ඉතා වටිනා මුතු ඇටයක් අපට දෙන ලදි
රිචඩ් ගුන්තර් විසින් පවසන ලද පරිදි
ඒ 1959 සැප්තැම්බර් මාසයයි. අප හුලියෝ සෙසාර් නම් ඉතාලියානු නැවේ, අත්ලන්තික් සාගරය තරණය කරමින් නිව් යෝර්ක් නුවර සිට ස්පාඤ්ඤයේ කාඩිස් කරා ගමන් කරමින් සිටියා. වොච් ටවර් සමිතිය විසින් මටත්, මාගේ භාර්යාව වන රීටාටත්, තවත් මිෂනාරි යුවළක් වූ පෝල් සහ එව්ලන් හන්ඩෙර්ට්මාර්ක්ටත් එම අයිබීරියන් රටෙහි සේවය කිරීමට පැවරුමක් දී තිබුණා. අපට බොහෝ අභියෝගවලට මුහුණ දීමට තිබුණා. එහෙත් මිෂනාරි සේවයට අප පා තැබුවේ කෙසේද?
රීටා සහ මම 1950 අ.එ.ජ. නිව් ජර්සි නුවරදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස, බව්තීස්ම ලැබුවා. ඉන් වැඩිකල්යෑමට මත්තෙන්, නියමිත කාලයේදී ඉතා වටිනා මුතු ඇටයක් අප අත තබනු ඇති තීරණයක් අපි ගත්තා. අප සිටියේ තම බල ප්‍රදේශය ආවරණය කිරීමට ඇති තරම් සහෝදර සහෝදරියන් සිටි සභාවක. දේශනාකරුවන් සඳහා ඉමහත් අවශ්‍යතාවක් තිබූ ප්‍රදේශයක සේවය කිරීම සඳහා, අපවම ඉදිරිපත් කිරීමට යුතුකමක් තිබෙන බව අපට හැඟී ගියා. වර්ෂ 1958 ග්‍රීෂ්මයේදී, නිව් යෝර්ක් නුවර පැවති යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර එක්රැස්වීමේදී අප මිෂනාරි සේවය සඳහා ඉල්ලුම් කළා.
ඉන් ටික කලකට පසුව, අපව වොච්ටවර් බයිබල් ස්කුල් ඔෆ් ගිලියඩ් නම් පාසැල සඳහා ආරාධනා කරනු ලැබූ අතර, වසරක් ඇතුළත, අප මිෂනාරිවරුන් ලෙස අපගේ ගමනේ යෙදෙමින් සිටියා. බොහෝ වැඩකටයුතුවල නිරතවීමෙන් සහ කුතුහලයෙන් ඉහවහා ගොස් සිටි අපට, දී තිබුණේ කුමක්ද කියාවත් වැටහුණේ නැහැ. ඉතා වටිනා මුතු ඇටයක් ගැන යේසුස්වහන්සේ කතා කර තිබුණා. (මතෙව් 13:45, 46) උන්වහන්සේගේ උපමාවේ මූලික කරුණ එය නොවුවත්, අපට නම් මිෂනාරිවරුන් ලෙස සේවය කිරීමට ලැබුණු වරප්‍රසාදය, එවැනි මුතු ඇටයකට සම කළ හැකිව තිබුණා. ආපසු හැරී බලන විට, යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ සේවයේ මෙම අනගි ත්‍යාගය ඊටත් වඩා අගය කරන්ට දැන් අපට පුළුවන්.
මතකහිටින අද්දැකීමක්
ඒ කාලයේ, ගිලියඩ් මිෂනාරි පාඨමාලාව පැවැත්වුණේ, නිව් යෝර්ක් ප්‍රාන්තයේ ෆින්ගර් ලේක්ස් ප්‍රදේශයේ අලංකාර පිටිසරබද වටාපිටාවකයි. එහිදී අපි, ලෝකයේ කටයුතුවලින් සහ කරදරවලින් හුදෙකලා වී, බයිබල් අධ්‍යයනය හා නියම ක්‍රිස්තියානි ඇසුර තුළ පුරා මාස හයක් සම්පූර්ණයෙන්ම ගත කළා. අපගේ සෙසු ශිෂ්‍යයන්, ඕස්ට්‍රේලියාව, බොලීවියාව, බ්‍රිතාන්‍යය, ග්‍රීසිය සහ නවසීලන්තය ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් පැමිණ සිටියා. එහෙත්, වැඩිකල්යෑමට මත්තෙන් ඒ එක්කම උපාධි ප්‍රදාන දිනය එළඹුණා. වර්ෂ 1959 අගෝස්තු මාසයේ, අපට දී තිබූ මිෂනාරි පැවරුම් කරා අප යාත්‍රා කිරීමට පිටත් වෙනවාත් සමඟම, අප කඳුළින් යුතුව එකිනෙකාගෙන් සමුගත්තා. මාසයකට පසුව, අප ස්පාඤ්ඤය මත පා තැබුවා.
