ගයනාවේ බොහෝ ජල මාර්ග “රාජ්‍යය ප්‍රචාරකයන්” විසින් තරණය කෙරේ
ගයනාව.a මෙම අමෙරිකානු ඉන්දීය වචනය “ජලය සමන්විත දේශය” අදහස් කරයි. දකුණු අමෙරිකාවේ පිහිටි ඉංග්‍රීසි බස කථා කරන එක ම රට වන මෙහි භූමි භාගය මෙමගින් මනා අයුරින් විස්තර කෙරේ. දේශය පුරා ම ගංගා හා අතු ගංගා විහිදී යයි, මේවා ගයනාවේ උස්බිම් සිට නිවර්තන කැලෑ ඔස්සේ අත්ලාන්තික් සාගරය දක්වා දඟරාකාර ව ගමන් කරයි. මෙම ජල මාර්ග ඒවායේ ඉවුරු දෙපස විසිරී ඇති බොහෝ ගම්වලට හා ගොවි පොළවලට ජීවනාලිය වේ.
යේසුස් වහන්සේ, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව [ජනාවාස පොළොව NW] මුළුල්ලේ ප්‍රකාශකරනු [දේශනා කරනු NW] ලබන්නේය” යයි පුරෝකථනය කළ විට, ගංගා ආශ්රිත මෙම ප්‍රදේශවල වෙසෙන ජනයාට ශුභාරංචිය දේශනා කිරීම ඊට ඇතුළත් වන බව, ගයනාවේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තේරුම් ගනිති. (මතෙව් 24:14) එසේ, වසර ගණනාවකට, පුරෝගාමින් වැඩි සංඛ්‍යාවකින් සමන්විත, සාක්ෂිකාර කණ්ඩායම්, ජනයා වෙත ශුභාරංචිය ගෙන ඒම පිණිස ගයනාවේ ජල පහරවල් ඔස්සේ ගමනාගමනය කිරීමට, විශාල හා කුඩා, ඔරු යොදා ගෙන ඇත්තාහ.
මෙම සේවයට උපකාර කිරීමට, ගයනාවේ වොච් ටවර් සමිතිය, අද දක්වා රාජ්‍යය ප්‍රචාරකයා I සිට රාජ්‍යය ප්‍රචාරකයා V දක්වා නම් කර ඇති ලී යාත්‍රා පහක් ක්‍රියාත්මක කර ඇත. ඒවායේ දිග අඩි 24කි, උඩ විවෘත ය, ඉංග්‍රීසි V අකුරේ පතුලක් ද ඒවාට ඇත. සාක්ෂිකාර පවුලක් විසින් සාදා නඩත්තු කරනු ලබන මෙම ලීවලින් සාදා ඇති ඔරු බාලහූ ලෙසට හැඳින් වේ. ආදරණීය ආකාරයකට ප්‍රචාරකයෝ යයි ප්‍රදේශයේ සාක්ෂිකරුවන් විසින් හඳුන්වනු ලබන මේවායේ, මුල් ම ඔරු දෙක දශක ගණනාවක සේවයෙන් පසු, කාර්යයෙන් ඉවත් කරනු ලැබී ය. අංක III, IV, හා V තවදුරටත් පොමරූන්, මාහයිකා, හා ඩෙමරාරා යන ගංගාවල ක්‍රියාකාරී සේවයේ යොදවනු ලැබේ.
ඩෙමරාරා ගඟේ
බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ කොටස්වල, “ඩෙමරාරා” යන වචනය, සැලකිය යුතු ලෙසින් මඩ සහිත හා රොන් මඩෙන් පිරුණු මෙම ගංගාව දිගේ ඇති වතු වගාවලින් ලැබෙන, රන්වන්, උක් සීනි කැට මතකයට නංවනු ඇත. බටහිර ඉවුරේ, මුහුදු වෙරළින් පටන් ගන්නා මාවත, උක් වගාව නවතින තැන අවසන් වේ. ඉන් ඔබ්බට, ගඟ අද්දර—හින්දු, මුස්ලිම්, හා නමට පමණක් ක්‍රිස්තියානින් ව සිටින—පදිංචිකරුවන්ට යෙහෝවඃ වහන්සේගේ රාජ්‍යයේ සුමිහිරි පුවත ගෙන එන්නට සාක්ෂිකරුවෝ රාජ්‍යය ප්‍රචාරකයා යාත්‍රා මත රැඳී සිටිත්.
