ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 10/1 10 පි.
  • සන්තෝෂයට එක ම මඟ විවාහය ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සන්තෝෂයට එක ම මඟ විවාහය ද?
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සන්තෝෂ වීමට තිබෙන හේතු
  • “ස්වාමීන්වහන්සේ තුළ පමණක්”
  • “ස්වාමීන්වහන්සේ තුළ” විවාහ වීමට නොහැකි වන විට
  • සැබෑ සන්තෝෂයට ප්‍රධාන මඟ
  • ‘පුත්‍රයන්ට හා දූවරුන්ට වඩා හොඳ දෙයක්’
  • සන්තෝෂයට එක ම මඟ විවාහය පමණක් නොවේ
  • යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී ලැබෙන සැබෑ සන්තෝෂය
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාහය දෙවිගෙන් ලද දීමනාවක්
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • තනිකඩභාවය හා විවාහය පිළිබඳ නැණවත් උපදෙස්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාහය සහ විවාහ නොවී ඉන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 10/1 10 පි.

සන්තෝෂයට එක ම මඟ විවාහය ද?

“ඈ කැමති කෙනෙකු සමග විවාහවන්ට නිදහස්ව සිටින්නීය; නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය. නුමුත් ඈ සිටින ලෙසම සිටින්නීනම්, . . . ඈ වඩා වාසනාවන්තියක්ය [ඈ වඩා සන්තෝෂවත් ය NW ].”—1 කොරින්ති 7:39, 40.

1. ශුද්ධ ලියවිලිවල යෙහෝවඃ වහන්සේ ව විස්තර කරන්නේ කෙසේ ද, තව ද උන් වහන්සේ ස්වකීය මැවිලි උදෙසා කර ඇත්තේ කුමක් ද?

යෙහෝවඃ වහන්සේ “සන්තෝෂවත් දෙවියන් වහන්සේ” ය. (1 තිමෝති 1:11, NW) “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” ත්‍යාගිශීලී ව සපයා දෙන තැනැන් වහන්සේ වශයෙන්, මනුෂ්‍යයන් සහ දේව දූතයන් වන ස්වකීය සියලු බුද්ධිමත් මැවිලිවලට උන් වහන්සේගේ සේවය තුළ සන්තෝෂවත් වීම සඳහා ඔවුන්ට හරියට ම අවශ්‍ය කරන්නා වූ දෙය ප්‍රයෝජනය සඳහා ලබා ගැනීමට සලස්වන සේක. (යාකොබ් 1:17) මීටත් වඩා, මිහිරි ගී ගයන කුරුල්ලෙක්, ප්‍රීති උද්දාමයෙන් සෙල්ලම් කරන සුරතල් බලු පැටවෙක්, හෝ සෙල්ලම් කරන ඩොල්පිනයෙක්, යන මේ සියල්ලෙන් ම පෙන්වන්නේ, යෙහෝවඃ වහන්සේ සත්ත්වයන්ටත් ඔවුන්ට අනුකූල වූ ජීවිතයන්හි තම ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳීමට මවා තිබෙන බවයි. ගීතිකාකරු තවදුරටත් කාව්‍යමය අයුරින් ප්‍රකාශ කළේ: “ස්වාමීන්ගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටවූ, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති” යනුවෙනි.—ගීතාවලිය 104:16.

2. (අ) යේසුස් වහන්සේ, සිය පියාණන්ගේ කැමැත්ත කිරීමෙහි සන්තෝෂය ලබන බව පෙන්වන්නේ කුමකින් ද, (ආ) සන්තෝෂය ලබා ගැනීමට යේසුස් වහන්සේගේ ගෝලයන් හට තිබුණේ කිනම් හේතු ද?

