අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් තුළ ප්‍රීති වීම
“ඉශ්රායෙල් තමා මැවූ තැනන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.”—ගීතාවලිය 149:2.
1. “අවසානයේ දී නිදහස” යනුවෙන් මොරගැසුවත්, මිනිස් වර්ගයාගේ සැබෑ තත්ත්වය කුමක් ද?
අද දින ලෝකය, ‘ගාවිනාවන්ගේ’ දැඩි ප්‍රහාරයකට ලක් වී තිබේ. “දේවල පිළිවෙළේ සමාප්තිය’ ගැන එනම්, වර්ෂ 1914ත් සමඟ ම පටන් ගත්තා වූ ව්‍යසනකාරී යුගයේ සමාප්තිය ගැන යේසුස් වහන්සේගේ අනාවැකියේ දී උන් වහන්සේ භාවිතා කළ වචනය එයයි. (මතෙව් 24:3-8) බොහෝ දේශපාලකයන් දකින්නේ වෙන කිසිවක් නොව, අඳුරු අනාගතයකි. නැගෙනහිර යුරෝපයේ “අවසානයේ දී නිදහස” කියා ඝෝෂා කළත්, එම කලාපයේ එක් කලෙක ජනාධිපතිවරයෙකු ව සිටි තැනැත්තෙක් මෙම තත්ත්වය මෙසේ කැටි කොට දැක්වූයේ ය: “ජනගහණ අධිවර්ධනය සහ හරිතාගාර ආචරණය, ඕසෝන් ස්තරයේ සිදුරු, සහ ඒඩ්ස්, න්‍යෂ්ටික ත්රස්තවාදයේ තර්ජනය හා උතුරේ ධනවත්කම හා දකුණේ දිළිඳුකම අතර පුළුල් වෙමින් පවතින විස්මයජනක වෙනස, සාගතයේ අන්තරාය, ජෛවගෝලයේ හා පෘථිවියේ ඛනිජ සම්පත්වල ක්ෂය වීම, වාණිජමය රූපවාහිනි සංස්කෘතියේ ව්‍යාප්තිය, සහ ප්‍රාදේශීය යුද්ධවල වැඩිවෙමින් තිබෙන්නා වූ තර්ජනය—මේ සමඟ මුසු වී ඇති වෙනත් දහස් ගණනක් සාධක සමඟ මේවා සියල්ල ම මිනිස් සංහතියට පොදු තර්ජනයක් ඉදිරිපත් කරයි.” මෙම මාරාන්තික විපත්තිවල තර්ජනයන් ඉවත් කළ හැකි කිසිදු මිනිස් බලයක් නැත.—යෙරෙමියා 10:23.
2. මිනිස් වර්ගයාගේ ගැටලුවලට ස්ථිර විසඳුම තිබෙන්නේ කාට ද, උන් වහන්සේ දැනටමත් ගෙන තිබෙන පියවර කුමක් ද?
2 කෙසේ වුවද, අපගේ උත්තරීතර මැවුම්කරුවාණන්ට ස්ථිර විසඳුම තිබීම ගැන අපට සතුටු විය හැකි ය. යේසුස් වහන්සේගේ උපමාවේ දී, “දේවළ පිළිවෙළේ සමාප්තිය” උන් වහන්සේගේ අදෘශ්‍යමාන “පැමිණ සිටීම” සමඟ සම්බන්ධ වී තිබේ. (මතෙව් 24:3, 37-39, NW) “අලුත් අහස” මැවීමට, යෙහෝවඃ වහන්සේ යේසුස් වහන්සේ ව මෙසියානු රජු වශයෙන් සිංහාසනාරූඪ කරනු ලැබූ අතර, මෙම ඓතිහාසික සිද්ධිය 1914 වසරේ දී ස්වර්ගයේ දී සිදු වූ බවට අනාවැකිමය සාක්ෂි පෙන්වයි.a (2 පේතෘස් 3:13) පරමාධිපති ස්වාමි වූ යෙහෝවඃ වහන්සේගේ සහය පාලකයාණන් වශයෙන්, යේසුස් වහන්සේට දැන් බලය පවරා තිබෙන්නේ, ජාතීන් ව විනිශ්චය කොට, පොළොවේ උද්දච්ච එළු ගුණැති අයගෙන් මොළොක්, බැටළු ගුණැති අය ව වෙන් කිරීමට ය. අභක්තික “එළුවන්” ව ‘සදාකාලික සිඳ දැමීමටත්’ “බැටළුවන්” ව රාජ්‍යයේ භූමික විෂයේ සදාකාල ජීවනයටත් ලකුණු කරනු ලැබේ.—මතෙව් 25:31-34, 46.
3. ප්‍රීති වීම සඳහා සැබෑ ක්‍රිස්තියානින්ට ඇත්තේ කුමන හේතුව ද?