ඩෙමරාරාවේ දේශනා කිරීමේ ප්රයත්න දිනක් ගත වන ගමන් හෝ උදෑසන සිට අඳුර වැටෙන වේලාව දක්වා, තොටුපළෙන් තොටුපළට ගමන් යන්නා වූ, සති ගණනාවක් ගත වන ගමන් හෝ වන්නට පුළුවන. රාත්‍රීන් ද අයත් වන ගමන්වාරවල දී, පුරෝගාමින් ඔරුවල ආහාර පිස අනුභව කරනවා පමණක් නොව, නිදා ගැනීමත් ඒ මත ම කරති. රාත්‍රිය වැටෙන විට, ප්‍රචාරකයා ව කඩොල් ගසකට බඳිනු ලැබේ, නැතහොත් නැව් තටාකයක් තිබේ නම්, ඒ අසලට එය ගෙන යනු ලැබේ. ඔරුවේ ඉදිරියෙනුත් පසු පසිනුත් අඩි අටක් උසැති කණු දෙකක් ඉදි කරනු ලැබේ. මෙම සිරස් කණු දෙක හරහා කඹයක් තදින් අදිනු ලබන අතර වහලක් නැතහොත් ආවරණයක් සැකසීම සඳහා විශාල ටාර්පෝලිනයක් එයට උඩින් එළනු ලැබේ. ලෑලි, ඇඳන් හැටියටත්, ඇතිරිලි හා පොරෝනා, මෙට්ට හැටියටත් පාවිච්චියට ගැනේ. කෙසේ හෝ, වෙහෙසකර දිනකට පසු නිදා ගැනීම පහසු වේ.
“ඔබ මඩ සහිත ජලයේ නානවා ද?” පුරෝගාමින්ගෙන් අසනු ලැබී ය.
“අපට නැතුව ම බැරිනං විතරයි! අපි පිරිසිදු වතුර තිබෙන කුඩා අතු පසුකර යන විට, ආහාර පිසීම, බීම, හා නෑම සඳහා අපගේ භාජනවල අපි වතුර පුරවා ගන්නවා” යන්න පිළිතුර විය.
ඔවුන්ගේ විඳදරා ගැනීමේ ප්‍රතිඵලය, මාහැඟි අත්දැකීම් බොහොමයකි. එක් අවස්ථාවක, මනුෂ්‍යයෙක් ගොඩබසින ස්ථානයට පැමිණ, පාද එකිනෙකට ඈත් ව තබා, අත් ඉඟෙහි තබාගෙන, දැඩි උනන්දුවකින් අප දෙස බලා සිටියා. එම ඔරුවේ ඉදිරි කොටසේ ඇති එහි නාමය වන “රාජ්‍යය ප්‍රචාරකයා V!” යයි ඔහු හඬ නගා කියෙව්වා. “ඔයගොල්ලෝ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වෙන්න ඕනෑ. මෙයාකාරයෙන් ‘රාජ්‍යය’ යන වචනය පාවිච්චි කරන්නේ ඔයගොල්ලො විතරයි. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ රාජ්‍යය ශාලාව තිබෙනවා මදිවට, දැන් රාජ්‍යය ප්‍රචාරකයා තිබෙනවා.”
