සාර්ථකත්වයට එකම මඟ තරඟ වැදීමද?
“ජයග්‍රහණය කිරීම තරම් වැදගත් කිසිඳු යමක් නැත.” වින්ස් ලොම්බාඩි නම් අමෙරිකානු පාපන්දු පුහුණුකරුවෙකුට නිතර ආරූඪ කරනු ලබන මෙම වදන්වලට අනුව අදදින බොහෝ දෙනෙක් ජීවත් වෙති. කලින් කොමියුනිස්ට්වාදීව තිබූ රටවල්, දැන්, තරඟකාරිත්වයේ මූලධර්මය මහත්සේ ප්‍රශංසාවට ලක් කිරීමෙහි එක්වී සිටිත්. සිය වෙළෙඳ පොළට තරඟකාරිත්වය හඳුන්වා දීම සමෘද්ධියට ප්‍රවේශ පත්‍රය යයි කියනු ලැබේ. පෙරදිග රටවල, බොහෝ මව්පියෝ සිය දරුවන්ව අන්‍යයන් සමඟ තරඟවැදීමට සලස්වන අතර ඔවුන්ව යවන්නේ ප්‍රවේශ පරීක්ෂණ සමත්වීමේ දක්ෂ ක්‍රමය ඔවුන්ට ඉක්මනින් උගන්වන්නාවූ පාසල්වලටය. මෙම විෂය පිළිබඳව පමණ ඉක්මවා සැලකිල්ලක් දක්වන මව්පියන් ඒත්තු ගෙන සිටින්නේ පොදුජන කීර්තිය දිනූ පාසල්වලට ඇතුල්වීම අනාගත සමෘද්ධියට යතුර බවය.
තරඟකාරිත්වය, සාර්ථකත්වයට මූලික අවශ්‍යතාව යයි බොහෝ දෙනෙක් ස්ථිරව විශ්වාස කරති. ඔවුන්ගේ විශ්වාසය අනුව, මනුෂ්‍යයන් ප්‍රගතිය ලබා ඇත්තේ එකිනෙකා සමඟ තරඟ වැදීමෙනි. ආර්ථික සංවිධාන පිළිබඳ ජපන් ඒකාබද්ධ මණ්ඩලය විසින් පවත්වන ලද සමීක්ෂණයකදී ප්‍රධාන සංස්ථාවන්හි විධායකයන්ගෙන් සියයට 65.9ක් පැවසුවේ “රැකිය උසස් වීමක් ලැබීමට තරඟ කීරීම ජපන් සංස්ථාවල ජීව ශක්තියේ ප්රභවය” කියාය. තවද ජපන් සමාගම් යම් කාලයක් පුරා සාර්ථක වෙමින් තිබූ බවද පෙනෙන්නට තිබේ. කෙසේවෙතත්, සාර්ථකත්වයට මුලික අවශ්‍යතාවය තරඟයද?
සැබවින්ම විපාකදායකද?
අන්‍යයන්ට එරෙහිව තරඟ වදින අය විදහා පෙන්වන්නේ ආත්මාර්ථකාමි, ප්‍රථමයා මම යන ආකල්පයකි. අන්‍යයන්ට අයහපතක් සිදුවන විට එය පිළිවෙළින් තමන්ගේ ක්‍රියාකාරකම් ඉහළ මට්ටමකට නංවනු ඇතැයි කල්පනා කරමින්, ඔවුහු සතුටු වෙති. තමන්ගේම ආත්මාර්ථකාමි වාසිය පිණිස, අන්‍යයන්ට හානිදායක උපක්‍රම ඔවුන් උපයෝගි කරගන්නට පුළුවන. තරඟකාරිත්වය තුළින් එයාකාරයෙන් සාර්ථකත්වය පසු පස හඹා යාම තුඩුදිය හැක්කේ කුමකටද? සිය සමාගමේ වැදගත් පුද්ගලයෙක් බවට පත්වීමේ තරඟයට තමන්ව ඇතුල් කරගත් යාසූ, තමාගේ අතීත ක්‍රියාකලාපය සිහියට නගමින් මෙසේ පවසයි: “තරඟකාරී ස්වභාවයකින් හා උසස්වීම කේන්ද්‍ර කොට ගත් කල්පනාවකින් පූර්ණව, මම මාව අන්‍යයන් සමඟ සසඳා උසස්භාවයේ හැඟීමක් ලැබුවා. ඒ අයව මට වඩා ඉහළ තත්ත්වයකට පත් කරනු ලැබූ විට, මම සෑම දවසකම සමාගමේ සේවක කළමනාකරණය පිළිබඳව කනස්සල්ල හා චෝදනා පළ කරන්නට වුණා. මට වචනයේ සැබෑ පරිසමාප්තියෙන්ම මිත්‍රයන් සිටියේ නැහැ.”