3 යෙහෝවඃ වහන්සේ, සදාකාලික රජු වශයෙන් උන් වහන්සේගේ මහිමාන්විත අරමුණු ස්වකීය පුත්‍රයාණන්ගේ රාජ්‍යය තුළින් උච්චාවස්ථාවට ගෙන ඒමත් සමඟ පොළොව මත සිටින ආත්මික ඊශ්‍රායෙලයේ ඉතිරි කොටසට, උන් වහන්සේ තුළ ප්‍රීති වීමට සෑම හේතුවක් ම තිබේ. තව ද මෙම කීකරු බැටළුවන්ගේ මහත් සමූහයක් මොවුන්ට දැන් එකතු වී සිටිති. ඔවුන්ට මෙසේ පැවසිය හැක: “මම ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි. මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද . . . උන්වහන්සේ ගැළවීම නමැති වස්ත්‍ර මට පැළඳවූසේක, . . . පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද [පරමාධිපති NW] ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.” (යෙසායා 61:10, 11) මෙම “දළු උපදවීම” යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා ගී ගායනා කිරීම සඳහා දැන් ජාතීන් වෙතින් පැමිණෙන මිලියන ගණනක් ජනයා තුළ දක්නට ඇත.
එය ‘ඉක්මන් කිරීම’
4, 5. (අ) දෙවියන් වහන්සේගේ ජනයාගේ ඒකරාශි කිරීම පුරෝකථනය කරනු ලැබුවේ කෙසේ ද, (ආ) වර්ෂ 1992 සේවා වසර තුළ දී දක්නට ලැබුණේ කිනම් කැපී පෙනෙන වර්ධනයක් ද?
4 සාතන්ගේ පිළිවෙළේ අවසානය එළඹෙනවාත් සමඟ ම, එක්රැස් කිරීම වේගවත් වෙයි. අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් මෙසේ ප්‍රකාශ කරන සේක: “නුඹේ සෙනග සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවූ පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස . . . කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ [යෙහෝවඃ වූ NW] මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.” (යෙසායා 60: 21, 22) මෙම වේගය, මෙම සඟරාවේ 12 සිට 15 පිටුව දක්වා පළ කොට ඇති, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1992 සේවා වර්ෂයේ වාර්තාවෙන් පුදුමාකාර අන්දමින් පිළිබිඹු වෙයි.
5 මෙම වාර්තාවේ කැපී පෙනෙන දෙයක් නම්, රාජ්‍යය ප්‍රචාරකයන් 44,72,787කගේ නව උපරිමයයි, මෙය 1,93,967ක වැඩි වීමක් වන අතර, පසුගිය වර්ෂයට වඩා සියයට 4.5කින් වැඩි වීමකි. තව ද 1992 දී, බව්තීස්ම ලැබූ 3,01,002න් ද පිළිබිඹු කෙරෙන්නේ, විශාල සංඛ්‍යාවක් බයිබල් සත්‍යය පිළිගනිමින් සිටින බව ය. “පොළොවේ සීමාව දක්වා” රාජ්‍යය සාක්ෂිය ව්‍යාප්ත කරන්නා වූ, පළඟැටි හමුදාවක් බඳු ‘මහත් වූ බලවත් වූ සෙනඟක් . . . මේ අඳුරු වූ කළුවර වූ දවසේ’ සිටීම ගැන අපි කොතරම් ප්‍රීති වෙමු ද! (යෝවෙල් 2:2, 25; ක්‍රියා 1:8) වොච් ටවර් සමිතියේ ගුවන් යානය, හිමෙන් ගහණ වූ ප්‍රදේශවලට ගුවන් ගමන් 50කටත් වැඩි ගණනක් කර ඇත්තා වූ අයිස් මිදුණු ඇලස්කාවේ සිට දැඩි හිරු රශ්මියෙන් නැහැවී ගිය මාලි හා බර්කිනා ෆාසෝ හි කාන්තාර සහ විසිරී ගිය මයික්රොනෝසියානු දූපත් දක්වා, යෙහෝවඃ වහන්සේගේ සේවකයෝ, “පොළොවේ කෙළවර දක්වා [උන් වහන්සේගේ] ගැළවීම වන පිණිස . . . අන්‍යජාතීන්ට එළියක්” සේ බැබලෙමින් සිටිති.—යෙසායා 49:6.
6, 7. මෑත වර්ෂවල දී දක්නට ලැබුණේ අපේක්ෂා නොකළ කිනම් තත්ත්වයන්හි වෙනස්වීමක් ද, යෙහෝවඃ වහන්සේගේ ජනයා එයට ප්‍රතික්‍රියා කර ඇත්තේ කෙසේ ද?
