යෙහෝවඃ වහන්සේගේ අධික වූ යහපත්කම
“ඔබට භයවෙන්නන් උදෙසා ඔබ නිධාන කර ඇති ඔබගේ යහපත්කම කොතරම් අධික ද!”—ගීතාවලිය 31:19 NW
1, 2. (අ) ඈත අතීතයේ එක් කාලයක යෙහෝවඃ වහන්සේ දියත් කළා වූ අති මහත් වැඩය කුමක් ද? (ආ) යෙහෝවඃ වහන්සේ ස්වකීය මැවීමේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය ගැන විස්තර කළේ කෙසේ ද?
‘ස්වර්ගය තමන් වහන්සේගේ පාපුටුව ලෙසත්, පොළොව තමන් වහන්සේගේ සිංහානසනය ලෙසත්’ දෙවියන් වහන්සේ මවන්නට පටන් ගත්තාවූ කාලයක් තිබිණි. (යෙසායා 66:1 NW) මෙය කවදා සිදුවුවා ද කියා දිව්‍යමය වාර්තාව හෙළි නොකරයි. එය සරල ව මෙසේ ප්‍රකාශ කරන්නේය: “පටන්ගැන්මේ දී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.” (උත්පත්ති 1:1) මැවීමේ කාල පරිච්ඡේදය තුළ දී, තාරකා මණ්ඩල අපමණ මිලියන ගණනක් සාදනු ලැබූ අතර, මින් බොහොමයකට මිලියන දහස් ගණනක් තාරකාවෝ අයත් වෙත්. එවැනි එක් තාරකා මණ්ඩලයක පිටත අද්දර දෙසට සාපේක්ෂී ව කුඩා, අඳුරු ගෝලයන් ගණනාවකගෙන් කක්ෂගත වී තිබුණු දීප්තිමත් තරුවක් විය. මින් එක් ගෝලයක් පෘථිවිය කියා නම් තැබිණි. දිලිසෙන්නා වූ අති මහත් තාරකාවන් සමඟ සසඳන විට, පෘථිවිය අතිශයින් කුඩා එකක් විණි. එහෙත්, යෙහෝවඃ වහන්සේ ස්වකීය පාපුටුව වීමට අරමුණු කළේ, මෙය ය.
2 මෙලෙසින්, යෙහෝවඃ වහන්සේ ස්වකීය මැවීමේ හැකියාවන් පෘථිවි ග්‍රහයා දෙසට යොමු කළ සේක. දීර්ඝ මැවීමේ “දවස්” හය අතරතුරේ දී, මෙම කුඩා, අඳුරු ග්‍රහයා වෙනස්වන විට, ප්‍රධාන කර්මාන්තකාරයා වශයෙන් ස්වකීය “මැවිල්ලේ කුළුඳුලා” උන් වහන්සේ අසළ සිටි සේක. සංකේතාත්මක වශයෙන්, එය දෙවියන් වහන්සේගේ පාද තැබීමට සුදුසු ස්ථානය බවට පත් විණි. (කොලොස්සි 1:15; නික්මයාම 20:11; හිතෝපදේශ 8:30) අලුත් අකාරයේ බුද්ධිමත් ජීවිතයක් තැබීමට යෙහෝවඃ වහන්සේ අරමුණු කළේ, මෙහි ය: එනම් මිනිස් සංහතිය යි. භූමියේ මූල ද්‍රව්‍යවලින් මවනු ලැබූ පළමු මිනිස් යුවල, රමණීය, පාරාදීසමය පරිසරයක තබනු ලැබිණි. (උත්පත්ති 1:26, 27; 2:7, 8) මැවීමේ මෙම කැපී පෙනෙන ක්රියාවේ අවසාන ප්‍රතිඵලය මොනතරම් පරිපූර්ණ ද, මොනතරම් අලංකාර වී ද යත්, මැවීමේ හය වෙනි දවසේ උදෑසන—එනම් දවසේ අවසාන භාගයේ දී—දෙවියන් වහන්සේට ඇතිවූ හැඟීම් ගැන බයිබලය මෙලෙස හෙළි කරයි: “දෙවියන් වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටු සේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය”—උත්පත්ති 1:31.
දෙවියන් වහන්සේගේ යහපත්කම
3. මැවිල්ල තුළ දිස් වී තිබෙන්නේ යෙහෝවඃ වහන්සේගේ කුමන කැපී පෙනෙන ගුණාංගය ද?
