ලොව විශාලතම වරායක දේශනා කිරීමේ අභියෝගය
යුරෝපයේ කාර්ය බහුල ම ගඟ වන රයින්, උතුරු මුහුදට ඇතුල්වන තැන පිහිටි රොටර්ඩෑම්, ලෝකයේ විශාලතම මුහුදු වරායන්ගෙන් එකක් වීමේ ගෞරවය ලබයි. නැව් මාර්ග 500ක් පමණ මෙතැනට සම්බන්ධ වන හෙයින්, රොටර්ඩෑම් සිට ලොව වටා ස්ථාන 800කට වැඩි ප්‍රමාණයකට ඍජු සම්බන්ධකම් ඇත. එය ඇත්ත වශයෙන් ම ජාත්‍යන්තර වරායකි.
කෙසේ වෙතත්, වසර 650ක් පැරණි මෙම ලන්දේසි වරාය, නැව් මාර්ගවල සන්ධිස්ථානයකට වඩා වැඩි යමක් වෙයි. එය ජනයා හමුවන ස්ථානයක් ද වෙයි. නාවිකයන් විශාල පිරිසක් දින පතා ම දිවා රෑ ලොව දස දෙසින් එහි පැමිණෙති. මෙම නැවියන්, නෙදර්ලන්තයේ වෙසෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අවධානයෙන් හසු වීමෙන් බේරී නැත. ලොවේ හොඳ ම පණිවුඩය, එනම් දේව රාජ්‍යය ලෝකය පාරාදීසයක් බවට මාරු කරනු ඇති බව, නාවිකයන් ද ඇතුළු ව, සියලු ආකාර ජනයාට දේශනා කිරීමට ලොවේ අන් තැන්වල සාක්ෂිකරුවන් මෙන් ඔවුහු මං සොයති.—දානියෙල් 2:44, 45; ලූක් 23:43; 1 තිමෝති 4:10.
“ආපස්සට දෙන ලද මිෂනාරි පැවරුමක්”
දැනට වසර කිහිපයකට පමණ පෙර, නෙදර්ලන්තයේ වොච් ටවර් සමිතිය පූර්ණ කාලීන දේශනාකරුවන් හෙවත් පුරෝගාමින් හය දෙනෙකුගෙන් රොටර්ඩෑම් වරාය පුරා නැවෙන් නැවට සේවය කරන ලෙස ඉල්ලා සිටියේ ය. එම පුරෝගාමිහු එම අවස්ථාව භාර ගත්තේ මහත් උනන්දුවෙනි. වරාය අධිකාරීන්ගෙන් දත්ත ලබා ගෙන, වරාය ගැන විමසා බැලූ ඔවුහු, තමන්ට අභියෝගාත්මක පැවරුමක් ලැබී ඇති බව ඉක්මනින් වටහා ගත්හ.
“එය ආපස්සට දෙන ලද මිෂනාරි පැවරුමක් හා සමාන ය” යයි වරායේ දේශනා කටයුතු සම්බන්ධීකරණය කරන්නා වූ, මෙයිනාර්ඩ් පවසයි. ඔහු අදහස් කරන්නේ කුමක් ද? “සාමාන්‍යයෙන් මිෂනාරිවරයෙක් ජනයා කරා යාමට දීර්ඝ ගමනක යෙදෙන නමුත්, අප සම්බන්ධ මෙම කාරණයේ දී, අප කරා ඒමට මිනිස්සු දීර්ඝ ගමනක යෙදෙනවා.” ඔහු තවදුරටත් මෙසේ පවසයි: “අපට දේශනා කරන්නට තිබෙන ප්‍රදේශය යා හැකි වඩාත් ම ජාත්‍යන්තර බවකින් යුත් ප්‍රදේශයක් වගෙයි.” පුරෝගාමින් මෙම සුවිශේෂ කාර්යය පටන් ගත් වසරේ, එනම් 1983, රොටර්ඩෑම් වරායට විවිධ රටවල් 71කින් මුහුදු යාත්‍රා 30,820ක් පැමිණි බව, 1985 රොටර්ඩෑම් ඉයුරෝපෝට් වාර්ෂික පොත සඳහන් කළේ ය. මෙය සැබවින් ම ජාත්‍යන්තර ය!
වැඩිකලක් යන්නට මත්තෙන් නාවිකයන් විසින් “වරායේ මිෂනාරිවරුන්” ලෙස හඳුන්වන්නට පටන් ගනු ලැබූ, පුරෝගාමිහු ද ජාත්‍යන්තර රසයක් විදහා පෙන්වන්නට පටන් ගත්හ. ගීර්ට්, පීටර්, හා ඔහුගේ භාර්යාව වන කැරින් ලන්දේසි ජාතිකයෝ ය; ඩෑනියෙල් හා මෙයිනාර්ඩ් පැමිණියේ ඉන්දුනීසියාවෙනි; එමෙන් ම සොලමන් ඉතියෝපියානුවෙකි. ඔවුන්ගේ යුරෝපානු, ආසියානු, හා අප්‍රිකානු මූලයන් භාෂා සීමාවන් අටක් බිඳ හෙලන නමුත්, මෙම කාර්යයෙහි සාර්ථක වීම සඳහා ඔවුන් විසින් පොර බැදීමට වෙනත් බාධක තිබිණ.