6 යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟ ආරක්ෂා කිරීමෙහි හා පෝෂණය කිරීමෙහි ලා මහා බලකොටුවක් සහ ශක්තිමත් ටැඹක් වී ඇත. පොළොවේ බොහෝ ප්‍රදේශවල, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට දශක ගණනාවක කුරිරු හිංසා හා දරුණු පීඩාවලට මුහුණ දීමට සිදු වී තිබේ. (ගීතාවලිය 37:39, 40; 61:3, 4) එහෙත් මෑතක දී, ප්රාතිහාර්යයක් මෙන්, රටවල් 21ක පමණ තහංචි හා බාධා ඉවත් කරනු ලැබ තිබීම නිසා, අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් පොළොව පුරා රජාණන් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ ව පිහිටුවා තිබෙන බව දෙවියන් වහන්සේගේ සෙනඟට දැන් නිදහසේ ප්‍රකාශ කළ හැකි ය.—ගීතාවලිය 2:6-12.
7 යෙහෝවඃ වහන්සේගේ සෙනඟ තමන්ට අලුතෙන් ලැබුණු නිදහස හොඳින් පාවිච්චි කරමින් සිටිත් ද? බල්ගේරියාවේ, රුමේනියාවේ, සහ නැගෙනහිර යුරෝපයේ කලින් තිබූ සෝවියට් සමූහාණ්ඩුවේ සහ අප්‍රිකාවේ ඇන්ගෝලා, බෙනින්, සහ මොසැම්බික් යන රටවල වර්ධනය ගැන වගුවෙන් බලන්න. තවමත් ප්‍රධාන දුෂ්කරතා තිබෙන සයරේ හි ද, ව්‍යාප්තිය අති විශාල ය. තමන්ගේ හෘදයන්හි ප්‍රීතියෙන් යුතු ව නිදහස ලැබූ අපගේ සහෝදරයෝ මෙම ඇමතුමට පිළිතුරු දෙති: “අහෝ ජනයෙනි, යෙහෝවඃ වහන්සේට ස්තුති දෙව්, මක්නිසා ද උන් වහන්සේ යහපත් ය. . . . තමන් වහන්සේ විසින් ම පුදුමාකාර මහත් දේවල් කරන තැනැන් වහන්සේට ස්තුති කරව්. මක්නිසා ද උන් වහන්සේගේ ප්‍රේමනීය කරුණාව සදාකාලයෙන් සදාකාලයට ම ය.” (ගීතාවලිය 136:1, 4, NW) මෙම ස්තුතින් ප්‍රකාශ කරනු ලබන්නේ, රාජ්‍යයේ පැත්තට වෙනත් බැටළු ගුණැති අය එක්රැස් කිරීමේ දී පිරිනමන ජ්වලිත සේවය තුළිනි.
8. නැගෙනහිර යුරෝපයේ හා අප්‍රිකාවේ යෙහෝවඃ වහන්සේගේ නව ප්රශංසාකරුවන්, “වලාකුළක් මෙන් ඉගිලී ඇවිත්” තිබෙන්නේ කෙසේ ද?
8 යුරෝපයේ පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ දී, කලින් කොමියුනිස්ට් වූ රටවල පවත්වන ලද යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ සමුළුවලට මවිතකර සංඛ්‍යාවක් පැමිණියහ. මීටත් වඩා පුදුමාකාර සංඛ්‍යාවක් එම රටවල බව්තීස්ම කරනු ලබමින් තිබේ. මීට සමාන ව, 1991 දී දෙසැම්බර් 10දා, තහනම ඉවත් කරනු ලැබූ, අප්‍රිකාවේ ටෝගෝ හි, ඊළඟ මාසයේ දී ජාතික සමුළුවක් පවත්වන ලදි. ක්ෂේත්රයේ නියැලී සිටි ප්‍රචාරකයන් 6,443කගේ මාසික සාමාන්‍යය සමඟ සසඳන කල, මෙයට සහභාගි වුණු සංඛ්‍යාව 25,467 දක්වා ඉහළ නැංගේ ය. මෙහි දී බව්තීස්ම වුණු සංඛ්‍යාව 556ක් වූ අතර, මෙය ප්රචාරක සංඛ්‍යාවෙන් සියයට 8.6කි. යෙසායා 60:8 හි විචිත්‍රණය කරන්නාක් මෙන්, යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කරන නවකයන්, යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ සභාවලට රොක් වෙන්නේ, “වළාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක් මෙන් ද” වේ.
9. මෑතක දී නිදහස ලබාගත් රටවල සිටින ක්‍රිස්තියානින්ට ‘කා තෘප්තියට’ පැමිණිය හැකි වන පිණිස කුමන සැපයුම් කරනු ලැබ තිබේ ද?
