ගොතික් බයිබලය කැපී පෙනෙන සමර්ථකමකි
ගොතික් ජනයා වනාහි, පෙනෙන හැටියට මුලින්ම ස්කැන්ඩිනේවියාවෙන් බිහි වූ, ජර්මානු ගෝත්‍රයන්හි ඒකාබද්ධ සමූහයකි. අපගේ පොදු යුගයේ මුල් ශතවර්ෂයන්හි, ඔවුහු දකුණේ කලු මුහුද හා ඩැනියුබ් ගඟ දක්වා, එනම් රෝමානු අධිරාජ්‍යයේ ආරක්ෂක සීමාව තරම් වූ දුරක් දක්වා, සංක්‍රමණය වූහ.
ගොතික් බයිබලය යම්කිසි ජර්මානු භාෂාවකින් බිහි කරන ලද මුල්ම ශාස්ත්‍රීය කෘතියයි. අදදින මෙම පරිවර්තනය පවතින්නේ කැබලි වූ තත්ත්වයකය. කෙසේවෙතත්, එය පවතින්නේ ශුද්ධ ලියවිල්ලේ අද්විතීය හා වටිනා අනුවාදයක් හැටියටයි. ඒ මන්ද?
උල්ෆලාස්—මිෂනාරිවරයෙක් හා බයිබල් පරිවර්තකයෙක්
මෙම බයිබලයේ පරිවර්තකයා වූයේ උල්ෆලාස්ය, එසේත් නැතහොත් ඔහු සිය ගොතික් නාමයෙන් ප්‍රසිද්ධව සිටියේ වුල්ෆලා හැටියටය. ෆිලස්ටෝජියස් නම් ඉතිහාසඥයාට අනුව, උල්ෆලාස් වනාහි, දැන් නැගෙනහිර තුර්කියේ කොටසක් වන කැප ඩෝසියාට විරුද්ධව කළ ගොතික් ආක්‍රමණයකදී ගෙන යන ලද වහලුන්ගෙන් පැවතෙන්නෙකි. පොදු යුගයේ 311දී පමණ උපත ලද ඔහු, වසර 30කට පසු නිකොමෙඩියාහි යූසේබියස් විසින් පැවිදි කර ගොතික් සමූහයා අතරේ මිෂනාරිවරයෙක් හැටියට සේවය කරන්නට පුහුණු කරනු ලැබීය.
“තමන් විසින් ආගමට හරවා ගන්නා ලද අයට උපදෙස් දීමටත්, ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමටත්, ඔහු රාජාවලිය පොත් හැර මුළු බයිබලයම ග්‍රීක් වෙතින් ගොතික් භාෂාවට ඉවසීමෙන් පරිවර්තනය කළේය” යයි ඉතිහාසඥ විල් ඩියුරන්ට් පවසයි. (දි ඒජ් ඔෆ් ෆේත්) අදදින, නෙහෙමියා පොතේ කැබැල්ලක් හැරුණුකොට, ගොතික් බයිබල් අත්ලියවිල්ලෙන් විනාශ නොවී ඉතිරි වී තිබෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ කොටස් පමණකි.
ගොතික් ලිඛිත භාෂාවක් නොවීය. එබැවින් උල්ෆලාස් මුහුණ දුන්නේ විශිෂ්ට නිපුණත්වයක් අවශ්‍ය වූ පරිවර්තන අභියෝගයකටයි. පුරාතන ආගමික ඉතිහාසඥයෝ, මූලිකව ග්‍රීක් හා ලතින් හෝඩිය මත පදනම්, සංකේත 27කින් යුත් ගොතික් හෝඩියක් බිහි කිරීමේ ගෞරවය ඔහුට පුද කරති. එපමණක් නොව, ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන්නේ “ඔහු ජර්මානු ක්‍රිස්තියානි පාරිභාෂික වචන සමූහයක් ප්‍රබන්ධ කළ අතර ඉන් සමහරක් තවදුරටත් භාවිතයේද පවතින” බවය.