නව සංස්කෘතියක්
අප ගොඩ බැස්සේ, ජිබ්රෝල්ටර් නම් මනරම් ශිඛර අසල, ඇල්ජියර්ස් නමැති දකුණුදිග වරායටයි. එම රාත්‍රියේ රීටා සහ මා සමඟ හන්ඩෙර්ට්මාර්ක් යුවළ, ඇතුල්ව අපි හතරදෙනා මැඩ්රිඩ් බලා දුම්රියෙන් ගමන් ඇරඹුවා. අපි එහිදී මෙර්කාඩෝ හෝටලයට ගිහින්, සමිතියේ රහසිගතව තිබූ ශාඛා කාර්යාලයේ සාමාජිකයන් විසින් අපව රැගෙන යන තෙක්, අප එහි බලා සිටියා. ස්පාඤ්ඤය එවකට තිබුණේ, ඒකාධිපති ජනරාල් ෆ්‍රාන්සිස්කෝ ෆ්රැන්කෝගේ පාලනය යටතේයි. මින් අදහස් කළේ රටේ නීත්‍යනුකූලව පිළිගත් එකම ආගම වූයේ රෝමානු කතෝලික පල්ලිය බවයි. වෙනත් ආගමක් ප්‍රසිද්ධියේ පිළිපැදීම නීතිවිරෝධීව තිබූ අතර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ගෙයින්-ගෙට දේශනා වැඩය තහනම් කරනු ලැබුවා. ආගමික රැස්වීම් පවා තහනම් කරනු ලැබ තිබුණා, එවකට ස්පාඤ්ඤයේ ගණනින් සාක්ෂිකරුවන් 1,200ක්ද සභා 30ක්ද තිබූ අතර, ඔවුන්ට වෙනත් රටවල මෙන්, රාජ්‍ය ශාලාවලදී රැස්වීමට ලැබුණේ නැහැ. අපට රැස්වීමට සිදුවුණේ පෞද්ගලික නිවෙස්වල රහසිගතවයි.
ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගෙන වැඩකටයුතු ආරම්භ කිරීම
අපගේ පළමු අභියෝගය වූයේ භාෂාව ඉගෙනගැනීමයි. පළමු මාසයේදී අපි ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගැනීම සඳහා දවසකට පැය 11ක් ගත කළා—එනම්, සෑම උදෑසනකම පංතියේ පැය හතරක් සහ පසුව, අප විසින්ම පැය 7ක් අධ්‍යයනය කිරීමෙන්. දෙවන මාසයේ, උදෑසන එම කාලසටහනම, නමුත් අපරභාගයේදී ගෙයින්-ගෙට දේශනා කිරීමට කැප කරනු ලැබුවා. ඔබට සිතාගත හැකිද? තවමත් භාෂාව හරිහැටි නොදැන, මතකතබා ගත් හැඳින්වීමක් කාඩ්පතක ලියාගෙන, රීටාත් මමත් තනිවම ගෙයින්-ගෙට සේවයේ යෙදුණා!
මැඩ්රිඩ් නුවර, රැකියාවල නියුතු ජනයා වෙසෙන වැයෙකාස් යන පෙදෙසේ නිවසක දොරට තට්ටු කරනවා මට මතකයි. හදිසියෙන්වත් මට කිව යුතු දේ අමතක වුවොත්, පාවිච්චි කිරීමට කාඩ් පතක් මා අතැතිව, ස්පාඤ්ඤ බසින් මෙසේ කීවා: “සුභ උදෑසනක්. අප ක්‍රිස්තියානි සේවයක් කරමින් සිටිනවා. බයිබලය මෙසේ පවසනවා (අප පාඨයක් කියවනවා). ඔබ මේ පොත් පිංචය ලබාගන්නවාට අපි කැමතියි.” එම කාන්තාව නිකම්ම බලා සිට, අනතුරුව පොත් පිංචය ගත්තා. අප නැවත බැලීම් කළ අවස්ථාවේ, අප ඈට කතා කරන විට, ඈ නිකම්ම බලාසිටියා. අපිට හැකි උපරිමයෙන් ඈ සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා, එවගේම පාඩම අතරතුරේදී, ඈ නිකම්ම සවන් දී බලා සිටියා. අප ඈ බැහැදකින්ට ගිය පළමු වතාවේදී අප ඈට පැවසූ දේ නොතේරුණු බවත්, නමුත් ඩියෝස් (දෙවියන්වහන්සේ) යන වචනය අසා තිබූ නිසා, මෙය යම් හොඳ දෙයක් වන්ට ඕනා යයි තමා සිතූ බවත්, ඈ ටික කලකට පසු අප සමඟ පැවසුවා. කල් යත්ම, ඈ සැලකිය යුතු බයිබල් දැනුමක් ලබා, බව්තීස්ම වී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක බවට පත්වුණා.