3 වසර දහස් ගණනකට පසුව, එම මුල් මිනිස් යුවලගෙන් පැවතෙන්නෙක්, මැවීමේ කාලය දෙස ආපසු හැරී බලා ලීවේ මෙලෙසයි: “මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන් වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය.” (රෝම 1:20) එසේ ය, පෘථිවියේ සහ ඒ මත වූ මැවිලිවල අති අනර්ඝ උත්කෘෂ්ඨභාවය ඇත්තෙන් ම දෙවියන් වහන්සේගේ අදෘෂ්‍යමාන ගුණාංගයන්හි පුදුමාකාර පිළිබිඹු කිරීමක් විය. මේ අතුරින් උන් වහන්සේගේ අධිකතර යහපත්කම ගැන සඳහන් නොකර සිටිය යුතු නොවේ. එසේ නම්, තමන් වහන්සේ මවා තිබූ සියලු දේ යහපත් වූ බව දෙවියන් වහන්සේ ප්‍රකාශ කිරීම මොනතරම් උචිත ද!—ගීතාවලිය 31:19.
4, 5. යහපත්කම යනු කුමක් ද?
4 යහපත්කම වනාහි ප්‍රේරිත පාවුල් ගලාති 5:22හි විස්තර කළා වූ දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵලවලින් හයවෙනි ගුණාංගය යි. මීට ඉහත දී වොච්ටවර් සඟරාවේ පාඩම් ලිපි, සම්පූර්ණ ක්රීස්තියානි පුද්ගලිකත්වයක් ගොඩනැංවීමේහි, ආත්මයේ ප්‍රථම ඵල පහේ ඇති වැදගත්කම ගැන පෙන්වා දෙමින් ඒවා ගැන සාකච්ඡා කොට තිබේ.a එහෙත්, අප යහපත්කම ගැන අමතක නොකිරීම මොනතරම් අතිශයින් වැදගත් වේ ද! අප දැන් මෙම ගුණාංගය වෙත අපගේ අවධානය යොමු කිරීම යෝග්‍ය වෙයි.
5 යහපත්කම යනු කුමක් ද? එය යහපත් ව සිටීමේ ගුණයකි නැතහොත් තත්ත්වයකි. එය සදාචාරමය අති උත්කෘෂ්ඨභාවයයි, හෙවත් ගුණාත්මක බලය යි. මෙබැවින් අන්‍යයන් උදෙසා ප්‍රයෝජනවත් ක්‍රියා කිරීමෙන් හා යහපත සැලැස්විමෙන් ප්රකාශීත මෙම ගුණාංගය ඒකාන්ත එකකි. මේ සිත්ගන්නා සුළු ගුණාංගය අප විදහා පාන්නේ කෙසේ ද? මූලික වශයෙන්, යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කිරීම මගින් ය. ඒ නිසා, අප ක්‍රිස්තියානි පුද්ගලයන් වශයෙන් යහපත්කම විදහාපාන අයුරු සාකච්ඡා කිරීමට පෙර, අපගේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේ, මිනිස් පවුලට සපයා තිබෙන දේවල් හා ඔවුන් සමග කටයුතු කිරීම මගින් පෙන්වා ඇති යහපත්කම ගැන අපි පරික්ෂා කර බලමු.
මැවිල්ල තුළ විදහා පා ඇති යහපත්කම
6. වෙනත් ආකාරවල බුද්ධිමත් ජීවීන් මවන්නට යෙහෝවඃ වහන්සේ ව පෙළඹවූයේ කුමක් ද?
6 බුද්ධිමත් ජීවමාන මැවිලි සමඟ ස්වකීය ජීවිතයේ භුක්ති විඳීම බෙදා ගන්නට අපගේ ස්වර්ගීය පියාණන් ව මූලික වශයෙන් පෙලඹවූයේ කුමක් ද? “දෙවියන්වහන්සේ ප්‍රේමයය” කියා ප්‍රේරිත යොහාන් පවසන විට ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු දෙයි. (1 යොහන් 4:8) එසේ ය, වෙනත් ජීවිත ආකාරයන් මවා, සමහරෙකුට ස්වර්ගික නිවසකුත් අන්‍යයන්ට භූමික නිවසකුත් සපයන්නට ජීවිතයේ උත්තරීතර උල්පතාණන් ව පෙලඹවූයේ පරාර්ථකාමී ප්‍රේමයයි. ඇත්ත වශයෙන් ම, ස්වර්ගය ගැන හෝ ස්වර්ගික මැවිලි කොයි ආකාර ද කියා අප දන්නේ අල්ප වශයෙනි. ඔවුහු ආත්මයෝ ය—මිනිස් ඇස්වලින් දැකිය නොහැක—එමෙන් ම ඔවුන්ගේ නිවස තිබෙන්නේ ස්වර්ගික විෂයෙහි ය. නමුත් යෙහෝවඃ වහන්සේ ස්වකීය මිනිස් දරුවන් උදෙසා සැපයූ, ඔබ වටා ඇති භූමික නිවස දෙස බලන්න. මිනිස් සංහතිය ගැන ම සලකා බලන්න. එවිට, ඔබ ඔබගේ ඇස්වලින් ම දෙවියන් වහන්සේගේ යහපත්කමේ බලවත් සාක්ෂීන් දකින්නට පටන් ගනු ඇත.