“බයිසිකලයෙන් ගමන් කරන පල්ලිය”
“ඔබට නිකම් ම නැව් ජැටියකට ඇතුල් වී, නැවට නගින බහින තරප්පුව ඔස්සේ නැවකට ඇතුල් වන්නට බැහැ. ඊට ඇතුල් වීමට අවසර පත්‍ර අවශ්‍යයි” යනුවෙන් කලින් නාවිකයෙක් ව සිටි, 32 හැවිරිදි පීටර් පවසයි. ඉන් අදහස් කරන්නේ, ජැටියකට ඇතුල් වීමට අවසර පත්‍රයකුත් නැව්වලට ගොඩ වීමට අවසර පත්‍රයකුත් අවශ්‍ය බව ය. “එසේ නිල වශයෙන් කිරීම බොහෝ කරදරකාරී දෙයක් වුවත්, අපගේ ඡායාරූප හා නිල මුද්‍රාවන්ගෙන් සම්පූර්ණ, අවසර පත්‍ර අටක් අපට ලැබීමත් සමඟ, අපි වැඩේ යෙදීමට සූදානමින් සිටියා”, පීටර් මතකයට නගයි. ඔවුහු, සැතපුම් 23ක් දිගැති වරාය ජැටි කොටස් තුනකට බෙදූ අතර, ඒ එක් එක් කොටස පුරෝගාමින් දෙදෙනෙකුට පැවරිණි.
කෙසේ නමුත්, රටවල් විශාල සංඛ්‍යාවකින් පැමිණි නාවිකයන් කථා කරන විවිධ භාෂාවන් සමඟ ඔබට කටයුතු කළ හැක්කේ කෙසේ ද? පුරෝගාමින් භාෂා 30ක බයිබල් ප්‍රකාශන තමන් සතු ව තබා ගෙන, ඔවුන්ට හැකි පමණ බයිසිකල්වලින් ගෙන ගියත්, වුවමනා තරමට ඒවා තිබූ බවක් ඔවුන් කිසිවිටෙක් දුටුවේ නැත. “ඔබට වුවමනා වනු ඇත්තේ කිනම් භාෂාව දැයි ඔබට කල් ඇති ව තීරණය කරන්නට බැහැ” යයි 30 හැවිරිදි සොලමන් මුවග සිනහවක් සමඟින් මතකයට නගයි. “ඔබ ගෙන නොගිය භාෂාවකින් වූ පොත් නාවිකයන් විසින් ඉල්ලා සිටීමත්, අනතුරුව තම නැව පැය තුනකින් පමණ ඉවත් වන බැව් ඔවුන් විසින් පැවසීමත් බොහෝ විට සිදු වූ දෙයක් වුණා.” නාවිකයන්ගේ බලාපොරොත්තු කඩ කිරීමට නොකැමති ව, පුරෝගාමින්ගෙන් කෙනෙක් වේගයෙන් ආපසු ගොස්, සුදුසු පොත් ලබාගෙන, හැකිතරම් වේගයෙන් ආපසු පැමිණ, උනන්දුවෙන් බලා සිටින නාවිකයන්ට ඒවා භාර දෙයි. “පැය තුනක් බයිසිකලයෙන් ගමන් කළ යුතු දුරක පිහිටි වරායේ තැන්වල අප සේවය කරන අතර එම ගැටලුව ම පැන නැගුන විට, අප වෙනත් එළඹීමක් යොදා ගත යුතු බව පැහැදිලි විය” යයි පීටර් පවසයි.