9 නැගෙනහිර යුරෝපයේ හා අප්‍රිකාවේ ඇති ආත්මික ආහාර කුසගින්න ද සංසිඳුවාලමින් තිබේ. ජර්මනියේ, ඉතාලියේ හා දකුණු අප්‍රිකාවේ පිහිටි වොච් ටවර් සමිතියේ කර්මාන්තශාලාවලින්, ආත්මික අහේනියකින් පෙළෙන රටවලට භාෂා කිහිපයකින් යුත් පොත් පත් පටවා ගත් ට්‍රක් රථ එකක් පාසා එකක් යවනු ලැබ තිබේ. මීට පෙර, බොහෝ සේ වැහැරී ගිය සඟරා එකිනෙක අතින් අතට යවන්නට බොහෝ සාක්ෂිකරුවන් හට සිදුවුණි, නමුත් දැන් ඔවුහු ආත්මික ආහාර බහුල ව ලබා ගනිමින් සිටිති. මෙම අනාවැකියේ ඉටුවීමේ හවුල්වීමේ ලා ඔවුහු ප්‍රීති වෙති: “නුඹලා වනාහි කෑම කා තෘපිතයට පැමිණ, නුඹලා ගැන [මෙතරම් NW] පුදුමලෙස ක්‍රියා කළාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමය වර්ණනාකරන්නහුය.”—යෝවෙල් 2:26.
තවදුරටත් ව්‍යාප්තිය සඳහා සැලකිල්ල දැක්වීම
10. සිහි කිරීමේ උත්සවයට පැමිණි ඉහළ සංඛ්‍යාව ගැන කල්පනා කරන කල, උනන්දුව දක්වන සියල්ලන්ට කර තිබෙන ආරාධනය කුමක් ද?
10 ලෝක ව්‍යාප්ත ව, යේසුස් වහන්සේගේ මරණය සිහි කිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව ඇත්තෙන් ම පුදුමාකාර ය, එය, 1,14,31,171ක් වන අතර, 7,81,013ක වර්ධනයකි, නැතහොත් පසුගිය වර්ෂයට වඩා සියයට 7.3ක වැඩි වීමකි. අලුතින් පැමිණි ඔබ සියලු දෙනා ව ම සාදරයෙන් පිළිගනිමු! එලෙස පැමිණි අලුතෙන් උනන්දුව දක්වන සියලු දෙනා ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ නිවාස බයිබල් පාඩමක ප්‍රයෝජන භුක්ති වින්දා නම්, එය මොනතරම් පුදුමාකාර දෙයක් වේවි ද! (යෙසායා 48:17 බලන්න.) වාර්ෂික සේවා වාර්තාවෙහි, සෑම මසක ම පවත්වනු ලබන මෙම පාඩම් 42,78,127ක් පෙන්වන අතර, මෙය සියයට 8.4ක කදිම වර්ධනයකි. කෙසේ වෙතත්, තවත් බොහෝ දෙනෙකුට මෙම සේවයෙන් ප්‍රයෝජන ගත හැකි ය. උනන්දුව දක්වන අය සමඟ නිවසේ දී නිති පතා නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සතුටු වන අතර, මේ අයුරින්, සදාකාල ජීවනයට යන මාර්ගයේ මේ අයගේ පාද ස්ථිර ව තබා ගැනීමට ඔවුන් හට උපකාර කරති. (යොහන් 3:16, 36) එවන් පාඩමක් ඉල්ලා නොසිටින්නේ මන්ද? තව ද, ඔබ ව රාජ්‍යය ශාලාවේ දී උණුසුම් ලෙස සාදරයෙන් පිළිගන්නා බවට මතක තබා ගන්න!—ගීතාවලිය 122:1; රෝම 15:7.
11, 12. (අ) සමහරක් රටවල් මුහුණ දෙමින් සිටින්නේ කුමන ගැටලුවලට ද, (ආ) ධනවත් හා දිළිඳු රටවල් අතර “සමකමක්” සිදු වෙමින් තිබෙන්නේ කුමන ආකාරයෙන් ද?
11 කදිම රාජ්‍යය ශාලා තිබෙන එම සභාවන් ආශීර්වාදවලින් පොහොසත් ය. පක්ෂපාත සාක්ෂිකරුවන් තහනම යටතේ, කුඩා කණ්ඩායම් වශයෙන් රහසේ රැස්වෙමින් වසර ගණනාවක් මුළුල්ලේ විඳදරා ගෙන ඇති රටවල තත්ත්වය මීට වෙනස් ය. එවන් ස්ථාන ගණනාවක ම, ඔවුන් දැන් නිදහස් නමුත්, තිබෙන්නේ රාජ්‍යය ශාලා ස්වල්පයකි. නිදසුනක් වශයෙන්, සභාවන් අතුරින් 93කට තිබෙන්නේ රාජ්‍යය ශාලා තුනක් පමණි. එමනිසා, සාමාන්‍යයෙන් රැස්වීම් පැවැත්වෙන්නේ විශාල හිස් භූමි භාගයන්හි ය. එකසිය පනහකින් යුත් සභාවක් එම රැස්වීම් සඳහා සාමාන්‍යයෙන් 450ක් දක්වා සංඛ්‍යාවක් පැමිණෙනවා විය හැකි ය.
