යෙහෝවඃ වහන්සේ දිව්‍යාණ්ඩු තන්ත්රය මගින්—පාලනය කරන සේක
“යෙහෝවඃ වහන්සේ අනන්ත කාලයක් පුරා රජ වනු ඇත.”—ගීතාවලිය 146:10, NW.
1, 2. (අ)පාලනය කිරීම සම්බන්ධයෙන් මිනිසා ගෙන ඇති ප්රයත්නයන් අසාර්ථක වී ඇත්තේ මන්ද? (ආ) එක ම සැබෑ සාර්ථක ආණ්ඩු ක්‍රමය වී ඇත්තේ කුමක් ද?
නිම්රොද්ගේ කාලයේ පටන්, මිනිස් සමාජය ආණ්ඩු කිරීමට මිනිසුන් විසින් විවිධ ක්‍රම අත්හදා බලා තිබේ. ආඥාදායකත්ව, රාජතන්ත්‍ර, රදළ ආණ්ඩු සහ විවිධාකාරයේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩු තිබී ඇත. යෙහෝවඃ වහන්සේ මේ සියල්ලට ම අවසර දී තිබේ. ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ වූ කලී, සියලු අධිකාරිත්වයන්හි පරම උල්පත වන බැවින්, උන් වහන්සේ විවිධ පාලකයන් ව එක්තරා අර්ථයකින් ඔවුන්ගේ සාපේක්ෂ තත්ත්වයන්හි තබා තිබෙන සේක. (රෝම 13:1, NW) කෙසේ වෙතත්, ආණ්ඩු සම්බන්ධයෙන් මිනිසාගේ සියලු ප්රයත්නයන් අසාර්ථක වී තිබේ. කිසි මිනිස් පාලකයෙක්, දිගු-කාලීන, ස්ථාවර හා යුක්ති සහගත සමාජයක් බිහි කොට නැත. බොහෝ විට සිදු වී තිබෙන්නේ, ‘මිනිසා විසින් මිනිසාට අනතුරු වෙන හැටියට ඔහු ව පාලනය කිරීමයි.’—දේශනාකාරයා 8:9.
2 මේ ගැන අප පුදුම විය යුතු ද? ඇත්තෙන් ම නැත! අසම්පූර්ණ මිනිසා ව සාදනු ලැබුවේ තමා ව පාලනය කිරීමට නොවේ. “භූමික මිනිසාට තමාගේ මාර්ගය අයිති නැත. ඇවිදින මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිතියක් නැත.” (යෙරෙමියා 10:23, NW) සකල මිනිස් ඉතිහාසය පුරා, එක් ආකාරයක ආණ්ඩුවක් පමණක් සැබවින් ම සාර්ථක වී ඇත්තේ එම හේතුව නිසා ය. ඒ කවර එක ද? යෙහෝවඃ දෙවියන් වහන්සේ යටතේ වූ දිව්‍යාණ්ඩු තන්ත්රය ය. බයිබලීය ග්‍රීක් බසට අනුව, “දිව්‍යාණ්ඩු තන්ත්රය” යන්නෙන් අදහස් කරන්නේ, දෙවියන් වහන්සේ [තෙ.යොස්ʹ] විසින් පාලනය [ක්රʹටොස්] කිරීමයි. යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් ම පාලනය කරන ආණ්ඩුවකට වඩා වෙන කුමන හොඳ ආණ්ඩුවක් තිබිය හැකි ද?—ගීතාවලිය 146:10.
3. පොළොව මත පැවති දිව්‍යාණ්ඩු තන්ත්රයේ මුල් ආදර්ශයන් සමහරක් කවරේ ද?
3 ආදම් සහ ඒව යෙහෝවඃ වහන්සේට එරෙහි ව කැරලිගසන තෙක්, දිව්‍යාණ්ඩු තන්ත්රය ඒදන් උයනේ කෙටි කලකට පාලනය කළේ ය. (උත්පත්ති 3:1-6, 23) ආබ්‍රහම්ගේ කාලයේ දී, මෙල්කිසදෙක් පූජක-රජෙකු වශයෙන්, සාලෙම් නුවරේ දිව්‍යාණ්ඩු තන්ත්රයක් පැවති බව පෙනෙන්ට තිබේ. (උත්පත්ති 14:18-20; හෙබ්‍රෙව් 7:1-3) කෙසේ වෙතත්, යෙහෝවඃ දෙවියන් වහන්සේ යටතේ ප්‍රථම ජාතික දිව්‍යාණ්ඩු තන්ත්රය පිහිටවනු ලැබුවේ, පො.යු.පෙ. 16 වෙනි සියවසේ සීනයි පාළුකරයේ දී ය. එය පැවැත්මට පැමිණියේ කෙසේ ද? එමෙන් ම, එම දිව්යාණ්ඩුව ක්‍රියාත්මක වූයේ කෙසේ ද?
දිව්‍යාණ්ඩු තන්ත්රයක් බිහිවේ
4. යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙලයේ දිව්‍යාණ්ඩු ජාතිය පිහිටුවූයේ කෙසේ ද?