2 යේසුස් වහන්සේ වනාහි ‘දෙවියන් වහන්සේගේ ස්වරූපයේ නියම පිළිබිඹු ව වන සේක.’ (හෙබ්‍රෙව් 1:3, NW) එසේ නම්, යේසුස් වහන්සේ ව “ශුභාන්විත [සන්තෝෂවත් NW ] එකම අධිපතියාණන්වහන්සේ” ලෙස හඳුන්වනු ලැබ තිබීම පුදුමයට කරුණක් නොවේ. (1 තිමෝති 6:15) යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කිරීම ආහාර ගැනීමටත් වඩා ප්‍රීති ප්‍රමෝදය ගෙන දිය හැකි ආකාරය ගැන පුදුමාකාර ආදර්ශයක් උන් වහන්සේ අප හට සපයන සේක. දෙවියන් වහන්සේට භයින් යුතු ව ක්‍රියා කිරීමේ දී, එනම් උන් වහන්සේට ගැඹුරු ගෞරවයක් හා උන් වහන්සේ ව අසතුටු කිරීමට සනීපදායී බියක් ඇති ව සිටීමෙන් ප්‍රීතිය භුක්ති විඳිය හැකි බව ද යේසුස් වහන්සේ අපට පෙන්වන සේක. (ගීතාවලිය 40:8; යෙසායා 11:3; යොහන් 4:34) යේසුස් වහන්සේගේ ගෝලයන් 70 දෙනා රාජ්‍යය දේශනා කිරීමේ චාරිකාවකින් පසු, “ප්‍රීතියෙන්” හැරී ඇවිත් උන් වහන්සේට ඒ බව වාර්තා කළ විට, යේසුස් වහන්සේ ම ‘ශුද්ධාත්මයෙන් ප්‍රීතිමත් වූ සේක.’ තම ප්‍රීතිය ගැන සිය පියාණන්ට යාච්ඤාවක් මඟින් ප්‍රකාශ කළායින් පසු, උන් වහන්සේ සිය ගෝලයන් දෙසට හැරී මෙසේ වදාළ සේක: “නුඹලා දකින දේ දකින ඇස් වාසනාවන්තය [සන්තෝෂවත් ය NW ]. මක්නිසාද නුඹලාට කියමි—නුඹලා දකින දේ දකින්ටත් අසන දේ අසන්ටත් බොහෝ අනාගතවක්තෘවරුද රජවරුද ආශාවෙන් සිටියෝය; නුමුත් දුටුවේවත් ඇසුවේවත් නැත.”—ලූක් 10:17-24.

සන්තෝෂ වීමට තිබෙන හේතු

3. සන්තෝෂය සඳහා තිබෙන සමහරක් හේතු මොනවා ද?

3 මේ අන්තිම කාලයේ දී, යෙහෝවඃ වහන්සේගේ වචනය සහ අරමුණ ඉටුකරමින් සිදුවන දේවල් දැකීමේ දී අපගේ ඇස් සන්තෝෂවත් නොවිය යුතු ද? පුරාණයේ විසූ යෙසායා, දානියෙල් සහ දාවිත් වැනි ඇදහිලිවන්ත ප්‍රොපේතවරුන් සහ රජවරුන් හට තේරුම් ගැනීමට බැරි වූ අනාවැකි තේරුම් ගැනීමේ දී අප ප්‍රීතියෙන් ඉපිළ නොයා යුතු ද? සන්තෝෂවත් අධිපතියාණන් වන අපගේ රජ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය යටතේ සන්තෝෂවත් දෙවි වන යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට ලැබීම ගැන අපි සතුටු නොවන්නෙමු ද? ඇත්තෙන් ම අපි සතුටු වන්නෙමු!

4, 5. (අ) යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ සන්තෝෂය රඳවා ගැනීමට නම්, අප මඟ හැරිය යුත්තේ කුමක් ද? (ආ) සන්තෝෂයට දායක වන සමහරක් දේවල් මොනවා ද, මෙහි දී පැන නගින්නේ කුමන ප්‍රශ්නය ද?

4 කෙසේ වෙතත්, යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ සන්තෝෂය තබා ගැනීමට අපට වුවමනා නම්, සන්තෝෂය සඳහා අපගේ මතිමතාන්තර ලෝකයේ අදහස් මත පදනම් කර ගැනීමෙන් අප වැළකිය යුතු ය. සන්තෝෂය සඳහා අවශ්‍ය කරන්නේ කුමක් දැයි යන්න ගැන ලෝකයේ මතවලට අපගේ සිතිවිලි අඳුරු කළ හැකි ය. ඒ මන්ද, මේවාට ඇතුළත් වන්නේ, ද්‍රව්‍යමය වත්පොහොසත්කම, ප්‍රදර්ශනය කරන්නා වූ ජීවන රටාව, යනාදිය වන නිසා ය. තව ද, එවැනි දේවල් මත ලබන “සන්තෝෂය” කෙටි කාලීන ය, මන්දයත් මේ ලෝකය පහ ව යමින් තිබේ.—1 යොහන් 2:15-17.

