ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 4/15 2-6 පි.
  • ආගමික සත්‍යය සොයාගත හැකිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආගමික සත්‍යය සොයාගත හැකිද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දර්ශනවාදය සහ සත්‍යය
  • සත්‍යය පිළිබඳ හෙළිදරව්වක් අවශ්‍යද?
  • ආගම සහ සත්‍යය
  • ‘තිරිඟු සහ කිරිඳි’
  • ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ ආත්මයෙන් සහ සත්‍යතාවෙන්ය
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍යය සෙවිය යුත්තේ මන්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍යතාවේ දෙවිව අනුකරණය කිරීම
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘සත්‍යය ඔබව නිදහස් කරන්නේය’
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 4/15 2-6 පි.

ආගමික සත්‍යය සොයාගත හැකිද?

ස්වීඩනයේ සරසවියක් තිබෙන උප්සාලා නගරයේ, ආත්මික දේවල් පිළිබඳව කුතුහලයෙන් සිටි එක්තරා තැනැත්තෙක්, තම නගරයේ විවිධ ආගම්වල විශ්වාසයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට තීරණය කළ අතර, එම නමස්කාර ස්ථාන බැහැදැකීමට පවා ගියේය. ඒවායේ පූජකයන් දේශනා කළ විට ඊට සවන් දී සිටි ඔහු, ඔවුන්ගෙන් ඇතැම් සාමාජිකයන්ව සම්මුඛ සාකච්ඡාවලට භාජන කළේය. තමන් “සත්‍යය සොයාගෙන” තිබූ බව ඒත්තුගෙන සිටි බවක් පෙනෙන්ට තිබුණේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් තුළ පමණක් බව ඔහු සටහන් කළේය. පවතින විවිධ ආගමික මතයන් සැලකිල්ලට ගත් හේ, සාක්ෂිකරුවන් එවැනි දෙයක් කියා සිටින්නේ කෙසේදැයි කල්පනා කළේය.

ආගම සම්බන්ධව සත්‍යය සොයාගැනීමට හැකි වේදැයි ඔහු පෞද්ගලිකව සිතන්නෙහිද? පරම සත්‍යය යනුවෙන් හැඳින්විය හැකි දේ නිර්ණය කිරීමට පවා හැකි වනු ඇත්ද?

දර්ශනවාදය සහ සත්‍යය

දර්ශනවාදය අධ්‍යයනය කර ඇති අය ගොඩනඟා තිබෙන දෘෂ්ටිය නම්, පරම සත්‍යය යන්න මිනිස්වර්ගයාට සොයාගත නොහැකි බවය. දර්ශනවාදය යන්න, “පැවැත්මේ සහ ජීවිතයේ මූලාරම්භය පැහැදිලි කිරීමට උත්සාහ කරන විද්‍යාව” ලෙස නිර්වචනය කර තිබෙන බව ඔබ දන්නවා විය හැක. එහෙත්, සැබෑ කාරණය නම්, එය එතරම් දුරකට නොයෑමයි. ෆිලෝසොෆින්ස් හිස්ටොරියා (දර්ශනවාදයේ ඉතිහාසය) යන පොතෙහි, ස්වීඩන් ජාතික කතුවරයෙකු වන ආල් බර්ග් මෙසේ ලීවේය: “දර්ශනවාදි ප්‍රශ්න බොහොමයක ස්වභාවය කොතරම්ද කිවහොත්, ඒවාට නියත පිළිතුරක් දීමට නොහැක. . . . [මූලික ප්‍රතිපත්තිවලට සම්බන්ධිත] පාරභෞතික ගැටලු සියල්ලම . . . මෙම වර්ගයට ඇතුළත් බව බොහෝදෙනෙකුගේ මතයයි.”

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ජීවිතයේ අතිවැදගත් ප්‍රශ්නවලට දර්ශනවාදය තුළින් පිළිතුරු ලබාගැනීමට ප්‍රයත්න දරා ඇති අය බොහෝවිට නොසෑහීමට හෝ කලකිරීමට පත්ව සිටිති. ටාන්කලින්යර් ඕක් ටෘස්ෆෝමර් (සිතිවිලි රටාව සහ ආගමික විශ්වාසය) යන තම පොතේ, ස්වීඩන් ජාතික කතුවරයෙකු වන ගන්නැර් ආස්පලින් මෙසේ පැවසීය: “ස්වභාවධර්මය යන දෙය, සමනලයෙකු සහ මදුරුවෙකු කෙරෙහි දක්වන සැලකිල්ලට වඩා සැලකිල්ලක්, මිනිස් සංහතිය කෙරෙහි නොදක්වන බව අප දකින එක් දෙයකි. . . . අභ්‍යවකාශයේ සහ අපේ අභ්‍යන්තර ලෝකයේ රඟ දෙන එම බලවේගයන් හමුවේ අප බලරහිතය, මුළුමනින්ම බලරහිතය. මිනිසා ප්‍රගතිය කෙරෙහි සහ වඩාත් හොඳ අනාගතයක් ගැන විශ්වාසය තබා ඇති සියවසක අවසානයේ ලියවී ඇති පොත් පත්වල බොහෝවිට දිස්වන දෘෂ්ටිය මෙයයි.”