12 නැගෙනහිර යුරෝපයේ දේපළ මිල දී ගෙන ගොඩනැගීම බොහෝ විට අපහසු කාර්යයකි, නමුත් යම් වර්ධනයක් සිදු වෙමින් තිබේ. පෝලන්තයේ පහසුකම් සහිත නව ශාඛා කාර්යාලය කැප කිරීම 1992 නොවැම්බර් 28දාට යොදා ගන්නා ලදි. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩවලට දෙනු ලබන ත්‍යාගශීලී සම්මාදම්, ශාලා සහ වෙනත් පහසුකම් ඉදිකිරීමට යොදා ගනු ලබමින් තිබේ. මෙසේ, පහසුකම් හා සම්පත්වලින් හීන රටවල සභාවන්හි ආත්මික අවශ්‍යතාවයන් සඳහා සහෝදරයන් ත්‍යාගශීලී ලෙස තමන්ගේ ද්‍රව්‍යමය “වැඩිකම” සැපයීමෙන් “සමකමක්” සිදු වෙයි.—2 කොරින්ති 8:13, 14.
පැය එක් බිලියනයක්!
13. වර්ෂ 1992 දී දේශනා කිරීම හා ඉගැන්වීම සඳහා පැය කොතරම් ප්‍රමාණයක් වැය කරනු ලැබ තිබේ ද, මෙම සංඛ්‍යාව තුළ පිළිබිඹු වන්නේ කාගේ ප්රයත්නය ද?
13 පැය එක් බිලියනයක් සමඟ ඔබ කුමක් කරනු ඇත් ද? යෙහෝවඃ වහන්සේට කරන ඵලදායී තෘප්තිමත් සේවය තුළ, එපමණ බොහෝ පැය ගණනක්, තව ද ඊටත් වඩා වැඩියෙන් වැය කිරීමට සදාකාල ජීවනය අත් කරගන්නා වූ සියල්ලන්ට ම හැකි වනු ඇත. එහෙත් එපමණ බොහෝ පැය ගණනක් එක් වර්ෂයකට ගොනු කිරීම ගැන සිතා බලන්න! යෙහෝවඃ වහන්සේගේ ජනයා 1992 තුළ දී ඉටු කළේ එයයි. සියලු රාජ්‍යය ප්‍රචාරකයන්ගේ පුද්ගලික වාර්තාවන් එකට එකතු කරන විට, පැය ගත කළ හැකි හොඳ ම ක්‍රමය වන, අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් ව ප්‍රශංසා කිරීමේලා, එනම් “ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද . . . උගන්වමින්” පැය 1,02,49,10,434ක නව උපරිමයක් ගත කළ බව අපට දැනගැනීමට තිබේ. (ක්‍රියා 20:20) සාමාන්‍යයක් වශයෙන් ගත් කල, සාක්ෂිකරුවන් 42,89,737ක් සෑම මසක ම වාර්තා කරමින් සිටියහ. මොවුහු සමාජයේ විවිධ තරාතිරම්වල සිට පැමිණෙති. රාජ්‍යය වැඩකටයුතුවලට සමහරුනට දායක විය හැකි කාලය සීමිත ය. තමන්ගේ ගෙවැසියන් හට සැපයිය යුතු පවුල් මූලිකයන්; වයසක උදවිය; සහ සෞඛ්‍යය ගැටලුවලින් යුත් බොහෝ අය මෙන් ම, තවමත් පාසල් යන දරුවන් මීට ඇතුළත් ය. එහෙත්, සෑම කෙනෙකු විසින් ම කරනු ලැබ ඇති වාර්තාව, යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය අගය කිරීමෙන් යුත් පිළිබිඹු කිරීමක් වෙයි.—ලූක් 21:2-4 සසඳන්න.
14. යෞවන අය ‘තම උත්තරීතර මැවුම්කරුවාණන් ව’ සිහිකරමින් සිටින්නේ කෙසේ ද?’