මට ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගැනීම ඉතා දුෂ්කර දෙයක් වුණා. නගරයේ ගමන් කරමින් සිටින අතරතුර, ක්‍රියා පද වරනැඟීම මතක් කරගැනීම මා පුරුද්දක් කරගත්තා. මා එක සතියක මතක් කර ගත් දෙය, අනික් සතියේ මට අමතක වුණා! එය ඉතා අධෛර්යය කරවන්නක්. වතා ගණනාවක්ම මා ඇත්හැර දැමුවා වගේ. මා එතරම්ම දුර්වල ලෙස ස්පාඤ්ඤ බස කතා කළ නිසා, මා ස්පාඤ්ඤ සහෝදරයන් අතර පෙරමුණ ගන්නා විට, මා සමඟ ඉතා ඉවසීමෙන් වැඩ කරන්ට ඔවුන්ට සිදුවුණා. එක් දිස්ත්‍රික් සමුළුවකදී, එක් සහෝදරයෙක්, වේදිකාවේ සිට කියවීම සඳහා අතින් ලියන ලද නිවේදනයක් මට දුන්නා. මා නිවේදනය කළේ මෙසේයි: “හෙට ක්‍රීඩාංගණයට එන විට, ඔබේ මූලෙටාස් (කිහිලිකරු) රැගෙන එන්න.” මා කියවීමට යුතුව තිබුණේ, “හෙට ක්‍රීඩාංගණයට එන විට ඔබේ මලෙටාස් (ගමන්මලු) රැගෙන එන්න” කියායි. ඇත්තවශයෙන්ම, සබය සිනහසුනා, ස්වභාවයෙන්ම මට ලැජ්ජාවක් දැනුණා.
මැඩ්රිඩ් නුවර මුල්ම පරීක්ෂා
මැඩ්රිඩ් නුවර එම පළමු අවුරුදු ස්වල්පය, රීටා සහ මට චිත්තවේගීය වශයෙන් ඉතා දුෂ්කර වුණා. අපට අපේ නිවස සහ මිතුරන්ව බොහෝ සෙයින් මතක් වුණා. එක්සත් ජනපදවලින් අපට ලිපියක් ලැබෙන සෑම අවස්ථාවකදීම, නිවස මතක්වීමෙන් සෝ සුසුම් හෙළුවා. එසේ නිවස මතක්වීමෙන් ඇතිවන කාලයන් දරාගත නොහැකි තරම්, නමුත් ඒවා අතුරුදහන් වී ගියා. ඒ සියල්ලටම වඩා, අප අපගේ නිවාස, පවුල් සහ මිතුරන් අතහැර දමා ඉතා වටිනා මුතු ඇටයකට ඒවායේ තැන දී තිබුණා. තත්වයට අනුව සකස්වන්ට අපට අවශ්‍ය වුණා.
අපගේ මුල් පටන්ගැන්මේදී අප ජීවත්වූයේ, වැහැරුණු ඉතා පරණ නවාතැන් ගෙයකයි. අපට අපගේ කාමරය සහ දවසකට ආහාර වේල් තුනක් තිබුණා. එය ඉතා කුඩා අඳුරු කාමරයක්, ඇඳවල මෙට්ටා පිදුරුවලින් සාදා තිබුණා. නිවසේ මාසික කුලියට, අපේ මාසික දීමනාවම අවශ්‍ය වුණා. අප සාමාන්‍යයෙන් දිවා ආහාරය ගත්තේ එහිදීයි, එමෙන්ම නිවසේ අයිතිකාරිය, අපගේ රාත්‍රි ආහාරය සාමාන්‍යයෙන් උදුනේ තබනවා, එවිට රාත්රියේදී අපට එය අනුභව කරන්ට හැකියි. කෙසේවෙතත්, දිවා කාලයේදී සහ සැන්දැ කාලයේදී වීථිවල ගමන් කරන විට අපට මහත් බඩගින්නක් දැනෙනවා. අපේ මාසික දීමනාව ඉතිරි නොවී නම්, අපට සොයාගත හැකි ලාභතම චොකලට් කෑල්ල අපගේ සීමිත පෞද්ගලික මුදල්වලින් මිල දී ගන්නවා. කෙසේවෙතත්, සමිතියේ කලාපීය අවේක්ෂකගේ පැමිණීමත් සමඟම, මේ තත්වය වෙනස් වුණා. අපගේ කනගාටුදායක තත්වය දුටු ඔහු, මිෂනාරි නිවසක් ලෙස යොදාගත හැකි කුඩා නිවසක් සොයා බලන ලෙස පැවසුවා. ඇත්තෙන්ම, කුස්සියේ පොළොව මත බාල්දියක සිටගෙන නානවාට වඩා මෙය ඇත්තටම පහසුවේවි. දැන් අපට නෑමට වතුර මලක්, ආහාර තැබීමට ශීතකරණයක් සහ අපේ ආහාර තැබීමට විදුලි උදුනක් තිබෙන්ට යනවා. අප සඳහා දැක්වූ මේ සැලකිල්ල ගැන අප ඉතා කෘතඥපූර්වක වුණා.
