යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන්—ඉතිහාසයද නැතහොත් මිථ්‍යාවක්ද?
“රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක.”—මතෙව් 14:25.
ලොව වටා, මිලියන ගණනකට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්රාතිහාර්යය සිදු කළාය යන්න දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවා තරම් වැදගත් යමක් වෙයි. මතෙව්, මාර්ක්, ලූක් සහ යොහන් යන සුවිශේෂ ලේඛකයෝ හතරදෙනා යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන් 35ක් පමණ විස්තර කරති. කෙසේවෙතත්, ඔවුන්ගේ වාර්තාවලින් යෝජනා කෙරෙන්නේ, උන්වහන්සේ මීටත් වඩා ස්වභාවිකත්වය ඉක්ම වූ වික්‍රමයන් බොහෝ ගණනක් සිදු කළ බවයි.—මතෙව් 9:35; ලූක් 9:11.
මෙම ප්රාතිහාර්යයන් සිදු කරන ලද්දේ ජනයාව විනෝද කිරීමට නොවේ. ඒවා වනාහි, යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට, එනම් බොහෝ කලක් තිස්සේ බලා සිටි මෙසියස්වහන්සේ බවට, උන්වහන්සේ කියා සිටි දෙය තහවුරු කිරීමක් විය. (යොහන් 14:11) වහල්භාවයේ සිටි ඉශ්රායෙල් ජාතිය වෙතට තමාවම ඉදිරිපත් කළ අවස්ථාවේ, මෝසෙස් ප්රාතිහාර්යමය ලකුණු සිදු කර තිබුණේය. (නික්මයාම 4:1-9) එසේම, මෝසෙස්ට වඩා උතුමෙකැයි පුරෝකථනය කරනු ලැබූ, මෙසියස්වහන්සේද යම් දිව්‍යමය අනුබලයක් සහිත ලකුණු සිදු කරන බවට අපේක්ෂා කරනු ලැබීම තර්කානුකූලය. (ද්විතීය කථාව 18:15) මෙසේ, බයිබලය යේසුස්වහන්සේව අමතන්නේ, ‘[යුදෙව්වන්] අතරේ බලවත් ක්‍රියාවලින්ද පුදුමවලින්ද ලකුණුවලින්ද දෙවියන්වහන්සේ විසින් ඒත්තුගනු ලැබූ මනුෂ්‍යයා’ ලෙසය.—ක්‍රියා 2:22.
යේසුස්වහන්සේ ප්රාතිහාර්යය කරන්නෙකු වශයෙන් බයිබලය කරන විස්තරය, කිසිම ප්‍රශ්නයකින් තොරව ජනයා පසුගිය කාලවලදී පොදුවේ පිළිගත්තේය. එහෙත්, මෑත දශකවලදී, සුවිශේෂ වාර්තා, විවේචකයන්ගේ දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ. ලොයිඩ් ග්‍රෙහම්, ඩිසෙප්ෂන්ස් ඇන්ඩ් මිත්ස් ඔෆ් ද බයිබල් යන තම පොතේ, යේසුස්වහන්සේ ජලය මතුපිට ඇවිදීම පිළිබඳ බයිබලයේ වාර්තාවට යොමු දක්වමින් මෙසේ කියන්ට තරම් දුරදිග ගොස් ඇත: “මෙය පදගතාර්ථයෙන්ම විශ්වාස කිරීමට බෙහෙවින් නූගත් විය යුතුය, එහෙත්, මිලියන ගණනක් එසේ පදගතාර්ථයෙන්ම විශ්වාස කරති. අනතුරුව, මේ ලෝකයට කුමක් වැරදී ගොස් ඇත්දැයි අපි කල්පනා කරමු. එවැනි නූගත්කමකින් ඔබට කිනම් වඩාත් හොඳ ලෝකයක් අපේක්ෂා කළ හැකිද?”
සිදුවිය නොහැක්කක්ද?
කෙසේවෙතත්, එවැනි විවේචන අසාධාරණය. ප්රාතිහාර්යයක් යනු, “දන්නාවූ ස්වාභාවික නීති තුළින් පැහැදිලි කළ නොහැකි සිදුවීමකි” යයි ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා නිර්වචනය කරයි. එම නිර්වචනයට අනුව, වර්ණ රූපවාහිනියක්, සෙලියුලර් දුරකථනයක් හෝ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් මීට සියවසකට පමණ පෙරදී ප්රාතිහාර්යයක් ලෙස සලකනු ලබන්ට ඇත! යම් දෙයක්, අපගේ වත්මන් විද්‍යාත්මක දැනුමට අනුව පැහැදිලි කළ නොහැකි නිසාම එය සිදුවිය නොහැක්කක්ය කියා පැවසීම සාධාරණද?