සත්‍යය පිළිබඳ හෙළිදරව්වක් අවශ්‍යද?

ජීවිතය පිළිබඳ සත්‍යය සොයාගැනීමෙහිලා මිනිස් ප්‍රයත්න තනිව ගත් කල, අසාර්ථක වී තිබෙන බව ප්‍රත්‍යක්ෂ වන අතර, එසේ කිසිවිටකත් සිදු නොවන බව පෙනෙන්ට ඇත. එසේනම්, යම් ආකාරයක දිව්‍යමය හෙළිදරව් කිරීමක් අවශ්‍ය බව නිගමනය කිරීමට හොඳ හේතු තිබේ. ස්වභාවධර්මයේ පොත යනුවෙන් බොහෝදෙනෙකු හඳුන්වන දෙය යම් හෙළිදරව්වක් කරයි. එමගින් ජීවිතයේ මූලාරම්භය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු නොදුන්නත්, ජීවිතය ගැන මුළුමනින්ම ද්‍රව්‍යමය පැත්තෙන් පැහැදිලි කරනවාට වඩා, සෑහීමකට පත් කරවන වැඩි යමක් තිබෙන බව එය ඇත්තටම පෙන්වයි. ඉහළට වැඩෙන තණකොළ බිස්සක් පාලනය කරන නීති, පර්වත ගරා වැටීමට දායක වන නීතිවලට වඩා වෙනස්ය. ස්වභාවධර්මයේ ඇති ජීවමාන දේවල්, ගොඩනැගී වර්ධනය වන්නේ මියගිය දේවල් නොකරන ආකාරයකටය. නීතිය සහ ආගම පිළිබඳව එක් සැලකිය යුතු ශිෂ්‍යයෙකුට මෙසේ නිගමනය කිරීමට පදනමක් තිබිණි: “දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ [ගුණාංග, NW] වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම්ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය.”—රෝම 1:20, NW.

එහෙත්, මෙම ගොඩනැගීම සහ සංවිධානය කිරීම පිටුපස සිටින්නේ කවුදැයි සොයාගැනීම පිණිස, අපට තවදුරටත් හෙළිදරව්වක් අවශ්‍යය. එවැනි හෙළිදරව් කිරීමක් පවතින බව අප අපේක්ෂා නොකළ යුතුද? පොළොව මත ජීවිතය සඳහා වගකිව යුතු තැනැත්තා ස්වකීය මැවිලිවලට තමන්වම හෙළි කරන බවට අපේක්ෂා කිරීම සාධාරණ නොවනු ඇත්ද?

බයිබලය එවැනි එළිදරව්වක් කරන බව කියා සිටී. ඒ බව පිළිගැනීම සඳහා මෙම සඟරාව තුළින් අප බොහෝවිට හොඳ හේතු ඉදිරිපත් කර ඇති අතර, කල්පනා කරන බොහෝදෙනා එය පිළිගෙන ඇත. බයිබලය ලියූ මිනිසුන්, තමන් ලියූ දේ තමන්ගේම දෙයක් නොවන බවට පැහැදිලි ලෙස කියා සිටීමට දැඩි සේ උත්සුක වීම, සෑහෙන කැපීපෙනෙන කරුණකි. “ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක” වැනි ප්‍රකාශන බයිබලයේ අනාගතවක්තෲන් විසින් 300කට වඩා වැඩි වාර ගණනක් යොදාගෙන තිබෙනවා දක්නට තිබේ. (යෙසායා 37:33; යෙරෙමියා 2:2; නාහුම් 1:12) පොත් හෝ පුවත් ලිපි ලියන පුරුෂයන් හා ස්ත්‍රීන් සාමාන්‍යයෙන් තමන්ගේ කර්තව්‍යට අත්සන් තැබීමට මහත් උනන්දුවක් දක්වන බව ඔබ දන්නවා විය හැක. එහෙත්, බයිබලය ලියූ අය තමන්වම පසුබිමේ තබාගත්හ; ඇතැම් අවස්ථාවලදී බයිබලයේ එක්තරා කොටසක් ලීවේ කවුදැයි කියා නිගමනය කිරීම දුෂ්කරය.