4 පොදු යුගයට පෙර 1513 දී, යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙලිතයන් ව මිසරයේ වහල්බවින් මුදවා ගත් අතර, ඵාරාවෝගේ ලුහුබඳින හමුදාවන් රතු මුහුදේදී විනාශ කළ සේක. අනතුරුව උන් වහන්සේ ඊශ්‍රායෙලිතයන් ව සීනයි කන්ද වෙත මෙහෙය වූ සේක. ඔවුන් කන්ද පාමුල අසළ කඳවුරු ගසා ගත් විට, දෙවියන් වහන්සේ මෝසෙස් මගින් ඔවුන්ට මෙසේ පැවසූ සේක: “මා විසින් මිසරවරුන්ට කළ දෙයද නුඹලා රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවහුය. දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය.” ඊශ්‍රායෙල්වරු මෙසේ ප්‍රතිචාර දැක්වූහ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] කී සියල්ල කරන්නෙමු.” (නික්මයාම 19:4, 5, 8) ගිවිසුමක් ඇති කරන ලදි, දිව්‍යාණ්ඩුමය ඊශ්‍රායෙල් ජාතිය බිහිවිණි.—ද්විතීය කථාව 26:18, 19.
5. යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙලය තුළ පාලනය කළ බවට කිව හැක්කේ කෙසේ ද?
5 එනමුත්, මිනිස් ඇස්වලට නොපෙනෙන යෙහෝවඃ වහන්සේ විසින් ඊශ්‍රායලය පාලනය කරනු ලැබුවේ කෙසේ ද? (නික්මයාම 33:20) එනම්, ව්‍යවස්ථාව සහ ජාතියේ පූජක තන්ත්රය දෙන ලද්දේ යෙහෝවඃ වහන්සේ විසිනි. ව්‍යවස්ථාවට කීකරු වූ, දිව්‍ය නියෝග විධිවිධානයට අනුව නමස්කාර කළ අය, ශ්‍රේෂ්ඨ දිව්යාණ්ඩුකාර යෙහෝවඃ වහන්සේට සේවය කළෝ ය. මීට අමතර ව, හදිසි අවස්ථාවල දී යෙහෝවඃ වහන්සේ විසින් මඟ පෙන්වීම දෙනු ලැබූ ඌරීම් සහ තුම්මීම් උත්තම පූජකයාට තිබිණි. (නික්මයාම 28:29, 30) තවදුරටත්, සුදුසුකම් ලත් වැඩිමහල් පුරුෂයන් දිව්‍යාණ්ඩු තන්ත්රය තුළ, යෙහෝවඃ වහන්සේගේ නියෝජිතයන් ලෙස සේවය කළ අතර, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අදාළ කිරීම භාර ව සිටියෝ ය. අප මෙම පුරුෂයන් සමහරකගේ වාර්තා සලකා බලනවා නම්, මිනිසුන් දෙවියන් වහන්සේගේ පාලනයට යටත් විය යුතු ආකාරය සම්බන්ධ ව අප වඩාත් හොඳින් අවබෝධ කර ගන්නවා ඇත.
දිව්‍යාණ්ඩු තන්ත්රය යටතේ අධිකාරිත්වය
6. දිව්‍යාණ්ඩු තන්ත්රයක අධිකාරිත්වයක් තබා ගැනීම මිනිසුන් හට අභියෝගයක් වූයේ මන්ද, තව ද මෙම වගකීම ඉසිලීමට අවශ්‍ය වූයේ කෙබඳු මිනිසුන් ද?
6 ඊශ්‍රායෙලයේ අධිකාරිමය තත්ත්වයන්හි සිටි අයට මහත් වරප්‍රසාදයක් තිබූ නමුත්, තමන්ගේ සමබරතාවය පවත්වා ගැනීම ඔවුන්ට අභියෝගයක් විණි. යෙහෝවඃ වහන්සේගේ නාමය පරිශුද්ධවත් කිරීමට වඩා කිසිවිටෙකත් තමන්ගේ ම ආත්මාභිලාෂයන් වඩා වැදගත් කර නොගැනීමට ඔවුන් ප්‍රවේසම් විය යුතු ව තිබුණි. “ඇවිදින මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිතියක් නැත” යන අනුභාවලත් ප්රකාශනය සෙසු මිනිස් වර්ගයා කෙරෙහි සැබෑ වූවාක් මෙන් ම ඊශ්‍රායෙල්වරුන් වෙත ද එය සැබෑවක් විණි. ඊශ්‍රායෙලය සමෘද්ධිමත් වූයේ, එය දිව්‍යාණ්ඩු තන්ත්රයක් බවටත්, තම තමන්ගේ ම කැමැත්ත නොව, යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කළ යුතු බවටත් වැඩිමහල්ලන් සිහියේ තබා ගෙන සිටි විට පමණි. ඊශ්‍රායෙලය පිහිටුවා වැඩි කල් නොගොස්, මෝසෙස්ගේ මාමණ්ඩිය වූ යෙත්‍රෝ, ඔවුන් කිනම් අයුරක පුරුෂයන් විය යුතු ද කියා මැනවින් විස්තර කළේ ය, එනම්, ඔවුන්, ‘සමර්ථ, දෙවියන් වහන්සේ කෙරෙහි භය, විශ්වාස කටයුතු, අසාධාරණ ලාභයට ද්වේෂ කරන්නාවූ මිනිසුන්’ විය යුතු බව ය.—නික්මයාම 18:21.