මැඩ්රිඩ්හි පුදුමාකාර අද්දැකීම්
ගෙයින්-ගෙට සේවය කරනු ලැබුවේ ඉතා සුපරික්ෂාකාරීව. මැඩ්රිඩ්හි පැවති කාර්ය බහුල වාතාවරණය නිසා, අපව සැකයට භාජන නොවූ බැවින් එම තත්වය අපට වාසියක් වුණා. අප විදේශීන් මෙන් නොපෙනෙන ලෙසට අපි වෙනත් අය වගේම ඇඳුම් ඇන්දා, ඒ වගේම ක්‍රියා කළා. අපගේ ගෙයින්-ගෙට දේශනා ක්‍රමය වූයේ නිවසකට ඇතුල් වී, දොරට තට්ටු කොට, පුද්ගලයාට කතා කොට, එම ගොඩනැඟිල්ලෙන්ද, පාරෙන්ද, ප්‍රදේශයෙන්ද ඉවත්වීමයි. ගෙවැසියා පොලිසිය කැඳවීමට නිතරම ඉඩ කඩක් තිබූ අතර, එනිසා ළඟපාත ප්‍රදේශයක නැවතී සිටීම ඥානවන්ත දෙයක් වූයේ නැහැ. ඇත්තෙන්ම, මෙම ක්‍රමය කොතරම් සුපරික්ෂාකාරී ලෙස කරනු ලැබුවත්, පෝල් සහ එව්ලන් හන්ඩෙර්ට්මාර්ක් අත්අඩංගුවට ගනු ලැබ, 1960දී රටින් පිටමං කරනු ලැබුවා. ඔවුන් යාබදව පිහිටි පෘතුගාලයට ගොස්, එහි වසර කිහිපයක් සේවය කළා, එමෙන්ම පෝල් එහි රහසිගතව පවත්වාගෙන ගිය ශාඛා කාර්යාලයේ වැඩකටයුතු බලා කියාගත්තා. අදදින ඔහු කැලිෆෝනියාවේ සන්තියාගෝහි නගර අවේක්ෂක ලෙස සේවය කරනවා.
කෙසේවෙතත්, අප සඳහා සමකමක් ඇතිවුණා. මාස ස්වල්පයකට පසුව, පෘතුගාලයට පත් කර යවනු ලැබූ මිෂනාරිවරුන් හයදෙනෙකුට එම රටින් පිටවන ලෙස නියෝග කරනු ලැබුවා! මෙය යම් ප්‍රියමනාප වර්ධනයකට හේතුවුණා, මන්ද, අපේ ගිලියඩ් පංතියේ සිටි එරික් සහ හේසල් බෙවරිජ්ට දැන් පෘතුගාලයෙන් පිටවී ස්පාඤ්ඤය බලා යෑමට මඟ පෙන්වනු ලැබුවා. එනිසා යළිත් වරක් අප 1962දී මෙර්කාඩෝ හෝටලය කරා ගියා—ඒ එරික් සහ හේසල් පැමිණෙනවාත් සමඟම ඔවුන්ව පිළිගැනීමට.
රීටාට සහ මට ආගමික කුහකකම සම්බන්ධයෙන් පෞද්ගලික අද්දැකීමකට මුහුණපෑමට සිදුවූයේ මැඩ්රිඩ්හි සිටි මේ මුල් කාලයේදීයි. අප එක්තරා යුවළක් සමඟ බයිබලය අධ්‍යයනය කළා, ඒ බෙර්නාඩෝ සහ මාරියා, ඔවුන් ජීවත්වුණේ බෙර්නාඩෝ විසින් සොයාගත් ගොඩනැඟිලි ද්‍රව්‍යවල ඉතිරි කැබලිවලින් සාදාගත් මුඩුක්කුවක. අප ඔවුන් සමඟ පාඩම් කළේ ඉතා රෑ බෝවී, ඒ වගේම පාඩමෙන් පසු, ඔවුන් අපට පාන්, වයින් ඒ වගේම චීස් ටිකක් හෝ ඔවුන් ළඟ තිබූ මොනවා හරි අප සමඟ බෙදාගත්තා. මේ චීස් හරියට ඇමෙරිකානු චීස් වගේ කියා මට තේරුණා. එක් රැයක පාඩමෙන් පසුව, ඔවුන් චීස් බහා දමා තිබූ කෑන් එකක් අප වෙත ගෙන ආවා. එහි ඉංග්‍රීසියෙන් ලොකු අකුරුවලින් මෙසේ ලියා තිබුණා, “ඇමෙරිකානු ජනතාවගෙන් ස්පාඤ්ඤ ජනතාවට—විකිණීමට නොවේ.” මේ දුප්පත් පවුල මෙම චීස් ලබාගෙන තිබුණේ කොහොමද? මේවා දුප්පත් අයට බෙදා දීමට ආණ්ඩුව විසින් කතෝලික පල්ලිය යොදාගෙන තිබුණා. එහෙත් පූජකයා එය විකුණමින් සිටියා!
