යෙහෝවඃවහන්සේ—අරමුණක් සහිත දෙවිඳාණෝ
“මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස්කළ ලෙසම ස්ථිරවන්නේය.”—යෙසායා 14:24.
1, 2. ජීවිතයේ අරමුණ ගැන බොහෝ දෙනෙක් පවසන්නේ කුමක්ද?
ජීවිතයේ අරමුණ කුමක්ද?” කියා සෑම තැනකම වෙසෙන ජනයා අසති. බටහිර දේශපාලන නායකයෙක් මෙසේ ප්‍රකාශ කළේය: “පෙර කවර කලකටත් වඩා එන්ට එන්ටම ජනයා අසන්නේ, ‘අපි කවුද? අපගේ අරමුණ කුමක්ද’ යන්න ගැනයි.” ජීවිතයේ අරමුණ කුමක්ද යන ප්රශ්නය ගැන එක්තරා පුවත්පතක් යෞවනයන්ගෙන් ඡන්ද විමසීමක් කළ අවස්ථාවේ, පොදුවේ දක්නට ලැබූ පිළිතුරු වූයේ: “ඔබේ හෘදය ආශා කරන ඕනෑම දෙයක් කිරීමට.” “ජීවිතයේ සෑම මොහොතකින්ම උපරිමය ගැනීමට.” “කා බී ප්‍රීතියෙන් විනෝදවීමට.” “දරුවන් ලබා, සන්තෝෂ වී, පසුව මියයාමට” යන්නය. තම ජීවිතයට තිබෙන සියල්ල එපමණයයි බොහෝ දෙනෙකුට හැඟුණි. පොළොව මත ජීවිතයට යම් දිගු කාලීන අරමුණක් සම්බන්ධව කිසිවෙක් කථා කළේ නැත.
2 කොන්ෆිසියානු විශාරදයෙක් මෙසේ පැවසීය: “ජීවිතයේ පරම අර්ථය සොයා ගත හැක්කේ, අපගේ සාමාන්‍ය, මිනිස් පැවැත්ම තුළය.” මීට අනුව, ජනයාගේ ඉපදීම දිගටම සිදුවී, වසර 70ක් හෝ 80ක් පුරා පොරබැදීමක් කර, අවසානයේ සදහටම පැවැත්මෙන් තොර වෙනවා ඇත. පරිණාමවාදී විද්‍යාඥයෙක් මෙසේ පැවසීය: “අප මීට වඩා ‘උත්කෘෂ්ට’ පිළිතුරක් සොයනවා විය හැක—නමුත් එවැන්නක් නොපවතී.” මෙම පරිණාමවාදීන්හට, ජීවිතය යනු බේරී ජීවත්වීම සඳහා වූ පොරබැදීමකි, ඇරත් සියල්ල මියයෑමෙන් කෙළවර වේ. එවන් දර්ශනවාදවලින් ඉදිරිපත් වන්නේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු විරහිත දෘෂ්ටියකි.
3, 4. බොහෝදෙනා ජීවිතය දෙස බලන ආකාරය, ලෝක තත්ත්වයන් මගින් බලපෑමට ලක්වන්නේ කෙසේද?
3 මිනිස් පැවැත්ම මෙතරම් දුක්ඛිත තත්ත්වයන්ගෙන් පිරී තිබෙනවා දකින විට බොහෝදෙනා ජීවිතයට අරමුණක් තිබේ දැයි සැක කරති. කාර්මික හා විද්‍යාත්මක ඉටුකරගැනීම්වල ඉහළ මුදුන් පෙත්තටම නැඟ තිබෙනවායයි සලකනු ලබන අපේ කාලයේදී, ලෝවටා බිලියනයක් පමණ ජනතාව දරුණු අසනීපවලින් හෝ මන්දපෝෂණයෙන් පෙළෙති. එවැනි හේතුකාරක නිසා, සෑම වසරකම දරුවන් මිලියන ගණනක් මියයති. මීට අමතරව, මීට පෙර වසර හාරසියයක යුද්ධවලින් මියගිය සංඛ්‍යාවට වඩා හතර ගුණයකින් මෙම 20වන සියවසේදී, යුද්ධවලින් මියගිය සංඛ්‍යාව, වැඩිය. අපරාධ, ප්රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, පවුල් බිඳවැටීම්, ඒඩ්ස් සහ ලිංගිකව බෝවෙන වෙනත් රෝග—නිෂේධාත්මක සාධකවල ලැයිස්තුව වැඩිවෙයි. ලෝක නායකයන්ට මෙම ගැටලුවලට විසඳුම් නැත.
