හදිසිතාවයේ හැඟීමකින් යුතු ව සේවය කිරීම
හාන්ස් ෆන්ස් හරර් පැවසූ පරිදි
වර්ෂ 1962 එක් උදෑසනක, නෙදර්ලන්තයේ වොච් ටවර් සමිතියේ ශාඛා අවේක්ෂක වූ, පාවුල් කුෂ්නිර්, රොටර්ඩෑම් වරාය දිස්ත්‍රික්කයේ දී මට හමු වුණා. එතරම් ආලෝකයක් නොතිබූ ආපන ශාලාවක මේසයක් හරහා මා වෙත බැල්මක් හෙලූ ඔහු, මෙසේ පැවසුවා: “හාන්ස්, ඔබ මේ පැවරුම භාර ගතහොත්, ඔබට සහ ඔබගේ භාර්යාවට ලැබෙන්නේ යාමට ටිකට් පතක් පමණක් බව ඔබට තේරෙනවා නේද?”
“ඔව්, සූසීත් එයට එකඟ වනු ඇතැයි කියා මට විශ්වාසයි.”
“හොඳයි, ඒ ගැන සූසී සමඟ සාකච්ඡා කරන්න. ඔබගේ තීරණය ගැන මට ඉක්මනින් ම දැනුම් දෙන තරමට වඩා හොඳයි.”
ඊළඟ උදයේ දී ඔහුට අපගේ පිළිතුර ලැබුණා, එනම්, “අපි යනවා.” ඒ අයුරින්, 1962 දෙසැම්බර් 26දා, අපි අපගේ නෑදෑයන් සහ මිත්‍රයන් ව ආදරයෙන් වැළඳගෙන, ඈම්ස්ටර්ඩෑම් හි හිමෙන් වැසී තිබූ ස්කීපෝල් ගුවන් තොටුපලෙන්, මිෂනාරිවරුන් පෙර නොගොස් තිබුණා වූ නෙදර්ලන්තයේ න්යූ ගිනියා (දැන් බටහිර ඉරියාන්, ඉන්දුනීසියාව), එනම් පැපුවාවරුන්ගේ දේශය බලා පියාසර කළා.
මෙම අභියෝගාත්මක පැවරුම භාර ගැනීමේ දී අපට සැක තිබුණා ද? ඇත්තෙන් ම නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම සඳහා අප අපගේ ජීවිත මුළු හෘදයෙන් ම කැප කොට තිබුණු අතර, උන් වහන්සේ අපට අනුබලය දෙන බවට අපට දැඩි විශ්වාසයක් තිබුණා. අප අපගේ ජීවිත දෙස ආපසු හැරී බලන විට, යෙහෝවඃ වහන්සේ කෙරෙහි අප දැක්වූ නිසැකකම කිසිවිටෙකත් වැරදි තැනක තබා නොතිබූ බව අපට පේනවා. එහෙත් ඉන්දුනීසියාවේ දී සිදු වූ දේ පැවසීමට පෙර, අපගේ ජීවිතයේ මුල් කාලවල් ගැන පැවසීමට මට ඉඩ දෙන්න.
යුධ සමයේ පුහුණුව
වර්ෂ 1940 දී එම ධෛර්යවන්ත සාක්ෂිකරුවා වූ ආටුර් වින්ක්ලර් විසින් අපගේ පවුල පළමු වතාවට බැහැ දකිනු ලැබූ විට, මට යන්තම් අවුරුදු දහයක් වූවා පමණයි. ක්‍රිස්තියානි ලෝකයේ බොරු ඉගැන්වීම් ගැන බයිබලයේ පැවසීමට තිබූ දේ සොයා ගත් විට, මගේ දෙමාපියන් කම්පනයට පත් වුණා. එවකට නෙදර්ලන්තයේ නාට්සි ජර්මානුවන් පදිංචි වී සිටි නිසාත්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට පීඩා කරනු ලැබූ නිසාත්, තමන් තහනම් කරනු ලැබූ සංවිධානයක ආශ්‍රිතයන් බවට පත්වෙනවා ද කියා තීරණය කිරීමට මගේ දෙමාපියන්ට සිදු වුණා. එසේ කිරීමට ඔවුන් තීරණය කළා.