යුද්ධ හමුදාව සමඟ ඵලදායී දේවසේවය
අපට සහ වෙනත් බොහෝ අයට මහඟු ආශීර්වාදයක් බවට පත්වූ පුදුමාකාර යමක් වැඩිකල්යෑමට මත්තෙන් සිදුවුණා. අපට ශාඛා කාර්යාලයෙන් ලිපියක් ලැබුණා, මැඩ්රිඩ් නගරයේ සිට සැතපුම් ස්වල්පයක් නුදුරින් පිහිටා තිබූ ටොරෙකොන්හි, එ.ජ. ගුවන් හමුදාවේ සේවය කරන වෝල්ටර් කේඩැෂ් නම් තරුණයාව ගොස් බැහැදකින ලෙසට එහි ඉල්ලා තිබුණා. අපි ඔහු සහ ඔහුගේ භාර්යාව හමුවී ඔවුන් සමඟත්, ගුවන් හමුදාවේ තවත් යුවළක් සමඟත් බයිබල් පාඩමක් පටන්ගත්තා.
එම වකවානුවේදී මා, එ.ජ. ගුවන් හමුදා නිලධාරීන් සමඟ බයිබල් පාඩම් පහක් පැවැත්තුවා, ඇත්තෙන්ම ඒ සියල්ලම ඉංග්‍රීසියෙන්. ඒ අයගෙන්, හත්දෙනෙක් පසුව බව්තීස්ම වුණා, තවද එක්සත් ජනපදවලට නැවත ගිය පසු, ඔවුන්ගෙන් හතරදෙනෙක් සභා වැඩිමහල්ලන් බවට පත්වුණා.
මේ රටේ අපගේ වැඩ කටයුතු තහනම් කරනු ලැබ තිබූ නිසා, මේ වකවානුවේ පොත්, සඟරා සහ බයිබල් රට තුළට ගෙන ඒමට ක්‍රම තිබුණේ ස්වල්පයක් පමණයි. කෙසේවෙතත්, සංචාරකයන් විසින්ද, අප හා අමෙරිකානු සම්බන්ධකම් තිබූ අය විසින්ද ඇතැම් පොත් පත් ගෙන ආවා. ඒ, වැලෙකාස්හි ලිපිද්‍රව්‍ය සාප්පුවක් පිටිපස ගබඩා කාමරයක රහසිගත පොත් පත් අංශයක් මෙහෙයවීමට ශාඛා කාර්යාලය මාව පත් කළා. එහි අයිතිකරුවාගේ භාර්යාව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක්ව සිටියා. සාක්ෂිකරුවෙකු නොවුණත්, මෙහි අයිතිකරු අපගේ වැඩයට ගරු කළ අතර, තමාව සහ තමාගේ ව්‍යාපාරය මහත් අවදානමකට ලක් කරමින්, මුළු රට පුරා නගරවලට පොත් පත් බෙදාහැරීම සඳහා එම පොත් පත් පාර්සල් කර සූදානම් කිරීමට, මෙම සාප්පුවේ පිටුපස පෙදෙස පාවිච්චි කරන්ට ඔහු මට ඉඩ දුන්නා. මෙම කාමරය සෑමවිටම තිබුණේ එය තිබිය යුතු ආකාරයට—එනම්, දූවිලි බැඳුණු කුණුකන්දල් පිරුණු කාමරයක් හැටියට—ඒ නිසා මගේ වැඩයට ඉක්මනින් සූදානම් වීමටත්, තත්පර ගණනාවක් ඇතුළත සැඟවීමටත් හැකිවන පරිද්දෙන්, බංකුවක් සහ පොත් රාක්ක සෑදීමට මට සිදුවුණා. දවස අවසානයේදී, සාප්පුවේ කිසිවෙකු නොසිටි වේලාව වන තෙක් රැඳී සිට, පසුව සැණකින් මා මගේ පාර්සල් සමඟ ඉන් පිටවෙනවා.
රට පුරා පිහිටි සභාවලට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඇතුළත්ව වෙනත් පොත් පත් වැනි ආත්මික ආහාර බෙදාහැරීමට ලැබීම සැබෑ වරප්‍රසාදයක් වුණා. ඒවා ඉතා උද්වේගකර කාලවල්.