7. යෙහෝවඃ දෙවියන් වහන්සේ යටතේ අධිකාරිත්වයක් දැරූ පුද්ගලයන්ගෙන් මෝසෙස් කදිම ආදර්ශයක් වූයේ කිනම් ආකාරවලින් ද?
7 ඊශ්‍රායෙලයේ පළමු වරට උසස් අධිකාරිත්වයක් දැරූ පුද්ගලයා වූයේ මෝසෙස් ය. ඔහු දිව්‍යාණ්ඩුමය අධිකාරිත්වය දැරූ පුද්ගලයෙකු වශයෙන් කදිම ආදර්ශයක් වූයේ ය. එක් අවස්ථාවක මිනිස් දුර්වලකම් හෙළි වූ බව ඇත්ත ය. කෙසේ වෙතත්, මෝසෙස් සෑම විට ම යෙහෝවඃ වහන්සේ මත රඳා සිටියේ ය. එවකට විසඳා නොතිබූ ප්‍රශ්න පැන නැඟුණු විට, ඔහු යෙහෝවඃ වහන්සේගේ මඟ පෙන්වීම සෙවී ය. (ගණන් කථාව 15:32-36 සසඳන්න.) තමාගේ ම ගෞරවය සඳහා තම උසස් තත්ත්වය යොදා ගැනීමට වූ පරීක්ෂාවට මෝසෙස් එරෙහි වී සිටියේ කෙසේ ද? ඇත්තෙන් ම, ඔහු මිලියන ගණනකින් යුත් ජාතියක් මෙහෙයවූවත්, ඔහු වනාහි “පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.” (ගණන් කථාව 12:3) ඔහුට කිසිඳු පුද්ගලික අභිලාෂයන් තිබුණේ නැත, නමුත් ඔහු සැලකිලිමත් වූයේ දෙවියන් වහන්සේට ගෞරව ගෙන දීමටයි. (නික්මයාම 32:7-14) ඇරත් මෝසෙස්ට ශක්තිමත් ඇදහිල්ලක් තිබුණි. ඔහු ජාතික නායකයෙකු බවට පත්වීමට පෙර, ඔහු සම්බන්ධයෙන් කථා කරමින් ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙයයි: “අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.” (හෙබ්‍රෙව් 11:27) ජාතියේ සැබෑ නායකයා වූයේ යෙහෝවඃ වහන්සේ යන්න මෝසෙස්ට කිසිවිටෙකත් අමතක නොවූ බව පැහැදිලි ය. (ගීතාවලිය 90:1, 2) අද දින සිටින අපට මොනතරම් කදිම ආදර්ශයක් ද!
8. යෙහෝවඃ වහන්සේ යෝෂුවාට දුන් ආඥාව කුමක් ද, තව ද මෙය හොඳින් සැලකිය යුතු ඉතා වටිනා එකක් වන්නේ ඇයි?
8 ඊශ්‍රායෙලය අධීක්ෂණය කිරීම මෝසෙස්ට පමණක් කළ හැකි දෙයක් නොවන බවට ඔප්පු වූ විට, ජාතිය විනිශ්චය කිරීමට ඔහුට අනුබල දෙනු ඇති වැඩිමහල්ලන් 70 දෙනෙකු මත යෙහෝවඃ වහන්සේ ස්වකීය ආත්මය තැබූ සේක. (ගණන් කථාව 11:16-25) පසුකාලවල දී, එක් එක් නුවරකට එහි ම වැඩිමහල්ලෙක් සිටින්නට යනවා ඇත. (සසඳන්න ද්විතීය කථාව 19:12; 22:15-18; 25:7-9.) මෝසෙස් මිය ගියායින් පසු, යෙහෝවඃ වහන්සේ යෝෂුවා ව ඊශ්‍රායෙලයේ නායකයා කළ සේක. මෙම වරප්‍රසාදය සමඟින් යෝෂුවාට බොහෝ දේවල් කිරීමට තිබූ බව අපට සිතා ගත හැකියි. කෙසේ වෙතත්, ඔහු විසින් කිසිවිටෙකත් අතපසු නොකළ යුතු දෙයක් තිබූ බව යෙහෝවඃ වහන්සේ ඔහුට පැවසූ සේක: “මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරපන්න.” (යෝෂුවා 1:8) වසර 40ක සේවා අතීතයක් යෝෂුවාට තිබුණත්, ව්‍යවස්ථාව දිගට ම කියවමින් සිටීමට ඔහුට අවශ්‍ය වූ බව සැලකිල්ලට ගන්න. අපත් මොනතරම් කලක් සේවය කර තිබුණත්, නැතහොත් අපට කොතරම් වරප්‍රසාද ප්‍රමාණයක් තිබුණත්, බයිබලය කියවීමටත් යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථා සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපගේ මනස් ප්‍රකෘතිමත් කිරීමටත් අපට ද අවශ්‍ය ය.—ගීතාවලිය 119:111, 112.