ඉන් පසු ව, මගේ මවගේ ධෛර්ය සම්පන්නකම සහ ඇගේ නිදහස සහ ඇගේ ජීවිතය පවා අවදානමට තබන්නට ඈ තුළ වූ කැමැත්ත මගේ සිතට තදින් කා වැදුණා. එක් වතාවක, ඈ සැතපුම් හතක් සයිකලය පැද ගෙන ගොස්, බයිබල් පත්‍රිකා බහාලූ මල්ලක් සමඟ අඳුරේ බලා සිටියා. පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත වේලාව පැමිණි විට, නිතරම තම මල්ලට අත දමා පත්‍රිකා ගෙන පාර පුරා ඒවා විසුරුවා හරිමින්, ඈට හැකි තරම් වේගයෙන් ඇය සයිකලය පැදගෙන ගියා. ඈ පසු පස හඹා ගිය තවත් සයිකල් කරුවෙක් අවසානයේ දී ඈ ව පසු කර ගොස්, හුස්මක් ගෙන මෙසේ කෑ ගැසුවා: “නෝනා, ඔබගේ මල්ලෙන් යමක් වැටෙනවා!” අම්මා මේ කථාව අපට කියන විට අපගේ සිනහාව නවත්වා ගැනීමට අපට බැරි වුණා.
මා ඉතා බාලයෙකු ව සිටි නමුදු, මගේ ජීවිතයේ දී මට කිරීමට වුවමනා කුමක් දැයි මා දැන සිටියා. වර්ෂ 1942 මැද-භාගයේ පැවති එක් රැස්වීමක දී, එය මෙහෙයවන්නා, “ඊළඟ වතාවේ බව්තීස්ම වීමට වුවමනා කාටදැයි” ඇසූ විට, මම මගේ අත වැරෙන් ඉහළ දැමුවා. එවැනි තීරණයක වැදගත්කම මට වැටහෙනවාදෝ යන සැකයෙන් මගේ දෙමාපියන් කනස්සල්ලෙන් මෙන් එකිනෙකා දෙස බැලුවා. එහෙත්, මට වයස අවුරුදු 12ක් වුණත්, දෙවියන් වහන්සේට කැපවීම යන්නෙන් අදහස් කරන දේ මා වටහා ගෙන සිටියා.
නාටිසිවරුන් අප පසු පස ලුහුබඳිමින් තිබෙද්දී, ගෙයින් ගෙට දේශනා කිරීම, ඉතා සුපරීක්ෂාවෙන් කළ යුතු යමක් වුණා. අපට එරෙහි ව සිටිය හැකි අයගේ නිවෙස්වලට කථා කිරීමෙන් වැළකීම පිණිස, නාට්සිවරුන්ට සහයෝගය දැක් වූ අය තමන්ගේ ජනේලවල පෝස්ටර් ඇල වූ විට, මා සයිකලයෙන් ගොස් ඔවුන්ගේ සියල්ලන්ගේ ලිපින ඉතා කෙටියෙන් සටහන් කර ගත්තා. එක් වතාවක, එක් මිනිසෙක් මා දැක මෙසේ කෑ ගැසුවා: “බොහොම හොඳයි, මගේ කොල්ලෝ, ඒවා ලියා ගනින්—සේරම අයගේ ලිපින ලියා ගනින්!” මා එයට ඉතා උත්සුක වුණා, නමුත් එතරම් සුපරීක්ෂාකාරී විදහට නම් නොවේ! වර්ෂ 1945 යුද්ධය අවසානයේ දී, දේශනා කිරීමට වඩාත් නිදහසක් ලැබේවි ය යන අපේක්ෂාවෙන් අපි ප්‍රීති වුණා.
