දෙවියන් වහන්සේගේ නව ලොව තුළට ඔබගේ පවුල සුරැකි ව ගෙන යාමට ක්‍රියා කරන්න
“ස්වාමිනී, [අහෝ යෙහෝවඃ වහන්ස NW] ඔබ ඔවුන් ආරක්ෂාකරන සේක, මේ පරම්පරාවෙන් සෑමකල්ම ඔබ ඔවුන් රැකගන්නාසේක.”–ගීතාවලිය 12:7.
1, 2. (අ) සමහර පවුල් අන්තිම දවස්වල පීඩනයන් යටතේ කල් යවන්නේ කෙසේ ද? (ආ) බේරී ජීවත්වීමට ක්‍රිස්තියානි පවුලකට කෙසේ වෑයම් කළ හැකි ද?
“අද මගේ හදවත ප්‍රීතියෙන් පිරී ගිහින්!” ජෝන් නමැති එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් සතුටින් ඉපිළ ගියේ එසේයි. මේ ප්‍රීති ප්රමෝදයට හේතුව? “වයස අවුරුදු 14ක් වූ මගේ පුතා හා අවුරුදු 12ක් වූ මගේ දුව බව්තීස්ම ලැබුවා,” යයි ඔහු සඳහන් කරයි. එහෙත් ඔහුගේ ප්‍රීතිය එතැනින් නිම වූයේ නැත. “දාහත් හැවිරිදි මගේ පුතා සහ 16 හැවිරිදි මගේ දුව යන මේ දෙදෙනා ම පසුගිය අවුරුද්දේ පටන් උපකාරික පුරෝගාමි සේවය කරමින් සිටිනවා.” ඔහු තවත් එකතු කළේ ය.
2 අප අතර සිටින බොහෝ පවුල් බයිබල් ප්‍රතිපත්ති තම ජීවිතවලට අදාළ කර ගන්නවාත් සමඟ ම, මීට සමාන කදිම අත්දැකීම් ලබමින් සිටිත්. එසේ නමුත්, සමහරු ගැටලු අත්දකිමින් සිටිත්. එක් ක්‍රිස්තියානි යුවළක් ලියුවේ මෙසේ ය: “අපට දරුවන් පස්දෙනෙකු සිටිනවා. එය ක්‍රමයෙන් හැදී වැඩුණේ ඔවුන් සමඟ කටයුතු කිරීමට අසීරු විදිහටයි. මේ පරණ පිළිවෙළට දැනටමත් අපේ එක දරුවෙක් අපට අහිමි වුණා. සාතන්ගේ ප්‍රහාරයේ මූලික ඉලක්කය නහඹර වියේ සිටින අපගේ යෞවන දරුවන් බව පෙනෙන්ට තිබෙනවා.” ඇතැම් අවස්ථාවල වෙන්වීමෙන් හෝ දික්කසාදයෙන් කෙළවර වන්නා වූ, තද බල විවාහ ආරවුල් ඇති විවාහකයන් ද වෙත්. ඒ කෙසේ වෙතත්, ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරන පවුල්වලට “මහත් පීඩාවෙන්” බේරී පැවතිය හැකි අතර, දෙවියන් වහන්සේගේ පැමිණෙන නව ලොව තුළට සුරැකි ව ගෙන යාමට හැකිවනවා ඇත. (මතෙව් 24:21; 2 පේතෘස් 3:13) එසේ නම්, ඔබගේ පවුල සුරැකි ව ගෙන යාම සහතික කිරීම සඳහා ඔබට කළ හැක්කේ කුමක් ද?
අදහස් හුවමාරුව වැඩි දියුණු කිරීම
3, 4. (අ) පවුල් ජීවිතය තුළ අදහස් හුවමාරුව කොතරම් වැදගත් ද, එමෙන් ම ඒ සම්බන්ධයෙන් බොහෝ විට ගැටලු පැන නඟින්නේ ඇයි? (ආ) ස්වාමිපුරුෂයන් හොඳ සවන්දෙන්නන් වීමට වෙර දැරිය යුත්තේ මන්ද?
3 හොඳ අදහස් හුවමාරුව සෞඛ්‍යය සම්පන්න පවුලක ජීවන රුධිරයයි. එය හීන වන විට, ආතතිය හා පීඩනය වැඩි වෙයි. “රහසිගත කථා නැති විට, සැලසුම් නිෂ්ප්රභා වී යයි” යනුවෙන් හිතෝපදේශ 15:22 [NW ] පවසයි. එක් විවාහක උපදේශිකාවක් මෙසේ වාර්තා කිරීම උනන්දුව දනවන සුලු ය: “මා උපදෙස් දෙන භාර්යාවන්ගෙන් අසන වඩාත් හුරුපුරුදු පැමිණිල්ල නම්, ‘ඔහු මා එක්ක කථා කරන්නේ නැහැ.’ සහ ‘ඔහු මට සවන් දෙන්නේ නැහැ.’ තව ද මම මේ පැමිණිල්ල ඔවුන්ගේ සැමියන් හට පවසන විට ඔවුන් මටත් සවන් දෙන්නේ නැහැ.”
