑ අර්ථයටත්, එරෙහිව යමින් මෙම ලෝකය සේවය කරන්නේ සාතන්ගේ ඉලක්කවලටය. එහි දෙවියා ඔහුය. (2 කොරින්ති 4:4) එහෙත්, ඔහු වනාහි මූලික වශයෙන්, බෙලහීන දෙවියෙකි. ජනයාව සන්තෝෂ කරන්ටවත්, ඔවුන්ට ජීවිතය දීමටවත් ඔහුට බැරිය. එය කළ හැක්කේ යෙහෝවඃවහන්සේට පමණි. මෙබැවින්, අරුත්බර ජීවිතයක් හා වඩාත් හොඳ ලෝකයක් වුවමනා කරන අය, යෙහෝවඃවහන්සේ වනාහි සැබෑ දෙවියන්වහන්සේ බව පළමුව ඉගෙනගෙන, අනතුරුව උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ඉගෙනගත යුතුය. (ගීතාවලිය 37:18, 27, 28; දේශනාකාරයා 12:13) මෙසේ, යෙහෝවඃවහන්සේ ගැන සාක්ෂිදැරීමට හෝ සත්‍යය ප්‍රකාශ කිරීමට ඇදහිල්ලේ පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හදිසි අවශ්‍යතාවක් තිබේ.
5. පාවුල් සඳහන් කළේ කිනම් “සාක්ෂිකාර සේනාව” ගැනද? ඔහු ලැයිස්තුගත කරන කිහිපදෙනෙකුව නම් කරන්න.
5 ආරම්භයේ පටන්, එවන් ඇදහිලිවන්ත පුද්ගලයෝ ලෝකය නමැති රංග පීඨයේ පෙනී සිට ඇත්තාහ. ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ ඔවුන් ගැන දිගු ලැයිස්තුවක් දෙන අතර, ඔවුන්ව “මහත් සාක්ෂිකාර සේනාව” යනුවෙන් හඳුන්වයි. (හෙබ්‍රෙව් 12:1) පාවුල්ගේ ලැයිස්තුවේ පළමු තැනැත්තා වූයේ ආදම් සහ ඒවගේ දෙවන පුත්‍රයා වූ ආබෙල්ය. ජලගැල්මට පෙර කාලයෙන් ඒනොක් සහ නෝවා ගැනද සඳහන් කර තිබේ. (හෙබ්‍රෙව් 11:4, 5, 7) යුදෙව් ජාතියේ මුතුන්මිත්තා වන ආබ්‍රහම් මේ අතුරින් ප්‍රධානියෙකි. “යෙහෝවඃවහන්සේගේ මිත්‍රයා” යනුවෙන් හැඳින්වෙන ආබ්‍රහම්, “විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ” යේසුස්වහන්සේගේ මුතුන්මිත්තා බවට පත්වූයේය.—යාකොබ් 2:23, NW; එළිදරව් 3:14.
සත්‍යය උදෙසා ආබ්‍රහම් දැරූ සාක්ෂිය
6, 7. යෙහෝවඃවහන්සේ සැබෑ දෙවියන්වහන්සේ බවට ආබ්‍රහම්ගේ ජීවිතය සහ ක්‍රියා සාක්ෂියක් වූයේ කිනම් ආකාරවලින්ද?