දිනක් වරාය ප්‍රදේශයේ වෙසෙන ඇතැම් සාක්ෂිකරුවන්, බයිසිකල් ට්‍රේලර දෙකක් පුරෝගාමින් හට ලබා දීම ඔවුන්ගේ මවිතයට හේතු විණි. ඒ එක් එක් ට්‍රේලරය නාන ටැංකියක ප්‍රමාණය ගති. තමන් සතු ව ඇති සෑම භාෂාවකට ම අයත් ප්‍රකාශන එම ට්රේලරවල පුරවා ගත් පුරෝගාමිහු, ඒවා තමන්ගේ බයිසිකල්වලට ආඳාගෙන වරාය බලා පිටත් වූහ. වැඩි කලක් ගත වෙන්නට මත්තෙන් එම ට්‍රේලර සුපුරුදු දර්ශනයක් බවට පත් විය. “ඒවා අපගේ ඇමතුම් පත් බවට පත් විය” යයි පුරෝගාමින්ගෙන් කෙනෙක් පවසයි. “ගේට්ටු පාලකවරයා අප එනවා දකින විට, ගේට්ටුව විවෘත කර, අපට යන්ට සලස්වා, “ඔන්න බයිසිකලයෙන් ගමන් කරන පල්ලිය යනවා!” කියා කෑ ගසනවා.” වෙනත් අවස්ථාවන්හි, “බයිසිකලයෙන් ගමන් කරන පල්ලිය” තමන් කරා එන බව ආරක්ෂක නිලධාරියෙක් දකින විට ගේට්ටුව විවෘත කර: “පෝලන්ත නැව් දෙකයි, චීන එකයි!” කියා කෑ ගසයි. මෙවන් උපකාරවත් ඉඟිකිරීම් නිසා සුදුසු භාෂාවන්ගෙන් යුත් ප්‍රකාශන රැගෙන නැව්වලට ඇතුල් වීමට පුරෝගාමින්ට හැකියාව ලබා දෙයි. එහෙත් ඔවුන් නියමිත වේලාවට ද යා යුතු ය. ඒ ඇයි?
කාලෝචිත පණිවුඩයක් සමඟ කාලෝචිත බැහැදැකීම්
පුරෝගාමින්ට නාවික පිරිස සමඟ කථා කළ හැක්කේ උදේ හා දහවල් කෝපි පානය සඳහා ඔවුන්ට ලැබෙන විවේක කාලය හා සිය දහවල් කෑම පැය තුළ දී පමණි. කෙසේ වෙතත්, අරක්කැමියාට, වෙනස් සේවා කාලයක් ඇති අතර, කපිතාන් හා වෙනත් නිලධාරීන් දවස පුරා හමු විය හැකි ය. මීට අමතර ව, රොටර්ඩෑම් හි නැංගූරම් දමන බ්‍රිතාන්‍ය නැව්, බ්‍රිතාන්‍ය නොවන නාවිකයන් යළි වැඩට පැමිණෙන විට ඔවුන්ගේ නාවිකයන් පොදු බොජුන් හළට යන පරිදි, බ්‍රිතාන්‍ය කාලයට (ලන්දේසි කාලයට වඩා පැයක් වෙනස් ය) අනුව වැඩ කරන බව පුරෝගාමින් විසින් සොයා ගැනිණි. පැහැදිලි ව ම, වරායේ සේවය කරන පුරෝගාමියෙකුට, විශ්වාස කටයුතු ඔරලෝසුවක් තිබීම අත්‍යවශ්‍ය දෙයකි.
එසේ වුවද, සිය විවේක කාලය බයිබල් සාකච්ඡා සඳහා පාවිච්චි කිරීමට නාවිකයන් කැමති වෙත් ද? “පුරුද්දක් ලෙස, ඔවුන් රාජ්‍යය පණිවුඩය කෙරෙහි විවෘත මනසක් ඇති ව සිටින බව මට පෙනේ” යයි 31 හැවිරිදි ගීර්ට් පවසන්නී ය. “සමහරවිට මීට හේතුව වී ඇත්තේ, මිනිස් ආණ්ඩුවල අසාර්ථකත්වය ඔවුන් විසින් පැහැදිලි ව ම දකින නිසා විය යුතු ය.” උදාහරණයක් වශයෙන්, ආහාර අහේනියකින් පීඩා විඳින ඉතියෝපියානුවන්ට තමන් විසින් ගොඩ බෑ ධාන්‍ය තොග මාස ගණනාවකට පසු ඔවුන් යළිත් එහි ගිය විට එහි ම තිබුණ බවත්, ඒ වන විට ඒවා දිරාපත් ව මීයන්ගෙන් ගහණ ව තිබූ බවත්, ඇතැම් නැවියන් ගීර්ට්ට පැවසූහ. “දේශපාලනය කෙරෙහි නාවිකයන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව සිඳී ගොස් ඇති බව පුදුම වෙන්නට හේතුවක් නොවේ” යයි ගීර්ට් සඳහන් කරන්නී ය. “එබැවින් සියලු මිනිස් වර්ගයා උදෙසා එක් ආණ්ඩුවක් පිළිබඳ බයිබලයේ පොරොන්දුව ඔවුන්ගේ සිත් ගන්නා දෙයක් වී තිබෙනවා.”
