ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 1/1 5-8 පි.
  • උපදවනු ලබන අලුත් මැවිලි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උපදවනු ලබන අලුත් මැවිලි!
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” මැවීම
  • අලුත් අහසක් සහ අලුත් පොළොවක්
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • පුරෝකථනය කළ පරිදි සියල්ල අලුත් කිරීම
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නව ලොවක් දෙවිගේ පොරොන්දුවට අනුව
    සෝදිසියෙන් සිටින්න!
  • ස්වර්ගයේ මෙන්ම පොළොවේ තිබෙන දේවල් එක්සත් කරන අයුරු
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 1/1 5-8 පි.

උපදවනු ලබන අලුත් මැවිලි!

ප්‍රඥාවන්ත සාලමොන් රජ වරක් මෙසේ පැවසී ය: “ඉර යට අමුතු [අලුත් NW] දෙයක් නැත.” (දේශනාකාරයා 1:9) එය අප ජීවත් වන භෞතික ලෝකය සම්බන්ධයෙන් සැබෑවකි, නමුත් යෙහෝවඃ වහන්සේගේ ආත්මික මැවිලිවලින් යුත් අති විශාල විෂය ගැන කුමක් කිව හැකි ද? එම විෂයේ, සාලමොන්ට වඩා ශ්‍රේෂ්ඨ තැනැත්තෙක්, ඇත්ත වශයෙන් ම, එතෙක් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා, කැපී පෙනෙන අලුත් මැවිල්ලක් බවට පත් විය. මෙය සිදු වූයේ කෙසේ ද?

අපගේ පොදු යුගයේ 29වන වසරේ දී, පරිපූර්ණ මනුෂ්‍යයා වන, යේසුස් වහන්සේ, යොහන් විසින් යොර්දාන් නදියේ බව්තීස්ම කරනු ලැබීම සඳහා තමන් ව ඉදිරිපත් කළ සේක. “යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් [ආත්මය NW] පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක; තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.” (මතෙව් 3:16, 17) මෙසේ, මනුෂ්‍යයෙක් වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට ආලේප කරන ලද, අලුත් මැවිල්ලක පළමුවැන්නා විය. පසු ව, උන් වහන්සේගේ යාගික මරණය මත පදනම් ව, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ හා තෝරා ගත් මනුෂ්‍ය කණ්ඩායමක් අතර මැදහත්කරු බවට පත් වූ සේක. මේ සෑම කෙනෙක් ම, යේසුස් වහන්සේ සමඟ සිය ස්වර්ගික රාජ්‍යයෙහි පාලනය කිරීමේ අපේක්ෂාව ඇති ව, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් ස්වර්ගික බලාපොරොත්තුවක් සඳහා කැඳවන ලද “අලුත් මැවිල්ලක්” බවට පත් ව තිබේ.—2 කොරින්ති 5:17; 1 තිමෝති 2:5, 6; හෙබ්‍රෙව් 9:15.

ගත වූ ශතවර්ෂයන් පුරා, මෙම ආලේප ලත්, ආත්මයෙන් උත්පාදනය වූ ක්‍රිස්තියානිහු, සැබෑ ක්‍රිස්තියානි සභාව ලෙසට ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඒකාබද්ධ කරනු ලැබ සිටිත්. මෙසේ සැබෑ ක්‍රිස්තියානි සභාව ම අලුත් මැවිල්ලක් ව පවතී. ප්‍රේරිත පේතෘස් පවසන ආකාරයට, දෙවියන් වහන්සේ එය මේ ලෝකයෙන් කැඳවා ගත්තේ අරමුණක් උදෙසා ය: “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය.” (1 පේතෘස් 2:9) දෙවියන් වහන්සේගේ ආරම්භක අලුත් මැවිල්ල වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මෙන්, මෙම දෙවැනි නව මැවිල්ලට ද ශුභාරංචිය දේශනා කිරීමේ මූලික වගකීමක් තිබේ. (ලූක් 4:18, 19) අවසානයේ දී, සංඛ්‍යාවෙන් 1,44,000කින් සමන්විත වන එහි සාමාජිකයන්, පුද්ගලික ව, “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පුද්ගලිකත්වය NW] පැළඳ” ගත යුතු ය. (එපීස 4:24; එළිදරව් 14:1, 3) මේ සඳහා ඔවුන් ගලාති 5:22, 23 හි විස්තර කර ඇති ‘ආත්මයේ ඵල’ වැඩි වර්ධනය කර ගනිමින් සිය ගබඩාකාරත්වය සඳහා විශ්වාසනීය ව සැලකිල්ල යොමු කිරීම අවශ්‍ය කරවයි.—1 කොරින්ති 4:2; 9:16.