5 සන්තෝෂය සඳහා ලෝකයේ ඉලක්ක අත්කර ගැනීම සැබෑ සන්තෝෂය ගෙන එන්නේ නැති බව යෙහෝවඃ වහන්සේට කැප වූ බොහෝ සේවකයෝ වටහා ගනිති. අපගේ ස්වර්ගික පියාණන් පමණක්, ස්වකීය සේවකයන්ගේ නියම සන්තෝෂයට දායක වන ආත්මික හා ද්‍රව්‍යමය දේවල් සපයන සේක. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් උන් වහන්සේ අපට සපයන ආත්මික ආහාර සඳහා අප කොතරම් ස්තුතිවන්ත විය යුතු ද! (මතෙව් 24:45-47) දෙවියන් වහන්සේගේ ප්‍රේමනීය හස්තයෙන් අප ලබන්නා වූ ශාරීරික ආහාර හා වෙනත් දේවල් සම්බන්ධයෙන් ද අපි කෘතඥ පූර්වක වෙමු. ඊළඟට, විවාහයේ මවිතකර දීමනාව ද, පවුල් ජීවිතයට සම්බන්ධ වෙනත් ප්‍රීතිය ගෙන දෙන කාරණා ද තිබේ. නායොමිගේ වැන්දඹු ලේලිවරුන් දෙදෙනා ගැන ඇගේ හෘදයාංගම ආශාව මෙම වචනවල පළ කොට තිබීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත: “නුඹලා එකිනෙකා තම තමාගේ පුරුෂයා ඇතුව ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙස ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] නුඹලාට වර [දීමනාවක් NW ] දෙනසේක්වා.” (රූත් 1:9) එමනිසා, විවාහය යනු මහත් සන්තෝෂයන්ට දොර විවෘත කළ හැකි යතුරකි. එහෙත් සන්තෝෂවත් ජීවිතයකට දොරටුව විවෘත කරන එක ම යතුර විවාහය ද? විශේෂයෙන් ම යෞවනයන් මෙය මෙසේ ද කියා බැරෑරුම් ලෙස පරීක්ෂා කොට බැලිය යුතු ය.

6. උත්පත්ති පොතට අනුව, විවාහ විධිවිධානයේ මූලික අරමුණ වූයේ කුමක් ද?

6 විවාහයේ මූලාරම්භය ගැන විස්තර කරමින් බයිබලය මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූ සේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූ සේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූ සේක; දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත්කරගනිව්.” (උත්පත්ති 1:27, 28) යෙහෝවඃ වහන්සේ විසින් විවාහය ස්ථාපිත කිරීම මගින් තවත් මිනිස් මැවිලි පැවැත්මට ගෙන ඒමට ආදම් ව යොදා ගැණුනු අතර, මෙසේ මිනිස් සංහතිය ව්‍යාප්ත වීමට සලස්වන ලදි. එහෙත් මීට වඩා බොහෝ දේවල් විවාහයට ඇතුළත් වෙයි.

“ස්වාමීන්වහන්සේ තුළ පමණක්”

7. එක් ඇදහිලිවන්ත ආදි පිතෘවරයෙක් දුර දිග බලා කටයුතු කළේ කිනම් විවාහ අවශ්‍යතාවය සපුරාලීමට ද?

7 විවාහ විධිවිධානයේ මූලාරම්භකයාණෝ යෙහෝවඃ වහන්සේ නිසා, ස්වකීය සේවකයන්ගේ සන්තෝෂයට දායක වන විවාහ දිවියක් සඳහා ප්‍රමිති නියම කිරීම උන් වහන්සේගෙන් අපි අපේක්ෂා කරන්නෙමු. ආදි පිතෘවරුන්ගේ කාලයේ දී, යෙහෝවඃ වහන්සේට නමස්කාර නොකරන්නන් සමඟ විවාහ වීම තද බල ලෙස අධෛර්ය කරන ලදි. ආබ්‍රහම්ගේ සේවකයා වන එලියාසර් ආදි පිතෘගේ පුත්‍රයා වන ඊසාක්ට කානාන් දේශයෙන් භාර්යාවක් නොගෙනෙන මෙන් ආබ්‍රහම් ඔහුගෙන් යෙහෝවඃ වහන්සේ මත කළ දිවුරුමක් ගත්තේ ය. දිගු ගමනක් ගමන් කළ එලියාසර්, ‘යෙහෝවඃ වහන්සේ විසින් ඔහුගේ ස්වාමියාගේ පුත්‍රයාට නියම කළ ස්ත්‍රී’ ව සොයා ගනු පිණිස ආබ්‍රහම්ගේ උපදෙස් අකුරට ම පිළිපැද්දේ ය. (උත්පත්ති 24:3, 44) ඊසාක් රෙබෙකා ව විවාහ කර ගත්තේ මේ අයුරිනි. ඔවුන්ගේ පුත්‍ර ඒසව් මිථ්‍යාදෘෂ්ටික හිත්තීයවරුන් අතරින් භාර්යාවන් තෝරා ගත් විට, මේ ස්ත්‍රීහු “ඊසාක්ටද රෙබෙකාටද ශෝක හේතුවක් වූහ.”—උත්පත්ති 26:34, 35; 27:46; 28:1, 8.

8. ව්‍යවස්ථා ගිවිසුම මගින් විවාහය මත පමුණුවන ලද තහංචිය වූයේ කුමක් ද, ඒ මන්ද?