ගිලියඩ් හි සිට පොමරූන් වෙත
ෆෙඩ්රික් මැක්ඇල්මන් මතකයට නගන ලෙසින්, පොමරූන් ගඟ දිගේ සේවය කිරීම මදක් වෙනස් මුහුණුවරක් ගනී. වර්ෂ 1970 දී වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් පාසලෙන් උපාධිය ලැබීමෙන් වසරකට පසු, ඔහු රාජ්‍යය ප්‍රචාරකයන් පස් දෙනෙක් විසූ, පොමරූන් ගඟේ නැගෙනහිර ඉවුරේ සැතපුම් 21ක් දක්වා රට තුළට පිහිටි ගංගාව ආශ්රිත පිටිසර ගමක් වන, චැරිටි වෙතට පැමිණියේ ය.
සහෝදර මැක්ඇල්මන් මෙසේ සිහිපත් කරයි: “පාවිච්චි කරන ලද ඔරුවට පිටතින් සවි කරන අශ්වබල හයක මෝටරයක් ලැබෙන තෙක්, වසර පහක දීර්ඝ කාලයක් පුරා ප්‍රචාරකයා II ඔරුව පොමරූන් ගඟේ ඉහළටත් පහළටත් පැද වීමේ ‘ප්‍රීතිය’ අපට තිබුණි. වඩදිය බාදිය පවතින අවස්ථාවන්හි හබලෙන් ඔරුව දියත් කරමින් අප, මෝයෙන් සැතපුම් හතක් ඈතින් පිහිටි හැක්නී වෙතට එන තෙක්, අපි නැගෙනහිර ඉවුරේ පහළට දේශනා කරනවා. එවිට, එවකට එම ප්‍රදේශයේ වින්නඹුවක් ලෙස සේවය කළ සහෝදරී ඩෙකැම්බ්රාගේ නිවසේ අපි සුවදායී රාත්‍රී නින්දක් ලබනවා. ඊළඟ දවසේ උදෑසනින් ම, අප බටහිර ඉවුරට මාරු වන්නට පෙර ගඟේ මෝය දක්වා දිගට ම සේවය කරනවා. ඉන් පසු ව අප හැරී චැරිටි දක්වා වූ සැතපුම් 21 පුරා සේවය කරනවා.”
එම අශ්වබල හයේ මෝටරයෙන් ඔවුන්ට අවුරුදු දහයකට වැඩි කාලයක් සේවය සැලසුනි. පසු ව, 1986 දී, එය ගලවා අශ්වබල 15 අලුත් මෝටරයක් සවි කරනු ලැබී ය. පොමරූන් ගඟේ අවුරුදු 21කට වැඩි කාලයක් ඇදහිලිවන්ත ව සේවය කිරීමෙන් පසු, සහෝදර මැක්ඇල්වන්ට, චැරිටි හි අලුතෙන් සාදන ලද රාජ්‍යය ශාලා දෙස තෘප්තිමත් හැඟීමකින් යුක්ත ව බැලිය හැක. එය දැනට ගඟේ ඉහළින් හා පහළින් පැමිණෙන ප්‍රචාරකයන් 43 දෙනෙකුගෙන් සමන්විත සභාවක් විසින් පාවිච්චියට ගැනේ. එහි රැස්වීම්වලට පැමිණෙන සාමාන්‍ය ගණන 60 දෙනෙක් ඉක්මවා යන අතර 1992 යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කිරීමේ උත්සවයට, ඔවුන්ට 190 දෙනෙකුගෙන් යුත් පිරිසක් සිටියහ!
“මුරටැඹ මිනිසා” සෙවීම
සඳුදා චැරිටි නගරයේ පොළ දවස ය. එනිසා එය ශුභාරංචිය දේශනා කරන්නට හොඳ වේලාවක් වන අතර සාක්ෂිකරුවෝ මුරටැඹ හා පිබිදෙව්! සඟරා සමඟින් එය කරා යති. එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් භාගයේ එක් දිනක, වරිමුරි සිට පැමිණි, මොරූකා මත පිහිටි වාරි වූරි සිට වෙළෙඳ පොළට පැමිණි මොනිකා ෆිට්සාලන් සහෝදර මැක්ඇල්මන්ගෙන් සඟරා දෙකක් ලබා ගත්තා ය. එහෙත් ඇය ගෙදර ගිය විට, එම සඟරා ඇයගේ ඇඳුම් අල්මාරියේ පහත තට්ටුවේ දැමුවා ය.