නවීන කාලවල මෙම අලුත් මැවිල්ල ගැන කුමක් කිව හැකි ද? බයිබල් කාල සටහන පෙන්වන පරිදි, වර්ෂ 1914 දී, එළිදරව් 11:15 හි වදන් ඉෂ්ට විය: “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද [යෙහෝවඃ වහන්සේට ද] තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේක.” අලුත පත් කරන ලද රජු හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ පළමුවන ක්‍රියාව වූයේ, සාතන් හා ඔහුගේ භූතමය දූතයන් ස්වර්ගයෙන් පොළොවට හෙලීම ය. මෙය ‘පොළොවට දුක්’ ගෙනා අතර, එය පැමිණියේ පළමු ලෝක යුද්ධය හා ඊට පසු ව සිදු වූ විපත්තිවල ආකාරයෙන් ය.—එළිදරව් 12:9, 12, 17.

මෙය පොළොව මත සිටින අලුත් මැවිල්ලට අයත් ඉතිරි අයට, තමන් යේසුස් වහන්සේගේ අනාවැකිය ඉෂ්ට කිරීමෙහි හවුල් විය යුතු බවට නිවේදනයන් සේ ක්‍රියා කළේ ය; එනම්: “[පිහිටුවන ලද] රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස [ජනාවාස NW] ලොව මුළුල්ලේ ප්‍රකාශ [දේශනා NW] කරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය” යන්න ය. එම “අන්තිමය” කුමක් ද? යේසුස් වහන්සේ වැඩිදුරටත් මෙසේ පැහැදිලි කරන සේක: “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය. ඒ දවස් ලුහුඬු නොකරනලද්දේවීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.”—මතෙව් 24:3-14, 21, 22.

එහෙත් මෙතෙක් පොළොව මත සිදු වූ පුළුල් ම දේශනා කිරීමේ ව්‍යාපෘතියෙහි කඩිසර ව නියැලීමට අලුත් මැවිල්ලට අයත් එම ආලේප ලත් අය ව යෙහෝවඃ වහන්සේගේ ආත්මය විසින් පොලඹවන ලදි. වර්ෂ 1919 දී සංඛ්‍යාවෙන් ස්වල්ප දහසක් ව සිටි මෙම ජ්වලිතවත් රාජ්‍යය ප්‍රචාරකයන්, එක්දහස් නවසිය තිස් ගණන්වල මැද භාගය වන විට 50,000 පමණ දක්වා වැඩි විය. පුරෝකථනය කර තිබූ ආකාරයට, “ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.”—රෝම 10:18.

ගැලවීම සඳහා එක්රැස් කරනු ලැබූ එක ම පිරිස වනු ඇත්තේ අලුත් මැවිල්ලේ ඉතිරි අය පමණක් ද? නැත, මන්දයත්, එම අනාවැකිය ස්වර්ගීය කැඳවීමක් ලත් මෙම ආත්මික ඊශ්‍රායෙල් පමණක් නොව, තවත් අය ද, එනම් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” එක්රැස් කිරීම අවසන් කරන තුරු දේව දූතයන් මහත් පීඩාවේ සුළං අල්ලාගෙන සිටිනු ඇතැයි, අනාවැකියේ සඳහන් ව තිබූ නිසා ය. ඔවුන්ගේ ඉරණම කුමක් වනු ඇත් ද? ඇයි, ඔවුහු පාරාදීස පොළොවක සදාකාල ජීවිතය භුක්ති විඳිනු පිණිස, “මහත් පීඩා[ව] මැදින්” බේරී පැමිණෙනවා ඇත!—එළිදරව් 7:1-4, 9, 14.