4 මෙම තත්ත්වයන් සැලකිල්ලට ගන්නා කල, එක් තැනැත්තියක්, බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙය මෙසේ පළකළාය: “ජීවිතයට කිසිම තේරුමක් නැහැ. මෙම නරක දේවල් සියල්ල සිදුවෙමින් තිබෙනවා නම්, එසේ නම්, ජීවිතය වැඩි අර්ථයක් නැති දෙයක්.” එක් වයසක මිනිසෙක් මෙසේ පැවසුවේය: “මගේ ජීවිතයේ බොහෝ කලක් පුරා මා අසමින් සිටි දෙයක් නම්, මා මෙහි සිටින්නේ ඇයිද යන්නයි. අරමුණක් තිබේ නම්, මා දැන් ඒ ගැන උනන්දුවන්නේ නැහැ.” එබැවින්, දුක්විඳීමට දෙවියන්වහන්සේ විසින් ඉඩ හැර තිබීමේ හේතුව සමූහයා නොදන්නා නිසා, පීඩාකාරී ලෝක තත්ත්වයන්, අනාගතය සම්බන්ධයෙන් කිසිඳු අරමුණක් නැතිව සිටීමට ඔවුන්හට හේතුකරවයි.
5. මෙම ලෝකයේ ආගම්, ජීවිතයේ අරමුණ සම්බන්ධ වියවුලට දායක වන්නේ මන්ද?
5 ජීවිතයේ අරමුණ සම්බන්ධව ආගමික නායකයෝ පවා බෙදී අස්ථිරව සිටිති. ලන්ඩනයේ සා. පාවුලු ආසන දෙව්මැදුරේ හිටපු නායක දේවගැතිවරයෙක් පැවසුවේ මෙසේය: “මා මගේ ජීවිතය පුරා, ජීවත්වීමේ අරමුණ සොයා ගැනීමට බලවත් උත්සාහයක් දැරුවා. . . . මා එයින් අසමත් වී සිටිනවා.” මරණයේදී යහපත් අය ස්වර්ගයට යන බවත්, නරක අය සදාකාලයටම ගිනිමය නිරයකට යන බවත් බොහෝ පූජකයන් උගන්වන බව සැබෑය. එහෙත් මෙම දෘෂ්ටිය තවමත් මිනිස් වර්ගයාව පොළොව මත එහි දුක්පීඩා සහිත ජීවිත මාර්ගයේ රඳවා ගෙන සිටී. ඇරත්, මිනිසුන් ස්වර්ගයේ ජීවත්වීම දෙවියන්වහන්සේගේ අරමුණ වූවා නම්, උන්වහන්සේ දේවදූතයන්ව මැව්වාක් මෙන් මිනිස් වර්ගයාව ආරම්භයේදීම ස්වර්ගික මැවිලි ලෙස මවා, එනයින් ඔවුන්ට මෙතරම් දුක්විඳීමෙන් වළකාලීමට මඟ සලසා නොගත්තේ මන්ද? මේ අනුව බලන කල, පොළොව මත ජීවිතයේ අරමුණ සම්බන්ධයෙන් ඇති වී තිබෙන වියවුල හෝ එයට කිසියම් අරමුණක් තිබෙනවාය කියා විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කිරීම පොදු දෙයකි.
අරමුණක් සහිත දෙවිඳාණෝ
6, 7. විශ්වනීය පරමාධිපතියාණන් ගැන බයිබලය අපට පවසන්නේ කුමක්ද?