4 අදහස් හුවමාරුව හීන වීමට හේතු කරවන්නේ කුමක් ද? එක් දෙයක් නම්, පුරුෂයන් සහ ස්ත්‍රීන් වෙනස් ය, එමෙන් ම, බොහෝ විට ඔවුන්ට ඇත්තේ සැලකිය යුතු අන්දමින් කථා බහ කිරීමේ වෙනස් ආකාරයන් ය. ස්වාමිපුරුෂයෙක්, තමාගේ කථා බහේ දී, “ඍජු, හා ප්‍රායෝගික වීමට නැඹුරු” වන අතර, “[භාර්යාවකට] වෙන කිසිවකට වඩා අවශ්‍ය වන්නේ සංවේදනය පෙන්වන සවන් දෙන්නෙකි,” යයි එක් ලිපියක වූයේ ය. මෙය ඔබගේ විවාහයට ගැටලුවක් වී ඇත්නම්, කාරණා වැඩි දියුණු කර ගැනීමට ක්‍රියා කරන්න. වඩාත් හොඳ සවන් දෙන්නෙකු බවට පත්වීම සඳහා වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමට ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙකුට අවශ්‍ය විය හැක. යාකොබ් මෙසේ පවසයි. “සෑම මිනිසෙක් ම සවන් දීමට ඉක්මන් විය යුතු ය, කථා කිරීමට ප්‍රමාද විය යුතු ය.” (යාකොබ් 1:19, NW) ඔබගේ භාර්යාවට හුදෙක් “සහකාරත්වයේ හැඟීමක්” වුවමනා වන විට දී, ඈට අණ කිරීමෙන්, අවවාද කිරීමෙන් හෝ දේශනා කිරීමෙන් වැළකී සිටීමට ඉගෙන ගන්න. (1 පේතෘස් 3:8, NW) “දිව දමනය කර ගන්නාට ප්‍රඥාව ඇත” යයි හිතෝපදේශ 17:27 [නව අනුවාදය] පවසයි.
5. තමන්ගේ සිතිවිලි හා හැඟීම් පළ කිරීමේ ලා ස්වාමිපුරුෂයන්ට වැඩි දියුණු විය හැක්කේ කිනම් මාර්ගවලින් ද?
5 අනෙක් අතට, “කථා කිරීමට කාලයක්” තිබෙන අතර, ඔබගේ සිතිවිලි හා හැඟීම් ගැන වඩාත් හොඳින් ප්‍රකාශ කිරීමට ඉගෙන ගැනීමට ඔබට අවශ්‍ය වනවා විය හැක. (දේශනාකාරයා 3:7) නිදසුනක් වශයෙන්, ඔබගේ භාර්යාවගේ නිපුණත්වයන් සඳහා ඔබ ඈට නොමසුරු ලෙස ප්‍රශංසා කරන්නෙහි ද? (හිතෝපදේශ 31:28) ඔබට සහයෝගය දැක්වීම සහ ගෙදර දොර වැඩකටයුතු බලා කියා ගැනීමේ ලා ඈ වෙහෙස මහන්සි වී කරන වැඩ වෙනුවෙන් ඔබ ස්තුතිවන්ත වන බව ඔබ ම පෙන්වන්නෙහි ද? (කොලොස්සි 3:15 සසඳන්න.) එසේ නැතහොත්, සමහරවිට වචනයෙන් “ස්නේහයේ ප්‍රකාශන” කිරීම සම්බන්ධ ව දියුණු වීමට ඔබට අවශ්‍ය විය හැක. (සාලමොන්ගේ ගීතිකා 1:2, NW) එසේ කිරීම ආරම්භයේ දී ඔබට නුහුරු නුපුරුදු දෙයක් මෙන් පෙනෙන්ට පුළුවන, නමුත් ඔබගේ භාර්යාවට ඔබ දක්වන ප්‍රේමය තුළ ඈ හට සුරක්ෂිත බව හැඟීයාමක් ඇති කිරීමේ ලා බොහෝ සේ ඉවහල් විය හැක.
6. පවුලේ අදහස් හුවමාරුව වැඩි දියුණු කිරීම සඳහා භාර්යාවන්ට කුමක් කළ හැකි ද?
6 ක්‍රිස්තියානි භාර්යාවන් ගැන කුමක් කිව හැකි ද? තමාගේ ස්වාමිපුරුෂයා ව තමා විසින් අගය කරන බව ඔහු දන්නා හෙයින්, ඒ බව ඔහුට පැවසීමට තමාට අවශ්‍ය නැතැයි එක් භාර්යාවක් විසින් පවසා ඇති බව උපුටා දක්වා තිබේ. කෙසේ වුවද, පුරුෂයෝ ද අගය කරනු ලැබීමෙන්, ප්‍රශංසා කරනු ලැබීමෙන්, හා වර්ණනා කරනු ලැබීමෙන් සඵල වෙති. (හිතෝපදේශ 12:8) ඔබට මේ සම්බන්ධ ව වඩාත් අදහස් පළ කරන සුලු වීමේ අවශ්‍යතාවයක් තිබේ ද? අනෙක් අතට, සමහර විට, ඔබ සවන් දෙන ආකාරය ගැන ද වැඩි අවධානයක් දීමට ඔබට අවශ්‍ය විය හැක. ඔබේ ස්වාමිපුරුෂයාට, ඔහුගේ ගැටලු, භීතීන්, හෝ කනස්සලු භාවයන් විවෘත ව සාකච්ඡා කිරීමේ යම් අසීරුතාවයක් දැනේ නම්, කාරුණික ව හා උපායශීලී ව විවෘත ව අදහස් දැක්වීමට ඔහු ව පොලඹවන ආකාරය ඔබ ඉගෙන ගෙන තිබේ ද?