රීටා බයිබල් පාඩම් 16ක් පමණ පැවැත්වීමේ ප්‍රීතිය ලැබූ අතර, ඔවුන්ගෙන් අඩක් පමණ යෙහෝවඃවහන්සේගේ බව්තීස්ම වූ සාක්ෂිකරුවන් බවට පත්වුණා. ඩොලොරෙස් වනාහි තම හෘදයේ ආබාධයක් නිසා, සීත කාලයේදී ඇඳට වී කාලය ගෙවූ එක් යෞවන විවාහක කාන්තාවක්. වසන්ත සමයේදී ඈ ඉන් නැඟිට මදක් ක්‍රියාශීලී වෙනවා. ඩොලොරෙස්ගේ ඇදහිල්ල ශක්තිමත්, එමනිසා ප්‍රංශයේ ටුලූස්හි අපේ දිස්ත්‍රික් සමුළුවට යෑමට කාලය පැමිණි විට, ඈට එහි යෑමට බොහෝ සෙයින් වුවමනා වුණා. ඇගේ හෘද තත්වය නිසා එහි යෑම අඥාන දෙයක් වනු ඇතැයි වෛද්‍යවරයා ඇයට අවවාද කර තිබුණා. නිවසට අඳින ඇඳුම සහ සෙරෙප්පු කුට්ටම පිටින් කිසිම ඇඳුම් බෑගයක් නොමැතිව, ඈ ඇගේ සැමියා, ඇගේ මව සහ වෙනත් අය පිටත්ව යනවා දැකීමට දුම්රිය ස්ථානයට ගියා. ඇයට එහි යෑමට නොහැකි වීම ගැන ඇගේ ඇස්වලින් කඳුළු ගලා වැටුණා, එය දරාගත නොහැකි වූ ඈ, දුම්රියට නැඟ, ප්‍රංශය බලා ගියා! මෙය සිදුවූ බවක් රීටා දැනසිටියේ නැහැ. එහෙත්, සමුළුවේදී කටපුරා සිනහවකින් සිටි ඩොලොරෙස්ව දකින විට එය ඈට මොනතරම් පුදුමයක් වූවාද!
අසාමාන්‍ය බයිබල් පාඩමක්
ඩොන් බෙනිග්නෝ ෆ්රාන්කෝ, “එල් ප්රොෆෙසෝර්” ඇතුළත් නොකර, මැඩ්රිඩ් නුවර අපගේ පැවරුම සම්බන්ධ මෙම කතාව නිම කිරීමට අපට බැහැ. ඉතා දුප්පත් යාබද නිවසක තම භාර්යාව සමඟ ජීවත්වූ මහලු මහතෙකු බැහැදැකීමට ප්‍රදේශයේ එක් සාක්ෂිකරුවෙකු මා කැඳවාගෙන ගියා. මා ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. අවුරුදු එකහමාරක් පමණ පාඩම් කිරීමෙන් පසුව, බව්තීස්ම වී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු බවට පත්වීමට ඔහු ඉල්ලා සිටියා.
ඩොන් බෙනිග්නෝ ෆ්රාන්කෝ නම් වූ මෙම වයසක මහතා, එවකට ස්පාඤ්ඤයේ අධිරාජ්‍යයා වූ ෆ්‍රාන්සිස්කෝ ෆ්රාන්කෝගේ ඥාති සහෝදරයෙක්. ඩොන් බෙනිග්නෝ සෑමවිටම නිදහසට ලැදි පුද්ගලයෙකු බවට පෙනෙන්ට තිබුණා. ස්පාඤ්ඤය සිවිල් යුද්ධය අතරතුරේදී, ඔහු සමූහාණ්ඩුවාදීන්ගේ පැත්ත ගත් අතර, තම ඥාති සහෝදරයාට විරුද්ධ වුණා—එම ඥාති සහෝදරයා තමයි යුද්ධය ජයගෙන කතෝලික ඒකාධිපතිත්වයක් පිහිටෙවූ ජනරාල්වරයා. වර්ෂ 1939 පටන්, ඩොන් බෙනිග්නෝට වැඩ කිරීමට තහනම් කරනු ලැබ තිබූ අතර, ඔහුව ඉතා යාචක දිවි පෙවෙතකට සීමා කරනු ලැබ තිබුණා. ඉතින්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු බවට පත්වුණේ, ඒ ස්පාඤ්ඤය යුධ හමුදා නායකයා වූ ජෙනරාල් ෆ්‍රාන්සිස්කෝ ෆ්රැන්කෝගේ ඥාති සහෝදරයායි.
හදිසි කැඳවීමක්
වර්ෂ 1965දී ස්පාඤ්ඤ ශාඛා කාර්යාලය, බර්සිලෝනාහි චාරිකා සේවය සඳහා පටන්ගන්නා මෙන් අපට ආරාධනා කළා. මේ නිසා මැඩ්රිඩ් නුවර ඉතා කිට්ටුවෙන් සිටි ප්‍රේමනීය සහෝදරයන් දමා යමට සිදුවුණා. දැන් පටන් ගන්ට තිබුණේ නව අද්දැකීමක්, එපමණක්ද නොවෙයි, මා සඳහා පරීක්ෂණයක්. මෙම අද්දැකීම මට භය උපදවන්නක් වුණා, මන්ද මා සෑමවිටම මගේ හැකියාව ගැන සැක කළා. සේවය නමැති මෙම ක්ෂේත්රයේ බලපෑමෙන් යුක්ත වීමට මට හැකියාව දුන්නේ යෙහෝවඃවහන්සේ බව මා ඉතා හොඳින් දන්නවා.
