ගිජුකමේ මලපත මඟ හැරීමෙහිලා සාර්ථක වන්න
“ධනවත් වීමට අදිටන් කර ගෙන සිටින අය . . . පරීක්ෂාවට සහ මලපතකට . . . වැටෙන්නෝ ය.”—1 තිමෝති 6:9, NW
1. මලපත් සම්බන්ධයෙන් අප සැලකිලිමත් විය යුත්තේ මන්ද?
“මලපත” යන වචනය, යම් දඩයක්කාරයෙකු විසින් අනතුරක් ඇතැයි සැක නොකරන ගොදුරක් හසු කර ගැනීමට පිළියෙළ කරන වටපිටාවක් සමඟ ගැළපෙන උපක්‍රමයක් ඔබේ සිහියට නංවනවා විය හැකි ය. කෙසේ වෙතත්, අපට තිබෙන වඩාත් ම භයානක මලපත් නම්, එවැනි පදගතාර්ථමය මලපත් නොව, නමුත් අප ව ආත්මික ව හෝ සදාචාරාත්මක ව ගොදුරු කළ හැකි වූ මලපත් වන බව දෙවියන් වහන්සේ පැහැදිලි කරන සේක. යක්ෂයා වනාහි එවැනි මලපත් ඇටවීමේ රුසියෙකි.—2 කොරින්ති 2:11; 2 තිමෝති 2:24-26.
2. (අ) අන්තරාදායක මලපත්වලින් වැළකීමට යෙහෝවඃ වහන්සේ අපට උපකාර කරන්නේ කෙසේ ද? (ආ) දැන් අපගේ අවධානයට හසු වන්නේ කිනම් ආකාරයේ මලපත ද?
2 සාතන්ගේ බොහෝ මෙන් ම නානාප්‍රකාර මලපත් සමහරක් හඳුනා ගැනීමට සැලැස්වීම මගින් යෙහෝවඃ වහන්සේ අපට උපකාර කරන සේක. නිදසුනක් වශයෙන්, අප අඥාන, රළු හෝ අප විසින් නොකිව යුතු දේ පවසනවා නම්, අපගේ තොල් හෝ මුඛය මලපතක් විය හැකි බවට දෙවියන් වහන්සේ අනතුරු අඟවන සේක. (හිතෝපදේශ 18:7; 20:25) උඩඟුකම මලපතක් විය හැකිවාක් මෙන් ම, කෝප වීමට නැඹුරු වී සිටින අය සමඟ සමාගම් පැවත්වීම ද මලපතකි. (හිතෝපදේශ 22:24, 25; 29:25) එහෙත් අපි තවත් මලපතක් ගැන අවධානය යොමු කරමු: “ධනවත් වීමට අදිටන් කර ගෙන සිටින අය, මනුෂ්‍යයන්ව නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නා වූ පරීක්ෂාවට සහ මලපතකට ද බොහෝ අඥාන හානිකර ආශාවන්ට ද වැටෙන්නෝ ය.” (1 තිමෝති 6:9, NW) එම මලපත පිටුපස ඇති දේ හෙවත් ඒ සඳහා තිබෙන පදනම “ගිජුකම” යන වචනය තුළ කැටි කොට දැක්විය හැක. ධනවත් වීමට අදිටන් කර ගෙන සිටීමෙන් ගිජුකම බොහෝ විට ඉස්මතු වුවද, සැබවින් ම එය බොහෝ පැතිවලින් යුත් මලපතක් වෙයි.
යෙහෝවඃ වහන්සේ අන්තරායන් ගැන අපට අනතුරු අඟවන සේක
3, 4. ඉපැරණි මිනිස් ඉතිහාසය තුළ ගිජුකම සම්බන්ධ කිනම් පාඩම අන්තර්ගත වේ ද?
3 මූලික වශයෙන් ගත් කල, ගිජුකම යනු, මුදල් වේවා, බලය වේවා, ලිංගික ආශා වේවා, නැතහොත් වෙන ඕනෑ ම දෙයක් වේවා, වැඩියෙන් ලබා ගැනීමට තිබෙන සීමාව ඉක්ම වූ අධිකතර ආශාව ය. ගිජුකමේ මලපතෙහි අනතුරට මුලින් ම හසුවන අය අප නොවේ. බොහෝ කලකට පෙර, ඒදන් උයනේ දී, ඒව ද ඉන් අනතුරු ව ආදම් ද ගිජුකම මගින් ගොදුරු කර ගන්නා ලදි. ඒවගේ කලත්‍රයා ඈට වඩා ජීවිතයේ අත්දැකීම් ලැබ සිටි අතර ම යෙහෝවඃ වහන්සේ විසින් පුද්ගලික ව උගන්වනු ලැබූ කෙනෙක් ව සිටියේ ය. දෙවියන් වහන්සේ ඔවුන්ට පාරාදීස නිවසක් සපයා දී තිබුණි. දූෂිත නොවූ භූමියෙන් හට ගත් යහපත් හා විවිධ ආහාර භුක්ති විඳින්නට ඔවුන්ට හැකි විණි. පරිපූර්ණ දරුවන් ලබා ගැනීමේ අපේක්ෂාවක් ඔවුන්ට තිබූ අතර, ඔවුන් සමඟ නිමක් නැති ව දෙවියන් වහන්සේට සේවය කිරීමේ හැකිකම තිබිණි. (උත්පත්ති 1:27-31; 2:15) ඕනෑ ම මිනිසෙකු ව තෘප්තිමත් කිරීමට එය ප්‍රමාණවත් වන බවට පෙනී යන්නේ නැද්ද?