9. විනිශ්චයකාරවරුන්ගේ කාලයේ දී, ඊශ්‍රායෙලයේ සිදුවූයේ කුමක් ද?
9 යෝෂුවාගෙන් පසු විනිශ්චයකරුවන් පෙළක් විය. ඔවුන්ගේ කාලයේ දී, ඊශ්‍රායෙලිතයෝ නිරතුරු ව ම ‘යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ නපුරුව තිබෙන දේ කිරීමට වැටී’ යාම කණගාටුවට කරුණකි. (විනිශ්චයකාරයන් 2:11, NW) විනිශ්චයකාරවරුන්ගේ කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් වාර්තාව මෙසේ කියයි: “ඒ දවස්වල ඉශ්රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේ කෙළේය.” (විනිශ්චයකාරයන් 21:25) හැසිරීම සහ නමස්කාරය සම්බන්ධයෙන් එක් එක්කෙනා තම තමන්ගේ ම තීරණ ගත් අතර, බොහෝ ඊශ්‍රායෙල්වරු නරක තීරණ ගත් බව ඉතිහාසය පෙන්වයි. පිළිම නමස්කාරයට වැටුණු ඔවුහු, ඇතැම් විට දරුණු අපරාධ කළෝ ය. (විනිශ්චයකාරයන් 19:25-30) එනමුත්, ඇතැම් අය ආදර්ශවත් ඇදහිල්ලක් විදහාපෑහ.—හෙබ්‍රෙව් 11:32-38.
10. සාමුවෙල්ගේ කාලයේ දී, ඊශ්‍රායෙල් හි ආණ්ඩුව මුළුමනින් ම වෙනස් වූයේ කෙසේ ද, තව ද මෙය තුඩු දුන්නේ කුමකට ද?
10 අවසාන විනිශ්චයකාර සාමුවෙල්ගේ ජීවිත කාලයේ දී, ආණ්ඩුව සම්බන්ධයෙන් ඊශ්‍රායෙලයේ අර්බුදයක් විය. රජවරුන් විසින් පාලනය වූ, අවට සතුරු ජාතීන්ගේ බලපෑමට ලක් වූ ඊශ්‍රායෙල්වරු තමන්ටත් රජෙක් අවශ්‍ය බවට තර්ක කරන්නට වූහ. තමන්ට එවිටමත් රජෙකු සිටිය බවත් තමන්ගේ ආණ්ඩුව දිව්‍යාණ්ඩු තන්ත්රයක් බවත් ඔවුනට අමතක විණි. යෙහෝවඃ වහන්සේ සාමුවෙල්ට මෙසේ පැවසූ සේක: “ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.” (1 සාමුවෙල් 8:7) ඔවුන්ගේ උදාහරණයෙන් අපට පෙන්වන්නේ, අපගේ ආත්මික දෘෂ්ටිය නැති වී ගොස් ලෝකයෙන් ඇති වන බලපෑමට අප කොතරම් පහසුවෙන් හසුවිය හැකි ද යන්නයි.—1 කොරින්ති 2:14-16 සසඳන්න.
11. (අ) ආණ්ඩුවේ වෙනසක් සිදුවුවත්, ඊශ්‍රායෙලය රජවරුන් යටතේ දිව්‍යාණ්ඩු තන්ත්රයක් වශයෙන් දිගට ම පැවති බව කිව හැක්කේ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙල් හි රජවරුන්ට දුන් ආඥාව කුමක් ද, තව ද කුමන අරමුණක් ඇතුව ද?
11 කෙසේ වෙතත්, ඊශ්‍රායෙල්වරුන්ගේ ඉල්ලීමට ඉඩ දුන් යෙහෝවඃ වහන්සේ, පළමු රජවරුන් දෙදෙනා වූ සාවුල් සහ දාවිත් ව තෝරා ගත් සේක. ඊශ්‍රායෙලය, යෙහෝවඃ වහන්සේ විසින් පාලනය කරන ලද දිව්‍යාණ්ඩු තන්ත්රයක් ලෙස දිගට ම ක්‍රියාත්මක විණි. ඇගේ රජවරුන්ට මෙය සිහි වනු වස්, ඔවුන්ගෙන් එක් එක්කෙනා තමන්ට ම ව්‍යවස්ථාවේ පිටපත් සාදා ගෙන, තමාගේ “හෘදය තමාගේ සහෝදරයන් කෙරෙහි උඩඟු [උසස්, NW] නොවී, . . . මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට, NW] භයවෙන්ට ඉගෙන ගන්න පිණිස” එය දින පතා කියවීමට වගකීමෙන් බැඳී සිටියේ ය. (ද්විතීය කථාව 17:19, 20) එසේ ය, යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත වූයේ, තමන් වහන්සේගේ දිව්‍යාණ්ඩු තන්ත්රයේ අධිකාරිත්වයක් ඇතිව සිටින අය තමන් ව ම උසස් කර නොගැනීමටත්, ඔවුන්ගේ ක්‍රියා මගින් උන් වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබිඹු කිරීමටත් ය.