බයිබලය තුළ ඔබ දකින විශේෂත්වයක් ඇති තවත් පැත්තක් නම්, එහි ඇති අභ්‍යන්තර එකඟතාවයි. බයිබලයේ පොත් 66, වසර 1600ක පමණ කාලයක් පුරා ලියා ඇති බවට සැලකීමේදී, මෙය ඇත්තටම කැපීපෙනෙනසුලුය. ඔබ මහජන පුස්තකාලයකට ගොස්, ශතවර්ෂ 16ක කාලයක් පුරා ලියවී ඇති ආගමික පොත් 66ක් තෝරාගත්තා යයි සිතන්න. දැන් ඔබ එම තනි පොත් හැටහය එක් බැඳි වෙළුමකට සකස් කරගත්තෙහිය. එම වෙළුමට එක් පොදු තේමාවක් සහ එකඟතාවෙන් යුත් පණිවුඩයක් තිබෙන බවට ඔබ විසින් අපේක්ෂා කරනු ඇත්ද? කොහෙත්ම නැත. ඒ සඳහා ප්‍රාතිහාර්යයක් සිදුවීම අවශ්‍ය වනු ඇත. මේ ගැන සලකා බලන්න: බයිබලයේ පොත්වලට ඇත්තටම එවැනි පොදු තේමාවක් තිබේ, එමෙන්ම ඒවා ඇත්තටම එකිනෙක තහවුරු කරයි. මින් නිරූපනය වනුයේ, බයිබල් ලේඛකයන් වාර්තා කළ දේ මෙහෙයවීමට එක් අතිදක්ෂයෙකු හෙවත් කර්තෘවරයෙකු සිටිය යුතු බවය.

කෙසේවෙතත්, වෙන කිසිවකට වඩා බයිබලයේ දිව්‍යමය මූලාරම්භය ගැන තහවුරු සපයන විශේෂ අංගයක් ඔබට හමුවෙනවා ඇත. එයනම්, අනාවැකිය—එනම්, අනාගතයේදී නියත වශයෙන්ම සිදුවන දෙය ගැන කලින් ලියා තිබෙන තොරතුරුය. “මතු දවස්වලදී” සහ “ඒ දවසෙහි” යන ප්‍රකාශන බයිබලයට අද්විතීයය. (යෙසායා 2:2; 11:10, 11; 23:15; එසකියෙල් 38:18; හොෂෙයා 2:21-23; සෙකරියා 13:2-4) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොව මත ඉපදීමට පෙර, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල අනාවැකි උන්වහන්සේගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා විස්තර සැපයීය. බයිබලය වනාහි ජීවිතය පිළිබඳව සත්‍යතාවේ උල්පත බවට මිසක වෙනත් කිසිදු සාධාරණ නිගමනයකට එළඹිය නොහැක. යේසුස්වහන්සේම මෙය සනාථ කළේ, “ඔබගේ වචනය සත්‍යතාවය” යයි තහවුරු කරමිනි.—යොහන් 17:17.

ආගම සහ සත්‍යය

බයිබලය කෙරෙහි විශ්වාස කරනවා යයි කියා සිටින බොහෝදෙනෙකු පවා කියා සිටින්නේ පරම සත්‍යය සොයාගත නොහැකි බවයි. එ.ජ. පූජක ජෝන් එස්. ස්පොං මෙසේ අදහස් පළ කළේය: “අප . . . අපට සත්‍යය තිබෙනවා යයි යන සිතිවිල්ල වෙනස් කළ යුතු අතර, අන්‍යයන් අපගේ දෘෂ්ටිකෝණයට පැමිණිය යුතුයි, එනම් පරම සත්‍යය අප සියල්ලන්ගේ ග්‍රහණයෙන් ඔබ්බට තිබෙන බව වටහාගත යුතුය.” එක් රෝමානු කතෝලික කතුවරයෙකු වන ක්‍රිස්ටෆර් ඩෙරික්, සත්‍යය සොයාගැනීම පිළිබඳ එවැනි නිෂේධාත්මක මතවලට එක් හේතුවක් මෙසේ ඉදිරිපත් කරයි: “ආගමික ‘සත්‍යය’ පිළිබඳ යම් සඳහනකින් අඟවන්නේ යමක් දන්නා බවට කෙසේ හෝ කියා සිටීමය . . . යම් අයෙකු යම් හෙයකින් වැරදි බව ඔබ අඟවන්නෙහිය; තවද එය කිසිසේත් පිළිගත හැකි දෙයක් නොවේ.”