7. පවුල් ආරවුල් පිපිරී යාමට හේතු කරවිය හැක්කේ කුමක් ද, තව ද ඒවා වැළැක්විය හැක්කේ කෙසේ ද?
7 ඇත්ත වශයෙන් ම, සාමාන්‍යයෙන් හොඳින් එකිනෙකාට පෑහී සිටින්නා වූ ජෝඩු පවා කථා බහ කිරීමේ ඇණ හිටීමක් ඉඳ හිට අත්දකින්නට පුළුවන. චිත්ත වේගයන් තර්කය අභිබවා යා හැක, නැතහොත් සන්සුන් සාකච්ඡාවක් එක විගස ම උණුසුම් විවාදයක් බවට හැරෙන්නට පුළුවන. (හිතෝපදේශ 15:1) “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව.” කෙසේ වෙතත්, විවාහයේ සුළු එදිරිවාදිකමක් නිසා විවාහය අවසන් වනවා කියා සිතීම උගහට ය. (යාකොබ් 3:2) එහෙත්, “කෑ ගැසීම හා අපවාදාත්මක කථාව” මොනයම් හෝ සබඳතාවයකට නුසුදුසු ය, විනාශකාරී ය. (එපීස 4:31) සිත් රිදෙන වචන හුවමාරු වූ අවස්ථාවක දී, සමාදානය ඇති කර ගැනීමට යුහුසුලු වන්න. (මතෙව් 5:23, 24) “ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා” යනුවෙන් එපීස 4:26 හි සඳහන් පාවුල්ගේ වචන ඔබ දෙදෙනා ම අදාළ කර ගතහොත්, බොහෝ විට මුල් අවස්ථාවේ දී ම දබරවලින් වැලකී සිටිය හැකියි. එසේ ය, ගැටලු කුඩා ව හා හසුරුවාලිය හැකි ව තිබිය දී ඒවා ගැන කථා කරන්න; ඔබගේ චිත්ත වේගයන් පුපුරා යන අවස්ථාව තෙක් නොසිටින්න. සැලකිල්ල යොමු කළ යුතු කාරණා සම්බන්ධ ව කථා බහ කර ගැනීමට සෑම දවසක ම මිනිත්තු කිහිපයක් වැය කිරීම, අදහස් හුවමාරුව පෝෂණය කර වරදවා තේරුම් ගැනීම් වළක්වන්නට බොහෝ සෙයින් ඉහවල් වෙනවා ඇත.
‘යෙහෝවඃ වහන්සේගේ මානසික ශික්ෂණය’
8. සමහර යෞවනයන් සත්‍යයෙන් ක්‍රමයෙන් ඉවතට යා හැක්කේ ඇයි?
8 සමහර දෙමාපියන් තම දරුවන් ගැන කිසිදු සොයා බැලීමකින් තොර ව සෑහීමට පත් වී සිටින බවක් දක්නට තිබේ. දරුවෝ රැස්වීම්වලට පැමිණෙති, ක්ෂේත්‍ර සේවයේ තරමක් සහභාගි වෙති, නමුත් බොහෝ විට දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධයක් ඔවුන් විසින් ම ගොඩනඟා ගෙන නැත. කලක් ගත වන විට, “මාංසයේ ආශාව හා ඇස්වල ආශාව”, නිසා එවැනි යෞවනයන් බොහෝ දෙනෙකු ව සත්‍යයෙන් ඉවතට ගසා ගෙන යන්නට පුළුවන. (1 යොහන් 2:16, NW) දෙමාපියන් අර්මගෙදොනෙන් බේරී ජීවත් වන නමුත්, අතීතයේ දී කරන ලද නොසලකා හැරීමක් නිසා තමන්ගේ දරුවන් ව විපතට ලක් වූවන් බවට පත් වී තිබෙනවා දැකීම ඔවුන්ට මොනතරම් දුකක් වනු ඇත් ද!
9, 10. (අ) “යෙහෝවඃ වහන්සේගේ හික්මවීමෙන් හා මානසික ශික්ෂණයෙන්” දරුවන් ව හදා වඩා ගැනීමට ඇතුළත් වන්නේ කුමක් ද? (ආ) දරුවන්ට තම හැඟීම් නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ දීම වැදගත් වන්නේ ඇයි?
9 එමනිසා, පාවුල් ලීවේ මෙසේ ය: “පියවරුනි, ඔබගේ දරුවන් ව කෝප නොකරන්න, නමුත් ඔවුන් ව හික්මවීමෙන් ද, යෙහෝවඃ වහන්සේගේ මානසික ශික්ෂණයෙන් ද හදා වඩා ගන්න.” (එපීස 6:4, NW) එසේ කිරීමට නම්, යෙහෝවඃ වහන්සේගේ ප්රමිතීන් ගැන ඔබ ම හොඳින් හුරුපුරුදු වී සිටිය යුතුයි. තෝරාගන්නා විනෝදාංශ, පුද්ගලික පාඩම, රැස්වීම්වලට පැමිණීම හා ක්ෂේත්‍ර සේවය වැනි කාරණාවල දී, ඔබ නිසි ආදර්ශයක් තැබිය යුතු ය. පුද්ගලයෙක්, (1) තමාගේ දරුවන් සම්බන්ධ දක්ෂ නිරීක්ෂකයෙකු විය යුතු බවත්, තව ද ඔහු (2) ඔවුන් සමඟ හොඳ අදහස් හුවමාරුවක් පවත්වා ගන්නා අයෙකු විය යුතු බවත් පාවුල්ගේ වචනවලින් ඇඟවෙයි. ඔවුන්ට “මානසික ශික්ෂණය” අවශ්‍ය වන්නේ කුමන පැත්තෙන් ද කියා ඔබට දැන ගත හැක්කේ එවිට පමණි.