8 ව්‍යවස්ථා ගිවිසුම යටතේ, නාමික වශයෙන් සඳහන් කර තිබූ කානාන් ජාතීන්ට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් විවාහ කර ගැනීම තහනම් වී තිබිණි. යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟට මෙසේ ආඥා කළ සේක: “ඔවුන් සමඟ අවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න; ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගනින්න. මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.”—ද්විතීය කථාව 7:3, 4.

9. බයිබලය ක්‍රිස්තියානින් හට විවාහය සඳහා දෙන උපදෙස කුමක් ද?

9 එමනිසා, යෙහෝවඃ වහන්සේට නමස්කාර නොකරන අය සමඟ විවාහ වීමට එරෙහි ව ක්‍රිස්තියානි සභාව තුළ ඒ හා සමාන තහංචි පනවා තිබීම පුදුමයක් නොවේ. ප්‍රේරිත පාවුල් තම සහකාර ක්‍රිස්තියානින් හට මෙසේ අවවාද කළේ ය: “නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙල්ලා. ධර්මමිෂ්ඨකමෙත් අධර්මමිෂ්ඨකමෙත් [නොපනත්කමේත් NW ] ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද?” (2 කොරින්ති 6:14, 15) එම උපදෙස විවිධ පැතිවලට අදාළ වන අතර, සහතික ව ම විවාහයට ද අදාළ වෙයි. යෙහෝවඃ වහන්සේට කැප වූ සියලු සේවකයන් හට පාවුල් දෙන ඉතා පැහැදිලි උපදෙස වන්නේ, ඔවුන් යමෙකු සමඟ විවාහ වීමට සලකා බලනවා නම්, ඒ “ඔහු ස්වාමීන් වහන්සේ තුළ එකමුතු වී සිටී නම් පමණි” යන්න ය.—1 කොරින්ති 7:39, NW පාද සටහන.

“ස්වාමීන්වහන්සේ තුළ” විවාහ වීමට නොහැකි වන විට

10. බොහෝ අවිවාහක ක්‍රිස්තියානින් කරමින් සිටින්නේ කුමක් ද, තව ද කුමන ප්‍රශ්නය පැන නගී ද?

10 තනිකඩ ක්‍රිස්තියානින් බොහෝ දෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් තනිකඩ භාවයේ දීමනාව වර්ධනය කිරීමට තෝරා ගෙන සිටිති. එමෙන් ම, වර්තමානයේ දේව භක්තික කලත්‍රයෙක් සොයා ගැනීමට නොහැකි වීම නිසා, “ස්වාමීන්වහන්සේ තුළ” විවාහ වීමට නොහැකි වී සිටින බොහෝ ක්‍රිස්තියානිහු, තමන්ගේ දැඩි විශ්වාසය යෙහෝවඃ වහන්සේ කෙරෙහි රඳවා තබා, නොඇදහිලිකාරයෙකු සමඟ විවාහ වෙනවාට වඩා තනිකඩ ව සිට තිබේ. ඔවුන්ට පිරිසිදු තනිකඩ භාවය පවත්වා ගෙන යාමට හේතු කරවන ප්‍රීතිය, සමාදානය, ඇදහිල්ල, සහ ආත්ම දමනය වැනි ඵල දෙවියන් වහන්සේගේ ආත්මය විසින් ඔවුන් තුළ හටගන්වයි. (ගලාති 5:22, 23) දෙවියන් වහන්සේට දක්වන භක්තියේ මෙම පරීක්ෂණයට සාර්ථක ව මුහුණ දෙන අපගේ ක්‍රිස්තියානි සහෝදරියන් ගණනාවක් සිටින අතර, ඒ අය වෙත අපි වඩාත් ගැඹුරු ගෞරවයක් දක්වමු. රටවල් ගණනාවක, ඔවුන්ගේ සංඛ්‍යාව සහෝදරයන්ගේ සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩි අතර, එම හේතුවෙන්, ඔවුහු දේශනා කිරීමේ වැඩයේ වැඩි කොටසක් ඉටු කරති. ඇත්තෙන් ම, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] වචනය දෙනසේක. [ශුභ NW] ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය.” (ගීතාවලිය 68:11) ඇත්ත වශයෙන් ම, දෙපාර්ශ්වයේ ම විවාහ නොවී සිටින දෙවියන් වහන්සේගේ සේවකයෝ, ‘ඔවුන්ගේ මුළු හදවතින් යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයක් තබන නිසාත්, උන් වහන්සේ ඔවුන්ගේ මාවත් සමතලා කරන නිසාත්’ අඛණ්ඩතාවය පවත්වා ගෙන සිටිති. (හිතෝපදේශ 3:5, 6) එහෙත්, වර්තමානයේ දී, “ස්වාමීන්වහන්සේ තුළ” විවාහ වීමට නොහැකි අය, අනිවාර්යයෙන් ම අසන්තෝෂයෙන් සිටින්නට යනවා ද?

