“චලනය වන” කන්දක්
බටහිර අයර්ලන්තයේ ක්‍රෝ පැට්‍රික් යන කේතු රූපාකාර කන්දේ හැඩය, අන් කඳු අතර කැපීපෙනෙන්නකි. සෑම වසරකම, ජූලි මාසයේ අවසාන ඉරිදා, ගැහැනු පිරිමි එක හා සමානව 30,000ක් පමණ වන්දනා ගමනක නියැලෙමින් (අඩි 2,510ක) උස මුදුනට නඟින විට කඳුමුදුන චලනය වන්නාක් මෙන් දිස්වෙයි.
මෙම දවසේදී, වන්දනාකරුවන් නඟින්නේ සහ බසින්නේ, පටු, රළු සහ ඇතැම් තැන් අඩමාන සහිතව ඇති අඩිපාරක් ඔස්සේය. ඇත්තෙන්ම, අවසාන නැග්ම ගත් කල, එය ඉතා තියුණු නැග්මක් සහිත බුරුල් ගල්පර සහිත වූ බැවින්, එහි නැඟීම අතිශයින් දුෂ්කරවූත්, වෙහෙස කරවනසුලුවූත් එකකි.
ඇතැම් අය මෙහි නඟින්නේ පාවහන් නැතිවය, ස්වල්පදෙනෙක් ගමනේ ඇතැම් කොටස් දණගසාගෙන නඟිති. පසුගිය කාලවලදී, වන්දනා ගමන ආරම්භ වූයේ අඳුරු රාත්‍රි කාලයේය.
ක්‍රෝ පැට්‍රික් කන්ද මෙතරම් බොහෝදෙනෙකුට වැදගත් අද්දැකීමක් වී ඇත්තේ මන්ද?
වන්දනා ස්ථානයක් ලෙස බොහෝ කලකට පෙර පිහිටුවන ලදි
පොදු යුගයේ පස්වන සියවසේ මුල් භාගයේදී, රෝමානු කතෝලික පල්ලිය පැට්‍රික්ව මිෂනාරි බිෂොප්වරයෙකු ලෙස අයර්ලන්තයට යැවීය. ඔහුගේ ප්‍රධාන පරමාර්ථය වූයේ, අයර්ලන්ත ජාතිකයන්ව ක්‍රිස්තියානි ධර්මයට හැරවීම වූ අතර, මේ ජනයා අතර දේශනා කිරීමෙන් හා වැඩ කිරීමෙන් සිය කාලය ගත කරද්දී, එහි කතෝලික සභාවේ අඩිතාලම ස්ථාපනය කිරීමේ ගෞරවය පැට්‍රික්ට හිමිවේ.
ඔහුගේ වැඩකටයුතු නිසා ඔහු රටපුරා ස්ථාන ගණනාවකට ගියේය. එක් ස්ථානයක් නම්, අයර්ලන්තයේ බටහිර ප්‍රදේශය වන අතර, ඇතැම් මූලාශ්‍රවලට අනුව, ඔහු කන්දක් මුදුනේ දවල් සහ රාත්‍රි 40ක් ගත කළෙන්, එය ක්‍රෝ පැට්‍රික් නමින් ඔහුගේ නාමයෙන් හැඳින්විණි (අර්ථය “පැට්‍රික්ගේ කන්ද”). එහි ඔහු සිය සේවයේ සාර්ථකත්වය උදෙසා නිරාහාරව හිඳ යාච්ඤා කළේය.
වසර ගණනාවක් පුරා ඔහුගේ ක්‍රියාකාරකම් ගැන ප්‍රබන්ධ කථා වර්ධනය වී තිබේ. ඒවා අතරින් අතිශයින් ජනප්‍රිය එකක් නම්, පැට්‍රික් කන්දේ සිටි අතරෙදී අයර්ලන්තයේ සියලුම නාගයන් පළවාහැරිය බවය.
ඔහු කඳුමුදුන මත කුඩා පල්ලියක් ඉදි කළ බව සාම්ප්‍රදායවල කියවේ. එම ගොඩනැගිල්ල මීට බොහෝකලකට පෙර අතුරුදහන් වී ඇතත්, එහි මුල් අත්තිවාරම තවමත් පවතින අතර, එම ස්ථානය මෙන්ම කන්ද, වසර ගණනාවක් පුරා වන්දනා ස්ථානයක්ව තිබේ.