6 ආබ්‍රහම් සාක්ෂිකරුවෙකු ලෙස සේවය කළේ කෙසේද? යෙහෝවඃවහන්සේ තුළ තැබූ සිය ශක්තිමත් ඇදහිල්ල හා පක්ෂපාත කීකරුකම මගිනි. ඌර් නමැති නගරයෙන් පිටවී, ඈත දේශයක තම ඉතිරි කාලය ගත කිරීමට ආබ්‍රහම්ට අණ කරනු ලැබූ විට, ඔහු ඊට කීකරු විය. (උත්පත්ති 15:7; ක්‍රියා 7:2-4) තැනින් තැන යන ගෝත්‍රිකයෝ තම සංචාරය බොහෝවිට අතහැර දමා නගරයේ වඩාත් සුරක්ෂිත ජීවිතයක් සඳහා පදිංචි වෙති. මෙබැවින්, කූඩාරම්වල පදිංචි වීම සඳහා ආබ්‍රහම් නගරය අතහැර ගිය විට, යෙහෝවඃ දෙවියන්වහන්සේ තුළ තැබූ සිය දැඩි විශ්වාසය ගැන හේ ප්‍රබල සාක්ෂි දුන්නේය. ඔහුගේ කීකරුකම, බලාසිටින්නන්ට සාක්ෂියක් විය. යෙහෝවඃවහන්සේ ආබ්‍රහම්ට ඔහුගේ ඇදහිල්ල සඳහා මහත් සේ ආශීර්වාද කළේය. කූඩාරම්වල ජීවත්වුවද, ආබ්‍රහම් ද්‍රව්‍යමය අතින් සමෘද්ධිමත් වූයේය. ලොත් සහ ඔහුගේ පවුලේ අය වහල්භාවයට රැගෙන ගිය විට, ආබ්‍රහම් කළ ලුහුබැඳීමට යෙහෝවඃවහන්සේ ආබ්‍රහම්ට ආශීර්වාද කළ අතර, එනයින් ඔවුන්ව ගළවාගැනීමට ඔහුට හැකිවිය. ආබ්‍රහම්ගේ භාර්යාව ඇගේ මහලුවියේදී පුත්‍රයෙකු වැදූ අතර, මෙසේ ආබ්‍රහම් වංශයකට පියෙකු වනු ඇති බවට වූ යෙහෝවඃවහන්සේගේ පොරොන්දුව තහවුරු කරන ලදි. යෙහෝවඃවහන්සේ වනාහි ස්වකීය පොරොන්දු ඉටු කරන ජීවමාන දෙවිකෙනෙකු බව ජනයා ආබ්‍රහම් තුළින් දුටහ.—උත්පත්ති 12:1-3; 14:14-16; 21:1-7.
7 ලොත්ව බේරාගෙන ආපසු හැරී එන විට, සාලෙම්හි (පසුව යෙරුසලම යනුවෙන් හැඳින්විණ) රජු වූ මෙල්කිසදෙක් ඔහුට මුණ ගැසුණු අතර, ඔහු ආබ්‍රහම්ව ‘මහෝත්තම දෙවියන්වහන්සේගේ ආබ්‍රම්’ කියමින් සාදරයෙන් පිළිගත්තේය. සොදොමේ රජුද ඔහුට මුණ ගැසුණු අතර, ආබ්‍රහම්ට තෑගි දීමට ඔහුට වුවමනා විය. ආබ්‍රහම් එය ප්‍රතික්ෂේප කළේය. මන්ද? තමාට ආශීර්වාද කළ උල්පත සම්බන්ධයෙන් කිසිම සැකයක් එහි තිබීමට ඔහුට වුවමනා නොවීය. ඔහු මෙසේ පැවසුවේය: “මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස . . . නූල් පටක්වත් මිරිවැඩි පටියක්වත් නුඹ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි.” (උත්පත්ති 14:17-24) ආබ්‍රහම් මොනතරම් කදිම සාක්ෂිකරුවෙක් වීද!
සාක්ෂිකරුවන්ගෙන් යුත් ජාතියක්
8. මෝසෙස් යෙහෝවඃවහන්සේ කෙරෙහි ඉමහත් ඇදහිල්ලක් පෙන්වූයේ කෙසේද?
