මිදීමේ මිලය—ක්‍රිස්තියානි ලෝකයට අහිමි වූ මූල ධර්මය
මිදීමේ මිලය, එනම් යේසුස් වහන්සේ පාපතර මිනිස් වර්ගයා වෙනුවෙන් හුවමාරුවක් ලෙස දිවි පිදූ බවට පවතින විශ්වාසය, සැබෑ ක්‍රිස්තියානි ආගමේ මූල ධර්මයක් වෙයි. එහෙත්, මෙම සිද්ධාන්තය දීර්ඝ කාලයක් පුරා ක්‍රිස්තියානි ලෝකයේ දේවධර්මාධරයන්ගේ විවේචනයට මෙන් ම අවමානයට ද ලක් වී ඇත.
එය එසේ වනුයේ මන්ද? යේසුස් වහන්සේ ම, මාර්ක් 10:45 හි: “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්ටද ආයේය” යයි නොපැවසූ සේක් ද?
යේසුස් වහන්සේ එම වදන් කිසිසේත් නොපැවසූ බවත්, උන් වහන්සේගේ මරණයෙන් පසු ප්‍රේරිත පාවුල්ගේ බලපෑම යටතේ මේවා ප්රබන්ධනය කරන ලද බවත් සමහරෙක් තරයේ ප්‍රකාශ කර සිටිති. අන්‍යයන්, මෙහි දැක්වෙන “මිදීමේ මිලය” වාක්යාලංකාරයක් බව, නොඑසේ නම් එම මූල ධර්මය ග්‍රීක මිථ්‍යා කථාවලින් එළි දකින බව තර්ක කරත්! මෙසේ මිදීමේ මිලය සැබවින් ම පල්ලියේ ඉගැන්වීම්වලින් අතුරුදහන් වී ඇත.
කෙසේ නමුත්, මුල් ක්‍රිස්තියානින් යේසුස් වහන්සේගේ මරණය තේරුම් ගත්තේ කෙසේ දැයි ඔබ විසින් කල්පනා කරන්නට පුළුවන. පාවුල්, 2 කොරින්ති 5:14, 15 හි අපට පවසනුයේ මෙසේ ය: “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත් . . . ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනැන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිස කියාත්, අපි නිශ්චයකොට කියමුව.” එම මූල ධර්මය කොතරම් ව්‍යක්ත ලෙසින් සරල වූයේද යත්—පසු කලෙක පල්ලියේ දේවධර්මාධරයන්ගේ අත්වලින් සිදුවුණු සංකීර්ණ වෙනස් කිරීම්වලින් සහමුලින් ම නිදහස් ව තිබුණි.
මෙම සිද්ධාන්තය පාවුල් විසින් ඇති කරනු ලැබී යයි සිතිය හැකි ද? කොහෙත් ම නැත. මන්දයත් ඔහු 1 කොරින්ති 15:3 හි මෙසේ පැහැදිලි කරයි: “මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාරදුනිමි, එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවය.” පැහැදිලි ව ම, පාවුල් සිය සංදේශයන් ලියන්නට බොහෝ කලකට පෙර, ක්‍රිස්තියානිහු යේසුස් වහන්සේගේ මරණය යාගික එකක් බවත්, පාපතර මිනිස් වර්ගයා නිදහස් කර ගැනීමට ගෙවන ලද සැබෑ මිලයක් බවත්, මිදීමේ මිලයක් බවත්, තේරුම් ගත්හ. මීට අමතර ව, පාවුල් අඟවන්නාක් මෙන්, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, “ලියවිලි,” එනම්, හෙබ්‍රෙව් ලියවිලිවල නැතහොත් “පැරණි ගිවිසුමෙහි” ගීතාවලියෙහි 22වන ගීතිකාවෙහි හා යෙසායා 53වන පරිච්ඡේදයේ ඇති අනාවැකි සම්පූර්ණ කළ බව ඔවුහු අවබෝධ කර ගත්හ.
