දෙවියන්වහන්සේගේ රැළ ප්‍රේමයෙන් රැකබලා ගැනීම
“ඔබේ භාරයේ ඇති දෙවියන්වහන්සේගේ රැළ රැකබලා ගන්න”—1 පේතෘස් 5:2, NW.
1, 2. යෙහෝවඃවහන්සේගේ බලපවත්වන ගුණාංගය කුමක්ද, එමෙන්ම එම ගුණාංගය විදහා පෙන්වනුයේ කෙසේද?
ප්‍රේමය දෙවියන්වහන්සේගේ ප්රමුඛ ගුණාංගය බව, ශුද්ධ ලියවිලි පුරා පැහැදිලි කර ඇත. “දෙවියන්වහන්සේ ප්‍රේමය” යයි 1 යොහන් 4:8 පවසයි. උන්වහන්සේගේ ප්‍රේමය ක්‍රියාවෙන් ප්‍රකාශ කරනු ලබන බැවින්, දෙවියන්වහන්සේ “නුඹලා ගැන සලකන” බව 1 පේතෘස් 5:7 පවසයි. යෙහෝවඃවහන්සේ ස්වකීය ජනතාවට ප්‍රේමනීයව සලකන ආකාරය බයිබලයේ සමාන කර ඇත්තේ එඬේරෙකු ස්වකීය බැටළුවන්ට කරුණාවන්තව සලකන ආකාරයටයි: “බලව, [පරමාධිපති, NW] ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] . . . එඬේරෙකු මෙන් . . . තමන්ගේ[ම] රැළ පෝෂ්‍යකරනසේක. බැටළුපැවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් [පරෙස්සමින්, NW] ගෙනයනසේක.” (යෙසායා 40:10, 11) “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය” යයි පැවසීමට හැකිවීම ගැන දාවිත් කොතරම් සහනයක් ලබන්ට ඇද්ද!—ගීතාවලිය 23:1.
2 දෙවියන්වහන්සේගේ ප්‍රසාදයට ලක්වන අයව බයිබලය බැටළුවන්ට සමාන කිරීම යෝග්‍ය දෙයකි, මන්දයත් බැටළුවන් තමන්ව රැකබලා ගන්නා එඬේරුන් සමඟ සාමකාමීව, යටහත් පහත්ව, කීකරුව කටයුතු කරන නිසාය. ප්‍රේමනීය එඬේරෙකු හැටියට, යෙහෝවඃවහන්සේ ස්වකීය බැටළුවන් වැනි ජනතාව සඳහා ගැඹුරු සැලකිල්ලක් දක්වනසේක. ද්‍රව්‍යමය හා ආත්මික වශයෙන් ඔවුන් සඳහා සැපයීමෙන්ද, එසේම පැමිණෙන්නාවූ තමන්වහන්සේගේ ධර්මිෂ්ඨ නව ලෝකය කරා මෙම දුෂ්ට ලෝකයේ දුෂ්කරවූ “අන්තිම දවස්” තුළින් මඟ පෙන්වීමෙන්ද උන්වහන්සේ එය පෙන්වනසේක.—2 තිමෝති 3:1-5, 13; මතෙව් 6:31-34; 10:28-31; 2 පේතෘස් 3:13.
3. යෙහෝවඃවහන්සේ ස්වකීය බැටළුවන්ට සලකන ආකාරය ගීතිකාකරු විස්තර කළේ කෙසේද?
3 ස්වකීය බැටළුවන් සඳහාවූ යෙහෝවඃවහන්සේගේ මෙම ප්‍රේමනීය සැලකිල්ල සටහන් කර ගන්න: “ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ. . . . ධර්මිෂ්ඨයෝ [ඔවුහු, NW] මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] බිඳුණු සිත් [හදවත්, NW] ඇත්තන්ට ළංව සිටිනසේක, තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක. ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.” (ගීතාවලිය 34:15-19) බැටළුවන් වැනිවූ සිය ජනතාව සඳහා සර්වලෝක එඬේරාණන් සපයනුයේ කොතරම් මහත් සහනයක්ද!
මාහැඟි එඬේරාණන්ගේ ආදර්ශය
4. දෙවියන්වහන්සේගේ රැළ රැකබලා ගැනීමෙහිලා යේසුස්වහන්සේගේ කාර්ය භාරය කුමක්ද?