සෑම සතියකම සභාවක් බැහැදැකීම යන්නෙන් අදහස් කළේ සහෝදරයන්ගේ නිවෙස්වල ජීවත්වීමයි. අපට නැවතීමට ස්ථිර තැනක් තිබුණේ නැහැ, සෑම සති දෙකකට වරක් වාගේ, අපි තවත් නිවෙසකට මාරුවුණා. මෙය විශේෂයෙන්ම ස්ත්‍රියකට දුෂ්කර දෙයක්. එහෙත් බර්සිලෝනාහි ජීවත්වූ හෝසෙ සහ රෝසෙර්, දවස් ගණනක්ම ඔවුන් සමග ගත කරන ලෙස අපට ආරාධනා කළා. මෙය ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් කළ ඉතා ප්‍රේමනීය දෙයක්, මන්ද, මෙය අපේ බඩුබාහිරාදිය තබාගැනීමට ස්ථිර තැනක්, ඒ වගේම ඉරිදා සවස්වල ගෙදර ඒමට නියත තැනක් සැපයුවා.
රීටා සහ මා ඊළඟ වසර හතර පුරා, මධ්‍යධරණී මුහුදු තීරයේ පිහිටි කැටලෝනියා ප්‍රාන්තයේ චාරිකා සේවයේ යෙදී සිටියා. අපේ සියලු බයිබල් රැස්වීම් පවත්වනු ලැබුවේ පෞද්ගලික නිවාසවල රහසිගතව, ඒ වගේම ගෙයින්-ගෙට දේශනා වැඩය කරනු ලැබුවේ, කිසිවෙකුගේ අවධානයට හසු නොවන පරිදි සුපරික්ෂාකාරීව. ඇතැම් අවස්ථාවල, ඉරිදා දින මුළු සභාවක්ම එක්වී, විශේෂයෙන්ම චාරිකා එක්රැස්වීම් පවත්වන විට කළේ, වන රොදක් සහිත ප්‍රදේශයකට ගොස් එය පැවැත්වීමයි.
සභාවන් එක්සත්ව හා ක්‍රියාශීලීව තබාගැනීම සඳහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරමින්, තමන්ගේ රැකියා සහ නිදහස පරදුවට තැබූ කැප වූ ආත්මික සහෝදරයන් බොහෝදෙනෙකු ගැන අපි ඉතා ප්රශංසාත්මක මුඛයෙන් කතා කරනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නගරයෙන් පිට වෙනත් කුඩා නගරවල සේවය ව්‍යාප්ත කිරීමට පෙරමුණ ගත්තා. ස්පාඤ්ඤයේ තහනම ඉවත් කර, 1970දී ආගමික නිදහස ලැබූ පසු ඇති වූ මහත් වර්ධනයට මෙය හොඳ අත්තිවාරමක් දැමුවා.
අපගේ විදේශ පැවරුම අත්හැර යෑමට සිදුවී
වසර දහයක් පුරා ස්පාඤ්ඤයේ, යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහිලා අප භුක්තිවිඳි විශේෂ ආශීර්වාද අපේ දෙමාපියන්ගේ තත්වය මගින් බාල කරනු ලැබුවා. වතා කිහිපයකදීම, අපගේ මෙම පැවරුමෙන් ඉවත් වී අපේ මව සහ පියාව රැකබලා ගැනීම සඳහා නිවසට යෑමට ඔන්න මෙන්න තත්වයක අපි සිටියා. කෙසේවෙතත්, අපගේ දෙමාපියන් ජීවත්වන පෙදෙස අසල සභාවල ප්‍රේමනීය සහෝදර සහෝදරියන්ට ස්තුතිවන්ට, ස්පාඤ්ඤයේ දිගටම සේවය කරගෙන යෑමට අපට හැකිවුණා. ඔව්, වසර ගණනාවක් පුරා මිෂනාරි සේවයේ යෙදී සිටීමේ වරප්‍රසාදය ලැබීමට අපට හැකිවුණේ, පළමුකොට දෙවියන්වහන්සේගේ රාජ්‍යය සෙවීමෙහිලා අප සමඟ හවුල් වූ වෙනත් අය ඔවුන්ගේ පැත්තෙන් කළ දෙය නිසයි.
අවසානයේදී, 1968 දෙසැම්බර් මාසයේ, මගේ මව රැකබලා ගැනීම සඳහා අප ගෙදර ගියා. එම මාසයේදීම මගේ පියා මියගිය අතර, මගේ මව දැන් තනිවුණා. අපට තවමත් පූර්ණ-කාලීන සේවයේ යෙදී සිටීමට නිදහස තිබූ නිසා, චාරිකා සේවයේ වැඩ කිරීමට මට තවත් පැවරුමක් ලැබුණා, නමුත් මේ වතාවේ එක්සත් ජනපදවල. ඊළඟ වසර 20 පුරා, අප ස්පාඤ්ඤ චාරිකාවල සේවය කළා. අපට අපගේ මිෂනාරි සේවය නමැති අනගි මුතු ඇටය අහිමි වුවත්, තවත් වටිනා මුතු ඇටයක් අපේ අත්වල තබා තිබුණා.