8 ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙකු වූ මෝසෙස්ද, සාක්ෂිකරුවන් පිළිබඳ පාවුල්ගේ ලැයිස්තුවේ දක්නට ලැබේ. මිසරයේ සැප සම්පත් පසෙක දැමූ මෝසෙස්, ඉශ්රායෙල් පුත්‍රයන්ව නිදහස කරා ගෙනයෑම පිණිස, එම මහත් ලෝක අධිරාජ්‍යයාට නිර්භීතව මුහුණදුන්නේය. ඔහු ධෛර්යය ලබාගත්තේ කොතැනින්ද? තම ඇදහිල්ලෙනි. පාවුල් මෙසේ පවසයි: “අදෘශ්‍යමාන තැනැන්වහන්සේ දකින්නාක්මෙන් [මෝසෙස්] ස්ථිරව සිටියේය.” (හෙබ්‍රෙව් 11:27) මිසරයේ සිටි දෙවිවරුන්ව දැකිය හැකිවිය, අතින් ඇල්ලිය හැකිවිය. අදදින පවා, ඔවුන්ගේ ප්රතිමාවලට මිනිසුන්ගේ සිත් ඇදී යයි. එහෙත් යෙහෝවඃවහන්සේ අදෘශ්‍යමාන වුවත්, එම සියලු දෙවිවරුන්ට වඩා මෝසෙස්ට බොහෝසෙයින් සැබෑ වූයේය. යෙහෝවඃවහන්සේ පවතින බවටත්, උන්වහන්සේ ස්වකීය නමස්කාරකයන්ට විපාක දෙන බවටත්, මෝසෙස්ට කිසිදු සැකයක් තිබුණේ නැත. (හෙබ්‍රෙව් 11:6) මෝසෙස් කැපීපෙනෙන සාක්ෂිකරුවෙක් බවට පත්වූයේය.
9. ඉශ්රායෙල් ජාතිය යෙහෝවඃවහන්සේට සේවය කළ යුතුව තිබුණේ කෙසේද?
9 ඉශ්‍රායෙලිතයන්ව නිදහස කරා ගෙන යෑමෙන් පසු, යෙහෝවඃවහන්සේ සහ යාකොබ් තුළින් ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් අතර ගිවිසුමක මැදිහත්කරු බවට පත්වූයේ මෝසෙස්ය. ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃවහන්සේගේ විශේෂ සම්පතක් වශයෙන් ඉශ්රායෙල් ජාතිය බිහිවිය. (නික්මයාම 19:5, 6) පළමු වතාවට, ජාතික සාක්ෂියක් දීමට නියමිතව තිබිණ. වසර 800කට පමණ පසුව යෙසායා තුළින් කී යෙහෝවඃවහන්සේගේ මෙම වචන, ජාතියේ පැවැත්මේ ආරම්භයේ සිට ප්‍රතිපත්තියක් වශයෙන් අදාළ විය: “මම ඒ තැනැන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.” (යෙසායා 43:10) මෙම නව ජාතිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස සේවය කරනු ඇත්තේ කෙසේද? ඔවුන්ගේ ඇදහිල්ල හා කීකරුකම මගින් හා ඔවුන් වෙනුවෙන් යෙහෝවඃවහන්සේ කළ ක්‍රියාවන් මගිනි.
10. ඉශ්රායෙල් වෙනුවෙන් යෙහෝවඃවහන්සේ කළ බලවත් ක්‍රියා, සාක්ෂියක් සැපයූවේ කිනම් අන්දමින්ද, තවද කිනම් ප්‍රතිඵල සහිතවද?
10 ඉශ්රායෙල් ජාතියේ ආරම්භයෙන් වසර 40කට පමණ පසුව, ඔවුහු පොරොන්දු දේශය අත්පත්කරගැනීමට සූදානමින් සිටියහ. යෙරිකෝ නගරයේ ඔත්තු බැලීමට ඔත්තුකරුවන් පිටත් කර හරිනු ලැබූ අතර, යෙරිකෝහි වාසය කළ රාහබ් ඔවුන්ව ආරක්ෂා කළාය. මන්ද? ඈ මෙසේ පැවසුවාය: “නුඹලා මිසරයෙන් පිටතට එන කල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නුඹලා ඉදිරියෙහි රතු මුහුදේ වතුර සිඳෙවු හැටිද නුඹලා විසින් සිඳදමනලද යොර්දානෙන් එතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාවූ සීහොන්ටත් ඕග්ටත් නුඹලා කළ දේද ඇසීමුව. ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය.” (යෝෂුවා 2:10, 11) යෙරිකෝව සහ එහි බොරු දෙවිවරුන්ව අතහැර දමා ඉශ්රායෙලයේ දෙවි වූ යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමට, යෙහෝවඃවහන්සේගේ පුදුම ක්‍රියා පිළිබඳ වාර්තාව රාහබ්ව සහ ඇගේ පවුලේ අයව පෙලඹවීය. යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල් ජනයා තුළින් ප්‍රබල සාක්ෂියක් දී තිබූ බව පැහැදිලිය.—යෝෂුවා 6:25.