රටවල් 229කින් පමණ රැස් කරන ලද මෙම මහත් සමූහය, ක්‍රියාශීලී සාක්ෂිකරුවන් දළ වශයෙන් 45,00,000ක් දක්වා වේගයෙන් වැඩි වී තිබීම සතුට ගෙන දෙන්නකි. පසුගිය වසරේ අප්‍රියෙල් 17වන දින යේසුස් වහන්සේගේ මරණය සිහි කිරීමට සහභාගි වූ 1,14,31,171 දෙනා අඟවන ආකාරයට, තවත් වැඩි පිරිසක් එමින් සිටිත්. මෙම මිලියන සංඛ්‍යාවන් අතරින්, සිහි කිරීමේ සංකේතයන්හි පංගුකාරයන් වූයේ, තමන් පොළොව මත සිටින අලුත් මැවිල්ලේ ඉතිරි අය යයි කියා සිටි, 8,683 පමණි. අද දවසේ කෙරෙන අතිවිශාල දේශනා කිරීමේ වැඩය ඉෂ්ට කිරීමට මෙම කුඩා කණ්ඩායමට අයත් අයට තනි ව ම කවදාවත් කළ නොහැකි ය. මහත් සමූහය සකසන මිලියනයන් මෙම වැඩය ඉෂ්ට කිරීමෙහි ලා ඔවුන් හා උරෙන් උර ගැටී සේවය කරමින් සිටිති. (ශෙපනියා 3:9) එපමණක් ද නොව, ඊශ්‍රායෙල් නොවන නෙතිනීම්වරු යෙරුසලමේ පවුරු අලුත්වැඩියා කිරීමේ දී පූජකයන් සමඟ වැඩ කළාක් මෙන්, මහත් සමූහයට අයත් හොඳින් පුහුණු කරන ලද සාමාජිකයෝ ආත්මික ඉශ්‍රායෙලයේ ආලේප ලත් පාලක මණ්ඩලයත් සමඟ එකතු වී, දැන් පරිපාලන හා වෙනත් වගකිව යුතු වැඩකටයුතුවල නියැලෙමින් සිටිති.—නෙහෙමියා 3:22-26.

“අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” මැවීම

මෙම එක්රැස් කිරීමත් සමඟ මුසු ව ඇත්තේ කොතරම් ප්‍රීතියක් ද! එය සිදු වනු ඇති බවට යෙහෝවඃ වහන්සේ වදාළ පරිදි සිදුවෙමින් තිබේ: “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීති වෙයල්ලා. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනග ප්‍රීතියක්ද කොට මවමි. මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනග කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.” (යෙසායා 65:17-19) යෙහෝවඃ වහන්සේගේ මැවිල්ලේ අලුත් අහස, අවසාන වශයෙන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ හා ගත වූ ශතවර්ෂ 19 පුරා මනුෂ්‍ය වර්ගයා අතරින් මිල දී ගන්නා ලද අලුත් මැවිල්ලට අයත් නැවත නැගිටුවනු ලැබූ සාමාජිකයන් 1,44,000 දෙනාගෙන් සමන්විත වෙනවා ඇත. එය, සාලමොන්ගේ දවසේ පවා තිබූ ආණ්ඩුව ද ඇතුළු ව, සැබෑ යෙරුසලම පාලනය කළ ඕනෑ ම භූමික ආණ්ඩුවකට වඩා බොහෝ අතිශයින් මහිමාන්විත එකක් වෙනවා ඇත. ස්වර්ගික නුවරක් වූ නව යෙරුසලම ද, ඊට සම්බන්ධ ව පවතී. මෙය, එළිදරව් 21වන පරිච්ඡේදයේ එය සතු සම්පූර්ණ කාන්තිමත් අලංකාරය ඇති ව විස්තර කර ඇත.

නව යෙරුසලම ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මික මනමාලිය වන්නේ ය, එනම් තමන්ගේ මරණයෙන් හා ආත්මික නැවත නැගිටීම පසු ව ස්වර්ගයේ තම මනමාලයා හා එක්වන උන් වහන්සේගේ ආලේප ලත් අනුගාමිකයන් 1,44,000 දෙනා ය. ඔවුන් ව එළිදරව් 21:1-4 හි පිළිබිඹු කොට තිබෙන්නේ “දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන්” බසින්නා සේ ය, එනම්, පොළොව මත සිටින මනුෂ්‍ය වර්ගයාට ආශීර්වාද ගෙන ඒමේ ලා උන් වහන්සේ විසින් පාවිච්චි කරනු ලබන්නා සේ ය. මේ අයුරින් මෙම අනාවැකිය ඉටු වෙයි: “මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය, උන්වහන්සේ ඔවුන් සමග වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනග වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”

දෙවියන් වහන්සේ අලුත් අහසක් මැවීම ගැන අපට කොතරම් ස්තුති පුර්වක විය හැකි ද! මෙතෙක් මනුෂ්‍ය වර්ගයාට නිතර හිරිහැර පමුණුවා ඇති අස්ථිර, දූෂිත පාලකත්වයන් මෙන් නොව, දෙවියන් වහන්සේගේ මෙම ආණ්ඩු විධිවිධානය ස්ථිර එකක් වනු ඇත. අලුත් මැවිල්ල හා ඔවුන්ගේ ආත්මික ජනිතයන් වන මහත් සමූහය, දෙවියන් වහන්සේගේ වැඩිමනත් පොරොන්දුව තුළ ප්‍රීති ප්‍රමුදිත වෙති: “මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කියනසේක.”—යෙසායා 66:22.