7-9. දෙවියන් වහන්සේ පෘථිවිය සහ ඒ මත සිටින මිනිසා මවා ඇති ආකාරයෙන් උන් වහන්සේගේ යහපත්කම දැකිය හැක්කේ කෙසේ ද?
7 යෙහෝවඃ වහන්සේ අපගේ පළමු දෙමාපියන්ට ජීවිතය දානය කළ සේක. මීටත් වඩා, ජීවිතය උසස් ප්‍රසන්නතාවයකින් යුතුව, භුක්ති විඳින්නට හැකි යමක් බවට උන් වහන්සේ පත් කළ සේක. අරම්භයේ දී, ඔවුන්ගේ නිවස වූ පෘථිවිය මැවූ උන් වහන්සේ, හරියට ම ගැලපෙන භ්‍රමණය වීමක් වායු ගෝලයක් ඇති කොට, එය උෂ්ණත්ව අන්තරයක් හා මැවූ සේක. මිනිසාගේ ප්‍රයෝජනය සහ සුව පහසුව උදෙසා පරිපූර්ණ ව ක්‍රියා කරන්නා වූ ජල, නයිට්රජන්, හා ඔක්සිජන් චක්රයන් ක්‍රියාත්මක වීම උන් වහන්සේ සැළැස්වු සේක. සමහරක් මිනිසාගේ ආහාරය සඳහාත්, සමහරක් විශේෂයෙන් ම නෙත් පිනවීමටත් හැකි අයුරින් දහස් ගණනක් වර්ගවල වෘක්ෂලතා උන් වහන්සේ පෘථිවිය මතුපිට අතුරා ලූ සේක. තම වර්ණයන්ගෙන් හා තම ගීතවලින් බොහෝ වින්දනයක් ලබා දෙන පක්ෂීන්ගෙන් උන් වහන්සේ අහස පිරෙවූ සේක. මසුන් රංචු පිටින් මුහුද පිරවූ උන් වහන්සේ, වනසතුන්ගෙන් හා හීලෑකරවිය හැකි බොහෝ ආකාර සත්ත්වයන්ගෙන් ගොඩ බිම ගහණ කරවූ සේක. මොනතරම් මහානුභාවසම්පන්න ත්යාගශීලිකමක් ද! දෙවියන් වහන්සේගේ හෘදයේ යහපත්කමේ මොනතරම් පිළිබිඹු කිරවීමක් ද!—ගීතාවලිය 104:24.