වන්දනා ගමනේ විශේෂ ලක්ෂණ
වයසක අයට හෝ කඳු නැඟීමට එතරම් පළපුරුද්දක් නැති අයට, සැතපුම් 3ක් උසට යන මෙම ගමන සම්පූර්ණ කොට ආරක්ෂා සහිතව බැසීම ලොකු ජයග්‍රහණයකි.
අඩිපාර දෙපස යම් නිශ්චිත තැන් කිහිපයක, විවිධාකාර අනතුරු සිදුවූවොත් උපකාර කිරීමට, හදිසි ප්‍රතිකාර කරන කණ්ඩායම් සිටිති.
මාර්ගය ඔස්සේ යම් නැවතුම් ස්ථාන තුනක් තිබෙන අතර, එහිදී වන්දනාකරුවෝ විවිධ පශ්චත්තාපීය ක්‍රියාවල යෙදෙති. කඳුපාමුල සවි කර ඇති දැන්වීම් පුවරුවේ මේවා සම්පූර්ණයෙන්ම පැහැදිලි කර තිබේ.—කොටුව බලන්න.
ඔවුන් එහි නඟින්නේ මන්ද?
මෙතරම් බොහෝදෙනෙක් මෙම අසීරු වන්දනාගමනේ යෙදෙන්නේ මන්ද? ඇතැම් අය මෙම කඳුනැඟීම කරන විට, එතරම් අන්තවලට යන්නේ මන්ද?
ඇත්තෙන්ම, ඇතැම් අය විශ්වාස කරන්නේ, වන්දනාගමන අතරතුරේදී යාච්ඤා කිරීමෙන් පෞද්ගලික ප්‍රයෝජන සඳහා කරනු ලබන ඉල්ලීම් අසනු ලැබීමට වැඩි ඉඩකඩක් පෙනෙන්ට ඇති බවය. ඇතැම් අය එය කරන්නේ යම් වැරදි ක්‍රියාවකට පසුතැවිලි වීමක් ලෙසය. තවත් අය සඳහා, මෙය වනාහි ස්තුති දීමේ ක්‍රමයකි. සහතිකවම, බොහෝදෙනෙක් එහි යන්නේ හුදෙක් උත්සවශ්‍රීය සඳහාය. එක් නිලධාරියෙකු ඒ ගැන සඳහන් කළේ, ‘එය වනාහි සාමුහික හැඟීම හා සමාජීය ප්‍රේමය ප්‍රකාශ කරන අවස්ථාවක්’ බවය. ක්‍රෝ පැට්‍රික් කන්දට නැඟීම වනාහි, “සා. පැට්‍රික්ගේ අඩිපාර අනුගමනය කිරීමක් හා තම ඇදහිල්ල සම්බන්ධයෙන් ඔහුට දක්වනු ලබන ණයගැතිභාවය වටහාගැනීමක්” යයිද හේ පැවසීය. වඩා වැදගත් ලෙස, මෙම කන්දට නැඟීම, “තමන්ටම දඬුවම් පමුණුවාගැනීමේ ආකාරයකි, මන්ද ඊට සම්බන්ධ කායික අසීරුතාව, නියම පසුතැවිල්ලේ ව්‍යායාමක්ය. කඳුමුදුනට සෙමින් නැඟීම බලවත් පශ්චත්තාපයේ දීර්ඝ ක්‍රියාවකි” යයිද හේ තවදුරටත් කියා සිටියේය.
එක් මිනිසෙක් තමා 25 වතාවක් කන්දට නැඟ තිබෙන බව ආඩම්බරයෙන් කියා සිටියේය! තමා එය කළේ “තම වරදට මඳක් දඬුවම් පමුණුවාගැනීමට” යයි හේ පැවසීය. තවත් මිනිසෙක් සරලව පැහැදිලි කළේ, “වේදනාවක් නැත්නම්, ලබාගන්න දෙයකුත් නැහැ!” යනුවෙනි.