11. සාක්ෂිදැරීම සම්බන්ධයෙන් සියලු ඉශ්රායෙල් දෙමාපියන්ට තිබූ වගකීම කුමක්ද?
11 ඉශ්‍රායෙලිතයන් තවමත් මිසරයේ සිටියදී, යෙහෝවඃවහන්සේ මෝසෙස්ව ඵාරාවෝ වෙතට යවමින් මෙසේ පැවසූසේක: “ඵාරාවෝ වෙතට යව. මක්නිසාද මා විසින් ඵාරාවෝගේ සිතද ඔහුගේ සේවකයන්ගේ සිත්ද දැඩිකළේ ඔවුන් මධ්‍යයෙහි මගේ ලකුණු දක්වන පිණිසත් මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක්වූ මාගේ ලකුණු කුමක්දැයි නුඹේ පුත්‍රයාටත් නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් නුඹ විසින් කියාදෙන පිණිසත් මම ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිසත්ය.” (නික්මයාම 10:1, 2) කීකරු ඉශ්‍රායෙලිතයන් යෙහෝවඃවහන්සේගේ ක්‍රියා ගැන තම දරුවන්ට පවසනු ඇත. අනික් අතට, එම දරුවන් ඒවා ගැන ඔවුන්ගේ දරුවන්ටද, මේ නයින් පරම්පරාවෙන් පරම්පරාවටද කියනවා ඇත. මෙසේ, යෙහෝවඃවහන්සේගේ ප්‍රබල ක්‍රියා මතක් කරනු ලබනවා ඇත. ඒ හා සමානව අදදිනත්, දෙමාපියන්ටද, තම දරුවන්ට සාක්ෂිදැරීමට වගකීමක් තිබේ.—ද්විතීය කථාව 6:4-7; හිතෝපදේශ 22:6.
12. සාලමොන් සහ ඉශ්රායෙල් මත වූ යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද සාක්ෂියක් ලෙස ක්‍රියා කළේ කෙසේද?
12 ඉශ්රායෙල් ජාතිය විශ්වාසවන්තව සිටි විට, යෙහෝවඃවහන්සේ ඔවුන්හට දානය කළ මහඟු ආශීර්වාද අවට ජාතීන් සඳහා සාක්ෂියක් සේ ක්‍රියා කළේය. යෙහෝවඃවහන්සේ විසින් පොරොන්දු කරන ලද ආශීර්වාද යළි එකිනෙක සලකා බැලීමෙන් පසු, මෝසෙස් මෙසේ පැවසීය: “ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට භයවන්නෝය.” (ද්විතීය කථාව 28:10) තම ඇදහිල්ල නිසා සාලමොන්ට ප්‍රඥාව හා වස්තුව දෙන ලදි. ඔහු යටතේ ජනයා සමෘද්ධිමත් වී දිගු කලක් සාමය භුක්තිවින්දහ. එම කාලය ගැන අපට මෙසේ කියවීමට තිබේ: “ඔහුගේ ප්‍රඥාව ගැන ඇසුවාවූ පොළොවේ සියලු රජුන් වෙතින් සියලු වර්ගයන් කෙරෙන් මනුෂ්‍යයෝ සාලමොන්ගේ ප්‍රඥාව අසන්ට ආවෝය.” (1 රාජාවලිය 4:25, 29, 30, 34) සාලමොන්ව බැහැදැකීමට පැමිණි අය අතරින් ප්‍රධාන තැනැත්තියකි, ෂෙබාහි බිසව. එම ජාතිය සහ රජු මත යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද තමා විසින්ම දැකගැනීමෙන් පසු, ඈ මෙසේ පැවසුවාය: “ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා රජකොට තමන්ගේ සිංහාසනයෙහි ඔබ පිහිටුවන්ට ඔබ කෙරෙහි ප්‍රසන්නවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. [මක්නිසාද] ඔබගේ දෙවියන්වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේමකළ[සේක].”—2 ලේකම් 9:8.