ගොතික් බයිබලයේ මුල් ඉතිහාසය
උල්ෆලාස් සිය පරිවර්තනය පො.යු. 381ට පෙර අවසන් කළ අතර ඉන් වසර දෙකකට හෝ තුනකට පසු මියගියේය. ඔහුගේ කෘතියේ ජනප්‍රියත්වය, දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා විසින්ද සහතික කරන ලද අතර, එය පවසනුයේ “එම පරිවර්තනය ස්පාඤ්ඤයට හා ඉතාලියට සංක්‍රමණය කළ ගොතික්වරුන් විසින් පොදුවේ භාවිතා කරනු ලැබූ” බවය. ඇත්තෙන්ම, ඉතිරි වී ඇති කැබලිවලින් තක්සේරු කරන විට, ගොතික් බයිබලයේ පිටපත් ගණනාවක් සාදන ලද බව පෙනේ. ගොතික්වරුන් සිය රාජ්‍යය පිහිටෙවූ ප්‍රදේශයේ නගර වන රවෙන්නා හා වෙරෝනාහි පිහිටා තිබූ පිටපත් කාමරවල, බොහෝ පිටපත් සෑදූ බව සිතන්නට පුළුවන. මෙහි පිටපත් කාමර යනුවෙන් අදහස් කරන්නේ ආරාමයන්හි, අත්පිටපත් ලියනු හා පිටපත් කරනු ලැබූ කාමරයි.
ගොතික්වරු ජාතියක් හැටියට පො.යු. 555දී පමණ අවසානයකට පත්වූයේ, පළමුවන ජස්ටිනියන් නමැති බයිසන්ටීනියානු අධිරාජ්‍යයා ඉතාලිය යළි යටත් කරගැනීමෙන් පසුවය. ඔවුන්ගේ අභාවයෙන් පසු, ටන්ස් ක්ලෙයිබර්ග් මෙසේ පවසයි. “අංශුමාත්‍රයක්වත් නොතබා, ඉතාලියේ ගොතික් භාෂාව හා ගොතික් සම්ප්‍රදායන් අතුරුදහන් විය. ගොතික් බසින් ලියනු ලැබූ අත්ලියවිලි තවදුරටත් ප්‍රයෝජනවත් නොවීය. . . . ලියා තිබූ දෙය ඉවත් කිරීමට ඒවා බොහෝ දුරට කොටස්වලට වෙන් කර මකා දමනු ලැබීය. ලිවීමට පාවිච්චි කර තිබූ මිල අධික සත්ත්ව හම අනතුරුව අලුත් දේවල් ලිවීමට ගනු ලැබීය.”
විනාශයෙන් බේරුණ අත්ලියවිලි
මෙම අත්ලියවිලි සමහරක, මුලින් ලියා තිබුණ දෙය තවදුරටත් යන්තමින් පෙනෙන ආකාරයට තබමින්, මකා දැමීම නිසිලෙස කරනු නොලැබීය. කලින් ලියා තිබූ දෙය මකා නැවත ලියන ලද මෙම ලේඛන පත්‍ර ගණනාවක් සොයාගෙන කියවා තේරුම්ගෙන ඇත. සැලකිය යුතු ලෙසින්, මතෙව්, යොහන්, ලූක් හා මාර්ක් යන අනුපිළිවෙළට අන්තර්ගතව තිබූ ප්‍රසිද්ධ කෝඩෙක්ස් ආර්ජෙන්ටෙයොස්, හානියක් රහිතව ආරක්ෂා කර තබනු ලැබීය.
මෙම ඉතා කදිම අත්ලියවිල්ල පො.යු. හයවන සියවසේ ආරම්භයේදී පමණ රවෙන්නාහි තිබූ පිටපත් කාමරයේ සාදන ලද්දේ යයි සලකනු ලැබේ. එය ලියා තිබෙන්නේ රිදී තීන්තවලින් නිසා, “රිදී පොත” අරුත් දෙන, කෝඩෙක්ස් ආර්ජෙන්ටෙයොස් යනුවෙන් එය නම් කර ඇත. එහි හම් පිටු, දම් පැහැගන්වා ඇති අතර ඉන් හැඟවෙන්නේ එය රාජකීය උත්තමයෙක් උදෙසා බොහෝ දුරට නියම කොට තිබූ බවයි. සෑම ශුභාරංචි පොතකම මුල් පේළි තුන මෙන්ම වෙනස් කොටස්වල ආරම්භයන් රන් අකුරෙන් සරසා ඇත. ලියවිල්ලේ සෑම තීරුවකම පාමුල තබන ලද සමාන්තර “ආරුක්කු” හතරේ මුදුනේ, ශුභාරංචි ලේඛකයන්ගේ නම් රන් අකුරෙන් ලියා ඇත. මේවා ශුභාරංචි පොත්වල සමාන්තරව පවතින කොටස් වෙත යොමු දක්වයි.