වෘත්තියක් පටන් ගැනීම
වර්ෂ 1948 නොවැම්බර් 1දා, මගේ පාසල් ගමන හමාර කළායින් පසු, මම මගේ පළමු පූර්ණ-කාලීන දේශනා පැවරුම ලැබුවා, පුරෝගාමියෙක් හැටියට. මාසයකට පසු ව, සහෝදර වින්ක්ලර් මා නැවතී සිටි පවුල බැහැ දැකීමට පැමිණියා. ඔහු ඇවිත් තිබුණේ මා ව සෝදිසි කරන්නට විය යුතුයි, මන්ද, ඊට වැඩි කලක් යන්නට මත්තෙන්, ඈම්ස්ටර්ඩෑම් හි සමිතියේ ශාඛාවේ සේවය කිරීමට මට ආරාධනා ලැබුණා.
පසු ව, චාරිකා අවේක්ෂකයෙකු වශයෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් බැහැ දැකීමට මගෙන් ඉල්ලා සිටියා. පසු ව, 1952 අවසානයේ දී, මිෂනාරි පුහුණුව ලැබීම සඳහා, න්යූ යෝර්ක් හි වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් ගිලියඩ් 21 වෙනි පංතියට සහභාගි වීමට මට ආරාධනා ලැබුණා. මෙසේ, 1952 අග භාගයේ දී, නෙදර්ලන්තයෙන් අපි අට දෙනෙක්, නයියූ ඇම්ස්ටර්ඩැම් නෞකාවෙන් අමෙරිකාව බලා පිටත් වුණා.
පාසල් සැසිවාරවල අවසානය වන විට, එක් උපදේශකවරයෙකු වූ මැක්ස්වල් ෆ්‍රෙන්ඩ්, මෙසේ පැවසුවා: “ඔබ මෙහි දී ඉගෙන ගත් බොහෝ දේවල් ඔබට අමතක වේවි, නමුත් මෙම දේවල් තුන, එනම් ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය යන මේවා ඔබ තුළ රැඳී තිබේ ය කියා අපි බලාපොරොත්තු වෙනවා.” තව ද මගේ මනසේ හා හෘදයේ රැඳී පවතින තවත් දෙයක් නම්, යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සමඟ හදිසිතාවයේ හැඟීමකින් යුතු ව සේවය කළා වූ එම අනර්ඝ මතක සටහන් මගේ මනසේ හා හෘදයේ රැඳී පවතින තවත් දෙයකි.
ඉන් පසු ව, මා විශාල බලාපොරොත්තු කඩ වීමක් අත්දුටුවා. මා ඇතුළු, අපගේ ඕලන්ද කණ්ඩායමෙන් අඩක් ම, නැවත නෙදර්ලන්තය බලා යාමට නියම කෙරුණා. බලාපොරොත්තු කඩ වුණත්, මා කලබල වුණේ නැහැ. මා විදේශීය පැවරුමක් ලබා ගැනීමට, මෝසෙස් මෙන් වසර 40ක් බලා සිටිය යුතු නැතැයි කියා පමණක් මා බලාපොරොත්තු වුණා.—ක්‍රියා 7:23-30.
අනභිබවනීය උපකාරවත් කලත්‍රයෙක්
මට පියෙකු මෙන් සිටි මිත්‍රයෙක් වූ, ෆ්රිට්ස් හාර්ස්ටැන්ග් මගේ විවාහ සැලසුම් ගැන දැනගත් විට, ඔහු විශ්වාසයෙන් යුතු ව මෙසේ කීවා: “ඔයාගේ තෝරා ගැනීමට වඩා හොඳ කෙනෙක් මට හිතාගන්නවත් බැහැ.” සූසීගේ පියා වූ, කේසි ස්ටූෆෙ, IIවන ලෝක යුද්ධ සමයේ නාට්සිවරුන්ට එරෙහි ව විරෝධි හමුදාවල ප්‍රධාන පෙළේ සටන් කරන්නෙකුව සිට තිබුණා. එහෙත්, 1946 දී සාක්ෂිකරුවන් හමු වූ විට, ඔහු සැණෙකින් බයිබල් සත්‍යයන් පිළිගත්තා. වැඩිකල් යන්නට මත්තෙන්, ඔහු සහ ඔහුගේ දරුවන් හය දෙනාගෙන් තිදෙනෙක් —සූසී, මෙරියන් සහ කෙනත්—බව්තීස්මය ලැබුවා. වර්ෂ 1947 මැයි 1දා මෙම දරුවන් තිදෙනා පුරෝගාමින් ලෙස පූර්ණ කාලීන දේව සේවය ආරම්භ කළා. වර්ෂ 1948 දී, කේසි තම ව්‍යාපාරය විකුණා, ඔහුත් පුරෝගාමි සේවය පටන් ගත්තා. පසු ව ඔහු කීවේ මෙසේයි: “ඒ තමා මගේ ජීවිතයේ සන්තෝෂවත් ම කාලය!”