4 එහෙත්, යමෙකුට ඇති තරම් තිබීම, ගිජුකම මලපතක් බවට පත්වීමෙන් වළක්වන්නේ නැත. වඩාත් ස්වාධීනත්වය ලබාගෙන තමාට තමාගේ ම ප්‍රමිති තබා ගෙන, දෙවියන් වහන්සේ හා සමාන වීමේ අපේක්ෂාව මගින් ඒව මලපතකට හසු වුණා ය. විපාකය කුමක් වුවත්, තමාගේ පියකරු කලත්‍රයා සමඟ නිරන්තර සහකාරත්වයක් තබා ගැනීමට ආදම්ට වුවමනා වූ බවක් පෙනෙන්ට තිබේ. මෙම පරිපූර්ණ මිනිසුන් පවා ගිජුකමට හසු වූ හෙයින්, ගිජුකම අප හට අන්තරායක් විය හැක්කේ මන්ද යන්න ඔබට අගය කළ හැකි ය.
5. ගිජුකමේ මලපතින් වැළකීම ම අප හට කොතරම් වැදගත් ද?
5 ගිජුකමේ මලපතට හසු වීමට එරෙහි ව අප ආරක්ෂා විය යුතු ය, මන්දයත් ප්‍රේරිත පාවුල් අපට මෙසේ අනතුරු අඟවන හෙයිනි: “අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙල්ලා. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමග අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් [ගිජු පුද්ගලයෝවත් NW] . . . දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.” (1 කොරින්ති 6:9, 10) පාවුල් අපට මෙය ද පැවසුවේ ය: “වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද [ගිජුකම ද NW] නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා.” (එපීස 5:3) එබැවින්, අපගේ අසම්පූර්ණ මාංසය පිනවීමේ අරමුණින් ගිජුකම අපගේ කථා බහටවත් විෂයක් කර නොගත යුතු ය.
6, 7. (අ) ගිජුකම කොතරම් ප්‍රබල ද කියා කැපී පෙනෙන්නට සලස්වන්නේ කිනම් බයිබල් උදාහරණ ද? (ආ) එවැනි ආදර්ශයන් අපට අනතුරු ඇඟවීමක් විය යුත්තේ මන්ද?
6 ගිජුකමේ අන්තරායන් ගැන අපට අනතුරු අඟවනු වස් යෙහෝවඃ වහන්සේ බොහෝ උදාහරණ වාර්තා කොට ඇත. ආකාන්ගේ ගිජුකම ගැන මතකයට නගන්න. දෙවියන් වහන්සේ පැවසූ පරිදි, යෙරිකෝව විනාශ කිරීමට තිබෙන නමුත් එහි රන්, රිදී, තඹ සහ යකඩ උන් වහන්සේගේ භාණ්ඩාගාරයට යා යුතු ව තිබුණි. ආකාන් මුලින් එම උපදෙස අනුගමනය කරන්නට අදහස් කළා විය හැකිමුත්, ගිජුකම ඔහු ව ගිල ගත්තේ ය. යෙරිකෝවට ඇතුල් වූ වහා ම, එය හරියට ඔහු සාප්පු සවාරියක යෙදී සිටින විට, තමාට හරියට ම ගැලපෙන අලංකාර ඇඳුමක් ඇතුළු විශ්වාස කට නොහැකි ලාභ බඩු දුටුවා සේ වූයේ ය. රුපියල් ලක්ෂ ගණනක් වටිනා රත්රන් හා රිදී අහුලා ගත් ඔහු මෙසේ සිතුවා විය හැක, ‘මොනතරම් වාසනාවක් ද! එය හරියට සොරකමක් වගේ.’ එය හරියට ම සොරකමක් විය! විනාශ කළ යුතු ව තිබුණු දේ ඔහු තණ්හාවෙන් ගත් අතර, එය දෙවියන් වහන්සේගෙන් සොරකම් කිරීමක් විණි, තව ද ආකාන්ට සිය ජීවිතයෙන් එයට වන්දි ගෙවන්නට සිදු විය. (යෝෂුවා 6:17-19; 7:20-26) ගෙහාසි හා යූදස් ඉස්කාරියොත්ගේ උදාහරණ ද සලකා බලන්න.—2 රාජාවලිය 5:8-27; යොහන් 6:64; 12:2-6.
