පුරෝගාමිහු ආශීර්වාද පිරිනමා ලබා ගනිති
“පුරෝගාමි සේවයේ නියැලීම, සාර්ථක වූ ලෞකික වෘත්තියකට හෝ ජීවිකාවකට වඩා හාත්පසින් ම අගේ ඇති දෙයකි. යෙහෝවඃ වහන්සේ ගැනත්, උන් වහන්සේගේ සත්‍යය ගැනත් දැනගැනීමට ජනයා හට උපකාර කිරීම තරම් තෘප්තිකර වූ වෙනත් කිසිඳු යමක් නොමැත.” එසේ පැවසුවේ, තමාගේ ජීවිතයේ කාර්යය හැටියට පුරෝගාමි සේවයේ නියැලීම—එනම් රාජ්‍යය පිළිබඳ ව පූර්ණ-කාලීන ව දේශනා කිරීම—තෝරා ගත් එක්තරා ක්‍රිස්තියානි කාන්තාවකි. වෙනත් වෘත්තීන් හට කොතරම් ප්‍රමාණයකට එවන් සන්තෝෂයක් පිරිනැමිය හැකි ද?
පුරෝගාමි සේවයේ නියැලීම උදාර ඉලක්කයක් මෙන් ම අනභිභවනීය වරප්‍රසාදයක් ද වන්නේ ය. පුද්ගලයෙකුට එවන් ජීවිතයක් තෝරා ගත හැක්කේ කෙසේ ද? එය ඉදිරිපත් කරන ආශීර්වාද නෙළා ගැනීමට තරම් දිගු කලක් එහි රැඳී සිටින්නට අවශ්‍ය වන්නේ කුමක් ද?
කාරණා දෙකක් ඉතා වැදගත් ය. පළමු ව, හරි තත්ත්වයන්. බොහෝ දෙනෙක් ජීවත් වන්නේ, පැහැදිලි ව ම පුරෝගාමි සේවයේ නියැලිය නොහැකි තත්ත්වයන්හි ය. එමෙන් ම දෙවනුව, නිසි ආත්මික සුදුසුකම් සහ ආකල්පය. ඇත්ත වශයෙන් ම, වත්මන් තත්ත්වයන් කෙනෙකුට පුරෝගාමි සේවයේ නියැලෙන්නට අවසර දුන්නත් නැතත්, මේරූ ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කර ගැනීමට සියල්ලන්ට ම ක්‍රියා කරන්නට පුළුවන.
ඇතැමෙක් පුරෝගාමි සේවයේ නියැලීමට හේතුව
සාර්ථක ලෙස පුරෝගාමි සේවයේ නියැලීම සඳහා අවශ්‍ය වන්නා වූ සුදුසුකම් මොනවා ද? සැබවින් ම, දේශනා කිරීමේ කුසලතා ඉතා වැදගත් ය. අමුත්තන්ට ශුභාරංචිය ඉදිරිපත් කිරීම, උනන්දුව දක්වන්නන් ව නැවත හමුවීම මෙන් ම, නිවාස බයිබල් පාඩම් පැවැත්වීම යනාදිය කළ යුතු ආකාරය පුරෝගාමින් දැන සිටිය යුතු ය. මෙම කුසලතා නොමැතිකම පුරෝගාමියෙක් ව අධෛර්යයට පත් කළ හැකි ය. එහෙත්, වෙනත් දේවල් ද වැදගත් වේ.