10 නව යොවුන් වියේ දරුවන් යම් පමණක ස්වාධීනත්වයක් ලබා ගැනීමට වෑයම් කිරීම ස්වභාවික ය. කෙසේ වෙතත්, ඔවුන්ගේ කථා බහේ, අදහස්වල, වස්ත්‍ර සහ ඇඳුම් පැළඳුම්වල සහ මිතුරන් තෝරා ගැනීමේ දී ලෝකයේ බලපෑම්වල ඉතා පැහැදිලි ලකුණු ගැන ඔබ සුපරීක්ෂාවෙන් සිටිය යුතුයි. හිතෝපදේශ 23:26, [NW ] හි වාර්තා කර ඇති පරිදි එක් ඥානවන්ත පියෙක් පැවසුවේ මෙසේ ය: “මගේ පුතණුව, ඔබේ හදවත මට දෙන්න.” ඔබේ දරුවන්ගේ සිතිවිලි හා හැඟීම් ඔබ සමඟ නිදහසේ බෙදා ගැනීමට සැහැල්ලු බවක් ඔවුන්ට දැනෙනවා ද? සැනෙකින් දොස් තබයි යන බියක් දරුවන් තුළ නොමැති වන විට, පාසලේ බාහිර ක්‍රියාකාරකම්, විරුද්ධ ලිංගයේ අය සමඟ හුදෙකලා ඇසුර, උසස් අධ්‍යාපනය, හෝ බයිබල් සත්‍යයන් ම වැනි කාරණා ගැන ඔවුන්ට හැඟෙන ආකාරය හෙළි කිරීමට ඔවුන් වඩාත් පෙලඹෙනවා විය හැක.
11, 12. (ආ) පවුලේ ආහාර ගන්නා වේලාව අදහස් හුවමාරුවට යොදා ගත හැක්කේ කෙසේ ද? (ආ) තම දරුවන් සමඟ අදහස් හුවමාරුව දියුණු කර ගැනීමට දෙමාපියෙක් ගන්නා නිරන්තර උත්සාහයකින් ලැබිය හැකි ප්‍රතිඵල මොනවා ද?
11 පවුලේ අය එකට ආහාර ගැනීම බොහෝ රටවල සිරිතකි. මෙබැවින්, පවුලේ සියලු සාමාජිකයන්ට වර්ධනාත්මක අන්දමින් කථා බහ කිරීමට රාත්‍රි ආහාර මේසය කදිම ප්‍රස්තාවක් ලබා දෙයි. බොහෝ විට රාත්‍රි ආහාර ගැනීමේ අවස්ථාවට සිදුවන්නේ, රූපවාහිනිය මගින් හෝ සිත වෙනතකට යොමු කරවන වෙනත් බාධාවක් මගින් ඒ තැන ගැනීමයි. එනමුත්, පැය ගණනාවක් පුරා, අධික ලෙස, ඔබගේ දරුවන් ව මුළුමනින් ම පාහේ පාසලේ සිරකර තැබුවාක් මෙන් සිට තිබෙන අතර, ඔවුන් ලෞකික කල්පනාවන්වලට නිරාවරණය වී තිබේ. ආහාර ගන්නා වේලාව, ඔබගේ දරුවන් සමඟ කථා බහ කිරීමට හොඳ වේලාවකි. “දවස පුරා සිදු වූ දේවල් ගැන කථා කිරීමට අපි ආහාර ගන්නා වේලාව යොදා ගන්නවා” යයි එක් මවක් පවසන්නී ය. එහෙත්, ආහාර ගන්නා වේලාව, ව්‍යාකූලත්වයකට පත් කරවන හික්මවන නඩු අසන වේලාවක් හෝ හරස් ප්‍රශ්න අසා දේවල් පරීක්ෂා කර බලන වේලාවක් බවට පත්වීමට අවශ්‍ය නැත. මේ අවස්ථාව සැහැල්ලුවෙන් හා සතුටින් භුක්ති විඳිය හැකි ලෙසින් තබා ගන්න.
12 ඔබ සමඟ ඔබගේ දරුවන් ව නිදහස් ලෙස කථා කරවීම ඔබට අභියෝගයක් වන අතර, මේ සඳහා අසීමිත ඉවසීමක් අවශ්‍ය කරවිය හැක. එනමුත්, කලක් ගතවෙද්දී, හද උණුසුම් කරවන ප්‍රතිඵල ඔබ දකිනවා ඇත. “අපේ 14 හැවිරිදි පුතා කලකිරීමෙන් හා පසුබසින සුලු තත්ත්වයකින් සිටියා.” සැලකිලිමත් වන එක් මවක් සිහි කරන්නී ය. “අපගේ යාච්ඤාවන් සහ බලවත් උත්සාහයන් මගින්, ඔහු විවෘත ව කථා කරන්නට පටන් ගෙන තිබෙනවා.”