8 දෙවියන් වහන්සේ මිනිසා ව සෑදූ ආකාරය ගැන දැන් බලන්න. තම සමබරකම පවත්වා ගැනිමටත්, පහසුවෙන් එහා මෙහා යාමට, සරිලන පරිද්දෙන් මිනිසාගේ බාහු, පාද, සහ අත් ඔහුගේ අවශ්‍යතා මොනවට සපුරාලයි. මේ අයුරින්, තමා වටා භූමිය මතුපිට මහත් සේ බහුල ව ඇත්තා වූ ද්‍රව්‍යයන්ගෙන් ආහාර සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ගන්නට ඔහුට හැකි ය. අද දින තිබෙන විදුලි උපකරණයක් විදුලි පේනුවකට සවිකරන්නාක් මෙන්, අනුභව කිරීම හා පානය කිරීම හුදෙක් ශක්තිය ලබා ගැනීම සඳහා කරන යාන්ත්‍රික ක්‍රියාවක් මෙන් නොවන පිණිස යෙහෝවඃ වහන්සේ දිවේ රස නහර තැබූ සේක. නැත, අනුභව කිරීම හා පානය කිරීම සැලැසුම් කළේ, උදරය පුරවා ගැනිම සඳහා පමණක් ම නොවේ, නමුත් රසයක් විඳීමේ හැඟීමකින් කුල්මත් කිරීමටයි. මිනිසාට කන් ද දානය කළ උන් වහන්සේ, ඒ කන් පිනවීමට ශබ්ද රැසක් උපදවන්නා වූ පරිසරයකින් ඔහු ව වට කළ සේක. සෙමින් ගලා බසින දොළ පහරක මනරම් ශබ්දය, කොබෙයියන්ගේ සෞම්‍ය හඬ, නැතහොත් කුඩා දරුවෙකුගේ ප්‍රමුදිත සිනහව ඇසීම මෙනතරම් සතුටක් ගෙන දෙයි ද! එසේ ය, මැවීමේ සිට සිදුවුණා වූ සියලු නපුරු දේවල් මොනවා වුව ද, දෙවියන් වහන්සේගේ යහපත්කමට තුතිවෙත්වා ජීවත් ව සිටීම තවමත් ප්‍රීතිය ගෙන දෙන්නකි.
9 අපගේ අනෙකුත් සංවේදීන් ගැන ද බලන්න. අපගේ නෙත් පිනවන්නා වූ විවිධාකාර රමණීය වර්ණයන් මොනතරම් තිබෙනවා ද! පුෂ්පයක කෝමල සුවඳ ආග්‍රහණය කිරීම මොනතරම් තෘප්තිය ගෙන දෙන්නක් ද! ගීතිකාකාරයා යෙහෝවඃ වහන්සේට මෙසේ හඬ නගා කීම පුදුමයක් නොවේ: “මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත අශ්චර්ය්යමත් ය.”!—ගීතාවලිය 139:14.
මිනිස් වර්ගයාගේ වැටීයාම සහ මුදවා ගැනීම
10. බොහෝ මිනිසුන් දෙවියන් වහන්සේගේ යහපත්කමට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේ ද, තවද, ඔවුන් එයින් නොකඩවා ප්‍රයෝජන ගන්නේ කෙසේ ද?
10 කණගාටුවට කරුණක් නම්, කලක් ගත වන විට, අපගේ පළමු දෙමාපියන් දෙවියන් වහන්සේ ඔවුන්ට දක්වා තිබූ යහපත්කමට අගය පෙන්වුයේ අල්ප වශයෙනි. යෙහෝවඃ වහන්සේගේ නීතිවලට අකීකරුවීමේ දී මෙය ඔවුහු පෙන් වූ අතර, උන් වහන්සේ ඔවුන් මත පනවා තිබූ එකම තහංචියට එරෙහි ව පව් කළෝ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුහු සහ ඔවුන්ගෙන් පැවතෙන්නෝ, ශෝකය, වේදනාව, හා මරණය දැන ගැනීමට පැමිණිය හ. (උත්පත්ති 2:16, 17; 3:16-19; රෝම 5:12) එම අකීකරුකමේ ක්රියාවේ පටන් ගතවූ වසර දහස් ගණන පුරා, මිනිස් වර්ගයාගෙන් බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේගේ යහපත්කම කෙරෙහි පෙන්වා තිබෙන්නේ උදාසීනකමකි, නැත්නම් මඳ අගය කිරීමකි. එහෙත්, මෙය මෙසේ වුව ද, ස්තූතිවන්ත නොවන්නා වූ සහ අගය කිරීමක් නොදක්වන්නා වූ ජනයා තවමත් දෙවියන් වහන්සේගේ යහපත්කමෙන් ප්‍රයෝජන ලබත්. කුමන මාර්ගයෙන් ද? ප්‍රේරිත පාවුල් මැද පෙරදිග පිහිටි ලුස්ත්‍රාවේ වැසියන්ට මෙසේ පැහැදිලි කළේ ය: “එහෙත් [දෙවියන්වහන්සේ] අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද, සන්තෝෂයෙන්ද, නුඹලාගේ සිත් [හදවත් NW] පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන් වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටිය සේක.”—ක්‍රියා 14:17.
11. මිනිස් වර්ගයාට මනරම් නිවසක් සපයනවාට වඩා, දෙවියන් වහන්සේගේ යහපත්කම ඉන් ඔබ්බට විදහාපා තිබෙන්නේ කුමන මාර්ගයෙන් ද?
