යෙහෝවඃ වහන්සේගේ අනර්ඝ බැටළුවන් ව මුදු මොළොක්කමින් යුතු ව රැකබලා ගැනීම
වැඩිමහල්ලෝ පූර්ණ අවධානයෙන් සවන් දුන්හ. ප්‍රේරිත පාවුල්ගෙන් උපදෙස් ලැබීමට ඔවුහු සැතපුම් 30ක් පමණ දුර ගෙවා එපීසයේ සිට මිලේතයට පැමිණ සිටියහ. තමන් ඔහු ව දකින අන්තිම වතාව මෙය වනු ඇතැයි අසන්නට මෙහිදී ඔවුහු කනගාටු වූහ. මෙනිසා ඊළඟට ඔහු කියන්නට යන දේ අතිශයින් වැදගත් වනු ඇතැයි ඔවුහු දැන සිටියහ: “දෙවියන්වහන්සේ විසින් තමන්ගේම [තමන්ගේ ම පුත්‍රයාගේ NW] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය NW] යම් රැළෙක්හි නුඹලා නායකයන් [අවේක්ෂකයන් NW] කොට නියමකළ සේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙයල්ලා [අවධානය යොමු කරන්න NW].”—ක්‍රියා 20:25, 28, 38.
එඬේරුන් සම්බන්ධ පාවුල්ගේ කෙටි සටහනින් නිසැක ව ම එම එපීස වැඩිමහල්ලන්ට තොරතුරු සම්භාරයක් ප්‍රකාශ විණි. අවට පිටිසරබද පළාත්වල බැටළුවන් බලා ගැනීමේ කාර්යය පිළිබඳ ව ඔවුහු හොඳින් දැන සිටියහ. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල එඬේරුන් ගැන සඳහන් කරන ලද බොහෝ දේවල් ද ඔවුහු දැන සිටියහ. තව ද යෙහෝවඃ වහන්සේ තමන් ව ස්වකීය සෙනඟගේ එඬේරෙකුට සමාන කර තිබූ බව ද ඔවුහු දැන සිටියහ.—යෙසායා 40:10, 11.
ඔවුන් ‘රැළේ’ “නායකයන් [අවේක්ෂකයන් NW]” හැටියට ද, එමෙන් ම ‘සභාවේ’ එඬේරුන් හැටියට ද පාවුල් කථා කළේ ය. “අවේක්ෂකයන්” යන වගන්තිය තමන්ගේ පැවරුම කුමක් දැයි හඟවන අතර, ‘එඬේරා’ යන වදන ඔවුන් එම අවේක්ෂණය කළ යුතු ආකාරය විස්තර කරයි. එසේ ය, අවේක්ෂකයන් සභාවේ සෑම සාමාජිකයෙකු ව ම බලා කියා ගත යුතු වූයේ, එඬේරෙක් තමාගේ බැටළු රැළ බලා ගන්නා එම ප්‍රේමනීය ආකාරයට ම ය.
අද දවසේ, සැබෑ බැටළුවන් ව කෙළින් ම බලා ගැනීමේ අත්දැකීම් තිබෙන්නේ වැඩිමහල්ලන් ස්වල්ප දෙනෙකුට ය. එහෙත් බැටළුවන්ට මෙන් ම එඬේරුන්ට යන දෙපාර්ශ්වයට ම එතරම් ම වරක් යොමු දක්වන බයිබලය, විශේෂයෙන් එසේ කරන්නේ සංකේතාත්මක අර්ථයකිනි; එසේ හෙයින් පාවුල්ගේ වදන්වලට කාලයට සීමා නොවන බලපෑමක් ඇත. තව ද පුරාතන කාලයේ දෙවියන් වහන්සේ අනුග්‍රහය දැක්වූ එඬේරුන් පිළිබඳ වාර්තාවලින් බොහෝ දෑ ඉගෙන ගත හැකි ය. ඔවුන්ගේ සැලකිය යුතු ආදර්ශයන් දෙවියන් වහන්සේගේ සභාව පෝෂණය කරනු පිණිස තමන් වර්ධනය කර ගත යුතු ගුණාංග මොනවා දැයි අවබෝධ කර ගැනීමට වත්මන් දින වැඩිමහල්ලන්ට උපකාරවත් විය හැක.