“මා ඒවා නොකියවා ම, එතැන අවුරුදු දෙකක් තිබුණා” යයි මොනිකා සිහිපත් කරවයි. “පසු ව මා අසනීප වූ අතර යම් කලකට මට ඇඳට වී සිටින්නට සිදු වුණා. මා සුවපත් වෙමින් සිටි අතරතුර, මා ව යමක නිරත කරවා තබනු පිණිස, මා කියවන්නට ඇති සෑම පුංචි ලිපියක් ම සෙව්වා. අවසානයේ, මට ඇඳුම් අල්මාරියේ ඇති සඟරා දෙක සිහිපත් වූ අතර ඒවා පරීක්ෂා කරන්නට පටන් ගත්තා.” ඇය එකෙනෙහි ම එහි අඩංගු වූ සත්‍යතාවය අවබෝධ කර ගත්තා.
මොනිකාට සුව වූ පසු, තමාට එම සඟරා දුන් මහත්මයා ව සොයා ගත හැකිවනු පිණිස, පොමරූන් ගඟ දිගේ වැඩක් සොයා ගන්නා ලෙස, ඇය තමාගේ ස්වාමිපුරුෂයා වන, යූජීන්ගෙන් ඉල්ලා සිටියා. යූජීන් ඊට කැමැත්ත පළ කළ ද, ඔහුට සොයා ගන්නට හැකි වූයේ සඳුදා සිට සෙනසුරාදා සවස දක්වා සතියකට පමණක්, පොමරූන් ප්‍රදේශයේ ඇති ගොවිපොළක රැකියාවක් පමණි.
එම සෙනසුරාදා වන විටත්, තමාට එම සඟරාව දුන් තැනැත්තා ව මොනිකා සොයා ගෙන නොතිබුණි. එම “මුරටැඹ මිනිසා” සොයා ගැනීමට චැරිටි වෙත හබල් ගසා යාමට වඩදිය බාදිය නිසා තමන්ට පුළුවන් දැයි, දවල් වන විට ඇය තමාගේ ස්වාමිපුරුෂයාගෙන් ඇසුවා ය. ඇය කථාව අවසන් කරනවාත් සමඟ, ඔවුන්ට පඩිපෙළ අසල පියවර හඬක් ඇසුන අතර එම සඟරාවේ අලුත් ම කලාප ඉදිරිපත් කිරීමට එමින් සිටි සහෝදරියකගේ සිනහ මුසු මුහුණ ඔවුහු දුටූහ. “ඔබ මුරටැඹ අයගෙන් කෙනෙක් ද?” කියා මොනිකා ඇසුවා ය. ඒත් සමඟ ම කොතරම් ප්‍රශ්න අසනු ලැබුවේදයත්, එම සහෝදරියට තවත් උපකාරය ලබා ගැනීමට යළිත් ඔරුවට යන්නට සිදු විය. මෙවිට එහි පැමිණියේ කවරෙක් ද? අන් කවරෙක්වත් නොව, සහෝදර මැක්ඇල්මන් ය!
