සරණාගතයෝ වුවත්, දෙවියන්වහන්සේට සේවය කිරීමට සතුටු වෙති
යුද්ධ, සාගත, විපත් සහ නොසන්සුන් බව. ඇතැම් අයට මේවා වනාහි හුදෙක් පුවත් පත්වල දකින සිරස් තල පමණයි. තවත් බොහෝ දෙනෙකුට මේවා තම එදිනෙදා ජීවිතයේ කොටසක්. ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සංගමයක්ව සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හොඳින් දන්නවා, ඕනෑම අවස්ථාවක, යුද්ධයක් හෝ විපත්තියක් පැන නඟින විට ඔවුන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වයේ කොටසක් ඉන් දුක් විඳින්ට ඉඩ ඇති බව. තවද, ජනයාට තමන්ගේ ජීවිත ගළවා ගැනීම සඳහා පලා යෑමට සිදුවන විට, අපගේ සහෝදරයන්ටත් එයම කරන්ට සිදුවෙනවා වෙන්ට පුළුවන්.
අප්‍රිකාවේ රටවල් ගණනාවක සිටින සාක්ෂිකරුවන්ටද වසර ගණනාවක් පුරා, එවැනි අද්දැකීම් විඳදරා ගැනීමට සිදුවී තිබෙනවා. තමන්ට රැගෙන යා හැකි මොනයම් දෙයක් හෝ රැගෙන වෙනත් ස්ථානයක රැකවරණ සෙවීමට ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිදුවී තිබෙනවා. ස්වල්ප දෙනෙකුට යම් ප්‍රවාහන ක්‍රමයක්, සමහරවිට බයිසිකලයක් තිබුණත්, බහුතරයකට තම ගමනාන්තයට ළඟා වීම සඳහා දවස් ගණනක්, සති ගණනක් පවා ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යෑමට සිදුවී තිබෙනවා.
එවන් එක් ගමනාන්තයක් නම්, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ ම්බෝකී නම් කුඩා නගරයයි. වසර ගණනාවක් පුරා, බාල මහලු ස්ත්‍රී පුරුෂයන් දහස් ගණනින් පැමිණ තිබෙනවා. ඔවුන් අතර, උනන්දුව දක්වන අය සමඟ ගොස් තිබූ අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ගණනාවක් සිටියා. ඇත්ත වශයෙන්ම, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ අගනුවර වන බන්ගුයිහි වොච්ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ සෙසු ක්‍රිස්තියානීන්, උපකාර සැපයීම සඳහා මෙම සරණාගතයන් හමුවීමට ඉතා උනන්දුවෙන් පසුවූවා. සැතපුම් 700ක් පමණ එපිටින් පිහිටි බන්ගුයිහි සාක්ෂිකරුවන් විසින් ඉතා ත්‍යාගශීලීව සපයන ලද මුදල්, ආහාර, ඇඳුම් සහ බෙහෙත් සමඟින් පස්වතාවක්ම එක් නියෝජිතයෙකුව යවනු ලැබුවා. මෙම ත්‍යාගශීලී උපකාර දුන් අය ආර්ථික වශයෙන් ඉතා පහත් මට්ටමක සිටියත්, තමන්ට කළ හැකි දේ කිරීමට ඔවුන් ඉතා සතුටු වුණා.
ම්බෝකී කරා යෑම
ශාඛා කාර්යාලයේ සහෝදරයන්ට වුවමනා වුණා, තවත් කළ හැක්කේ කුමක්ද කියාත් සරණාගතයන්ට ආත්මිකව උපකාර කළ හැක්කේ කෙසේද කියාත් සොයා බැලීමට. එමනිසා, මගේ භාර්යාවත් මමත් තවත් විශේෂ පුරෝගාමියෙකු වන සැන්ෆෝර්යැන් සහ ඔහුගේ භාර්යාවත් කැටුව සිවු-රෝද-ධාවන ලෑන්ඩ් කෲසර් රථයෙන් අපේ ගමන ආරම්භ කළා. සැන්ෆෝර්යැන් පාර හොඳින් දැන සිටියා, ඒ වගේම ඔහු ම්බෝකීහි සරණාගතයන්ගේ භාෂාවක් වන සාන්ඩේ භාෂාව කථා කරනවා. අපට එහි යෑමට දීර්ඝ දින හතරක් ගත වුණා.