තරඟකාරී ස්වභාවයක් අකල් මරණයකටද තුඩුදිය හැකිය. ඒ කෙසේද? ජපානයේ මයිනිචි ඩේලි නිව්ස් නම් ඉංග්‍රීසි පුවත්පත කාරොෂි, නැතහොත් පමණ ඉක්මවා වැඩ කිරීමෙන් ඇති වන මරණය, A-වර්ගයේ හැසිරීමක් සමඟ සම්බන්ධ කරයි. A-වර්ගය යන්නෙන් විස්තර කෙරෙන්නේ, කාලයේ හදිසිතාවය, තරඟකාරිත්වය හා විවාදශීලීකම මගින් ඇතිවන ක්ලමථය සමඟ පොරබදින හැසිරීම් රටාවකි. අමෙරිකානු හෘද රෝග විශේෂඥයන් වන ෆ්රයිඩ්මන් හා රෝසන්මන් A-වර්ගයේ හැසිරීම කිරීටක හෘද රෝග සමඟ සම්බන්ධ කරති. එසේය, තරඟකාරී ස්වභාවයක් මාරාන්තික විය හැකිය.
රැකියා ස්ථානයේ තරඟකාරිත්වය වෙනත් කායික හා මානසික ආබාධයන්ටද මඟ පෙන්වන්නට පුළුවන. ජපානයේ ප්රමුඛ පෙළේ මෝටර් රථ අලෙවි ස්ථානයක හොඳම වෙළෙඳාම්කරුව සිටි කෙනොස්කේ එක් උදාහරණයකි. ඔහු මොටර් රථ 1,250ක් විකිණීමෙන් වාර්තාවක් තැබීය. ඔහුගේ පින්තූරය එම සමාගමේ මූලස්ථානයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පාවිච්චි කරන කාමරයේ රාමු කර එල්ලා තබනු ලැබීය. උසස්වීම් ලැබීමට පඩි-ගල් හැටියට තමා සමඟ වැඩ කරන අන් අයව පාවිච්චි කිරීම ඔහු පිළිකුල් කළත්, සමාගම ඔහුව පෙලඹවූයේ තරඟ කිරීමටය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, වසරක් ඇතුළත ඔහු ආමාශයික හා ග්‍රහණි වණවලින් පීඩා වින්ඳේය. එම වසරේම, ඔහුගේ සමාගමේ විධායකයන් 15දෙනෙක් රෝහල් ගත කරනු ලැබූ අතර එක්කෙනෙක් සියදිවි හානි කර ගත්තේය.
නිවසේදී, අල්ලපු ගෙදර සිල්වාට තිබෙන දේවල් අපටත් ලබාගැනීමේ ආකල්පය, කිසි දිනක නිමා නොවන ප්රතිවිරෝධය දැක්වීමක් තුළ සිය ජීවනෝපාය පිළිබඳ ප්‍රදර්ශනයක් කිරීමට ජනයාව පොලඹවයි. (1 යොහන් 2:16) මෙය පොළොවේ වෙළෙන්ඳන්ගේ අතට ධනය පමුණුවමින්, වාසි සලසන්නේ වාණිජ්යවාදයට පමණකි.—එළිදරව් 18:11 සසඳන්න.
ප්රතිවිරෝධය හා තරඟකාරී ස්වභාවය රැකියාවේ ප්‍රවීණතාවයක් ඇති කළද, සාලමොන් රජ මෙවන් නිරීක්ෂණයක් කිරීම පුදුමයක් නොවේ: “සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යාව [ප්රතිවිරෝධය, NW] විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.” (දේශනාකාරයා 4:4) එසේනම් තරඟකාරී සමාජයක ජීවත් වන අතර අපට මනසේ සමාදානය පවත්වා ගත හැක්කේ කෙසේද? මෙය සොයා ගැනීමට, අපි මුලින්ම තරඟකාරිත්වයේ සංකල්පය පටන් ගත් ස්ථානය සොයා බලමු.