“අලුත් පොළොව,” අලුත් මැවිල්ලේ ආලේප ලත් අයගේ මෙම ජනිතයන්ගෙන් ආරම්භ වේ. එය පොළොව මත සිටින අලුත්, දේව භයැති මනුෂ්‍ය සමාජය වෙයි. අද දින මනුෂ්‍ය සමාජයේ ඇති බද්ධ වෛරයෙන්, අපරාධවලින් ප්‍රචණ්ඩතාවයෙන්, දූෂණයෙන්, හා දුරාචාරයෙන් සහතික වශයෙන් ම අවධාරණය වී යන්නේ, සත් ගුණවත් නව අහසේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන, අලුත් භූමික සමාජයකට සම්පූර්ණ වෙනසක් කිරීමේ අවශ්‍යතාවයයි. යෙහෝවඃ වහන්සේ අරමුණු කරන්නේ ඒයයි. උන් වහන්සේ අලුත් අහසක් මැව්වාක් මෙන්, උන් වහන්සේ සාමකාමී අලුත් ලෝක සමාජයක මූලය [න්‍යෂ්ටිය] ලෙස මහත් සමූහය ව එක්රැස් කිරීමෙන් අලුත් පොළොව මවමින් සිටින සේක. මෙම සමාජය පමණක් “මහත් පීඩා මැදින්” ජීවිත ගලවා ගනු ලබනවා ඇත.—එළිදරව් 7:14.

මහත් පීඩාවෙන් පසු අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද? අලුත් අහස සාදන්නා වූ මුල් ම අය වන සිය ප්‍රේරිතයන්ට කථා කරමින්, යේසුස් වහන්සේ මෙසේ පොරොන්දු වූ සේක: “සැබවක් නුඹලාට කියමි—අලුත් උත්පාදයේදී [නැවත-මැවීමේ දී NW] මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ . . . සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.” (මතෙව් 19:28) මෙම අලුත් යෙරුසලමට අයත් 1,44,000 දෙනා ම මනුෂ්‍ය වර්ගයා ව විනිශ්චය කිරීමෙහි යේසුස් වහන්සේ සමඟ හවුල් වනු ඇත. එවිට ආත්මාර්ථකාමිත්වය හා බද්ධ වෛරය වෙනුවට මිනිස් සමාජය ගොඩ නැඟෙන අත්තිවාරම වනු ඇත්තේ ප්‍රේමයයි. ගෝත්‍රික, වාර්ගික හා ජාතික ගැටලු මුලිනුපුටා දමනු ලබනවා ඇත. මළවුන්ගෙන් නැගිටීම, ප්‍රේමනීයයන් ව ක්‍රමානුකූල ව යළි ගෙනෙනවා ඇත. බිලියන සංඛ්‍යාවන්ගෙන් යුත් ඇදහිලිවන්ත මනුෂ්‍ය වර්ගයා, පාරාදීසයක් බවට පරිවර්තනය කරන ලද පොළොවක, සදාකාලයට ම ජීවත් වන්නට නගා සිටුවන ලද, විශාල එක්සත් පවුලක් බවට පත් වෙනවා ඇත.

මෙය මනෝරාජ්‍යයකට නැතහොත් ෂැත්ග්‍රි-ලා වැනි මනඃකල්පිත වූ පාරාදීසමය ලස්සන ස්ථානයකට වැඩි යමක් වනු ඇත. එය ස්ථිර මැවීමක්—‘උන් වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටින, ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක් ද, අලුත් පොළොවක් ද’—වෙයි! (2 පේතෘස් 3:13) නිසැක ව ම, මෙය පුදුමාකාර අපේක්ෂාවකි, එනම්, “බලව, [මම NW] සියල්ල අලුත් කරමි” යයි වදාළා වූ ද, “මේ වචන විශ්වාසය, සැබෑය” යන ඇදහිල්ල ප්‍රබෝධවත් කරන්නා වූ ප්‍රකාශය එක් කළා වූ ද, තැනැන් වහන්සේගේ ම විශිෂ්ට පොරොන්දුවකි.—එළිදරව් 21:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න