11. බයිබල් ප්‍රතිපත්තිවලට තිබෙන ගෞරවය නිසා තනිකඩ ව සිටින ක්‍රිස්තියානින්ට කුමක් ගැන සහතික විය හැකි ද?

11 අපි, සන්තෝෂවත් දෙවියන් වන යෙහෝවඃ වහන්සේගේ සේවකයන් බවත්, එමෙන් ම සන්තෝෂවත් අධිපතියාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යටතේ සේවය කරන්නන් බවත් මතකයේ තබා ගමු. එමනිසා බයිබලයේ පැහැදිලි ව පනවා ඇති තහංචිවලට ගරු කිරීමක් වශයෙන්, “ස්වාමීන්වහන්සේ තුළ” විවාහ කලත්‍රයෙකු සොයා ගැනීමට අපහසු නිසා අප තනිකඩ ව සිටින විට, යෙහෝවඃ වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ අපට අසන්තෝෂයෙන් සිටින්නට ඉඩ දේවියයි සිතීම තර්කානුකූල ද? සහතික ව ම නැත. මේ නිසා, ක්‍රිස්තියානින් වශයෙන් විවාහ නොවී සිටින අතරතුරේ දී සන්තෝෂයෙන් සිටින්නට හැකි වේ ය යන්න අප නිගමනය කළ යුතු ය. අප විවාහ වී සිටියත් තනිකඩ ව සිටියත් අප ව සැබවින් ම සන්තෝෂ කරන්නට යෙහෝවඃ වහන්සේට පුළුවන.

සැබෑ සන්තෝෂයට ප්‍රධාන මඟ

12. අකීකරු දේව දූතයන් පිළිබඳ සිද්ධිය, විවාහය ගැන කුමක් අඟවයි ද?

12 දෙවියන් වහන්සේගේ සේවකයන් සියල්ලන් උදෙසා සන්තෝෂයට එක ම ප්‍රධාන මඟ විවාහය පමණක් නොවේ. උදාහරණයක් වශයෙන්, දේව දූතයන් ව සැලකිල්ලට ගන්න. මහා ජල ගැල්මට පෙර, ඇතැම් දේව දූතයන්, ආත්ම මැවිලිවලට අස්වාභාවික වූ ආශාවන් වර්ධනය කළ අතර, තමන්ට විවාහ වීමට නොහැකි වීම නිසා, අතෘප්තිමත් ව, ස්ත්‍රීන් ව භාර්යාවන් වශයෙන් පාවා ගැනීම සඳහා මාංසික ශරීර මුර්තිමත් කර ගත්හ. මේ අයුරින් මෙම දේව දූතයන්, “ස්වකීය [නිසි NW ] වාසස්ථානය අත්හැරිය” බැවින්, දෙවියන් වහන්සේ, “මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් [ඔවුන්] බැඳ තැබූසේක.” (යූද් 6; උත්පත්ති 6:1, 2) දේව දූතයන් හට විවාහ වීමට දෙවියන් වහන්සේ කිසිවිටෙකත් විධිවිධාන නොයෙදූ බව පැහැදිලි ය. එමනිසා ඔවුන්ගේ සන්තෝෂයට ප්‍රධාන මඟ වන්නට තිබුණේ විවාහය නොවේ.

13. ශුද්ධ දේව දූතයන් සන්තෝෂයෙන් සිටින්නේ මන්ද, තව ද දෙවියන් වහන්සේගේ සියලු සේවකයන් හට මෙයින් අඟවන්නේ කුමක් ද?

13 එහෙත්, ඇදහිලිවන්ත දේව දූතයෝ සන්තෝෂයෙන් සිටිති. යෙහෝවඃ වහන්සේ පොළොවේ අත්තිවාරම දැමුවේ “දෙවියන්වහන්සේගේ සියලු [දේව දූතමය] පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී” ය. (යෝබ් 38:7) ශුද්ධ දේව දූතයන් සන්තෝෂයෙන් සිටින්නේ මන්ද? මක්නිසාදයත්, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට කිරීම පිණිස, ඔවුන් “උන් වහන්සේගේ වචනයේ ශබ්දයට සවන් දෙමින්,” උන් වහන්සේගේ සේවයේ නිරන්තර ව යෙදී සිටින හෙයිනි. “උන් වහන්සේ සතුටු කරන දෙය” කිරීමෙන් ඔවුහු සතුටු වෙති. (ගීතාවලිය 103:20, 21, NW පාද සටහන) එසේ ය, ශුද්ධ දේව දූතයන් හට සන්තෝෂය පැමිණෙන්නේ ඇදහිලිවන්ත ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීමෙනි. මිනිසා සඳහා ද සන්තෝෂයට ප්‍රධාන මඟ එයයි. කාරණය එය වන බැවින්, ප්‍රීතියෙන් යුතු ව දෙවියන් වහන්සේට සේවය කරන ආලේප ලත් ක්‍රිස්තියානිහු, ස්වර්ගික ජීවිතයකට නැවත නැගිටවනු ලැබූ විට, විවාහ වන්නේ නැති නමුත්, ආත්ම මැවිලි වශයෙන් දිව්‍ය කැමැත්ත කිරීමෙන් ඔවුන් සන්තෝෂ වනු ඇත. එසේ නම්, සන්තෝෂය සඳහා සැබෑ පදනම වන්නේ, මැවුම්කරුවාණන්ට ඇදහිලිවන්ත ව සේවය කිරීම වන බැවින්, විවාහ වී සිටියත්, තනිකඩ ව සිටියත්, යෙහෝවඃ වහන්සේගේ සියලු පක්ෂපාත සේවකයන් හට සන්තෝෂ විය හැක.