4 දේව පුත්‍රයාණන් වන, යේසුස්වහන්සේ, සිය පියාණන්ගෙන් හොඳින් ඉගෙන ගත්සේක, මන්දයත් බයිබලය යේසුස්වහන්සේව හඳුන්වනුයේ “යහපත් [මාහැඟි, NW] බැටළු එඬේරා” ලෙසටය. (යොහන් 10:11-16) දෙවියන්වහන්සේගේ රැළ කෙරෙහිවූ උන්වහන්සේගේ වැදගත් සේවාව එළිදරව් 7වන පරිච්ඡේදයේ දක්වා ඇත. එහි එළි 7 9වන වගන්තියේ, අපගේ දවසේ සිටින දේව සේවකයන්ව හඳුන්වා ඇත්තේ “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් . . . මහත් සමූහයක්” ලෙසටය. අනතුරුව එළි 7 17වන වගන්තිය පවසනුයේ මෙසේය: “බැටළුපැටවාණෝ [යේසුස්වහන්සේ] ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක.” යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ බැටළුවන්ව මෙහෙයවනුයේ සදාකාල ජීවිතයට මඟ පෙන්වන සත්‍යයේ දිය වෙතටයි. (යොහන් 17:3) තමන්ගේම බැටළු ගුණැති ගුණාංග අඟවමින් යේසුස්වහන්සේව “බැටළුපැටවාණෝ” හැටියට හඳුන්වා ඇති බව සැලකිල්ලට ගන්න. එලෙස උන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙහි යටහත්කම දැක්වීමේ ප්‍රධාන ආදර්ශය වනසේක.
5. ජනතාව ගැන යේසුස්වහන්සේට හැඟුණේ කෙසේද?
5 පොළොවේ සිටියදී යේසුස්වහන්සේ ජනතාව අතර ජීවත්වූ හෙයින් ඔවුන්ගේ ශෝකජනක තත්ත්වය දුටුසේක. ඔවුන්ගේ අසරණ තත්ත්වයට උන්වහන්සේ කෙසේ ප්‍රතිචාරය දැක්වූසේක්ද? “උන්වහන්සේ . . . ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.” (මතෙව් 9:36) නොසැලකිලිමත් එඬේරුන්ගේ භාරයේ සිටින බැටළුවන් හා සමානව, එඬේරෙකු නැති බැටළුවෝද කොල්ලකරුවන්ගෙන් මහත් හිරිහැර විඳින්නාහ. එහෙත් යේසුස්වහන්සේ මහත් සැලකිල්ලක් දැක්වූසේක, මන්දයත් උන්වහන්සේ මෙසේ පැවසූ නිසාය: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30.
6. පහත වැටී සිටි අය සඳහා යේසුස්වහන්සේ පෙන්වූයේ කුමන සැලකිල්ලක්ද?
6 බයිබල් අනාවැකි පුරෝකථනය කළේ යේසුස්වහන්සේ ප්‍රේමයෙන් යුක්තව ජනතාව සමඟ කටයුතු කරනු ඇති බවය: ‘බිඳුණු සිත් [හදවත්, NW] ඇත්තන් සුව කරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මා ආලේප කළසේක.’ (යෙසායා 61:1, 2; ලූක් 4:17-21) යේසුස්වහන්සේ දිළිඳු හා අභාග්‍යසම්පන්න අයව කවර දිනක හෝ හෙළා නුදුටුසේක. ඒ වෙනුවට, උන්වහන්සේ යෙසායා 42:3 සම්පූර්ණ කළසේක: “ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගහන පහන්තිරයක් නොනිවන්නේය.” (මතෙව් 12:17-21 සසඳන්න.) පීඩාවට පත් අය තැළුණු බටලීයක් හා සමාන, ඉන්ධන නොමැතිකම නිසා නිවෙන්ට සමීප තත්ත්වයකට පත් පහන් තිර හා සමාන වූහ. ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිගනිමින්, යේසුස් වහන්සේ ඔවුන්ට අනුකම්පාව පෙන්වමින් ශක්තිය හා බලාපොරොත්තුව ඔවුන්ගේ සිතට කාවැද්දූ අතර ආත්මික හා කායික වශයෙන් ඔවුන්ව සුව කළසේක.—මතෙව් 4:23.