වර්ධනය ගෙන දෙන පවුලේ පාඩම
13. දරුවන් ව මුල් අවදියේ පටන් පුහුණු කිරීම බොහෝ සෙයින් වැදගත් වන්නේ ඇයි, තව ද එය කෙසේ ඉටු කර ගත හැකි ද?
13 දෙවියන් වහන්සේගේ වචනයෙන් නිති පතා උපදෙස් දීම ද “මානසික ශික්ෂණයට” ඇතුළත් වෙයි. තිමෝති සම්බන්ධයෙන් මෙන්, එවන් පුහුණුවක් පටන් ගත යුත්තේ “ළදරු කාලයේ” සිට ය. (2 තිමෝති 3:15, NW) මුල් අවදියේ සිට ම දෙනු ලබන පුහුණුව, උපන් දින උත්සව, දේශානුරාගී උත්සව, හෝ ආගමික නිවාඩු දිනයන්, වැනි පාසල් කාලය තුළ දී පැන නගින ඇදහිල්ල පිළිබඳ පරීක්ෂණ සඳහා දරුවන් ව ශක්තිමත් කරයි. එවැනි පරීක්ෂණවලට සූදානමක් නොමැති වුවොත්, දරුවෙකුගේ ඇදහිල්ල බිඳී සුණු විසුණු වී යා හැකියි. එමනිසා, වොච් ටවර් සමිතිය විසින් කුඩා දරුවන් සඳහා පිළියෙළ කර ඇති ලිස්නිං ටු ද ග්‍රේට් ටීචර් සහ මගේ බයිබල් කතන්දර පොත වැනි පොත්වලින් ප්‍රයෝජන ගන්න.a
14. පවුලේ පාඩම නිති පතා පවත්වා ගත හැක්කේ කෙසේ ද, තව ද නිති පතා පවුලේ පාඩමක් පවත්වා ගෙන යාම සඳහා ඔබ කර ඇත්තේ කුමක් ද?
14 අවධානය දිය යුතු තවත් අංගයක් නම්, පහසුවෙන් අවිධිමත් තත්ත්වයකට පත් විය හැකි, එසේත් නැතහොත් දෙමාපියන් සහ දරුවන් යන දෙපාර්ශ්වයට ම හිරිහැරයක් කරවන්නා වූ නිරස, යාන්ත්‍රික කටයුත්තක් බවට පත් විය හැකි පවුලේ පාඩමයි. කාරණා වැඩි දියුණු කිරීමට ඔබට හැක්කේ කෙසේ ද? රූපවාහිනි වැඩසටහන් හෝ වෙනත් බාධාවන්ගෙන් ඒ තැන ගැනීමට ඉඩ නොදී, පළමුවෙන් ඔබ කාලය ‘මිල දී ගත’ යුතු ය. (එපීස 5:15-17) “අපගේ පවුලේ පාඩම නිති පතා කර ගෙන යාමේ දුෂ්කරතාවයක් අපට තිබුණා,” යයි එක් පවුල් මූලිකයෙක් කියා සිටී. අපි විවිධ වේලාවන්වල එය කිරීමට උත්සාහ කර බැලුවා, අන්තිමේ දී, අපට ප්‍රායෝගික වේලාවක් වූ රාත්‍රි කාලය සොයා ගත්තා. දැන් අපගේ පවුලේ පාඩම නිති පතා පවත්වනවා.”
15. පවුලේ පාඩම, පවුලේ අවශ්‍යතාවයන්ට අනුව ඔබට සකස් කර ගත හැක්කේ කෙසේ ද?
15 ඊළඟට, ඔබගේ පවුලේ අවශ්‍යතා ගැන සලකා බලන්න. බොහෝ පවුල් සති පතා මුරටැඹ පාඩම සඳහා එක් ව සූදානම් වීමෙන් සතුටක් භුක්ති විඳිති. එනමුත්, පාසලේ දී මුහුණුපාන ගැටලු ඇතුළු, සාකච්ඡා කිරීමට තිබෙන විශේෂ ගැටලු කලින් කලට ඔබගේ පවුලට ඇතිවිය හැක. ක්වේෂ්චන්ස් යං පීපල් ආස්ක්—ආන්සර්ස් දැට් වර්ක් [පිබිදෙව් සඟරාවේ පළ වෙන යෞවන අය අසති ලිපි මාලාව] සහ මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල ලිපිවලට මෙම අවශ්‍යතාවය සපුරාලිය හැක. “අපගේ පිරිමි ළමුන් තුළ තිබෙන ආකල්පවල වෙනසක් කළ යුතු යයි අපට පෙනී ගිය විට, ඒ ගැන සාකච්ඡා කරන යං පීපල් ආස්ක් පොතේ පරිච්ඡේදයට අපි කෙළින් ම අවධානය යොමු කරනවා.” ඔහුගේ භාර්යාව මෙසේ පවසයි: “අපි නම්ය සුලු වීමට උත්සාහ කරනවා. අප අපගේ පාඩම සඳහා යමක් සැලසුම් කරගෙන තිබෙන විට, ඒ සමඟ ම වෙනත් දෙයක් ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යතාවයක් පැන නැඟී තිබෙනවා නම්, අවශ්‍යතාවයට අනුව අපි වෙනස් වෙනවා.”
16. (අ) ඔබගේ දරුවන් ඉගෙන ගනිමින් සිටින දෙය ඔවුන්ට තේරෙනවා ද කියා ඔබට සහතික විය හැක්කේ කෙසේ ද? (ආ) බයිබල් පාඩමක් පවත්වද්දී සාමාන්‍යයෙන් වැළකිය යුත්තේ කුමකින් ද?