උදාහරණයක් වශයෙන්, අපගේ නමස්කාරය හා බැඳි සැමෙකක් ම යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ සංවිධානය සමඟ ඇති අපගේ සම්බන්ධතාවයට සම්බන්ධ වේ. පුරෝගාමි සේවයේ නියැලීම ද මෙයට අයත් වන්නකි. රාඩෝ නම් යෞවන පුරෝගාමියෙක් පැහැදිලි කළේ, “යෞවනයෙක් හට, යෙහෝවඃ වහන්සේ ව සිහි කරමින් සත්‍යයේ මාර්ගයේ ගමන් කිරීම තරම් කදිම දෙයක් නොමැත” යනුවෙනි. එසේ ය, පුරෝගාමි සේවයේ නියැලීම යෞවනයන් හට යෙහෝවඃ වහන්සේ සඳහා ඇති තම ප්‍රේමයත්, උන් වහන්සේට ඇති සමීපකමත් නිරූපනය කිරීමට කදිම ක්‍රමයක් වන්නේ ය.—දේශනාකාරයා 12:1.
දැනුම හා අවබෝධය ද අනිවාර්ය ය. (පිලිප්පි 1:9-11) ඇත්ත වශයෙන් ම, මේවා අපගේ ආත්මික එන්ජිම පනගන්වන ඉන්ධන වෙයි. අපගේ උද්යෝගය හා ස්ථිර විශ්වාසය අහිමි කර ගනිමින්, ආත්මික වශයෙන් පිරිහීමට පත් වීම වළක්වා ගැනීමට නිති පතා පුද්ගලික පාඩම අත්‍යවශ්‍ය ය. ඇත්ත වශයෙන් ම, අප ලබා ගන්නා දැනගැන්ම බලපෑ යුත්තේ ඥාන ශක්තියට පමණක් නොව හෘදයටත් ය. (හිතෝපදේශ 2:2) එබැවින්, පුද්ගලික පාඩමට අමතර ව, අප අත්කර ගන්නා දැනගැන්ම හෘදයට කිඳා බසිනු පිණිස, අපට යාච්ඤාව හා මෙනෙහි කිරීම සඳහා කාලය අවශ්‍ය වේ. එවිට, අපගේ තත්ත්වයන් ඉඩ දෙන්නේ නම්, පුරෝගාමි සේවයේ යෙදෙන්නට අපට ඕනෑ වනු ඇත.—එස්රා 7:10 සසඳන්න.
පුරෝගාමි සේවයේ නියැලීමට ආත්ම-පරිත්‍යාගි ස්වභාවයක් ද අවශ්‍ය කරවයි. රොන් නම් යෞවනයෙක් පුරෝගාමි සේවයේ නියැලෙන්නට සම්පූර්ණයෙන් ම සැලසුම් කොට සිටියේ ය. තමාට එය ආරම්භ කළ හැකි හරි තත්ත්වයන් උදා වන තුරු ඔහු ඇත්තට ම බලා සිටියේ ය. පුරෝගාමි සේවයේ නියැලීමට ඉඩ සලසන අතර ම ජීවිතයේ සුඛෝපභෝගී දේවල් භුක්ති විඳීමට තමාට හැකියාව ලබා දෙන රැකියාවක්, නිශ්චිත ව ම ඔහුට ඕනෑ විය. මේරූ සහෝදරියකට ඔහු මෙය පැවසූ විට, ඇයගේ පිළිතුර ඔහු ව කම්පාවට පත් කළේ ය. ඇය කියා සිටියේ “යෙහෝවඃ වහන්සේ ආශීර්වාද කරන්නේ පොරොන්දුවලට නොව ක්‍රියාවන්ට” බව ය. එම යෞවනයා පුරෝගාමි සේවයේ නියැලීම සඳහා කාලය ලබා දුන් අඩු වැටුපක් ඇති රැකියාවක් සොයා ගත්තේ ය. මතෙව් 6:25-34 අදාළ කර ගැනීම අඩු වැටුපකින් ජීවත්වීමට පුද්ගලයෙකුට උපකාරවත් වනු ඇත.