පීටර් මෙයට එකඟ වෙයි. “දැනට වසර දහයකට පෙර නම් තම නාවික පිරිස මා ව නැවෙන් නෙරපනු ඇති නමුත්, අද දින වෙනස් වන ලෝක තත්ත්වයන් නිසා බයිබලයේ කාලෝචිත පණිවුඩය කෙරෙහි ඔවුන්ගේ උනන්දුව අවදි කළ බව එක් ජර්මානු කපිතාන්වරයෙක් පැවසුවා.” කොරියානු නැවක වැඩ කරමින් සිටි එක් අරක්කැමියෙක් විස්තර කරමින් පැවසුවේ, ඉරාන-ඉරාක යුද්ධ සමයේ දී තම වැඩ කරමින් සිටි යෝධ තෙල් නැව රොකට් ප්‍රහාරයකට ලක් ව පර්සියානු ගල්ෆ් මුහුදු තීරයේ ගිනි ගත් බවයි. තමාගේ ජීවිතය ගැලවුණොත්, දෙවියන් වහන්සේ සොයන බවට ඔහු භාරයක් විය. ඔහු නොමැරී බේරුණේ ය. පසු ව රොටර්ඩෑම් හි දී පුරෝගාමින්ට ඔහු ව හමු වූ විට, ඔවුන්ට ලබා දිය හැකි සියලු ම කොරියානු පොත් පත් ඔහු ඉල්ලා සිටියේ ය.
නැව් වැඩි ගණනක් දින ගණනාවකට වරායේ රැඳී සිටී. වැඩ කරන වේලාවෙන් පසු සිය බයිබල් සාකච්ඡාවන් දිගට ම කරගෙන යාමට දෙවරක්, තෙවරක්, හෝ ඊටත් වැඩි වාර ගණනක් ආපසු එහි යාමට පුරෝගාමින්ට මේ මගින් හැකියාව ලැබේ. එහෙත්, නැවක එන්ජිමේ කාර්මික දෝෂයක් ඇති විට, එය සති තුනකට නැංගූරම් දමා තිබිය හැක. “එය එම සමාගමට පාඩුවකි” යයි සිනාසෙමින් කියන පුරෝගාමියා, “එය අපගේ වැඩේට වාසියක් ය” යයි ද පවසයි. අනතුරුව, බයිබල් සාකච්ඡාවන් පවත්වනවාට අමතර ව, පොදු බොජුන් හළේ සමිතියේ නිසල රූ ප්‍රදර්ශනයන්ගෙන් එකක්, වන “ද බයිබල්—අ බුක් ෆෝ දිස් ජෙනරේෂන් (බයිබලය—මෙම පරම්පරාව සඳහා පොතකි)” යන්න පෙන්වීමට පුරෝගාමිහු කටයුතු සූදානම් කරති. සමහරක් නාවිකයෝ රොටර්ඩෑම් හි පවත්වනු ලබන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විදේශී භාෂා ගණනාවකට අයත් කණ්ඩායම්වල රැස්වීම්වලට ද පැමිණෙති. මෙය මෙසේ සිදුවන්නේ එන්ජිම ක්‍රියාකාරී තත්ත්වයට පත් වනතෙක් ය. ඉන්පසු බයිබල් වැසිය යුතු ය. නැංගූරම් කඹ ඉවත් කර, නැව් වරායෙන් නොපෙනී යයි—නමුත් පුරෝගාමින්ගේ මනස්වලින් නම් නොවේ.
නාවිකයන්ගේ දිරිගැන්වෙන සුලු කථා
පුවත් පත්වල දැන්වීම් නැතහොත් වරාය අධිකාරීන්ගේ මහජන පරිගණක සේවාව මාර්ගයෙන්, වරායේ සේවය කරන පුරෝගාමිහු, තමන් දේශනා කර ඇති නැව්වල පැමිණීම් හා පිටත් වීම් පිළිබඳ ව සටහනක් තබා ගනිති. ඒවායින් එකක් යළිත් පැමිණි විගස, පසුගිය වතාවේ හමුවීමේ පටන් සිදු වූ දෙය දැන ගනු පිණිස නාවිකයන් හමු වීමට පුරෝගාමිහු උත්සුක වෙති. එම නාවිකයන් පවසන්නේ මොනතරම් දිරිගන්වන සුලු කථා ද!
එක් නාවිකයෙක්, සිය නැව මුහුදු ගමන් ඇරඹීමෙන් පසු, නැවේ සිටි සිය සගයන් පස් දෙනෙකුට පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක පොතේ පිටපත් දී තිබුණු අතර, ඒ හයදෙනා එකට බයිබල් පාඩමක් පවත්වා තිබුණි. පවුල් ජීවිතය පිළිබඳ පරිච්ඡේදය පටිගත කළ ඔහු, නාවික පිරිසගේ ප්‍රයෝජනය සඳහා පොදු බොජුන් හළේ එය විකාශනය කළේ ය. නුදුරු වරායක් වන ඇන්ට්වර්ප් හි රාජ්‍යය ශාලාවට ගොස් තිබුණු වෙනත් නැවක නැවියෙක්, නැවේ කෑම ශාලාවේ “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාව” යන්න විශාල අකුරෙන් සඳහන් බැනරයක් එල්ලුවේ ය. අනතුරුව, තමා බයිබල් රැස්වීමක් පැවැත්වූ අවස්ථාවෙහි එහි පැමිණෙන ලෙස ඔහු නාවික කණ්ඩායමේ සාමාජිකයන්ට ආරාධනා කළේ ය. එම බැනරය ගැලවීමට පෙර, ඔහු එම නාවික පිරිස ඊළඟ රැස්වීමට ආරාධනා කළේ ය. ඊළඟ සතියේ, එම බැනරයත් එම නාවික පිරිසත් එතැන නැවත දක්නට ලැබුණි.