6 එහෙත්, යෙහෝවඃවහන්සේ, එනම් විශ්වයේ පරමාධිපතියාණෝ අරමුණක් සහිත දෙවියන්වහන්සේ බව ඉතිහාසයේ වඩාත් පුළුල් ලෙස බෙදා හැර ඇති පොත වන ශුද්ධ බයිබලය අපට පවසයි. උන්වහන්සේට පොළොව මත සිටින මිනිස් වර්ගයා සඳහා ඉතා දිගුකාලීන, ඇත්තෙන්ම, සදාකාලික අරමුණක් තිබෙන බව එය අපට පෙන්වයි. තවද යෙහෝවඃවහන්සේ යමක් අරමුණු කරන විට, එය නොවරදවාම ඉෂ්ට වෙනවා ඇත. වර්ෂාව මගින් බීජ වර්ධනය වීමට සලස්වනවාක් මෙන්, “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵල කරනවා ඇත” යනුවෙන් දෙවියන්වහන්සේ පවසන සේක. (යෙසායා 55:11) යෙහෝවඃවහන්සේ තමා යමක් ඉෂ්ට කරන බවට පවසනසේක් නම්, “සැබෑ වන්නේ එයයි.”—යෙසායා 14:24, NW.
7 දෙවියන්වහන්සේ “බොරුනොකියන” බැවින්, සර්වබලධාරී තැනැන්වහන්සේ ස්වකීය පොරොන්දු ඉටු කරන බවට මිනිසුන් වන අපට පූර්ණ නිසැකකමක් තබා ගත හැක. (තීතස් 1:1; හෙබ්‍රෙව් 6:18) යමක් කරන බවට උන්වහන්සේ අපට පවසන විට, එය ඉටුවන බවට උන්වහන්සේගේ වචනය අපට සහතිකයකි. එය හරියටම දැනටමත් කර හමාර වූවාක් මෙනි. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත, මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත, මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනැන්වහන්සේය. . . . මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.”—යෙසායා 46:9-11.
8. අවංක ලෙස දෙවියන්වහන්සේව දැනගැනීමට කැමති අයට උන්වහන්සේව සම්බ විය හැකිද?
8 එපමණක්ද නොව, යෙහෝවඃවහන්සේ, “සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට . . . නොකැමතිව” සිටින සේක. (2 පේතෘස් 3:9) කිසිවෙක් තමන්වහන්සේ ගැන නොසලකා හරිනවාට උන්වහන්සේ කැමති නැත්තේ මේ හේතුව නිසාය. අසරියා නමැති අනාගතවක්තෘවරයා මෙසේ පැවසීය: “නුඹලා [දෙවියන්වහන්සේ] සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.” (2 ලේකම් 15:1, 2) මෙබැවින්, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ අරමුණු අවංකව දැනගැනීමට වුවමනා අය, උන්වහන්සේව සෙවීමට ප්රයත්නයක් දැරුවහොත් ස්ථිර වශයෙන්ම එසේ කළ හැක.
9, 10. (අ) දෙවියන්වහන්සේ දැනගැනීමට වුවමනා කරන අය සඳහා සපයනු ලැබ ඇත්තේ කුමක්ද? (ආ) දේව වචනය සම්බන්ධව කරන ගවේෂණයක් අපට හැකි කරවන්නේ කුමක් කිරීමටද?