අතිවිශාල බෙයොබැබ් ගස් තිබුණු අන්තිම සැතපුම් 250 අප ගමන් කළේ ඉතා අලංකාර වූ කඳුපල්ලම් සහිත හොඳින් පැතිර තිබූ පිටිසර ප්‍රදේශයක් ඔස්සේය. එහෙන් මෙහෙන් අපි කුඩා ගම්මාන කිහිපයක් පසු කළා. මෙම පාර දිගට, මගේ භාර්යාව හරියටම පාලම් 50ක් ගණන් කළා—මේවායින් බොහොමයක් ඉතා දුර්වල තත්ත්වයක තිබුණා, ඇතැම් ඒවා හරහා යෑමට බැරි තත්ත්වයක තිබුණා. අපි ඇතැම් පාලම් හරහා ලී දඬු හා ඉවත දමා තිබූ බාල්ක දමා ඒවා අලුත් වැඩියා කර, සිවු-රෝද-ධාවන රථයේ රෝද හතරම ක්‍රියාත්මක වීමට සලස්වා, යාච්ඤා කර, ඉතා පරෙස්සමින් ගමන යන්ට වුණා. ඒ අසල ඉතා කුඩා ගම්මානයක් තිබුණා නම්, තරුණ කොල්ලන් අපට උපකාර දීම සඳහා දුවගෙන එනවා. ඒ ඉතා සුළු මුදලකට. ඔවුන් සෑමවිටම පාලම ළඟ වැවී තිබුණු දැඩි තණකොල අතරිනුත් අසල තිබූ පඳුරුවලිනුත් ලී දඬු හා ලෑලි සොයාගැනීමට සමත් වීම දුටු අපි පුදුමයට පත් වුණා. ඒවා පාලමෙන් ඉවත් කර, (ඔවුන්ගේ පාරිභෝගිකයන් වන) ඉන් ගමන් කරන්නවුන්ට අවශ්‍ය විට දීමට ඒවා තබා ගෙන තිබෙනවාද කියාත් මේ නිසා අපට කල්පනා වුණා.
අවස්ථා තුනකදී, අපි මෙම තරුණයන්ගේ උපකාර ප්‍රතික්ෂේප කළා, ඊට හේතුව පාලම් හරහා යෑම අනතුරුදායක බව පෙනෙන්ට තිබූ නිසා. අපි පාරෙන් ඉවතට වාහනය දමා, පහළට කුඩා ගඟ තුළට පදවා, ගල් පර්වත උඩින් ගමන් කොට නැවත කන්ද උඩට ධාවනය කර පාරට ආවා. එය වියළි කාලයක් වීම ගැන අපි කොතරම් සතුටු වුණාද, නැත්නම් අපට වෙනත් විදිහකින් නම් ගමන යන්ට බැහැ, සමහරවිට හෙලිකොප්ටරයෙන් හැරුණුකොට!
ම්බෝකී නගරය කුමන ආකාරයේ එකක් වේවිද! මේ නිමාවක් නැති “පීස්ට්” හරහා ධාවනය කරන විට මෙය අපගේ මනසට නිතර ආ දෙයක්. “පීස්ට්” කියන්නේ, වැලි, ගල් හා කුඩා ගල් කෑලි මෙන්ම වළවල් දහස් ගණනක් තිබෙන මාවතකට හෝ අඩි පාරකට, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ භාවිත වන ප්‍රංශ වචනයකි.
