විශ්වාසවන්ත පවුල් ශ්‍රී ලංකාවේ වර්ධනය වේගවත් කරති
පොල් ගස්වලින් හෙබි වෙරළවල්, කඳුවැටි හා කුඩා කාන්තාරවලින් යුත් ශ්‍රී ලංකාව නමැති චමත්කාරජනක දිවයින, 1972 වන තෙක් ලංකාව නමින් හඳුන්වනු ලැබීය. කඳුකරයේ පිහිටි මීටර් 2,243ක් උසැති ශ්‍රී පාද නමැති කන්ද ප්‍රධාන ආගම් හතරක ශුද්ධස්ථානයක් වේ.a මීට නුදුරින් ලෝකාන්තය පිහිටා තිබේ, මෙය මොහොර බෑවුමකි, පර්වත සහිත මෙම දඹය මීටර් 1500කට වඩා ප්රපාතාකාරව බෑවුම් වේ. ශ්‍රී ලංකාවේ විශිෂ්ට දර්ශනයන්ගෙන් එකක් මෙම ස්ථානයෙන් ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාවේ වැසියන් මිලියන 18ට සිත්ගන්නා පසුබිමක් තිබේ. පොදු යුගයට පෙර, පස්වන ශතවර්ෂයේ සිට උතුරු ඉන්දියාවේ සිට පැමිණි ඉන්දු-යුරෝපීය ජනයා මෙම දිවයිනේ පදිංචි වූහ. මොවුහු සිංහලයෝ වන අතර, දැන් ජනගහනයෙන් හතරෙන් තුනක් පමණ මොවුන්ගෙන් සමන්විතය. දොළොස්වන ශතවර්ෂයේදී පමණ, ද්‍රවිඩ ජාතිකයෝ රැසක් පැමිණියෝය; අදදින මොවුහු මෙම දිවයිනේ ප්‍රධාන වශයෙන් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ජීවත් වෙති. යටත්විජිත කාලවල පිළිවෙලින් විසූ පෘතුගීසීන්, ලන්දේසීන් හා බ්‍රිතාන්‍යයන්ගේ බලපෑම තවමත් යම්දුරකට මෙහි තිබේ. මීට අමතරව, අරාබියානු හා මැලේ අර්ධද්වීපවල මුහුදු යන වෙළෙන්දෝ සාමාන්‍ය ජනතාව අතරේ පදිංචි වූහ.
ජාතීන්වල සම්මිශ්‍රණයක් තිබෙනවාට අමතරව, ශ්‍රී ලංකාවේ භාෂා හා ආගම් එහි වෙනස් වූ පසුබිම විදහා පෙන්වයි. මෙම දිවයිනේ ප්‍රධාන භාෂාවන් නම් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වේ. ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහෝදෙනෙකුට මෙම භාෂා තුනෙන් අඩුතරමින් දෙකක්වත් කතා කළ හැක. මිනිසුන්ගේ ආගම් කෙරෙහි ජනවාර්ගික පසුබිමද විශාල වශයෙන් යම් කාර්යභාරයක් ඉටු කරයි. සිංහල ජාතීහූ බොහෝදෙනෙක් බෞද්ධ වන අතර, ද්‍රවිඩ ජාතීහූ බොහෝදෙනෙක් හින්දු වෙති. අරාබි හා මැලේ ජාතිකයන් සාමාන්‍යයෙන් ඉස්ලාම් ආගමට සම්බන්ධ අතර, යුරෝපීය පසුබිමක් සහිත වූවන් වැඩිවශයෙන් කතෝලික හෝ රෙපරමාදු වැනි ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල සාමාජිකයෝ වෙති.
අභියෝගයට මුහුණදීම
මේ සියල්ලක්ම ශ්‍රී ලංකාවේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්හට මහත් අභියෝගයක් ඉදිරිපත් කරයි. යේසුස්වහන්සේගේ මෙම ආඥාව ඉෂ්ට කිරීමට මොවුහු වෙහෙස වී ක්‍රියා කරති: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය.” (මතෙව් 24:14) භාෂාවන් කිහිපයක් සමඟ කටයුතු කිරීමට තිබියදීත්, දේශනා කරන එම පැය කිහිපය තුළ ශුභාරංචිය ගෙන යන ප්‍රචාරකයන්ට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි මණ්ඩලයේ සාමාජිකයන් හා අදේවවාදීන්ට කතා කිරීමට සිදුවිය හැක.