මත්ද්‍රව්‍ය සහ ප්රචණ්ඩත්වය මැද දේශනා කිරීම
දැන් අපි අපේ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකු සමඟ උරෙන් උර ගැටී සේවය කරමින් සිටියේ, නගරවල අපරාධවලින් ඇළලී තිබූ ප්‍රදේශවල. ඇයි, අප නිව් යෝර්ක් නුවර බෘක්ලින්හි චාරිකා සේවයේ යෙදෙමින් සිටි පළමු සතියේදීම, රීටාගේ අත්බෑගය ඩැහැගනු ලැබුවා.
එක් අවස්ථාවකදී, නිව් යෝර්ක් නුවර තවත් පැත්තක රීටා සහ මම කණ්ඩායමක් සමඟ ගෙයින්-ගෙට දේශනා සේවයේ යෙදෙමින් සිටියා. පටු පාරක් අසල තිබූ, අත්හැර දැමූ ගොඩනැගිල්ලක කොනක් වටා අප ගමන් කරමින් සිටි විට, මිනිසුන් පිරිසක් එහි බිත්තියක් ඉදිරිපිට පෙළට සිටගෙන සිටිනවා අප දුටුවා. අප පාරේ පියවර කිහිපයක් ඉදිරියට යත්ම, අඩිපාරක සිට අප දෙස බලාගෙන සිටි එක් තරුණ හාදයෙකුව අපි දුටුවා. පොලිස් කාර් එනවාදැයි බලන තවත් කෙනෙක් අනික් කොනේ හිටියා. අප ඇවිදගෙන ගොස් තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් මැදට! පළමුවෙන්ම අප දුටු තැනැත්තා භයෙන් චකිතයට පත්වුණා, නමුත් මුරටැඹ සඟරාව දුටු ඔහු සන්සුන් වුණා. ඇරත්, මට පොලිස් නිලධාරියෙකු වෙන්ට තිබුණා! ඒ එක්කම ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන් “ලොස් ආටාලායාස්! ලොස් ආටාලායාස්!” (මුරටැඹ මිනිස්සු! මුරටැඹ මිනිස්සු!) කියා කෑගැසුවා. අප අතේ සඟරා තිබූ නිසා ඔවුන් දැනගත්තා අපි කවුද කියා, ඉන්පසු ඔවුන් කලබල වුණේ නැහැ. මා ඔහු ළඟින් පසු කර යත්ම, “බ්වෙනොස් ඩියාස්, කෝමෝ එස්ටා?” (ආයුබෝවන්, කොහොමද?) කියා ඇසුවා, ඔහු වෙනුවෙන් යාච්ඤා කරන්නැයි කියා ඔහු මට පිළිතුරු දුන්නා.
දුෂ්කර තීරණයක්
වර්ෂ 1990දී, මට පෙනුණා මා මගේ මව සමඟ සෑමදාම සිටින්ට සිදුවන බව. සංචාරක සේවය තුළ රැඳී සිටීමට අපි බොහෝ මහන්සි ගත්තා, නමුත් ප්‍රඥාවන්තව සිතා බලන විට වැටහුණා, වගකීම් දෙකම එකවර ඉටු කරන්ට හැකියාවක් නැති බව. මව ඉතා ප්‍රේමනීයව රැකබලා ගැනීමට අපට බොහෝ සෙයින් වුවමනා වුණා. එහෙත්, යළිත් වරක් අපට සිදුවුණා අප ඉතා අනගි දෙයක් ලෙසට සැලකූ මුතු ඇටයක් අහිමි කරගැනීමට. මේ ලෝකයේ තිබෙන මැණික් හා ඒවා සියල්ලෙන් යමෙකුට කළ හැකි දේ, යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ මිෂනාරිවරයෙකු ලෙස හා සංචාරක අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීම නමැති මැණික සමඟ සසඳද්දී, එය ඉතා අල්පයි.
රීටා සහ මා දැන් 60 ගණන්වල පසුවෙනවා. අප ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවක් සමඟ ඉතා සතුටින්, තෘප්තියෙන් සේවය කරනවා. අප යෙහෝවඃවහන්සේගේ සේවය තුළ වසර ගණනාවක් ආපස්සට හැරී බලන විට, ඉතා වටිනා මුතු ඇට වගකීමෙන් යුතුව අපට භාරදීම ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා.
[23වන පිටුවේ පින්තූරය]
රීටා සහ පෝල් සහ එව්ලන් හන්ඩෙර්ට්මාර්ක් (දකුණේ) මැඩ්රිඩ්හි ගව රංග භූමිය පිටත
[24වන පිටුවේ පින්තූරය]
වන රොදක “ගමනේ” සභාවකට සේවය කිරීම