13. සමහරවිට ඉශ්‍රායෙල්ගේ වඩාත් බලපෑමෙන් යුත් සාක්ෂිය කුමක් වූවා විය හැකිද, තවද අප තවමත් ඉන් ප්‍රයෝජන ගන්නේ කෙසේද?
13 සමහරවිට ඉශ්‍රායෙල්ගේ වඩාත් බලපෑමෙන් යුක්ත වූවා විය හැකි සාක්ෂිය ගැන ප්‍රේරිත පාවුල් සඳහන් කළේය. රෝමයේ ක්‍රිස්තියානි සභාවේ සිටි මාංසික ඉශ්රායෙල් සමඟ කතා කරන විට, ඔහු මෙසේ පැවසීය: “දෙවියන්වහන්සේගේ [පරිශුද්ධ, NW] වාක්‍ය ඔවුන්ට භාරදෙනලද්දේය.” (රෝම 3:1, 2) යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල් සමඟ කටයුතු කළ ආකාරය මෙන්ම, උන්වහන්සේගේ උපදෙස්, උන්වහන්සේගේ නීති සහ උන්වහන්සේගේ අනාවැකි වාර්තා කිරීමට, මෝසෙස්ගෙන් පටන්ගෙන, ඇතැම් විශ්වාසවන්ත ඉශ්‍රායෙලිතයෝ ආනුභාවය ලදහ. එම ඉපැරණි ලියන්නන්, අපේ කාලයේ පරම්පරාවන් ඇතුළුව පැමිණෙන සියලු පරම්පරාවන්ට මෙම ලියවිලි තුළින් සාක්ෂිදැරුවේ, සිටින්නේ එකම සැබෑ දෙවිකෙනෙකු බවත්, උන්වහන්සේගේ නාමය යෙහෝවඃවහන්සේ බවත් කියාය.—දානියෙල් 12:9; 1 පේතෘස් 1:10-12.
14. යෙහෝවඃවහන්සේට සාක්ෂිදැරූ ඇතැම් අය පීඩා වින්දේ මන්ද?
14 අසන්තෝෂයට කරුණක් නම්, ඉශ්රායෙල්වරුන් ඇදහිල්ල ක්‍රියාවට නැංවීමට නිතර නිතර අසමත් වීමත්, අනතුරුව තමන්වහන්සේගේම ජාතිය වෙතට සාක්ෂිකරුවන් යැවීමට යෙහෝවඃවහන්සේට සිදුවීමත්ය. මේ අයගෙන් බොහෝදෙනෙකුට පීඩා කරන ලදි. ඇතමුන් “සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්ෂාකරනු ලැබුවෝ” යයි පාවුල් පැවසුවේය. (හෙබ්‍රෙව් 11:36) ඇත්තවශයෙන්ම විශ්වාසවන්ත සාක්ෂිකරුවෝය! යෙහෝවඃවහන්සේ විසින් තෝරාගත් ජාතියේ තම සෙසු සාමාජිකයන්ගෙන්ම ඔවුන්ට බොහෝවිට පීඩා පැමිණීම මොනතරම් කනගාටුදායකද! (මතෙව් 23:31, 37) ඇත්තෙන්ම, ජාතියේ පාපය මොනතරම් වූවාද කිවහොත්, පො.යු.පෙ. 607දී, යෙරුසලම එහි දේවමාළිගාව සමඟින් විනාශ කිරීමටත්, බේරුණු ඉශ්‍රායෙලිතයන් අතරින් බහුතරයක් වහල්භාවයට ගෙනයෑමටත්, යෙහෝවඃවහන්සේ බබිලෝනිවරුන් ගෙනාසේක. (යෙරෙමියා 20:4; 21:10) ජාතියක් වශයෙන් යෙහෝවඃවහන්සේගේ නාමයට කරන ලද සාක්ෂිය ඉන් අවසන් වීද? නැත.