මා සූසී ව හොඳින් දැන හඳුනා ගත්තේ, 1949 දී ඈම්ස්ටර්ඩෑම් හි ශාඛා කාර්යාලයේ සේවය කිරීමට ඈට ආරාධනා කරනු ලැබූ විටයි. එහෙත්, ඊළඟ අවුරුද්දේ, ඈ සහ ඇගේ සහෝදරී වන මෙරියන් 16 වෙනි ගිලියඩ් පංතියට සහභාගි වන්නට පිටවී ගොස්, ඔවුන්ගේ මිෂනාරි පැවරුම වූ ඉන්දුනීසියාව බලා නැවෙන් ගමන් කළා. වර්ෂ 1957 පෙබරවාරි මාසයේ, එහි වසර පහක මිෂනාරි සේවයෙන් පසු ව, සූසී මා සමඟ විවාහ වීම සඳහා නැවත නෙදර්ලන්තයට පැමුණුනා. ඒ කාලයේ, මා චාරිකා අවේක්ෂකයෙකු වශයෙන් සේවය කරමින් සිටි අතර, අපගේ විවාහ දිවියේ මුළු කාලය පුරා, ඈ බොහෝ විට රාජ්‍යය සේවය වෙනුවෙන් පෞද්ගලික පරිත්‍යාගයන් කිරීමට කැමැත්ත පළ කොට තිබුණා.
අපගේ විවාහ මංගල්‍යයට පසු, අප නෙදර්ලන්තයේ විවිධ ප්‍රදේශවල සභාවන් බැහැ දැකීමේ දිගට ම යෙදුණා. එක් සභාවක සිට තවත් සභාවකට අප සයිකලෙන් චාරිකා කරන විට, සූසීගේ මිෂනාරි සේවයේ අසීරු පැවරුම් මගින් ලද පුහුණුව ඇයට විශාල රුකුලක් වුණා. වර්ෂ 1962 දී, අප චාරිකා සේවයේ නියැලී සිටි විට, සහෝදර කුෂ්නිර් මා හමු වී බටහිර ඉරියාන්, ඉන්දුනීසියාව බලා යන ලෙස අපට ආරාධනා කළේ එවිටයි.
ඉන්දුනීසියාවේ මිෂනාරි සේවය
අප මානක්වාරී නගරයට ළඟා වුණා—එය සම්පූර්ණයෙන් ම වෙනස් ලෝකයක්! නිවර්තන කලාපීය රටවල රාත්‍රි කාලයේ තැතිගන්වන සුලු ශබ්ද සහ උණුසුම සහ දූවිල්ල එහි තිබුණා. පිටිසර බද පළාත්වල විසූ, අමුඩය පමණක් ඉනේ දවටා ගෙන සිටි පැපුවන්වරු, මන්න අතැතිව, අප පසුපසින් යාමට ප්‍රිය කළ අතර, අපගේ සුදු හම ඇල්ලීමටත් උත්සාහ කළා—මේ සියල්ලට ම හුරු පුරුදු වීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ.