7. තමන්ට ප්‍රතිචාරය දැක්වූ ජනයාව යේසුස්වහන්සේ යොමු කළේ කොතැනටද?
7 බැටළු ගුණැති ජනයෝ සමූහයන් පිටින් යේසුස්වහන්සේට ප්‍රතිචාරය දැක්වූහ. උන්වහන්සේගේ ඉගැන්වීම් කොතරම් සිත්ගන්නා තත්ත්වයක තිබුණේද කියතොත්, උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමට යවන ලද නිලධාරීන් වාර්තා කළේ, “මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැත” යනුවෙනි. (යොහන් 7:46) ඇයි, කුහක ආගමික නායකයෝද මෙසේ චෝදනා කළහ: “ලෝකයා ඔහු පස්සේ ගියෝය”! (යොහන් 12:19) එහෙත් යේසුස්වහන්සේ තමන් සඳහා ගෞරවය හෝ මහිමය බලාපොරොත්තු වූයේ නැත. උන්වහන්සේ ජනයාව යොමු කළේ සිය පියාණන්වහන්සේ වෙතටය. උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූයේ, යෙහෝවඃවහන්සේගේ ප්‍රශංසනීය ගුණාංග සඳහාවූ ප්‍රේමයකින් පෙලඹී එතුමන්ට සේවය කිරීමටයි: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] . . . ප්‍රේමකරව [ප්‍රේම කළ යුතුය, NW].”—ලූක් 10:27, 28.
8. දෙවියන්වහන්සේගේ ජනයා උන්වහන්සේට පෙන්වන කීකරුකම අන්‍යයන් ලෞකික නායකයන්ට දෙන දෙයත් සමඟ වෙනස් වන්නේ කෙසේද?
8 යෙහෝවඃවහන්සේ තේජසට පත්වන්නේ තමන්වහන්සේ කෙරෙහිවූ ඔවුන්ගේ ප්‍රේමය මත පිහිටා, ස්වකීය බැටළු ගුණැති ජනයා එතුමන්ගේ විශ්වනීය පරමාධිපත්‍යයට අනුබලය දෙන නිසාය. උන්වහන්සේගේ ප්‍රේමනීය ගුණාංග පිළිබඳ ඔවුන්ගේ දැනුම නිසා ඔවුහු කැමැත්තෙන්ම එතුමන්ට සේවය කිරීමට තෝරා ගනිති. භීතිය නිසා, නැතහොත් අකමැත්තෙන් බලකරනු ලබන නිසා, එසේත් නැතහොත් ඔවුන්ට යම් චේතනාවක් තිබීම නිසා පමණක් තමන්ගේ යටත්වැසියන් තමන්ට කීකරු වන ලෝක නායකයන්ට වඩා මෙය කොතරම් වෙනස්ද! රෝමානු කතෝලික පල්ලියේ පාප්වරයෙක් ගැන පවසනු ලැබූ දෙය කිසිකලෙක යෙහෝවඃවහන්සේ ගැන හෝ යේසුස්වහන්සේ ගැන කිව නොහැකිය, එනම්: “ඔහුට බොහෝ දෙනෙක් ගරු කළහ, සෑමදෙනෙක්ම පාහේ ඔහුට භයවූහ, කිසිවෙකු විසින් ප්‍රේම නොකරන ලදි”.—පීටර් ඩි රෝසා විසින් ලියන ලද විකර්ස් ඔෆ් ක්රයිස්ට්—ද ඩාර්ක් සයිඩ් ඔෆ් ද පේපසි.
ඉශ්රායෙලයේ කෲර එඬේරු
9, 10. පුරාතන ඉශ්රායෙලයේ හා පළමු ශතවර්ෂයේ ඉශ්රායෙලයේ නායකයන්ව විස්තර කරන්න.