ඔවුන්ගේ සේවයෙහි කාර්යසාධක වීමට නම්, ප්‍රචාරකයන් ඔවුන් සමඟ මුරටැඹ හා පිබිදෙව්! සඟරා මෙන්ම අනිකුත් බයිබල් පොත් පත් දෙමළ, සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් රැගෙන යා යුතුය. ශක්තිය ඇති අය භාෂා තුනෙන්ම බයිබල්ද රැගෙන යති. ඇත්තට ම දෙවියන්වහන්සේ අප ගැන සලකන සේක් ද? හා අපගේ ගැටලු ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද? යන විවරණිකාවන් හා මේ ලෝකය බේරී පවතීද? යන පත්‍රිකාව භාෂා තුනෙන්ම සමගාමීව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෑතකදී ප්‍රචාරකයෝ අධික ලෙස ප්‍රීතිමත් වූහ. මෙයින් සේවය සඳහා තවත් බොහෝ ආම්පන්න අදහස් කරන ලදි.
ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සංගමයේ සභාපති චාල්ස් ටේස් රසල්, 1912දී ලංකාවට කෙටි චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේ සිට සාක්ෂිකරුවෝ සේවයෙහි දැඩි ලෙස නියැලෙමින් සිටිති. කෙසේනමුත්, සැලකිය යුතු වර්ධනයක් සඳහා, 1947දී වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි උපාධිධාරීන්ගේ පැමිණීම තෙක් බලා සිටින්ට සිදුවිය. එතැන් පටන්, ශ්‍රී ලංකාවේ ප්‍රචාරකයෝ දේශනා සේවයෙහි හොඳ ප්‍රතිඵල භුක්තිවිඳ ඇත්තාහ. වර්ෂ 1994දී රාජ්‍ය ප්‍රචාරකයෝ 1,866දෙනා ගෘහ බයිබල් පාඩම් 2,551ක සාමාන්‍යයක් සෑම මසකම පැවැත්වූහ. සිහිකිරීමේ උත්සවයට පැමිණි 6,930දෙනා සෑම සභාවකම ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවෙන් සම්පූර්ණයෙන්ම වාගේ හතර ගුණයක් පමණ විය. මොනතරම් ආශ්චර්යවත් ආශීර්වාදයක්ද!
සමහරක් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාවේ වර්ධනය හෙමින් සිදුවන බව පෙනේ. පෙනෙන්ට තිබෙන එක් හේතුවක් නම්, ශක්තිමත් පවුල් සබඳතාවයි. කෙසේනමුත්, මෙය දේවල් අනික් අතටද සිදු කළ හැක. රෝම හමුදා මුලාදෑනියෙක් වූ කොර්නේලියස් සත්‍යය සඳහා ඔහුගේ ස්ථාවරය ගත් අවස්ථාවේ, ඔහුගේ පවුලද ඔහු සමඟ එම ස්ථාවරය ගත්හ. (ක්‍රියා 10:1, 2, 24, 44) ලිදියා, ක්‍රිස්පස්, පාවුල් හා සීලස්ගේ හිරගෙයි මුලාදෑනියා ඇතුළත්ව අනිකුත් ශක්තිමත් ක්‍රිස්තියානි නිවැසියන් පිළිබඳව, ක්‍රියා පොත සඳහන් කරයි.—ක්‍රියා 16:14, 15, 32-34; 18:8.
සැබවින්ම, හොඳ සංවිධානය හා විශ්වාසවන්ත අඛණ්ඩ උත්සාහය ඇති විට, ශක්තිමත් පවුල් සබඳතා ප්‍රයෝජනදායක විය හැක. යෙසායා 60:22හි වචන මතකයේ තබාගනිමින් දිගු කලක් සිට මිෂනාරිවරයෙකු වන රේ මැතිව්ස් මෙසේ නිරීක්ෂණය කරයි: “තනි පුද්ගලයන් වශයෙන් පමණක් නොව, පවුල් වශයෙනුත්, නියම වේලාවේදී යෙහෝවඃවහන්සේ දේවල් දැන් වේගවත් කරන බව පෙනේ.”