ඇතැම් නාවිකයන් කිසිවිටෙකත් තම පොත් රාක්කවලට නොදැමූ බව ද පුරෝගාමිහු දුටුවෝ ය. “අපි බටහිර අප්‍රිකානු ගුවන්විදුලි නිලධාරියෙක් වූ, අයිසැක්ගේ කුටියට ඇතුල් වූ විට, එහි අසුනක් සොයා ගැනීම අපහසු වුණා” යයි මෙයිනාර්ඩ් පවසයි. “සමිතියේ සඟරා, පොත්, හා ශබ්ද සුචි සෑම තැන ම—විවෘත ව තබා තිබුණා.” පුරෝගාමින් තමා ව නැවත හමුවීමට පැමිණෙන තෙක්, බලා සිටි අයිසැක් බයිබල් ප්‍රශ්න මාලාවක් ද සූදානම් කර තබා ගෙන තිබුණි.
එනමුත්, ඇතැම් නාවිකයන් පුරෝගාමින් තමන් හමුවීමට එනතෙක් බලා සිටින්නේ නැත. එක් රාත්‍රියක ගීර්ට් නින්දට යාමෙන් පසු ඔහුගේ දුරකථනය නාද විය.
රිසීවරය ගැනීමට යන අතර “මේ වෙලාවේ මේ කවුද?” යයි ගීර්ට් කෙඳිරි ගෑවේ ය.
“හලෝ, මේ ඔබගේ මිත්‍රයා!” යයි ප්‍රීතිදායක හඬක් පැවසී ය.
ගීර්ට් ඒ කවුදැයි සිතා ගන්නට උත්සාහ කළේ ය.
“නැවේ ඉන්න ඔබගේ යාළුවා,” යයි එම හඬ යළිත් පැවසී ය.
“දැන් වේලාව උදෑසන තුනයි!” ගීර්ට් පැවසී ය.
“ඔව්, මගේ නැව යළිත් රොටර්ඩෑම් වෙත පැමිණි වහා ම ඔබ අමතන ලෙස ඔබ මට කීවනේ, දැන් මම මෙහෙ!” ඉන් ටික වේලාවකට පසු, දේව වචනය කෙරෙහි උනන්දුව දැක්වූ මෙම මිත්‍රයා බැලීමට ගීර්ට් යමින් සිටියේ ය.
‘ඔබේ ආහාරය විසුරුවා හරින්න’
නාවිකයන්ගෙන් පුරෝගාමින් වෙත ලැබෙන ලිපිවල ද බයිබල් ප්‍රකාශන සඳහා අගය ප්‍රකාශ කොට තිබේ. ඒවායින් උපුටාගත් කොටස් කීපයක් පහත දැක්වේ.
‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත මා කියවන්නට පටන් ගත්තා . . . කලින් මා තේරුම් නොගත් බොහෝ දෑ දැන් මට තේරෙනවා. අපගේ නැව යළිත් රොටර්ඩෑම් වෙත එනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.’—ඇන්ජලෝ.
‘මා පොත කියෙව්වා. ඔබගේ ලිපිවල ඔබට පිළිතුරු එවිය හැකි වන පිණිස මා ඔබට මේ සමඟ ප්‍රශ්න එවනවා.’—ඇල්බර්ටා.
‘මා දැන් සෑම දිනක ම බයිබලය කියවනවා. ඔබගේ මිත්‍රයෙක් වීමට මං සතුටු වෙනවා. දෙවියන් වහන්සේ වෙතට මඟ පෙන්වන මිත්‍රයන් සොයා ගැනීම මාගේ ජීවිතයේ සිදු වූ හොඳ ම දෙයයි.’—නිකි.
මෙවන් හෘදය උණුසුම් කරවන ලිපි, බයිබලය දේශනාකාරයා 11:1 හි පවසන දෙය පුරෝගාමින්ගේ මතකයට නංවයි: “නුඹේ ආහාර ජලය මතුපිට දමාපන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.” ඔවුන් විශේෂයෙන් ම සතුටු වෙන්නේ, ඇතැම් නාවිකයන් යෙහෝවඃ වහන්සේ වෙනුවෙන් ස්ථාවරයක් ගෙන ඇති බව දැන ගන්නා විට ය.