12. ඇදහිලිවන්තභාවය පිළිබඳ කිනම් වාර්තාවක් දාවිත් රජ විසින් තබනු ලැබී ද?
12 දාවිත් හට යෙහෝවඃ වහන්සේ කෙරෙහි කැපී පෙනෙන ඇදහිල්ලක් තිබූ අතර, ඔහු සදාකාලයට ම පවතිනු ඇති රාජකීය පෙළපතක පියා වනු ඇති බවට ගිවිසුමක් කළ සේක. (2 සාමුවෙල් 7:16; 1 රාජාවලිය 9:5; ගීතාවලිය 89:29) දාවිත් යටහත් පහත් ව යෙහෝවඃ වහන්සේට දැක් වූ යටත්කම අනුකරණය කිරීමට වටින එකක් විය. ඔහු මෙසේ පැවසී ය: “ස්වාමිනී [අහෝ යෙහෝවඃ වහන්ස, NW], රජතෙම ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේය. ඔබගේ ගැලවීම කෙරෙහි ඔහු කොපමණ මහත් ලෙස ප්‍රීතිවන්නේද!” (ගීතාවලිය 21:1) දාවිත් තම මාංසික දුර්වලකම් හේතුවෙන් ඇතැම් අවස්ථාවල දී වැටී ගියත්, සිරිතක් වශයෙන් ඔහු රඳා පැවතුණේ තමාගේ ම ශක්තිය මත නොව, නමුත් යෙහෝවඃ වහන්සේගේ ශක්තිය මත ය.
දිව්‍යාණ්ඩුමය නොවන ක්‍රියා සහ ආකල්ප
13, 14. දාවිත්ගේ අනුප්රාප්තිකයන් විසින් ගන්නා ලද දිව්‍යාණ්ඩුමය නොවන ක්‍රියා මාර්ග සමහරක් මොනවා ද?
13 සියලු ම ඊශ්‍රායෙල්වරුන් මෝසෙස් සහ දාවිත් මෙන් වූවා නොවේ. බොහෝ දෙනෙක්, ඊශ්‍රායෙලය තුළ බොරු නමස්කාරයට ඉඩ හරිමින්, දිව්‍යාණ්ඩු විධිවිධානයට ඉමහත් අගෞරවයක් දැක්වූහ. සමහරක් විශ්වාසවන්ත පාලකයෝ පවා යම් අවස්ථාවල දී දිව්‍යාණ්ඩුමය නොවන අයුරින් ක්‍රියා කළෝ ය. මහත් ප්‍රඥාවක් සහ සෞභාග්‍යයක් දානය කරනු ලැබූ සාලමොන්ගේ තත්ත්වය ඉතා ඛේදනීය එකක් විය. (1 රාජාවලිය 4:25, 29) තව ද, යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාව කඩකරමින්, ඔහු බොහෝ භාර්යාවන් විවාහ කර ගත් අතර, ඊශ්‍රායෙලයේ පිළිම නමස්කාරයට ද ඉඩ හැරියේ ය. සාලමොන්ගේ ජීවිතයේ පසුකාලවල දී ඔහුගේ පාලනය පීඩාකාරී එකක් වූ බව පෙනෙන්ට තිබේ.—ද්විතීය කථාව 17:14-17; 1 රාජාවලිය 11:1-8; 12:4.
14 තම යටත් වැසියන්ගේ බර සැහැල්ලු කරන ලෙසට වූ ඉල්ලීමට සාලමොන්ගේ පුත්‍ර රෙහොබොවම් මුහුණ දුන්නේ ය. තත්ත්වය මෘදු ලෙස හසුරුවනවා වෙනුවට, කලහකාරී අන්දමින් තමාගේ අධිකාරිත්වය තහවුරු කරගැනීමට ගිය ඔහුට සිදු වූයේ, ගෝත්‍ර 12න් 10ක් ම අහිමි වීමයි. (2 ලේකම් 10:4-17) කැඩී විසිර ගිය ගෝත්‍ර දහයේ රාජ්‍යයේ ප්‍රථම රජ වූයේ යෙරොබොවම් ය. තම රාජ්‍යය එහි සහෝදරී ජාතිය සමඟ කිසිවිටෙකත් යළි එක් නොවෙන බවට සහතික කිරීමට යත්න දරමින්, ඔහු වසු නමස්කාරය පිහිටුවාලී ය. මෙය දේශපාලන වශයෙන් දක්ෂ ක්‍රියාවක් ලෙස පෙනුණා විය හැකි ය, නමුත් එය දිව්‍යාණ්ඩු තන්ත්රය කෙරෙහි අශෝභන අගෞරවය පෙන්වීමක් විය. (1 රාජාවලිය 12:26-30) පසු ව, විශ්වාසවන්ත දිගු කලක් පැවති සේවයක අවසානයේ දී, ආසා රජ තමාගේ වාර්තාවේ කැළලක් ඇති කිරීමට උඩඟුකමට ඉඩ හැරියේ ය. යෙහෝවඃ වහන්සේ වෙතින් උපදෙස් දීමට තමා වෙතට ආ අනාගතවක්තෘවරයාට ඔහු අගෞරවනීය ආකාරයෙන් සැලකිල්ල දැක්වී ය. (2 ලේකම් 16:7-11) එසේ ය, ඇතැම් විට දිගුකලක සිට සේවය කරන්නවුන්ට පවා උපදෙස් අවශ්‍ය ය.