14 යෞවන පරම්පරාවක් යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ හැදී වැඩෙමින් සිටින අතර, මේ අයගෙන් බහුතරයක්, දේශනාකාරයා 12:1 [NW] හි සඳහන් ව ඇති සාලමොන්ගේ වචන අදාළ කරගනිමින් සිටීම සතුටට කරුණකි: “දැන්, ඔබගේ යෞවන වියේ දී ඔබගේ උත්තරීතර මැවුම්කරුවාණන් ව සිහිකරන්න.” ඔවුන් තම පාසල් වැඩකටයුතුවල දී සාවධාන ව වෙර දරන අතර, එමෙන් ම, කැප වූ දෙමාපියන් විසින් ආත්මික කාරණා තුළ පුහුණු කරනු ලබමින් සිටිත්. නහඹර වියේ පසුවන යෞවනයන් හොඳ සංඛ්‍යාවක්, මෑත සමුළුවල දී, තමන් ව ම බව්තීස්මයට ඉදිරිපත් කරනවා දැකීම ප්‍රීතියක් වී තිබේ. තව ද, යම් ශිල්පයක් හෝ කුසලතාවයක් ඉගෙන ගැනීම මගින්, තමන් පාසලෙන් පිට වූ විට පුරෝගාමි සේවය කිරීම සඳහා ප්‍රායෝගික ලෙස සූදානම් වන බව දැනගැනීමට ලැබීම ද ප්‍රීතියකි. මෙසේ, කූඩාරම් සෑදීම මගින් ප්‍රේරිත පාවුල් කලින් කලට තම අවශ්‍යතා සපුරා ගත්තාක් මෙන්, තමන් සම්බන්ධයෙන් ද එසේ කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.—ක්‍රියා 18:1-4.
15, 16. පුරෝගාමින් හා වෙනත් පූර්ණ කාලීන සේවකයන් රාජ්‍යය වැඩකටයුතුවල ප්‍රගතිය සඳහා දායක වී තිබෙන්නේ කෙසේ ද, මේ අයගෙන් සමහරෙක් කුමන ආශීර්වාද භුක්ති විඳ තිබේ ද?
15 පුරෝගාමින් සහ වෙනත් පූර්ණ කාලීන සේවකයන් රාජ්‍යය වැඩකටයුතුවල ප්‍රගතියට මොනතරම් අතිවිශාල දායකත්වයක් ඇති කරයි ද! පුරෝගාමින්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ දී, 9,31,521ක උපරිමයක් දක්වා වර්ධනය විය. මෙම අය දින පතා ගෙයින් ගෙට දේශනා කරමින් ජනයාගේ නිවෙස්වල බයිබල් පාඩම් පවත්වන විට, ඔවුහු ශුද්ධ ලියවිලි සම්බන්ධ ව සිය අදහස් දැක්වීමෙහි ලා බොහෝ ප්‍රබල වෙති. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමේ දී, මහත් දක්ෂකමක් හා ප්‍රීතියක් වර්ධනය කිරීමට ඔවුන් හට උපකාරවත් වන සති දෙකේ පුරෝගාමි සේවා පාසලට පැමිණීමට බොහෝ දෙනෙක් සුදුසුකම් ලැබ සිටිති.
16 මේ ඇදහිලිවන්ත පුරෝගාමින් සෑම කෙනෙකුට ම යෙසායා 50:4 හි සඳහන් වදන්වලට දායක විය හැකි ය: “විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීම [පරමාධිපති NW] ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උගතුන්ගේ දිවක් මට දී තිබේ.” තමන් අවට තිබෙන දූෂිත ලෝකයෙන් විඩාවට පත් වී සිටින නමුත්, අපගේ ඇදහිලිවන්ත පුරෝගාමින් විසින් පවසනු ලබන වචන තුළින් නැවුම්බවක් ලබා ගන්නා බොහෝ පුද්ගලයෝ අද දින එමට සිටිති.—සසඳන්න හිතෝපදේශ 15:23; එසකියෙල් 9:4.
ගොඩනැගීමේ යෝධ වැඩ පිළිවෙළක්
17. ආත්මික ගොඩනැගීමට අමතර ව, මෑත වර්ෂවල දී, කුමන ද්‍රව්‍යමය ගොඩනැගීමක් කර තිබේ ද?
17 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත ආත්මික වර්ධනය හේතුවෙන් ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් ද වර්ධනයක අවශ්‍යතාවය පැන නගී. මුද්‍රණ පහසුකම්වල, කාර්යාලවල, සහ බෙතෙල් නිවාස වැඩි දියුණු කිරීම හා රාජ්‍යය ශාලා සහ එක්රැස්වීම් ශාලා ගොඩනැගීම අවශ්‍ය දේවල් බවට පත් වෙයි. එමනිසා, භෞතික ආකාරයකින් ගොඩ නඟන්නන් වීමට ද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට අවශ්‍ය ය. මේ හා සමාන ගොඩනැගීමක් සාලමොන් රජුගේ දවස්වල ද සිදුවිණි. සාලමොන්ගේ පියා වූ දාවිත් රජුට යෙහෝවඃ වහන්සේ විසින් සපයා තිබූ “දේවානුභාවයෙන් ලත් . . . ගෘහ නිර්මාණ සැලසුමට” අනුව සාලමොන් නමස්කාරය සඳහා දේවමාලිගාව ගොඩ නැගුවේ ය. (1 ලේකම් 28:11, 12, NW) මෙසේ, සාලමොන් තමන්ට සවන් දෙන්නන් ව මිල කළ නොහැකි ප්‍රඥාවේ වචනවලින් ගොඩ නැගුවා පමණක් නොව, නමුත් බාහිර ලෝකය විසින් කිසි විටෙකත් අත්පත් කර නොගත්තා වූ අනර්ඝ ද්‍රව්‍යමය ගොඩනැගිල්ලක් සෑදීම ද මෙහෙය වී ය.—1 රාජාවලිය 6:1; 9:15, 17-19.