අභීත එඬේර දාවිත්
බයිබල් කාලවල සිටි එඬේරුන් ගැන අප කල්පනා කරන විට, අපට බොහෝ දුරට දාවිත් ව සිහිපත් වනු ඇත, මන්දයත් ඔහු පටන් ගත්තේ බැටළුවන් බලා ගන්නා කෙනෙක් හැටියට නිසා ය. අපට දාවිත්ගේ ජීවිතයෙන් ඉගෙන ගත හැකි මුල් ම පාඩම්වලින් එකක් වන්නේ, එඬේරෙක් වීම ප්‍රධාන පෙලේ තත්ත්වයක් නොවන බව ය. ඇත්ත වශයෙන් ම, ඊශ්‍රායෙලයේ අනාගත රජ කෙනෙක් හැටියට යෙස්සේගේ පුත්‍රයෙක් ආලේප කරන්නට අනාගතවක්තෘ සාමුවෙල් පැමිණි විට, යෞවන ව සිටි දාවිත් ව මුල දී සහමුලින් ම නොසලකා හරිනු ලැබී ය. කෙතේ “බැටළුවන් බලාගන සිටි” දාවිත් ගැන සඳහන් කරනු ලැබුවේ, යෙහෝවඃ වහන්සේ ඔහුගේ වැඩිමහල් සහෝදරයන් හත්දෙනා ව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ව ය. (1 සාමුවෙල් 16:10, 11) එසේ ද වුවත්, එඬේරෙක් හැටියට දාවිත් ගත කළ කාල පරිච්ඡේදය ජාතියක් හැටියට ඊශ්‍රායෙලය පෝෂණය කිරීමේ භාරදූර කාර්යය සඳහා ඔහු ව සූදානම් කළේ ය. “[යෙහෝවඃ වහන්සේ] ස්වකීය මෙහෙකරුවූ දාවිත් තෝරාගෙන, බැටළු ගාල්වලින් ඔහු ගත්සේක. . . . තමන්ගේ සෙනගවූ යාකොබ් . . . පෝෂණයකරන [කෙරෙහි එඬේරකු වන NW] පිණිස . . . ඔහු ගත්සේක” යයි ගීතාවලිය 78:70, 71 හි පවසයි. උචිත ආකාරයකට, දාවිත් අලංකාර හා සුප්‍රකට 23වන ගීතාවලිය ලියූ අතර ඔහු එය ආරම්භ කළේ “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මාගේ එඬේරාය” යන වදන්වලිනි.
දාවිත් මෙන්, ක්‍රිස්තියානි සභාවල සිටින වැඩිමහල්ලන් ද යටහත් පහත් උප එඬේරුන් හැටියට සේවය කළ යුතු අතර නුවුවමනා ප්‍රසිද්ධිය නොසෙවිය යුතු ය. ප්‍රේරිත පාවුල් තිමෝතිට ලියූ ආකාරයට, පෝෂණය කිරීමේ මෙම වගකීම අත්කර ගැනීමට වෑයම් කරමින් සිටින්නෝ ප්‍රසිද්ධිය නොව, “යහපත් වැඩකට ආශා” වන්නෝ ය.—1 තිමෝති 3:1.
සැබෑ එඬේරෙක් හැටියට වූ දාවිත්ගේ වැඩය යටහත් පහත් එකක් ව තිබුණ ද, ඇතැම් අවස්ථාවන්හි මහත් එඩිතරකමක් ඒ සඳහා අවශ්‍ය විය. උදාහරණයක් හැටියට, වරක් සිංහයෙක් විසින් ද තවත් වරක් වලහෙක් විසින් ද ඔහුගේ පියාගේ රැළෙන් බැටළුවන් ගෙනයනු ලැබූ විට, දාවිත් නිර්භීත ව සටන් කර එම ගොදුරු අල්ලන සතුන් ව මරා දැමී ය. (1 සාමුවෙල් 17:34-36) සිංහයෙකුට ඌට වඩා අතිශයින් විශාල සතුන් ව මැරිය හැකි බව කෙනෙක් සලකා බලන විට, මෙය එඩිතරකමේ කැපී පෙනෙන විදහා පෑමක් විය. තව ද රාත්තල් 310ක් තරම් බරැති වූ, එවකට පලස්තීනයේ වාසය කළ සිරියානු දුඹුරු වලහාට සිය පාදයෙන් තනි පහරක් ගසා මුවෙකු මරා දැමිය හැකි ය.