දිව්‍යාණ්ඩු තන්ත්රයක නිමාව
15. යේසුස් වහන්සේ පොළොව මත සිටි විට, යුදෙව් නායකයන් දිව්‍යාණ්ඩු තන්ත්රයේ අධිකාරමය පුද්ගලයන් වශයෙන් අසමත් වූයේ කෙසේ ද?
15 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොව මත සිටි විට, ඊශ්‍රායෙලය තවමත් දිව්‍යාණ්ඩු තන්ත්රයක් විය. එනමුත්, වගකීම් දැරූ ඇගේ වැඩිමහල් පුරුෂයන්ගෙන් බොහෝ දෙනෙක් ආත්මික මනසකින් යුතු ව නොසිටීම කණගාටුවට හේතුවකි. ඔවුන් මෝසෙස් විදහා පෑ මොළොක්කම වගා කිරීමට අසමත් වූ බව සහතික ය. ඔවුන්ගේ ආත්මික දූෂිතභාවයට යොමු දක්වමින් යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති. එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වාපල්ලා. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරල්ලා; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.”—මතෙව් 23:2, 3.
16. දිව්‍යාණ්ඩු තන්ත්රය කෙරෙහි තමන්ට කිසිඳු ගෞරවයක් නොමැති බව මුල් සියවසේ යුදෙව් නායකයන් පෙන්වූයේ කෙසේ ද?
16 යේසුස් වහන්සේ ව පොන්තියුස් පිලාත්ට භාර දීමෙන් පසු, යුදෙව් නායකයෝ, තමන් කොතරම් දුරට දිව්‍යාණ්ඩු තන්ත්රයෙන් ඉවතට ඇදී ගොස් තිබුණාදැයි පෙන්වූහ. යේසුස් වහන්සේ ව පරීක්ෂා කළ පිලාත්, උන් වහන්සේ නිර්දෝෂී මනුෂ්‍යයෙකු බවට නිගමනය කළේ ය. යේසුස් වහන්සේ ව යුදෙව්වන් ඉදිරියට ගෙන එමින්, පිලාත් මෙසේ කීවේ ය: “මෙන්න, නුඹලාගේ රජ!” යේසුස් වහන්සේ ව මරණයට පත් කළ යුතු යැයි යුදෙව්වන් උද්ගෝෂණය කළ විට, පිලාත්: “නුඹලාගේ රජ්ජුරුවන් [වධ කණුවේ, NW] ඇණගසම්දැයි” යනුවෙන් ඇසී ය. නායක පූජකයෝ උත්තර දෙමින්: “කායිසර් මිස අපට රජෙක් නැතැයි” කීවෝ ය. (යොහන් 19:14, 15) ඔවුන් රජ හැටියට පිළිගත්තේ කායිසර් මිස, ‘යෙහෝවඃ වහන්සේගේ නාමයෙන් පැමිණි’ යේසුස් වහන්සේ ව නොවේ!—මතෙව් 21:9.
17. මාංසික ඊශ්‍රායෙලය දිව්‍යාණ්ඩුමය ජාතියක් වශයෙන් ක්‍රියාත්මක වීම නතර වූයේ මන්ද?
17 යේසුස් වහන්සේ ව ප්‍රතික්ෂේප කිරීමෙන්, යුදෙව්වන් ප්‍රතික්ෂේප කළේ දිව්‍යාණ්ඩු තන්ත්රයයි, මන්දයත් දිව්‍යාණ්ඩුමය විධිවිධානයේ ප්‍රධාන තැනැත්තාණන් වීමට සිටියේ උන් වහන්සේ බැවින් ය. යේසුස් වහන්සේ වනාහි සදාකල් රජකම් කරනු ඇති දාවිත්ගේ රාජකීය පුත්‍රයාණන් වූ සේක. (යෙසායා 9:6, 7, ලූක් 1:33, 3:23, 31) මෙසේ, මාංසික ඊශ්‍රායෙලය දෙවියන් වහන්සේගේ තෝරා ගත් ජාතිය වීම අහෝසි විය.—රෝම 9:31-33.
නව දිව්‍යාණ්ඩු තන්ත්රයක්
18. පළමු සියවසේ දී බිහි වූ නව දිව්‍යාණ්ඩු තන්ත්රය කුමක් ද? පැහැදිලි කරන්න.