9 යේසුස්වහන්සේ මෙන් නොව, උන්වහන්සේගේ දවසේ විසූ ආගමික නායකයන් බැටළුවන් සඳහා ප්‍රේමයක් පෙන්වූයේ නැත. ඔවුන් තමන්ට පෙර සිටි ඉශ්රායෙල් පාලකයන් හා සමානවූ අතර ඔවුන් ගැන යෙහෝවඃවහන්සේ පැවසුවේ මෙසේය: “තමුන්ම පෝෂ්‍යකරගන්න ඉශ්රායෙල් එඬේරුන්ට දුක්වේ! එඬේරුන් විසින් බැටළුවන් පෝෂ්යකළ යුතු නොවේද? . . . දුර්වල එවුන් නුඹලා විසින් ශක්තිමත්කළේවත්, ලෙඩවූ එකාට සුවකළේවත්, පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත්, පන්නාදමනු ලැබූ එකා නැවත ගෙනාවේවත්, නැතිවුණ එකා සෙවුවේවත් නැත; බලාත්කාරකමින්ද සැරකමින්ද නුඹලා උන් ආණ්ඩුකළහුය.”—එසකියෙල් 34:2-4.
10 එම දේශපාලක එඬේරුන් හා සමානව, පළමු ශතවර්ෂයේ විසූ යුදෙව් ආගමික නායකයන් කටයුතු කළේ දැඩි හෘදයක් ඇතිවය. (ලූක් 11:47-52) මෙය පැහැදිලි කරනු පිණිස, සොරකම් කර, පහර දී, මරණාසන්න තත්ත්වයකින් මාර්ගයේ අයිනක අත් හරින ලද යුදෙව්වෙකු ගැන යේසුස්වහන්සේ පැවසූසේක. ඉශ්රායෙලිත පූජකයෙක් මාර්ගයේ ගමන් කළ අතර, යුදෙව්වා දැක, මාර්ගයේ අනික් පැත්තෙන් ගියේය. ලෙවීයෙක් කළේද එයමය. අනතුරුව ඉශ්රායෙලිතයෙකු නොවන, නීච කොට සලකන ලද සමාරියෙක් එතැනට පැමිණ, ඊට ගොදුරු වූ තැනැත්තා දැක අනුකම්පා කළේය. හෙතෙම ඔහුගේ තුවාල බැඳ, මෘගයෙකු පිට හිඳුවාගෙන තානායමකට ගෙන ගොස්, ඔහු බලාගත්තේය. ඔහු තානායම්කාරයාට මුදල් ගෙවා, තවත් අමතර වියදමක් අයකිරීමක් වෙතොත් එය ගෙවන්ට යළිත් පැමිණෙන බව පැවසුවේය.—ලූක් 10:30-37.
11, 12. (අ) ආගමික නායකයන්ගේ දුෂ්ටකම යේසුස්වහන්සේගේ දවසේ උච්චාවස්ථාවක් කරා ළඟා වූයේ කෙසේද? (ආ) රෝමානුවෝ අවසානයේ ආගමික නායකයන්ට කුමක් කළෝද?
11 යේසුස්වහන්සේගේ දවසේ විසූ ආගමික නායකයන් කොතරම් දූෂිත තත්ත්වයක සිටියේද කියතොත්, යේසුස්වහන්සේ ලාසරුස්ව මරණයෙන් නැගිටෙවූ විට, නායක පූජකයන් හා ඵරිසිවරුන් මන්ත්‍රණ සභාවක් රැස්කරවා පැවසුවේ, “අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා [යේසුස්] බොහෝ හාස්කම් කරයි. අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇත” යනුවෙනි. (යොහන් 11:47, 48) මළ තැනැත්තා සම්බන්ධයෙන් යේසුස්වහන්සේ කර තිබූ යහපත ඔවුන් ගණනකට ගත්තේ නැත. ඔවුන් සැලකිල්ල දැක්වූයේ තමන්ගේ තත්ත්වය ගැනය. එබැවින් “එදා පටන් ඔව්හු [යේසුස්වහන්සේ] මරන්ට මන්ත්‍රණය කළෝය.”—යොහන් 11:53.
12 තමන්ගේ දුෂ්ටකම තවතවත් දරුණු කරමින් නායක පූජකයෝ අනතුරුව “ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය. මක්නිසාද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් අහක්ව ගොස් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.” (යොහන් 12:10, 11) තමන්ගේ තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමට ගත් ඔවුන්ගේ ආත්මාර්ථකාමී වෑයම් නිෂ්ඵල විය, මන්දයත් “නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ” යනුවෙන් පවසා තිබූ නිසාය. (මතෙව් 23:38) එම වදන් සනාථ කරමින්, එම පරම්පරාව තුළම පැමිණ රෝමානුවෝ ‘ඔවුන්ගේ ස්ථානයත් ඔවුන්ගේ ජාතියත්’ එමෙන්ම ඔවුන්ගේ ජීවිතත් බිලිකර ගත්හ.