අප එහි ගොස් සති කිහිපයක් ඇතුළත, පූජකයන් පල්ලියේ දේශනා කූඩුවල සිට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ ව අනතුරු අඟවමින් ලිපියක් කියවා, එයින් පිටපතක් පැමිණි සිටි සියල්ලන් අතට පත් කළා. ප්‍රාදේශීය ගුවන් විදුලි මධ්‍යස්ථානය පවා එම ලිපිය විකාශනය කළා. ඉන් පසු, පූජකයන් තිදෙනෙක් අප ව හමුවන්නට පැමිණ, අප රට මැදට ගොස්, “මිථ්‍යාදෘෂ්ටිකයන්” ලෙස ඔවුන් විසින් හඳුන්වනු ලැබූ අය අතර වැඩ කරන ලෙස අපට අණ කළා. උසස් පෙළේ පැපුවන් පොලිස් නිලධාරියෙක් ද, ඉවත් ව යන මෙන් අපගෙන් උදක් ම ඉල්ලා සිටි අතර, අප ව මරා දැමීමට සැලසුම් කරනු ලබමින් තිබෙන බව රහස් පොලීසියේ සාමාජිකයෙක් අපට පැවසුවා.
එහෙත්, සෑම කෙනෙක් ම අපට විරුද්ධ වුණා නොවේ. නෙදර්ලන්තය බලා යාමට සිටි, පැපුවන්වරුන්ගේ එක් ඕලන්ද ජාතික උපදේශකවරයෙක්, අප ව පැපුවන්වරුන්ගේ ප්‍රධාන නායකයන් කිහිප දෙනෙකුට හඳුන්වා දුන්නා. “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, ඔබ දැනගෙන තිබෙනවාට වඩා හොඳ ආකාරයේ ක්‍රිස්තියානි ආගමක් ගෙන ඒවි. එමනිසා, ඔබ ඔවුන් ව සාදරයෙන් පිළිගත යුතුයි.” ඔහු ඔවුනට පැවසුවා.
පසු ව, එක් රජයේ නිලධාරියෙක් වීදියේ දී සූසී වෙත එළැඹ, රහසින් මෙන් මෙසේ කීවා: “ඔබ මෙහි අලුත් වැඩක් පටන් ගෙන තිබෙන බව අපට ආරංචි වී තිබෙනවා. ඒ නිසා, මෙහි නැවතීමට ඔබට ඉඩ දෙන්ට අපට බැහැ. නමුත්, ආ, . . . ඔබට පල්ලියක් වත් තිබුණා නම්.” එක්තරා ඉඟියක්! සැණෙකින්, අප අපගේ නිවසේ බිත්ති කිහිපයක් බිඳ දමා, බංකු කිහිපයක් පෙළට තබා, කථික පුවරුවක් සවි කොට, “රාජ්‍යය ශාලාව” යනුවෙන් පුවරුවක් නිවස ඉදිරියේ සවි කළා. ඉන් පසු, පැමිණ බැහැ දකින මෙන් අපි එම නිලධාරියාට ආරාධනා කළා. ඔහු හිස වනා, මඳ සිනහාවක් පා, ඔහුගේ දබරැඟිල්ලෙන් තම හිසේ පැත්තකට තට්ටු කළේ, හරියට, “දක්ෂයි! දක්ෂයි!” කියන්නාක් මෙන්.
වර්ෂ 1964, ජූනි 26දා, අප පැමිණ අවුරුදු එකහමාරක් ගත වූ පසු, අපගේ පළමු පැපුවන් ජාතික බයිබල් ශිෂ්‍යයන් අතුරින් 12 දෙනෙක් බව්තීස්මය ලැබුවා. ටික කලෙකින්, තවත් 10 දෙනෙක් බව්තීස්මය ලැබූ අතර, අපගේ රැස්වීමේ සාමාන්‍යය 40ක් වූවා. අපට සහයෝගය දැක්වීම සඳහා ඉන්දුනීසියානු පුරෝගාමින් දෙදෙනෙක් එවනු ලැබුවා. මානක්වාරි හි හොඳින් සභාවක් පිහිටුවනු ලැබූ විට, සමිතියේ ඉන්දුනීසියානු ශාඛාව, 1964 දෙසැම්බර් මාසයේ දී, අපට තවත් දේශනා පැවරුමක් දුන්ණා.