7 ඉහත සඳහන් වූ තුන් දෙනා, යෙහෝවඃ වහන්සේගේ ප්‍රමිති ගැන නොදැන සිටි මිථ්‍යා දෘෂ්ටිකයන් නොවේ ය යන කරුණ අප විසින් අතපසු නොකළ යුතු ය. ඒ වෙනුවට, ඔවුහු දෙවියන් වහන්සේ සමඟ කැප වූ සබඳතාවයක සිටි අය වූහ. ඔවුන් සියල්ලෝ ම, දෙවියන් වහන්සේගේ බලය සහ උන් වහන්සේගේ අනුමැතිය තබා ගැනීමේ වැදගත්කම තදින් සිතට කාවැදිය යුතු ව තිබුණා වූ ප්රාතිහාර්යයන් දැක තිබූ අය වූහ. එහෙත්, ගිජුකමේ මලපත ඔවුන්ගේ වැටීමට හේතු විණි. ඕනෑ ම ආකාරයක ගිජුකමක් මගින් මලපතකට හසු වීමට අප අපට ම ඉඩ හැරියහොත් අප ද දෙවියන් වහන්සේ සමඟ ඇති අපේ සබඳතාවය විනාශ කර ගන්නවා ඇත. විශේෂයෙන් ම අපට අන්තරා සහිත විය හැක්කේ කුමන ආකාරයේ ගිජුකම් ද?
ධනය හෝ දේපළ සඳහා වූ ගිජුකමෙන් මලපතට හසු වීම
8. ධනය සම්බන්ධ ව බයිබලය කරන අනතුරු ඇඟවීම කුමක් ද?
8 ධන සම්පත්වලට ප්‍රේමයක්, වස්තුව සඳහා දැඩි ආශාවක් වර්ධනය කර ගැනීමට එරෙහි ව බොහෝ ක්‍රිස්තියානින් බයිබලයෙන් පැහැදිලි අනතුරු ඇඟවීම් අසා තිබේ. මතෙව් 6:24-33; ලූක් 12:13-21; සහ 1 තිමෝති 6:9, 10 හි සඳහන් මේවායින් සමහරක් ගැන යළි විචාරා නොබලන්නේ මන්ද? ඔබ විසින් ඒවා පිළිගෙන අනුගමනය කරන බවට ඔබට හැඟී ගියත්, ආකාන්, ගෙහාසි සහ යූදස් ද තමනුත් එයට එකඟ වූවා යයි පැවසුවා විය නොහැකි ද? නිකම් ම බුද්ධියෙන් එකඟ වෙනවාට වඩා ඔබ්බට අප යා යුතු බව පැහැදිලි ය. ධනය හෝ දේපළ කෙරෙහි වූ ගිජුකමේ මලපත අපගේ එදිනෙදා ජීවිතවලට බලනොපාන බවට අප වග බලා ගත යුතු ය.
9. සාප්පු යාම සම්බන්ධ ව අපගේ ආකල්පය ගැන අප පරීක්ෂා කළ යුත්තේ මන්ද?
9 අපගේ එදිනෙදා ජීවිතයේ දී, අපි බොහෝ විට ආහාර, ඇඳුම් සහ නිවසට අවශ්‍ය අනෙකුත් දෑ මිලට ගන්නෙමු. (උත්පත්ති 42:1-3; 2 රාජාවලිය 12:11, 12; හිතෝපදේශ 31:14, 16; ලූක් 9:13; 17:28; 22:36) එහෙත්, වාණිජ ලෝකය, තව තවත් දේවල් සඳහා ආශාව පුබුදුවාලයි. පුවත් පත්, සඟරා සහ රූපවාහිනි තිරවල දක්නට ලැබෙන බොහෝ වෙළෙඳ දැන්වීම් ගිජුකම පුබුදුවන්ට යොදන සූක්ෂ්ම අයැදීම් ය. එවැනි ආකර්ෂණයන්, හැට්ට, කබා, ඇඳුම් සහ පොරෝනයන් සහිත ඇඳුම් රාක්කවල, අලුත් පාවහන්, විද්‍යුත් උපකරණ හා කැමරා සහිත වීදුරු ප්‍රදර්ශන කුටි රාක්කවල ද තිබෙනවා විය හැකි ය. ක්‍රිස්තියානින්ට තමන්ගෙන් ම මෙසේ ඇසීම නුවණට හුරු විය හැක, ‘සාප්පු යාම මගේ ජීවිතයේ කැපී පෙනෙන හෝ මූලික ම ආස්වාදයක් වී තිබෙනවා ද?’ ‘මා දකින අලුත් දේවල් මට ඇත්තට ම අවශ්‍ය ද? නැන්නම් වෙළෙඳ ලෝකය මා තුළ ගිජුකමේ බීජ රෝපණය කරනවා වත් ද?’—1 යොහන් 2:16.