හොඳ යෝජනා අනුගමනය කිරීමට ඇති යටහත් පහත් කැමැත්ත පුරෝගාමි සේවයට අපගේ ඇතුල් වීමට මනා උපකාරයක් විය හැක. ක්‍රිස්තියානියෙක් හැටියට තමාගේ ජීවිතයේ මුල් කාලයේ දී, හාන්නා පුරෝගාමි සේවයේ නියැලෙන්නට ආශාවක් වගා කර ගත්තා ය. එහෙත් පවුලක් රැකබලා ගත් විටත්, පසු ව ව්‍යාපාර වෘත්තියක යෙදී සිටි විටත් ඇය පුරෝගාමි සේවයේ නියැලුණේ නැත. සාවධාන ව සිටි වැඩිමහල්ලන්ගේ හොඳ උපදෙස්වලට අවනත වූ ඇය, තමාගේ සිත් ගන්නා ලෞකික වෘත්තියෙන් ඉවත් ව පුරෝගාමි සේවය පටන් ගත්තා ය. වෙනත් අය ව කැපවීම කරා ගෙන ඒමෙන් ද, අක්‍රියාශීලී අයට උපකාර කිරීමෙන් ද හාන්නා දැන් මහත් ප්‍රීතියක් අද්දකින්නී ය.
සත්‍යය කෙනෙකුගේ ජීවිතයට කර ඇති දෙය සඳහා කෘතඥතාව ද පුරෝගාමි සේවයේ නියැලෙන්නට පෙලඹීමක් විය හැකි ය. මහත්සේ කලකිරීමට පත් ව සිටි කාන්තාවකගේ අද්දැකීම සලකා බලන්න. ඇයගේ විවාහය ද බිඳවැටෙමින් තිබුණි. ඇය දේව වචනයේ සත්‍යය ඉගෙන එය ක්‍රියාවට නැගූ විට, මෙම තත්ත්වය පුදුමාකාර ලෙස වෙනස් විය. සත්‍යය තමාට කර තිබූ දේ මගින් පුදුමාකාර ලෙස ප්‍රීතියට පත් වූ ඇය, තමා විසින් අගය පෙන්වීමට ඇති හොඳ ම ක්‍රමය පුරෝගාමි සේවයේ නියැලී වෙනත් අයට උපකාර කිරීම යයි තීරණය කළා ය. ඇය මෙය ක්‍රියාවට නැගූ අතර දැන් ඇය බයිබල් පාඩම් බොහොමයක ආශීර්වාදත් සන්තෝෂවත් පවුල් ජීවිතයක ආශීර්වාදත් අද්දකින්නී ය.
වෙනත් අයට ද උපකාර කළ හැකි ය
පුරෝගාමි සේවයේ නියැලෙන්නෝ බොහෝ විට තවත් පුරෝගාමින් ඇති කරති. පුරෝගාමින් දෙදෙනෙක් සමඟ සිය මව්පියන් බයිබලය ඉගෙන ගන්නා අවස්ථාවේ දී, කළින් සඳහන් කරන ලද රාඩෝගේ වයස අවුරුදු හයක් විය. තවමත් ඉතා ළාබාල වියේ සිටියදීත්, ඔහු මෙම පූර්ණ-කාලීන දේශකයන් ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට ඔවුන් සමඟ හවුල් වුණේ ය. මෙසේ වයස අවුරුදු 17 දී රාඩෝ ස්ථාවර පුරෝගාමියෙක් බවට පත් විය. ආනෝ නම් තවත් යෞවනයෙක්, ක්‍රිස්තියානි නිවසක ඇතිදැඩි කරනු ලැබුව ද ආත්මික වශයෙන් ඔහු දුර්වල තත්ත්වයකට පත් විය. පසු ව ඔහු තමාගේ ආත්මිකත්වය යළි ගොඩනගා ගැනීමට කටයුතු කළ අතර ඔහු දැන් මෙසේ පවසයි: “මට පුරෝගාමින්ගෙන් විශාල දිරිගැන්වීමක් ලැබුණා. විශේෂාකාරයෙන් පාසලේ නිවාඩු කාලයේ දී මා ඔවුන් ව ඇසුරු කළ අතර ඇතැම් අවස්ථාවන්හි මසකට ක්ෂේත්‍ර සේවයේ පැය 60ක් තරම් කාලයක් වාර්තා කළා. ඉන් අනතුරුව, ස්ථාවර පුරෝගාමි සේවය සඳහා පියවර ගැනීම [එනම් මසකට පැය 90ක් සේවය කිරීම] එතරම් දුෂ්කර වුණේ නැහැ.” ලෝකය පූර්ණ පරිමාණයකට පාවිච්චි නොකිරීමට වූ 1 කොරින්ති 7:29-31 හි දී ඇති උපදෙස් මත මෙනෙහි කිරීම සැබවින් ම මෙවන් යෞවනයන්ට උපකාර කර ඇත.