දෙවිවරුන් පිළිබඳ පරීක්ෂණයක්
15. බබිලෝනියේ වහල්භාවයේදී පවා සාක්ෂියක් දෙනු ලැබුවේ කෙසේද?
15 බබිලෝනියේ වහල්භාවයේ සිටියදී පවා, එම ජාතියේ විශ්වාසවන්ත සාමාජිකයන් යෙහෝවඃවහන්සේගේ දේවත්වය සහ බලය ගැන සාක්ෂිදැරීමට පසුබට වූයේ නැත. උදාහරණයක් වශයෙන්, දානියෙල් නිර්භීත ලෙස නෙබුකද්නෙශර්ගේ සිහින තෝරා දී, බිත්තිය මත වූ ලියවිල්ල බේල්ෂශර්ට පහදා දී, යාච්ඤාව සම්බන්ධ කාරණයේදී දාරියුස් ඉදිරියේ තම ප්‍රතිපත්ති පාවා දීම ප්‍රතික්ෂේප කළේය. හෙබ්‍රෙව්වරුන් තිදෙනාද රූපයක් ඉදිරියේ දණින් වැටීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී, නෙබුකද්නෙශර්ට පුදුමාකාර සාක්ෂියක් ඉදිරිපත් කළෝය.—දානියෙල් 3:13-18; 5:13-29; 6:4-27.
16. ඉශ්රායෙල්වරුන් තම දේශයට නැවත පැමිණෙන බව යෙහෝවඃවහන්සේ පුරෝකථනය කළේ කෙසේද, තවද මෙම නැවත පැමිණීමේ අරමුණ වනු ඇත්තේ කුමක්ද?
16 කෙසේවුවද, ඉශ්රායෙල් භූමිය මත යළිත් ජාතික සාක්ෂියක් දෙනු ලැබේයයි යෙහෝවඃවහන්සේ අරමුණු කළසේක. බබිලෝනියේ වහල්භාවයේ සිටි යුදෙව්වන් අතර අනාගතවාක්‍යය දෙසූ එසකියෙල්, වනසා දමන ලද දේශය සම්බන්ධව යෙහෝවඃවහන්සේගේ අධිෂ්ඨානය ගැන ලියුවේය: “මම නුඹලා පිට මනුෂ්‍යයන්, එනම් මුළු ඊශ්‍රායෙල් වංශයම, වැඩිකරන්නෙමි. නුවරවල් ජනගහනය වෙනවා ඇත, පාළු තැන්ද ගොඩනගනු ලබනවා ඇත.” (එසකියෙල් 36:10) යෙහෝවඃවහන්සේ මෙය කරනු ඇත්තේ මන්ද? මූලිකවම ස්වකීය නාමයට සාක්ෂියක් දීම සඳහාය. එසකියෙල් තුළින් උන්වහන්සේ මෙසේ පැවසූසේක: “එම්බා ඉශ්රායෙල් වංශය, නුඹලා නිසා නොව නුඹලා පැමිණි තැන්වල ජාතීන් අතරෙහි නුඹලා විසින් කෙලහූ මාගේ ශුද්ධ නාමය උදෙසා ක්‍රියාකරමි.”—එසකියෙල් 36:22; යෙරෙමියා 50:28.
17. යෙසායා 43:10හි වචනවල පාඨ සම්බන්ධය කුමක්ද?