10. විශේෂයෙන් ම පුරුෂයන් සඳහා අන්තරා සහිත ව තිබෙන ගිජුකමේ මලපත කුමක් ද?
10 සාප්පු යාම ස්ත්‍රීන් සඳහා පොදු මලපතක් මෙන් පෙනේ නම්, වැඩි වැඩියෙන් මුදල් ලබා ගැනීම අසංඛ්‍යාත පුරුෂයන් හට මලපතක් වෙයි. හොඳ ආදායමක් තිබූ නමුත්, ‘තමාගේ ගබඩා ගෙවල් කඩා දමා, තමාගේ ධාන්‍ය හා වෙනත් හොඳ දේවල් රැස් කර තැබීම සඳහා වඩාත් ලොකු ගබඩා සෑදීමට’ අදිටන් කර ගෙන සිටියා වූ ධනවත් මිනිසා සම්බන්ධයෙන් කථා කරද්දී යේසුස් වහන්සේ මෙම මලපත ගැන උපහැරණය කළ සේක. මෙහි අන්තරාය ගැන යේසුස් වහන්සේ කිසිදු සැකයකට ඉඩ තැබුවේ නැත: “ඔබගේ ඇස් හැර තබා සියලු ආකාර තණ්හාවෙන් [හෙවත් ගිජුකමින්] ආරක්ෂා වෙන්ට වග බලා ගන්න.” (ලූක් 12:15-21, NW) අප ධනවත් වුවත් නැතත්, අප එම උපදෙසට අවනත විය යුතු ය.
11. වඩාත් වැඩියෙන් මුදල් ලබා ගැනීම සඳහා ක්‍රිස්තියානියෙකු ව ගිජුකමේ මලපතට කෙසේ හසුවිය හැකි ද?
11 වැඩියෙන් මුදල් ලබා ගැනීමට හෝ මුදලින් ගත හැකි දේ ලබා ගැනීම සඳහා ඇති ගිජුකම බොහෝ විට දිරිගන්වනුයේ රැවටිලි සහිත ක්‍රම උපයෝගී කරගෙන ය. ඉක්මනින් පොහොසත් වීමේ යෝජනාවක් ඉදිරිපත් විය හැක—සමහරවිට අවදානම් සහිත ආයෝජනයක් තුළින් මූල්‍යමය ආරක්ෂාවක් සඳහා ජීවිත කාලයට ම එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් විය හැක. එසේ නැතහොත් ප්‍රශ්න කටයුතු හෝ නීතිවිරෝධී ව්‍යාපාර පුරුදු මගින් මුදල් ඉපයීමට යමෙකුට පරීක්ෂා ඇති විය හැක. මෙම තණ්හාවෙන් යුත් ආශාව කෙනෙකු ව මුළුමනින් ම යටපත් කරන මෙන් ම උගුලට හසු කරගන්නා සුලු විය හැක. (ගීතාවලිය 62:10; හිතෝපදේශ 11:1; 20:10) ක්‍රිස්තියානි සභාව ඇතුළත සිටින ඇතමෙක්, තමන්ගේ විශ්වාසවන්ත සහෝදරයන් ප්‍රධාන ගනුදෙනුකරුවන් වේවි යයි අපේක්ෂා කරමින් ව්‍යාපාර ආරම්භ කොට තිබේ. ඔවුන්ගේ චේතනාව වූයේ, ‘මහන්සි වී වැඩ කර තමන්ගේ අත්වලින් යහපත් වැඩක් කිරීම’ මගින් යම් අවශ්‍ය කරන නිෂ්පාදනයක් හෝ සේවාවක් සැපයීම නොව නමුත්, තමන්ගේ සෙසු සහෝදරයන්ට පාඩු පමුණුවා ගෙන ඉක්මනින් මුදල් ඉපයීම නම්, ඔවුන් ක්‍රියා කරන්නේ ගිජුකමේ පෙලඹීමෙනි. (එපීස 4:28; හිතෝපදේශ 20:21; 31:17-19, 24; 2 තෙසලෝනික 3:8-12) ගිජුකම ඇතමුන් ව දිනුම් ඔට්ටු ඇල්ලීම්, ස්වීප් ටිකට් හෝ ලොතරැයි මගින් සූදුවේ නියැලීමට ඇද දමා ඇත. තවත් අය, සංවේදනය සහ සාධාරණකම නොසලකා හරිමින්, විශාල ප්‍රදානයක් හෝ බේරුම් කිරීමෙන් ලබන වන්දිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සැනෙකින් නඩු මාර්ගවලට බැස තිබේ.
12. ධනය සඳහා වූ ගිජුකමින් ගොඩ ඒමට අපට හැකි බව අප දන්නේ කෙසේ ද?