9 සොයන්නේ කොතැනකද? සැබෑවටම දෙවියන්වහන්සේ සොයන අයට, උන්වහන්සේ ස්වකීය වචනය වන බයිබලය සපයා තිබේ. ස්වකීය ශුද්ධාත්මය මගින්, එනම් විශ්වය මැවීමට යොදා ගන්නා ලද එම ක්‍රියාකාරික බලය මගින්, ස්වකීය අරමුණු ගැන අප විසින් දැනගැනීමට අවශ්‍ය දේ ලියා තැබීමට උන්වහන්සේ ඇදහිලිවන්ත පුරුෂයන්ව මෙහෙයවූ සේක. නිදසුනක් වශයෙන්, බයිබල් අනාවැකි සම්බන්ධව, ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසීය: “කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් [ශුද්ධාත්මය, NW] විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.” (2 පේතෘස් 1:21) මේ හා සමානව, ප්‍රේරිත පාවුල් ප්‍රකාශ කළේ මෙසේයි: “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව [සම්පූර්ණයෙන් සමර්ථව, NW], සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව [මුළුමනින්ම සන්නාහ සන්නද්ධව සිටින, NW] පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16; 1 තෙසලෝනික 2:13.
10 අර්ධ වශයෙන් හෝ අසම්පූර්ණව නොව, නමුත් “සම්පූර්ණයෙන් සමර්ථව,” “මුළුමනින්ම සන්නාහ සන්නද්ධව” සිටීමට දේව වචනය අපහට හැකිකරවන බව සැලකිල්ලට ගන්න. දෙවියන්වහන්සේ කවුද කියාත්, උන්වහන්සේගේ අරමුණු මොනවාද කියාත්, උන්වහන්සේ ස්වකීය සේවකයන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද කියාත් ස්ථිරලෙස දැනගැනීමට එය අපහට ඉවහල් වෙයි. දෙවියන්වහන්සේ විසින් කර්තෘත්වය දරන ලද පොතකින් මෙය අපේක්ෂා කළ යුතුය. තවද දෙවියන්වහන්සේ පිළිබඳව ඒකාන්ත දැනුම ලැබීමට අපට සොයා බැලිය හැකි එකම ප්‍රභවයද එයයි. (හිතෝපදේශ 2:1-5; යොහන් 17:3) එසේ කිරීම මගින්, “අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපාමාරුවෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන්” නොවෙමු. (එපීස 4:12, 14) ගීතිකාකරු නිසි දෘෂ්ටිකෝණය පළ කළේය: “ඔබගේ [දෙවියන්වහන්සේගේ] වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.
ප්‍රගතිශීලීව හෙළි කෙරේ
11. යෙහෝවඃවහන්සේ ස්වකීය අරමුණු මිනිස් වර්ගයා වෙත හෙළි කර ඇත්තේ කෙසේද?
11 මිනිස් පවුලේ මූලාරම්භයේදීම, යෙහෝවඃවහන්සේ, පොළොව හා ඒ මත වෙසෙන මිනිසුන් සඳහා ස්වකීය අරමුණු හෙළි කළ සේක. (උත්පත්ති 1:26-30) එහෙත්, අපගේ පළමු දෙමාපියන් දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ, මිනිස් වර්ගයා ආත්මික අන්ධකාරයට හා මරණයට වැටුණි. (රෝම 5:12) කෙසේවෙතත්, තමන්වහන්සේට සේවය කිරීමට වුවමනා කරන අය සිටින්නට යනු ඇති බව යෙහෝවඃවහන්සේ දැන සිටි සේක. එමනිසා, ගත වී තිබෙන සියවස් ගණනාව පුරා, උන්වහන්සේ ස්වකීය අරමුණු ස්වකීය ඇදහිලිවන්ත සේවකයන්හට ප්‍රගතිශීලීව හෙළි කොට තිබේ. උන්වහන්සේ තොරතුරු දැනුම් දුන් සමහරක් අය නම්, ඒනොක් (උත්පත්ති 5:24; යූද් 14, 15), නෝවා (උත්පත්ති 6:9, 13) ආබ්‍රහම් (උත්පත්ති 12:1-3) සහ මෝසෙස්ය (නික්මයාම 31:18; 34:27, 28). දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ වූ ආමොස් මෙසේ ලීවේය: “[පරමාධිපති, NW] ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] තමන්ගේ රහස [රහසිගත කාරණය, NW] තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.”—ආමොස් 3:7; දානියෙල් 2:27, 28.
12. යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ අරමුණු කෙරෙහි තවතවත් ආලෝකය හෙළුවේ කෙසේද?