සංවිධානාත්මක පවුල ප්‍රශංසා ගෙන දෙයි
නිශ්චිත වශයෙන්ම එවැනි විශ්වාසවන්ත පවුල් අද ශ්‍රී ලංකාවේ සිටිති. එක් උදාහරණයකට, ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹට අයත් කොටහේන ප්‍රදේශයේ ජීවත් වන, හොඳින් සංවිධානය වූ සින්නප්පා පවුල සිටී. පවුලේ ප්‍රධානියා, මරියන් මෑතකදී මියගිය නමුදු, ඔහුගේ බිරිඳ අන්නම්මා සහ අවුරුදු 13-33 දක්වා වයස් පරාසයන් ඇති දරුවන් 15දෙනාගෙන් 12දෙනෙක්ම, පවුලක් වශයෙන් යෙහෝවඃවහන්සේට නොකඩවා සේවය කරති. මෙය ලියන අවස්ථාවේදී, ළමයින් අටදෙනෙක් බව්තීස්ම වී, ඔවුන්ගෙන් තුන්දෙනෙක්ම ස්ථාවර පුරෝගාමීන් ලෙස පූර්ණ-කාලීන සේවයෙහි යෙදී සිටිති. තවත් තුන්දෙනෙක් කලින් කලට උපකාරික පුරෝගාමී සේවයෙහි සහභාගි වෙති. පවුලේ බාලයන් අතරින් හතරදෙනෙක් බව්තීස්ම නොවූ ප්‍රචාරකයෝ වෙති. මීට අමතරව, මුනුබුරු මිනිබිරියන් හතරදෙනෙක් තවමත් බාල වයසේ සිටියත්, බයිබලය පාඩම් කරමින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කොළඹ උතුරු සභාවේ ක්‍රිස්තියානි රැස්වීම්වලටද යති.
පළමුවරට අන්නම්මා 1978දී රාජ්‍ය ශුභාරංචියට ඇහුම්කන් දී මුරටැඹ කලාපයක් ලබාගත්තාය. බයිබල් පාඩමක් ආරම්භ විය, බයිබලය පාඩම් කිරීමට ආධාර වූ සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය නමැති පොත සම්පූර්ණ කළ පසු, අන්නම්මා යෙහෝවඃ දෙවියන්වහන්සේට ඇගේ ජීවිතය කැප කර බව්තීස්ම ලබා, පවුලේ අනිකුත් සියලුදෙනාටම මුල් ආදර්ශයක් තැබුවාය.
හේවා මුලාදෑනි කොර්නේලියස් මෙන්, අන්නම්මාගේ පවුල තුළ හොඳ සංවිධානයක් තිබිණ. “පාසැල මදිවට, ක්‍රිස්තියානි රැස්වීම්වලට හා සමුළුවලට සැලසුම් කිරීමට අපට සිදුවුණා” යයි අන්නම්මා සිහිපත් කරන්නීය. “ඇඳුම් අභියෝගයක් වුවද, යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද නිසා සෑම සමුළුවකටම අලුත් ඇඳුම් සමහරක් සපයාගන්න අපට හැකි වුණා. අපි හැමෝම හොඳින් ඇඳපැළඳ, කා තෘප්තිමත්ව විශාල සිනහවකින් යුතුව පැමිණියා.”
නිවසෙහි සංවිධානය පිළිබඳව ළමයින් සිහිපත් කරන්නේ බලවත් සෙනෙහසකින් යුතුවය. මුළු පවුලටම ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට උපකාරි වීම පිණිස, සාමාන්‍යයෙන් වැඩිමහල් අයට විශේෂ වගකීම් පවරන ලදි. එක් උදාහරණයකට, මංගලා රෙදි සේදීම සහ විනිෆ්‍රීඩා ඇඳුම් මැදීම කළහ. බාලයන්ට ඇඳුම් ඇඳීමටද උපකාර කළ විනිෆ්‍රීඩා මෙසේ පවසයි: “හැමෝම ගෙදරින් පිටවන විට ඇත්තෙන්ම ඔවුන් ලස්සනට සිටියා.”