පිළිතුරු දී නැති ප්‍රශ්න
සත්‍ය කරුණු ඔබ ම පරීක්ෂා කර බැලීමට යන්නේ නම්, ධර්මභේදී ඉගැන්වීම් එදා ප්රේරිතයින්ගේ කාලයට ආසන්නයේ දී ම ක්‍රිස්තියානි ධර්මය තුළට කාන්දු වූ බව ඔබ විසින් සොයා ගනු ඇත. (ක්‍රියා 20:29, 30; 2 තිමෝති 4:3, 4) එහෙත්, සභා පියවරුන්ගේ ලියවිලි පෙන්වන ලෙසින්, ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිලය කෙරෙහි විශ්වාසය තවදුරටත් පැවතිණ. කෙසේ නමුත්, පසු කාලීන දේවධර්මාධරයන් සමහරෙක් මිදීමේ මිලය පිළිබඳ මූල ධර්මය ගවේෂණය කළ විට, මිදීමේ මිලය ගෙවනු ලැබුවේ කවරෙකු හට ද? හා මෙවන් ගෙවීමක් අවශ්‍ය වූයේ මක්නිසා ද? වැනි අපහසු ප්‍රශ්න සමහරක් ඔවුන් හට මතු විණි.
පොදු යුගයේ හතරවන ශතවර්ෂයේ නයිස්සා හි ග්‍රෙගරි හා වෙනත් අය එම මිදීමේ මිලය සාතන් නම් යක්ෂයාට ගෙවන ලද බවට වූ න්‍යාය විස්තර කළහ! සාතන්ට මිනිසා කෙරෙහි ග්‍රහණයක් තිබූ බවත්, මිනිස් වර්ගයා ව නිදහස් කර ගැනීමට ඔහුට මිදීමේ මිලයක් ගෙවන ලද බවත්, ඔවුහු තර්ක කළහ. කෙසේ නමුත්, නසියන්සස් හි ග්‍රෙගරි නම් සමකාලීනයෙක් මෙම න්‍යායෙහි අති විශාල හිඩැසක් දිටී ය. ඉන් අදහස් කළේ, දෙවියන් වහන්සේ යක්ෂයාට ණය ගැති ව සිටින බව ය—ඇත්තෙන් ම මෝඩ අර්ථ ශුන්‍ය අදහසකි! යක්ෂයාට මිදීමේ මිලයක් ගෙවන ලද බවට වූ න්‍යාය ශතවර්ෂ ගණනාවකට කෙසේ හෝ රැඳී පැවතිණ.
එම මිදීමේ මිලය දෙවියන් වහන්සේට ම ගෙවනු ලැබිය හැකි ව තිබුණි ද? නසියන්සස් හි ග්‍රෙගරිට මෙම න්‍යායෙහි පවා ගැටලු දැකිය හැකි බව දැනිණ. ‘අප දෙවියන් වහන්සේගේ බන්ධනය යටතේ නොසිටි’ බැවින්, උන් වහන්සේට මිදීමේ මිලයක් ගෙවීම අවශ්‍ය වනු ඇත්තේ මක්නිසා ද? මීට අමතර ව, මිදීමේ මිලයක් ඉල්ලා සිටීමෙන්, ‘පියාණන් වහන්සේට ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය ගැන ප්‍රසන්න විය’ හැකි ද? පෙනෙන හැටියට මේවා මිදීමේ මිලය කෙරෙහි ම සැක පහළ කරවනු ඇතැයි සිතිය හැකි අපහසු ප්‍රශ්න වෙයි.
මිදීමේ මිලයේ මරණය
මෙම විෂය පිළිබඳ ඔබගේ විමසුම සමහර විට ඔබ ව 12වන ශතවර්ෂය කරා ගෙන යා හැකි ය. කැන්ටබරියේ අග්රරාජගුරු ඇන්ස්ලම්, කුර් ඩෙවුස් හොමො (දෙවියන් වහන්සේ මිනිසෙකු වූ හේතුව නම් සිය පොතේ) මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට වෑයම් දැරී ය. යේසුස් වහන්සේගේ මරණය මිදීමේ මිලයක් ලෙස කටයුතු නොකළත්, දිව්‍ය යුක්තිය ඉෂ්ට කිරීමේ මාර්ගයක් ලෙස කටයුතු කළ බව එම පොත ඉගැන්වී ය. යුක්තිය ඉෂ්ට නොකොට මිදීමේ මිලයක් මගින් පව් කමා කිරීම, පව් නිවැරදි නොකිරීමක් හා සමාන වන බව ඇන්ස්ලම්ගේ ස්ථාවරය විය. “එහෙත් දෙවියන් වහන්සේට නිසිලෙස ස්වකීය රාජ්‍යයෙහි කිසිවක් නිවැරදි නොකර තැබිය නොහැකි ය” යයි ඇන්ස්ලම් පැවසී ය. එසේ නම්, දෙවියන් වහන්සේ කාරණා නිවැරදි කළේ කෙසේ ද?