තැපෑලෙන් බයිබල් පාඩමක් පටන් ගනු ලැබී ය. කෙටි කලකට පසු, මොනිකා තමාගේ අස්වීමේ ලිපිය එංගලන්ත සභා පල්ලියට යැව්වා ය. ඊට පිළිතුරු වශයෙන්, ඇය මෙසේ සඳහන් ලිපියක් එහි පූජකයාගෙන් ලැබුවා ය: “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට සවන් දෙන්න එපා. ඔවුන්ට බයිබලය ගැන ඇත්තේ මද අවබෝධයකි. ඔබ සමඟ කරුණු සාකච්ඡා කරන්නට මම එන්නම්.” අද දක්වා එම පූජකයා තවමත් ඇවිත් නැත. මේ අතර, මොනිකා 1975 දී බව්තීස්මය ලැබුවා ය. ඉන් වසරකට පසු, දැන් සහෝදරයන් විසින් යූජීන් මාමා යනුවෙන් ආදරයෙන් අමතනු ලබන ඇයගේ ස්වාමිපුරුෂයා ද, ශුද්ධ ලියවිල්ල දැඩි විමසිල්ලෙන් පරීක්ෂා කර බැලීමෙන් පසු, බව්තීස්මය ලැබුවේ ය. (ක්‍රියා 17:10, 11) චැරිටි හි පිහිටි සභාවට හබලෙන් පදින ඔරුවෙන් පැය 12ක් ගමන් කරන දුරකින් ඔවුන් වාසය කළ ද, අද දවස දක්වා ම ඔවුහු ක්‍රියාශීලී රාජ්‍යය ප්‍රචාරකයන් ව සිටිති.
රට අභ්‍යන්තරයට මිෂනාරි ගමන්
මෑත වර්ෂවල දී රටේ අභ්‍යන්තරය තුළට විධිවත් මිෂනාරි ගමන් වොච් ටවර් සමිතිය මගින් පිළියෙළ කරන ලදි. ඔරුවලට පිටතින් සවි කරනු ලබන මෝටර් ඇති ඔරු මගින්, අමෙරිකානු ඉන්දීය රක්ෂිතයන්හිත්, ඇතැම් ජල මාර්ග දිගේ එකිනෙකාට දුරස්තර ව ලී දඬු කපන හා ගොවිකම් කරන ප්රජාවන්හිත් ජීවත් වන ජනයාට ශුභාරංචිය ගෙන යාමේ ආනන්දජනක විස්මපත් බව, ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන ස්වේච්ඡා සේවකයෝ, රසබලා ඇත්තාහ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පුරෝගාමින් යයි කිව හැකි මොවුන්ට, ජීවිතය මුදාලන “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමය” පිටිසර ප්‍රදේශයන් කරා ගෙන යාමේ වරප්‍රසාදය ලැබී ඇත. (රෝම 10:13-15) සහෝදරයන්ට ඇතැම් ස්ථාන කරා ළඟා වීමට සමහරක් විට සම්පූර්ණ දින තුනක් ඔරුවෙන් ගමන් කරන්නට සිදු වෙමින්, බොහෝ දුෂ්කරතාවයන් විඳදරා ගන්නට සිදු වී ඇත. එහෙත් එහි ප්‍රතිඵල ඒ තරමට ම වටී.
වයිනි ගඟේ, ක්වෙබානා ලී දඬු කපන ප්‍රජාව ආසන්න ව ජීවත් වන පෙන්තකොස්ත භක්තිකයෙක් වූ, එක් යෞවනයෙක් ව, 1991 ජූලි මස දී එම ප්‍රදේශයට ගිය පළමුවන මිෂනාරි ගමනේ දී හමු විය. ඊට පසු ව ඔක්තෝබර් මාසයේ එම ප්‍රදේශයට ගිය විට, බයිබල් පාඩමක් පටන් ගනු ලැබිණ. දෙවියන් වහන්සේගේ නාමය යෙහෝවඃ බවත්, යේසුස් වහන්සේ සර්වබලධාරී තැනැන් වහන්සේ නොවන බවත්, එමෙන් ම ත්‍රිත්ව ඉගැන්වීම ශුද්ධ ලියවිල්ලට එකඟ නොවන බවත් ඔහු පළමු වතාවට තමාගේ ම බයිබලයෙන් දුටුවේ ය. (ගීතාවලිය 83:17; 1 කොරින්ති 11:3) ඔහු කොතරම් උනන්දු වූයේදයත්, සහෝදරයන් ගිය පසු, ඔහු පෙන්තකොස්ත භක්තිකයන් කීපදෙනෙක් ව එක්කාසු කර, යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සත්‍යය ඔවුන්ගේ ම බයිබල්වලින් ඔවුන්ට පෙන්වන්නට පටන් ගත්තේ ය. වැඩි දෙනෙක් සත්‍යය පිළිගන්නට අකමැති වන්නට පටන් ගත් කල, ඔහු ‘මහා බබිලෝනියෙන්’ ඉවත් වීමට එය සුදුසු අවස්ථාව බව තීරණය කළේ ය. (එළිදරව් 18:2, 4) සහෝදරයන් 1992 පෙබරවාරියේ ඔහු ව බලන්නට පැමිණි විට, ඔහු සිදු වූ දෙය ඔවුන්ට පවසා, මෙසේ ද කීය: “මට ඔබ හා එක් වන්න ඕනෑ. මට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වන්න ඕනෑ. මට ජනයාට සත්‍යය උගන්වන්න ඕනෑ!”