ආත්මික කාරණාවලට මුල් තැන ලැබෙන්නා වූ ද පූර්ණ-කාලීන දේව සේවයට ඇතුල් වන්නට මව්පියන් සිය දරුවන්ට දිරිගන්වන්නා වූ ද නිවසක පුරෝගාමි ස්ප්‍රීතුව වඩාත් පහසුවෙන් රෝපණය වන්නට පුළුවන. එවන් නිවසක හැදී වැඩුණු ෆීලෝ, මෙසේ ප්‍රකාශ කරයි: “ලෞකික අනාගතයක් සඳහා වැඩ කරනු පිණිස, මගේ අධ්‍යාපනය දිගට ම කරගෙන යන හැටියට බොහෝ දෙනෙක් මට අවවාද කළා. එහෙත් වඩාත් ඥානවන්ත තේරීමක් කරන්නට මගේ මව්පියන් මට උපකාර කළා. අනාගතය සඳහා ගොඩනගන්නට මට සැබවින් ම උවමනාවක් තිබුණේ නම්, යෙහෝවඃ වහන්සේ සමඟ සම්බන්ධකමක් වර්ධනය කර ගැනීම මගේ ප්‍රමුඛත්වය විය යුතු යයි ඔවුන් මට පැවසුවා.”
ටාමාර් නම් යෞවන කාන්තාවක් ද කියා සිටින්නේ, තමාගේ මව්පියන්ගේ ආදර්ශය හා වෑයම නිසා තමා පුරෝගාමි සේවය පටන් ගත් බව ය. ඇය මෙසේ පවසන්නී ය: “ජීවිතය පිළිබඳ ව ආත්මික දෘෂ්ටියක් මා වර්ධනය කර ගත්තේ කිනම් අවස්ථාවේ දැයි මට හරියට ම කිව නොහැකි වුවත්, මා ඉපදෙන විට මට එවැන්නක් නොතිබුණ බව මම දන්නවා. මගේ ආත්මික ආකල්පය වර්ධනය කර ගැනීමට මට මහත් සේ උපකාරවත් වුණේ, මගේ මව්පියන් සිරිතක් හැටියට විධිමත් ව ක්ෂේත්‍ර සේවයේ නියැලීම හා රැස්වීම්වලට යාමත්, සත්‍යය කෙරෙහි තිබූ ඔවුන්ගේ ගැඹුරු ප්‍රේමයත් ය.
ඔබගේ තීරණයේ රැඳී සිටීම
පුද්ගලයෙක් පුරෝගාමි සේවයට ඇතුල් වීමෙන් පසු, අත්නෑර එහි රැඳී සිටීම ඔහුට හෝ ඇයට එම ඥානවන්ත තීරණයෙන් පූර්ණ ප්‍රයෝජන නෙළා ගැනීමට හැකියාව ලබා දෙයි. එසේ රැඳී සිටීම සඳහා ප්‍රායෝගික වූ බොහෝ උපදෙස් ලබා දෙන්නට පුළුවන. උදාහරණයක් වශයෙන්, තමන්ගේ කාලයෙන් හැකි උපරිම ප්‍රයෝජන අත්කර ගැනීමට කාල සටහනක් සැකසිය යුතු ආකාරය පුරෝගාමින් ඉගෙන ගැනීම හොඳ ය. එහෙත්, වඩාත් වැදගත් සාධකය වන්නට යන්නේ යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ සංවිධානය සමඟ එම පුද්ගලයාට ඇති සම්බන්ධතාවයයි.