සිය පියාගේ බැටළුවන් සඳහා තිබූ දාවිත්ගේ එඩිතර සැලකිල්ල ක්‍රිස්තියානි සභාවල සිටින එඬේරුන් සඳහා කදිම ආදර්ශයකි. “රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන්” ගැන ප්‍රේරිත පාවුල් එපීසයේ වැඩිමහල්ලන්ට අනතුරු ඇඟවී ය. (ක්‍රියා 20:29) නවීන කාලවල පවා, යෙහෝවඃ වහන්සේගේ බැටළුවන්ගේ ආත්මික සුභසාධනය ආරක්ෂා කිරීම පිණිස ක්‍රිස්තියානි එඬේරුන්ට එඩිතරකම පෙන්වීමට අවස්ථාවන් උදාවනු ඇත.
බැටළුවන් ව නිර්භීත ව ආරක්ෂා කළ යුතු අතර ඔවුන් ව ප්‍රේමනීය එඬේරා වන දාවිත් හා මාහැඟි එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුකරණය කරමින්, ඔවුන් ව සැලකිය යුතු වන්නේ ද උපරිම මෘදුකමෙනි. (යොහන් 10:11) රැළ යෙහෝවඃ වහන්සේට අයිති බව දැන, වැඩිමහල්ලන් “දෙවියන් වහන්සේගේ උරුමය ව සිටින්නන් කෙරෙහි අධිපතිකම් කරන්නාක්මෙන්” රැළට වේදනා දනවන පීඩාකාරී ආකාරයෙන් කිසිවිටෙක ක්‍රියා නොකළ යුතු ය.—1 පේතෘස් 5:2, 3, NW; මතෙව් 11:28-30; 20:25-27.
ගණන් දීමක් කිරීම
කුල දෙටු යාකොබ් තවත් සුප්‍රකට එඬේරෙක් විය. තමාගේ භාරයට දෙන ලද සෑම බැටළුවෙකුට ම තමා පුද්ගලික ව වගකිව යුතු යයි ඔහු කල්පනා කළේ ය. ඔහු තමාගේ මාමණ්ඩි වූ ලාබන්ගේ රැළට කොතරම් විශ්වාසනීය ව සැලකිල්ල දැක්වූයේදයත්, වසර 20ක තම සේවයෙන් පසු, යාකොබ්ට මෙසේ කියන්නට පුළුවන් විය: “නුඹේ බැටළුදෙන්නුද නුඹේ එළුදෙන්නුද ගස්සානුවූවෝය, නුඹේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි. වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් නුඹ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි; දවාලේ හෝ රාත්‍රියේ හෝ සොරකම්කරනලද්දවුන් නුඹ මා අතින් අය කෙළෙහිය.”—උත්පත්ති 31:38, 39.
ක්‍රිස්තියානි අවේක්ෂකයෝ, අපගේ ආත්මවල එඬේරාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ ‘තමන්ගේ ම පුත්‍රයාගේ රුධිරයෙන් මිලේට ගත්’ බැටළුවන් සඳහා ඊටත් වඩා වැඩි සැලකිල්ලක් විදහා පෙන්වති. (ක්‍රියා 20:28; 1 පේතෘස් 2:25; 5:4) සභාවේ පෙරමුණ ගන්නෝ “ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා” සිටින්නේ යයි පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානින්ට මතක් කළ විට, ඔහු එහි තිබෙන වැදගත් වගකීම අවධාරණය කළේ ය.—හෙබ්‍රෙව් 13:17.
යාකොබ්ගේ ආදර්ශයෙන් පෙන්වන්නේ එඬේරෙකුගේ වැඩයට කාල සීමාවක් නොමැති බවයි. එය දිවා රාත්‍රිය පුරා දිවයන ක්‍රියාවලියක් වන අතර බොහෝ විට ආත්ම පරිත්‍යාගය අවශ්‍ය වේ. “දවාලේ රස්නයෙන්ද රාත්‍රියේ ශීතලෙන්ද ක්ෂය වීමි; මාගේ ඇස්වලින් මාගේ නින්ද පහව [පලා NW] ගියේය” යයි ඔහු ලාබන්ට කීය.—උත්පත්ති 31:40.