ක්‍රිස්තියානි සභාවේ සිටින ප්‍රේමනීය එඬේරු
13. ස්වකීය රැළ රැකබලා ගැනීමට කවරෙකු එවීමට යෙහෝවඃවහන්සේ පොරොන්දු වූසේක්ද?
13 කෲර, ආත්මාර්ථකාමී එඬේරුන් වෙනුවට, යෙහෝවඃවහන්සේ මාහැඟි එඬේරාණන් වන, යේසුස්වහන්සේව නැගිටුවනුයේ ස්වකීය රැළ රැකබලා ගැනීමටයි. බැටළුවන්ව රැකබලා ගැනීමට ප්‍රේමනීය උප එඬේරුන් නැගිටවීමටද උන්වහන්සේ මෙසේ පොරොන්දුවූසේක: “ඔවුන් පෝෂණයකරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි. ඔව්හු තවත් භය නොවන්නෝය.” (යෙරෙමියා 23:4) මෙසේ, පළමු-ශතවර්ෂයේ ක්‍රිස්තියානි සභාවේ මෙන් අදදිනත්, “නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කර(නු)” ලැබේ. (තීතස් 1:5) ශුද්ධ ලියවිලිවල ගෙනහැර දක්වා ඇති සුදුසුකම් සපුරාලන මෙම ආත්මික වැඩිමහල් පුරුෂයන් “දෙවියන්වහන්සේගේ රැළ” රැකබලා ගත යුතුය.—1 පේතෘස් 5:2; 1 තිමෝති 3:1-7; තීතස් 1:7-9.
14, 15. (අ) වැඩිදියුණු කිරීමට දුෂ්කර බව ගෝලයන්ට හැඟුණේ කුමන ආකල්පයද? (ආ) වැඩිමහල්ලන් යටහත් පහත් සේවකයන් විය යුතු බව ඔවුන්ට පෙන්වීමට යේසුස්වහන්සේ කුමක් කළසේක්ද?
14 බැටළුවන් රැකබලා ගැනීමෙහිලා වැඩිමහල්ලන් “සියලු දේවලට වඩා” ඔවුන් සඳහා “බලවත් ප්‍රේමයක්” ඇතුව සිටිය යුතුය. (1 පේතෘස් 4:8) එහෙත් ගෞරවය හා තත්ත්වය ගැන පමණට වඩා සැලකිල්ලක් දැක්වූ, යේසුස්වහන්සේගේ ගෝලයන්ට මෙය ඉගෙන ගැනීමට සිදු විය. එබැවින් ගෝලයන් දෙදෙනෙකුගේ මව “ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳින්ට නියමකළ මැනව” යයි යේසුස්වහන්සේට පැවසූ විට, අනෙක් ගෝලයෝ කුපිත වූහ. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට, “අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයන් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය” යයි කීසේක.—මතෙව් 20:20-28.
15 තවත් අවස්ථාවක, “වඩා උතුම් තැනැත්තා කවුදැයි” ගෝලයන් “විවාද” කිරීමෙන් අනතුරුව යේසුස්වහන්සේ ඔවුන්ට කියා සිටියේ “යමෙක් පළමුවෙනියා වෙන්ට කැමති නම් ඔහු සියල්ලන්ට අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත්” වේවා යනුවෙනි. (මාර්ක් 9:34, 35) මනසින් යටහත් පහත්කම හා සේවය කිරීමට කැමැත්ත ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ කොටසක් විය යුතුව තිබුණි. එහෙත් ගෝලයන්ට එම අදහස් සම්බන්ධයෙන් නිතර දුෂ්කරතාවක් ඇති විය, මන්දයත් යේසුස්වහන්සේ මරණයට පත්වූ දිනට පෙරදින රාත්‍රියේ, උන්වහන්සේගේ අන්තිම සන්ධ්‍යා භෝජනයේදී, වඩා උතුම් කවරෙක්ද යන්න පිළිබඳව ඔවුන් අතරේ “[උණුසුම්, NW] විවාදයක්” හටගත්තේය! එය සිදුවූයේ යේසුස්වහන්සේ තමන්ව පහත් කර ගනිමින්, ඔවුන්ගේ පාද සෝදා, වැඩිමහල්ලෙකු රැළට සේවය කළ යුතු ආකාරය ඔවුන්ට පෙන්වා තිබියදීත්ය. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.”—ලූක් 22:24; යොහන් 13:14, 15.