16 ඔබගේ දරුවන් ඉගෙන ගනිමින් සිටින දේ ඇත්තට ම ඔවුන්ට තේරෙනවා ද කියා ඔබට සහතික විය හැක්කේ කෙසේ ද? විශාරද ගුරුවරයාණන් වන යේසුස් වහන්සේ, “නුඹ හිතන්නේ මොකද?” වැනි අදහස් විමසන ප්‍රශ්න ඇසූ සේක. (මතෙව් 17:25) එලෙස ම කිරීමෙන්, ඔබේ දරුවන් ඇත්තට ම සිතන්නේ මොනවා ද කියා දැනගැනීමට උත්සාහ කරන්න. එක් එක් දරුවාට ඔහුගේ ම හෝ ඇගේ ම වචනවලින් පිළිතුරු දීමට දිරිගන්වන්න. ඇත්තෙන් ම, ඔවුන්ගේ අවංක ප්රකාශනයන්ට ඔබ කෝපයෙන් හෝ කම්පනයෙන් යුතු ව ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරනවා නම්, ඔබ සමඟ විවෘත ව කථා කිරීමට ඔවුන් අදිමදි කරනවා විය හැකි ය. එමනිසා, සන්සුන් ව සිටින්න. පවුලේ පාඩම දඬුවම් කිරීමේ වේලාවක් බවට හරවා ගැනීමෙන් වළකින්න. එය සතුටින් භුක්ති විඳිය හැකි, වර්ධනාත්මක එකක් විය යුතු ය. එක් පියෙක් මෙසේ කියයි: “මගේ දරුවෙකුට යම් ගැටලුවක් තිබෙනවා කියා මා දැනගත් විට, මම වෙනත් වේලාවක ඒ ගැන කටයුතු කරන්නට යනවා.” මවක් එයට මෙසේ එකතු කරන්නී ය: “පවුල් පාඩමේ දී උපදෙස් දෙනවාට වඩා, දරුවා සමඟ වෙන ම ම කටයුතු කරන විට, දරුවා ව්‍යාකුලත්වයට පත්වන්නේ නැහැ, ඒ වගේ ම වඩාත් නිදහසේ කථා කිරීමට නැඹුරු වෙනවා.”
17. පවුල් පාඩමක් සිත්ගන්නා සුලු රසවත් එකක් කිරීම සඳහා කුමක් කළ හැකි ද, තව ද ඔබගේ පවුලට හොඳින් ක්‍රියාත්මක වී ඇත්තේ කුමක් ද?
17 විශේෂයෙන් ම වෙනස් වයස්වල සිටින දරුවන් සමඟ ඔබ කටයුතු කරන විට, ඔවුන් ව පවුලේ පාඩමකට සහභාගි කර ගැනීම ඔබට අභියෝගයක් වන්නට පුළුවන. බාල දරුවන්ට නොසන්සුන්, දඟලන හෝ කෙටි අවධානයක් පිළිබිඹු කිරීමේ නැඹුරුවාවක් තිබෙන්නට පුළුවන. ඔබට කුමක් කළ හැකි ද? පාඩමේ වාතාවරණය සැහැල්ලුවෙන් තබා ගැනීමට උත්සාහ කරන්න. ඔබේ දරුවන්ට වැඩි වේලාවක් එක දෙයක අවධානය තබා ගැනීමට බැරි නම්, කෙටි වේලාවක් යොදා ගන්න, නමුත් එලෙස වැඩි වාර ගණනක් කරන්න. ඔබ උද්යෝගි කෙනෙක් නම්, එය ද උපකාරවත් වෙයි. “මුලසුන හොබවන්නා, සැබෑ උනන්දුවෙන් එසේ කරාවා.” (රෝම 12:8, NW) සියල්ලන් ව ම සම්බන්ධ කර ගන්න. පින්තූරුවල තිබෙන දේ ගැන විස්තර කිරීමට හෝ සරල ප්‍රශ්නවලට පිළිතුරු දීමට ළාබාල දරුවන්ට හැකි විය හැක. අමතර ගවේෂණ කිරීමට හෝ, සලකා බලනු ලබන කාරණයේ ප්‍රායෝගික අදාළ කිරීමක් කරන ලෙස නහඹර වියේ දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැක.
18. සෑම අවස්ථාවක දී ම, දේව වචනය පැළපදියම් කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේ ද, කුමන ප්‍රතිඵල සහිත ව ද?
18 කෙසේ වුවද, ආත්මික උපදෙස් දීම සතියේ පැයකට සීමා නොකරන්න. සෑම අවස්ථාවක දී ම, දේව වචනය ඔබගේ දරුවන් තුළ පැළ පදියම් කරන්න. (ද්විතීය කථාව 6:7) ඔවුන්ට සවන් දීමට කාලය ගන්න. අවශ්‍ය විටෙක, ඔවුන්ට අවවාද අනුශාසනා දී, ඔවුන් ව සනසන්න. (1 තෙසලෝනික 2:11 සසඳන්න.) දයානුකම්පිත වන්න, අනුකම්පා සහගත වන්න. (ගීතාවලිය 103:13; මලාකි 3:17) එසේ කිරීමෙන්, ඔබ ඔබගේ දරුවන් නිසා ‘ප්‍රීති වන’ අතර, ඔවුන් ව දෙවියන් වහන්සේගේ නව ලොව තුළට සුරැකි ව ගෙනයනු ලැබීමට රුකුලක් වනවා ඇත.—හිතෝපදේශ 29:17.