12 ඒදන් උයනේ ඇතිවූ කැරලි ගැසීමට වසර 4,000කට පමණ පසු දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මිහිපිට සිටි කල, යෙහෝවඃවහන්සේගේ අරමුණු පිළිබඳව තවත් බොහෝ තොරතුරු හෙළිකරනු ලැබීය. පොළොව පුරා පාලනය කිරීම සඳහා ස්වර්ගික රාජ්‍යයක් පිහිටුවීමට වූ දෙවියන්වහන්සේගේ අරමුණ සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම එසේ විය. (දානියෙල් 2:44, 45) යේසුස්වහන්සේ සිය ඉගැන්වීම්වල තේමාව කර ගත්තේ එම රාජ්‍යයයි. (මතෙව් 4:17; 6:10) එම රාජ්‍යය යටතේ, පොළොව සහ මනුෂ්‍ය වර්ගයා සඳහා වූ දෙවියන්වහන්සේගේ මුල් අරමුණ ඉෂ්ට වනු ඇති බව උන්වහන්සේ සහ සිය ගෝලයෝ ඉගැන්වූහ. මෙම පොළොව, සදාකාලයටම ජීවත් වන්නට යන පරිපූර්ණ මිනිසුන් විසින් වාසය කිරීමට සුදුසු පාරාදීසයක් බවට පරිවර්තනය කරනු ලබනවා ඇත. (ගීතාවලිය 37:29; මතෙව් 5:5; ලූක් 23:43; 2 පේතෘස් 3:13; එළිදරව් 21:4) එපමණක්ද නොව, දෙවියන්වහන්සේ විසින් දානය කරන ලද බලය කරණකොටගෙන ප්රාතිහාර්ය සිදුකිරීම මගින් එම නව ලෝකය තුළ සිදුවන්නට යන දෙය යේසුස්වහන්සේ සහ සිය ගෝලයෝ නිරූපනය කළෝය.—මතෙව් 10:1, 8; 15:30, 31; යොහන් 11:25-44.
13. දෙවියන්වහන්සේ මිනිස් වර්ගයා සමඟ කටයුතු කිරීම සම්බන්ධව, පො.යු. 33 පෙන්තකොස්තයේදී ඇති වූ වෙනස කුමක්ද?
13 යේසුස්වහන්සේගේ මරණයට දවස් 50කට පමණ පසු, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී, දෙවියන්වහන්සේගේ ආත්මය, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ගේ සභාව මතට වගුරුවන ලදි. යෙහෝවඃවහන්සේගේ ගිවිසුමැති ජනයා වශයෙන් සිටි නොඇදහිලිකාර ඉශ්‍රායලය වෙනුවට, එම සභාව එහි තැන ගත්තේය. (මතෙව් 21:43; 27:51; ක්‍රියා 2:1-4) එම අවස්ථාවේ ශුද්ධාත්මය වගුරවනු ලැබීම, එවක් පටන් දෙවියන්වහන්සේ මෙම නව නියෝජිත ක්‍රමයක් තුළින් ස්වකීය අරමුණු පිළිබඳ සත්‍යතාවයන් එළිදරව් කරනු ඇති බවට සාක්ෂියක් විණි. (එපීස 3:11) පොදු යුගයේ පළමු සියවස අතරතුරේදී, ක්‍රිස්තියානි සභාවේ සංවිධානාත්මක ව්‍යූහය පිහිටුවන ලදි.—1 කොරින්ති 12:27-31; එපීස 4:11, 12.
14. සත්‍යය සොයන්නන්ට සැබෑ ක්‍රිස්තියානි සභාව හඳුනාගත හැක්කේ කෙසේද?