12 ඉහත සඳහන් වූයේ, ගිජුකම අප තුළ ක්‍රියාත්මක වෙනවාදැයි අවංක ව ම අපට දැකිය හැකි වනු පිණිස ආත්ම සෝදිසියක් අවශ්‍ය කරවන පැති ය. එය එසේ වුවත්, අපට වෙනස් විය හැක. සාකෙවුස් වෙනස් වූ බව සිහිකරන්න. (ලූක් 19:1-10) ධනය හෝ දේපළ සඳහා ගිජුකම තමාට ගැටලුවක් වෙන්නට යන බව යමෙකුට පෙනේ නම්, මෙම මලපතින් නිදහස් වීමට ඔහු සාකෙවුස් මෙන් අධිෂ්ඨාන පූර්වක ව සිටිය යුතු ය.—යෙරෙමියා 17:9.
ජීවිතයේ වෙනත් පැතිවල ගිජුකම
13. ගීතාවලිය 10:18 අපගේ අවධානයට යොමු කරන්නේ ගිජුකමේ තවත් කිනම් මලපතකට ද?
13 මුදල් හෝ දේපළ සම්බන්ධයෙන් ඇති වන ගිජුකමේ අන්තරාය වෙනත් මාර්ගවලින් ඇති වන එම අන්තරායට වඩා හොඳින් යමෙකුට පහසුවෙන් දැකිය හැකි ය. “ගිජුකම” හෝ “තණ්හාව” යනුවෙන් පරිවර්තනය කොට ඇති වචන කාණ්ඩයට “දේපළ මෙන් ම බලය යනාදිය ද සම්බන්ධ ව ‘තවතවත් ඕනෑ කිරීම’ ” යන අර්ථය තිබෙන බව එක් ග්‍රීක් ශබ්දකෝෂයක් පවසයි. එසේ ය, අන්‍යයන් කෙරෙහි බලය පෑමට, සමහරවිට අපගේ බලතල යටතේ සිටින අය ව භය ගන්වා සිටීමට තිබෙන ගිජුකමට ඇති කෑදරකමට අප ව හසුවිය හැක.—ගීතාවලිය 10:18.
14. බලය සඳහා වූ ආශාව හානිකර විය හැක්කේ කිනම් පැතිවලින් ද?
14 මුල් දවස්වල පටන්, අසම්පූර්ණ මිනිස්සු අනෙක් අය කෙරෙහි බලය පෑමෙන් යමක් භුක්ති විඳ සිටිත්. මිනිස් පාපයේ දුක්ඛිත ප්‍රතිඵලය වනුයේ බොහෝ ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන් කෙරෙහි “බලපවත්වන” බව යයි දෙවියන් වහන්සේ කලින් දුටු සේක. (උත්පත්ති 3:16, NW) කෙසේ වෙතත්, මෙම දෝෂය, විවාහය තුළ පමණක් දක්නට ලැබෙන දෙයක් නොවේ, එය ඊට වඩා ඔබ්බට ගොස් ඇත. වසර දහස් ගණනකට පසු, එක් බයිබල් ලේඛකයෙක් සනිටුහන් කළේ, “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන [බලපවත්වන NW] කාලයක් තිබේ” කියා ය. (දේශනාකාරයා 8:9) එම කාරණය දේශපාලන හා හමුදාමය කටයුතුවල දී කොතරම් සත්‍යයක් ද කියා ඔබ දන්නවා වන්නට පුළුවන, නමුත් අපගේ ම කාරණා කටයුතුවල දී වඩාත් පුද්ගලික බලයක් හෝ පාලනයක් ලබා ගන්නට අපි ප්රයත්න දරන්නෙමු ද?
15, 16. වැඩියෙන් බලය ලබා ගැනීම සඳහා වූ මලපතට ක්‍රිස්තියානියෙකු හසුවිය හැක්කේ කිනම් ආකාරවලින් ද? (පිලිප්පි 2:3)
15 අපි සියලු දෙනා ම වෙනත් මිනිසුන් සමඟ සම්බන්ධකම් පවත්වන්නෙමු—අපගේ සමීප හෝ විවාහය නිසා අපට එක්වුණු පවුල්, අපගේ රැකියා ස්ථානයේ හෝ පාසලේ සිටින අය, මිතුරන් හෝ සභාවේ සිටින අය මේ අතර වෙයි. අප ඉඳ හිට, නැත්නම් බොහෝ අවස්ථාවල දී, කළ යුත්තේ කුමක් ද, කරන්නේ කෙසේ ද කවදා ද යන්න තීරණය කිරීමට අප සම්බන්ධ වනවා විය හැක. එය තනි ව ගත් කල එය වරදක් හෝ නරක දෙයක් නොවේ. එනමුත්, අපට තිබිය හැකි යම් අධිකාරිත්වයක් පාවිච්චි කිරීමෙන් අපි අධිකතර වශයෙන් භුක්ති විඳින්නෙමු ද? අන්තිම වචනය දීමටත්, එසේ කිරීමට තවතවත් දැඩිසේ වුවමනා වීමටත් අපි ආශා කරන්නෙමු ද? ලෝකයේ සිටින කළමනාකාරවරු හෝ ස්වාමිවරු, සෑම දේට ම එසේ ය කියන නමුත් තම අදහස්වලට විරුද්ධ නොවන සහ තමන්ගේ බලයට ඇති ලෞකික සෙවිල්ලට (කෑදරකමට) අභියෝග නොකරන අය ව තමන් වටා සිටුවා ගෙන සිටීම මගින් මෙම ආකල්පය බොහෝ විට විදහා පාති.