“සිනාසෙන්ට කාලයක්”
19, 20. (අ) පවුල් ජීවිතය තුළ විනෝදාංශ ඉටු කරන කාර්ය භාරය කුමක් ද? (ආ) තම පවුලේ විනෝදාස්වාදය දෙමාපියන්ට සූදානම් කළ හැකි සමහරක් ක්‍රම මොනවා ද?
19 “සිනාසෙන්ට කාලයක් . . . නටන්ට කාලයක්” තිබේ. (දේශනාකාරයා 3:4) “සිනාසීම” යන වචනයට නියමිත හෙබ්‍රෙව් වචනය “උත්සව පැවැත්වීම.” “සෙල්ලම් කිරීම,” “ක්‍රීඩා කිරීම,” හෝ “හොඳ කාලයක් ගත කිරීම” යන යෙදුම් මගින් ද පරිවර්තනය කරනු ලැබිය හැක. (2 සාමුවෙල් 6:21; යෝබ් 41:5; විනිශ්චයකාරයන්ගේ පොත 16:25; නික්මයාම 32:6; උත්පත්ති 26:8) සෙල්ලම් කිරීමට ප්‍රයෝජනදායක අරමුණක් ඉටු කළ හැකි අතර, එය ළමුන් සහ යෞවනයන් සඳහා වැදගත් ය. බයිබල් කාලවල දී, දෙමාපියෝ තම පවුල් සඳහා විවේකය හා විනෝදය සඳහා දේවල් පිළියෙළ කළෝ ය. (ලූක් 15:25 සසඳන්න.) ඔබත් එසේ ම කරන්නෙහි ද?
20 “අපි මහජන උද්‍යාන ප්‍රයෝජනයට ගන්නවා” යයි එක් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් පවසයි. “අපි සමහර යෞවන සහෝදරයන්ට ආරාධනා කර, පන්දු ක්‍රීඩාවක් කර එකට එකතු වී උද්‍යානයේ දී ම කෑම කනවා. ඔවුන් හොඳ ආස්වාදයක් ලැබ, යහපත් ඇසුර භුක්ති විඳිනවා.” වෙනත් දෙමාපියෙක් මීට යමක් මෙසේ එකතු කරයි: “අපි අපේ පිරිමි ළමුන් සමඟ යම් යම් දේවල් කරන්නට සැලසුම් කරනවා. අපි පීනන්න යනවා, පන්දු ක්‍රීඩා කරනවා, නිවාඩු ගමන් යනවා. නමුත් අපි විනෝදාස්වාදය එහි නියම තැනේ තබනවා, සමබරතාවය පවත්වා ගැනීමේ ඇති අවශ්‍යතාවය මම කාවද්දනවා.” සුදුසු ලෙස එකට එකතු වීම් හෝ සත්වෝද්‍යාන සහ කෞතුකාගාර නැරඹීමට යාම වැනි යහපත් විනෝදාංශ, දරුවෙකු ව ලෞකික වින්දනයන්ට ඇදී යාමෙන් වැළැක්වීමට බොහෝ සෙයින් දායක විය හැක.
21. තම දරුවන් ලෞකික නිවාඩු උත්සව නොපැවැත්වීම නිසා, තමන්ට යමක් අහිමිවී ඇතැයි යන හැඟීම ඔවුන් තුළ ඇති වීම දෙමාපියන්ට වැළැක්විය හැක්කේ කෙසේ ද?
21 ඔබේ දරුවන් උපන්දින උත්සව හෝ ක්‍රිස්තියානි නොවන නිවාඩු දින නොපවත්වන හෙයින්, ඔවුන්ට යමක් අහිමි වී ඇති බවක් හැඟී නොයාම ද වැදගත් ය. ඔබගේ පැත්තෙන් ඔබ සංවිධානය වී සිටීමෙන්, අවුරුද්ද පුරා තිබෙන බොහෝ ප්‍රීතිමත් අවස්ථාවන් ගැන අපේක්ෂාවෙන් බලා සිටින්නට ඔවුන්ට හැකි ය. ඇයි! යම් ද්‍රව්‍යමය දෙයක් දීමෙන් තම ප්‍රේමය පෙන්වීම සඳහා යහපත් දෙමාපියෙකුට යම් නිවාඩු දිනයක් නිදහසට කරුණක් සේ යොදා ගන්නට අවශ්‍ය නැත. තම ස්වර්ගික පියාණන් මෙන්, ‘තම දරුවන්ට යහපත් තෑගි දෙන ආකාරය හේ දනී.’—සිය කැමැත්තෙන් ම ය—මතෙව් 7:11.
ඔබගේ පවුල් උදෙසා සදාකාල අනාගතයක් සුරැකි ව අත්කර ගැනීම
22, 23. (අ) මහත් පීඩාව ළං වෙනවාත් සමඟ ම, දේව-භයැති පවුල්වලට කුමක් ගැන සහතික විය හැකි ද? (ආ) දෙවියන් වහන්සේගේ නව ලොව තුළට සුරැකි ව පා තැබීම සඳහා ක්‍රියා කිරීමට පවුල්වලට කළ හැක්කේ කුමක් ද?
