යේසුස්වහන්සේට දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තිබුණා විය හැකිද?
ත්රිත්වවාදීන්ගේ උභතෝකෝටික ප්රශ්නය
“යේසුස්වහන්සේට ඇදහිල්ලක් තිබුණා විය හැක්කේ කෙසේද? උන්වහන්සේ දෙවියන්වහන්සේය; වෙනයම් කෙනෙකු වෙත හැරීමට සිදුවන්නේ නොමැතිව උන්වහන්සේ සියල්ල දන්නාසේක, සියල්ල දකිනසේක. දැන්, ඇදහිල්ල හරියටම, තව කෙනෙකු මත රඳා පවතින්නකි, එමෙන්ම නොපෙනෙන යමක් පිළිගැනීමකි; එමනිසා යේසුස් දෙවියන්වහන්සේට ඇදහිල්ල තිබුණාය යන්න මීට ඇතුළත් නොවේ.”
ප්‍රංශ දේවධර්මාචාර්ය ජාක් ගියෙට අනුව, එය කතෝලික ධර්මයේ ප්‍රධානතම මතයයි. මෙම පැහැදිලි කිරීම ඔබව පුදුමයට පත්කරනවාද? යේසුස්වහන්සේ වනාහි සෑම දෙයකදීම ක්‍රිස්තියානීන්හට ආදර්ශයක් වන බැවින්, උන්වහන්සේ ඇදහිල්ලේද ආකෘතියක් විය යුතු යයි ඔබ සිතා සිටියා විය හැකියි. ඔබ එසේ සිතුවා නම්, ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්ව මූල ධර්මය ඔබ සැලකිල්ලට නොගෙන තිබේ.
යේසුස්වහන්සේගේ ඇදහිල්ල පිළිබඳ ප්රශ්නය ඇත්තටම ත්‍රිත්වය “ක්‍රිස්තියානි ඇදහිල්ලේ සහ ජීවිතයේ මධ්‍යම අභිරහස” ලෙස විශ්වාස කරන කතෝලික රෙපරමාදු, සහ ඕර්තඩොක්ස් දේවධර්මාචාර්යවරුන්ට සංකීර්ණ ප්රහේලිකාවකි.a කෙසේ වෙතත්, සියල්ලන්ම යේසුස්වහන්සේගේ ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන්නේ නැත. ත්‍රිත්ව මූල ධර්මයට අනුව, එය “තේරුම් ගැනීමට දුෂ්කර පරස්පර විරෝධීතාවක්” බවට පිළිගත්තත්, ජාක් ගියෙ, “යේසුස්වහන්සේට ඇදහිල්ල තිබූ බව පිළිනොගැනීම කළ නොහැක්කකැයි” තහවුරු කරයි.
ප්‍රංශ ජාතික ජේසු නිකායික ජාන් ගලෝ සහ ඔහු මෙන් දේවධර්මාචාර්යන්ගෙන් බහුතරයක්, සවිස්තරාත්මක ලෙස කියා සිටින්නේ, “සැබෑ දෙවියන්වහන්සේ සහ සැබෑ මිනිසා . . . වන ක්‍රිස්තුස්වහන්සේට තමන් තුළම ඇදහිල්ල තබන්ට නොහැකිය” කියාය. “ඇදහිල්ලට අයත් වන්නේ, තමා කෙරෙහිම නොව, තවත් කෙනෙකු කෙරෙහි විශ්වාස කිරීමයි” යනුවෙන් වාරික ප්රකාශනයක් වන ලා චිවිල්ටා කාටොලිකා පවසයි. එසේ නම්, යේසුස්වහන්සේගේ ඇදහිල්ල පිළිගැනීමට තිබෙන බාධකය නම්, ත්‍රිත්ව මූල ධර්මයය, මන්ද, මෙම සංකල්ප දෙක පැහැදිලිවම පරස්පර විරෝධී වන නිසාය.