අත්‍යවශ්‍ය නොවුවද, බොහෝදෙනෙකු කන්දට නඟින්නේ පාවහන් නැතුවය. ඔවුන් එසේ කරන්නේ මන්ද? පළමුව ඔවුහු එම භූමිය “ශුද්ධ” යයි සලකන අතර, තමන්ගේ පාවහන් ඉවත් කරති. දෙවනුව, එය ‘තම වරදට මඳක් දඬුවම් පමුණුවාගැනීම’ යන ඔවුන්ගේ පරමාර්ථයට අනුකූලවය. ඇතැම් අය නැවතුම් ස්ථානවලදී දණගසාගෙන විවිධ වත්පිළිවෙත් සිදු කරන්නේ මන්ද කියා මේ මගින් පැහැදිලි වෙයි.
මැවුම්කරුවාණන් අගය කිරීමට පෙලඹී
එහෙත්, යමෙක් විශේෂ දවසක කන්දට නැඟී වන්දනාකරුවන්ගේ ආගමික හැඟීම්වලට හවුල් නොවී සිටින්නේ නම් කුමක්ද? හොඳ කාලගුණික තත්වයක් හා හොඳ ශක්තිමත් පාවහන් යුවළක් සහිතව, ඕනෑම වේලාවක කන්දට නැගිය හැක. අප කන්දට නැංගේ වන්දනාකරුවන් විශාල සමූහයක් කන්දට නැගි දවසක නොවේ. කන්දට නඟින අතරේ තැන තැන මඳකට නැවතුනු අපට, එම නැග්ම ගැනත්, එය බොහෝදෙනකුට කළ බලපෑම ගැනත්, කල්පනා කර බලන්නට හැකිවිය. මෙම වෙහෙසකාරි නැඟීම කළාවූද, විවිධ පසුතැවිල්ලේ ක්‍රියා කළාවූද, දහස් ගණනක් වන්දනාකරුවන් ගැන කල්පනා කරන කල, අපට මෙසේ කල්පනා වුණි, ‘දෙවියන්වහන්සේට අවශ්‍ය කරන්නේ මෙයද? එක්තරා ස්මාරකවලට නඟිමින් හෝ ඒ වටා යළි යළිත් යාච්ඤා කියමින් යන විට, ඇත්තටම කෙනෙකුව දෙවියන්වහන්සේ වෙතට සමීප වේද?’ මතෙව් 6:6, 7හි නැවත නැවත කියන යාච්ඤා ගැන යේසුස්වහන්සේ දුන් උපදෙස ගැන කුමක් කිව හැකිද?
සහතිකවම, අප කන්දට නැංගේ යම් ආගමික අද්දැකීමක් ලැබීමට නොවේ. තවද, එහෙත්, අපට අපගේ මැවුම්කරුවාණන්ගේ මැවිලි, එනම් පොළොවේ පුදුමයන්ගෙන් කොටසක් වන කඳු, අගය කිරීමට හැකි වූ නිසා, අපට අපගේ දෙවියන්වහන්සේට සමීප වූ බවක් හැඟුණි. කඳුමුදුනේ සිට අපට අලංකාර භූ දර්ශනයක ඉතා පැහැදිලි දසුනක් ප්‍රීතියෙන් භුක්තිවිඳීමට හැකි වූ අතර, ගොඩ බිම අත්ලාන්තික් සාගරය හමුවන තැන පවා අපි දුටිමු. අපට පහළින් පිහිටි මුහුදු බොක්කේ කුඩා දූපත් එක් පැත්තකින් දිදුළනවා අප දුටු අතර, ඊට හාත්පසින්ම වෙනස්ව තවත් පැත්තකින් රළු කඳුකර පෙදෙස දිස් විය.
අපි එම නැවතුම් ස්ථාන තුන ගැන සිතුවෙමු. යේසුස්වහන්සේම සිය සැබෑ අනුගාමිකයන්ට පැවසූ වදන් අපට සිහිවිය: “තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයල්ලා. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.”—මතෙව් 6:7.
මෙම කන්ද, මිනිසුන් දහස් ගණනක්ව බැඳ තබා ඇති ඉතා අමාරු සම්ප්‍රදායක කොටසක් බවට පත්ව ඇති බව අපි තේරුම්ගත්තෙමු. ප්‍රේරිත යොහන් මෙසේ පැවසූ විට කතා කරන ලද නිදහසට වඩා, එය කොතරම් පටහැනිදැයි අපි සලකා බැලීමු: ‘අපි උන්වහන්සේගේ [දෙවියන්වහන්සේගේ] ආඥා පවත්වමු; උන්වහන්සේගේ ආඥා බර නැත.’—1 යොහන් 5:3.