සලකා බැලීමට තිබෙන තවත් කාරණයක්: “නව තෙස්තමේන්තුව” ලියවී ඇති ප්රාරම්භක ග්‍රීක් භාෂාවේ, “ප්රාතිහාර්යය” සඳහා යොදා ඇත්තේ ඩයිʹනා·මිස් යන වචනයයි,—එහි මූලික තේරුම “බලය” යන්නයි. එය, “බලවත් ක්‍රියා, [NW]” හෙවත් ‘පුළුවන්කම’ යනුවෙන්ද පරිවර්තනය කෙරේ. (ලූක් 6:19; 1 කොරින්ති 12:10; මතෙව් 25:15) යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යය වනාහි ‘දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ [මහානුභාවසම්පන්න බලයේ, NW]’ විදහාපෑමක් බවද බයිබලය කියා සිටී. (ලූක් 9:43) එවැනි ක්‍රියා, “ගතික ශක්තියේ බහුලත්වය[ක්]” ඇති සර්වබලධාරී දෙවියන්වහන්සේට කළ නොහැක්කක් වේද?—යෙසායා 40:26, NW.
විශ්වාසකටයුතුභාවය පිළිබඳ සාක්ෂි
සුවිශේෂ හතර ඉතා සමීප ලෙස සෝදිසි කර බැලූ විට, ඒවායේ විශ්වාසවන්තභාවය ගැන තවදුරටත් සාක්ෂි සොයාගත හැකිය. එක් දෙයක් නම්, මෙම වාර්තා, සුරංගනා කතා සහ ප්රබන්ධවලට වඩා බොහෝ වෙනස්ය. නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේගේ මරණින් පසු සියවස්වල උන්වහන්සේ ගැන පැතිරී ගිය බොරු කතා ගැන සලකාබලන්න. ද්විතීය සම්මත ග්‍රන්ථවල, “තෝමස්ගේ සුවිශේෂය” මෙසේ සඳහන් කරයි: “යේසුස් නමැති මෙම පිරිමි ළමයා, වයස අවුරුදු පහක් වූ විට, . . . උන්වහන්සේ ගම්මාන හරහා ගිය අතර, කොළු ගැටයෙක් දුවගෙන විත්, උන්වහන්සේගේ උරහිසේ හැප්පුණේය. යේසුස්වහන්සේ කුපිත වී මෙසේ පැවසූසේක: ‘ඔබට තවදුරටත් යන්න ලැබෙන්නේ නැහැ,’ ඒ සමඟම, ළමයා බිමට වැටී මිය ගියේය.” මෙම කතාන්තරය කුමක්ද කියා සිතාගැනීමට එතරම් අපහසු දෙයක් නොවේ—මෙය ගොතා අමුණන ලද ප්රබන්ධයකි. එපමණක්ද නොව, එම අත්තනෝමතික කුපිතවනසුලු ළමයා, බයිබලයේ සඳහන් වන යේසුස්වහන්සේට, කිසිම සාදෘශ්‍යයක් දක්වන්නේ නැත.—ලූක් 2:51, 52හි වෙනස සසඳන්න.
දැන් විශ්වාසකළහැකි සුවිශේෂ වාර්තා සලකා බලන්න. ඒවා අතිශයෝක්තීන්ගෙන් හා ප්‍රබන්ධ ඇඟවීම්වලින් තොරය. යේසුස්වහන්සේ ප්රාතිහාර්යය සිදු කළේ අව්‍යාජ අවශ්‍යතා සපුරාලීම පිණිස මිස, හුදෙක් හදිසියේ පහළ වූ හැඟීම් සන්තර්පණය කිරීම පිණිස නොවේ. (මාර්ක් 10:46-52) යේසුස්වහන්සේ කිසිවිටකත් තමාටම ප්‍රයෝජන ලබාගැනීමට තම බලයන් පාවිච්චි කළේ නැත. (මතෙව් 4:2-4) තවද අන්‍යයන්ගේ අවධානය අනිසි ලෙස ඇදගැනීම පිණිස උන්වහන්සේ කිසිම විටෙක තම බලයන් පාවිච්චි කළේ නැත. ඇත්තවශයෙන්ම, කුතුහලයෙන් පිරි හෙරොද් රජුට යේසුස්වහන්සේගෙන් ප්රාතිහාර්යය “ආශ්චර්යයක්” දැකීමට වුවමනා වූ විට, යේසුස්වහන්සේ, “කිසි උත්තරයක් ඔහුට නුදුන්සේක.”—ලූක් 23:8, 9.
යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන්, වෘත්තියමය විජ්ජාකාරයන්ගේ, මැජික්කාරයන්ගේ හා ඇදහිල්ලෙන් සුවකරන්නන්ගේ ක්‍රියාවලට වඩා හාත්පසින්ම වෙනස් විය. උන්වහන්සේගේ බලවත් ක්‍රියා සෑමවිටම දෙවියන්වහන්සේව ගෞරවයට පත් කළේය. (යොහන් 9:3; 11:1-4) උන්වහන්සේගේ ප්රාතිහාර්යයන්, හැඟීම්බර චාරිත්‍ර, මැජික් මන්තර, පුහු ප්‍රදර්ශන, මායාව සහ මෝහනය යනාදියෙන් තොර විය. බර්තිමේයුස් නම් අන්ධ සිඟන්නෙකු උන්වහන්සේට මුණගැසී, “රබ්බෝනි, පෙනීම ලබාගන්ට” යයි උන්වහන්සේට මොරගැසූ විට, “පලයන්න, නුඹේ ඇදහිල්ල නුඹට සුවකළේයයි ඔහුට කීසේක. එවේලේම ඔහු පෙනීම ලැ[බීය].”—මාර්ක් 10:46-52.
යේසුස්වහන්සේ සිය බලවත් ක්‍රියා කළේ, රංගන උපකරණ කිසිවක් නොමැතිව, විශේෂයෙන් සැලසුම් කරන ලද වේදිකාවක් නොමැතිව, රැවටීම සඳහා කරන ආලෝකයකින් තොරව බව සුවිශේෂ වාර්තා පෙන්වයි. ඒවා සිදු කරන ලද්දේ, බොහෝවිට ඇසින් දුටු සාක්ෂිකරුවන් ගණනාවක් ඉදිරිපිට ප්රසිද්ධියේය. (මාර්ක් 5:24-29; ලූක් 7:11-15) නවීන-දින ඇදහිල්ලෙන් සුවකරන්නන්ගේ ප්රයත්න මෙන් නොව, ඇදහිල්ල මඳ යයි සිතනු ලැබූ, අසනීපව සිටි ඇතැම් අයව සුව කිරීමට යේසුස්වහන්සේ ගත් ප්රයත්න කිසිවිටකත් අසාර්ථක වූයේ නැත. මතෙව් 8:16 මෙසේ පවසයි: උන්වහන්සේ “රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක.”
“මෙනි ඉන්ෆැලිබල් පෲෆ්ස්:” දි එවිඩන්සස් ඔෆ් ක්‍රිස්ටියැනිටි නම්වූ සිය පොතේ, විශාරද ආතර් පියර්සන්, ක්‍රිස්තුස්වහන්සේගේ ප්රාතිහාර්යය ගැන මෙසේ පවසයි: “උන්වහන්සේ ක්ෂණිකව සුවය ගෙනා ආකාරයත්, එමෙන්ම එහි ඇති පුර්ණභාවයත් ඒවායේ සංඛ්‍යාවත්, මළවුන්ව පවා නැගිටුවීමට ගත් ප්‍රයත්නවලදී ඉන් එකක්වත් අසාර්ථක නොවීමත්, ගැන සලකන කල, මෙම යුගයේ හා වෙනත් කවර යුගයකදී හෝ සිදුකළාවූ බොරු පුදුමසහගත ක්‍රියා අතරත් සහ මේවා අතරත් වෙනස අහසට පොළොව තරම්ය.”
බාහිර තහවුරු කිරීම්
සුවිශේෂ වාර්තාවලට අනුබල දෙන තවත් තර්කයක් පියර්සන් ඉදිරිපත් කරන්නේ, මෙසේ කියමිනි: “සතුරන්ගේ නිහඬතාව තරම් ශුද්ධ ලියවිල්ලේ ප්රාතිහාර්යය පිළිබඳ වඩාත් කැපී පෙනෙන සනාථ කිරීමක් නැත.” යේසුස්වහන්සේව අගෞරවයට පත් කිරීමට යුදෙව් නායකයන්හට දැඩි චේතනාවන් තිබිණි, නමුත්, උන්වහන්සේගේ ප්රාතිහාර්යය කොතරම් ප්‍රසිද්ධ වී තිබුණාද කිවහොත්, ඒවා සිදු නොවූ බව පැවසීමට තරම් ඔවුහු එඩිතර නොවූහ. ඔවුන්ට කිරීමට හැකි වූ එකම දෙය වූයේ, එම වික්‍රමයන්, භූත බලයන්ගෙන් කරන බවට කියා සිටීමයි. (මතෙව් 12:22-24) යේසුස්වහන්සේගේ මරණින් සියවස් ගණනාවකට පසුව, යුදෙව් ටල්මුඩ් ග්‍රන්ථයේ ලේඛකයෝ, යේසුස්වහන්සේට ප්රාතිහාර්යමය බලයන් තිබූ බව දිගටම පිළිගත්හ. ජුවිෂ් එක්ස්ප්රෙෂන්ස් ඔන් ජීසස් නම් පොතට අනුව, උන්වහන්සේ වනාහි, “මායාකාර පිළිවෙත් අනුගමනය කළ” අයෙකු ලෙස ඔවුහු උන්වහන්සේව ප්‍රතික්ෂේප කළෝය. යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන් නිකම්ම මිථ්‍යාවක් කියා බැහැර කිරීමට සුළු වශයෙන් හෝ හැකි වී තිබුණි නම්, එවැනි අදහස් දැක්වීමක් කරනු ඇත්ද?