“සුවිශේෂය කිසිවිටකත් යේසුස්වහන්සේගේ ඇදහිල්ල ගැන කථා නොකරයි” යයි දේවධර්මාචාර්යවරු පවසති. ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල භාවිත කර ඇති පි·ස්ටෙව්ʹඔ (විශ්වාස කිරීම, ඇදහිල්ල ඇතුව සිටීම) සහ පිʹස්ටිස් (ඇදහිල්ල) යන යෙදුම් සාමාන්‍යයෙන් යොමු දක්වන්නේ, යේසුස්වහන්සේට සිය ස්වර්ගීය පියාණන්වහන්සේ කෙරෙහි තිබූ ඇදහිල්ලට වඩා, ගෝලයන් තුළ දෙවියන්වහන්සේ කෙරෙහි හෝ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ලටය. මේ අනුව, දෙවියන්වහන්සේගේ පුත්‍රයාට ඇදහිල්ල නොතිබූ බවට අප නිගමනය කළ යුතුද? උන්වහන්සේ කළ හා කී දෙයින් අපට තේරුම් ගත හැක්කේ කුමක්ද? ශුද්ධ ලියවිලි පවසන්නේ කුමක්ද?
ඇදහිල්ලෙන් තොර යාච්ඤා?
යේසුස්වහන්සේ වනාහි යාච්ඤාවේ මිනිසෙක් වූසේක. උන්වහන්සේ සෑම අවස්ථාවකදීම යාච්ඤා කළසේක—උන්වහන්සේ බව්තීස්ම වන විට (ලූක් 3:21); සිය ප්‍රේරිතයන් 12දෙනා තෝරා ගැනීමට පෙර මුළු රැයක් මුළුල්ලේ (ලූක් 6:12, 13); සහ පේතෘස්, යොහන් මෙන්ම යාකොබ් යන ප්‍රේරිතයන් සමඟ කන්ද උඩ ආශ්චර්යවත් ලෙස අන්‍යරූප විලාස වීමට පෙරය (ලූක් 9:28, 29). “අපටත් යාච්ඤා කරන්ට ඉගැන්නුව මැනව” කියා ගෝලයන්ගෙන් කෙනෙක් ඇසූ අවස්ථාවේ උන්වහන්සේ යාච්ඤා කරමින් සිටිසේක, එබැවින් උන්වහන්සේ ස්වාමීන්ගේ යාච්ඤාව (“පරමණ්ඩල යාච්ඤාව”) ඔවුන්ට ඉගැන්වූසේක. (ලූක් 11:1-4; මතෙව් 6:9-13) උන්වහන්සේ පාන්දර යාමයේ දිගු වේලාවක් තනිවම යාච්ඤා කළසේක (මාර්ක් 1:35-39); සිය ගෝලයන් පිටත් කර හැරියායින් පසු, සවස් යාමයේ කන්දක් උඩ යාච්ඤා කළසේක (මාර්ක් 6:45, 46); තම ගෝලයන් සමඟ සහ තම ගෝලයන් වෙනුවෙන් යාච්ඤා කළසේක. (ලූක් 22:32; යොහන් 17:1-26) එසේය, යාච්ඤාව වනාහි යේසුස්වහන්සේගේ ජීවිතයේ වැදගත් කොටස් වූයේය.
ප්රාතිහාර්ය කිරීමට පෙර උන්වහන්සේ යාච්ඤා කළසේක, නිදසුනක් වශයෙන්, සිය මිත්‍ර ලාසරුස් නැවත නැගිටුවීමට පෙර මෙසේ යාච්ඤා කළසේක: “පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා මම ඔබට ස්තුති කරමි. ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බවට අවට සිටින්නාවූ සමූහයා විශ්වාස කරන පිණිස ඔවුන් නිසාය.” (යොහන් 11:41, 42) සිය පියාණන් එම යාච්ඤාවට පිළිතුරු දෙනු ඇතැයි යන සහතිකය උන්වහන්සේගේ ඇදහිල්ලේ ශක්තිය අඟවයි. දෙවියන්වහන්සේට කළ යාච්ඤා සහ උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අතර ඇති සබඳතාව, ක්‍රිස්තුස්වහන්සේ සිය ගෝලයන්ට පැවසූ දෙයින් මොනවට පැහැදිලි වෙයි: “නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේ යයි අදහාපල්ලා, ඒවා නුඹලාට ලැබෙන්නේය.”—මාර්ක් 11:24.