පහත දැක්වෙන උදාහරණය පෙන්වන ආකාරයට, මෙය අද දවසේ සිටින බොහෝ ප්‍රේමනීය ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සම්බන්ධයෙන් සැබෑවක් වේ. මොළයේ ටියුමරයක් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බරපතළ තත්ත්වයක් ඇති වීමෙන් පසු සහෝදරයෙක් රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබී ය. රෝහලේ දවාලේත් රාත්‍රියේත් ඔහු ළඟ ඉන්නට ඔහුගේ පවුල කටයුතු සූදානම් කර තිබුණි. අවශ්‍ය කරවන අතහිත දීම හා දිරිගැන්වීම ලබා දෙනු පිණිස, පළාතේ එක් වැඩිමහල්ලෙක් දින පතා රෝගියා ව හා ඔහුගේ පවුල බැහැදකින්නට පුළුවන් වන ආකාරයට ඔහුගේ කාර්ය බහුල කාල සටහන සකස් කර ගත්තේ ය. කෙසේ නමුත්, රෝහලේ දැඩි සත්කාර පිළිවෙළ නිසා, දිවා කාලය තුළ බැහැදකින්නට ඔහුට නිතර හැකි වූයේ නැත. ඉතා රෑ බෝවීමෙන් පසු එම වැඩිමහල්ලාට නිතර රෝහලට යන්නට සිදු වූ බව මෙය අදහස් කරයි. එහෙත් ඔහු සතුටින් සෑම රාත්‍රියක ම එහි ගියේ ය. “මා රෝගියාව බැලීමට යා යුත්තේ මට පහසු වේලාවක නොව, රෝගියාට සුදුසු වේලාවක බව මම වටහා ගත්තා” යයි එම වැඩිමහල්ලා පැවසී ය. රෝහලේ වෙනත් කොටසකට එම සහෝදරයා ව මාරු කරන්නට තරම් ඔහු සුවය ලද විට ද, එම වැඩිමහල්ලා දිගට ම තමාගේ දෛනික බැහැදැකීම් කරගෙන ගියේ ය.
එඬේරෙක් හැටියට මෝසෙස් ඉගෙන ගත් දේ
“පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක්” හැටියට බයිබලය මෝසෙස් ව විස්තර කරයි. (ගණන් කථාව 12:3) එනමුත්, තත්ත්වය මුලපටන් එයාකාර නොවූ බව වාර්තා පෙන්වයි. යෞවනයෙක් ව සිටිය දී, සෙසු ඊශ්‍රායෙලිතයෙකුට පහර දීම හේතුවෙන් ඔහු මිසර ජාතිකයෙකු ව මරණයට පත් කර තිබුණි. (නික්මයාම 2:11, 12) ස්ථිර වශයෙන් ම, මෙය මෘදු කෙනෙකුගේ ක්‍රියාවක් නොවේ! එහෙත්, මිලියන සංඛ්‍යාත ජනකායක් පාළුකරය හරහා පොරොන්දු දේශයට ගෙන යාම පිණිස දෙවියන් වහන්සේ පසු කලෙක මෝසෙස් ව පාවිච්චි කරනු ඇත. පැහැදිලි ව ම, එසේ නම්, මෝසෙස්ට අමතර පුහුණුව අවශ්‍ය ව තිබුණි.