අප පිට ව යාමට පෙර, ආණ්ඩුවේ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අප ව පසෙකට කැඳවා මෙසේ කීවා: “ඔබ පිට ව යාම ගැන මට කනගාටුයි. ඔබ ව පිටමං කර යවන ලෙස සෑම සතියක ම පූජකයන් මට ඇවිටිලි කළා. මන්ද, ඔබලා ඔවුන්ගේ ඵල ඇහිඳිනවා කියා ඔවුන් මට කීවා. නමුත් මම ඔවුන්ට කීවා: ‘නැහැ, ඒ වෙනුවට ඔවුන් ඔබගේ ගස්වලට පොහොර දමනවා’ කියලා.” ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: “ඔබ කොහේ ගියත් ඔබේ සටන දිගට ම ගෙන යන්න, ඔබ දිනනවා සිකුරුයි!”
රජය පෙරළා දැමීමට වූ මහා අර්බුදයක් මැද
අප අගනුවර වන ජකර්තා හි සේවය කරමින් සිටින අවදියේ 1965 සැප්තැම්බර් මස එක් රාත්‍රියක, කොමියුනිස්ට් කැරලිකරුවෝ හමුදා නායකයන් කිහිප දෙනෙකු ව මරා දමා, ජකර්තා නගරයට ගිනි තබා, ජාතික මට්ටමෙන් අරගලයක් පටන් ගත්තා, අන්තිමේ දී ජාතියේ ජනාධිපති ව සිටි සුකාර්නෝගේ රජය පෙරළා දමනු ලැබුවා. 4,00,000ක් පමණ ජීවිත අහිමි වුණා!
එක් අවස්ථාවක, අප දේශනා කරමින් සිටියේ ඊළඟ වීථියේ වෙඩි තැබීම් ගිනි තැබීම් සිදු වන අතරතුරකයි. ඊළඟ දවසේ දී, රජයේ හමුදාවන් අසල තිබූ කොමියුනිස්ට් වාදීන්ගේ තිප්පොලක් විනාශ කිරීමට යන බව අපට සැලවුණා. අප ගෙවැසියන් වෙත ළඟා වෙන විට, ඔවුන් අප දෙස බැලුවේ මහත් භීතියකින් යුතුවයි. නමුත් ඔවුන් අපගේ බයිබල් පණිවුඩය ඇසූ විට, සන්සුන් වී ඇතුළට එන මෙන් අපට ආරාධනා කළා. අප ඔවුන් සමඟ සිටින විට ඔවුන්ට යම් ආරක්ෂාවක් හැඟී ගියා. යෙහෝවඃ වහන්සේ මත රඳා සිටින්නටත්, අහිතකර තත්ත්වයන් යටතේ සමබරතාවය පවත්වා ගැනීමටත් එම කාල පරිච්ඡේදය අප සියල්ලන් හට ඉගැන්වූවා.
තවදුරටත් ඇති වූ විරුද්ධවාදිකම් ජයගැනීම
වර්ෂ 1966 අග භාගයේ, අපි දර්ශනීය දකුණු මොලුක්කා දූපත් හි පිහිටි අම්බන් පුරය කරා ගියා. එහි, ප්‍රතිචාර දක්වන සුලු, මිත්‍රශීලී ජනගහණය අතර, ආත්මික දේ කෙරෙහි උනන්දුව දක්වන බොහෝ දෙනෙක් අපට හමුවුණා. අපගේ කුඩා සභාව ඉක්මනින් වර්ධනය වූ අතර, රැස්වීමට පැමිණෙන සංඛ්‍යාව සියය දක්වා ළඟා වුණා. ඉතින්, මේ හේතුවෙන්, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල නිලධාරීන්, ආගමික කටයුතු පිළිබඳ කාර්යාලයට ගොස්, අප ව අම්බන් නගරයෙන් බලෙන් පලවා හරින මෙන් එහි ප්‍රධානියාට බලකර සිටියා. එහෙත්, ප්‍රධානියාගේ මේසය මත ඔවුන් දුටුවේ, පැහැදිලි ව පෙනෙන පරිදි තබා ඇති වොච් ටවර් සමිතියේ ප්‍රකාශනයි! ප්‍රධානියාගේ මනස වෙනස් කරන්නට අසමත් වූ ඔවුහු, ජකර්තා හි ආගමික අමාත්‍යාංශයේ නිලධාරීන් ව හමු වී අප ව අම්බන් නගරයෙන් පමණක් නොව, නමුත් මුළු ඉන්දුනීසියාවෙන් ම පිටමං කරන්නට වෑයම් කළා.