22 ගීතිකාකරු මෙසේ යාච්ඤා කළේ ය: “ස්වාමිනී, [අහෝ යෙහෝවඃ වහන්ස NW ], ඔබ ඔවුන් ආරක්ෂාකරන සේක. මේ පරම්පරාවෙන් සෑමකල්ම ඔබ ඔවුන් රැකගන්නසේක.” (ගීතාවලිය 12:7) සාතන්ගෙන් පැමිණෙන පීඩන වැඩිවෙනවා සිකුරුයි—විශේෂයෙන් ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පවුල්වලට එරෙහි ව ය. එහෙත්, මොනතරම් වැඩිවුණත් මේ ප්රහාරයන්ට නැගී සිටිය හැකියි. යෙහෝවඃ වහන්සේගේ උපකාරය සහ ස්වාමිපුරුෂයන්ගේ, භාර්යාවන්ගේ, සහ දරුවන්ගේ පැත්තෙන් දැඩි අධිෂ්ඨානයක් ඇතුව වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පවුල්වලට—ඔබගේ පවුල ඇතුළු—මහත් පීඩාව අතරතුරේ දී, ජීවත් ව ආරක්ෂා වීමේ බලාපොරොත්තුව ඇති ව සිටින්නට හැකි ය.
23 ස්වාමිපුරුෂයෙනි, භාර්යාවෙනි, දෙවියන් වහන්සේ ඔබට පවරා ඇති කාර්ය භාරයන් ඉටු කිරීමෙන් ඔබගේ විවාහයට සමාදානය හා එක්සත්කම ගෙන එන්න. දෙමාපියෙනි, ඔබගේ දරුවන්ට බොහෝ සෙයින් අවශ්‍ය වන පුහුණුව හා හික්මවීම සඳහා කාලය මිල දී ගනිමින් ඔවුන් කෙරෙහි නොකඩවා ඔබින ආදර්ශයක් තබන්න. ඔවුන්ට කථා කරන්න. ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ගේ ජීවිතවලට බෙහෙවින් බලපාන දෙයකි එය! දරුවෙනි, ඔබේ දෙමාපියන්ට සවන් දී, ඔවුන්ට කීකරු වන්න. යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇතුව, ඔබට සාර්ථක වී, පැමිණෙන්ට තිබෙන දෙවියන් වහන්සේගේ නව ලොවේ සදාකාලික අනාගතයක් ඔබට සුරැකි ව අත්කර ගැනීමට හැකි වනු ඇත. w92 10/15
[පාදසටහන්වල]
a ඇතැම් භාෂාවලින් ශ්‍රව්‍ය කැසට් පට ද ලබා ගත හැක.
ආහාර ගන්නා වේලාව, පවුලේ එක්සත්කම සහ අදහස් හුවමාරුව දියුණු කරන ප්‍රීතිමත් අවස්ථාවක් විය හැක
ඔබට මතක ද?
◻ තම අදහස් හුවමාරුව වැඩි දියුණු කිරීමට ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන්ට හැක්කේ කෙසේ ද?
◻ “යෙහෝවඃ වහන්සේගේ මානසික ශික්ෂණය” තුළ, දරුවන් ව හදා වඩා ගැනීමට දෙමාපියන්ට හැක්කේ කෙසේ ද? (එපීස 6:4, NW)
◻ පවුලේ පාඩම වර්ධනය කරවන සුලු හා වඩාත් ආශාකරවන සුලු එකක් කර ගත හැකි ක්‍රම සමහරක් මොනවා ද?
◻ තම පවුල්වල විනෝදාස්වාදය සඳහා දේවල් පිළියෙළ කිරීමේ ලා දෙමාපියන්ට කුමක් කළ හැකි වනු ඇත් ද?
සංගීතය—ප්‍රබල බලපෑමක්
දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ පොතක කර්තෘ මෙසේ පවසයි: “මා සබයක් ඉදිරියේ සිටිගෙන, . . . මත්පැන් ගලා යන විනෝද උත්සව, කොකේන්, ගංජා හෝ වෙනත් ඕනෑ ම ආකාරයේ මනස විකෘති කරන මත් ද්‍රව්‍යයන්ගෙන් මත් වී සිටීමට පක්ෂ ව කථා කළොත්, ඔවුන් මා දෙස මහා පුදුමයෙන් ගල් ගැසී බලා සිටිනු ඇත. . . . [එහෙත්], මේවා ප්‍රසිද්ධියේ රුකුල් දෙන තැටි හෝ කැසටි පටි මිල දී ගැනීමට දෙමාපියෝ තම දරුවන්ට බොහෝ විට මුදල් දෙති.” (සිග් සිග්ලර් විසින් රචිත රේසිං පොසිටිව් කිඩ්ස් ඉන් අ නෙගටිව් වර්ල්ඩ්) නිදසුනක් වශයෙන් එක්සත් ජනපදයේ, ලිංගික දේවල් සවිස්තර ව කියන්නා වූ රැප් සංගීතයේ පද මාලා බොහෝ යෞවනයන්ගේ තොල්වල වේගයෙන් යළි යළි මිමිණෙයි. ඔබගේ දරුවන් එවැනි භූතමය ඇමිවලට හසුවීමෙන් වළක්වා ගන්නා පිණිස, සංගීතය තෝරා ගැනීමට ඔබ ඔබගේ දරුවන්ට උපකාර කරන්නෙහි ද?