“පාපය දෙවියන් වහන්සේට අගෞරව කරන” බව තර්ක කරමින්, ආදම්ගේ පාපයෙන් “ඉවත් කරන ලද දෙය හුදෙක් නැවත පිහිටුවීම” ප්‍රමාණවත් නොවනු ඇති බව ඇන්ස්ලම් පැවසී ය. මෙහිලා දෙවියන් වහන්සේ ව අවමානයට පත් කරනු ලැබ ඇති බැවින්, මිදීමේ මිලයක්—පරිපූර්ණ මනුෂ්‍යයෙකුගේ යාගයක් පවා—ප්‍රමාණවත් නොවනු ඇත. “මෙහිලා සිදු වූ අවමානය සලකා බැලීමේ දී, ඉවත් කරනු ලැබූ දෙයට වැඩි යමක් ආපසු ගෙවිය යුතු” යයි පූජකයා කරුණු සලකා නියම කර ගති. (ඇද අකුරු අපගේ ය.) ඇන්ස්ලම් තර්ක කළේ, “දෙවි කෙනෙකු මෙන් ම මිනිසෙකු ලෙස” සිටින්නා වූ යමෙකුගේ මරණයක් මේ සඳහා අවශ්‍ය කර වූ බවයි!
ඇන්ස්ලම්ගේ ඉගැන්වීම්වලට ඔබගේ ප්‍රතික්‍රියාව කුමක් වුවත්, ඒවා ඔහුගේ සමකාලිකයන් ව අභිබවා ජය ගෙන, අපගේ දවසට ද තවමත් බලපෑම් කරමින් සිටී. මන්දයත්, එක් ප්‍රහාරයකින් ම ඇන්ස්ලම් ත්‍රිත්ව ධර්මය යළි ශක්තිමත් කොට, ක්‍රිස්තියානි ලෝකයෙහි මිදීමේ මිලයට මරු පහරක් දුන්නේ ය! “සෑහීමට පත්” දේවධර්මාධරයන්ගේ වචනයක් බවට පත් කරමින්, මෙසේ “මිදීමේ මිලය” යන වගන්තිය තේරුම් ගැනීම ක්‍රමයෙන් දුෂ්කර හා නොපැහැදිලි තත්ත්වයකට පත් විය. ඇරත්, ඇන්ස්ලම්ගේ මතයන් පදනම් වූයේ බයිබලය මත නොව බොහෝ දුරට සැබෑ සේ පෙනෙන එහෙත් ව්‍යාජ වූ තර්කයන් මත ය. තව ද කාලයාගේ ඇවෑමෙන්, තොමස් ඇක්වයිනස් වැනි විශාරදයන් තමන්ගේ ම වූ දක්ෂ තර්කයන්ගෙන් “සෑහීමට පත් කරලීම” පිළිබඳ ඇන්ස්ලම්ගේ මතය ක්‍රමයෙන් අහෝසි කිරීමට පටන් ගත්හ. අනුමාන කිරීම නිතර දක්නට ලැබිණ. මෙසේ මුදවා ගැනීම පිළිබඳ ව මත වැඩි වූ අතර ම මේ පිළිබඳ විවාදයන් ශුද්ධ ලියවිල්ලෙන් අතිශයින් බැහැර ව මිනිස් තර්කණය, දර්ශනය, හා ගූඪ වාදය කරා යොමු විය.
ප්‍රතිසංස්කරණය හා මිදීමේ මිලය
එනමුත් අපි අපගේ කාලයට මදක් මෑත අතීතයට සිත යොමු කරමු. දහසයවන ශතවර්ෂයේ රෙපරමාදු ප්‍රතිසංස්කරණයේ කුණාටුව හමන්නට පටන් ගත් විට, සොසිනියවරු [Socinians] යනුවෙන් හඳුන්වනු ලැබූ, අන්තවාදී සමූහයක් ජනිත වූහ.a ඔවුහු යේසුස් වහන්සේගේ මරණය කිසි ලෙසකින්වත් “අපට ගැලවීම අත් කර” නොදෙන බවත්, එවන් විශ්වාසයක් “ශුද්ධ ලියවිල්ලට මෙන් ම තර්කණයට විරුද්ධ . . . මුලා කරවන, දෝෂ සහිත, හා අතිශයින් විනාශදායක” බවත් සඳහන් කළහ. (ද රැකොවියන් කැටකිස්ම්) දෙවියන් වහන්සේ නිදහස් ලෙස සමාව දෙන බැවින්, යුක්තිය ඉෂ්ට කිරීමක් අවශ්‍ය නොවී ය. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, මිනිස් වර්ගයා ව නිදහස් කර, එමගින් උන් වහන්සේගේ පරිපූර්ණ ආදර්ශය අනුකරණය කිරීමට පෙලඹ වී යයි ඔවුහු තරයේ ප්‍රකාශ කළහ.