18 කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ විසින් මාංසික ඊශ්‍රායෙල්වරුන් ව ප්‍රතික්ෂේප කිරීම, දිව්‍යාණ්ඩු තන්ත්රයේ නිමාව වූවා නොවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් යෙහෝවඃ වහන්සේ නව දිව්‍යාණ්ඩු තන්ත්රයක් පිහිටෙවූ සේක. මෙය වනාහි ඇත්තෙන් ම නව ජාතියක් වූ ආලේප ලත් ක්‍රිස්තියානි සභාවයි. (1 පේතෘස් 2:9) ප්‍රේරිත පාවුල් මෙය “දෙවියන්වහන්සේගේ ඊශ්‍රායෙල්” යනුවෙන් හැඳින් වූ අතර, අවසානයේ දී, එහි සාමාජිකයෝ, “සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද” පැමිණියෝ ය. (ගලාති 6:16; එළිදරව් 5:9, 10) මෙම නව දිව්‍යාණ්ඩු තන්ත්රයේ සාමාජිකයන් මිනිස් ආණ්ඩුවලට යටත් වී ජීවත් වුව ද, ඇත්තෙන් ම ඔවුන් ව පාලනය කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ය. (1 පේතෘස් 2:13, 14, 17) මෙම නව දිව්‍යාණ්ඩු තන්ත්රය බිහි වී වැඩි කලක් යාමට පෙර, මාංසික ඊශ්‍රායෙලයේ පාලකයෝ, යේසුස් වහන්සේ විසින් දී තිබූ ආඥාවට කීකරු වීම නැවැත්වීමට ඇතැම් ගෝලයන් හට බල කිරීමට උත්සාහ කළෝ ය. ප්‍රතිචාරය කුමක් වූයේ ද? “මනුෂ්‍යයන්ට වඩා [පාලකයාණන් වශයෙන්, NW] දෙවියන් වහන්සේට අප විසින් කීකරු විය යුතුය.” (ක්‍රියා 5:29) ඇත්ත වශයෙන් ම, දිව්‍යාණ්ඩුමය දෘෂ්ටි කෝණයකි!
19. පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව, දිව්‍යාණ්ඩු තන්ත්රයක් බව කිව හැකි වූයේ කෙසේ ද?
19 එහෙත්, නව දිව්‍යාණ්ඩු තන්ත්රය ක්‍රියාත්මක වූයේ කෙසේ ද? ඇත්තෙන් ම, ශ්‍රේෂ්ඨතම දිව්යාණ්ඩුකරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ ව නියෝජන කරන රජෙක් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටි සේක. (කොලොස්සි 1:13) මෙම රජ ස්වර්ගවල අදෘශ්‍යමාන ව සිටියත්, උන් වහන්සේගේ පාලනය සිය යටත් වැසියන්ට සැබෑ එකක් විය, තව ද උන් වහන්සේගේ වචන ඔවුන්ගේ ජීවිත පාලනය කළේ ය. දෘශ්‍යමාන අධීක්ෂණය සම්බන්ධයෙන්, ආත්මික සුදුසුකම් ලත් වැඩිමහල් පුරුෂයන් පත් කරන ලදි. යෙරුසලමේ එවැනි පුරුෂයන් කණ්ඩායමක් පාලක මණ්ඩලයක් වශයෙන් කටයුතු කළෝ ය. පාවුල්, තිමෝති සහ තීතස් වැනි සංචාරක වැඩිමහල්ලෝ එම මණ්ඩලය නියෝජනය කළෝ ය. තව ද මේ එක් එක් සභාවක් වැඩිමහල් පුරුෂයන් හෙවත් වැඩිමහල්ලන් විසින් රැකබලා ගන්නා ලදි. (තීතස් 1:5) අසීරු ගැටලුවක් පැන නැඟි විට, මෙම වැඩිමහල්ලෝ, පාලක මණ්ඩලය හෝ පාවුල් වැනි එහි නියෝජිතවරයෙකුගෙන් අදහස් විමසූහ. (සසඳන්න ක්‍රියා 15:2; 1 කොරින්ති 7:1; 8:1; 12:1.) තවදුරටත්, සභාවේ එක් එක් සාමාජිකයා විසින් දිව්‍යාණ්ඩු තන්ත්රය තහවුරු කිරීමෙහි ලා යම් කාර්යභාරයක් ඉටු කරන ලදි. තම ජීවිතය තුළ යෙහෝවඃ වහන්සේගේ ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කර ගැනීමට එක් එක් තැනැත්තා උන් වහන්සේ ඉදිරියේ වගකීමකින් යුක්ත ව සිටියේ ය.—රෝම 14:4, 12.
20. ප්‍රේරිතයන්ට පසු කාලවල දී වූ දිව්‍යාණ්ඩු තන්ත්රය ගැන කුමක් කිව හැකි ද?
20 ප්‍රේරිතයන්ගේ ඇවෑමෙන් පසු, අපදෘෂ්ටිය හෙවත් ඇදහිල්ලෙන් අත්හැර යාම වර්ධනය වනු ඇති බවට පාවුල් අනතුරු ඇඟවූ අතර, හරියට ම සිදුවූයේ ද එයයි. (2 තෙසලෝනික 2:3) කාලය ගත වීමත් සමඟ, ක්‍රිස්තියානින් යයි කියා සිටි අයගේ ගණන මිලියන ගණනකට ද අනතුරුව මිලියන සිය ගණනක් දක්වා ද ඉහළ නැංගේ ය. ධුරාවලි, ප්‍රෙස්බිටේරියන් සහ පර්ෂද්වාදි වැනි පල්ලි ආණ්ඩු ක්‍රමවල නොයෙක් ආකාර, ඔවුහු වැඩි දියුණු කළෝ ය. කෙසේ වෙතත්, එම පල්ලිවල හැසිරීමවත් විශ්වාසයන්වත් යෙහෝවඃ වහන්සේගේ පාලකත්වය පිළිබිඹු කළේ නැත. ඒවා දිව්‍යාණ්ඩු තන්ත්රයන් නොවී ය.