කෙසේවෙතත්, ඔබ කල්පනා කරන පුද්ගලයෙකු හැටියට, මීට අදාළ යම් ප්‍රශ්න කිහිපයක් සැලකිල්ලට භාජන කිරීම හොඳය. සත්‍යය සොයාගත නොහැකි දෙයක් නම්, “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේ” යයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසුවේ මන්ද? එසේම, දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීම [සත්‍යය පිළිබඳ ඒකාන්ත දැනුම ලැබීම, NW]” බව යේසුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු පවසනු ඇත්තේ මන්ද? ඇදහිල්ල හා සම්බන්ධව ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ “සැබෑව” යන වචනය වාර සිය ගණනකට වඩා වැඩියෙන් සඳහන් වන්නේ මන්ද? එසේය, සත්‍යය සොයාගත නොහැකි යමක් නම්, එසේ සිදුවන්නේ මන්ද?—යොහන් 8:32; 1 තිමෝති 2:3, 4.

ඇත්තෙන්ම, සත්‍යය අත්කරගත හැකිවා පමණක් නොව, නමුත් අපගේ නමස්කාරය දෙවියන්වහන්සේ මගින් අනුමත කරනු ලැබීමට නම්, එය සෙවීමද අවශ්‍ය කරන බව යේසුස්වහන්සේ අපගේ අවධානයට යොමු කළසේක. එක් සමාරිතානු ස්ත්‍රියක්, නමස්කාරයේ සැබෑ ආකාරය කුමක්ද කියා—එනම්, එය යෙරුසලමේ යුදෙව්වන් විසින් පිළිපදිනු ලැබූ නමස්කාරයේ ආකාරය නැතහොත් ගෙරිසීම් කන්ද මත සමාරිතානුවන් විසින් පිළිපදිනු ලැබූ නමස්කාරයේ ආකාරයද කියා කල්පනා කර බැලූ විට, සත්‍යය යනු සොයාගත නොහැකි යමක් කියා යේසුස්වහන්සේ පිළිතුරු නොදුන්සේක. ඒ වෙනුවට උන්වහන්සේ මෙසේ පැවසූසේක: “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළයුතුය.”—යොහන් 4:23, 24.

‘බයිබලය විවිධ අන්දමින් අර්ථ කථනය කළ හැකියි, එමනිසා සත්‍යය කුමක්ද කියා යමෙකුට හරියටම ස්ථිර විය නොහැකිය’ කියා ඇතැම්හු කියා සිටිති. එහෙත්, ඇත්තටම බයිබලය ලියවී තිබෙන්නේ තේරුම්ගත නොහැකි එක්තරා නොපැහැදිලි ආකාරයකටද? යම් අනාවැකිමය හා සංකේතමය භාෂාව වටහාගැනීමට දුෂ්කර බව පිළිගත යුතුය. නිදසුනක් වශයෙන්, අනාවැකිමය භාෂාවෙන් පිරී තිබෙන දානියෙල්ගේ පොත, “අන්තිම කාලය” දක්වා මුළුමනින්ම තේරුම්ගනු නොලබන බව දෙවියන්වහන්සේ අනාගතවක්තෘ දානියෙල්ට පැවසූසේක. (දානියෙල් 12:9) එමෙන්ම යම් උපමා සහ සංකේත අර්ථ කථනය කළ යුතු බව පැහැදිලිය.