14 අදදින, සත්‍යය සොයන අයට, දෙවියන්වහන්සේගේ පරම ගුණාංගය වන ප්‍රේමය සැබෑ ක්‍රිස්තියානි සභාව, තුළ නිරතුරුවම විදහා දක්වනු ලබනවා දැකීම මගින් එය පහසුවෙන් හඳුනාගත හැක. (1 යොහන් 4:8, 16) ඇත්ත වශයෙන්ම, සහෝදර ප්‍රේමය වූකලි අව්‍යාජ කිතු දහමේ හඳුනාගැනීමේ ලකුණකි. යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” “මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරපල්ලා යනුය.” (යොහන් 13:35; 15:12) තවද යේසුස්වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ සිහිගැන්වූ සේක: “මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.” (යොහන් 15:14) එමනිසා, දෙවියන්වහන්සේගේ සැබෑ සේවකයන් වනාහි ප්‍රේමයේ ව්‍යවස්ථාව අනුව ජීවත්වන අයය. ඔවුන් ඒ ගැන නිකම් කථා කරනවා නොවේ, “ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.”—යාකොබ් 2:26.
ඥානාලෝකය
15. දෙවියන්වහන්සේගේ සේවකයන්හට කුමක් ගැන සහතික විය හැකිද?
15 කාලයාගේ ඇවෑමෙන් සැබෑ ක්‍රිස්තියානි සභාව දෙවියන්වහන්සේගේ අරමුණ පිළිබඳව තව තවත් ඥානාලෝකය ලබනු ඇති බව යේසුස්වහන්සේ පුරෝකථනය කළ සේක. උන්වහන්සේ ස්වකීය අනුගාමිකයන්හට මෙසේ පොරොන්දු වූ සේක: ‘මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයා, එනම් ශුද්ධාත්මය, නුඹලාට සියල්ල උගන්වයි.’ (යොහන් 14:26) යේසුස්වහන්සේ මෙසේද පැවසූ සේක: “මමද ලෝකාන්තිමය [දේවල පිළිවෙළේ සමාප්තිය, NW] දක්වා සෑමකල්හිම නුඹලා සමඟ සිටිමි.” (මතෙව් 28:20) මෙසේ, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ අරමුණු පිළිබඳ සත්‍යතාවයන් සම්බන්ධයෙන් ඥානාලෝකය, දෙවියන්වහන්සේගේ සේවකයන් අතර වර්ධනය වෙයි. එසේය, “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.”—හිතෝපදේශ 4:18.
16. දෙවියන්වහන්සේගේ අරමුණට එකඟව අප සිටින්නේ කොතැනකද යන්න පිළිබඳව අපගේ ආත්මික ඥානාලෝකය අපට පවසන්නේ කුමක්ද?
16 අදදින, එම ආත්මික ආලෝකය වෙන කවරදාකටත් වඩා දීප්තිමත්ය, මන්දයත් අප සිටින්නේ බොහෝ බයිබල් අනාවැකි ඉටුවෙමින් තිබෙන හෝ ඉටුවීමට ආසන්නව තිබෙන කාලයක බැවිනි. මේවායින් පෙන්වන්නේ, අප ජීවත්වෙමින් සිටින්නේ, මෙම නපුරු දේවල පිළිවෙළේ “අන්තිම දවස්වල” බවයි. “දේවල පිළිවෙළේ සමාප්තිය” වශයෙන් යේසුස්වහන්සේ හැඳින්වූ කාල පරිච්ඡේදය මෙයයි; ඉන් අනතුරුව දෙවියන්වහන්සේගේ නව ලොව උදා වනු ඇත. (2 තිමෝති 3:1-5, 13; මතෙව් 24:3-13, NW) දානියෙල් විසින් පුරෝකථනය කළ පරිදි, දෙවියන්වහන්සේගේ රාජ්‍යය නොබෝ කලකින්, “[දැන් පවතින] සියලු රාජ්‍යවල් පොඩිකර නැතිකරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:45.
17, 18. දැනටම ඉටුවෙමින් තිබෙන උදාර අනාවැකි මොනවාද?