ආත්මික සැපයුම්ද, සමානාකාරයෙන් හොඳින් සංවිධානය කර තිබිණ. දැනට ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය කරන දුව පුෂ්පම් මතක් කරන්නේ: “සෑම දිනකම බයිබලය කියවීම හා දින පදය නැවත මතක් කිරීම පවුලක් හැටියට අපි භුක්තිවින්ඳා.” අන්නම්මා වැඩිදුරටත් මෙසේ කීවාය: “සෑම ළමයෙකුටම බයිබලයක්, මුරටැඹ සඟරාව හා අනිකුත් ප්රකාශනවල පෞද්ගලික පිටපතක් බැගින් තිබුණා. රැස්වීමේදී ඔවුන් දෙන සියලුම විස්තරවලට මම පරෙස්සමින් ඇහුම්කන් දෙනවා. අවශ්‍යතාවක් තිබේයයි පෙනෙන විට මම නිවසට පැමිණ උනන්දු කිරීම් හා නිවැරදි කිරීම් කරනවා. රාත්රියේදී දවස අවසන් කිරීමට පවුලේ යාච්ඤාව සමඟින් අපි එක්සත් වනවා.”
පවුලේ සියලුමදෙනාට හොඳ ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීමට වැඩිමහල් දරුවන් අන්නම්මාට මාහැඟි උපකාරයක් වේ. කෙසේනමුත්, නිවස අවට සිටින්නන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමට ඇති කැමැත්තට මෙම තදබල කාලසටහන බාධා නොවේ. පවුලේ විවිධ සාමාජිකයෝ සියලුදෙනාම, අවට ප්‍රදේශයේ සිටින ජනයා සමඟ ගෘහ බයිබල් පාඩම් 57ක් පවත්වති. බෑනා, රාජන් ප්‍රකාශ කළේ: “පවුලම ප්රගතිශීලී බයිබල් පාඩම් පවත්වනවා. මගේ බිරිඳ පුෂ්පම්ට, ඇගේ ශිෂ්‍යයාවන්ගෙන් කෙනෙකු යෙහෝවඃවහන්සේට ඇගේ ජීවිතය කැප කිරීම දැකගැනීමේ වරප්‍රසාදය දැනටමත් ලැබී තිබෙනවා.”
මෙතරම් විශාල පවුලක් රෝමානු කතෝලික පල්ලිය අතහැර යෑම කොටහේන සම්පූර්ණයෙන්ම කැළඹීමට හේතු විය. කාරණය කුමක්දැයි සොයා බැලීමට පූජකයා මෙම පවුල හමුවීමට නොපැමිණියත්, ගිහි පල්ලි සාමාජිකයන්හට සොයා බැලීමට ඔහු ඉල්ලීමක් කළේය. වැඩිවශයෙන් ත්‍රිත්ව ඉගැන්වීම පිළිබඳ සාකච්ඡා බොහොමයක් දිගින් දිගටම සිදුවිය. අන්නම්මා ඇගේ ඇදහිල්ලට හේතු ඉදිරිපත් කිරීමට සෑමවිටම යෙහෝවඃවහන්සේ මත හා බයිබලය මත රඳාපැවතුණාය. මෙම සාකච්ඡාවලදී යොහන් 17:3 ඇගේ ප්‍රියතම බයිබල් පදය විය.
සින්නප්පා පවුල පැහැදිලිවම නිරූපනය කරන්නේ, හොඳ සංවිධානය හා ස්ථිර උත්සාහය, තෘප්තිමත් කරවන ප්‍රතිඵල ගෙන දිය හැකි බවයි. ඔවුන්ගේ ජ්වලිත උත්සාහයෙන් රාජ්‍ය ප්‍රචාරකයන්ගේ නව පරපුරක් වර්ධනය වන අතර, මේ සියල්ලම යෙහෝවඃවහන්සේගේ ප්‍රශංසාව සඳහාය.
විරුද්ධවාදීකම් පවුල සැබෑ නමස්කාරය තුළ එක්සත් කරවයි
රත්නම් නිවස පිහිටා තිබෙන්නේ, සින්නප්පාලාගේ නිවසින් සැතැප්ම කිහිපයකට නුදුරින්, කොළඹට අයත් තවත් ප්‍රදේශයක් වන නාරාහේන්පිටෙහිය. ඔවුහුද කලින් රෝමානු කතෝලිකයෝ වූහ. වර්ෂ 1982දී සාක්ෂිකරුවන් ගෙයින්-ගෙට සේවයෙහි නිරතව සිටියදී, ඔවුන්ට වැඩිමහල් දියණිය වූ ෆැටිමාගේ ස්වාමිපුරුෂයා වන බාලේන්ද්‍රන් හමුවිය. මුළු පවුල සමඟම බයිබල් පාඩමක් ආරම්භ විය. ඉක්මනින්ම ඔවුන්ගේ ළමයි තිදෙනා, ආච්චි වන ඉග්නේසම්මාල්ගෙන් දෙවියන්වහන්සේගේ නම පිළිබඳ විමසන්ට වූහ. ළමයින් “යෙහෝවා” යනුවෙන් පිළිතුරු සැපයූ විට ආච්චිගේ උනන්දුවද අවදි කර, ඇය සමඟද බයිබල් පාඩමක් ආරම්භ කෙරිණ. පසුව, දියණියන්ගෙන් දෙදෙනෙක් වන ජීවකලා හා ස්ටෙලා පාඩමට සම්බන්ධ වූ අතර, 1988 වන විට මේ තිදෙනාම බව්තීස්ම ලැබූහ.