16 සෙසු ක්‍රිස්තියානින් සමඟ කටයුතු කිරීමේ දී මෙය වැළකීමට තිබෙන මලපතකි. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම් වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය.” (මතෙව් 20:25, 26) ක්‍රිස්තියානි වැඩිමහල්ලන් එකිනෙකා සමඟ, උපස්ථායක සේවකයන් සමඟ, රැළ සමඟ කටයුතු කිරීමේ දී එවැනි ම යටහත් පහත්කමක් ද එම වැඩිමහල්ලන් විසින් විදහා දැක්විය යුතු ය. උදාහරණයක් වශයෙන්, කුඩා කාරණාවල දී පමණක් තම සෙසු වැඩිමහල්ලන්ගෙන් අදහස් විමසන නමුත් අනෙකුත් ප්‍රධාන තීරණ තමා විසින් ම ගන්නා වූ මුලසුන අවේක්ෂකයෙකු විසින් බලය සඳහා වූ එවැනි ආශාවක් පිළිබිඹු වෙනවා විය හැකි ද? වැඩකටයුතු පවරා දීමට ඔහු සැබවින් ම කැමැත්තෙන් සිටින්නෙහි ද? ක්ෂේත්‍ර සේවා රැස්වීමක් මෙහෙයවන උපස්ථායක සේවකයෙක් තමන්ගේ විධිවිධානයන්ට අනුකූල වන ලෙස අසාධාරණ ලෙස බල කරමින්, නීති පවා දමමින් ක්‍රියා කරනවා නම් ගැටලු ඇති විය හැකි ය.—1 කොරින්ති 4:21; 9:18; 2 කොරින්ති 10:8; 13:10; 1 තෙසලෝනික 2:6, 7.
17. ගිජුකමේ මලපත ගැන කථා කිරීමේ දී ආහාර ගැන සලකා බැලීම සුදුසු දෙයක් වන්නේ මන්ද?
17 ආහාර වූකලී බොහෝ අය ව ගිජුකමේ මලපතට හසු විය හැකි තවත් අංගයකි. ඇත්ත වශයෙන් ම, කෑමේ හා බීමේ දී යම් වින්දනයක් ලැබීම ස්වාභාවික දෙයක් ය; බයිබලය ඊට අනුබල දෙන අයුරින් ඒ සම්බන්ධයෙන් කථා කරයි. (දේශනාකාරයා 5:18) කෙසේ වෙතත්, යම් කාල පරිච්ඡේදයක් පුරා මේ සම්බන්ධ ව ආශාව වැඩි වර්ධනය වී, සාධාරණ වශයෙන් භුක්තිවිඳිය හැකි වූ ද ප්‍රමාණවත් වූ ද සීමාව බොහෝ සෙයින් ඉක්මවා යනවා දැකීම අසාමාන්‍ය දෙයක් නොවේ. දෙවියන් වහන්සේගේ සේවකයන් සම්බන්ධයෙන් මෙය සැලකිලිමත් වීමට සුදුසු පැත්තක් නොවී නම්, හිතෝපදේශ 23:20 හි යෙහෝවඃ වහන්සේගේ වචනය මෙසේ පවසන්නේ මන්ද: “මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න”? එහෙත්, අපට මෙම මලපතින් වැළකී සිටිය හැක්කේ කෙසේ ද?
18. ආහාර පාන ගැන අපට කිනම් ස්වයං පරීක්ෂණයක් කළ හැකි ද?