හතර වැනි දවසේ, හරියටම දහවල් 12ට ටිකකට පසු, ගස්ලබු ගස් සහ මඤ්ඤොක්කා ගස්වලින් වටවී තිබූ තෘණ පැල්පත් කිහිපයක් සැන්ෆෝර්යැන් අපට පෙන්වූවා. “ව්වලා, මෙතැනින් තමයි ම්බෝකී පටන් ගන්නේ” කියා ඔහු කෑගැසුවා. අප දුටු දෙයින් අප තරමක් පුදුමයට පත් වුණා. “මේ ම්බෝකී? කඳවුර කොහේද?” අපි ඇසුවා, මන්ද, අපි දුටුවේ කඳවුරක් නොවේ, නිකම්ම විසිර තිබූ ගෙවල් කිහිපයක් විතරයි. ඒවා කුඩා නමුත් තණකොල වහලවලින් සමන්විත පිරිසිදු පුංචි පැල්පත්. ගස් සහ පඳුරුද සෑම තැනම තිබුණා. මිනිසුන් අස්වැන්න දෙන ගස් කොලන් වවන්නේ තමන්ගේ නිවසට යාබදවයි. ම්බෝකී වනාහි දැකීමට අප අපේක්ෂා කළ ආකාරයේ කඳවුරක් නොවේ; එය වනාහි සැතපුම් 22ක් පමණ දිග විශාල ගම්මානයක්.
සහෝදරයන්ව හමුවීම
ම්බෝකීහි සහෝදරයන් දැන ගෙන සිටියා අපි පැමිණෙන බව, ඒ වුණත් ඔවුන් සිතා සිටියේ අපගේ ගමනට දවස් පහක් ගත වන බවයි. ඔවුන්ට අපගේ රථයේ හඬ ඇසෙනවාත් සමඟම, ඔවුන් ඒ කරා දුව ගෙන ආවා. පුරුෂ, ස්ත්‍රී සහ දරුවන් තමන්ගේ පැල්පත්වල හා මිදුල්වල සිටත් තමන්ගේ කෙත්වල සිටත් අපට ආචාර කිරීමට දුව ගෙන ආවා. සෑම කෙනෙක්ම, මඳහස පාමින්, සිනාසෙමින් හැකි නම් කිහිප වතාවක්ම අතට අත දෙමින් සිටියා. ඔවුන් තම දරුවන්ව වඩා ගෙන සිටිමින් අත් දිගු කොට අපව පිළිගත්තා. අපට ආයුබෝවන් කියා පිළිගන්නට සියල්ලන්ටම වුවමනා වුණා, ඒ වගේම ඔවුන් ඉතා හෘදයාංගයෙන්ම අපව සාදරයෙන් පිළිගත්තා.
භාෂා බාධකය නිසා මටත් මගේ භාර්යාවටත් ඒ මොහොතේ එතරම් දේවල් කරන්ට වුණේ නැහැ. අපි ප්‍රංශ බසින් ටිකක්, සාන්ගො බසින් ටිකක්, ඉංග්‍රීසි බසින් ටිකක්, හා අරාබි බසින් ටිකක් වශයෙන් කථා කිරීමට උත්සාහ ගත්තා. අපගේ සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක්, සාන්ඩේ බස කථා කරනවා, කියවනවා, ලියනවා. අපගේ චාරිකාවේ වැඩසටහන පැහැදිලි කරමින්, පරිවර්තනය කිරීමට සැන්ෆෝර්යැන්ට සිදුවුණා.
අප තවත් සැතපුම් කිහිපයක් ගමන් කොට රාජ්‍යය ශාලාවට ළඟා වුණා. ම්බෝකීහි යම් ආගමක සරණාගතයන් විසින් සාදන ලද පළමු “පල්ලිය” වූයේ එයයි. තවත් සහෝදරයන් හා ඔවුන්ගේ දරුවන් මෙන්ම උනන්දුව දැක්වූ අයද අතට අත දීමට පැමිණුණා. අසල්වැසි දරුවන් බොහොමයක් පවා අපට අතට අත දීමට සහෝදරයන් සමඟ පැමිණියා.