යාච්ඤා පූර්වක ආකල්පයක් මෙයට සම්බන්ධ ව පවතී. “මා සත්‍යයට පැමිණි විට, පුරෝගාමි සේවයේ නියැලෙන්නට මට මහත් උවමනාවක් තිබුණා” යයි කෝර් පවසයි. කෙසේ වෙතත්, ඔහුගේ පියා බලකර කියා සිටියේ, ඊට කලින් ඔහු කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් අවසන් කළ යුතු බව ය. ඉන් අනතුරුව, කෝර් පුරෝගාමි සේවයේ නියැලෙන්නට පටන් ගත්තේ ය. යම් කලකට පසු ඔහු විවාහ වූ අතර, ඔහුගේ භාර්යාව පුරෝගාමි සේවයේ ඔහු හා එක් වූවා ය. ඇය ගැබ් ගත් විට, පුරෝගාමි සේවය අත්හැරිය යුතු ද නැද්ද යන තීරණයට ඔහුට මුහුණ දෙන්නට සිදු විය. “මා නිතර යෙහෝවඃ වහන්සේට යාච්ඤා කළ අතර දිගට ම පුරෝගාමි සේවයේ නියැලෙන්නට තිබූ මගේ හෘදයේ ආශාව මම උන් වහන්සේට ඉදිරිපත් කළා” යයි කෝර් පවසයි. අවසානයේ දී පවුල රැකබලා ගන්නා අතර ම ඔහු හට පුරෝගාමි සේවයේ නියැලීමට හැකි කරවූ ආකාරයේ රැකියාවක් කෝර් සොයා ගත්තේ ය.
ද්‍රව්‍යමය අවශ්‍යතා සමඟ සෑහීමකට පත් ව සිටීම පුරෝගාමි සේවයේ රැඳී සිටින්නට බොහෝ විට පුද්ගලයෙකුට උපකාර කරන තවත් සාධකයකි. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වේ ය: “නුඹලා ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.” (හෙබ්‍රෙව් 13:5) වර්තමානයේ තමන් සතු දේවල් සමඟ සෑහීමට පත් ව සිටීම දිගට ම පුරෝගාමි සේවයේ නියැලෙන්නට හාරී හා ඉරේනට උපකාරයක් විය. අන්ධ කෙනෙක් වන ඉරේන, වසර අටකට පුරෝගාමියෙක් හැටියට කටයුතු කර ඇත්තී ය. “අපගේ මූල්‍ය තත්ත්වය ගැටලුවක් හැටියට අප කවදාවත් කල්පනා කර නැහැ” යයි ඇය පවසයි. “කිසිවිටෙකත් නුවුවමනා මූල්‍ය බර පටවා නොගැනීමට අප සැලකිලිමත් වුණා විතරයි. අප නිතර වියදම ගණන් බැලුවා. අපගේ ජීවිත නිතර සරල ව තිබුණත්, ඉතා ප්‍රසන්න ව තිබූ අතර ආශීර්වාදයන් අතින් එය ධනවත් ව තිබුණා.”