තවදුරටත් සාක්ෂි පැමිණෙන්නේ, හතරවන-සියවසේ පල්ලි ඉතිහාසඥ යූසීබියස්ගෙනි. ද හිස්ට්‍රි ඔෆ් ද චර්ච් ෆ්‍රොම් ක්රයිස්ට් ටු කොන්ස්ටන්ටයින් නම් වූ තම පොතේ, ඔහු, ක්‍රිස්තියානි ධර්මය වෙනුවෙන් කතා කරමින් අධිරාජ්‍යයාට ලිපියක් යැවූ, එක්තරා ක්වාඩ්රේටස් නැමැත්තෙකු ගැන උපුටා දක්වයි. ක්වාඩ්රේටස් මෙසේ ලීවේය: “අපගේ ගැළවුම්කරුවාණන්ගේ ක්‍රියා සෑමවිටම දැකගත හැකිව තිබුණි, මන්දයත් ඒවා සැබෑ විය—සුවය ලැබූ පුද්ගලයන් මෙන්ම, මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ අය ඔවුන්ව සුව කරනු ලැබූ හෝ නැවත නැගිටුවනු ලැබූ අවස්ථාවේදී පමණක් නොව, නමුත් සෑමවිටම දැකගත හැකි විණි. තවද ගැළවුම්කරුවාණන් අප අතර සිටින විට පමණක් නොව, නමුත් උන්වහන්සේගේ ඇවෑමෙන් බොහෝ කලකට පසුවද ඔවුන්ව දැකගත හැකි විණි; ඇත්තවශයෙන්ම, ඔවුන්ගෙන් සමහරදෙනෙක් මගේ කාලය දක්වාම ජීවත්වූහ.” විශාරද විලියම් බාක්ලේ මෙසේ නිරීක්ෂණය කළේය: “ක්වාඩ්රේටස් පවසමින් සිටින්නේ, තමාගේම කාලය දක්වා, තමුන් කෙරෙහි ප්රාතිහාර්යයන් සිදු කරනු ලැබූ මිනිසුන් සාක්ෂි පිණිස ඉදිරිපත් කරනු ලැබිය හැකි බවය. එය අසත්‍යයක් වූවා නම්, එය බොරුවක් වශයෙන් රෝම ආණ්ඩුව විසින් ලේබල් ගැසීම තරම් වඩාත් පහසු දෙයක් නොතිබෙනු ඇත.”
යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යය කෙරෙහි විශ්වාස කිරීම සාධාරණය, යුක්තිසහගතය, එමෙන්ම සාක්ෂිවලට මුළුමනින්ම අනුකූලය. කෙසේවෙතත්, යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යය වනාහි නිකම්ම යටගිය ඉතිහාසය නොවේ. හෙබ්‍රෙව් 13:8 අපට මෙසේ සිහිගන්වයි: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය.” එසේය, උන්වහන්සේ අදදින ස්වර්ගයේ ජීවමානව වැඩසිටිනසේක, උන්වහන්සේ පොළොව මත මිනිසෙකු ලෙස ජීවත්වන විට කළාට වඩා උදාර ආකාරයකින් කිරීමට ප්රාතිහාර්යමය බලය යොදාගන්ට උන්වහන්සේට හැකියාව තිබේ. එපමණක්ද නොව, උන්වහන්සේගේ ප්රාතිහාර්යය පිළිබඳ සුවිශේෂ වාර්තා (1) අදදින ක්‍රිස්තියානීන්ට ප්‍රායෝගික පාඩම් උගන්වයි, (2) යේසුස්වහන්සේගේ පෞද්ගලිකත්වයේ මනබන්ධනීය පැති හෙළි කරයි, එමෙන්ම (3) නුදුරු අනාගතයේ මීටත් වඩා පුදුමාකාර සිද්ධීන් සිදුවෙන්ට යන කාලයකට අවධානය යොමු කරවයි.
මෙම කරුණු විග්රහ කිරීම සඳහා, ඊළඟ ලිපිය සුප්‍රකට බයිබල් වාර්තා තුනකට අවධානය යොමු කරවනවා ඇත.