16. වර්ෂ 1899දී, වැඩිමහල්ලන්ගේ වඩාත්ම වැදගත් ගුණාංගය ගැන වොච් ටවර් සඟරාව කුමන අදහස් දැක්වීද?
16 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් නිතර උගන්වා ඇත්තේ වැඩිමහල්ලන් මෙසේ විය යුතු බවයි. දැනට ශතවර්ෂයකට පමණ පෙර, 1899 අප්‍රියෙල් 1, වොච් ටවර් සඟරාව 1 කොරින්ති 13:1-8හි පාවුල්ගේ වදන් ගෙනහැර දැක්වීමෙන් අනතුරුව මෙසේ පැවසුවේය: “එම ප්‍රේරිතවරයා විශිෂ්ට ලෙස ගෙනහැර දක්වන්නේ, දැනුම හා ව්‍යක්ත කථිකත්වය වඩාත්ම වැදගත් පරීක්ෂාවන් නොවන බවය, සැබෑ පරීක්ෂාව වනුයේ හෘදයේ හාත්පස පැතිර ජීවිතයේ සියලු ක්‍රියාමාර්ග තුළට විහිද යන්නාවූද, අපගේ මැරෙනසුලු ශරීරයන් පොලඹවා ක්‍රියාත්මක කරන්නාවූද ප්‍රේමය—එනම්, අපගේ දිව්‍ය සම්බන්ධතාව පිළිබඳ සැබෑ සාක්ෂිය වේ. පරිශුද්ධ දේවල්වල සේවය කිරීමට, දේවස්ථානයේ සේවකයෙක් හැටියට පිළිගත් සෑම කෙනෙකු තුළම දක්නට තිබිය යුතු මූලික විශේෂ ලක්ෂණය විය යුත්තේ පළමු කොට ප්‍රේමයේ ආත්මයයි.” ප්‍රේමයෙන් යටහත් පහත්ව සේවය නොකරන පුරුෂයන් “යහපතට වඩා වැඩි හානියක් කිරීමට බොහෝදුරට ඉඩ ඇති, ආරක්ෂාවෙන් තොර ගුරුවරුන්” බවද එය සඳහන් කළේය.—1 කොරින්ති 8:1.
17. වැඩිමහල්ලන්ට තිබිය යුතු ගුණාංග බයිබලය අවධාරණය කරන්නේ කෙසේද?
17 මෙසේ, වැඩිමහල්ලන් බැටළුවන් කෙරෙහි ‘අධිපතිකම්’ නොකළ යුතුය. (1 පේතෘස් 5:3) ඒ වෙනුවට, ඔවුන් පෙරමුණ ගත යුත්තේ “එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව” සිටීමෙනි. (එපීස 4:32) “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳ [ගන්න] . . . මේ සියල්ලට උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගනිල්ලා” යයි පාවුල් අවධාරණය කළේය.—කොලොස්සි 3:12-14.
18. (අ) බැටළුවන් සමඟ කටයුතු කරන විට පාවුල් තැබුවේ කුමන කදිම ආදර්ශයද? (ආ) වැඩිමහල්ලන් බැටළුවන්ගේ අවශ්‍යතා නොසලකා නොහැරිය යුත්තේ මන්ද?
18 පාවුල් මෙය කරන්ට ඉගෙන ගත්තේ “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමු. එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමු” යයි පවසමින්ය. (1 තෙසලෝනික 2:7, 8) ඊට එකඟව ඔහු කියා සිටියේ ‘ක්ලාන්ත සිත් ඇත්තන්ට සහනදායකව කථා කරන්න, දුබලයන්ට ආධාර කරන්න, සියල්ලන් කෙරෙහි ඉවසන්න’ යනුවෙනි. (1 තෙසලෝනික 5:14) බැටළුවන් තමන් වෙතට රැගෙන පැමිණිය හැකි ගැටලුවේ ආකාරය කුමක් වුවත්, වැඩිමහල්ලන් හිතෝපදේශ 21:13 සිහි තබා ගත යුතුය: “දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.”