මේ අතර, බාලේන්ද්‍රන් හා ෆැටිමා, ෆැටිමාගේ තවත් සහෝදරියක් වන මල්ලිකා හා ඇගේ ස්වාමිපුරුෂයා වන යෝගනාදන් සමඟ සත්‍යය බෙදාගත්හ. වර්ෂ 1987 වන විට මේ යුවළද බව්තීස්ම ලැබූ අතර, ඔවුහූ යෙහෝවඃවහන්සේ කෙරෙහි වර්ධනය වන්නාවූ ප්‍රේමයක් ඔවුන්ගේ ළමයින් දෙදෙනාගේ හෘද තුළ පැලපදියම් කොට ඇත. ෆැටිමාගේ තවත් සහෝදරියක් වන පුෂ්පා ඉන්පසු සත්‍යයට පැමිණියාය. 1990දී ඈ කැපවී බව්තීස්ම වූවාය. ටෝකියෝහි සිටින විට ඇගේ ස්වාමිපුරුෂයා වන එකා, ඉංග්‍රීසි සභාව සමඟ සේවය කළ අතර, පුෂ්පා ඔවුන්ගේ යෞවන පුතා ඇල්ෆ්‍රඩ්ට යෙහෝවඃවහන්සේගේ මාර්ගයෙහි ඇති දැඩි වීමට උපකාර කළාය.
මෙතෙක් දුරට, රත්නම් පවුලේ ළමයින් දහදෙනෙකුගෙන් හතරදෙනෙකු සැබෑ නමස්කාරයෙහි ඔවුන්ගේ ස්ථාවරය ගෙන තිබේ. සතුටට කරුණක් නම්, තවත් තුන්දෙනෙකු ඔවුන්ගේ පෞද්ගලික බයිබල් පාඩම්වල හොඳ ප්‍රගතියක් ලැබීමය. මුනුබුරු මිනිබිරියන් 11දෙනාගෙන් එක් ගැහැනු ළමයෙකු වන ප්‍රදීපා දැනටමත් බව්තීස්ම වී සිටියි. තවත් බාලයෝ හත්දෙනෙක් ඔවුන්ගේ පවුලේ බයිබල් පාඩම තුළින් නිතිපතා පුහුණුව ලබමින් සිටිති. මීට අමතරව, ඔවුන්ගේ අසල්වැසියන්ගෙන් උනන්දුව දක්වන අය සමඟ ගෘහ බයිබල් පාඩම් 24ක් පමණ පවත්වනු ලැබේ.
මේ සියල්ලක්ම පහසුවෙන්ම පැමිණියේ නැත. මුලදී පවුලේ විරෝධතා තිබිණ. පවුලේ කිසිවෙකු රාජ්‍ය ශාලාවෙහි රැස්වීම්වලට පැමිණීම හා ප්‍රසිද්ධ දේශනා සේවයෙහි සහභාගි වීම ගැන පියා මුතුපිල්ලෙයි සහ වැඩිමහල් සහෝදරයෝ දැඩි ලෙස විරුද්ධ වූහ. පෞද්ගලික ආරක්ෂාව සැලකිල්ලට ගෙන මින් සමහරක් කිරීමට සිදුවුවත්, මුතුපිල්ලෙයි තවදුරටත් කීවේ මෙසේය: “මා සම්පූර්ණයෙන්ම ‘ශුද්ධවන්තයන්ට’ භාර වී තිබුණු හෙයින්, මාගේ පවුලෙන් කිසිවෙක් කතෝලික පල්ලිය අතහැර යෑම අනුමත කළේ නැහැ.” එහෙත්, ඔවුන්ගේ ඇදහිල්ල ඔවුන්ට ගෙන දී තිබෙන යහපත දෙස බලමින්, ඔවුන් නමස්කාර කරන්නේ සැබෑ දෙවියන්වහන්සේට බව ඔහු දැන් විශ්වාස කරයි.