මේ වතාවේ දී ඔවුන් සාර්ථක වූ බවක් පෙනෙන්ට තිබුණා, මන්ද, 1968 පෙබරවාරි1දා, අප ඉවත් ව යාමට නියමිත දිනය ලෙසට නම් කෙරුණා. කෙසේ වෙතත්, ජකර්තා හි සිටි අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්, ආගමික අමාත්‍යාංශයේ උසස් මුස්ලිම් නිලධාරියෙකු ව හමුවූයෙන්, ඔහු එම තීරණය වෙනස් කරන්නට උපකාර කළා. මීට අමතර ව, පැරණි ප්‍රතිපත්තියක් වෙනස් වූ අතර, තවත් වෙනත් මිෂනාරිවරුන්ට ඇතුළත් වන්නට අවසර දෙනු ලැබුවා.
මෙසේ, ඊළඟ වසර දහය අතරතුර, මහේශාක්‍ය කඳු, වනාන්තර සහ විල්වලින් පිරි උතුරු සුමාත්‍රාවේ, අපි, ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රියාව, ජර්මනිය, පිලිපීනය, ස්වීඩනය සහ එක්සත් ජනපදය යන රටවලින් පැමිණි මිෂනාරිවරුන් සමඟ සේවය කළා. දේශනා සේවය වැඩිදියුණු වූයේ, විශේෂයෙන් රටේ බාටාක් නම් ප්‍රධාන වාර්ගික කණ්ඩායම අතරයි.
කෙසේ වෙතත්, ආගමික කූට උපා යොදන්නන් අවසානයේ දී සාර්ථක වී 1976 දෙසැම්බර් මාසයේ අපගේ දේශනා සේවය තහනම් කරනු ලබන තත්ත්වයට කටයුතු කළා. එමෙන් ම, ඊළඟ වසරේ, මිෂනාරිවරුන්ගෙන් බොහෝ දෙනෙක් වෙනත් රටවල පැවරුම් සඳහා රටෙන් පිට ව ගියා, අවසානයේ දී, 1979 දී අපටත් යන්නට සිදු වුණා.
දකුණු අමෙරිකාවට
මේ වන විට අප 50 වෙනි වියට එළැඹ සිටියා. තවත් රටකට ගොස් සකස් වන්නට අපට පුළුවන් වේ දැයි අප කල්පනා කළා. “අප නව පැවරුමක් භාරගනිමු ද නැත්නම් යම් තැනක ස්ථිර ව පදිංචි වෙමු ද?” සූසී ඇසුවා.
“හොඳයි, සූසී, යෙහෝවඃ වහන්සේ අපට කොහේ යාමට ආරාධනා කළත්, උන් වහන්සේ අප ව රැක බලා ගත්තා, අනාගතයේ තවත් ආශීර්වාද තිබෙනවා ද කියා කවුද දන්නේ?” මෙසේ, අප අපගේ නව පැවරුමට ළඟා වුණා, ඒ දකුණු අමෙරිකාවේ සුරිනාමයට. මාස දෙකක් ඇතුළත අපි නැවතත් සංචාරක සේවයේ නියැලුණු අතර, එකෙනෙහි ම අපට එය හැඟුනේ ගෙදර ඉන්නවා වගේ.