18, 19. (අ) යෙහෝවඃ වහන්සේගේ සංවිධානය මගින් මෙහෙයවනු ලබන සීඝ්රයෙන් ඉදිරියට යමින් තිබෙන ව්‍යාපෘති මොනවා ද? (ආ) ද්‍රව්‍යමය මෙන් ම ආත්මික ගොඩනැගීමේ ලා යෙහෝවඃ වහන්සේගේ ආත්මය පිළිබිඹු වී ඇත්තේ කෙසේ ද?
18 අද දින, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට දිව්‍යමය අනුභාවය ලත් ගෘහ නිර්මාණ සැලසුම් නැත, නමුත් ඔවුන්ට සැබවින් ම දෙවියන් වහන්සේගේ ආත්මය තිබේ. ඊශ්‍රායෙල්ගේ දවස්වල මෙන්, ලෝකයේ මිනිසුන් ව මවිතයට පත් කරවන ආකාරයකට සෑදීම සඳහා මෙය ඔවුන් ව පොලඹවයි. (සෙකරියා 4:6) කාලය කෙටි ය. රාජ්‍යය ශාලා සහ වෙනත් ගොඩනැගිලි අප්‍රමාද ව අවශ්‍ය වී ඇත. සමහරක් රටවල ඉක්මනින් සාදනු ලබන රාජ්‍යය ශාලා පොදුවේ දැකගත හැකි ලක්ෂණයකි. උදාහරණයක් වශයෙන්, පසුගිය වසර 10 පුරා, කැනඩාව ශාලා 306ක් ඉදිකිරීම ගැන වාර්තා කළ අතර, මේ සෑම එකක් ම ගොඩ නැගීම සඳහා ගත වූයේ දවස් දෙකකටත් වඩා අඩු කාලයකි. යෙහෝවඃ වහන්සේගේ ලෝක ව්‍යාප්ත වැඩයේ සීඝ්‍ර වර්ධනය නිසා, නව ශාඛා ගොඩනැගිලි එසේ නැතහොත් ශාඛා පහසුකම් විශාල කිරීම් 43ක් දැන් ගොඩනගනු ලබමින් හෝ සැලසුම් කරනු ලබමින් තිබේ. එපමණක් ද නොව, බෙතෙල් ස්වේච්ඡා සේවකයන් එක් දහසකට පමණ පදිංචි විය හැකි තට්ටු 30කින් යුත් වාසය කිරීමේ ගොඩනැගිල්ලක් සෑදීමේ කටයුතු දැන් බෘක්ලින් හි නිමාවට පත් වී ගෙන යයි. තව ද, වොච් ටවර් සමිතිය විසින් මෙතෙක් දියත් කර තිබෙන විශාලතම ව්‍යාපෘතිය වන, න්යූ යෝර්ක් ජනපදයේ, පැටර්සන් හි බයිබල් අධ්‍යාපනික මධ්‍යස්ථානයක ගොඩනැගීමේ කටයුතු, නිමා කිරීමට නියමිත කාලයටත් වඩා කලින් නිමාව කරා යමින් තිබේ.
19 මෙම ව්‍යාපෘති, ලෝකයේ පළපුරුදු ගොඩනැගීම් සමාගම් විස්මයට පත් කරවමින්, කාර්යක්ෂම ව හා උසස් ගුණයෙන් යුක්ත ව ඉදිරියට යමින් පවතී. මන්ද? යෙහෝවඃ වහන්සේගේ කැප වූ සාක්ෂිකරුවන් විසින් කරනු ලබන අති මහත් වූ සම්මාදම නිසා ය. උන් වහන්සේගේ ආත්මය ඔවුන් ව පොලඹ වන්නේ, ද්‍රව්‍යමය අනුබලය සැපයීමට පමණක් නොව, නමුත් ඔවුන්ගේ කාලය හා ශක්තිය මුළු හදවතින් ම පුද කිරීමටත් ය. ගොඩනැගීමේ භූමි, හොඳින් පුහුණුව ලත් කැප වූ සේවකයන්ගෙන් පිරී ඉතිරී යයි. කම්කරු වැඩ වර්ජන නැත, එමෙන් ම වැඩකරන අවස්ථාවේ දී නිකරුණේ කාලය ගත කිරීමක් නැත, යෙහෝවඃ වහන්සේගේ ආත්මය පෙලඹීම දෙයි, එය හරියට මෝසෙස්ගේ කාලයේ දී මණ්ඩපය සෑදීමට ගොඩනැගුම්කරුවන් ව පෙලඹ වූවාක් මෙන් සහ සාලමොන්ගේ දවස්වල දේවමාලිගාව සෑදූ අය ව පෙලඹවූවාක් මෙනි. මෙම සේවකයන්ගෙන් අවශ්‍ය කරවන කැපී පෙනෙන ගුණාංගය නම් ආත්මිකත්වයයි.—සසඳන්න නික්මයාම 35:30-35; 36:1-3; 39:42, 43; 1 රාජාවලිය 6:11-14.