අපගේ සහෝදරයන්, ඔවුන්ගේ අමුත්තන් වන අපට කුඩා නිවාස දෙකක් සූදානම් කර තිබුණා. ඒවා ඉතා පිරිසිදුව තිබුණා. පිරිසිදු වතුර බාල්දි කිහිපයක් අප වෙනුවෙන් සූදානම් කර තබා තිබුණා. ආහාර හා වතුර හිඟයක් ඇතැයි සිතා සහ අපගේ සහෝදරයන්ට බරක් නොවීමට සිතා ගෙන අපි, අප සඳහා ආහාර හා බොන වතුර රැගෙනැවිත් තිබුණා. අප වාහනයෙන් අපගේ දේවල් බාන විට, කුඩා දැරියක් පැමිණ, අප සඳහා කුකුල් මස් පිළියෙළ කළ යුත්තේ කෙසේද කියා, එනම් බැදලාද නැතහොත් ව්‍යංජනයක් ලෙස උයලාද කියා අපෙන් ඇසුවා. අප කිසිවිටෙකත් එවන් ආහාරයක් අපේක්ෂා කළේ නැහැ, එය සමඟ කෑමට ඔවුන් විසින් සැලසුම් කර තිබෙන්නේ කුමක්දැයි අපි ඇසුවා. පිළිතුර වූයේ මඤ්ඤොක්කා. එමනිසා කුකුල්මස් ව්‍යංජනයක් ලෙසට කෑමට අපි කැමති වුණා. එදා රාත්‍රියේ අපේ තද බඩගින්න හොඳින් නිවුණා. එහෙත්, ඔවුන් සෑම දවසකම දහවල් සහ රාත්‍රියේ අපව පෝෂණය කරමින් සිටියා. අපට එය විශ්වාස කරන්ටත් අමාරුයි—එනම්, තමන්ට එතරම් නොතිබුණත්, සරණාගතයන් අපව පෝෂණය කරමින් අපව රැකබලා ගනිමින් සිටියා.
ප්‍රීතිමත් පුංචි සභාවක්
අපි මෙහි සිටියේ, එතරම් ඈත නමුත් අපගේ සහෝදරයන් 21ක් මැදයි. මෙහි පැමිණි අයගෙන් දෙදෙනෙක් පමණක් බව්තීස්ම වී සිටියා. අනෙක් අය මෙහි පැමිණි විට උනන්දුව දක්වමින් සිටි අය. ඔවුන් දිගටම පාඩම් කර පසුගිය වසර දෙක තුළ බව්තීස්මය ලැබුවා. අපගේ චාරිකාව අතරේදී තවත් හතර දෙනෙක් අසල ගඟේ බව්තීස්ම ලැබුවා.
එක් කැපී පෙනෙන ආදර්ශයක් වූයේ ෆැඋස්ටිනෝ. ම්බෝකී කරා පැමිණීමට පෙර, ඔහු මූලික බයිබල් සත්‍යයන් ඉගෙන ගෙන තිබුණේ ඔහුගේ මිතුරෙකුගෙන්. තමන් ඉගෙන ගනිමින් සිටි දේවල් ෆැඋස්ටිනෝ අගය කළා. වැඩි කල් යන්ට මත්තෙන්, ඔහු සහ ඔහුගේ මිතුරා අන්‍යයන්ට දේශනා කිරීමට පටන් ගත්තා, නමුත් ඔවුන්ට විරුද්ධවාදිකම් පැමිණි බැවින්, තමන්ගේ ආගම සමඟින්, “ජනයාව කැළඹීම” හේතුවෙන් ඔවුන්ව සිරගත කරනු ලැබුවා. සිරගෙයි සිටින විට, ෆැඋස්ටිනෝගේ මිතුරා භය නිසා ඇදහිල්ල අත්හැරියෙන් ඔහුව නිදහස් කෙරුණා. මාස දෙකකට පසු ෆැඋස්ටිනෝව අධිකරණය වෙතට නඩු විභාගය සඳහා ගෙනෙනු ලැබුවා. කෙසේ වෙතත්, ඔහුට එරෙහිව ඉදිරිපත් වුණු චෝදනා පදනම් විරහිත බව පැහැදිලි වූයෙන්, ඔහුව නිදහස් කෙරුණා. ෆැඋස්ටිනෝගේ ප්‍රදේශයට යුද්ධය පැමිණි විට, ඔහු මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට පලා ගිය අතර, එහිදී ඔහුට සහෝදරයන් හමුවී, ඔහු ඔහුගේ බයිබල් පාඩම නැවත ආරම්භ කළා. ඔහු 1991 ජූලි මාසයේදී බව්තීස්ම වුණා, එමෙන්ම 1992දී, ඔහු ස්ථාවර පුරෝගාමියෙකු වශයෙන් පූර්ණ-කාලීන දේව සේවය පටන් ගත්තා.