වසර 45කට වැඩි කලක් මුළුල්ලේ අපගේ පූර්ණ කාලීන දේව සේවය දෙස හැරී බලන විට, මිෂනාරි සේවයේ දිගට ම නියැලීමට අපගේ දෙමාපියන්ගෙන් ලද සහාය කොතරම් වැදගත් අනුබලයක් වී තිබෙනවා ද කියා සූසීට හා මට වැටහෙනවා. වර්ෂ 1969 දී, වසර හයකට පසු යළිත් මාගේ දෙමාපියන් ව දුටු විට, මගේ පියා මා ව පැත්තකට හඬ ගසා, මෙසේ කීවා: “යම් විදහකින්, පළමුවෙන් අම්මා මිය ගියහොත්, ඔබ ගෙදර ඒමට අවශ්‍ය නැහැ. ඔබගේ පැවරුම තුළ රැඳී සිටින්න. මම කටයුතු බලා ගන්නම්. නමුත් එය අනෙක් අතට සිදු වුණොත්, ඔබට ඒ ගැන අම්මාගෙන් අසන්නට වේවි.” මව පැවසුවෙත් එයමයි.
සූසීගේ දෙමාපියන්ටත් එම පරාර්ථකාමී ආකල්පය ම තිබුණා. එක් වතාවකට, සූසී ඔවුන්ගෙන් වසර 17කට වෙන් වී සිටියා. එහෙත්, ඔවුන් කිසිවිටෙකත් අධෛර්ය කරවන වචනයක් ලීවේ නැහැ. ඇත්ත වශයෙන් ම, අපගේ දෙමාපියන්ට වෙන අයුරකින් උපකාර ලබා ගත නොහැකි ව තිබුණා නම්, අප යළිත් ගෙදර යනවා නිසැක ය. මෙහි මූලික කාරණය නම්, අපගේ දෙමාපියන්ට මිෂනාරි සේවය ගැන එක ම තක්සේරුවක් තිබීමයි. ඇරත්, ඔවුන් අපගේ හෘදයන් තුළ පැලපදියම් කළ එම හදිසිතාවයේ හැඟීමෙන් ම ඔවුන් ඔවුන්ගේ මරණය දක්වා ම යෙහෝවඃ වහන්සේට සේවය කර තිබුණා.—1 සාමුවෙල් 1:26-28 සසඳන්න.
ඇදහිලිවන්තයන් විසින් ලියන ලද ලිපි මඟින් අපට දිරිගැන්වීම ලැබී තිබෙනවා. අපගේ වසර 30කට වඩා වැඩි මිෂනාරි සේවය තුළ සෑම මසක ම අපට කිසිවිටෙකත් ලිවීම නතර නොකළ කිහිප දෙනෙක් සිටිනවා! නමුත් සියල්ලට ම ඉහළින්, පොළොව මත සිටින ස්වකීය සේවකයන් ව දරා ගන්නා ආකාරය දන්නාවූ අපගේ ප්‍රිය ස්වර්ගික පියාණන් වන යෙහෝවඃ වහන්සේ ව අප මනසේ තබා ගෙන සිටිනවා. එමනිසා, අප දැන් මෙතෙක් කල් බලා සිටි සිද්ධීන්වල උච්චාවස්ථාව කරා එළැඹෙනවාත් සමඟ ම, සූසී සහ මම ‘යෙහෝවඃ වහන්සේගේ දවස සමීප ව මනසේ’ තබා ගෙන සිටින්නේ හදිසිතාවයේ හැඟීමකින් යුතු ව දිගට ම යෙහෝවඃ වහන්සේට සේවය කරමිනුයි.—2 පේතෘස් 3:12.
[26වන පිටුවේ පින්තූරය]
1957 දී විවාහ වීමු
[29වන පිටුවේ පින්තූරය]
පුරෝගාමින් වශයෙන් දරුවන් හය දෙනෙක්—මොනතරම් සතුටක් ද!