21, 22. (අ) අවසාන කාලයේ දී, යෙහෝවඃ වහන්සේ දිව්‍යාණ්ඩු තන්ත්රය යළි පිහිටුවා ඇත්තේ කෙසේ ද? (ආ) දිව්‍යාණ්ඩු තන්ත්රය සම්බන්ධයෙන් ඊළඟට පිළිතුරු දෙනු ලබන ප්‍රශ්න මොනවා ද?
21 මෙම දේවල පිළිවෙළේ අවසාන කාලයේ දී, බොරු ක්රිස්තියානින්ගෙන් සැබෑ ක්‍රිස්තියානින් ව වෙන් කිරීමක් කරන්නට තිබිණි. (මතෙව් 13:37-43) මෙය සිදුවූයේ, දිව්‍යාණ්ඩු තන්ත්රයේ ඉතිහාසයේ ප්‍රධාන කැපී පෙනෙන වසරක් වූ 1919 දී ය. එම කාලයේ දී, යෙසායා 66:8 හි තේජවත් අනාවැකිය ඉටු විණි: “මෙබඳු දෙයක් දුටුවේ කවුද? එක දවසකදී දේශයක් [විලිරුජා සහිත ව, NW] උපදිනවා ඇද්ද? නොහොත් සෙනඟක් එකවිටම උපදිනවා ඇද්ද?” එම ප්‍රශ්නවලට එසේ ය කියා දුන් පිළිතුර දෝංකාරය දුණි! වර්ෂ 1919 දී, ක්‍රිස්තියානි සභාව යළිත් වරක් වෙන් වූ “ජාතියක්” ලෙස පැවතුණි. ඇත්තෙන් ම, දිව්‍යාණ්ඩුමය “දේශයක්” එක් දවසක් තුළ බිහිවුණාක් මෙන් ය! අවසාන කාලය ඉදිරියට ඇදී යාමත් සමඟ, මෙම නව ජාතියේ සංවිධානය, එය හැකි තරම් දුරට පළමු සියවසේ වූවාක්මෙන් සමීපයට ගෙන ඒමට සකසනු ලැබිණි. (යෙසායා 60:17) එහෙත්, එය සෑම විට ම දිව්‍යාණ්ඩු තන්ත්රයක් විය. හැසිරීම සහ විශ්වාසයන් අතින්, එය සෑම විට ම පිළිබිඹු කළේ ශුද්ධ ලියවිලිවල දිව්යානුභාවලත් නීති සහ ප්‍රතිපත්ති ය. තව ද එය සෑම විට ම ඔටුනු පළන් රජ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට යටත් විණි.—ගීතාවලිය 45:17; 72:1, 2.
22 ඔබ මෙම දිව්‍යාණ්ඩු තන්ත්රයට සම්බන්ධ වී සිටිනවා ද? ඔබට එහි අධිකාරිමය තත්ත්වයක් තිබෙනවා ද? එසේ නම්, දිව්‍යාණ්ඩුමය ලෙස ක්‍රියා කිරීම යන්නෙන් අදහස් කරන දේ ඔබ දන්නවා ද? වැළකී සිටිය යුතු මලපත් මොනවා ද කියා ඔබ දන්නවා ද? මෙම අවසාන ප්‍රශ්න දෙක ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනවා ඇත.
ඔබට පැහැදිලි කළ හැකි ද?
◻ දිව්‍යාණ්ඩු තන්ත්රයක් යනු කුමක් ද?
◻ ඊශ්‍රායලය දිව්‍යාණ්ඩු තන්ත්රයක් ව පැවතියේ කිනම් ආකාරයෙන් ද?
◻ ඊශ්‍රායලය දිව්‍යාණ්ඩු තන්ත්රයක් බව එහි රජවරුන්ට සිහිගැන්වීම සඳහා යෙහෝවඃ වහන්සේ කළ විධිවිධානය කුමක් ද?
◻ ක්‍රිස්තියානි සභාව දිව්යාණ්ඩුවක් වූයේ කිනම් ආකාරයෙන් ද, තව ද එය සංවිධානය කරනු ලැබුවේ කෙසේ ද?
◻ අපගේ කාලයේ දී පිහිටුවනු ලැබ තිබෙන්නේ කිනම් දිව්‍යාණ්ඩුමය සංවිධානය ද?
[12වන පිටුවේ පින්තූරය]
පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යුදෙව් පාලකයෝ, යෙහෝවඃ වහන්සේ විසින් දිව්‍යාණ්ඩුමය ලෙස පත්කරනු ලැබූ රජට වඩා, කායිසර් ව පිළිගත්හ