මෝසෙස් “මිසරයන්ගේ” ලෞකික වූ “සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු ලැබ” සිටිය ද, යෙහෝවඃ වහන්සේගේ රැළ පෝෂණය කරනු පිණිස ඔහුට වැඩි යමක් අවශ්‍ය විය. (ක්‍රියා 7:22) මෙම අමතර පුහුණුව කොයි ආකාරයේ එකක් විය හැකි ද? ඇත්තෙන් ම, වසර 40කට මිදියන් දේශයේ යටහත් පහත් එඬේරෙක් හැටියට සේවය කරන්නට දෙවියන් වහන්සේ මෝසෙස්ට ඉඩ හැරිය සේක. තමාගේ මාමණ්ඩිය වූ යෙත්‍රෝගේ රැළවල් ඔහු බලා කියා ගනිත් ම, මෝසෙස් ඉවසිල්ල, මෘදුකම, යටහත්කම, බොහෝ-ඉවසිලිවන්තකම, මොළොක් චිත්ත ස්වභාවය හා ආත්ම-දමනය වැනි කදිම ගුණාංග වර්ධනය කර ගත්තේ ය. ඔහු වැඩිදුරටත් යෙහෝවඃ වහන්සේ මත රැඳී සිටින්නට ද ඉගෙන ගත්තේ ය. එසේ ය, සැබෑ බැටළුවන් රැකබලා ගැනීම ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහි සමර්ථ එඬේරෙක් වීමට මෝසෙස්ට සුදුසුකම් ලබා දුණි.—නික්මයාම 2:15–3:1; ක්‍රියා 7:29, 30.
අද දින දෙවියන් වහන්සේගේ ජනයාට සැලකිල්ල දැක්වීම පිණිස වැඩිමහල්ලෙකුට අවශ්‍ය කරවන ගුණාංග මේවා නොවේ ද? එසේ ය, පාවුල් තිමෝතිට සිහිපත් කර සිටියේ “ස්වාමීන් වහන්සේගේ දාසයා . . . සියල්ලන් කෙරෙහි මෘදුකමින් යුක්ත වූ, උගන්වන්ට සමත් වූ කෙනෙක් ව සිට, නපුර හමුවේ තමා ව හික්මවා ගනිමින්, අනුග්රහශීලී නැඹුරුවාවක් නොමැති අයට මෘදුකමින් උපදෙස් දිය යුතු ය” යනුවෙනි.—2 තිමෝති 2:24, 25, NW.
මෙම ගුණාංග පූර්ණ පරිමාණයකට වර්ධනය කර ගැනීමෙහි තමාට දුෂ්කරත්වයන් පවතින බැවින් වැඩිමහල්ලෙක් තමා කෙරෙහි ම කලකිරෙන අවස්ථා ඇති විය හැක. එහෙත් ඔහු උත්සාහය අත් නෑරිය යුතු ය. මෝසෙස් සම්බන්ධයෙන් සිදු වූ ආකාරයට, හොඳ එඬේරෙක් වීමට අවශ්‍ය ගුණාංග පූර්ණ පරිමාණයකට වර්ධනය කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වන්නට පුළුවන. කෙසේ වෙතත් කල්යත් ම, එවන් උත්සාහවන්ත ප්රයත්නයන්ට විපාක ලැබෙනු ඇත.—1 පේතෘස් 5:10 සසඳන්න.
වැඩිමහල්ලෙක් හැටියට, ඇතැම් විට අන්‍යයන් මෙන් පූර්ණ ආකාරයකට ඔබ ව පාවිච්චි කරනු නොලබනවා වන්නට පුළුවන. මෝසෙස් සම්බන්ධයෙන් සිදු වූ ආකාරයට, ඇතැම් වැදගත් ගුණාංග වඩාත් පූර්ණ පරිමාණයකට වර්ධනය කර ගැනීමට යෙහෝවඃ වහන්සේ ඔබට ඉඩ හරිනවා විය හැකි ද? යෙහෝවඃ වහන්සේ “[ඔබ] ගැන සලකන” බව කිසිවිටෙක අමතක නොකරන්න. කෙසේ වෙතත් ‘දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහතුන්ට කරුණාව දෙන බැවින්, එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳ සිටීමේ’ අවශ්‍යතාව ද අප මනසේ තබාගෙන සිටිය යුතු ය. (1 පේතෘස් 5:5-7) ඔබ ඔබ ව ම යොදවා ගෙන යෙහෝවඃ වහන්සේ ඉඩ හරින පුහුණුව පිළිගන්නේ නම්, මෝසෙස් ව උන් වහන්සේට වැඩියෙන් ප්‍රයෝජනවත් වූ ආකාරයට ඔබවත් ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන.