යේසුස්වහන්සේට ඇදහිල්ල නොතිබුණා නම්, උන්වහන්සේ දෙවියන්වහන්සේට යාච්ඤා කළේ මන්ද? යේසුස්වහන්සේ වනාහි එකම වේලාවේදී මනුෂ්‍යයාද දෙවියන්වහන්සේද වූ බව කියන ත්‍රිත්වය නමැති ක්‍රිස්තියානි ලෝකයේ ශුද්ධ ලියවිලිමය නොවන ඉගැන්වීම, බයිබලයේ පණිවුඩය විකෘති කරයි. බයිබලයේ සරල බව සහ බලය තේරුම් ගැනීමෙන් එය ජනයාව වළක්වාලයි. යේසුස්වහන්සේ ආයාචනා කරමින් සිටියේ කාටද? තමාටද? තමා දෙවියන්වහන්සේ බව උන්වහන්සේ දැන ගෙන සිටියේ නැද්ද? තමා දෙවියන්වහන්සේ බව උන්වහන්සේ දැනගෙන සිටියා නම්, උන්වහන්සේ ඇයි යාච්ඤා කළේ?
සිය භූමික ජීවිතයේ අවසාන දවසේ යේසුස්වහන්සේ කළ යාච්ඤා, සිය ස්වර්ගික පියාණන් කෙරෙහි උන්වහන්සේ තුළ වූ ස්ථිරසාර ඇදහිල්ල ගැන වඩාත් ගැඹුරු තීක්ෂ්ණ බුද්ධියක් අපට ලබා දෙයි. බලාපොරොත්තුව සහ නිසැක අපේක්ෂාව විදහා පාමින්, උන්වහන්සේ මෙසේ ඉල්ලා සිටිසේක: “දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව.”—යොහන් 17:5.
තම වඩාත් දුෂ්කර පරීක්ෂා සහ මරණය ඉක්මනින් පැමිණෙන්ට යන බව දැන, එම රාත්‍රියේ ඔලීව කන්ද මත ගෙත්සෙමන උයනේදී, “උන්වහන්සේ, . . . ශෝකවෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක,” තවද “මැරෙන තරම් මාගේ ආත්මය [ප්‍රාණය, NW] ශෝක සහිත” යයි කීසේක. (මතෙව් 26:36-38) අනතුරුව දණගසා උන්වහන්සේ මෙසේ යාච්ඤා කළසේක: “පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා.” එවිට, “ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත් කළේය.” දෙවියන්වහන්සේ උන්වහන්සේගේ යාච්ඤාවට සවන් දුන්සේක. සිය චිත්තවේගයන්හි ඇති ප්‍රබල බව හා පරීක්ෂාවේ ඇති කඨෝර බව හේතුවෙන්, “උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.”—ලූක් 22:42-44.
යේසුස්වහන්සේගේ දුක් විඳීම්වලින්, ශක්තිමත් කරනු ලැබීමට උන්වහන්සේට තිබූ අවශ්‍යතාවෙන් සහ උන්වහන්සේගේ කන්නලව්වලින් ඇඟවෙන්නේ කුමක්ද? “එක් දෙයක් සහතිකය” යයි ලියන ජාක් ගියෙ නැමැත්තා මෙසේද කියයි: “යේසුස්වහන්සේ යාච්ඤා කළසේක, තවද යාච්ඤාව වනාහි උන්වහන්සේගේ ජීවිතයේ සහ උන්වහන්සේගේ ක්‍රියාවල අත්‍යවශ්‍ය අංගයක් වූයේය. මනුෂ්‍යයන් යාච්ඤා කරන්නාක් මෙන් උන්වහන්සේද යාච්ඤා කළසේක, තවද උන්වහන්සේ මනුෂ්‍යයන් වෙනුවෙන් යාච්ඤා කළසේක. අනෙක, මිනිසුන් ඇදහිල්ලකින් තොරව යාච්ඤා කිරීම සිතා ගත නොහැකි යමකි. යේසුස්වහන්සේ ඇදහිල්ලක් නොමැතිව යාච්ඤා කළා කියා සිතා ගත හැකිද?”
සිය මරණයට මොහොතකට පෙර වධ කණුවේ එල්ලී සිටින විට, දාවිත්ගේ ගීතිකාවක් උපුටා දක්වමින් යේසුස්වහන්සේ මහත් හඬකින් කෑගැසූසේක. අනතුරුව, ඇදහිල්ලෙන් යුතුව, මෙම අවසන් ආයාචනය මහත් හඬකින් ප්‍රකාශ කළසේක: “පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාර දෙමි.” (ලූක් 23:46; මතෙව් 27:46) එක් ඉතාලියානු අන්තර් නිකායික පරිවර්තනයක් වන, පාරෝලා ඩෙල් සින්යෝරෙ පවසන්නේ, යේසුස්වහන්සේ සිය පියාණන්ට ‘සිය ජීවිතය විශ්වාසයෙන් භාර දුන්’ බවය.