මොවුන් හා වෙනත් දුර්ලබ්ධිකයින්ගෙන් පහර ලැබූ කතෝලික පල්ලිය, ට්‍රෙන්ට් කවුන්සලය (පො.යු. 1545 සිට 1563 දක්වා) කැඳවමින් ප්‍රති ප්‍රහාරයක් පටන් ගති. මෙහි දී ධර්මය පිළිබඳ කාරණා බොහොමයක් පිළිගන්නා ලදමුත්, මුදවා ගැනීම සම්බන්ධව අපැහැදිලි තත්ත්වයක සිටි අතර ම, එහි දී ගනු ලැබූ කිසිදු තීරණයක් කවුන්සලය විසින් ප්‍රකාශ නොකර සිටියේ ය. එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වටිනාකම ගැන කථා කරමින්, “සංසිඳවාලීම” යන වගන්තිය පාවිච්චි කළමුත්, මහත් විමසුමකින් “මිදීමේ මිලය” යන වදන මඟ හැරියේ ය. ඒ හේතුවෙන්, පල්ලිය යම් පැහැදිලි ශුද්ධ ලියවිලිමය ස්ථාවරයකට එළඹීමෙන් බොහෝ දුරස් වූයේ ය. අනුමාන කිරීමේ දොර පුළුල් ලෙස විවෘත ව තිබිණ.
ආගමික නායකයින් අසමත් වීමට හේතුව
ට්‍රෙන්ට් කවුන්සලයේ පටන්, දේවධර්මාධරයන්—කතෝලික මෙන් ම රෙපරමාදු අය—මුදවා ගැනීම පිළිබඳ අසංඛ්‍යාත න්‍යායන් ගොඩනගා ඇත. (7වන පිටුවේ කොටුව බලන්න.) නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ අර්ථය පිළිබඳ කිසිඳු එකඟත්වයක් පෙනෙන තෙක් මානයේවත් නොමැත. එය නොසලකා හැරීමෙන්, පහත් කොට සැලකීමෙන්, නැතහොත් එය බැහැර කරවන ආකාරයෙන් විස්තර කිරීමට වැඩි කැමැත්තක් දැක්වීමෙන්, “මිදීමේ මිලය” යන ශුද්ධ ලියවිලිමය පදය හෙලා දැකීමට දේවධර්මාධාරයෝ එකඟ වී ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ අර්ථය, තාක්ෂණික වූ තේරුම් ගත නොහැකි වචනවලින්, අසත්‍ය තර්කවල සංකීර්ණ ගෙතීමක් මගින් මෙන් ම “සදාචාර බලපැවැත්ම” හා “නියෝජ්‍ය කායික සෑහීමට පත් කරලීම” වැනි, උසස් ගණයේ පදවලින් පැහැදිලි කරනු ලැබ ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය කෙරෙහි ඇදහිල්ල ගොඩනගනු වෙනුවට, ක්‍රිස්තියානි ලෝකයේ පැවිද්දෝ උන් වහන්සේගේ වධ කණුව, ව්‍යාකූල වූ බාධාවක් කර ඇත්තාහ.
මෙම මහත් අසමර්ථය සඳහා පිටුපසින් ඇති හේතුව කුමක් ද? දේවධර්මාධරයන්—මහජනයාගේ සැබෑ අවශ්‍යතාවලින් අතිශයින් බැහැර වූ—“ඉතා පරික්ෂාකාරී ව රැකවල් කළ හුදකලාවක උගන්වනු ලැබීම” මීට හේතු වන බව කතෝලික දේවධර්මාධර බොනිෆස් ඒ. විලෙම්ස් දක්වයි.b එම තක්සේරුවත් සමඟ එකඟ වීමට ඔබ නැඹුරු නොවන්නෙහි ද? කෙසේ නමුත්, යෙරෙමියා 8:9 හි ඉන් තවත් ගැඹුරට යමින්, ගැටලුවේ සැබෑ මූලය වෙත යොමු දක්වයි: “මෙන්න, ඔව්හු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?”