11 නමුත් දෙවියන් වහන්සේගේ යහපත්කම, පොළොව මත බහුල ව පවතින ජීවිතය පවත්වා ගෙන යාමට උපකාරී වන, ප්‍රිය මනාප දේවල් නොකඩවා සැපයීමට පමණක් සීමා වී නොමැත. නැත, උන් වහන්සේ මීටත් වඩා යමක් කළ සේක. ආදම්ගෙන් පැවතෙන්නන්ගේ පාපවලට සමාව දීමටත්, මිනිස් වර්ගයා අතරෙන් ඇදහිලිවන්ත අය සමඟ සම්බන්කම් නොකඩවා පවත්වා ගෙන යාමටත් තමන් වහන්සේ ම සූදානම් ව සිටින බව යෙහෝවඃ වහන්සේ පෙන් වූ සේක. දෙවියන් වහන්සේගේ යහපත්කමේ මෙම පැත්ත, ‘උන්වහන්සේ ස්වකීය සියලු යහපත්කම [මෝසෙස්] ඉදිරිපිටින් යන්ට සළස්වනු ඇතැ යි යෙහෝවඃ වහන්සේ මෝසෙස්ට පොරොන්දු වූ විට, ඔහුගේ අවධානයට ලක් කරවන ලදි. එවිට මෝසෙස්ට මෙම ප්රකාශනය ඇසිණි: “ස්වාමින් වහන්සේය [යෙහෝවඃ වහන්සේ NW], ස්වාමින් වහන්සේය [යෙහෝවඃ වහන්සේ NW], උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ, දයාවන්තවූ, උදහස් වීමට ප්‍රමාද වන්නාවූ, අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. උන් වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වන සේක, අයුතුකමත්, අපරාධයත්, පාපයත් ක්ෂමා කරන සේක.”—නික්මයාම 33:19; 34:6, 7.
12. යෙහෝවඃ වහන්සේගේ යහපත්කම පෙන්නුම් කළේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කුමන සැපයුම් ද?
12 මෝසෙස්ගේ දවසේ දී, හිතා මතා නොවන පව්කරන්නන් හට තාවකාලික, හෙවත් සංකේතමය පව් සමාවක් ලබා ගත හැකි පරිද්දෙන් ඊශ්‍රායෙල් නව ජාතිය උදෙසා නීතිමය පිළිවෙළක් යෙහෝවඃ වහන්සේ ස්ථාපිත කළ සේක. මෝසෙස් මැදහත්කාරකම් කළා වූ ව්‍යවස්ථා ගිවිසුම මගින්, ඊශ්‍රායෙලිතයන් දෙවියන් වහන්සේගේ විශේෂ ජාතිය බවට පත් වූ අතර, ඔවුන්ගේ පව් සහ අපවිත්‍ර ක්‍රියා පහ කර දමන්නා වූ විවිධාකාර සත්ත්ව පූජාවන් යෙහෝවඃ වහන්සේට ඔප්පු කිරීමට ඔවුන් හට උගන්වන ලදි. මේනයින්, ඔවුන්ගේ අසම්පූර්ණ ස්වභාවය මධ්‍යයෙහි වුවත්, පසුතැවිලි වූ ඊශ්රායෙල්වරුනට, යෙහෝවඃ වහන්සේ වෙතට පිළිගත හැකි වු අයුරින් නොකඩවා එළඹීමට හැකි වූ අතර, ඔවුන්ගේ නමස්කාරය උන් වහන්සේට ප්‍රසන්න වූ බව දැන ගැනීමට හැකි විණි. ව්‍යවස්ථාව යටතේ එම ජාතියට අයත් වූ සමාජිකයෙකු වූ දාවිත් රජ, මේ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන ඔහුගේ සාවධානත්වය ප්‍රකාශ කළේ ය: “ස්වාමිනි [අහෝ NW], මාගේ යෞවන වයසේ පව් වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. ස්වාමිනි [යෙහෝවඃ වහන්ස NW], ඔබගේ යහපත්කම නිසා ඔබගේ කරුණාව පරිද්දෙන් මා සිහි කළ මැනව.”—ගීතාවලිය 25:7.
13. පව් කමාව උදෙසා සත්ත්ව පූජාවලට වඩා වඩාත් බලපෑමෙන් යුත් මාර්ගයක් යෙහෝවඃ වහන්සේ සැපයන ලද්දේ කෙසේ ද?