මෙවන් අත්දැකීම් සහෝදරයන්ට මෙම අභියෝගාත්මක සේවය දිගට ම කරගෙන යාමට උපකාරවත් වේ. මිෂනාරි ගමන්වල යෙදෙන අයට තමන්ගේ නිවාසවල සැප පහසුව පරිත්‍යාග කරන්නට, මැලේරියාව වැනි රෝග වැළඳීමේ අන්තරායට මුහුණ දෙන්නට හා කැලෑබද ජීවිතයේ අපහසුතා විඳදරා ගන්නට සිදු වේ. එහෙත් එම ගමන්වලට නොයන අය ද සමානාකාර පරිත්‍යාගයන් කරති. පවුල්වලට ඇතැම් අවස්ථාවන්හි සති ගණනාවකට එක දිගට ම, තමන් ප්‍රේම කරන අයගෙන් වෙන් ව සිටින්නට සිදුවේ. සභාවන්ට සිය වැඩිමහල්ලන් මෙන් ම වෙනත් යෞවනයන් නොමැති ව කටයුතු කරගෙන යාමට සිදු වන අතර ඇතැම් අවස්ථාවන්හි සභාවේ වැඩකටයුතු කිරීමට ඉතිරි වන්නේ එක් සහෝදරයෙක් පමණකි. එහෙත් ඔවුන් හැරී ඇවිත් තමන්ගේ පොලඹවන සුලු අත්දැකීම් පවසනු සභාව අසත් ම එමගින් කොතරම් ප්‍රීතියක් හා දිරිගැන්වීමක් ලැබේ ද! ලැබෙන ප්‍රීතිය හා සැසඳීමේ දී කරන ලද පරිත්‍යාගයන් නොසලකා හැරිය හැකි තරම් ය.
ශුභාරංචිය සමඟින් ගයනාවේ ජල මාර්ග තරණය කරන රාජ්‍යය ප්‍රචාරකයෝ සැබවින් ම අද්විතීය අත්දැකීමක් භුක්ති විඳිති. ලොව වටා සිටින තමන්ගේ සෙසු සේවකයන් සමඟ ඔවුහු “දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව” උන් වහන්සේට ධෛර්යයෙන් හා කැමැත්තෙන් යුක්ත ව ඔප්පු කරති.—හෙබ්‍රෙව් 13:15.
[පාදසටහන්වල]
a මෙය කලින් බ්‍රිතාන්‍ය ගයනාව ලෙස හඳුන්වනු ලැබූ නමුත්, වර්ෂ 1966 දී එම රට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු, එහි නාමය ගයනාව බවට මාරු කරනු ලැබී ය.
[26, 27වන පිටුවේ පින්තූර]
වම: පොළ දවසේ සාක්ෂි දැරීම
ඉහළ: ඩෙමරාරා ගඟේ ශුභාරංචිය ගැන සාකච්ඡා කිරීම
ඉහළ දකුණෙන්: ආපසු නවාතැන වෙතට හැරී එන මිෂනාරි සමූහයක්