පෝලන්ත ජාතික නාවිකයෙක් වන ස්ටැනිස්ලොව්, සමිතියේ පොත්වලින් තමන් ඉගෙනගත් දෙයින් මහත් ප්රමෝදයක් ලද අයගෙන් කෙනෙකි. ඔහු ඉතා ඉක්මනින් ම බයිබල් ප්‍රකාශනවලින් සමන්විත කුඩා පුස්තකාලයක් සාදාගත් අතර, මුහුදේ සිටි විට, ඒ සැමෙකක් ම අධ්‍යයනය කළේ ය. “අප යළිත් ඔහුගෙන් ලිපියක් ලද විට, තමා බව්තීස්මය ලද බව ඔහු අපට දැන්වී ය” යයි මෙයිනාර්ඩ් පවසයි.
දේශීය නාවික කපිතාන්වරයෙක් වන, ෆෝල්කර්ට්, පළමුවරට රොටර්ඩෑම් හි දී රාජ්‍යය පණිවුඩය ඇසී ය. සෑම මාස දෙකකට ම වරක් සතියකට ඔහු එම වරායට ආපසු පැමිණි අතර, දිගට ම දින හත පුරා බයිබලය පාඩම් කළේ ය. ඉන් පසු, තවත් මාස දෙකක ගමනක් සඳහා පිටත් ව යාමට පෙර, පුරෝගාමිහු ඔහුගේ නාවික ගමන් මාර්ගයේ ඇති රාජ්‍යය ශාලාවන්හි ලිපිනයන් ලැයිස්තුවක් ඔහුට භාර දුන්හ. ෆෝකර්ට් එම ශාලාවලට ගිය අතර, තමා ලැබූ උණුසුම් පිළිගැන්මෙන් මහත් පෙලඹීමක් ලැබුවේ ය. වැඩි කලක් ගත වන්නට පෙර මෙම කපිතාන්වරයා බව්තීස්මය ලද අතර දැන් ජ්වලිත ව යෙහෝවඃ වහන්සේට සේවය කරයි.
බ්‍රිතාන්‍ය නාවික හමුදා නිලධාරියෙක් වන, මයික්, කලින් සාක්ෂිකරුවන් සමඟ යම් සම්බන්ධකමක් ඇති ව සිටි අතර, මුහුදේ සිටින කාලය තුළ බයිබලය පාඩම් කරමින් සිටියේ ය. වරක්, ඔහු සේවය කළ මධ්‍යම ප්‍රමාණයේ යුද්ධ නැව රොටර්ඩෑම් හි නැංගූරම් දැමූ විට, රාජ්‍යය ශාලාවකට යාමට ඔහු තම නවන බයිසිකලය පාවිච්චි කළේ ය. තමා දුටු ප්‍රේමයෙන් හා එක්සත් භාවයෙන් ඔහුගේ සිතේ බලවත් හැඟීම් ඇති වූ අතර, තම රැකියාවෙන් ඉවත් වීමට තමා තීරණය කළ බව ඔහුගේ මිත්‍රයන්ට කීවේ ය. සෑහෙන විශ්‍රාම වැටුපක් ලැබීමට ඔහුට තිබුණේ තවත් වසර හතරක් වුව ද, තම තීරණයට ඇලී සිටි ඔහු, පසු ව බව්තීස්ම ලැබී ය.
“යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට මයික්, ස්ටැනිස්ලොව්, ෆෝල්කර්ට්, හා වෙනත් අයගේ උත්සුක භාවය අප ව පොලඹ වන්නේ ඔවුන් වැනි නාවිකයන් දිගට ම වරාය තුළ සෙවීමටයි” කියා මෙයිනාර්ඩ් පවසයි.
ඔබටත් හවුල් විය හැකි ද?
ලෝකයේ විශාලතම වරායක දශකයකට ආසන්න දේශනා කිරීම ගැන හැරී බැලීමේ දී, “වරාය මිෂනාරිවරුන්” හය දෙනා—පැවරුම අභියෝගාත්මක හා විපාකදායක යයි—පිළිගන්නේ පිරුණු හදවතකිනි. “දේශනා කළ සෑම දිනකට ම පසු, අප නිවස බලා බයිසිකලය පදින්නේ, එම නාවිකයන්ගෙන් සමහරෙක් අප පැමිණෙන තුරු බලා සිටිති යන හැඟීමෙන් යුක්තවයි.” යනුවෙන් මෙයිනාර්ඩ් ලුහුඬින් පවසයි.