18 ස්වකීය සෙනඟ යම් ඉතා චාම් ආහාර පද්ධතියක් මත යැපිය යුතු යයි දෙවියන් වහන්සේ යෝජනා නොකරන සේක. (දේශනාකාරයා 2:24, 25) එහෙත්, අපගේ කථා බහ සහ සැලසුම්වල දී කෑම බීම ප්‍රධාන කොටසක් ගැනීම ද උන් වහන්සේ අනුමත කරන්නේ නැත. අපට අපෙන් ම මෙසේ ඇසිය හැක, ‘මා ගත් හෝ ගැනීමට සැලසුම් කර තිබෙන ආහාරයක් ගැන සඳහන් කරන විට මා ඕනෑවට වඩා ඒ ගැන උද්යෝගිමත් ස්වභාවයක් දක්වනවා ද?’ ‘මා හැමවිට ම කථා කරන්නේ කෑම බීම ගැන ද?’ අප විසින් පිළියෙළ නොකළ හෝ අප විසින් ගෙවීමක් නොකළ ආහාර වළඳන විට, සමහරවිට අප වෙනත් අයෙකුගේ නිවසේ අමුත්තකු වන විට හෝ ක්‍රිස්තියානි එක්රැස්වීමක දී ආහාර ලබා ගත හැකි විට අප ප්‍රතික්‍රියා කරන ආකාරය තවත් ඉඟියක් විය හැකි ය. අප සාමාන්‍ය පරිදි ආහාර අනුභව කරනවාට වඩා වැඩියෙන් අනුභව කිරීමට එවිට අප නැඹුරු වෙනවා විය හැකි ද? ඒසව් ආහාර තමා කෙරෙහි අනවශ්‍ය වැදගත්කමක් ගැනීමට ඉඩ හළ බවත් එය ඔහුගේ දිගුකාලීන හානියට හේතු වූ බවත් අපි සිහිකරමු.—හෙබ්‍රෙව් 12:16.
19. ලිංගික වින්දනය සම්බන්ධයෙන් ගිජුකම ගැටලුවක් විය හැක්කේ කෙසේ ද?
19 පාවුල් අපට තවත් මලපතක් ගැන තීක්ෂ්ණ බුද්ධියක් දෙයි: “වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද [ගිජුකම ද NW] නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.” (එපීස 4:17-19; 5:3) ඇත්තෙන් ම, ලිංගික වින්දනය සඳහා ගිජුකම වර්ධනය විය හැක. ඇත්තෙන් ම, මෙම සතුටට විවාහ බන්ධනය ඇතුළත සුදුසු ස්ථානයක් ඇත. මෙම සතුට හා බැඳුණු සමීප සෙනෙහස, ස්වාමිපුරුෂයා හා භාර්යාව වසර ගණනාවක් පුරා එකිනෙකාට කැපවී එකට සිටීමට උපකාර වත් වීමෙහිලා කොටසක් ඉටු කරයි. එනමුත් පාවුල් සඳහන් කළා වූ ඇත්තට ම ගිජුකමේ විදහා පෑමක් වන දෙය සාමාන්‍ය දෙයක් සේ ඉදිරිපත් කරමින් මෙම ලෝකය විසින් ලිංගික දේවල් කෙරෙහි අධිකතර අවධානයක් යොමු කරනවා යන්න ප්‍රතික්ෂේප කරන්නේ සුළු පිරිසක් පමණි. විශේෂයෙන් ම ලිංගික වින්දනය ගැන එවැනි වැරදි දෘෂ්ටියක් පහසුවෙන් ම ඇති කර ගන්නේ අද දින බොහෝ චිත්‍රපටි, වීඩියෝ සහ සඟරා මෙන් ම විනෝදාස්වාදය ලබන ස්ථානවල පොදුවේ දක්නට තිබෙන දුරාචාරයට හා නිරුවතට තමන් ව ම නිරාවරණය කර ගන්නා අය විසින් ය.
20. ලිංගික කාරණාවල දී, ගිජුකමේ අන්තරායන් කෙරෙහි තමන්ට ම සුපරීක්ෂාකාරී වීමට ක්‍රිස්තියානින්ට හැක්කේ කෙසේ ද?
20 දෙවියන් වහන්සේගේ සේවකයෙක් ලිංගික ගිජුකමේ මලපතට හසු විය හැකි බව දාවිත් සහ බැත්-ෂෙබා සම්බන්ධ වාර්තාව පෙන්නුම් කරයි. තමාගේ ම විවාහය ඇතුළත සතුට භුක්ති විඳීමට නිදහස් ව සිටිය ද, දාවිත් තම නීති විරෝධී ලිංගික ආශාව වර්ධනය වීමට ඉඩ හැරියේ ය. උරියාගේ භාර්යාව කොතරම් සිත් ගන්නා සුලු දැයි කල්පනා කළ ඔහු, ඈ සමඟ නීති විරෝධී වින්දනය ලැබීමේ සිතුවිල්ල හා ක්‍රියාව පිළිබඳ සිතා බැලීමට නිදහසේ ඉඩ හැරියේ ය. (2 සාමුවෙල් 11:2-4; යාකොබ් 1:14, 15) සහතික ව ම අප මේ ආකාරයේ ගිජුකමෙන් වැළකී සිටිය යුතු ය. විවාහය ඇතුළත පවා ගිජුකමින් වැළකී සිටීම සුදුසු දෙයකි. අධිකතර ලිංගික පුරුදු ප්‍රතික්ෂේප කිරීම මීට ඇතුළත් වනු ඇත. මෙම ක්ෂේත්රය තුළ ගිජුකමින් වැළකීමට අදිටන් කර ගෙන සිටින ස්වාමිපුරුෂයෙක්, තම කලත්‍රයා කෙරෙහි අව්‍යාජ ලෙස සැලකිලිමත් වන අතර, එවිට පවුල් සැලසුම් කිරීම සම්බන්ධ ව ඔවුන් කරන ඕනෑ ම තේරීමක දී තම භාර්යාවගේ වර්තමාන හා අනාගත සෞඛ්‍යට වඩා තමාගේ වින්දනය වැදගත් දෙයක් ලෙස සලකන්නට යන්නේ නැත.—පිලිප්පි 2:4.