‘පුත්‍රයන්ට හා දූවරුන්ට වඩා හොඳ දෙයක්’

14. පුරාණ ඊශ්‍රායලයේ දේව භක්තික නපුංසකයන් හට දෙනු ලැබූ අනාවැකිමය පොරොන්දුව කුමක් ද, මෙය අමුතු දෙයක් හැටියට පෙනිය හැක්කේ ඇයි?

14 පක්ෂපාත ක්‍රිස්තියානිවරයෙක් කිසිවිටෙකත් විවාහ නොවුවද, එම තැනැත්තාගේ සන්තෝෂය ගැන සහතික කිරීමට දෙවියන් වහන්සේට හැක. පුරාණ ඊශ්‍රායෙල්හි විසූ නපුංසකයන් වෙත අමතන ලද මෙම අනාවැකිමය වචනවලින් දිරිගැන්වීම ලබන්නට පුළුවන: “මාගේ සබත් දවස් රක්ෂාකර, මා ප්‍රසන්න දේ තෝරාගෙන, මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින නපුංසකයන් ගැන ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] මෙසේ කියන සේක. එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිඳී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.” (යෙසායා 56:4, 5) මොවුන්ගේ නාම නිරන්තර ව පවත්වා ගැනීම සඳහා භාර්යාවක් සහ දරුවන් පොරොන්දු වනු ඇති බව යමෙක් අපේක්ෂා කළා විය හැක. එහෙත්, ඔවුන් හට පොරොන්දු වූයේ ‘පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා හොඳ දෙයකි, එනම් යෙහෝවඃ වහන්සේගේ ගෘහය තුළ සදාකාලික නාමයක් ය.’

15. යෙසායා 56:4, 5 හි ඉටුවීම ගැන කුමක් කිව හැකි ද?

15 මෙම නපුංසකයන් ව, “දෙවියන්වහන්සේගේ ඊශ්‍රායෙල්” ව ඇතුළත් කරවන අනාවැකිමය පින්තූරයකට ගතහොත්, යෙහෝවඃ වහන්සේගේ ආත්මික ගෘහය හෝ දේවමාලිගාව ඇතුළත සදාකාලික ස්ථානයක් ලබන ආලේප ලත් අය ඔවුන්ගෙන් නියෝජනය වෙයි. (ගලාති 6:16) නැවත නැගිටවනු ලබන්නා වූ, පැරණි ඊශ්‍රායලයේ දේව භක්තික වූ නපුංසකයන් හට මෙම අනාවැකිය පදගතාර්ථයෙන් අදාළ වන බවට කිසිදු සැකයක් නැත. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව පිළිගෙන, යෙහෝවඃ වහන්සේ සතුටු දෙය දිගට ම තෝරා ගතහොත්, ඔවුන් දෙවියන් වහන්සේගේ “නව ලෝකය” තුළ “සදාකාලික නාමයක්” ලබනු ඇත. යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ වඩාත් පූර්ණ ලෙස තමන් ව ම කැප කිරීමට හැකි වන ලෙස, මෙම අන්තිම කාලයේ දී විවාහයෙන් සහ මාපිය භාවයෙන් වළකින ‘වෙනත් බැටළුවන්ට’ අයත් අයට ද මෙය අදාළ කළ හැකි ය. (යොහන් 10:16) මේ අයගෙන් සමහර දෙනෙක් විවාහ නොවී දරුවන් නොමැති ව මිය යා හැක. එහෙත් ඔවුන් ඇදහිලිවන්ත ව සිටියහොත්, නැවත නැගිටීමේ දී, ඔවුන් ‘පුත්‍රයන්ට හා දූවරුන්ට වඩා හොඳ දෙයක්,’ එනම් දේවල නව පිළිවෙළ තුළ “සිඳී නොයන” නාමයක් ලබනු ඇත.

