මොසැම්බික් රටේ “ලුණු විකිණීම”
මොසැම්බික් රටේ, වැඩකටයුතු අධීක්ෂණය කරන කමිටුවේ සාමාජිකයෙකු වූ ෆ්‍රාන්සිස්කෝ කොආනා “පුනර් අධ්‍යාපන කඳවුරුවල” වසර දහයක් ගත කළේය. ඔහු සිය ඇද්දැකීම මෙසේ පවසයි: “මා හිතුවා අපි යම් කලකට මෙහි නවතින්ට යනවා කියා. එමනිසා මා චාරිකා අවේක්ෂකගෙන් ඇසුවා මට ස්ථාවර පුරෝගාමියෙකු ලෙසට දිගටම සේවය කරන්ට හැකිද කියා. එහෙත්, කඳවුරේ සිටි සෑම කෙනෙකුම පාහේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වූ නිසා, මට අවශ්‍ය කාලය කැපකිරීමට හැකි වන්නේ කෙසේද? මා පැවසුවා ජනයා සෙවීම සඳහා සැතපුම් 29ක් ඈතින් පිහිටි මිලැන්ජ් නගරය කරා මා යන බව.
“අපට කඳවුරෙන් පිටව යෑමට නිල වශයෙන් ඉඩ දෙනු නොලැබුවද, මෙම නීතිය තදින්ම බලපැවැත්වූයේ නැහැ. මා අසල වනරොදකට ගොස් දණගසා, ජනයාට දේශනා කිරීමට මාර්ගයක් සලසා දෙන ලෙස ඉල්ලමින් මා යාච්ඤා කරනවා මට මතකයි. යෙහෝවඃවහන්සේ ඉතා ඉක්මනින් යාච්ඤාව ඇසුවා.
“බයිසිකලයක් සතුව සිටි මිනිසෙකුව හමුවුණු මා ඔහු සමඟ යම් එකඟතාවකට පැමිණියා. වැසි වැසීමට පෙර මා ඔහුගේ අක්කර දෙකක භූමිය වගා කළහොත්, කුලිය වෙනුවට ඔහු මට මේ බයිසිකලය දෙන බවට එකඟ වුණා. එමනිසා මා සෑම උදෑසනකම ඔහුගේ භූමියේ වැඩකටයුතු කරන්නට වුණා. යෙහෝවඃවහන්සේ මේ විධිවිධානයට ආශීර්වාද කළා, මන්ද අවසානයේදී මට මගේ බයිසිකලය ලබාගැනීමට හැකි වුණා.
“මෙහි ප්‍රතිඵලය වූයේ මිලැන්ජ් නම් වූ විශාල නගරය තුළට ඇතුල්වීමට හැකි වීමත්, මෙම ඵලදායී ක්ෂේත්රයේ මගේ පුරෝගාමි සේවය කරගෙන යෑමට ලැබීමත්ය. අපගේ වැඩකටයුතු තහනම්ව තිබූ නිසා, ජනයාට සත්‍යය හඳුන්වා දීමට යම් උපක්‍රමයක් යොදන්ට මට සිද්ධ වුණා. මා මගේ කමිසය යට පොත් සහ සඟරා බහලමින්, ලුණු මල්ලක් රැගෙන එය විකුණන්නට වුණා. එය මෙටිකයිස් 5කට විකුණනවා වෙනුවට, මම ඒ සඳහා මෙටිකයිස් 15ක් අය කළා. (ලුණු ඉතා ලාභ දෙයක් වූ නිසා, මිනිසුන් ඒවා සියල්ල මිල දී ගත්තා නම්, මගේ දේශනා කිරීමේ කටයුතුවලදී භාවිත කිරීමට මට ලුණු තිබෙන්නට යන්නේ නැහැ!) මගේ සංවාද ඇති වුණේ මෙන්න මේ විදිහට:
‘ආයුබෝවන්! මා අදදින ලුණු විකුණනවා.’
‘කීයද?’
‘මෙටිකයිස් පහළොවයි’
‘එපා, එපා. අපෝ මිල හරි වැඩියි.’
‘ඔව්, එය මිල වැඩි බවට මා එකඟ වෙනවා. නමුත් ඔබ දැන් එය මිල වැඩියි කියා සිතනවා නම්, එය අනාගතයේදී මීටත් වඩා මිල වැඩි කාලයක් එනතුරු බලාසිටින්න. ඔබ දැනසිටියාද මෙය බයිබලයේ කලින් කියා තිබෙනවා කියා?’
‘මගේ බයිබලයෙන් මා එය කවදාවත් කියවා නැහැ.’
‘ඔව්, ඒකෙ එහෙම තියෙනවා. ඔබගේ බයිබලය ගෙනෙන්න, මම ඔබට පෙන්වන්නම්.’
‘ඒ සමඟම ඔහුගේ බයිබලය යොදාගනිමින් සංවාදය ගෙනයන අතර, මගේ කමිසය යට මගේ බයිබලය එහෙමම තිබෙනවා. මා එළිදරව් 6වන පරිච්ඡේදයට යොමු දක්වා, අර්බුදකාරි තත්වයන් හා ආහාර හිඟයන් ගැන පෙන්නුම් කරනවා. ප්‍රතිචාරය හොඳ බවට වටහාගත්තා නම්, මා සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය හෝ ඔබ සන්තෝෂවත් කිරීමට ශුභ ආරංචි නම් පොත පිටතට ගෙන සුදුසු ලෙස බයිබල් පාඩමක් පටන්ගන්නවා.
“මෙහි ප්‍රතිඵලය වූයේ මට මිලැන්ජ් නගරයේ උනන්දුමත් අය 15දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ආරම්භ කිරීමට හැකි වීමයි. නමුත් වැඩිකල් යන්නට මත්තෙන් නිලධාරීන්ට අප හසුවූවා. එක් දවසක්, මා බයිබල් පාඩමක් පවත්වමින් සිටි විට, එම නිවසට පොලිසිය කඩාවැද, අපව අත්අඩංගුට ගත්තා. එම පවුලේ කුඩා දරුවන් ඇතුළු අප සියල්ලන්වම ප්‍රාදේශීය බන්ධනාගාරයට යවනු ලැබුවා. එහි මාසයක් පමණ ගත කිරීමෙන් පසුව, අප සියල්ලන්වම නැවතත් කඳවුරු කරා යවනු ලැබුවා.”
මෙම අද්දැකීම් අපගේ සහෝදරයන්ගේ ජ්වලිතය නිවා දැමුවේ නැත. මීට පටහැනිව, ෆ්‍රාන්සිස්කෝ සහ ඔහුගේ පවුලේ අය, කඳවුර තුළ සිටින ඔවුන්ගේ සහෝදරයන් දහස් ගණනක් සමඟ, මොසැම්බික්හි නිදහස් තත්වයන් යටතේ දැන් නමස්කාර කරති, දේශනා කරති.