13 කල්යාමේ දී, පව් කමාව පිණිස වඩාත් බලපෑමෙන් යුත් සහ ස්ථීර මගක් සැපයීමට යෙහෝවඃ වහන්සේගේ යහපත්කම උන් වහන්සේ ව පෙළඹවී ය. මෙම මාර්ගය වූයේ, දාවිත් රජගෙන් පැවතෙන්නෙකු වූ යේසුස් වහන්සේගේ ජීවිත පූජාවයි. (මතෙව් 1:6-16; ලූක් 3:23-31) යේසුස් වහන්සේ පව් නොකළ සේක. මෙබැවින්, උන් වහන්සේ මිය ගිය විට, පුජනීය ලෙස දානය කළා වූ උන් වහන්සේගේ ජීවිතයට මහත් වටිනාකමක් තිබූ අතර, ආදම්ගේ පව්කාර පැවතෙන්නන්ගේ සියලු පව් පහ කළ හැකි වූ මිදීමේ මිලයක් ලෙස දෙවියන් වහන්සේ එය පිළිගත් සේක. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති. ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියම කළ සේක.”—රෝම 3:23-26.
14. මිදීමේ මිලයේ පූජාව තුළින් මිනිසුන් සඳහා කුමන මවිතාකාර බලාපොරොත්තු ඇති කරනු ලැබ තිබේ ද?
14 යේසුස් වහන්සේගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම, ක්‍රිස්තියානින් වෙත බොහෝ දෙයක් ඉටු කරයි, ඊශ්‍රායෙල්වරුන් උදෙසා ව්‍යවස්ථා ගිවිසුම යටතේ සිදු වූ ඒ සත්ත්ව පූජාවන් සිදු කළ දෙයට වඩා වැඩි යමක් ඉටු කරයි. සීමිත ක්‍රිස්තියානින් සංඛ්‍යාවක් ධර්මිෂ්ඨ යයි ප්‍රකාශයට පත් කරනු ලැබීමටත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බවට පත් වීමට උන් වහන්සේගේ ආත්මය මගින් භාර ගැනීමටත් එය තුඩු දුන්නේ ය. ඒ මගින් ඔවුහු යේසුස් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ අතර, උන් වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ උන් වහන්සේ සමඟ හවුල් වීමට ආත්ම මැවිලි වශයෙන් නැවත නැගිටවනු ලැබීමේ බලාපොරොත්තුවක් අත් කර ගත්හ. (ලූක් 22:29, 30; රෝම 8:14-17) මේ කුඩා ග්‍රහයා එනම් පොළොව මත ජීවත් වන මැවිලිවලට එවැනි ස්වර්ගික බලාපොරොත්තුවක් දෙවියන් වහන්සේ විසින් ඇතිකරලීම ගැන සිතා බලන්න! මේ බලාපොරොත්තුව ආදරයෙන් රැක බලා ගන්නා වූ කුඩා කණ්ඩායමක් තවමත් ජීවත් ව සිටී. නමුත් වෙනත් ක්රීස්තියානින් මිලියන ගණනක් උදෙසා, මිදීමේ මිලය තුළ ඇදහිල්ල පැවැත්වීම, ආදම් සහ ඒව නැති කර ගත් ඒ දෙය—පාරාදීසයක, උයනක් බඳු පොළොවක් මත සදාකාල ජීවිතය භුක්ති විඳීමට මාර්ගය විවෘත කරයි. ව්‍යවස්ථා ගිවිසුම යටතේ සිටි අයට අනාගතික ස්වර්ගික අපේක්ෂාවක්වත් භූමික අපේක්ෂාවක්වත් සපයන්නට එයට පමණක් හැකිවුනේ නැත.
15. ශුභාරංචියට ඇතුලත් වී තිබෙන්නේ කුමක් ද?