ඔබගේ ප්‍රදේශයේ තිබෙන වරායක ඔබ පැමිණෙන තුරු බලා සිටින නාවිකයන් සිටිනවා විය හැකි ද? මෙම අභියෝගාත්මක, එහෙත් විපාකදායක වැඩයේ ඔබටත් හවුල් විය හැකි පරිදි විධිවිධාන යොදන්නට සමහරවිට ඔබගේ සභාවේ වැඩිමහල්ලන්ට හැකියාවක් තිබෙන්නට පුළුවන. w92 4/15
තහනම් ප්‍රදේශ තුළට පිවිසීම
මෑත එක් වසරක දී, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කර ඇති රටවල්වලින් පැමිණි නැව් 2,500කට වැඩි සංඛ්‍යාවක් ඒවායේ අලුත්වැඩියාවන් පිණිස රොටර්ඩෑම් වරායේ යම් කලකට නතර විය. බයිබල් පණිවුඩය මෙම ප්‍රදේශවලට ගෙන යාමට මෙය ප්‍රස්තාවක් බව වරායේ පුරෝගාමිහු දුටූහ.
පුරෝගාමින් බැහැදුටු එක් ආසියානු නැවක, ඔවුන් තම මුළු සැපයුම වූ පොත් 23 ම තබා පැමිණිය ද, තමන්ට එක් පිටපතක් ලබා ගැනීමට නොහැකි වීම නිසා එම නාවික කණ්ඩායමේ ඇතැමෙක් කනගාටුවට පත් වූහ. තවත් ආසියානු නැවක කෑම පිසින ස්ථානයේ පිරිමි ළමයෙක් වඩාත් පරීක්ෂාකාරී ව සිටියේ ය. පුරෝගාමියෙකුගෙන් පොතක් පිළිගැනීමෙන් පසු, එය කඩදාසි කොළයක එතූ ඔහු ඒ මත ලිපිනයක් ලියා ආපසු දුන්නේ ය. එම පුරෝගාමියාට කාරණය වැටහිණි. එම පොත රැගෙන යාම ඔහු හට පමණට වැඩි අවදානම් සහිත විය. එම දිනයේ ම, ඈත පෙරදිග වෙත යාම පිණිස එය තැපෑලට දැමිණි.
අප්‍රිකාවෙන් පැමිණි නැවක ඒ රටේ සාක්ෂිකරුවන්ට ඕනෑ ව තිබූ පොත් ලැයිස්තුවක් රැගෙන එක් නාවිකයෙක් පැමිණියේ ය. එතැන් පටන්, එම නාවිකයා ආපසු තම නිවසට ගිය සෑම අවස්ථාවක ම ඔහුගේ සූට්කේසය ප්‍රකාශනවලින් පිරී තිබිණි. තවත් අප්‍රිකානු රටක නාවිකයෙක්, තමන් සමඟ ඉගෙන ගනිමින් සිටි පුරෝගාමියා ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කර ගැනීම නම් පොතේ පිටපත් තුනක් පමණක් ඔහුට ලබා දුන් විට සහමුලින් ම කලකිරීමට පත් විය. බලාපොරොත්තු බිඳ වැටුණු එම නැවියා සිය අත් ඉහළ ඔසවා, “එය කොහෙත්ම මදි!” තරහෙන් මෙන් පැවසුවේ ය. “මගේ රටේ සහෝදරයන්ට පිටපත් 1,000ක් අවශ්‍යයි!” ඔහුගේ ම ආරක්ෂාව පිණිස, වරකට පිටපත් 20ක් පමණක් ගෙන යන ලෙස එම පුරෝගාමියා ඔහුට ඒත්තු ගැන්වී ය.
සමහරවිට වඩාත් ම හැඟීම් උත්සන්න වූ අවස්ථාව වූයේ, තම ඇදහිල්ල නිසා සාක්ෂිකරුවන්ට පීඩා පමුණුවනු ලැබූ, එමෙන් ම බොහෝ දෙනෙකුට සිය රැකියා හා දේපළ අහිමි ව ඇති රටකින් නැවක් පැමිණි බව පුරෝගාමින් දැනගත් විට ය. එම නැවේ ගබඩා හා කෑම සැපයීම භාර නිලධාරියා සාක්ෂිකරුවෙක් බව දැනගත් ඔවුහු, එම නැවේ කපිතාන් හමු වී, ඔහුගේ නැවෙන් සහනාධාර යැවීමට අවසර ඉල්ලා සිටියහ. එම කපිතාන් එකඟ වූ අතර, ඉන් දින කීපයකට පසු ඇඳුම්, පාවහන්, හා වෙනත් ද්‍රව්‍ය අඩංගු විශාල මලු සියයක් එම රටේ සාක්ෂිකරුවන් වෙත යමින් තිබිණ.