සන්තෝෂයට එක ම මඟ විවාහය පමණක් නොවේ

16. විවාහය සෑම විට ම සන්තෝෂය ගෙන දෙන්නේ නැති බව කිව හැක්කේ මන්ද?

16 සමහරු සිතන්නේ, වෙන් කළ නොහැකි පරිදි සන්තෝෂය විවාහයට සම්බන්ධ වී තිබෙන බවයි. කෙසේ වුවද, අද දින යෙහෝවඃ වහන්සේගේ සේවකයන් අතර පවා, විවාහය සැමවිට ම සන්තෝෂය ගෙන නොදෙන බව පිළිගත යුතුයි. එය සමහරක් ප්‍රශ්න විසඳාලයි, නමුත් තනිකඩ පුද්ගලයන් අත්දකින ගැටලුවලට වඩා, අසීරු ගැටලු බොහෝ විට එමගින් ඇති කරවයි. විවාහය ‘මාංසයේ දුක’ ගෙනෙන බව පාවුල් පැවසුවේ ය. (1 කොරින්ති 7:28) විවාහ වූ පුද්ගලයෙකු “කාන්සාවෙන් ද,” එමෙන් ම “බෙදී සිටින” අවස්ථා ද තිබේ. බොහෝ විට, ඔහු හෝ ඇය, “බාධාවකින් තොර ව ස්වාමීන් වහන්සේ කෙරෙහි නිතර ම යෙදී සිටීමට” අසීරුතාවයක් අත්දකී.—1 කොරින්ති 7:33-35, NW.

17, 18. (අ) සමහරක් සංචාරක අවේක්ෂකයන් වාර්තා කර ඇත්තේ කුමක් ද? (ආ) පාවුල් දුන් අවවාදය කුමක් ද, තව ද එය අදාළ කර ගැනීම ප්‍රයෝජනදායක වන්නේ ඇයි?

17 විවාහය සහ තනිකඩ භාවය යන දෙක ම දෙවියන් වහන්සේගෙන් වූ දීමනාවන් ය. (රූත් 1:9; මතෙව් 19:10-12) කෙසේ වෙතත්, මෙම තත්ත්වයන් දෙකේ ම සාර්ථක වීමට නම්, යාච්ඤා පූර්වක ව සිතා බැලීම වැදගත් ය. බොහෝ සාක්ෂිකරුවන් පමණට වැඩියෙන් ළාබාල වියේ දී විවාහ වන අතර, දෙමාපියෙකුගේ වගකීම් උර දීමට සූදානම් වීමට පෙර, බොහෝ විට දෙමාපියන් බවට පත් වන බව සංචාරක අවේක්ෂකයෝ වාර්තා කරති. මෙම විවාහයන් සමහරක් බිඳ වැටී යයි. වෙනත් ජෝඩු තම ගැටලුවලට මුහුණ දෙති, නමුත් ඔවුන්ගේ විවාහය ඔවුන්ට සන්තෝෂය ගෙනැවිත් නැත. එක් ඉංග්‍රීසි ජාතික නාට්‍යකරුවෙකු වූ විලියම් කොංග්‍රීව් ලිව්වාක් මෙන්, කලබල වී විවාහ වෙන්නෝ, “නිවීහැනහිල්ලේ පසුතැවිලි වෙනවා විය හැකි ය.”

18 යම් කලකට තනිකඩ ව සිටීම අවශ්‍යතාවයක් නිසා ඇතැම් යෞවන සහෝදරයන් බෙතෙල් සේවයට අයදුම් කිරීමෙන් හෝ උපස්ථායක පුහුණු පාසලට ස්වේච්ඡාවෙන් සහභාගි වීමෙන් වැළකී සිටින බව ද චාරිකා අවේක්ෂකයෝ වාර්තා කරති. නමුත් ප්‍රේරිත පාවුල් අවවාද කරන්නේ, “තරුණ වයසේ නහඹර අවධිය පසු කිරීමට” පෙර, එනම්, මූලික ලිංගික පෙලඹ වීම් සන්සුන් වන තෙක් ඉවසා සිටින ලෙස ය. (1 කොරින්ති 7:36-38, NW) තනිකඩ වැඩිහිටියෙකු වශයෙන් තමා ගත කළ වසර කිහිපය පුද්ගලයෙකුට වටිනා අත්දැකීම් හා ගැඹුරු ඥානයක් සපයන අතර, විවාහ සහකරුවෙකු තෝරා ගැනීමට නැතහොත් තනිකඩ ව සිටීමට ප්‍රවේසමෙන් සලකා බලා තීරණයක් ගැනීමට එමගින් ඔහු ව හෝ ඇය ව හොඳ තත්ත්වයකට ගෙන එයි.

19. විවාහය සඳහා අපට සැබෑ අවශ්‍යතාවයක් නොතිබේ නම්, අපට කාරණා දෙස කෙසේ බැලිය හැකි ද?