ම්බෝකීහි තිබෙන ප්‍රීතිමත් පුංචි සභාවට දැන් එක් විශේෂ පුරෝගාමියෙකු සහ ප්‍රචාරකයන් 21දෙනෙක් සිටිනවා. ඉංග්‍රීසි කථා කරන සහෝදරයන් දෙදෙනෙක් වැඩිමහල්ලන් ලෙස සේවය කරන අතර, බන්ගුයිහි ශාඛා කාර්යාලය සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. අප සිතුවේ අපගේ සරණාගත සහෝදරයන් ඉතාමත් භයංකර අසරණ තත්ත්වයක සිටිනවා කියායි, නමුත් තත්ත්වය එසේ වූවා නොවේ. ද්‍රව්‍යමය අතින් දිළිඳුව සිටියත්, කිසිම කෙනෙක්, මැසිවිලි නැඟුවේවත්, කනගාටුවෙන් සිටියේවත්, කෙඳිරි ගාමින් සිටියේවත් නැහැ. සහෝදරයන් මෙහි ආ දා පටන්, ඔවුන් තමන්ගේම පැල්පත් හා නිවාස සාදාගෙන ආහාර වගා කිරීමටත් කුකුළන් ඇති කිරීමටත් පටන් ගෙන තිබෙනවා. ඔවුන්ට තිබෙන්නේ, ඔවුන්ට කලින් තිබුණාට වඩා අඩුවෙන්, නමුත් ඔවුන් ජීවත් වෙනවා, ඔවුන් තම සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඉන්නවා.
ම්බෝකීහි සරණාගතයන් 17,000ක් සහ 20,000ක් අතර සංඛ්‍යාවක් සිටින නිසාත්, සෑම මසකම තවත් පැමිණෙන නිසාත්, අපගේ සහෝදරයන්ට ඔවුන්ගේ දේව සේවය සඳහා විශාල ක්ෂේත්රයක් තිබෙනවා. අප ඔවුන් සමඟ දේශනා සේවයේ ගියා, ඇත්තෙන්ම එය ඉතාමත් උනන්දුව දනවන දෙයක් වුණා. ඔවුන් බොහෝ විට භාවිත කරන්නේ සාන්ඩේ බසින් වූ බයිබලයයි, තවද මෙම පරිවර්තනයේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල හා ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි ස්ථාන කිහිපයක දෙවියන්වහන්සේගේ නාමය අඩංගු වෙනවා. මෙම ජනයාට, දෙවියන්වහන්සේ යනු නිකම්ම “ම්බෝලී” (සාන්ඩේ බසින් “දෙවියන්වහන්සේ”) නොවේ, නමුත් “යෙකෝවා” වෙයි, මෙය ඔවුන් දෙවියන්වහන්සේගේ පෞද්ගලික නාමය උච්චාරණය කරන ආකාරයයි. “ම්බෝලී යෙකෝවා” යනු පොදු ප්‍රකාශයක්. වෙනත් බොහෝ අප්‍රිකානු භාෂාවලින් වූ රෙපරමාදු පරිවර්තනවල මෙම නිවැරදි පරිවර්තනය නැහැ; ඒ වෙනුවට ඔවුන් “යෙහෝවඃ” යන්න “න්සාපා,” “න්සාම්බේ” යන නම් හෝ දෙවියන්වහන්සේ සඳහා වෙනත් අප්‍රිකානු නම් ඒ වෙනුවට යොදා තිබෙනවා.