නැවෙන් නැවට දේශනා කිරීම ගැන ස්ත්‍රියක් දකින අයුරු
පුරෝගාමින් අතර සිටින එක ම ස්ත්‍රිය වන කැරින් මෙසේ සිහිකරන්නී ය: “නාවිකයන් නිතර රළු පරුෂ ව හා බීමත් ව සිටින බවට මා කථා අසා තිබූ බැවින්, මුල දී, මං පීටර් සමඟ යාමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. කෙහොම වුණත්, බොහෝ දෙනෙක් ආචාර සම්පන්න බව මා දැන ගත්තා. අප විවාහක යුවළක් බව නාවිකයෙක් දැනගත් පසු, බොහෝ විට, ඔහු කළේ ඔහුගේ භාර්යාවගේ හා දරුවන්ගේ ඡායාරූපයක් ගෙන සිය පවුල ගැන කථා කරන්නට පටන් ගැනීමයි. එයාකාරයෙන්, ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කර ගැනීම නම් පොතේ පිටපත් බොහොමයක් ඔවුන්ට අපි ලබා දී තිබෙනවා.”
ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස නැව්වලට යාම, නාවිකයන්ගේ භාර්යාවන් මෙන් ම ඇතැම් විට හෙදියන් ලෙස සේවය කරන වෙනත් ස්ත්‍රීන් ද හමු වීමට කටයුතු පහසු කරවයි. “සාමාන්‍යයෙන් ඔවුන් ආගන්තුකයන් සමඟ එතරම් කථා නොකළ ද, ඔවුන් මා දකින විට, මා සමඟ වැඩියෙන් සාකච්ඡා කිරීමට නැඹුරු වෙති” යයි කැරින් පවසයි.
ඇයගේ පැවරුමෙහි ලොකු ම අභියෝගය වූයේ කුමක් ද? “ලණු ඉනිමං” යයි කැරින් පිළිතුරු දෙන්නී ය. “ඒ ඉතා ම තුනී හෙල්ලෙන දේවලට නම් මම කැමති ම නැහැ.” ඇය තමා තුළ තිබූ ඒ භය නැති කර ගත්තා ද? “ඔව්, වරක් ඉන් එකකට ගොඩ වීමට මා පසුබට වූ විට, පැරගුවේ සිට පැමිණි නාවිකයන් පිරිසක් ඒ දැක, ‘ඔබට නගින්න පුළුවන්, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස තබන්න’ කියා කෑ ගැසුවා. ඇත්ත වශයෙන් ම පුළුවන්” යයි සිනහවකින් පවසන කැරින් “ඉන් පසු, එයට නගිනවා හැර මට කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ.” “ඉන්පසු වසර හතර පුරා ලණු ඉණිමං බොහොමයක් නැග ඇති ඇය, දැන් ඒවා නඟින්නේ හරියට නැවියෙක් නගිනවා වගේ” යයි ඇයගේ ස්වාමි පුරුෂයා ආඩම්බරයෙන් පවසයි.
කැරින් හා ඇයගේ ස්වාමිපුරුෂයා වන පීටර්, එක්සත් ජනපදයේ පවත්වන ලද 89වන වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් පාසලට සහභාගි වූහ. වර්ෂ 1990, සැප්තැම්බර් 28වන දින, ඔවුන් සිය නව පැවරුමට, වරායක් සහිත රටක් වන, ඉක්වදෝරය වෙත ගියහ. ඔවුන්ට එය හුරුපුරුදු තැනක් වනු නිසැකයි.
ඔබ නාවිකයෙක් ද?
ඔබගේ නැව ලෝකයේ ප්‍රධාන වරායන් එකක නැංගූරම් දමා තිබෙන විට, ඔබ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන රැස්වීමකට සහභාගි වීමට කැමති ද? එසේ නම්, රාජ්‍යය ශාලාවන්හි නවතම ලිපිනයන් හා රැස්වීම් වේලාවන් අඩංගු මෙම ලැයිස්තුව ඔබට පහසුවෙන් ගත හැකි තැනක තබා ගන්න:
Hamburg, Schellingstr. 7-9; Saturday, 4:00 p.m.; phone: 040-4208413
Hong Kong, 26 Leighton Road; Sunday, 9:00 a.m.; phone: 5774159
Marseilles, 5 Bis, rue Antoine Maille; Sunday, 10:00 a.m.; phone: 91 79 27 89
Naples, Castel Volturno, (40 km north of Naples), Via Napoli, corner of via Salerno, Parco Campania; Sunday, 2:45 p.m.; phone: 081/5097292
New York, 512 W. 20 Street; Sunday, 10:00 a.m.; phone: 212-627-2873
Rotterdam, Putsestraat 20; Sunday, 10:00 a.m.; phone: 010-41 65 653
Tokyo, 5-5-8 Mita, Minato-ku; Sunday, 4:00 p.m.; phone: 03-3453-0404
Vancouver, 1526 Robson Street; Sunday, 10:00 a.m.; phone: 604-689-9796