මිදීමේ මිලය පිළිබඳ ධර්මය යම් අපහසු ප්‍රශ්න ඇති කළ හැකි බැව් පිළිගත හැකි ය. (2 පේතෘස් 3:16) එහෙත් පිළිතුරු සඳහා ශුද්ධ ලියවිල්ල පිරික්සනු වෙනුවට, දේවධර්මාධරයන් යොදා ගෙන ඇත්තේ මිනිස් ප්‍රඥාව හා තර්කය වේ. (1 කොරින්ති 1:19, 20; 2:13) සිය මනාපයට—නැතහොත් මතයන්ට—නොගැළපෙන්නා වූ කිනම් බයිබල් කොටසක් වුවද, ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් හිතුවක්කාර ව කල්පනා කර ඇත. (2 තිමෝති 3:16) ත්‍රිත්ව ඉගැන්වීම වැනි, ශුද්ධ ලියවිලිමය නොවන ඉගැන්වීම්වලට ඔවුන් රුකුල් දී ඇත. (යොහන් 14:28) එමෙන් ම ඔවුන්ගේ විශාලතම අසමර්ථය වී ඇත්තේ, දෙවියන් වහන්සේගේ නාමය හා රාජ්‍යය අදාළ වන්නා වූ වඩා වැදගත් කාරණා නොසලකමින්, මිනිසාගේ ගැලවීම උතුම් ම දේ කරවීම ය.—මතෙව් 6:9, 10.
මිදීමේ මිලයට පක්ෂවාදියෙක්
දැන්, කරුණාකර ඔබගේ විමසුම වර්ෂ 1800 ගණන්වල පසු භාගය වෙත යොමු කරන්න. දේව භයැති මිනිසෙක් වන චාල්ස් ටේස් රසල් දේව ධර්මයේ මූලික ධාරාවෙන් තමා ව ඉවත් කර ගනිමින්, මෙහි ඉංග්‍රීසි සඟරාව—ද වොච්ටවර්—ප්‍රකාශ කරන්නට පටන් ගති. “මූලාරම්භයේ පටන්, එය මිදීමේ මිලයේ සුවිශේෂී පක්ෂවාදියෙක් වී ඇත” යයි රසල් මතකයට නැගී ය.
ද වොච්ටවර් (මුරටැඹ) අද දක්වා ම තවදුරටත් එසේ ම ක්‍රියා කරයි. වසර සියයකට වැඩි කාලයක් පුරා එය මිදීමේ මිලය විශ්වාස කිරීමට පිළිගත හැකි ශුද්ධ ලියවිලිමය හේතු සාධක මෙන් ම විවේචකයින්ගේ අභියෝගයන්ට සාධාරණ ශුද්ධ ලියවිලිමය පිළිතුරු ඉදිරිපත් කර ඇත. මෙනිසා යේසුස් වහන්සේගේ මරණය හා එහි අර්ථය පිළිබඳ ව බයිබලය පවසන දෙය ගැන වැඩිතර අවධානයක් යොමු කරන්නට අපි ඔබට ආරාධනා කරමු. w91 2/15
[පාදසටහන්වල]
a එවේක්! නම් අපගේ සහකාර සඟරාවෙහි 1988, නොවැම්බර් 22වන කලාපයේ “ද සොසිනියන්ස්—වයි ඩිඩ් දේ රිජෙක්ට් ද ට්‍රිනිටි?” (සොසිනියන්වරු—ඔවුන් ත්‍රිත්වය ප්‍රතික්ෂේප කළේ මක්නිසා ද?) නම් ලිපිය බලන්න.
b කෙසේ නමුත්, ඉහත කොටුවේ ඇති විලෙම්ස්ගේ ම මතය සැලකිල්ලට ගන්න.
[7වන පිටුවේ කොටුව]
මිදීම පිළිබඳ මතවල නියැදියක්
◻ ප්රාචාර්ය, නැතහොත් රාජ්‍ය මතය: ලන්දේසි දේවධර්මාධර හියුගෝ ග්රෝටියස්, සොසිනියන්වරුන්ගේ මත නිෂ්ප්රභා කිරීමට 17වන ශතවර්ෂයේ දී මෙය ගොඩනැගී ය. ග්රෝටියස්, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය “නීත්‍යානුකුල ගණුදෙනුවක් ලෙස, දෙවියන් වහන්සේ සිය ප්රාචාර්ය (Rector) පදවිය නැතහොත් ආණ්ඩුකාරයෙක් ලෙස සහ මිනිස් වරදකාරයාගේ කාර්ය භාරය පියවන්නෙක් ලෙස” ග්රෝටියස් කල්පනා කළේ ය.—හෙස්ටිංස්’ගේ එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන් ඇන්ඩ් එතික්ස්.