15 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වීමට පිළියෙළ කළ නව විධිවිධානය පිළිබඳ ව පණිවුඩය කළ දෙවියන් වහන්සේගේ යහපත්කම පිළිබිඹු වීම නිසා එය “ශුභාරංචිය” කියා හැඳින්වීම මොනතරම් උචිත ද! (2 තිමෝති 1:9, 10) බයිබලය තුළ, මේ ශුභාරංචිය සමහරක් තැන්වල, “රාජ්‍යයේ ශුභාරංචිය” කියා හැඳින්වේ. නැවත නැගිටවනු ලැබූ යේසුස් වහන්සේගේ පාලනය යටතේ රාජ්‍යය පිහිටුවනු ලැබ තිබේ ය යන සත්‍යය මත, අද දින, එය මධ්‍යගත වෙයි. (මතෙව් 24:14; එළිදරව් 11:15; 14:6, 7) එහෙත්, ශුභාරංචියට මීට වඩා ඇතුළත් වෙයි. උපුටා දක්වා ඇති, තිමෝතිට ලියන ලද පාවුල්ගේ වචනවලින් ඇඟවූවාක් මෙන්, අප වෙනුවෙන් යේසුස් වහන්සේ පූජා කළා වූ මිදීමේ මිලය පිළිබඳ දැනුම ද ඊට ඇතුලත් වෙයි. එම පූජාව නොමැතිව, දෙවියන් වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය, අපගේ ගැලවිම පවා ඇති කර ගැනීම හැකි නොවනු ඇත.—යේසුස් වහන්සේගේ රාජ්‍යය සහ පොළොවෙන් ගනු ලැබූ පූජකවරුන් හා රජවරුන් 144,000ගැන සඳහන් කළ යුතු නොවේ. මිදීමේ මිලය, දෙවියන් වහන්සේගේ යහපත්කමේ මොනතරම් මවිතාකාර පිළිඹිඹු කිරීමක් ද!
අද දින දෙවියන් වහන්සේගේ යහපත්කම
16, 17. හොෂෙයා 3:5හි සඳහන් දෙය, (අ) පො. යු. පෙර 537 දී (ආ) පො. යු. 1919 දී ඉෂ්ට වූයේ කෙසේ ද?
16 “අන්තිම දවස්” දෙස ඉදිරියට බලමින්, ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවූයේ, “මනුෂ්‍යයෝ . . . යහපතට ප්‍රේම නොකරන්නෝව” කියා ය. (2 තිමෝති 3:1-3) ත්‍යාගශීලිකම හා අසල්වැසිකම වැනි යහපත්කමේ සාමාන්‍ය විදහාපෑම් පවා, අගය කරනු ලබන්නේ නැත. එබැවින්, හොෂෙයා 3:5හි සඳහන් අනාවැකිය කොතරම් හද උණුසුම් කවරයි ද: “ඉශ්රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමුන්ගේ රජ වූ දාවිත් ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමින්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.”
17 මෙම අනාවැකිය පළමුවෙන් පො.යු. 537 දී ඉෂ්ට වුයේ, යුදෙව්වන් බබිලෝනියාවේ වහල්භාවයේ සිට පොරොන්දු දේශයට නැවත පැමිණි විටදී ය. නවීන කාලයේ 1919 දී, ආත්මික ඊශ්‍රායෙල්හි ඉතිරි අය සාතන්ගේ සංවිධානයෙන් ඉවතට පැමිණ, යෙහෝවඃ වහන්සේ ව සහ උන් වහන්සේගේ යහපත්කම මහත් උනන්දුවෙන් සොයන්නට පටන් ගත් විට, එහි ඉෂ්ට වීම ආරම්භ විණි. තමුන්ගේ “රජ වූ දාවිත්”, 1914 සිට, ස්වර්ගික බලයෙන් යුතුව සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති පුද්ගලයා වශයෙන් පාලනය කරමින් සිටින බව ඔවුහු සොයා ගත්හ. උන් වහන්සේගේ ස්වර්ගික අධික්ෂණය යටතේ, මේ ශුභාරංචිය ජාතීන් වෙත ප්‍රචාරය කිරීමට ඔවුහු උද්යෝගයෙන් පියවර ගත්හ. මේ අයුරින්, මතෙව් 24:14හි සඳහන් ආඥාව ඉටු කිරීමට ඔවුහු පටන් ගත්හ: “[ස්ථාපිත] රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතින්ට සාක්ෂියක් පිණිස [ජනාවාස NW] ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.”
18. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේහි, ආත්මික ඊශ්‍රායෙලයෙහි ඉතිරි අය සමඟ හවුල් වී ඇත්තේ කවරහු ද?
18 අද දින, මේ හා සමානව යෙහෝවඃ වහන්සේගේ යහපත්කමට ජයනාද කරවන “මහත් සමූහය” ආලේප ලත් ඉතිරි අය සමඟ හවුල් වී සිටිත්. (එළිදරව් 7:9) දැන්, මිලියන හතරකට වඩා වැඩි සංඛ්‍යාවක්, දර්ශනය තුළ ප්‍රේරිත යොහන් දුටුවා වූ දේව දූතයාගේ කටහඬ ප්රතිනාද කරමින් සියලු ජාතින්ට මෙසේ ප්‍රකාශ කරති: “දෙ වියන් වහන්සේට භය වී උන්වහන්සේට ගෞරව දීපල්ලා; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණූණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාර කරපල්ලා.”—එළිදරව් 14:7.