ජාක් ගියෙ මෙසේ තම අදහස් දක්වා සිටී: “ඉශ්රායෙල්හි ගීතිකා තුළින් සිය පියාණන්ට හඬ නැගූ, කුරුසියේ ඇණගසන ලද ක්‍රිස්තුස්වහන්සේව අපට පෙන්වීම මගින් සුවිශේෂ ලේඛකයන් අපට ඒත්තු ගන්වන්නේ, එම හඬ නැගීම, ඒක-ජාතක පුත්‍රයාගේ හඬක්ය, සම්පූර්ණ ශෝකයක හඬක්ය, මුළු නිසැකකමක හඬක්ය, ඇදහිල්ල සතු හඬක්ය, ඇදහිල්ලේ මරණයක හඬක්ය කියාය.”
මෙම පැහැදිලිවූ, ඇදහිල්ලේ චමත්කාරජනක සාක්ෂි හමුවේ සිටින ඇතැම් දේවධර්මාචාර්යවරු, ඇදහිල්ල සහ “නිසැකකම” අතර වෙනසක් ඇති කිරීමට උත්සාහ කරති. කෙසේ වෙතත්, එවැනි වෙනසක් ශුද්ධලියවිලි මත පදනම් නොවේ.
එහෙත්, උන්වහන්සේ විඳදරාගත් දැඩි පරීක්ෂාවලින් යේසුස්වහන්සේගේ ඇදහිල්ල පිළිබඳව හරියටම හෙළිකරන්නේ කුමක්ද?
“අපගේ ඇදහිල්ලේ පරිපූර්ණකයාණන්” පරිපූර්ණ වී
හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද සිය ලිපියේ හෙබ්‍රෙ 11වෙනි පරිච්ඡේදයේ, ප්රාග්-ක්‍රිස්තියානි යුගවල විසූ ඇදහිලිවන්ත පුරුෂයන්ගෙන් සහ ස්ත්‍රීන්ගෙන් සමන්විත මහත් සමූහයක් ගැන ප්‍රේරිත පාවුල් සඳහන් කරයි. ඇදහිල්ලේ ශ්‍රේෂ්ඨතම හා පරිපූර්ණ ආදර්ශයට යොමු දක්වමින් ඔහු අවසන් කරන්නේ මෙසේය: “ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ [පරිපූර්ණකයාණන්ද වූ, NW], යේසුස්වහන්සේ දෙසම [ඕනෑකමින්, NW] බල[මු]. . . . උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය [වධ කණුව, NW] දරා [ගත්සේක.] . . . නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනැන්වහන්සේ කල්පනාකර බලාපල්ලා [හොඳින් සැලකිල්ලට භාජන කරන්න, NW].”—හෙබ්‍රෙව් 12:1-3.
මෙම පදවල, “යේසුස්වහන්සේගේ පෞද්ගලික ඇදහිල්ල” ගැන කථා නොකරන බවත්, නමුත්, ඒ වෙනුවට, “ඇදහිල්ලේ මුලපුරන්නා හෝ ආරම්භකයා” ලෙස උන්වහන්සේගේ කාර්ය භාරය ගැන එහි කථා කරන බවත් දේවධර්මාචාර්යවරුන්ගෙන් බහුතරයක් කියා සිටිති. මෙම වගන්තියේ දකින්ට ඇති ටෙ·ලෙයි·ඔ·ටෙස් යන ග්‍රීක් යෙදුම, යම් දෙයක් පරිපූර්ණ කරන, ඉටු කරගන්නාවූ හෝ සම්පූර්ණ කරන යමෙකුට යොමු දක්වයි. “පරිපූර්ණකයාණන්” වශයෙන්, යේසුස්වහන්සේ ඇදහිල්ල සම්පූර්ණ කළේ, උන්වහන්සේගේ පොළොවට පැමිණීම බයිබල් අනාවැකි ඉටු කළ අතර, මෙසේ, ඇදහිල්ල සඳහා වඩාත් ස්ථිර අත්තිවාරමක් ප්‍රතිෂ්ඨාපනය කළ බවට යන අර්ථයෙනි. එහෙත්, උන්වහන්සේට ඇදහිල්ල නොතිබූ බවක් මින් අදහස් කරනවාද?