යෙහෝවඃ වහන්සේගේ බැටළුවන් සියල්ලන් ම අගනේ ය
බයිබල් කාලවල සිටි විශ්වාසනීය, ප්‍රේමනීය එඬේරු එක් එක් බැටළුවා කෙරෙහි වගකීමේ හැඟීමක් ඇති ව සිටියහ. ආත්මික එඬේරුන් සම්බන්ධයෙන් ද එය සැබෑ විය යුතු ය. මෙය පාවුල්ගේ “මුළු රැළ ගැන . . . ප්‍රවේසම් වෙයල්ලා [අවධානය යොමු කරන්න NW]” යන වදන්වලින් පැහැදිලි වේ. (ක්‍රියා 20:28) ‘මුළු රැළට’ ඇතුළත් වනු ඇත්තේ කවරෙක් ද?
බැටළුවන් සිය දෙනෙක් සිටි නුමුදු නොමඟ ගිය එක්කෙනෙකු නැවත රැළ තුළට ගෙන එනු පිණිස විගස ඌ ව සොයා ගෙන ගිය මිනිසෙකු පිළිබඳ ව උපමාවක් යේසුස් වහන්සේ දුන් සේක. (මතෙව් 18:12-14; ලූක් 15:3-7) ඒ හා සමාන ව සභාවේ එක් එක් සාමාජිකයෙකු කෙරෙහි සැලකිල්ලක් අවේක්ෂකයෙකුට තිබිය යුතු ය. දේව සේවයේ හෝ ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමෙහි හෝ අක්‍රියාශීලී වීම එම බැටළුවා රැළෙහි තවදුරටත් කොටසක් නොවන බවට අදහස් කරන්නේ නැත. යෙහෝවඃ වහන්සේට වැඩිමහල්ලන් විසින් ‘ගණන්දිය යුතු’ ‘මුළු රැළෙහි’ ඔහු තවමත් කොටසකි.
සභා ඇසුරේ සිටි සමහර දෙනෙක් අක්‍රියාශීලී බවට ක්‍රමක්‍රමයෙන් ඇදී ගිය විට එක්තරා වැඩිමහල් මණ්ඩලයක් සෑහෙන්න සැලකිලිමත් වූයේ ය. අදාළ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සූදානම් කරන ලද අතර, ඔවුන් ව බැහැදැකීමටත්, යෙහෝවඃ වහන්සේගේ බැටළු ගාලට යළි පැමිණීම සඳහා උපකාර කිරීමටත් විශේෂ වෑයමක් දරන ලදි. අවුරුදු දෙකහාමාරක කාල පරිච්ඡේදයක් පුරා යෙහෝවඃ වහන්සේගේ සේවයේ යළි ක්‍රියාශීලී වීමට 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට උපකාර කිරීමට හැකි වීම ගැන එම වැඩිමහල්ලන් දෙවියන් වහන්සේට කොතරම් ස්තුතිවන්ත වී ද! එලෙස උපකාරය ලැබූ එක් තැනැත්තෙක් වර්ෂ 17කට පමණ අක්‍රියාශීලී වී සිටියේ ය!
මෙම වගකීමේ බැරෑරුම්කම තවත් කාවදිනු ලබන්නේ බැටළුවන් “[දෙවියන් වහන්සේගේ] ම පුත්‍රයාගේ රුධිරයෙන් මිලේට” ගෙන ඇති බවට යන කාරණයෙන් ය. (ක්‍රියා 20:28) මෙම වටිනා බැටළුවන් හට ගෙවිය හැකි වෙනත් ඉහළ මිලක් නොමැත. එමෙන් ම බැටළුවන් වැනි වූ එක් එක් තැනැත්තා ව සොයා, උපකාර කිරීමට සේවයේ ගත කරනු ලබන කාලය හා පරිශ්රමය ගැන කල්පනා කර බලන්න! ඔවුන් සියල්ලන් ව දෙවියන් වහන්සේගේ බැටළු ගාලේ තබා ගැනීමටත් සමානාකාර පරිශ්‍රමයක් දැරිය යුතු නොවේ ද? ස්ථිර ව ම, සභාවේ සෑම බැටළුවෙක් ම අනර්ඝ ය.