යේසුස්වහන්සේගේ අනාවැකිය සැබෑවක් කරමින්, රාජ්‍යය ශුභාරංචිය දැන් ම්බෝකී ඇතුළුව, ලෝකය පුරා, දේශනා කරනු ලබමින් තිබෙනවා. (මතෙව් 24:14) මෙම සභාව දැන් ඔවුන්ට අවශ්‍ය සියලු භාෂාවලින්, බයිබල්, පොත්, සඟරා, පොත් පිංච සහ පත්‍රිකාවලින් හොඳින් සමන්විතයි. සමහරවිට අනාගතයේදී, සාන්ඩේ භාෂාවෙන් තවත් ප්‍රකාශන ලබා ගත හැකි වේවි.
ස්ථිර නිවසක් බලා සිටිමින්
පළමු සවස් යාමයේ, අපි “නැගෙනහිර යුරෝපයේ ප්‍රීතිමත් සමුළු නියෝජිතයෝ යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරති” යන සමිතියේ ස්ලයිඩ් දර්ශනයක් පෙන්නුවා. ඊළඟ රාත්රියේදී වැඩසටහන වූයේ, “අවසාන කාලයේදී බොහෝ දෙනෙකුව ධර්මිෂ්ඨකමට ගෙන ඒම” යන්නයි. මෙම ස්ලයිඩ් දර්ශන පෙන්නුවේ, පැහැදිලි අහසින් හා බැබළෙන හඳපානින් යුත්, රාජ්‍යය ශාලාවට යාබදව පිහිටි එළිමහනකයි. මොනතරම් ලස්සන වාතාවරණයක්ද! මෙම ස්ලයිඩ් දර්ශන නැරඹීමට සිය ගණනක් පැමිණ සිටි අතර, එම ජනකායට යම් විශේෂ දෙයක් පෙන්වීමට හැකි වීම ගැන ආඩම්බරයෙන් අපගේ සහෝදරයෝ සතුටට පත්වුණා.
සඳුදා උදා වූ විට, අප ආපසු ඒමට සූදානම් වුණා. එය අපි ආ පාරේම එම පාලම් 50ම පසු කරමින් තවත් දවස් හතරක ගමනක් වීමටයි තිබුණේ. එක් සහෝදරියක් බලෙන්ම වාගේ අපට ගමන සඳහා ආහාර පිළියෙළ කර දුන්නා—සුදුලූනු සමඟින් තෙම්පරාදු කළ බැදපු තවත් කුකුළන් දෙදෙනෙක්. එය අපගේ ලෑන්ඩ් කෲසර් රථය තුළ උදේ වරුවේ ප්‍රණීත සුවඳක් ගෙන ආවා. දිවා කාලයේදී, අපි අතරමඟ ගස්සෙවණක එම බැදපු කුකුල් මස් අනුභව කළේ, ම්බෝකීහි අපගේ සහෝදරයන් ගැන සිතමින්. සරණාගතයන් බවට පත්වීමට සිදුවුවත්, ඔවුන් දිගටම යෙහෝවඃවහන්සේට ඇදහිලිවන්තව සේවය කරමින් සිටින්නේ, දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වී ඇති නව පොළොවේ සාමකාමී ස්ථිර නිවසක් බලාපොරොත්තුවෙනුයි. (2 පේතෘස් 3:13)—සපයන ලදි.