පහළොස්වෙනි පිටුවේ ඇති කොටුවේ සඳහන්, හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියෙන් ගන්නා ලද ඡේදවලින් ඔබට දැකිය හැකි පරිදි, එම ඡේද මේ පිළිබඳව කිසිදු සැකයකට ඉඩ නොතබයි. යේසුස්වහන්සේ සිය දුක්විඳීම් සහ කීකරුවීම මගින් පරිපූර්ණ කරනු ලැබූසේක. එවිටමත් පරිපූර්ණ මිනිසෙකු වූ නමුදු, උන්වහන්සේගේ අද්දැකීම්වලින් සියලු දේවල, ඇදහිල්ල තුළ පවා, උන්වහන්සේව පරිපූර්ණ කරනු ලැබූ අතර, මේ මගින් සැබෑ ක්‍රිස්තියානීන්ගේ ගැළවීම සඳහා උත්තම පූජකයාණන් වශයෙන් මුළුමනින්ම සුදුසුකම් ලැබූ තත්ත්වයකට පත්වනසේක. උන්වහන්සේ, “බලවත් හැඬීමෙන් හා කඳුළින්” සිය පියාණන්ට ආයාචනා කළ අතර, උන්වහන්සේ දෙවියන්වහන්සේට, “විශ්වාසව” සිටිසේක, එමෙන්ම උන්වහන්සේට “දේව භය” තිබුණේය. (හෙබ්‍රෙව් 3:1, 2; 5:7-9) උන්වහන්සේ, “සියලු ආකාරයෙන්ම” හරියටම “අප වාගේ පරීක්ෂාකරනු ලැබූ” බව, එනම් තම ඇදහිල්ල නිසා ‘අනේකාකාර පරීක්ෂාවලට’ යටත් වන ඕනෑම ඇදහිලිවන්ත ක්‍රිස්තියානියෙකු මෙන් පරීක්ෂා කරනු ලැබූ බව හෙබ්‍රෙව් 4:15 පවසයි. (යාකොබ් 1:2, 3) යේසුස්වහන්සේ තම අනුගාමිකයන් මෙන් ඇදහිල්ල සම්බන්ධයෙන් පරීක්ෂා නොලැබ, ඔවුන් “වාගේ” පරීක්ෂා කරනු ලැබිය හැකියයි විශ්වාස කිරීම සාධාරණද?
කන්නලව්, කීකරුකම, දුක්විඳීම්, පරීක්ෂා, ඇදහිල්වන්තකම සහ දේව භය යේසුස්වහන්සේගේ සම්පූර්ණ ඇදහිල්ලට සාක්ෂි දරයි. උන්වහන්සේ “අපගේ ඇදහිල්ලේ පරිපූර්ණකයාණන්” බවට පත්වූයේ උන්වහන්සේගේම ඇදහිල්ල තුළ පරිපූර්ණ කරනු ලැබුවායින් පසුව බව ඒවායින් ඇඟවෙයි. ත්‍රිත්ව මූල ධර්මයෙන් කියාපාන ලෙස උන්වහන්සේ පුත්‍ර දෙවියන්වහන්සේ නොවූ බව මැනවින් පැහැදිලිය.—1 යොහන් 5:5.
උන්වහන්සේ දේව වචනය විශ්වාස කළේ නැද්ද?
මෙම ත්‍රිත්ව මූල ධර්මය දේවධර්මාචාර්යවරුන්ගේ සිතිවිලි කෙතරම් හැඩගස්වනවාද කිවහොත්, යේසුස්වහන්සේට “දේව වචනය සහ එහි පණිවුඩය විශ්වාස කළ නොහැකිය” යන අන්තවාදී දෘෂ්ටිය ඔවුහු පවත්වාගනිති, මන්ද, “දෙවියන්වහන්සේගේ වාක්‍යාණෝ ලෙස, උන්වහන්සේට හැක්කේ එම වචනය ප්‍රකාශ කිරීමට පමණි.”—දේව ධර්මීය මුද්‍රණ අවසරය ඇතුව, ආන්ජෙලෝ ආමාටෝ විසින් රචිත ජේසු එල් සිඤ්ඤෝරෙ.