ක්‍රෝ පැට්‍රික් කන්ද නැඟීම ඇතුළු, අපි අපගේ ගමන භුක්තිවින්දෙමු. එය අපව පොලඹවාලූයේ සියලු මිනිස්වර්ගයා බයිබලයට පටහැනි සම්ප්‍රදායන්ගෙන් මිදී පොළොවේ ප්‍රේමනීය මැවුම්කරුවාණන්ව “ආත්මයෙන්ද සැබෑකමින්ද” නමස්කාර කිරීමට හැකිවන කාලය තෙක් බලාසිටින්ටය.—යොහන් 4:24.
[27වන පිටුවේ කොටුව]
වන්දනාගමනේ විශේෂ ලක්ෂණ
සා. පැට්‍රික්ගේ දවසේදී හෝ උත්සව සමය ආරම්භ වී දවස් අටක් ඇතුළත හෝ ජූනි, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවල ඕනෑම කාලයක, කන්දට නැඟ, පාප්වරයාගේ පූජනීය අභිප්‍රාය පරිදි සෑම වන්දනාකරුවෙකුටම, කඳුමුදුන මත හෝ පල්ලිය තුළ හෝ ඒ අසල යාච්ඤා සතියක් ඇතුළත හෝ, පාපොච්චාරණයට හෝ සත්ප්‍රසාද ලැබීමට වූ කොන්දේසිය මත පව් සමාව මුළුමනින්ම ලබාගත හැක.
සාම්ප්‍රදායික නැවතුම් ස්ථාන
“නැවතුම් ස්ථාන” තුනක් තිබේ (1) කඳුපාමුල හෙවත් ලියැච්ට් බෙනෝන් (2) කඳුමුදුනේ (3) කන්දේ ලියකැන්වී [නගරයක්] පැත්තට මඳක් පහළින් වූ රලිග් ම්වරි.
1වන ස්ථානය - ලියැච්ට් බෙනෝන්
වන්දනාකරුවෝ මෙහි ස්මාරක වටා හත්වරක් ඇවිදිමින් පරමණ්ඩල 7ක්ද, නමෝමරිය 7ක්ද, අපෝස්තුලුවරුන්ගේ ආරාධනාව එක වතාවක්ද කියති.
2වන ස්ථානය - කඳුමුදුන
(අ) වන්දනාකරුවෝ දණගසාගෙන පරමණ්ඩලය 7ක්ද, නමෝමරිය 7ක්ද, අපොස්තුලුවරුන්ගේ ආරාධනාව එක වතාවක්ද කියති.
(ආ) වන්දනාකරුවෝ පාප්ගේ පූජනීය අභිප්‍රායන් උදෙසා පල්ලිය ළඟ යාච්ඤා කරති.
(ඇ) වන්දනාකරුවෝ පරමණ්ඩල 15ක්ද, නමෝමරිය 15ක්ද, අපොස්තුලුවරුන්ගේ ආරාධනාව 1ක් වතාවක්ද කියමින්, 15 වතාවක් පල්ලිය වටා ඇවිදිති.
(ඈ) වන්දනාකරුවෝ, 7 වතාවක් ලියැබ ෆෝරිග් [පැට්‍රික්ගේ ඇඳ] වටා ඇවිදිමින් පරමණ්ඩල 7ක්ද, නමෝමරිය 7ක්ද, අපොස්තුලුවරුන්ගේ ආරාධනාව එක් වතාවක්ද කියති.
3වන ස්ථානය - රලිග් ම්වරි
සෑම ගල් ස්මාරකයක් වටා 7 වතාවක් ගමන් කරන වන්දනාකරුවෝ සෑම ස්මාරකයක් [ස්මාරක තුනක් තිබේ] ළඟදීම පරමණ්ඩල 7ක්ද, නමෝමරිය 7ක් සහ අපෝස්තුලුවරුන්ගේ ආරාධනාව එක් වතාවක්ද කියන අතර, අවසාන වශයෙන් 7 වතාවක් යාච්ඤා කරමින්, මුළු රලිග් ම්වරි වටාම ගමන් කරති.