17 ඉශ්රායෙල් වනාහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ය, උන්වහන්සේගේ සේවකයාය යන යෙසායා 43:10හි සඳහන් වචන ලිවීමට අනාගතවක්තෘ යෙසායා ආනුභාව ලැබුවේ, ඉශ්රායෙල්වරුන් බබිලෝනියේ වහල්භාවයේ සිට හැරී ඒම ගැන පුරෝකථනය කළ විටය. යෙසායා 43 සහ 44හි, යෙහෝවඃවහන්සේව විස්තර කොට ඇත්තේ ඉශ්‍රායෙල්ගේ මැවුම්කරුවාණෝ, නිර්මාතෘ, දෙවියන්වහන්සේ, ශුද්ධ තැනැන්වහන්සේ, ගැළවුම්කරුවාණෝ, මිදුම්කරුවාණෝ, රජ සහ සෑදුම්කරුවාණෝ ලෙසය. (යෙසායා 43:3, 14, 15; 44:2) ඉශ්රායෙල් ජනයාව වහල්භාවයට ගෙනයෑමට ඉඩහරිනු ලැබුවේ, එවැනි කෙනෙකු ලෙස උන්වහන්සේව සැලකීමට ඔවුන් යළි යළිත් අසමත් වීම නිසාය. කෙසේවුවද, ඔවුහු තවමත් උන්වහන්සේගේ ජනයා වී සිටියහ. යෙහෝවඃවහන්සේ ඔවුන්ට මෙසේ පවසා තිබිණ: “භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය.” (යෙසායා 43:1) ඉශ්රායෙල්වරුන් බබිලෝනියේ වහල්භාවයේ සිටීම අවසන් වනු ඇත.
18. ඉශ්රායෙල්වරු බබිලෝනියෙන් නිදහස් වීම, යෙහෝවඃවහන්සේ පමණක් සැබෑ දෙවියන්වහන්සේ බවට ඔප්පු කළේ කෙසේද?
18 ඇත්තවශයෙන්ම, යෙහෝවඃවහන්සේ, ඉශ්රායෙල්වරුන් බබිලෝනියේ වහල්භාවයෙන් මිදීම දෙවිවරුන්ගේ පරීක්ෂණයක් බවට පත් කළසේක. සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන ලෙස ජාතීන්ගේ බොරු දෙවිවරුන්ට අභියෝග කළ උන්වහන්සේ, ඉශ්රායෙල් ජාතිය තමන්වහන්සේගේ සාක්ෂිකරුවා ලෙස නම්කළසේක. (යෙසායා 43:9, 12) උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ වහල් බැමි බිඳ දැමූ විට, බබිලෝනීය දෙවිවරුන් දෙවිවරුන් නොවන බවත්, තමන් පමණක් එකම සැබෑ දෙවියන්වහන්සේ බවත් ඔප්පු කළසේක. (යෙසායා 43:14, 15) මෙම සිද්ධිය වීමට වසර 200කට පමණ පෙර, උන්වහන්සේ පර්සියාවේ කෝරෙෂ් රජුව යුදෙව්වන් මුදාලන ස්වකීය සේවකයා ලෙස නම් කොට, තම දේවත්වය පිළිබඳව තවදුරටත් සාක්ෂි දුන්සේක. (යෙසායා 44:28) ඉශ්රායෙල් ජනයා නිදහස් වනු ඇත. මන්ද? යෙහෝවඃවහන්සේ මෙසේ පැහැදිලි කරනසේක: “මා විසින් මටම උපදවාගත් ඒ සෙනග [ඉශ්‍රායෙලිතයන්] මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.” (යෙසායා 43:21) එය සාක්ෂියක් සඳහා තවදුරටත් ප්‍රස්තාවක් උදා කර දෙනවා ඇත.
19. යෙරුසලමට හැරී පැමිණෙන ලෙස කෝරෙෂ් විසින් ඉශ්රායෙලිතයන්හට කරන ලද ආරාධනය මගින් සහ ආපසු හැරී පැමිණි විශ්වාසවන්ත යුදෙව්වන්ගේ ක්‍රියා මගින් කිනම් සාක්ෂියක් දෙන ලද්දේද?