◻ ඉතා වැදගත් වූ නිදහස් වීමේ මතය: මෙය 1946 දී රෙපරමාදු දේවධර්මාධර ක්ලැරන්ස් එච්. හෙවිට් විසින් යෝජනා කරනු ලැබිණ. හෙතෙම ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාවලිය යම් නීත්‍යානුකූල දඩයක් ගෙවීමක් ලෙස නොව, නමුත් ‘අප ව පාපයේ හා මරණයේ ව්‍යවස්ථාවේ ආධිපත්‍යයෙන් නිදහස් කරවමින් පසුතැවිල්ල හා දිව්‍ය කනස්සල්ල පොලඹවමින් දෙවියන් වහන්සේ ඉදිරියේ සමාව දිය හැකි තත්ත්වයකට ගෙනෙන්නා වූ යමක් ලෙස කල්පනා කළේ ය.’
◻ ක්‍රිස්තියානි සහභාගිත්වය කරණ කොට ගෙන නිදහස් වීම: රෝමානු කතෝලික දේවධර්මාධර බොනිෆස් ඒ. විලෙම්ස් (1970) “නිදහස් වීම,” සමාන කරන්නේ “අපගේ ආත්මාභිමානයෙන් ඉවතට හැරී එකිනෙකාට අපගේ හෘදයන් විවෘත කිරීමට ය.” ඔහු තවදුරටත් පවසනුයේ “ආදේශ කිරීම පිළිබඳ නැතහොත් අන් අය උදෙසා වේදනා විඳීම පිළිබඳ ක්‍රිස්තියානි සම්මතය වනුයේ, කෙනෙක් තමා පාපතර මිනිස් වර්ගයා සමඟ ඒකමතිකත්වයෙන් සම්බන්ධ වී සිටින බව දැන සිටීම ය. . . . එවිට පල්ලිය අන්‍යයන් වෙනුවෙන් විශේෂිත සේවයක් කරමින් ජීවත් වීමට සූදානම් අය සඳහා සහභාගිත්වයක් දරන්නේ ය” යනුවෙනි.
◻ අන් අයගේ වරදට දඬුවම් විඳින තැනැත්තා පිළිබඳ මතය: කතෝලික දේවධර්මාධර රෙමවුන්ඩ් ස්වාගර් මෙය වර්ෂ 1978 දී යෝජනා කළේ ය. දෙවියන් වහන්සේ “ඇසට ඇසක් ඉල්ලා සිටිනු” ඇති බවට වූ අදහස ඔහු ප්‍රතික්ෂේප කළේ ය. හෙතෙම ක්‍රිස්තුස් වහන්සේගේ යාගය මිනිස් සමාජය සිය සහජ සැහැසි නැඹුරුවාවන් ප්‍රකාශ කිරීමටත් ඒවා අත්හැරීමටත් සලස්වන්නා වූ යම් ආකාරයක විරේචකයක් (පවිත්‍ර කරණයක්) ලෙස සලකයි.
◻ සමාජ-දේශපාලන නිදහස් කරවා ගැනීම: බැප්ටිස්ට් දේවධර්මාධර තො’වල්ඩ් ලොරෙන්සන් 1985 දී මෙසේ ලීවේ ය: “දෙවියන් වහන්සේ පව්කාරයෙක් හට හුදෙක් ආගමික ක්ෂමා කිරීමක් පමණක් නොව දිළින්දා හා පීඩිතයා හට දේශපාලනමය විමුක්තිය ද සොයන සේක. . . . එබැවින් යේසුස් වහන්සේගේ මරණය, මිනිස් දිවියේ සියලු අංගයන්හි සුව කිරීමක් පිළිබඳ ව සැලකිල්ල දක්වන්නා වූ දෙවි කෙනෙක් එළිදරව් කරයි.
[5වන පිටුවේ පින්තූරය]
රෙපරමාදු මෙන් ම කතෝලික දේවධර්මාධරයන් නිදහස් වීම හා මිදීමේ මිලය පිළිබඳ අසංඛ්‍යාත මත ගොඩනගා ඇතිමුත්, බයිබලය උගන්වනුයේ කුමක් ද?