17 දැන් ඉටුවෙමින් පවතින අනාවැකි අතර තිබෙන එකකි, මතෙව් 24වෙනි පරිච්ඡේදයේ 14, පදයේ [NW] වාර්තා වී ඇති අනාවැකිය. එහි යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොවේ දේශනා කරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙනු ඇත.” මුළු ලොව පුරා, එම රාජ්‍යය දේශනා කිරීමේ කර්තව්‍යය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් විසින් කරනු ලබමින් තිබේ. තවද සිය දහස් ගණනක් ජනයා සෑම වසරකම ඔවුන් හා සමඟ හවුල් වෙමින් සිටිති. මෙම නපුරු ලෝකයේ “දවස්වල අවසාන කොටසේදී,” [NW] බොහෝ ජාතීන්ගෙන් යුත් ජනයා යෙහෝවඃවහන්සේගේ සැබෑ නමස්කාරය කරා එන බවටත්, උන්වහන්සේ ‘ඔවුන්ට ස්වකීය මාර්ග ගැන උගන්වන බවටත්, ඔවුහු උන්වහන්සේගේ මාවත්වල යන’ බවටත් පවසන යෙසායා 2:2, 3හි අනාවැකිය සමඟ මෙය එකඟය.
18 යෙසායා 60වෙනි පරිච්ඡෙදයේ 8වෙනි පදයේ පුරෝකථනය කර ඇති පරිදි, මෙම නවකයෝ “වළාකුලක් මෙන්” යෙහෝවඃවහන්සේගේ නමස්කාරය කරා එක් රොක් වෙමින් සිටිති. විසි දෙවෙනි පදය මෙසේ එකතු කරයි: “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ [යෙහෝවඃ වූ, NW] මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.” සාක්ෂිවලින් පෙන්වන්නේ, එම කාලය දැන් පැමිණ ඇති බවයි. තවද යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරමින් සිටින නවකයන්ට, තමන් සැබෑ ක්‍රිස්තියානි සභාව සමඟ සම්බන්ධ වී ඇති බවට නිසැක විය හැකිය.
19. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන නවකයන් සැබෑ ක්‍රිස්තියානි සභාවට පැමිණෙමින් සිටිනවාය කියා අප කියන්නේ මන්ද?
19 අපට මෙය සහතිකවම කිව හැක්කේ මන්ද? මක්නිසාදයත්, මෙම නවකයන්, යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ දැනටමත් සිටින මිලියන සංඛ්‍යාත ජනයා සමඟ, දෙවියන්වහන්සේට තම ජීවිත කැප කොට, උන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටින නිසාය. මීට ඇතුළත් වන්නේ, දේව ප්‍රේමයේ ව්‍යවස්ථාවට අනුකූලව ජීවත්වීමයි. මෙහි එක් සාක්ෂියක් වශයෙන්, මෙම ක්‍රිස්තියානින්, ‘තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළා ගෙන ඇති අතර තවත් යුද්ධ ඉගෙනගන්නේ නැත.’ (යෙසායා 2:4) ලොව වටා සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියලු දෙනා මෙය කර තිබේ, මන්දයත් ඔවුහු ප්‍රේමය ක්‍රියාවට නංවන බැවිනි. මින් අදහස් කරන්නේ, එකිනෙකාට හෝ වෙනත් අයෙකුට හෝ එරෙහිව කිසිවිටෙකත් යුද අවි ගැනීමට ඔවුන්ට නොහැකි බවයි. මේ අතින් ඔවුහු අසහාය වෙති—ලෝකයේ අනෙකුත් ආගම් මෙන් නොවේ. (යොහන් 13:34, 35; 1 යොහන් 3:10-12, 15) භේදකාරී ජාතිවාදයට ඔවුන් සම්බන්ධවන්නේ නැත, මන්දයත් ඔවුන් “එක්සත්කමේ පරිපූර්ණ බැම්මක්” වන ප්‍රේමය මඟින් එකට බැඳී තිබෙන සමස්ත ලෝක සහෝදරත්වයක් සාදන බැවිනි.—කොලොස්සි 3:14, NW; මතෙව් 23:8; 1 යොහන් 4:20, 21.