එහෙත්, මූලික ක්‍රිස්තියානි ඉගැන්වීම් සහ සත්‍යතාවෙන් යුතුව දෙවියන්වහන්සේට සේවය කිරීමට අත්‍යවශ්‍ය වන්නාවූ සදාචාරමය සාරධර්මයන් අතින් බයිබලය ඉතා නොවළහා පවසන බව පැහැදිලිය. එය එකිනෙකට පටහැනි අර්ථ කථනවලට කිසිදු ඉඩක් නොතබයි. එපීසවරුන්ට ලියන ලද ලිපියෙහි, ක්‍රිස්තියානි ඇදහිල්ල ‘එකක්’ බවට කතා කර ඇත්තේ, ඇදහිලි කිහිපයක් තිබිය නොහැකි බවට පෙන්වමිනි. (එපීස 4:4-6) සමහරවිට ඔබ මෙසේ කල්පනා කරනවා විය හැකිය, ‘බයිබලය බොහෝ විවිධාකාරවලින් අර්ථ කථනය කිරීම යුක්තිසහගත නොවේ නම්, මෙතරම් විවිධ “ක්‍රිස්තියානි” නිකායන් තිබෙන්නේ මන්ද?’ යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් මියගොස් ටික කලකට පසුව හා සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ල අත්හැර යෑම වර්ධනය වූ කාලය දෙස අපි ආපසු හැරී බලන්නෙමු නම්, අපි පිළිතුර සොයාගන්නෙමු.

‘තිරිඟු සහ කිරිඳි’

යේසුස්වහන්සේ, තිරිඟු සහ කිරිඳි පිළිබඳ සිය උපමාවේ මෙම ඇදහිල්ල අත්හැර යෑම ගැන පුරෝකථනය කළසේක. ‘තිරිඟුවලින්’ සත්‍ය ක්‍රිස්තියානීන්ව නියෝජනය කරන බවත්; ‘කිරිඳිවලින්’ බොරු හෙවත් ඇදහිල්ල අත්හැර ගිය ක්‍රිස්තියානීන්ව නියෝජනය කරන බවත්, යේසුස්වහන්සේම පැහැදිලි කළසේක. “මනුෂ්‍යයන් නිදාසිටියදී” ‘සතුරෙක්’ පැමිණ තිරිඟු කෙතේ කිරිඳි වපුරනු ඇතැයි යේසුස්වහන්සේ පැවසූසේක. මෙම වැපිරීම ආරම්භ වූයේ, ප්‍රේරිතවරුන් මරණය තුළ සැතපුණාට පසුවය. සැබෑ ක්‍රිස්තියානීන් මෙම බොරු ක්‍රිස්තියානීන් සමඟ එකට මිශ්‍රවීම “දේවල පිළිවෙළේ සමාප්තිය දක්වා [NW]” තිබෙන බව මෙම උපමාව පෙන්වයි. මෙසේ, සියවස් ගණනාවක් පුරා, සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීම දුෂ්කර වී ඇත, ඒ මන්දයත් හුදෙක් නාමික ක්‍රිස්තියානීන් විසින් ආගමික ක්ෂේත්‍රය ආණ්ඩු කර ඇති නිසාය. කෙසේවෙතත්, “දේවල පිළිවෙළේ සමාප්තියේදී [NW]” යම් වෙනසක් සිදුවනු ඇත. සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් බොරු ක්‍රිස්තියානීන්ව වෙන් කිරීමට “මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක.” මින් අදහස් කළේ, ප්‍රේරිතයන්ගේ කාලයේ තිබුණා වැනි තත්වයම තිබෙනු ඇති ක්‍රිස්තියානි සභාව හඳුනාගනු ලැබීමට පහසු වනු ඇතිබවයි.—මතෙව් 13:24-30, 36-43.

“මතු දවස්වලදී” සැබෑ නමස්කාරකයන්ගේ එවැනි යළි එක්රැස්කිරීමක් යෙසායා සහ මලාකී යන දෙදෙනාගේම අනාවැකිවල පුරෝකථනය වේ. යෙසායා මෙසේ කියයි: “මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය; බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: වරෙල්ලා, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය.” අපගේ කාලයේ යෙසායාගේ අනාවැකිය ඉටුවෙමින් තිබෙන බව කාරණා සම්බන්ධව පැහැදිලි ඇසකින් බලන විට පෙනීයයි.—යෙසායා 2:2, 3; මීකා 4:1-3.

එහෙත්, ක්‍රිස්තියානි සභාවේ වර්ධනය සිදුවන්නේ යම් මිනිස් ප්‍රයත්නයක් තුළින් නොවේ. එක්රැස්කිරීමේ වැඩක් කිරීම සඳහා ‘තම දේවදූතයන්ව එවන’ බව යේසුස්වහන්සේ පුරෝකථනය කළසේක. ඒ සඳහා ඉතා විශේෂ අරමුණක්ද උන්වහන්සේ ඇඟවූසේක: “එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය.” (මතෙව් 13:43) මින් පෙන්වන්නේ, ක්‍රිස්තියානි සභාව මගින් ඥානාලෝකය ලබා දෙන අධ්‍යාපනික වැඩක් ලෝක ව්‍යාප්තව කරනු ලබන බවයි.