උදාහරණයකට, ඔවුන්ගේ බෞද්ධ ඉඩම් අයිතිකරු එක් වතාවක් හූනියම් උපයෝගි කරගනිමින් ඔහුගේ ඉඩමෙන් ඔවුන්ව බැහැර කිරීමට උත්සාහ කළේය. ඔහු රාත්‍රියේ පැමිණ, “හූනියම් කළ” දෙහි ගෙඩි නිවස වටේට තබා ගියේය. මිථ්‍යා විශ්වාසයන් ඇති අසල්වැසියන් තුළ බිය හටගත් අතර, රත්නම් පවුල යම් අශුභ සිදුවීමකින් පහර ලබනු ඇතැයි ඔවුහු සියලුදෙනාම බලාපොරොත්තු වූහ. කෙසේවෙතත්, ඉග්නේසම්මාල්ට මෙය හසුවූ විට, ඇය සහ ඇගේ දරුවන් කිසි ‘බියකින්’ හෝ ‘චකිතයකින්’ තොරව පහසුවෙන්ම මෙම ගෙඩි ටික ගලවා දැමූ අතර, කිසිදු දුෂ්ට ක්‍රියාවක් ඔවුනට සිදුවූයේ නැත. ඔවුන්ගේ නිර්භීත ක්‍රියාව එම ප්‍රදේශයේ බොහෝදුරට සාක්ෂියක් වූ අතර, ජනයාගෙන් ඔවුන් දැඩි ගෞරවයක් ලැබීමටද මෙය හේතු විය. ළඟපාත පටුමඟ දෙකක ගෘහ බයිබල් පාඩම් දෙකක් ආරම්භ කිරීමට ස්ටෙලාට හැකි විය. මෙයින් ධෛර්යයට පත් ලේලි, නසීරාද බයිබල් පාඩමක් පිළිගත්තාය.
ඇගේ පවුලට ලැබී තිබෙන ආශීර්වාද දෙස බලමින් ඉග්නේසම්මාල් මෙසේ නිරීක්ෂණය කරන්නීය: “පවුල තුළ ආත්මික වර්ධනය දැකීමට මා සතුටු වෙනවා. අප යෙහෝවඃවහන්සේගෙන් ආශීර්වාද ලැබ සිටිනවා, මන්ද, විරුද්ධවාදීකම් තුනී වී පවුලේ එක්සත්කම වර්ධනය වී තිබෙන බැවිනි.”
මෙවැනි විශාල පවුල් ආශීර්වාදයක් බව මොනවට ප්රත්යක්ෂ වේ. ශ්‍රී ලංකාව යන්නෙන් අදහස් කරන “අතිදීප්තිමත් දිවයින” තුළ, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම වේගවත් කිරීමට අතිශයින්ම වෑයම් කරන කුඩා පවුල්, තනි දෙමාපිය පවුල් හා තනිකඩ ක්‍රිස්තියානීන්ට ඔවුන්ද හවුල් වී ඇත. අලංකාර ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ හා කඳුවල අප දකින පරිදි, සිහියට නැංවිය හැකි පාරාදීසය බඳු තත්වය, නැවත පිහිටුවනු ලබන කාලය දෙස ලොව පුරා සිටින සෙසු ක්‍රිස්තියානීන් සමඟ ශ්‍රී ලංකාවේ සාක්ෂිකරුවෝද බලා සිටිති.
[පාදසටහන්වල]
a එහි තිබෙන විශාල සටහනක් ආදම්ගේ, බුදුන්ගේ, ශිවගේ හා “සාන්ත” තෝමස්ගේ පාසටහන බව පිළිවෙළින් මුස්ලිම්, බෞද්ධ, හින්දු හා පල්ලි ප්‍රබන්ධවල අදහස් වශයෙන් දක්වා තිබේ.
[24, 25වන පිටුවේ පින්තූර]
ශ්‍රී ලංකාවේ බොහෝදෙනෙක් ක්‍රිස්තියානි දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයට ප්‍රතිචාර දක්වති