20. (අ) ශුභාරංචිය තවමත් කොතරම් ප්‍රමාණයකට දේශනා කිරීමට තිබේ ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ ජනයා, ඉදිරියේ තිබෙන ආශීර්වාදාත්මක අපේක්ෂාව කුමක් ද?
20 දේවමාලිගාව සාදා නිම කිරීමෙන් පසු ව, සාලමොන් තම ගොඩනැගීමේ වැඩසටහන දිගට ම ක්‍රියාත්මක කළේ ය. (2 ලේකම් 8:1-6) ශාලා හා වෙනත් පහසුකම් සහිත ගොඩනැගීම්වල අවශ්‍යතාවයන්ට සමාන්තර ව නවීන දින සාක්ෂිකරුවන් තවදුරටත් කොතරම් ව්‍යාප්ත වෙනවාදැයි, අපි නොදනිමු. කෙසේ වෙතත්, අප දන්නා දෙයක් නම්, යෙහෝවඃ වහන්සේ ආඥා කරන ප්‍රමාණයට රාජ්‍යයේ මේ ශුභාරංචිය දේශනා කරනු ලැබූ විට, අන්තිමය, එනම් “මහත් පීඩාව” පැමිණෙනු ඇති බව ය. (මතෙව් 24:14, 21) තවදුරටත් ගිජු මිනිසුන් විසින් විනාශ නොකරනු ඇති පොළොවක, යෙහෝවඃ වහන්සේගේ ‘නව අහස හා නව පොළොවක’ විධිවිධානය, එවිට, මිනිස් වර්ගයා උදෙසා කිව නොහැකි ආශීර්වාද ගෙන එනු ඇත. එමනිසා, අපගේ උත්තරීතර මැවුම්කරුවාණන්ට සියලු ප්‍රශංසාව දෙමින්, ‘දෙවියන් වහන්සේ මවන දෙය තුළ සදාකාලයට ම ප්‍රීති වෙමු!’—යෙසායා 65:17-19, 21, 25.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝර්ක්, ඉන්ක්., විසින් පළ කරන ලද “ලෙට් යුවර් කිංඩම් කම්” පිටු 105-16, 186-9 බලන්න.
ඔබට පැහැදිලි කළ හැකි ද?
◻ අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් තුළ ප්‍රීති වීමට අපට තිබෙන හේතු මොනවා ද?
◻ වර්ෂ 1992 සේවා වසරේ දී, කුමන වර්ධනයක් වාර්තා වී තිබේ ද?
◻ මීට පෙර, දේශනා කිරීම තහනම් කරනු ලැබූ රටවල, වාර්තා වී ඇති අනගි ආශීර්වාදයන් මොනවා ද?
◻ යෞවනයන් හා පුරෝගාමින් යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ වර්ධනයට දායක වී ඇත්තේ කෙසේ ද?
◻ ද්‍රව්‍යමය මෙන් ම, ආත්මික ගොඩ නැගීමේ වැඩකටයුතුවල යෙහෝවඃ වහන්සේගේ ජනයා, වැඩ බහුල ව සිට ඇත්තේ කෙසේ ද?
[17වන පිටුවේ කොටුව]
පසුගිය වසරේ දී, දේශනා කිරීම හා ඉගැන්වීමේ වැඩකටයුතු සඳහා, පැය බිලියන ගණනකට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරන ලදි
[12-15වන පිටුවල වගුව]
ලෝක ව්‍යාප්ත යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1992 සේවා වාර්ෂික වාර්තාව
(මුද්‍රිත පිටපත බලන්න)
[10වන පිටුවේ පින්තූරය]
පසුගිය වසරේ දී සිය දහස් ගණනක් බව්තීස්ම අපේක්ෂකයන්ගෙන් නිරූපනය වන්නේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩකටයුතුවලට යෙහෝවඃ වහන්සේ ආශීර්වාද කර ඇති බවයි
[16වන පිටුවේ පින්තූරය]
යෞවනයන් විශාල සංඛ්‍යාවක් ‘තමන්ගේ උත්තරීතර මැවුම්කරුවාණන් ව සිහිකරති!’