19 අපගෙන් සමහර දෙනෙක්, ලිංගික සමීප සබඳතා සඳහා තද බල පෙලඹීම් ඇති වන යෞවන අවදිය පසු කොට ඇත. විවාහයේ ආශීර්වාද ගැන අප ඉඳ හිට මෙනෙහි කරනවා විය හැක, නමුත් ඇත්තෙන් ම තනිකඩ භාවයේ දීමනාව අපට තිබේ. අප අපගේ තනිකඩ තත්ත්වයේ සිට බලපෑමෙන් යුක්ත ව සේවය කරන අතර, උන් වහන්සේගේ සේවය තුළ සමහරක් වරප්‍රසාද අත්හැරීමට සිදුවන විවාහය සඳහා සැබෑ අවශ්‍යතාවයක් නොතිබෙන බව යෙහෝවඃ වහන්සේට පෙනෙනවා වන්නට පුළුවන. විවාහය පුද්ගලික අවශ්‍යතාවයක් නොවේ නම්, කලත්‍රයෙක් සමඟින් අපට ආශීර්වාද ලැබී නැත්නම්, දෙවියන් වහන්සේ වෙනත් යම් දෙයක් අප සඳහා ගබඩා කරගෙන සිටිනවා විය හැකි ය. එමනිසා, උන් වහන්සේ අපට අවශ්‍ය දේ සපයන බවට අපි ඇදහිල්ල ඇතුව සිටිමු. අන්‍ය ජාතීන්ට ජීවනය ලබා ගත හැකි වනු වස්, දෙවියන් වහන්සේ විසින් ඔවුන් හට පසුතැවිල්ල දානය කර ඇති බව වටහා ගත් යුදෙව් සහෝදරයන්, ඊට ‘එකඟ වී දෙවියන් වහන්සේ ව මහිමවත් කළාක්’ මෙන්, මහත් ම සන්තෝෂය පැමිණෙන්නේ, අප සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත යයි පෙනෙන්නට තිබෙන දෙය යටහත් පහත් ලෙස පිළිගැනීමෙනි.—ක්‍රියා 11:1-18.

20. (අ) මෙහි ක්‍රිස්තියානි යෞවනයන් හට තනිකඩ භාවය ගැන දී ඇත්තේ කිනම් උපදෙස ද? (ආ) සන්තෝෂය සම්බන්ධ ව සැබෑවක් ව පවතින්නේ කිනම් මූලික කරුණ ද?

20 ඉතින්, එසේ නම්, විවාහය සන්තෝෂයට මඟක් විය හැකි ය, එනමුත් එය ගැටලුවලට ද දොර විවෘත කිරීමක් විය හැකි ය. එක් දෙයක් ස්ථිර ය: සන්තෝෂය සොයා ගැනීමට තිබෙන එක ම මඟ විවාහය නොවේ. අප සලකා බැලූ සියලු දෙයින් දැකිය හැකි පරිදි, විශේෂයෙන් ක්‍රිස්තියානි යෞවනයන්ට වසර කිහිපයක් තනිකඩ ව සිටීමට උත්සාහ කිරීම නුවණට හුරු දෙයකි. යෙහෝවඃ වහන්සේට සේවය කිරීමටත්, ආත්මික ව ප්‍රගතිශීලී වීමටත් එවන් අවුරුදු හොඳින් උපයෝගි කර ගත හැක. කෙසේ වුවද, වයස හෝ ආත්මික වර්ධනය කුමක් හෝ වේවා, කොන්දේසි විරහිත ව දෙවියන් වහන්සේට කැප වී සිටින සියල්ලන් සඳහා මෙම මූලික කරුණ සත්‍යයක් වෙයි: එනම්, සැබෑ සන්තෝෂය සොයා ගත හැක්කේ යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කිරීමෙනි. w92 5/15

ඔබ කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත් ද?

◻ යෙහෝවඃ වහන්සේගේ සේවකයන් සන්තෝෂයෙන් සිටින්නේ ඇයි?

◻ උදාරතම සන්තෝෂය ලැබීමට විවාහය ප්‍රධාන මඟ නොවන්නේ ඇයි?

◻ විවාහ කලත්‍රයෙක් තෝරා ගැනීමේ දී, යෙහෝවඃ වහන්සේගේ ජනයාගෙන් අපේක්ෂා කෙරෙන්නේ කුමක් ද?

◻ තනිකඩ ව සිටින ක්‍රිස්තියානින්ට සන්තෝෂයෙන් සිටීමට හැකි බව විශ්වාස කිරීම තර්කානුකූල වන්නේ ඇයි?

◻ විවාහය සහ සන්තෝෂය පිළිබඳ ව පිළිගත යුතු දෙය කුමක් ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න