19 කාලය පැමිණි විට, අනාවැකිවල පැවසූ පරිදි, පර්සියාවේ කෝරෙෂ් රජ බබිලෝනිය පරාජය කළේය. මිථ්‍යා දෘෂ්ටිකයෙකු වුවද, කෝරෙෂ්, බබිලෝනියේ යුදෙව්වන්ට යම් ප්‍රකාශයක් නිකුත් කළ විට, යෙහෝවඃවහන්සේගේ දේවත්වය ප්‍රකාශ කළේය: “උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු යූදාහි වූ යෙරුසලමට ගොස් යෙරුසලමෙහි සිටින ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගාවා. (උන්වහන්සේ [සැබෑ, NW] දෙවියන්වහන්සේය.)” (එස්රා 1:3) යුදෙව්වරු බොහෝදෙනෙක් ප්‍රතිචාර දැක්වූහ. නැවත පොරොන්දු දේශය කරා හැරී ගිය ඔවුහු පැරණි දේවමාළිගා භූමිය මත පූජාසනයක් ඉදි කළහ. අධෛර්යය කිරීම් හා දැඩි විරුද්ධවාදීකම් මැද, දේවමාළිගාව හා යෙරුසලෙම් නගරය යළි ඉදි කිරීමට අවසානයේදී ඔවුන්ට හැකිවිණ. යෙහෝවඃවහන්සේම පැවසූ ආකාරයට මේ සියල්ලම සිදුවුණේ, “බලයෙන්වත් ශක්තියෙන්වත් නොව [උන්වහන්සේගේ] ආත්මයෙන්ය.” (සෙකරියා 4:6) යෙහෝවඃවහන්සේ වනාහි සැබෑ දෙවියන්වහන්සේ බවට මෙම ඉටු කිරීම්වලින් තවදුරටත් සාක්ෂි දෙනු ලැබිණ.
20. ඉශ්රායෙල්වරුන්ට දුර්වලකම් තිබුණද, පැරණි ලෝකය තුළ ඔවුන් විසින් යෙහෝවඃවහන්සේගේ නාමයට සාක්ෂියක් දෙනු ලැබීම ගැන කුමක් කිව හැකිද?
20 මෙසේ, අසම්පූර්ණ හා ඇතැම්විට කැරලිකාර ජනයාගෙන් සමන්විත ජාතියක් වූ ඉශ්‍රායෙල්ව යෙහෝවඃවහන්සේ දිගටම යොදාගත්සේක. පූර්ව ක්‍රිස්තියානි ලෝකය තුළ, එහි දේවමාළිගාව සහ පූජක ධුරය සමඟින් එම ජාතිය සැබෑ නමස්කාරයේ ලෝක මධ්‍යස්ථානය ලෙස පෙනී ගියේය. ඉශ්රායෙල් ජනයා සම්බන්ධව යෙහෝවඃවහන්සේගේ ක්‍රියා ගැන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි කියවන ඕනෑම අයෙකු, සිටින්නේ එකම සැබෑ දෙවිකෙනෙකු බවත්, උන්වහන්සේගේ නාමය යෙහෝවඃවහන්සේ බවත්, කොයියම් ආකාරයක හෝ සැකයක් තබා නොගනු ඇත. (ද්විතීය කථාව 6:4; සෙකරියා 14:9) කෙසේවුවද, යෙහෝවඃවහන්සේගේ නාමයට මීටත් වඩා ඉමහත් සාක්ෂියක් දීමට තිබුණ අතර, එය අපි ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නෙමු.
ඔබට මතකද?
◻ යෙහෝවඃවහන්සේ වනාහි සැබෑ දෙවියන්වහන්සේ බවට ආබ්‍රහම් සාක්ෂියක් දුන්නේ කෙසේද?
◻ විශ්වාසවන්ත සාක්ෂිකරුවෙකු වීමට මෝසෙස්ට හැකිකම ලබා දුන්නේ ඔහු සතු කිනම් කැපීපෙනෙන ගුණාංගයද?
◻ ඉශ්රායෙල්වරු යෙහෝවඃවහන්සේ ගැන ජාතියක් වශයෙන් සාක්ෂි දුන්නේ කිනම් ආකාරවලින්ද?
◻ ඉශ්රායෙල්වරු බබිලෝනියේ වහල්භාවයෙන් මිදී ඒම, යෙහෝවඃවහන්සේ වනාහි එකම සැබෑ දෙවියන්වහන්සේ බවට සාක්ෂියක් වූයේ කෙසේද?
[10වන පිටුවේ පින්තූරය]
ආබ්‍රහම් තම ඇදහිල්ල සහ කීකරුකම තුළින් යෙහෝවඃවහන්සේගේ දේවත්වයට කැපීපෙනෙන සාක්ෂියක් දුන්නේය