රැළේ සාමාජිකයෙක් බරපතළ වැරැද්දකට සම්බන්ධ වූ විට පවා, වැඩිමල්ලන්ගේ වගකීම වෙනස් නොවේ. ඔවුන් යම් හැකියාවක් ඇත්නම්, මෘදුකමෙන් හා මොළොක්කමෙන් වැරදිකරු ව ගලවා ගැනීමට උත්සාහ දරමින්, දිගට ම සැලකිල්ල දක්වන එඬේරුන් ව සිටිනු ඇත. (ගලාති 6:1, 2) ඇතැම් අවස්ථාවන්හි තමා කළ බරපතළ පාපයන් සඳහා සභාවේ සාමාජිකයෙක් තුළ දිව්‍ය භක්තිමත් කනගාටුවීමක් නොමැති බව පෙනෙන්නට තිබීම කනගාටුවට කරුණකි. එවන් අවස්ථාවන්හි රැළේ ඉතිරි පිරිස මෙම දූෂ්‍යකාරක බලපෑමෙන් ආරක්ෂා කිරීමට ප්‍රේමනීය එඬේරුන්ට ශුද්ධ ලියවිලිමය වගකීමක් ඇත.—1 කොරින්ති 5:3-7, 11-13.
එසේ ද වුවත්, යෙහෝවඃ දෙවියන් වහන්සේ මං මුළා වූ බැටළුවන්ට අනුකම්පාව දැක්වීමේ පරිපූර්ණ ආදර්ශය තබන සේක. අපගේ දයානුකම්පිත එඬේරාණෝ මෙසේ පවසන සේක: “මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත් කරන්නෙමි.” (එසකියෙල් 34:15, 16; යෙරෙමියා 31:10) මෙම අති අනර්ඝ ආදර්ශය අනුකරණය කරමින්, තමන්ගේ උපකාරයට දැන් ප්‍රතිචාරය දැක්විය හැකි, සභා ඇසුරෙන් ඉවත් කරන ලද අය ව බැහැදැකීමට නවීන දින ආත්මික එඬේරුන් සඳහා ප්‍රේමනීය වැඩ පිළිවෙළක් දැන් සකසා ඇත. නැති වූ බැටළුවන් යළි සොයා ගැනීමට වූ මෙම අනුකම්පා සහගත පරිශ්රමය මගින් කදිම ඵල දරා ඇත. යළි පිහිටුවන ලද එක් සහෝදරියක් මෙසේ පැවසුවා ය: “වැඩිමහල්ලන් මා බලන්නට පැමිණි විට, එය මට යළි පැමිණීමට අවශ්‍ය වූ දිරිගැන්වීම වුණා.”
නිසැක ව ම මිලේතයේ දී එපීසයේ වැඩිමහල්ලන්ට කළ පාවුල්ගේ වදන්—ඔවුන්ටත් අද දවසේ අවේක්ෂකයන්ටත්—අර්ථයෙන් පූර්ණ ඒවා විය. එඬේරුන්ට ඔහු කළ යොමු දැක්වීම අවේක්ෂකයන් තුළ පැහැදිලි ව තිබිය යුතු සිත් ගන්නා ගුණාංග පිළිබඳ ව සිහිගැන්වීමකි—එනම් එඬේර රජෙක් වූ දාවිත් විසින් ආදර්ශ කොට දක්වන ලද ආකාරයට යටහත් පහත් භාවය හා එඩිතරකම; යාකොබ්ගේ දිවා රාත්‍රි සේවයෙන් පැහැදිලි වූ, වගකීමේ හා ආරක්ෂා සහිත සැලකිල්ලේ පුද්ගලික හැඟීමක්; හා මෝසෙස් විසින් පෙන්වන ලද ආකාරයට, වැඩිදුර පුහුණුව ඉවසීමෙන් පිළිගැනීමට ඇති කැමැත්ත වැනි ගුණාංග පිළිබඳ සිහිගැන්වීමකි. ඇත්ත වශයෙන් ම, මෙම බයිබල් ආදර්ශයන්, සභාවේ වැඩිමහල්ලන් විසින් මොළොක්කමෙන් යුක්ත ව “දෙවියන්වහන්සේ විසින් තමන්ගේම [තමන්ගේ ම පුත්‍රයාගේ NW] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට” අවශ්‍ය කරවන ගුණාංග වර්ධනය කර ක්‍රියාවට නැගීමට ඔවුන් හට උපකාර කරනු ඇත.