බොහෝ ප්‍රීතිය හා ආශීර්වාද
වසර නවයක පුරෝගාමි සේවය දෙස හැරී බලමින්, ටාමාර් කියා සිටින්නේ “උන් වහන්සේ ඔබගේ අත අල්ලාගෙන සිටියාක් මෙන්, ඔබ යෙහෝවඃ වහන්සේට ඉතා සමීප” බව ය. (ගීතාවලිය 73:23) පරීක්ෂාවන් සමහරක් ද මතකයට එයි. “අන්‍යයන්ගේ අසම්පූර්ණකම් හා සමඟ ම මගේ ම අසම්පූර්ණකම් නිතර මට කරදර කළා” යයි ටාමාර් තවදුරටත් පවසයි. “එපමණක් නොව, ද්‍රව්‍යමය ආකාරයෙන් වඩාත් ඵලදායී ජීවිත ක්‍රමයක් තෝරා ගත් සහෝදර සහෝදරියන් දෙස මා බලන අතර මා වැස්සේ හා සීතලේ වෙහෙස වී ඇවිදින විට ඔවුන්ගේ තේරීම වඩාත් සිත්ගන්නා බව පෙනෙන්නට තිබුණා. එහෙත් මගේ හෘදයේ ගැඹුරින්, මම කිසිවිටෙක පහසුව තකා තත්ත්වය හුවමාරු කරන්නට කැමති වුණේ නැහැ. පුරෝගාමි සේවයේ නියැලීම හැරුණු කොට එවන් ප්‍රීතියක්, එවන් ආත්මික තෘප්තියක් හා එවන් ආශීර්වාදිත තත්ත්වයක් ලබා දිය හැක්කේ වෙන කුමකට ද?” ඔබ එවන් ප්‍රීතිය හා ආශීර්වාද උසස් ලෙස අගය කරන්නට යනවා ද?
පුරෝගාමින් ක්‍රිස්තියානි දේව සේවයේ වැඩි කාලයක් ගත කරන බැවින්, ඔවුන් සිටින්නේ බයිබල් සත්‍යය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට බොහෝ දෙනෙකුට උපකාර කරන්නට පුළුවන් තත්ත්වයක ය. කලින් සඳහන් කරන ලද, හාරී හා ඉරේන, මෙසේ පවසති: “යෙහෝවඃ වහන්සේගේ සංවිධානයෙන් ලැබිය හැකි බොහෝ වරප්‍රසාද තිබුණත්, අලුත උනන්දුව දක්වන කෙනෙක් යෙහෝවඃ වහන්සේගේ සේවකයෙක් බවට පත්වීමට උපකාර කිරීම ඒ සියල්ලෙන් ශ්‍රේෂ්ඨතම එක වන්නේ ය.”
තවත් පුරෝගාමියෙක් මෙසේ පැවසූ විට, කාරණා තවත් හොඳින් ප්‍රකාශ කර සිටියේ ය: “‘ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය. උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක’ යනුවෙන් හිතෝපදේශ 10:22 හි ඇති වදන් මා සම්බන්ධයෙන් සැබෑවක් වුණා. මා යෙහෝවඃ වහන්සේට සේවය කළ කාලය තුළ, නොයෙක් විට මෙම ශුද්ධ ලියවිලි පදය මා සම්බන්ධයෙන් ඉටු වී තිබෙනවා.”
දෙමව්පියෙනි, පුරෝගාමි සේවයේ නියැලෙන්නට ආශාවක් ඔබ ඔබගේ දරුවන් තුළ පැලපදියම් කරනවා ද? පුරෝගාමිවරුනි, මෙම ආශාව වෙනත් අය තුළත් ජනිත කරවීමට ඔබ උත්සාහ දරනවා ද? වැඩිමහල්ලෙනි, ඔබගේ සභාවේ පුරෝගාමින්ට අනුබල දී, පුරෝගාමි ස්ප්‍රීතුවක් වර්ධනය කර ගැනීමට ඔබ කටයුතු කරනවා ද? පුරෝගාමි සේවයේ යෙහෝවඃ වහන්සේගේ ජනයා නියැලෙත් ම එවන් ආශීර්වාදයන් අත්කර ගැනීමට ඔවුන්ගෙන් තව තවත් වැඩි සංඛ්‍යාවක් පෙලඹීම් ලබත්වා.