රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
යෞවන දුම්රිය ලෝලියෙක් සත්‍යය ඉගෙන ගනී
පුද්ගලයෙකුගේ හෘදය ධර්මිෂ්ඨකමට නැඹුරු වී තිබේ නම්, යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ව හා ස්වර්ගීය දේව දූතයන් ව පාවිච්චි කරමින්, එවන් බැටළු ගුණැති පුද්ගලයෙකුට අවසානයේ දී ශුභාරංචිය ලැබෙන බවට වගබලා ගනු ඇත. සුදුසු කාලයේ දී, එම පුද්ගලයාට යේසුස් වහන්සේගේ අනුග්රහයේ දකුණු පැත්තට පැමිණෙන්නට පුළුවන. (මතෙව් 25:31-33) අද්විතීය ආකාරයකට සත්‍ය දැනගත්, දුම්රිය සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වන ඕස්ට්‍රියානු යෞවනයෙක් පිළිබඳ ව මෙය සැබෑවක් විය.
මෙම යෞවනයාගේ විනෝදාංශයේ වඩාත් ම පොළඹවන සුලු කොටස වූයේ, දුම්රිය පරිපාලකයන්ගේ අවසරය ඇති ව දුම්රිය ධාවක මැදිරියක ගමන් කිරීම ය. නිවසේ දී තමාට යළිත් එය දැක බලා ගත හැකි ලෙසින් ඔහු ඒ සෑම ගමනක් ම සිය වීඩියෝ කැමරාවෙන් පටිගත කළේ ය. වියානා සිට සෝල්ස්බර්ග් දක්වා ඔහු ගිය ගමනක දී, ඔහු ගමන් කළ දුම්රියේ රියදුරා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් විය. රියදුරා මෙම දුම්රිය ලෝලියාට රාජ්‍යය ගැන කථා කිරීමට ප්‍රස්තාව යොදා ගත්තේ ය. එම රියදුරා දෙවියන් වහන්සේ හා බයිබලය ගැන කථා කරනු ඇසීමට මුල දී එම යෞවනයා පුදුම වූ නමුත්, ගමන යද්දී, ඔහු එම රියදුරා පැවසූ දෙයට වඩා දර්ශන කෙරෙහි සිත යොමු කළේ ය.
ආපසු නිවසට පැමුණුනු කල, දුම්රිය ගැන උනන්දුව දක්වන මෙම යෞවනයා මෙම ගමන ගැන මහත් පෙලඹීමකින් සිටි නිසා, වරක් නොව දස වරක් තමාගේ වීඩියෝ පටිය නැරඹී ය. ඔහු ශබ්දයත් පටිගත කර තිබූ නිසා, නැවත නැවතත් එම සාක්ෂිකරුවා තමාට පැවසූ දෙයත් ඔහු ඇසී ය. ඔහු එම වීඩියෝ ව නැරඹූ පමණට ම, ඔහුට පවසා තිබූ දේ ගැන ඔහු වඩාත් හුරුපුරුදු විය. ඔහු මෙහිදී ඒ ගැන කල්පනා කරන්නට පටන් ගත් අතර අවසානයේ දී බයිබලයෙන් ඉදිරිපත් කර තිබූ අපූරු තොරතුරු පිළිබඳ ව ඔහු උනන්දුව දැක්වී ය. ඔහුට වැඩියෙන් දැනගන්නට ඕනෑ විය.
ඔහුට රියදුරාගේ නම මතක තිබූ අතර, හෙතෙම වියානාවේ යම් තැනක පදිංචි ව සිටින බවත් දැන සිටියේ ය. එනිසා ඔහු තැපැල් කාර්යාලයට ගොස් එම නම යටතේ නාමාවලියේ දක්වා තිබූ සියලු ම අංක කරකවන්නට පටන් ගත්තේ ය. දුරකථනයට පිළිතුරු දුන් අයගෙන් ඔහු විමසුවේ “ඔබ දුම්රිය රියදුරෙක් ද?” යන්න ය. පිළිතුර නැත වූයේ නම්, ඔහු වෙනත් අංකයක් අමතනු ඇත. අවසානයේ ඔහුට එම රියදුරා හමු විය. ඔහු තමාගේ කථාවත් තමා වීඩියෝ පටයෙන් ඇසූ බයිබල් පණිවුඩය කෙරෙහි උනන්දුවෙන් සිටින බවත් ඔහුට කීවේ ය.
එම සාක්ෂිකරුවා එම යෞවනයා අසල ජීවත් වූ යමෙක් විසින් ඔහු ව බැහැදකින්නට ශාඛා කාර්යාලය තුළින් කටයුතු සූදානම් කළේ ය. එම පළාතේ පිහිටා තිබූ සභාවේත් දුම්රිය රියදුරෙක් වාසය කළේ ය. මෙම දෙවන රියදුරා දුම්රිය කෙරෙහි උනන්දුවක් දක්වන එම තැනැත්තා ව බැහැදැක බයිබල් පාඩමක් පටන් ගත්තේ ය. වර්ෂ 1991 ග්‍රීෂ්ම ඍතුවේ දී එම යෞවනයා බව්තීස්මය ලැබී ය.
සියලු හෘදයන් විමසන යෙහෝවඃ වහන්සේ හට මෙම තැනැත්තා තුළ ධර්මිෂ්ඨකම උදෙසා අවංක ප්‍රේමයක් තිබූ බව දුටුවා විය යුතු ය. එනිසා ඔහු බයිබලයේ සත්‍යය සමඟ සම්බන්ධතාවක් ඇති කර ගැනීමට උන් වහන්සේ ඔහු හට කටයුතු සැලසූ සේක—කෙසේ වෙතත් මෙය සිදු වූයේ අද්විතීය ආකාරයකට ය.—1 ලේකම් 28:9; යොහන් 10:27.
[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy of the Austrian Railways.