ගිජුකමින් වැළකීමට නිරතුරුව ම අදිටන් කර ගන්න
21. ගිජුකම පිළිබඳ ව අපගේ සාකච්ඡාව අප ව අධෛර්ය නොකළ යුත්තේ මන්ද?
21 යම් අවිශ්වාසයක් තිබීම නිසාවෙන් යෙහෝවඃ වහන්සේ යම් අවවාද කිරීමක් හෝ අනතුරු අඟවීමක් කරන්නේ නැත. ස්වකීය කැප වූ සේවකයන්ට තමන් වහන්සේට පක්ෂපාත ව සේවය කිරීමට වුවමනා බව දන්නා උන් වහන්සේ, මහත් බහුතරයක් දිගට ම එසේ කරන බවට නිසැක වන සේක. උන් වහන්සේගේ මුළු සෙනඟ ව සමස්තයක් වශයෙන් ගත් කල, උන් වහන්සේ විසින් සාතන්ට කථා කරන විට යෝබ් ගැන පැවසූ දේට සමාන ප්‍රකාශයක් කිරීමට ඔවුන් ගැන උන් වහන්සේට හැකි ය: “නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී [ඉවතට හැරෙන්නා වූ NW] සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත.” (යෝබ් 1:8) අපගේ ප්‍රේමනීය, විශ්වාසවන්ත ස්වර්ගීය පියාණන් ගිජුකමේ ආකාරයන් සම්බන්ධ ඒවා වැනි භයානක අන්තරායන් ගැන අපට අනතුරු අඟවන්නේ මන්දයත්, අප විසින් උන් වහන්සේට දිගට ම නොකැළැල් ව ඇදහිලිවන්ත ව සිටිනවා දැකීමට උන් වහන්සේට වුවමනා නිසා ය.
22. අපගේ සාකච්ඡාවෙන්, යම් පුද්ගලික අන්තරායන් හෝ දුර්වලකම් ගැන හෙළිවූවා නම් අප කුමක් කළ යුතු ද?
22 අප එක් එක්කෙනා ගිජුකම කෙරෙහි නැඹුරුවාවක් උරුම කර ගෙන සිටින අතර, මෙම දුෂ්ට ලෝකයේ බලපෑම යටතේ අප මෙය වැඩි දියුණු කර ගෙන තිබෙනවා විය හැක. ගිජුකම සම්බන්ධයෙන් අප කරන ලද මෙම අධ්‍යයනයේ දී—එනම් ධනය, දේපළ, බලය සහ අධිකාරිත්වය, ආහාර හා ලිංගික වින්දනය වැනි කාරණාවල දී—යම් දුර්වල පැත්තක් ඔබ දුටුවා නම්, තත්ත්වය කුමක් ද? එසේ නම්, යේසුස් වහන්සේගේ අවවාදය හෘදයට ගන්න: “නුඹේ අත නුඹට බාධා කෙරේ නම්, ඒක කපාදමාපන්න. අත්දෙක ඇතුව නිරයට එනම් නොනිවෙන ගින්නට [ගෙහෙන්නාවට NW] පැමිණීමට වඩා අබ්බාගාතව ජීවනයට ඇතුල්වීම නුඹට හොඳය.” (මාර්ක් 9:43) ඔබගේ ආකල්ප හා උනන්දුව දක්වන දේවල් සම්බන්ධයෙන් යම් වෙනසක් කිරීමට තිබේ නම් එය කරන්න. ගිජුකමේ මරණීය මලපත්වලින් වළකින්න. මෙසේ, දෙවියන් වහන්සේගේ උපකාරයෙන්, ඔබ “ජීවනයට ඇතුල්” වනවා විය හැක.
මා ඉගෙන ගෙන ඇත්තේ කුමක් ද?
◻ ගිජුකමේ මලපත ගැන අප සැලකිලිමත් විය යුත්තේ මන්ද?
◻ ධනය හෝ දේපළ සඳහා වූ ගිජුකම අප ව මලපතට හසු කර ගත හැක්කේ කිනම් මාර්ගවලින් ද?
◻ ජීවිතයෙන් වෙනත් අංගවල දී ගිජුකමින් සැබෑ අන්තරායන් ඉදිරිපත් වන්නේ කෙසේ ද?
◻ ගිජුකම සම්බන්ධයෙන් අපට තිබෙන ඕනෑ ම දුර්වලකමක් ගැන අපගේ ආකල්පය කුමක් විය යුතු ද?