එහෙත්, යේසුස්වහන්සේ විසින් දිගින් දිගටම ශුද්ධ ලියවිලිවලට යොමු දැක්වීමෙන් ඇත්තටම පෙන්වන්නේ කුමක්ද? උන්වහන්සේව පරීක්ෂා කරනු ලැබූ විට, උන්වහන්සේ තුන් වතාවක්ම ශුද්ධ ලියවිලිවලින් උපුටා දැක්වූසේක. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේට පමණක් නමස්කාර කළ බව උන්වහන්සේගේ තුන්වෙනි පිළිතුරෙන් සාතන්ට පවසනු ලැබිණි. (මතෙව් 4:4, 7, 10) අවස්ථා කිහිපයකදීම යේසුස්වහන්සේ, අනාවැකිවල ඉටු වීම කෙරෙහි තමන්ට ඇදහිල්ල තිබූ බව පෙන්වමින්, තමාටම අදාළ වූ එම අනාවැකි සඳහන් කළසේක. (මාර්ක් 14:21, 27; ලූක් 18:31-33; 22:37; සසඳන්න ලූක් 9:22; 24:44-46.) යේසුස්වහන්සේ සිය පියාණන්ගේ ආනුභාවය ලැබූ ශුද්ධ ලියවිලි දැන සිටි බවත්, උන්වහන්සේ ඇදහිල්ලෙන් යුතුව ඒවා පැවැත්වූ බවත්, සිය පරීක්ෂා, දුක්විඳීම්, මරණය සහ නැවත නැගිටීම පුරෝකථනය කළාවූ අනාවැකිවල ඉටු වීම කෙරෙහි උන්වහන්සේට දැඩි විශ්වාසයක් තිබූ බවත් මෙම පරීක්ෂණයෙන් අප නිගමනය කළ යුතුය.
යේසුස්වහන්සේ, අනුකරණය කළ යුතු ඇදහිල්ලේ ආකෘතියකි
සිය පියාණන්ට ඇති පක්ෂපාතභාවය පවත්වාගැනීම සඳහා සහ ‘ලෝකයෙන් ජය ගැනීම’ සඳහා අවසානය දක්වාම ඇදහිල්ලේ සටන, සටන් කිරීමට යේසුස්වහන්සේට සිදුවිණි. (යොහන් 16:33) ඇදහිල්ල නොමැතිව, එවැනි ජයග්‍රහණයක් අත්කර ගත නොහැක. (හෙබ්‍රෙව් 11:6; 1 යොහන් 5:4) එම ජයග්‍රාහී ඇදහිල්ල හේතුකොටගෙන, උන්වහන්සේ සිය ඇදහිලිවන්ත අනුගාමිකයන්ට ආදර්ශයක් වූසේක. සහතිකවම, උන්වහන්සේට සැබෑ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තිබිණි.
[පාදසටහන්වල]
a ත්‍රිත්ව ඉගැන්වීමේ පදනම් විරහිතභාවය ගැන වඩාත් පුළුල් ලෙස දැනගැනීමට, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත ෂුඩ් යූ බිලීව් ඉන් ද ට්‍රිනිටි? බලන්න.
[15වන පිටුවේ කොටුව]
පරිපූර්ණ කරනු ලැබූ, “පරිපූර්ණකයාණන්” වූ යේසුස්වහන්සේ
හෙබ්‍රෙව් 2:10: “යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනැන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ [පරිපූර්ණ, NW] කරන්ට යුතුවූයේය.”
හෙබ්‍රෙව් 2:17, 18: “සෙනගගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය. මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.”
හෙබ්‍රෙව් 3:2: “මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම මුන්වහන්සේද තමන්ව පත්කළ තැනැන්වහන්සේට විශ්වාසව සිටිසේක.”
හෙබ්‍රෙව් 4:15: “අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.”
හෙබ්‍රෙව් 5:7-10: “උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින්යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ, උන්වහන්සේ පුත්රයෙක්ව සිටි නුමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණ [පරිපූර්ණ, NW] කරනු ලැබ, . . . තමන්වහන්සේට කීකරුවෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවීමේ කර්තෘවූසේක.”