බහුතරය නොදැන සිටීමට තෝරා ගනිති
20, 21. මිනිස් වර්ගයාගේ ඉතා විශාල බහුතරයක් ආත්මික අන්ධකාරයේ සිටින්නේ මන්ද? (2 කොරින්ති 4:4; 1 යොහන් 5:19)
20 දෙවියන්වහන්සේගේ සේවකයන් අතර ආත්මික ආලෝකය වඩ වඩා දීප්තිමත් වෙත්ම, පෘථිවි ජනගහණයට අයත් සෙස්සෝ කවරදාකවත් නොවූ තරම් ආත්මික අන්ධකාරය තුළ පහත බසිමින් සිටිති. ඔවුහු යෙහෝවඃවහන්සේවත් උන්වහන්සේගේ අරමුණුවත් නොදනිත්. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා මෙසේ පැවසූ විට මෙම කාලය විස්තර කළේය: “එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය.” (යෙසායා 60:2) මෙය මෙසේ වන්නේ මන්දයත්, දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගැනීමට ජනයා අවංක උනන්දුවක් දක්වන්නේවත්, උන්වහන්සේව සතුටු කිරීමට ඔවුන් උත්සාහයක් දරන්නේවත් නැති හෙයිනි. යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “විනිශ්චය [සඳහා පදනම, NW] නම් මේය—ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය. නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති.”—යොහන් 3:19, 20.
21 එවැනි පුද්ගලයෝ දෙවියන්වහන්සේගේ කැමැත්ත සෙවීමෙහිලා අව්‍යාජ ලෙස උනන්දු නොවෙත්. ඒ වෙනුවට, ඔවුන් තම ජීවිත කේන්ද්‍රගත කරන්නේ තමන්ගේම කැමැත්ත කිරීම මතය. දෙවියන්වහන්සේගේ කැමැත්ත නොසලකා හැරීමෙන් ඔවුහු තමන්වම අන්තරාදායක තත්ත්වයක තබති, මන්ද, උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්නේ මෙසේය: “ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.” (හිතෝපදේශ 28:9) ඔවුන් විසින් තෝරාගත් ක්‍රියාමාර්ගයේ විපාක ඔවුන් නෙලා ගන්නවා ඇත. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “නොරැවටෙල්ලා; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය.”—ගලාති 6:7.
22. දෙවියන්වහන්සේ දැනගැනීමට වුවමනා කරන බොහෝ දෙනෙක් දැන් කරමින් සිටින්නේ කුමක්ද?
22 කෙසේවුවද, දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට ඇත්තෙන්ම කැමැත්තෙන් සිටින, උන්වහන්සේව අවංක ලෙස සොයන, උන්වහන්සේට ළංවෙමින් සිටින විශාල සෙනඟක් සිටිති. “දෙවියන්වහන්සේට ළංවෙයල්ලා, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක” කියා යාකොබ් 4:8 පවසයි. එවැනි අය ගැන යේසුස්වහන්සේ පැවසුවේ මෙසේයි: “සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේය.” (යොහන් 3:21) තවද, ආලෝකය කරා පැමිණෙන අයට දෙවියන්වහන්සේ අරමුණු කර තිබෙන්නේ මොනතරම් මවිතකර අනාගතයක්ද! මෙම පුදුම දනවන අපේක්ෂාවන් ගැන අපගේ ඊළඟ ලිපිය තුළ සාකච්ඡා කෙරෙනවා ඇත.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ ජීවිතයේ අරමුණ පිළිබඳව බොහෝ දෙනෙක් පවසන්නේ කුමක්ද?
◻ අරමුණක් සහිත දෙවිකෙනෙකු වශයෙන් යෙහෝවඃවහන්සේ තමන්වම හෙළි කරන්නේ කෙසේද?
◻ පොදු යුගයේ පළමු සියවසේදී සිදුවූ මහත් ඥානාලෝකය කුමක්ද?
◻ අදදින සැබෑ ක්‍රිස්තියානි සභාව හඳුනාගත හැක්කේ කෙසේද?