19. දෙවියන් වහන්සේගේ යහපත්කමේ මහත් සාක්ෂිවලින් එකක් නම් කරන්න.
19 දෙවියන් වහන්සේගේ යහපත්කමේ ශ්‍රේෂ්ඨතම සාක්ෂිවලින් එකක් නම්, උච්චාවස්ථාවේ පවතින මේ කාර්යයේ උන් වහන්සේගේ හවුල් වැඩ කරුවන් වීමට උන් වහන්සේ අපට ඉඩ හැර තිබීමයි. “සන්තෝෂමත් දෙවියන් වහන්සේගේ තේජවත් ශුභාරංචිය” අපට පවරා තිබීම මොනතරම් වරප්‍රසාදයක් ද! (1 තිමෝති 1:11 NW) අප අන්‍යයන්ට දේශනා කිරීමෙන් හා ඉගැන්වීමෙන්, දෙවියන් වහන්සේගේ ආත්ම යේ එම වැදගත් ඵලය වන යහපත්කම අපි උසස් පරිමානයකින් විදහා දක්වන්නෙමු. මේ අයුරින්, මෙසේ පැවසූ දෙවියන් වහන්සේගේ පුරාණ සේවක දාවිත්ගේ ආකල්පය අපට තිබේ: “ඔව්හු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍ර කාශ කරමින්, ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය.”—ගීතාවලිය 145:7.
20. මීළඟ ලිපියේ සාකච්ඡා කෙරෙන්නේ යහපත්කම සම්බන්ධයෙන් තවත් කුමන තොරතුරු ද?
20 කෙසේ වෙතත්, අපගේ ජීවිතවල යහපත්කම විදහා පෙන්විය හැක්කේ ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීමෙන් පමණක් ද? කොහෙත්ම නැත! අපව දිරිගන්වා ඇත්තේ මනා ලෙසට ය. “ප්‍රිය දරුවන් මෙන්, දෙවියන් වහන්සේ අනුවයන්නෝ” (එපීස 5:1) දෙවියන් වහන්සේගේ යහපත්කම විවිධාකාර මාර්ගයන්ගෙන් විදහා දක්වනු ලැබ තිබේ. මෙබැවින්, අපගේ යහපත්කම ද අපගේ ජීවිතවල බොහෝ පැතිවලට බල පෑ යුතු ය. මේවායින් සමහරක් ඊළඟ ලිපියේ සළකා බලනු ලැබේ. w91 8/15
[පාදසටහන්වල]
a ආත්මයේ ඵලයන් වෙන වෙන ම ගත් කළ ඒවා නම්, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මෘදුකම, සහ පමණ දැන ක්‍රියා කිරිම [ආත්ම දමනය] වේ.
ඔබට පිළිතුරු දිය හැකි ද?
◻ මැවිල්ල දෙවියන් වහන්සේගේ යහපත්කම පිළිබිඹු කරන්නේ කුමන මාර්ගයෙන් ද?
◻ පසුතැවිලි වන්නා වූ මිනිසුන්ගේ පව් කමා කිරීමට යෙහෝවඃ වහන්සේ ඇති කළ විධිවිධානය කුමක් ද?
◻ හොෂෙයා 3:5හි සඳහන් දෙය ඉටුවීමක් වශයෙන්, ආලේප ලත් ඉතිරි අය යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ යහපත්කම වෙතට පැමිණියේ කවදා ද, මෙය තුඩු දුන්නේ කුමකට ද?
◻ අද දින දෙවියන් වහන්සේගේ යහපත්කමේ ශ්‍රෙෂ්ඨතම සාක්ෂිවලින් එකක් වන්නේ කුමක් ද?
[27වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේගේ අධිකතර යහපත්කම ගැන මැවිල්ල සාක්ෂි දෙයි
[28වන පිටුවේ පින්තූරය]
දේශනා කිරීමේ කාර්යයේ හවුල් වීමට අපව ම ඉඩ හැරීම දෙවියන් වහන්සේගේ යහපත්කමේ කැපීපෙනෙන සාක්ෂියකි.