ගොතික් බයිබල් පාඨ වගන්ති ප්‍රතිසංස්කරණය කිරීම
ගොතික් ජාතිය විසුරුවා හැරීමෙන් පසු, වටිනා යමක් වූ කෝඩෙක්ස් ආර්ජෙන්ටෙයොස් අතුරුදහන් විය. දහසයවන සියවසේ මැද භාගයේදී, ජර්මනියේ, කලෝන් අසල, වර්ඩන් ආරාමයේ එය පොදුජන අවධානයට යොමු වනතෙක්, යළිත් දකින්නට නොලැබුණි.
වර්ෂ 1569දී, ස්වාමීන්වහන්සේගේ යාච්ඤාවේ ගොතික් අනුවාදය, එය ගනු ලැබූ බයිබලයට අවධානය යොමු කරමින්, ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය. කෝඩෙක්ස් ආර්ජෙන්ටෙයොස් යන නාමය 1597දී පළමුවතාවට මුද්‍රණයේ දක්නට ලැබුණි. මෙම අත්ලියවිල්ල වර්ඩන් සිට ප්‍රාග්හි තිබූ අධිරාජ්‍යයාගේ කලා කෘති එකතුවට ගෙනෙනු ලැබීය. කෙසේවෙතත්, 1648දී, එනම් වසර තිහේ යුද්ධය අවසානයේ, ජයග්‍රහණය ලද ස්වීඩන් ජාතිකයෝ වෙනත් වස්තු සමඟ එයද රැගෙන ගියෝය. වර්ෂ 1669 පටන් මෙම කෝඩෙක්ස් ලියවිල්ලට ස්වීඩනයේ, උප්පාසාල විශ්වවිද්‍යාල පුස්තකාලයේ ස්ථීර ස්ථානයක් ලැබ තිබේ.
කොඩෙක්ස් ආර්ජෙන්ටෙයොස් නම් ලියවිල්ල මුලින්ම පිටු 336කින් නිර්මාණය කරන ලද අතර ඉන් පිටු 187ක් දැන් උප්පාසාලහි ඇත. තවත් එක් පිටුවක්—එනම් මාර්ක්ගේ සුවිශේෂයේ අන්තිම පිටුව—1970දී ජර්මනියේ, ශ්වියර්හි සොයා ගනු ලැබීය.
එම කෝඩෙක්ස් ලියවිල්ල යළිත් සොයා ගනු ලැබූ අවස්ථාවේ පටන්, විශාරදයෝ මළ ගොතික් භාෂාවේ අර්ථය අනාවරණය කිරීමට එම ලියවිලි අධ්‍යයනය කරන්නට පටන් ගත්හ. භාවිතයේ තිබූ සියලු අත්ලියවිලිද, එම වගන්ති ප්‍රතිසංස්කරණය කිරීමට කලින් දරන ලද වෑයම්ද පාවිච්චි කරමින්, ජර්මන් පඬිවර විල්හෙල්ම් ශ්ටුයිට්බර්ක්, ග්‍රීක් හා ගොතික් පාඨ ප්‍රතිවිරුද්ධ පිටුවල පවතින සේ, “ඩයි ගෝටිෂ් බීබල්” (ගොතික් බයිබලය) වර්ෂ 1908දී එකට ගොනුකර ප්‍රකාශයට පත් කළේය.
අදදින, මෙම ගොතික් බයිබලය මූලික වශයෙන් විශාරදයන්ගේ සැලකිල්ලට භාජන වී ඇත. කෙසේවෙතත්, බයිබල් පරිවර්තනයන් පටන්ගත් මුල් දිනවල එය නිපදවීම හා රක්ෂණය කිරීම, සහතික කරනුයේ, එවකට නවීන භාෂාවකට දේව වචනය පරිවර්තනය කිරීමට තිබූ උල්ෆලාස්ගේ ආශාව හා අධිෂ්ඨානයයි. ගොතික් ජනයාට මෙමගින් පමණක් ක්‍රිස්තියානි සත්‍යය තේරුම් ගැනීමට අපේක්ෂා කළ හැකි බව ඔහු නිවැරදි ලෙස වටහා ගත්තේය.
[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy of the Uppsala University Library, Sweden