අදදින රටවල් 232ක තමන් කරගෙන යන අධ්‍යාපනික වැඩය තුළ මෙම අනාවැකිවල ඉටුවීමක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දකිති. සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන්, හැසිරීමේ ප්‍රමිතීන් සහ සංවිධානය සමඟ බයිබලය සසඳා බැලීමේදී අගතිසහගත නොවූ පුද්ගලයන්ට පැහැදිලිව දැකගත හැකි වන්නේ, මේවා පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව සමඟ අනුකූල වන බවය. සාක්ෂිකරුවන් තමන්ගේ ඇදහිල්ල ගැන කතා කරන්නේ, එය “සත්‍යය” ලෙසටය, නමුත් පෞද්ගලික උසස්කමක යම් අහංකාර ගතියකින් නොවේ. ඒ වෙනුවට, ඔවුන් එසේ කරන්නේ, තමන් දේව වචනය වන බයිබලය ගැඹුරින් අධ්‍යයනය කර ඇති නිසා වන අතර, ආගම හරි ලෙස මැනිය හැකි එකම ප්‍රමිතිය ලෙස ඔවුහු එය අනුගමනය කරති.

මුල් ක්‍රිස්තියානීහු තම ඇදහිල්ල “සැබෑව” ලෙසට යොමු දැක්වූහ. (1 තිමෝති 3:15; 2 පේතෘස් 2:2; 2 යොහන් 1) ඔවුන්ට සත්‍යය වූ දෙය අදදින අපටද සත්‍යය විය යුතුය. බයිබලය අධ්‍යයනය කිරීමෙන් එය තමන්ටම ස්ථිර කරගන්නා ලෙස යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සෑම කෙනෙකුටම ආරාධනා කරති. ඔබ එසේ කිරීමෙන්, අන් ආගම් අභිබවා යන ආගමක් සොයාගැනීමෙන් පමණක් නොව, නමුත් සත්‍යය සොයාගැනීමෙන් ඇතිවන ප්‍රීතිය ඔබ අද්දකීවායි අපි බලාපොරොත්තු වෙමු!

[5වන පිටුවේ කොටුව]

සත්‍යයට පටහැනිව ඇතැම් දර්ශනවාද

යථානුභූතවාදය: ආගමික ස්වභාවයක්ගන්නා සියලුම අදහස් ඔප්පු කළ නොහැකි විකාර බවට සහ දර්ශනවාදයේ පරමාර්ථය නම් ඒකාන්ත විද්‍යාවන් එකක් බවට එක්සත් කිරීමට වූ දෘෂ්ටිය.

අස්තිත්වවාදය: මේ වෙනුවෙන් කතා කරන අය දෙවන ලෝක යුද්ධයේ භීතීන්ගෙන් බෙහෙවින් බලපෑම් ලැබ සිටි අතර, එබැවින් ජීවිතය ගැන අශුභවාදී මතයක් ඇතිව සිටිති. මරණයේ හා ජීවිතයේ හිස්බව අභියස මිනිසාගේ සංවේගය පරීක්ෂා කිරීම ඉන් අවධාරණය කෙරේ. අස්තිත්වවාදී කර්තෘ ජාන්-පෝල් සාර්ට්‍ර පැවසුවේ, දෙවිකෙනෙකු නොමැති නිසා, මිනිසාව අතහැර දමා තිබෙන බවත්, සම්පූර්ණයෙන්ම උදාසීන වූ විශ්වයක පවතින බවත්ය.

සංශයවාදය: නිරීක්ෂණය හා තර්කයෙන් පැවැත්ම පිළිබඳ යම් නිශ්චිත, විශ්ව දැනුමක්—හෙවත් සත්‍යයක් උකහාගත නොහැකි බව කියා සිටී.

ප්‍රායෝගික ප්‍රතිඵලවාදය: මේ මගින් අපගේ විශ්වාසයන්හි සැබෑ වටිනාකම මුළුමනින්ම තක්සේරුවන්නේ, අධ්‍යාපනය, සදාචාරය සහ දේශපාලනය යළි සකස් කිරීම වැනි මිනිස් ඕනෑඑපාකම් මත ඒවායේ ප්‍රායෝගික අදාළත්වය මගිනි. සත්‍යය තුළ යම් වටිනාකමක් තිබෙනවා යයි එය නොසලකයි.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Page 3: Second from left: Courtesy of The British Museum; Right: Sung Kyun Kwan University, Seoul, Korea

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න