19. ප්‍රේමනීය වැඩිමහල්ලන් ආශීර්වාදයක් වන්නේ මක්නිසාද, එමෙන්ම බැටළුවන් එවන් ප්‍රේමයකට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
19 ප්‍රේමනීය ආකාරයකට රැළ රැකබලා ගන්නා වැඩිමහල්ලෝ බැටළුවන්ට ආශීර්වාදයක් වෙති. “මනුෂ්‍යයෙක් වනාහි [එක් එක් තැනැත්තා, NW] සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි දේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය” යයි යෙසායා 32:2 පුරෝකථනය කළේය. අදදින අපගේ වැඩිමහල්ලන්ගෙන් බොහෝ දෙනෙක්, ප්‍රබෝධවත් කරවන එම අලංකාර විස්තරයට එකඟව කටයුතු කරන බව දැනගන්ට අපි සතුටු වන්නෙමු. ඔවුහු මතු දැක්වෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්ට ඉගෙන ඇත්තාහ: “සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවෙයල්ලා; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම්කොට සලකාපල්ලා.” (රෝම 12:10) වැඩිමහල්ලන් මෙයාකාර ප්‍රේමයක් හා යටහත් පහත්භාවයක් පෙන්වන විට, බැටළුවෝ ඔවුන්ට “ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලක[නු]” ඇත්තාහ.—1 තෙසලෝනික 5:12, 13.
නිදහස් කැමැත්තේ පාවිච්චියට ගෞරව කරන්න
20. වැඩිමහල්ලන් නිදහස් කැමැත්තට ගෞරවය කළ යුත්තේ මක්නිසාද?
20 යෙහෝවඃවහන්සේ මනුෂ්‍යයන්ව මැව්වේ තමන්ගේම තීරණයන් ගැනීමට නිදහස් කැමැත්තක් ඇතිවය. වැඩිමහල්ලන් උපදෙස් දීම හා හික්මවීම පවා කළ යුතුව තිබුණත්, ඔවුන් තවත් කෙනෙකුගේ ජීවිතය හෝ ඇදහිල්ල කෙරෙහි පාලනය පවරා නොගත යුතුය. පාවුල් පැවසුවේ “නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමු. මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කරණකොටගෙනය” යනුවෙනි. (2 කොරින්ති 1:24) එසේය, “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.” (ගලාති 6:5) ස්වකීය නීති හා ප්රතිපත්තිවල සීමා තුළ යෙහෝවඃවහන්සේ අපට මහත් නිදහසක් දානය කර ඇත. එබැවින් ශුද්ධලියවිලිමය ප්‍රතිපත්ති කඩ කිරීමක් සිදු නොවන විට නීති පැනවීමෙන් වැඩිමහල්ලන් වැළකී සිටිය යුතුය. තවද ලබ්ධික ඉගැන්වීම් හැටියට තමන්ගේම පෞද්ගලික මත ඉදිරිපත් කිරීම නැතහොත් එවන් මත සමඟ යමෙක් එකඟ නොවන අවස්ථාවන්හි ඊට බාධා පැමිණවීමට තමන්ගේ උද්ධච්චකමට ඉඩ හැරීම යනාදිය වෙනුවෙන් ඇතිවන ඕනෑම නැඹුරුවාවක්ද ඔවුන් මැඩපැවැත්විය යුතුය.—2 කොරින්ති 3:17; 1 පේතෘස් 2:16.
21. පිලෙමොන් කෙරෙහි පාවුල්ගේ ආකල්පයෙන් අපට ඉගෙන ගත හැක්කේ කුමක්ද?
21 රෝමයේ සිරගතව සිටියදී, සුළු ආසියාවේ කොලොස්සිහි ක්‍රිස්තියානි වහල් අයිතිකරුවෙකුව සිටි, පිලෙමොන් සමඟ පාවුල් කටයුතු කළ ආකාරය සනිටුහන් කරගන්න. ඔනේසිමස් නම්වූ පිලෙමොන්ගේ වහලෙක් රෝමයට පලාගොස්, ක්‍රිස්තියානියෙකු බවට පත්ව, පාවුල්ට උපකාර කරමින් සිටියේය. පාවුල් පිලෙමොන්ට මෙසේ ලිව්වේය: “ශුභාරංචිය නිසාවූ බැඳුම්වලදී ඔහු නුඹ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි. නුමුත් නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටුනූණෙමි.” (පිලෙමොන් 13, 14) පාවුල් ඔනේසිමස්ව ආපසු පිටත්කර යැව්වේ, ක්‍රිස්තියානි සහෝදරයෙකු මෙන් ඔහුව සලකන හැටියට පිලෙමොන්ගෙන් ඉල්ලමිනි. රැළ තමාගේ නොව, දෙවියන්වහන්සේගේ බව පාවුල් දැන සිටියේය. ඔහු එහි ස්වාමියා නොව එහි සේවකයාව සිටියේය. පාවුල් පිලෙමොන්ට නියෝග කළේ නැත; ඔහුගේ නිදහස් කැමැත්තට ඔහු ගෞරවය කළේය.
22. (අ) තමන්ගේ තත්ත්වය කුමක් බව වැඩිමහල්ලන් තේරුම් ගත යුතුද? (ආ) යෙහෝවඃවහන්සේ වැඩිවර්ධනය කරමින් සිටින්නේ කොයි ආකාරයේ සංවිධානයක්ද?
22 දෙවියන්වහන්සේගේ සංවිධානය වැඩෙත්ම, වැඩිමහල්ලන් වැඩි සංඛ්‍යාවක් පත් කෙරේ. වැඩි අද්දැකීම් ලත් වැඩිමහල්ලන් මෙන්ම ඔවුන්ද, තමන්ට පැවරී ඇත්තේ යටහත් පහත් සේවා වරප්‍රසාදයක් බව තේරුම් ගත යුතුය. මෙයාකාරයෙන්, දෙවියන්වහන්සේ ස්වකීය සංවිධානය නව ලෝකය කරා ඉදිරියට රැගෙන යත්ම, එය උන්වහන්සේට මනාප ආකාරයට—එනම්, හොඳින් සංවිධානය වූ නමුත්, කාර්යක්ෂමතාව සඳහා ප්‍රේමය හා අනුකම්පාව පරිත්‍යාග කරන්නේ නැතිව—දිගටම වර්ධනය වෙනවා ඇත. මෙසේ, උන්වහන්සේගේ සංවිධානය බැටළු ගුණැති අයට වැඩි වැඩියෙන් ආකර්ෂණීය වනු ඇති අතර ඔවුහු එතුළ ‘දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ගේ යහපත පිණිස උන්වහන්සේගේ සියලු ක්‍රියා දෙවියන්වහන්සේ එකට සහයෝගි කරවන’ බවට සාක්ෂි දකිනු ඇත්තාහ. එය ප්‍රේමය මත පිහිටුවනු ලැබූ සංවිධානයකින් අපේක්ෂා කළ යුතු යමක් වේ, මන්දයත් “ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.”—රෝම 8:28; 1 කොරින්ති 13:8.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ ස්වකීය ජනතාව සඳහාවූ යෙහෝවඃවහන්සේගේ සැලකිල්ල බයිබලය විස්තර කරන්නේ කෙසේද?
◻ දෙවියන්වහන්සේගේ රැළ රැකබලා ගැනීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ ඉටු කරන කාර්ය භාරය කුමක්ද?
◻ වැඩිමහල්ලන්ට තිබිය යුත්තේ කුමන මූලික අංග ලක්ෂණයද?
◻ වැඩිමහල්ලන් බැටළුවන්ගේ නිදහස් කැමැත්ත සැලකිල්ලට ගත යුත්තේ මක්නිසාද?
[16වන පිටුවේ පින්තූරය]
“යහපත් [මාහැඟි, NW] බැටළු එඬේරා” වන යේසුස්වහන්සේ, අනුකම්පාව පෙන්වූසේක
[17වන පිටුවේ පින්තූර]
දුෂ්ට ආගමික නායකයෝ යේසුස්වහන්සේව මරන්ට කුමන්ත්‍රණය කළහ